සාහිත්‍යය හා අපේ සාහිත්‍ය | සත්මඬල

සාහිත්‍යය හා අපේ සාහිත්‍ය

ලොව විශ්ව භාෂා අතර ස්පාඤ්ඤ භාෂාවට ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. එසේ වුවද ප්‍රංස, රුසියානු, ජපන්, චීන ආදි භාෂාවලට දක්වන සැලකිල්ල අපේ රටේ ස්පාඤ්ඤ භාෂාවට දක්වා නැති බව පෙනී යයි. එහෙත් ස්පාඤ්ඤ භාෂාව ස්පාඤ්ඤ සාහිත්‍යය මෙන්ම ස්පාඤ්ඤ කලාව පිළිබඳ පුළුල් ලෙස විමසා බැලීමේදී මේ වන විටත් සුළු වශයෙන් හෝ අප ඒවායේ ආභාසය ලබා තිබෙන බව පෙනී යයි. ඉංග්‍රීසි පරිවර්තන ඔස්සේ මෙරට ස්පාඤ්ඤ නාට්‍ය කලාව පෝෂණය වී ඇති අයුරු ‘මූදු පුත්තු’ ආදි නාට්‍ය නිර්මාණවලින් මොනවට පැහැදිලි වේ.

මේ නිසා සෙසු විශ්ව භාෂා මෙන්ම ස්පාඤ්ඤ භාෂාව ද හැදෑරීමට අවස්ථාවක් සලසා ගන්නේ නම් එයින් විශේෂයෙන් කලා ක්ෂේත්‍රයට මහඟු සෙතක් වනු ඇත.

මේ ලිපිය සැකසෙන්නේ ස්පාඤ්ඤ සාහිත්‍යය හා කලාව ආදි ක්ෂේත්‍රවල වැදගත්කම පහදා දීම සඳහා ය.

විශ්ව සාහිත්‍යය හා කලාව බැබළවීමට සමත් වූ විශිෂ්ට නිර්මාණ විශාල ප්‍රමාණයක් විවිධ කාලවකවානුවල ස්පාඤ්ඤ කලාකරුවන් අතින් බිහි වී තිබේ.

මේ සඳහා පැහැදිලිම උදාහරණය නම් යුරෝපා සාහිත්‍යයේ මුල් වරට බිහි වූ විශිෂ්ටතම, පරිපූර්ණ, නූතන නවකතාව දෙන් කිහෝතේ නිර්මාණයයි. ලොව සෑම භාෂාවකටම පාහේ පරිවර්තනය වී ඇති මේ නවකතාවේ චරිත, සංකේත ආදිය මේ වන විටත් කාටුන් චිත්‍රපට, ඔපෙරා, චිත්‍ර නිර්මාණ ආදියේ භාවිත වන බව පෙනෙයි. එහි නිර්මාතෘ, මිගෙල් දෙ සෙර්වන්නෙස් ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණ යුගයේ බිහිවූ ශ්‍රේෂ්ඨ ලේඛකයා වන අතර ඔහුගේ උපදේශක නවකතාවල ආභාසය පසුකාලීන ස්පාඤ්ඤ හා ලතින් අමෙරිකානු ලේඛකයන් ලබාගෙන තිබේ.

සෙර්වන්කේස්ගෙන් පසුව වඩාත් විශ්වීය නවකතා ලියැවී ඇත්තේ දහ නවය හා විසිවැනි සියවස්වල බිහිවූ කතුවරුන් විසිනි.

දහනවවැනි සියවසේ ‘යුද්ධය හා සාමය’ ගැන ලියැවුණු හොඳම නවකතාව ලෙස බෙනිතෝ පෙරේස් ගල්දෝස් ලේඛකයාගේ ‘Fortuna Y Jacinta’ නමැති ග්‍රන්ථය පිළිගැනේ. ගල්දෝස් ලේඛකයාගේ නාමය ලොව වඩාත් ප්‍රචලිත වූයේ, ඔහුගේ නවකතා කීපයක් ම සිනමාවට නැඟී තිබීමේ හේතුවෙනි.

ට්‍රිස්ටානා, නසිරින්, හල්මා (හල්මා නවකතාව සිනමාවට නැඟුණේ විරිදියානා නමිනි) යන නවකතා චිත්‍රපටවලට නඟා ඇත්තේ අධියථාර්ථවාදි සිනමාවේ නිර්මාතෘ ලෙස ලෝ පතළ ලුවිස් බුක්දුඑල් නම් ස්පාඤ්ඤ සිනමාකරුවා විසිනි. ඒ චිත්‍රපට ඔස්කාර්, කෑන්ස් ඒ සම්මානවලට බඳුන් විය. ගල්දෝස්ගේ ‘මරියනෙලා’ නවකතාව විවිධ රටවල සිනමාකරුවන් විසින් 1940, 1955, 1972, 1917 වර්ෂවලදී සිනමාවට නඟා තිබේ.

විසි වැනි සියවසේ, පශ්චාත් යුද සමයේ (1939 – 1975) නූතන ස්පාඤ්ඤ සාහිත්‍යයේ කැපීපෙනෙන නවකතාකරුවන් කීපදෙනකු විශිෂ්ට නිර්මාණ බිහි කොට තිබේ. කමිලියෝ සෙලා ලේඛකයාගේ ‘La Colmena’ (මී වදය) නමැති යථාර්ථවාදි නවකතාවේ ගමෙන් නගරයට මාරු වී දිවි ගෙවූ මිනිස්සුන්ගේ ජීවිත අත්දැකීම් කදිමට නිරූපණය වේ.

ඔහුගේ ‘Pascial Duarte’ නවකතාව පශ්චාත් යුද සමයේ බිහිවූ විශාලතම සිදුවීම් රැගත් මුල්ම ස්පාඤ්ඤ නවකතාව ලෙස සැලකේ. (ඒ නවකතාව වෙනුවෙන් ඔහුට 1989 නොබෙල් තිළිණය ද හිමි විය.)

විශ්වීය චිත්‍ර කලාව ගැන සලකා බැලුව ද ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී පබ්ලෝ පිකාසෝගේ අග්‍රගණ්‍ය චිත්‍ර නිර්මාණ ගැනත් අධියථාර්ථවාදි චිත්‍ර ශිල්පයේ ‘පියා’ ලෙස සැලකෙන සල්වදෝර් ඩාලිගේ ආශ්චර්යවත් සිතුවම් ගැනත් දියේගෝ රිවේරාගේ විස්මයජනක බිත්ති සිතුවම් ගැනත් ලොව ම දැනුවත් වී හමාර ය. මෙකී නිර්මාණකරුවන් සියලු දෙනාම දුරාතීතයේ බිහිවූ මහා නිර්මාණකරුවන් වන මිරෝ, ගෝයා, වෙලාස්කේස් ආදින්ගෙන් ආභාසය ලද්දෝ වෙත්.

ස්පාඤ්ඤ නාට්‍ය කලාව ද අපට නුහුරු වූවක් නොවේ. මහා කවි පේදෙරිකෝ ගර්සියා ලොර්කාගේ ප්‍රධාන ඛේදාන්ත ත්‍රිකය, (යෙර්මා, බ්ලඩ් වෙඩින්, බර්නාඩා අල්බා) තවමත් අපේ කරළිය වර්ණවත් කරනා බැවිනි. (අප විසින් ලොර්කාගේ නාට්‍ය හඳුන ගන්නා ලද්දේ හැටේ දශකයේ, ‘මුදු පුත්තු’ (යෙර්මා නාට්‍යයේ ඡායානුවාදය) නාට්‍යය හරහා ය). නර්තන විලාසිතා ගත්තත්, වර්තමානයේ ලොව තරුණ පෙළ අතර ජනප්‍රිය සල්සා, බොස්සා, නොවා ආදි නර්තන විලාස, ස්පාඤ්ඤ ප්ලමෙන්කෝ කලාවෙන් විකාශනය වූ නැටුම් ක්‍රම බව පැවැසේ.

ස්පාඤ්ඤ සාහිත්‍යය අපේ සමාජයට සමීප වී ඇති අවස්ථා කීපයක්ම මම දකිමි. ස්පාඤ්ඤ භාෂාවේ ඇතැම් වචන අපේ භාෂාවට මිශ්‍ර වී ඇති බව පෙනෙයි. ඒවායින් කීපයක් මේස කමිස, කසාද, බූරුවා, අද්වකාත්, සබන් ආදි වශයෙන් දැක්විය හැකිය. ඒවා, පෘතුගීසි සමයේ ස්පාඤ්ඤ නැව් කප්පිත්තන් හරහා අපේ බසට මුසුවන්න ඇතැයි අනුමාන කළ හැකිය.

ඉතා පුළුල් පරාසයක විහිදී ඇති ස්පාඤ්ඤ පද්‍ය රචනා හා ගීත ක්ෂේත්‍රය ද ලොව ඉහළම තලයක පවතී.

අපේ රටේ වෙරළබඩ වෙසෙන කාපිරි ජාතිකයන්ගේ ගීත ගායනාවල ස්පාඤ්ඤ වදන් තිබෙනු මට ඇසී තිබේ. ඒ ගායනා ස්පාඤ්ඤ සම්භාව්‍ය ජනගායනා නොහොත් ජලමෙන්කෝ ගායනාවලට බෙහෙවින්ම සමාන වේ.

තවද අපේ රටේ කණ්ඩායම් සංගීතයේ මුලින්ම භාවිත කරන ලද්දේ ‘ස්පාඤ්ඤ ගිටාරය’ බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පර්යේෂණ කෘතියක් වන ‘ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය’ ග්‍රන්ථයේ මොනවට සඳහන් වේ.

අපේ රටට සැතැපුම් දහස් ගණනක් දුරක පිහිටිය ද ස්පාඤ්ඤයේ භාෂාව සාහිත්‍යය හා කලාව යම් තරමකින් හෝ මෙරටට බලපා ඇති බවට තවත් නිදසුනක් වෙයි.

අතීතයේ අප සමාජයේ පැවැති ප්‍රශස්ති හා විරිදු වැනි ජන කාව්‍ය සම්ප්‍රදායයක් ස්පාඤ්ඤ සමාජයේ ද පැවැති බවට කරුණු හමුවේ.

ක්‍රිස්තුපූර්ව තුන්වැනි වර්ෂය තෙක් දිගු ඉතිහාසයක් හිමි ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුල්වරට ප්‍රබන්ධ රචනා බිහි වී ඇත්තේ අරාබි පාලනය යටතේ වූ ප්‍රාග් ඓතිහාසික යුගයේ රචනා වී ඇති විරුද හා විරිදු ගායනා විලාසයකින් බව කියැවේ. එකල රජුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා රජ මාලිගා හා ධනපතින්ගේ සුවිසල් මැදුරු අබියස ප්‍රාසංගිකව ප්‍රශස්ති ගායනා ඉදිරිපත් කර ඇති බවට ලේඛන හමු වී තිබේ.

පහළොස්වැනි සියවසේ ස්පාඤ්ඤ සාහිත්‍යයේ දියුණුවත් සමඟ ම ඒ ගායනා වීණා වාදනය මුසු කොට විවිධ තාල යොදා සෙනග රැස් වන මංසන්ධිවලදී ඉදිරිපත් කර තිබේ. ඒ ගීතවලට තේමා වී ඇත්තේ යහපත, අයහපත, ගෞරවය, වීරත්වය, දේශාලය හා ආගමික දිවි පෙවෙත යනාදියයි.

මෙසේ බලන කල විරුද හා විරිඳු සම්ප්‍රදාය රටවල් දෙකටම පොදු සමාජ සංස්කෘතික අංගයක් බව පැහැදිලි වේ.

ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසය ගැන අධ්‍යයනයේදී විවිධ යුගවල (පුරාතන, මධ්‍යතන, පුනරුද, බැරැක්, රොමෑන්තික මෙන්ම නූතන පද්‍ය රචනා බිහි කළ 1898, 1914, 1927, 1936 ආදි කවි පරම්පරාවල) බිහි වූ කවීන්ගේ නිර්මාණ අපේ කවීන්ගේ පද්‍ය රචනා හා සමීප වන අවස්ථා කීපයක් ම හමු වේ.

‘1898 පරම්පරාවට’ අයත් අන්තෝනියෝ මචාඩෝ සිය ජීවිත අත්දැකීම් සොබාසුන්දර බව හා මුසුකොට ඉතා උසස් නූතන පද්‍ය රචනා නිර්මාණය කොට මහත් කීර්තියට පත් වූ මහා කවියෙකි.

යුරෝපා සාහිත්‍යයේ හොඳම ‘හයිකු’ කවිය මචාඩෝ අතින් නිර්මාණය වී ඇති බව ‘Porque Haiku’ නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. මේ මහා කවියා සිය ජීවිත ගමනේ විවිධ දුඃඛදෝමනස්සවලට ගොදුරු වූවෙකි. වයස අවුරුදු තිස් දෙකක් යන තුරු ම ‍පෙම්වතියක සොයා ගැනීම කෙරෙහි ඔහු උනන්දු නොවීය. ප්‍රංස භාෂා ආචාර්යවරයකු ලෙස පත්වීමක් ලබා ස්පාඤ්ඤයේ දර්ශනීය නගරයක් වන සොරියා නගරයට පැමිණි මචාඩෝ, නවාතැන් හිමිකාරියගේ දහතුන් හැවිරිදි දියණිය සමඟ පෙමක පැටලී කලකින් ඇය විවාහ කරගත්තේ ය. වසර දෙකකට පසු නිවාඩුවක් ගත කිරීම සඳහා ඇය සමඟ ප්‍රංසයට ගොස් සිටියදී බිරිය බලවත් ලෙස රෝගාතුර වෙයි. අවසානයේ ක්ෂය රෝගයේ අසාධ්‍යම අවස්ථාවට පත් ඇය වහා ‘සොරියා’ නගරයට කැටුව ගොස් ප්‍රතිකාර කරමින් සිටියදී මචාඩෝගේ උකුළ මත ම අවසන් සුසුම් හෙළයි, තමා පණ මෙන් රැකගත් ඇය වෙනුවෙන් හඬා වැලපෙමින් මචාඩෝ මිතුරකුට හසුනක් ලියයි:

“මට අද පූජනීය දවසක්. සොරියා නගරයේදී මට ඇයව මුණගැසුණා. ඇය හා විවාහ වුණා. එකදු බිම හරහා කෙත්වතු පෝෂණය කරමින් ගලා ගිය ඩියුරෝ නදිය අසබඩ මිටියාවතේ කඳු මුදුනක පිහිටි කුඩා නිවෙසක අප කලක් සතුටින් වාසය කළා. ඇය සොරියා නගරයේදීම සඳහටම මගෙන් වෙන් වුණා. මගේ දෙනෙත උඩුයටිකුරු කළ ඒ අවාසනාවන්ත සිදු වීම නිසා මේ සොඳුරු භූමියේදී ඇය හා ගත කළ ජීවිතය ගැන සැමරුම් ලියන්න හිතුණා. මට අද පූජනීය දවසක්...”

මේ සංවේදී ප්‍රකාශය ප්‍රේමකීර්ති ද අල්විස් අපේ ආදරණීය කලාකරුවා ගැන මගේ මතකයට නංවයි. ඔහු රචිත

“මේ නගරය මා ඔබ මුණ ගැසුණ නගරය යි

මේ නගරය ඔබ - මා වෙන් කෙරුණ නගරයයි...”

ගීත නිර්මාණය, ස්පාඤ්ඤ කිවි මචාඩෝගේ සංවේදී සංකල්පනාවට සමීප නොවන්නේ ද...?

මොන යම් දේශයක මොනයම් සංස්කෘතියක වැඩුණ ද සැබෑ ශ්‍රේ‍ෂ්ඨ කලාකරුවන්ගේ හද පත්ලෙන් නැඟී එන සංකල්පනා කොයිතරම් සමීප දැයි මේ නිර්මාණයෙන් පැහැදිලි වේ.

මචා‍ඩෝගේ කවි පරම්පරාවෙන් පසු උදා වූ 1927 කවි පරම්පරාවේ මහා කවි පේදෙරිකෝ ගර්සියා ලොර්කාගේ ඛේදාන්ත ත්‍රිත්වය ආදි නාට්‍ය නිර්මාණ හරහා නූතන ස්පාඤ්ඤ නාට්‍ය කලාවට නව ස්වර්ණ යුගයක් උදා විය. ඔහුගේ නාට්‍ය ලොව ප්‍රේක්ෂකයන් විසින් කෙතරම් වැලඳගත්තා ද කිව හොත් සෙර්වන්තේස්ට පසු ස්පාඤ්ඤයේ බිහි වූ ශ්‍රේෂ්ඨම ලේඛකයා ලෙස ජනතා ගෞරවයට හේ පාත්‍ර විය. ගර්සියා ලොර්කාට, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ බිල්ලක්ව වසර 38ක් තරම් තාරුණ්‍යයේදීම සිය ජීවිතයෙන් සමු ගන්නට සිදු විය. සිය ඉරණම ගැන කල් ඇතුව දුටුවා සේ ‘මරණය’ පිළිබඳ නිර්මාණ රාශියක් ලොර්කා අතින් නිර්මාණය වී තිබේ. මේ ඒවායින් එකකි.

මා මළ දවසක

මගේ ගිටාරය

වළලා ලනු මැන

මා හා සමඟින්

නාරං ගස් අතරේ

සුවඳ කලා ගොමුවේ...

 

අපේ මහගමසේකර කවියාණන්ගේ,

මා මළ පසු සොහොන් කොතේ

දුක් ගීයක් ලියනු මැනව...

ගීය ලොර්කාගේ කවි පෙළට සමීපතාවක් දක්වයි. විවිධ සහජ දක්ෂතාවලින් පිරිපුන් ලොර්කා ද සේකරයන් ද ඉතා කෙටි කලකින් නිර්මාණ විශාල ප්‍රමාණයක් දියත්කොට අසහාය මහා ප්‍රාඥයන් ලෙස දිවියෙන් සමුගෙන ගියේ අපට ඉතා උසස් නිර්මාණ දායාද කරමිනි. තවත් සුන්දර නිදසුනක් සලකා බලමු.

පහළොස් වැනි සියවසේ බිහි වූ ස්පාඤ්ඤ මහා කවි ජෝර්ජ් මන්රිකේගේ ‘Coplas’ නම් පිය වියෝගී එකකුව විශ්ව සාහිත්‍යයේ මහත් ප්‍රසිද්ධියට පත් වූ නිර්මාණයකි.

 

‘නිදිගත් ආත්මය

නැඟෙයි මා මතකයේ

විවර කරමින් නැණැස

දිවි ගෙවී යන අයුරු

අප මියැදෙනායුරු

නිහඬ කරමින් සැවොම

එතරම් ඉක්මනින්

සතුට නිම වෙනායුරු

 

සිහියට නැ‍ඟෙන විට

වේදනා දෙයි හදට

කොයි තරම් කාලයක්

ඉක්මගිය මුත් අදට

 

ගංගාවෝ වෙත් ජීවිත අපගේ

බිල්ලට සයුරට ගෙන යන සැමදේ

මහා මුහුද යනු රුදු මරණය වේ....

මේ පද රචනාවේ ඇතැම් කවි අපේ මහා කිවියර මුනිදාස කුමාරතුංගයන්ගේ ‘පිය සමර’ කවිවලට සමීප සම්බන්ධතාවක් දක්වන බව පෙනී යයි.

ජීවත් වූ අවධියේ පියා හා ගත කළ අවස්ථා, ජීවිතයේ අස්ථීර බව, මරණය කා හටත් ‍පොදු බව පිය වියෝවෙන් ඇති වූ කම්පනය කාව්‍ය සංග්‍රහ දෙකටම පොදු ඒවා බව පෙනෙයි.

මේ අනුමානය හා බැඳුණු රසවත් ඉතිහාසයක් ඇත.

ජෝර්ජ් මන්රිකේ කවියාගේ ‘පිය සැමරුම්’ කවි පෙළ කියවා එහි විශිෂ්ට බව වටහාගත් ඉංග්‍රීසි කිවියර ‍ලෝංෆෙලෝ Funeral Hymn නමින් පද්‍ය රචනා පෙළක් නිර්මාණය කළේය. විලියම් වර්ඩ්ස්වර්ත් කවියා විසින් මන්රිකේගේ කවි ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදි. ඒ නිර්මාණ දෙකටම වඩා ලොව ප්‍රචලිත වූයේ ඉංග්‍රීසි කිවියර තොමස් ග්‍රේගේ ‘Elegy written in a country churchyard’ පැදි පෙළයි. එවකට ඉතාලි, ලතින්, ජර්මන් ආදි භාෂා දැන සිටි බවත් ඒ ඒ භාෂා කතා කරන රටවල මධ්‍යකාලීන සාහිත්‍යය පිළිබඳ විශේෂයෙන් ඔහු හදාරා ඇති බවත් ග්‍රේගේ ජීවිත කතාවෙන් පැහැදිලි වේ. ග්‍රාමීය ලනිත් බසින් පැවැත එන බව කියන ස්පාඤ්ඤ භාෂාවෙන් ලියැවුණු මන්රිකේගේ කවි රචනා ඔහු විසින් රස විඳින්නට ඇති බව නිසැක ය. කෙසේ හෝ ග්‍රේගේ කවි නිර්මාණ පසුකාලීන කවීන්ගේ විශේෂ අවධානයට ලක් වූ බව කියැවේ. මෙලෙස ඇමිණුණු සබඳකම් මඟින් ග්‍රේගේ කවි සිංහලයට නඟා ඇති අපේ කිවියර කුමරතුඟුන්ගේ ‘පිය සමර’ කවිවලට මන්රිකේගේ කවිවල හෙවණැලි වැටුණා විය හැකිය. මෙකී නොකී කරුණු අනුව යුරෝපීය සාහිත්‍යයේ මෙන්ම ස්පාඤ්ඤ සාහිත්‍යයෙන් ද සුළුවෙන් හෝ ආභාසයක් මෙරට සාහිත්‍යයට බලපා ඇති බව පැහැදිලි වේ. ස්පාඤ්ඤ භාෂා අධ්‍යයනය හරහා ස්පාඤ්ඤ සාහිත්‍ය හා කලාව පිළිබඳ තවත් බොහෝ තොරතුරු සොයා ගත හැකිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.