රැඳී ඇත තවමත් ඔබ පිළිබඳ මතක සුවඳ... | සත්මඬල

රැඳී ඇත තවමත් ඔබ පිළිබඳ මතක සුවඳ...

(1931 ඉපිද 2009 නොවැම්බර් 11 වන දින දැයෙන් සමුගෙන දස වසරක් ගෙවන මේ අවස්ථාවේ සිංහල නාට්‍ය කලාවට කරන ලද ඉමහත් සේවය වෙනුවෙන් ඔහු හා‍ ඔහුගේ නාට්‍ය කිහිපයක් පිළිබඳ කෙටි විමසුමක් කෙරෙන මේ ලිපිය ඔහු වෙත ‍පිදෙන අනුස්මරණ උපහාරයකි.)

ආචාර්ය හෙන්රි ජයසේන යනු පසුගිය සියවසේ බිහි වූ සුවිශේෂ අග්‍රගණ්‍ය, ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ නාට්‍යවේදීන්ගෙන් එක් අයෙකි. ඔහු නාට්‍ය රචකයෙකි; අධ්‍යක්ෂවරයෙකි; පරිවර්තකයෙකි; ලේඛකයෙකි; නවකතාකරුවෙකි; කවියෙකි; රංගධරයෙකි. මෙවන් ක්ෂේත්‍ර කිහිපයක ම එක හා සමාන දස්කම් දක්වා ප්‍රසිද්ධියට පත් වූ තවත් කෙනෙකු නැති තරම් ය. සිනමාව හා ටෙලිනාට්‍ය කලාවල ද ඔහු ලබා ඇත්තේ අද්විතීය ස්ථානයකි. ඔහුට ප්‍රථම, වසර පහකට පෙර 2004දී දැයෙන් සමුගත් එමෙන්ම ‍ හෙන්රි ජයසේනන්ගේ සාර්ථක බව පිටුපස ඔහුගේ සෙවණැල්ලක් මෙන් සිටි දයාබර බිරිය වූ මානෙල් ජයසේන ද මෙහිදී සිහිපත් කරන අතර මේ ලිපියෙන් හෙන්රි ජයසේනයන් පිළිබඳ පමණක් කරුණු විමසීමට බලාපොරොත්තු වෙමි.

හෙන්රි ජයසේනයන් උපත ලබන්නේ 1931 ජුලි මස 06 වැනි දින ගම්පහ බැන්ඩියමුල්ල නම් වූ ග්‍රාමයේ ය. නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ඔහුට වරම් ලැබෙන්නේ ඔහු කොළඹ නාලන්දා විදුහලේ ඉගෙනීම ලබන අවධියේ ය. ඒ විදුහලේම ගුරුවරයකු වූ යූ. ඒ. එස්. පෙරේරා (සිරි අයියා) නිෂ්පාදනය කර ඒ විදුහලේම වේදිකාගත කළ ‘හරිස්චන්ද්‍ර’ නාට්‍යයේ රෝහණ කුමරුගේ චරිතය රඟපෑමට ලද අවස්ථාව නිසා ය. එවකට ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ සිරි අයියාගේ ළමා මණ්ඩපයේ කවි ගායනා කිරීමට හෙන්රි ජයසේනට පසුව වරම් ලැබිණි. අධ්‍යාපන කටයුතු ‍අවසන් කර 1951 වසරේ පදියපැලැල්ල ප්‍රදේශයේ දෙහිපේ ප්‍රාථමික පාසලේ උප ගුරුවරයකු ලෙස සේවය කරන අතර පාසලේ දරුදැරියන් හට පොත්පත් හා ලිපි ද්‍රව්‍ය රැගෙන දීමට එහි ගුරු මණ්ඩලය සහ සිසුසිසුවියන් යොදා ගනිමින් ‘රාමායණය’ නාට්‍ය ඇසුරෙන් ‘ජානකී’ නමින් වේදිකා නාට්‍යයක් කරළියට ගෙන එන ලදි. මෙහිදී සිදු වූ එක් අපූරු අවස්ථාවක් ගැන හෙන්රි පවසනවා මට මතක ය. නාට්‍යය වේදිකාගත කිරීමට සියලු කටයුතු අවසන් කර තිබූ නමුත් වේදිකා ආලෝකය පිළිබඳ මතක් වී ඇත්තේ නාට්‍ය රඟ දැක්වීමට පැයකට පමණ ප්‍රථම ය. විදුලි ආලෝකය ලබාගැනීමට කාලවේලා නොතිබුණෙන් වහා වහා ඒ අවට ගෙවල් කිහිපයකින්ම ‘පෙට්රෝ මැක්ස්’ ලාම්පු කිහිපයක් රැගෙන විත් වේදිකාවට ආලෝකය සපයා ඇත.

ඔහු ගුරු වෘත්තියෙන් සමුගෙන රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ලිපිකාර සේවයට යොමු වීමෙන් පසු ටී. බී. ඉලංගරත්නයන්ගේ ‘හඳහන’ නාට්‍යයේ චරිතයක් රඟපාමින් ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

ඉන්පසු 1953දී පී. බී. ෂෙරිඩන්ගේ ‘ද ‍රයිවල්ස්’ නම් වූ ප්‍රහසන නාට්‍යය ‘මනමාලයෝ’ නමින් පරිවර්තනය කර බොරැල්ල තරුණ බෞද්ධ ශාලාවේ වේදිකාගත කරමින් පරිවර්තකයකු ලෙස හා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රවිෂ්ට වීම ඔහුගේ දිගු නාට්‍ය දිවියේ පළමු කඩඉමයි. එයට පසු 1954දී ඔස්කා වයිල්ස්ගේ ‘ද වුමන් ඔෆ් නො ඉම්පෝටන්ස්’ (The woman of no Importance by Oscar Wilde) නාට්‍ය පරිවර්තනය කර ‘වැදගත්කම’ නමින් නාට්‍යයක් ද, 1955 ග්‍රීක නාට්‍යකරුවකු වන ඇරිස්ටෝෆාන්ස්ගේ ‘ක්ලවුඩ්ස්’ (Clouds by Aristophanes) යන නාට්‍යය පරිවර්තනය කර ‘ඇත්ත කුමක් ද?’ ලෙස ද වේදිකාගත කරන ලදි. 1956දී ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ නව යුගයක් උදාකරමින් වේදිකාගත වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ 1957දී මනමේ කුමරුන් ලෙස රඟපාන්න ලැබීම හෙන්රි ජයසේනයන්ගේ රංගන ජීවිතයේ එක් සුවිශේෂ අවස්ථාවකි.

හෙන්රි ජයසේනයන්ගේ පළමු ස්වතන්ත්‍ර නාට්‍ය වන්නේ ‘පව්කාරයෝ’ නාට්‍යයයි. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය නාට්‍ය කණ්ඩායම හා කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ නාට්‍ය කණ්ඩායම හා එක්ව 1959දී කෙරුණු නිෂ්පාදනයක් විය. මින් අනතුරුව හෙන්රි ජයසේනයන් විසින් නිෂ්පාදනය කරන ලද නාට්‍ය හතරක් තෝරාගෙන කෙටියෙන් ඒවා ගැනත්, ඒවා රඟ දක්වන අතරතුරදී සිදු වූ තරමක් අප්‍රකට අපූරු තොරතුරු සහ ඔහුගේ පරිවර්තන ශෛලය හා පරිණතභාවය ගැන විදහා දක්වන අවස්ථා දෙකක් ගැන ද මේ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ජනේලය (1961)

1956 වසරේ බිහි වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නිසා මෙරට නාට්‍ය කලාව නව මඟකට අවතීර්ණ විය. එතෙක් මෙරට පැවැති තාත්වික සම්ප්‍රදායෙන් යුත් නාට්‍ය මනමේවලින් පසු බිඳ වැටීම හේතුවෙන් බොහෝ අය ශෛලිගත සම්ප්‍රදාය අනුගමනය කරන්න විය. එහෙත් සමාජයේ විවිධ ගැටලු හා එහි පැවති විෂමතා ශෛලියගත සම්ප්‍රදාය මඟින් ගෙනහැර දැක්වීමට අසීරු බව බොහෝ විචාරකයන්ගේ මතය විය. ‍ හෙන්රි ජයසේනයන් විසින් එයට කදිම පිළිතුරක් ලෙස ‘ජනේලය’ ස්වතන්ත්‍ර නාට්‍යය නිෂ්පාදනය කළේ ය. දේශීය සංගීත භාණ්ඩ උපයෝගි කර ගනිමින් ගීතය හා සංගීතය යොදා ගනිමින් ශෛලිගත හා තාත්වික සම්ප්‍රදායන් දෙක අතර මැනවින් දෝලනය වන පරිදි එය නිර්මාණය කළේය. එය අතිශයින්ම සාර්ථක විය. 1961 වසරේ මේ නාට්‍යය කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් යොදා නිෂ්පාදනය කළ අතර 1962දී වෙනත් නළු නිළියන් යොදා ගනිමින් ‍කරළියට ගෙනාවේය. මේ නාට්‍යයේ එන රජයේ කන්තෝරුවක් පිළිබඳ දර්ශනයේ එහි සේවය කරන පියුන් (කාර්යාල කාර්ය සහායක) විසින් රංගනයක් සමඟ “මේක තමයි කන්තෝරුව, මං ඉපදුණ කන්තෝරුව” නමින් ගීයක් ගායනා කරයි. මේ දර්ශනය නාට්‍යයට ඇතුළු කරන විට එහි උචිත අනුචිත භාවය ගැන ඔහුට කිසියම් සාංකාවක් ඇති වුවද ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමරුන්ට වනාන්තරයේ යන විට ගීයක් ගායනා කිරීමට පුළුවන් නම් කන්තෝරුවේ පියුන් කෙනෙක් ගීතයක් ගායනා කිරීමේ ඇති වරද කුමක් ද යන සිතිවිල්ල ඒ තීරණයට සාධක වූ බව වරක් පවසන ලදි. රාජ්‍ය සේවකයකු ලෙස සිය කාර්යාල ජීවිතයත්, බෝඩිංකාරයකු ලෙස තම නවාතැනේ ගත කළ තම ජීවිතයත් අලළා සිය අත්දැකීම් මේ නාට්‍ය මඟින් පිළිබිඹු විය.

කුවේණි (1963)

මේ නාට්‍යය ද ‘ජනේලය’ මෙන් ශෛලිගත හා තාත්ත්වික සම්ප්‍රදායයෙන් බිහි වූ නාට්‍යයකි. මෙය 1963දී රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කළ අතර එහිදී හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම සංගීතය (එච්. එච්. බණ්ඩාර), හොඳම නිළිය (මානෙල් ජයසේන) යන සම්මාන හතරක් දිනා ගන්නා ලදි. හොඳම නාට්‍ය වශයෙන් ඇගයීමට ලක් නොවීම නිසා මේ උලෙළ සඳහා දැඩි විරෝධතාවක් ද එකල එල්ල විණි.

ඉතිහාසයේ එන විජය - කුවේණි පුවත කවුරුත් දන්නා එකකි. හෙන්රි ජයසේනට වුවමනා වූයේ ‍ලොව පවතින සදාතනික සත්‍යයක් නාට්‍යයක් ලෙස විජය කුවේණි පුවතින් ගෙනහැර දැක්වීමට ය. සාම්ප්‍රදායික කුවේණියට විජය කුමරා මුණගැසීමෙන් පසු ඇය විසින් ඔහුට රජකම ලබා දෙයි. ඔහුට දාව නිවුන් දරුවන් දෙදෙනකු ලබයි. නමින් ඔවුන් ජීවහත්ත සහ දිසාලා ය. පසුකලකදී විජය රජු කුවේණිය හා දරුවන් දෙදෙනා මාළිගයෙන් පිටමං කරයි. ‍ හෙන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යයෙන් පවසන අන්දමට මීට වසර 2500කටත් වඩා ඈත අතීතයක කුවේණියට අත් වූ ඒ ඛේදවාචකය, ඒ ඉරණම, අදත් අප රටේ පමණක් නොව මුළු ලෝකයේම සමහර මවුවරුන්ට අත් වන සදාතනික සත්‍යයකි. ඉතිහාසය අනුව කුවේණිය පිටමං කළාට පසු ඇය තම නෑදෑයන්ගෙන් සමාව අයැදීමට ගිය අවස්ථාවේ ඇයව ගල් මුගුරුවලින් පහරදී මරණයට පත් කරයි. එසේ ගොදුරු වන මුල්ම ස්ත්‍රිය ඇය විය හැකිය. එහෙත් පුරුෂයකු හා එක් වී ඔහුට දාව දරුවන් ලැබ ඔහු විසින්ම දරුවන් සමඟ පිටමං කරනු ලැබූ මුල්ම ස්ත්‍රිය කුවේණිය නොවනු ඇත.

ග්රූෂා

Simon Shashava I shall wait for you
Go calmly to battle soldier
The bloody battle, the bitter battle
From which not everyone returns
When you return I shall be there

 

යුද භටය යන යුදයට
ඉඳින්නෙමි මම ඔබ එනතුරා
යනුව නොපැකිළ සටනට
ලෙයින් නැහැවුණු කුරිරු යුද මැද
නොඑන මුත් සැමදෙන මිදි‍ඉන්
ඉඳින්නෙමි මම ඔබ එනතුරා

 

I shall be waiting under the green elm
I shall be waiting under the bare elm
I shall wait until the last soldier has returned
And longer
When you come back from the battle
No boots will stand at my door
The pillow beside mine will be empty
And my mouth will be unkissed
When you return, you will be able to say
It is just as it was

 

ඇහැළ ගස මල් ඵල දරන විට
ඇහැළ ගස යළි කොළ සලන විට
සිත සමයේ හිම වැටෙන විට
වසන්තයේ මල් කෙමි ඇදෙන විට
යන යුදට ඇය සැවොම එනතුරු
ඉන්පසුව වුය ඉඳිමි නිරතුරු
යෙහෙන් ගොස් යළි එනුව යහතින්
මඟ නොමඟ දෙව් සරණ ලබමින්

 

හෙන්රි ජයසේනයන් සංගීතඥයකු නොවීය. එහෙත් වේදිකා නාට්‍ය සංගීතය හා තනු කෙසේ විය යුතු ද යන්න පිළිබඳ මනා අවබෝධයක් තිබිණි. වේදිකා නාට්‍ය සංගීතය පිළිබඳ හොඳ ඉවක් තිබිණි. මේ නාට්‍යයේ අසඩක් ලෙස රඟපෑ හෙන්රිට ද ගීතයක් ගයන්න තිබේ. ‘හුනුවටයේ කතාව’ නාට්‍යයට සංගීත නිර්මාණය කළ ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතඥයාගේ ඒ සංගීතය හා ගී තනු අති විශිෂ්ට නිර්මාණ බව විචාරකයෝ පැවසූහ. හුනුවටයේ සාර්ථකත්වයට ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය අති ප්‍රබල සාධකයක් විය. අසඩක් විසින් ගයන ගීතයට තනුවක් නිර්මාණය කිරීමට ෂෙල්ටන් හට කීප වරක්ම ඔහු තැනූ තනු වෙනස් කරන්න සිදු විය. එයට හේතුව වූයේ හෙන්රිට අවශ්‍ය පරිදි එකම තනුවක්වත් නිර්මාණය නොවූ නිසා ය.

මේ කරුණ නාට්‍යයෙන් අපූරුවට සනාථ වනුයේ වර්තමාන කුවේණිය උසාවියට පැමිණ (නීතිඥයකු මඟින්) අතහැර ගිය තම සැමියා ලබා දෙන සේ විනිශ්චයකාරතුමන්ගෙන් අයදින ජවනිකාව මඟිනි. ඉතිහාසයේ කුවේණිය යක්ෂණියක ලෙස ගෙනහැර දැක්වුවත් හෙන්රි ජයසේනයන් පවසන්නේ ඇය සාමාන්‍ය මනුෂ්‍ය ස්ත්‍රියක බවයි. ඇය ගැන හෙන්රි මෙසේ කියයි:

“සදා කාලෙම ලොව පහළ වන
සදා කාලෙම ලොව පහළ වූ
කුවේණියමයි එකම ගැහැණිය
එදා උපනත් අද උපන්නත්”

 

හුනුවටයේ කතාව (1967)

හෙන්රි ජයසේනයන්ගේ විශිෂ්ටම පරිවර්තනය හා නිෂ්පාදනය ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කෝකේෂියානු හුනුවටය හෙවත් හුනුවටයේ කතාවයි. වසර පනස් දෙකක් තිස්සේ අඛණ්ඩව රඟ දක්වන මේ නාට්‍යයේ පරිවර්තනය, අධ්‍යක්ෂණය, රංගනය, සංගීතය, වේදිකා පසුතල ආදිය ගැන විවිධ අදහස් හා විවේචන රාශියක් මේ කාලයේදී විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වී ඇත. ඒ කරුණු ගැන යළි යළිත් ලියා දැක්වීමට වඩා මේ නාට්‍යය ආරම්භයේ සිටම අද දක්වාම රැඳී සිටින්නකු ලෙස මඳක් අප්‍රකට වූ තොරතුරු කීපයක් ගැන සඳහන් කිරීම වඩා උචිත යැයි මට හැඟිණි.

මේ නාට්‍යය කරළියට නැංවීමට අදහස් කළ පසු එය පරිවර්තනයක් ලෙස ඉදිරිපත් කරන්නේ ද අනුවර්තනයක් ලෙස ඉදිරිපත් කරන්නේ ද යන්න ගැන දෙගිඩියාවකින් සිටිය බව ඔහු පවසනු මට මතක ය. පරිවර්තනයක් ලෙස ඉදිරිපත් කළ හොත් නටාලියා අබෂ්විල්ලී, බයිසාරයෙන් කස්බේකි, නිකාමිගාර්ඩ්සේ, මීකාලෝලාඩ්සේ, ග්රූෂා, අසඩක් යන ජර්මන් නාම ලාංකේය ප්‍රේක්ෂකයන්ට ගෝචරවේද යන්න කීපවරක්ම සිතා බැලූ බව ඔහු පවසනවා මට මතක ය. එහෙත් අවසානයේ පරිවර්තනයක් ලෙස ඉදිරිපත් කිරීම වඩා වැදගත් වන බව වැටහී ඇත. ඒ නම් ගම් ජර්මන් බසින් ම තිබියදීම ප්‍රේක්ෂක ජනතාව මේ නාට්‍ය මොන තරම් ආදරයෙන් වැලඳ ගත්තා ද යන්න සනාථ වන්නේ මාතෘත්වය හෝ සාධාරණ උසාවි විනිශ්චයක් ගැන හෝ කියැවෙන හෝ ලියැවෙන විට ගෲෂා සහ අසඩක් යන නම් දෙක නිතැතින්ම උදාහරණ ලෙස යෙදුණ අවස්ථා බොහෝ ගණනක් අපට අසන්ට කියවන්න ලැබීම නිසා ය. ‍ හෙන්රි ජයසේනයන්ගේ පරිවර්තනය ගැන සඳහන් කළ යුතුය යන්න මට හැඟුණෙන් ඒ සඳහා අවස්ථා දෙකක් පමණක් මම තෝරා ගතිමි. පරිවර්තනය කෙතරම් සාර්ථක වූවද කිව හොත් නාට්‍ය නරඹන හෝ කියවන කිසිම කෙනකුට මේ විදේශ නාට්‍යයක් ය යන්න කිසිසේත් නොහැ‍ඟේ. ඔහු විසින් පරිවර්තනයේදී අපේකම ඉස්මතු කිරීමට බොහෝ සේ වෙහෙස දරා ඇත. එය සාර්ථක වී ඇත. ඉංග්‍රීසි පරිවර්තන පිටපතක ආධාරයෙන් සිංහලයට පරිවර්තනය කළ මේ නාට්‍යයේ එන පහත් සඳහන් අවස්ථා දෙක ගැන අවධානය යොමු කරනු මැන. අපේකම රැකෙන පරිදි මොන තරම් විශිෂ්ට ලෙස බ්‍රෙෂ්ට්ගේ කවීත්වය ද රැක ගනිමින් හෙන්රි තුළ පිහිටි ඔහුගේ කවීත්වය ද ඉදිරිපත් කරමින් අපූරුවට මෙලෙස ඔහු පරිවර්තනය කළ අයුරු විමසා බලන්න.

 

Limping Iron Shirt (නොන්ඩි සොල්දාදුවා)

Sadly to war, I went my way
Leaving my loved one at her door
My friends will keep her honour safe
Tilll from the war I am back once more
When neath a headstone I shall be
My love a little earth will bring
Here rest the feet that oft would run to me
And here the arms that oft to me would ding

 

යුද්දෙට මං ගියා
ගෑනි ගෙදර තියා
මගෙ යාළුවෝ මං එන තුරු
උන්දැ බලාගයි නිරතුරු
ස්වර්ගෙට ගිය කලේ
උන්දැ ඒවි බොලේ
අපොයි මගේ හා පැටිය
කියා අඬයි බොලේ

 

“මෙන්න මේ විදියට තනුවක් දාන්න පුළුවන් නම්” යැයි ඔහු අවසානයේ පැවැසීය. හෙන්රිගේ මනසේ වූ කිසියම් තනුවක් යාන්තමින් මිමිණුවේ ය. අද අපට අසන්න ලැබෙන අසඩක් ගයන “අත්තම්මේ මහඟු” නමින් ඒ ගීතයේ තනුව හෙන්රි විසින් මුමුනන ලද හඬ ෂෙල්ටන්ගේ නිර්මාණාශීලි ගුණයෙන් වඩාත් ඔප්නංවා තැනූ තනුවයි.

මාතෘත්වය දැරීම යනු දරුවන් බිහි කිරීම පමණක් ම නොව, මවක් දරුවා පෝෂණය කළ යුතුය; රැකබලා ගත යුතුය; යහමඟට යොමු කළ යුතුය; වැදූ මව හා හැදූ මව හමුවන්නේ ‘හුනුවටය’ නාට්‍ය හරහා ය. වැදූ මවට වඩා හැදූ මව මාතෘත්වය දැරීමට සුදුසු බව අසඩක් නඩුකාරයා තීරණය කරන්නේය. ඒ ගැන බ්‍රේෂ්ට් මෙසේ කියයි:

“What there is shall go to those who are good for it” හෙන්රි එය පරිවර්තනය කළේ මෙසේ ය:

“දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු”

ලෙස ය. බ්‍රේෂ්ට් එසේ පැවැසුවේ එදා එවැන්නක් ජර්මනියේ ද නොපැවැතුණු නිසා ය. අද අප රට දෙස බලන කල ද මෙහි සත්‍යතාව වඩාත් තහවුරු වේ.

අපට පුතේ මඟක් නැතේ? (1968)

මේ ස්වතන්ත්‍ර නාට්‍යය ‍ හෙන්රි ජයසේනයන් රචනා කර අධ්‍යක්ෂණය කර වේදිකාගත කරන ලද්දේ 1968 වසරේ ය. මේ නාට්‍යයට මූලබීජය සපයන්නේ 1967දී ‘Ceylon Observer” පුවත්පතේ පළ වූ පුවතක් ය. 1965 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඒ. එම්. සුමනදාස නමැති ශිෂ්‍යයෙක් ඇතුළු වේ. ඔහුගේ පදිංචිය පේරාදෙණිය ගැටඹේ ප්‍රදේශයි. ඔහුගේ පියා මියගොසින් ය. මව ගල්වළක කළුගල් තළන්නියකි. මවට තනිවම වියදම් දැරීමට නොහැකි වූයෙන් විශ්වවිද්‍යාලයෙන් ද ශිෂ්‍යාධාරයක් ඔහුට ලැබිණ. නොයෙකුත් අගහිඟකම්වලින් පිරුණු ඔහුට විශ්වවිද්‍යාලයේදී ද අසහනකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුව ඇත. පළමු වසරේ කඩඉම් විභාගයෙන් අසමත් වන ඔහුගේ ශිෂ්‍යාධාරය නවත්වන ලදි. උද්ගත වූ මේ කරුණු සියල්ල හේතුවෙන් ඔහු දිවි නසා ගන්නේ ය.

නාට්‍යයේ මංගල දර්ශනයට දින කිහිපයකට පෙර මේ නාට්‍යය ප්‍රදර්ශනය තහනම් කරන ලදි. එවකට සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය දැරුවේ ගත්කතුවරයකු වූ සාහිත්‍යවේදී අයි. එම්. ආර්. ඒ. ඊරියගාල්ල මහතා ය. පූර්ණ වේදිකා ආලෝකය සහිතව පුහුණුව අතරතුර ඇමැතිතුමා හමුවන ලෙස හෙන්රිට පණිවිඩයක් ලැබිණි. ඇමැතිතුමා තම සියලු කටයුතු පසෙකලා සම්පූර්ණ නාට්‍යය මුල සිට අග දක්වා කියවන ලදි. ඉන් අනතුරුව ඔහු මෙසේ පවසා ඇත:

“හෙන්රි මේ නාට්‍යය අපූරුවට ලියලා තියෙනවා. ඒත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය දර්ශනවල යොදා ඇති සමහර වචන හා වගන්ති කපා හරින්න කියලා මට කියන්න සිද්ධ වෙනවා.” එසේ පවසා ඔහුට අවශ්‍ය දේ පිටපතේ ම කපාහරින ලදි.

ම‍ගෝඩියෝ, තක්කඩියෝ, වන්දිභට්ටයෝ, හෙන්චයියෝ, බලධාරියා ආදි වචන හා තවත් වගන්ති කිහිපයක් ම අයින් කර රඟ දක්වන පොරොන්දුව පිට තහනම ඉවත් කරන ලදි. ප්‍රවෘත්ති පත්‍රවලින් ද තහනම හා එය ඉවත් කිරීම පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලැබිණි. සමහරු එය අර්ථකථනය කළේ නාට්‍යය ප්‍රචාරය කර ගැනීම සඳහා හෙන්රි විසින් කරන ලද උප්පරවැට්ටියක් ලෙසට ය. එහෙත් එය එසේ නොවේ. සිදු වූ සත්‍ය සිද්ධියයි මා ඉහතින් දැක්වූයේ.

තවත් එක්තරා අපූරු සිද්ධියක් මට මතක ය. එක් දවසක කොළඹ අවට විශ්වවිද්‍යාලයක මෙය රඟ දක්වන ලදි. නාට්‍ය අවසානයේදී විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ පිරිසක් හෙන්රි අසලට පැමිණි මෙසේ පැවැසූහ.

“අපට නාට්‍ය ගැන ඔබතුමා සමඟ කතා කරන්න ඕන”

“ඔව් මොනවද දැනගන්න ඕන” යැයි හෙන්රි ඇසීය.

“ඔබතුමා කියන්නේ මේ විශ්වවිද්‍යාල ප්‍රශ්නවලට එකම විසඳුම දිවිනසා ගැනීම කියල ද?”

යැයි තව කෙනෙක් තරමක් දැඩි ස්වරයකින් ඇසීය. හෙන්රි කිසි විටක කිසි දේකට කලබල නොවන කෙනෙකි. ඉතා සන්සුන් ලෙස කාරුණිකව මෙසේ පැවැසුවේය.

“මේ දරුවෝ මේ නාට්‍ය අවධානයකින් බලලා නැහැ. මේ ළමයි අහන ප්‍රශ්නයම තමයි මමත් නාට්‍යයෙන් අහන්නේ. ඒකයි මම නාට්‍යයේ නම අගට ප්‍රශ්නාර්ථයක් යෙදුවේ අපට පුතේ මඟක් නැතේ? කියලා. ප්‍රශ්නාර්ථයක් නැතුව කියෙවුවම අර්ථය සම්පූර්ණයෙන් වෙනස්. පුතේ අපට මඟක් නැද්ද? කියලයි මමත් අහන්නේ. මේ ළමයි හොඳින් සවන් දුන්න ද? ශිෂ්‍යයාගේ මව සොහොන අසලදී තනිවම කරන කථනයට. ඒ ටික මම ‍මේ දරුවන්ට දැං කියන්නම්. හොඳට අහගන්න.”

“සුදු ඇඳගත්ත සු‍ද්දවන්තයෝ ආවා උඹේ මළගමට. උඹට ඉන්න තිබ්බේ බලන්න. වැරදි කිව්වා හැමෝටම. මම වැරදි කියන්නේ නැහැ ඒ කාටවත්. පුතේ මට සමාවෙයන්. මං වැරදි කියන්නේ උඹට විතරයි. උඹට වැරදි කිව්වට මං එක්ක තරහා වෙන්න එපා මගේ පුතා. වෙන කාට වැරදි කියන්න ද මම. ඇයි පුතේ උඹ බය වුණේ. ඩිංගක් දුක් හිරිහැර විඳින්න. ඒ ටිකවත් උඹ ඉගෙන ගත්තේ නැත් ද මගෙන්. මට මේවා වෙනස් කරන්න බෑ මගේ පුතේ. ඒත් මම ජීවත් වෙනවා. මගේ මාළිගාව බිඳ වැටුණා. ඒත් මම ජීවත් වෙනවා. උඹත් කියාපන් මට ජීවත් වෙන්න කියලා. උඹ වගේ තවත් පැටියෝ ලෝකයේ ඉන්නවා කියපන්. උන්ට මොනහරි කියන්න මට කියා දෙන්න මගේ පුතා. උඹ කළ දේ වැරදි කියන්න මගේ පුතා. සමාවෙයන් මට. දෙයියනේ, වෙන මොනවා කියන්න ද”

උණුසුම් වාදයක් කරන්න හිතාගෙන ආපු ඒ පිරිස‍ හෙමින් සැරේ එතනින් යන්න ගියා.

මේ නාට්‍යයේ ද සියලු ගීතවලට මා පෙර සඳහන් කළ පරිදි වේදිකා නාට්‍ය ගීත ගැන ඔහු තුළ තිබූ ඉව ඔස්සේ ලෙස්ලි ෆොන්සේකා නමැති සංගීතඥයා සමඟ තනු නිර්මාණය කළේය.

හෙන්රි ඉතා සොඳුරු මිනිසෙකි; වරෙක පියෙකි; වරෙක සහෝදරයෙකි; තවත් වරෙක හිතමිතුරෙකි; එසේත් නැත්නම් ගුරුවරයෙකි; හොඳ පරිසර හිතකාමියෙකි; කේන්තියක් යන්නේ සාධාරණ හේතුවක් නිසා ය. හරි වේලාවට සූදානම් වී පුහුණුවීම්වලට නොපැමිණීම, නාට්‍ය තුළ වේදිකාව මත හෝ ඉන් පිට හෝ විනය කඩකිරීම් ආදි කරුණුවලට ඔහුට කේන්ති යන්නේ ය. ඒත් ඒ සුළු මොහොතකට පමණි. මේ සුවිශේෂ නාට්‍යකරුවා ගැන ලිවීමට තව බොහෝ දේවල් ඇත.

ගරු ඇදුරුතුමනි
හෙළ නාට්‍ය කලාවට
ඔබ දායාද කළ
මිණිකැට වන් බඳු ඒ නාට්‍ය සමූහය
අමරණීයයි - අතිවිශිෂ්ටයි
නිවී ඇතත් ඒ පහන අද
වේදිකාව එකලු කළ
රැඳී ඇත එහි තවමත්
ඔබ පිළිබඳ ඒ මතක සුවඳ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.