පොදු ජනයාට රසවිඳිය හැකි නාට්‍ය සම්ප්‍රදායක්... | සත්මඬල

පොදු ජනයාට රසවිඳිය හැකි නාට්‍ය සම්ප්‍රදායක්...

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914-1996) උගත් ප්‍රේක්ෂකයන්ට පමණක් නොව එතරම් උගත්කමක් නැති සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට ද රසවිඳිය හැකි නාට්‍ය නිෂ්පාදනය කළ නාට්‍යකරුවෙකි. ඔහුගේ ‘වෙල්ලවැහුම්’ හා ‘ඒකට මට හිනා හිනා’ යනු එබඳු නාට්‍ය දෙකකි. ඒ නාට්‍ය පළමුවරට වේදිකාගත කොට ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුළු සේවකයන්ගේ සංගමයේ එනම් අනධ්‍යයන කනිෂ්ඨ සේවක සංගමයේ සාමාජිකයන්ගේ මාර්ගයෙනි. එහි ස්ත්‍රී චරිත රඟපාන ලද්දේ පිරිමින් විසිනි. ‘වෙල්ලවැහුම්’ නාට්‍යය වර්ෂ 1960 මාර්තු මස 24 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රඟමඬලේදී ප්‍රථමවරට රඟ දැක්විණි.

‘වෙල්ලවැහුම්’ නාට්‍යය මෙරට ජනප්‍රිය ජනකතාවක් ආශ්‍රයෙන් රචනා කරන ලද්දකි. එය තමා ලියා නිෂ්පාදනය කළේ ගැමි නාටක වෙ‍ෙසසක් ‍ෙවන සොකරි නාට්‍ය ශෛලිය ආදර්ශ කොටගෙන බව එහි කතුවරයා පවසයි. ඒ නාට්‍යය උදෙසා සංගීතය නිර්මාණය කෙළේ ජයන්ත අරවින්ද වන අතර, වෙස් නිර්මාණය මහාචාර්ය සිරි ගුනසිංහ (1925-2017) විසිනි.

‘වෙල්ලවැහුම්’ නාට්‍යය ආරම්භ වනුයේ යාතිකාවක ස්වරූපය ගත් ප්‍රස්තාවනාවකිනි. එහි ආරම්භය හා අවසානය මෙසේය:

“සසිරි බර මෙ සිරි ලක, එකෝමත් එක ගමක, හැලය යන නමින් යුත්, මහලු අඳ ගොවි කෙනෙක්, සමඟ මහලු අඹුවත්, බිං කොටා ගොවිතැනින්, වේල කා යන්තමින්, හදා වඩා දූවරුන් දෙන්නෙකුත් දීග දුන්, . . . . දෙතිස් වන අන්තරා, දුරින් දුරු කර හැරා, එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා, දිනේ මතු දිනේවා.”

තවද එමඟින් නාට්‍යයේ කතා පුවත මතු දැක්වෙන අයුරු කෙටියෙන් අනාවරණය කෙරේ. සශ්‍රීකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ එක්තරා ගමක හැලයා යන නමිත් යුත් දෙකෙන් පංගුවට වැඩ කරන මහලු ගොවියෙක් තම මහලු අඹුවත් සමඟ දුෂ්කර දිවිපෙවෙතක් ගත කරමින් සිටියි. ඔවුන්ගේ දීග දුන් දූවරුන් දෙදෙනා වාසය කරනුයේ වෙනත් ස්ථාන දෙකකයි. දිනක් හැලයාට තම ලොකු දූ දැකගැනීමට ආශාවක් ඇති වී ඔහු ඇගේ නිවෙසට යයි. එවිට ලොකු දූ කුලය ගැන සලකා බලා තමාට කර දුන් විවාහය ගැන ඔහුට දොස් නඟන්නත් බැණ වදින්නත් පටන් ගනියි. ඉන් කලකිරීමට පත් වන ඔහු ඉන් පිට වී බාල දූගේ නිවෙසට යයි. බාල දූ ඔහු සාදරයෙන් පිළිගෙන ඔහුට ‘වෙල්ලවැහුම්’ නම් රසකැවිලි වර්ගය සාදා දෙයි. ඒ රසකැවිලි කා ඉමහත් ප්‍රීතියට පත් වන ඔහු තම නිවෙස බලා ආපසු යයි. එසේ යන අතර ඔහුට තමා කෑ රසකැවිලි වර්ගයේ නම අමතක වෙයි. ආපසු ගෙදර ගිය ඔහු සිය අඹුව අමතා තමාට ඒ රසකැවිලි වර්ගය සාදා දෙන මෙන් කියා සිටියි. තමා කෑ රසකැවිලි වර්ගය හැඳින්වීමට වැරැදි නමක් යෙදීම හේතු කොටගෙන සැමියා හා අඹුව අතර මහත් අරගලයක් හට ගනියි. අවසානයේදී දේව අනුහසින් සියලු කලකෝලාහල සමථයකට පත් වේ. එහි රැස්ව සිටින සියලු දෙනාට සියලු ආතුරයන්ටම රෝගබිය සතුරුබිය ආදි ව්‍යසනයන්ගෙන් තොරව දීර්ඝ කාලයක් නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රස්තාවනාව නිමාවට පත් වේ.

ප්‍රස්තාවනාවට අනතුරුව ආරාධනාවයි. එමඟින් තෙරුවන් සරණ යමින් සිද්ධ පත්තිනි දෙවිඳුන් යදිමින් පිරිසිදු සිතින් කෙරෙන රැඟුම දැන් ඇරැඹෙන බව එළිසම පද්‍යයකින් ප්‍රකාශයට පත් කෙරේ. ඉන් පසු පොතේ ගුරු එළිසම පද්‍ය දෙකක් ගායනා කරයි. ඒ පද්‍ය මඟින් හැලයා තම ලොකු දූගේ නිවෙසට ගොස් ආ බවත් බාල දූගේ නිවෙසට යෑමට බලාපොරාත්තු වන බවත් කියවේ.

පොතේ ගුරු: ආ බං හැලයො, බෑරක් ද යන්නෙ? මේ කඩිමුඩියෙ?

හැලයා: බොට මොකටද එව්ව? මට ඕන දිහාවකට මං යනව. උඹ හිටපං උඹේ පාඩුවෙ.

පොතේ ගුරු: ඇයි බාං උඹ ඔය හැටි තරහ ගන්නෙ? උඹේ හොඳටනෙ ඇහුවෙ.

හැලයා: . . . . . අපි ඒක දන්නව.

පොතේ ගුරු: හැබෑ ද උඹ ලොකු දූ බලන්න ගිය වෙලාවෙ උඹට කන්නවත් දුන්නෙ නැතෙයි කියන එක.

හැලයා: ඒක නං එහෙම තමයි. ඉතිං මොනව කරන්නද?

පොතේ ගුරු: මොකද එහෙම කෙරුවෙ? දෑවැද්දවත් මදිවෙලාද?

හැලයා: දෑවැද්ද? උන්දැට මං දුන්න දෑවැද්දක් නෑ. මොකට ද මං උන්දලට දෑවැද්ද දෙන්නෙ?

පොතේ ගුරු: ඇයි බාං, දූල දෙන කොට දෑවැද්දක් දෙන එක සිරිතක්නෙ.

හැලයා: මගේ එහෙම සිරිතක් නෑ. මගේ දූලත් එක්ක දීගයන්න ඕන නම්, ඒ මිනිස්සු එපාය මට දේපල දෙන්න.

පොතේ ගුරු: ඒක නං හොඳ සිරිතක් තමයි.

හැලයා: නැත්තං?. . . . .

පොතේ ගුරු: උඹ අනිත් දුව බලන්නය ඔය යන්නෙ?. . . . . .

හැලයා: උන්දැව නං මං දීග දුන්නෙ නෑ. උන්දැ පැනල ගියා.

මෙසේ ටික වේලාවක් කතාබහ කරමින් සිට හැලයා එතනින් නික්ම යයි. ඉන් පසු පොතේ ගුරු එළිසම පද්‍ය කිහිපයක් ගායනා කරයි. ඒ පද්‍ය මඟින් හැලයාගේ බාල දූ වන කල්ලි එහි පැමිණ වෙල්ලවැහුම් සෑදීමට සූදානම් වන ආකාරය විස්තර කෙරේ. තවද කල්ලිගේ සැමියා වන ගොහොදා එහි අවුත් වෙල්ලවැහුම් සෑදීමට අවශ්‍ය කරන පිටි කෙටීම ආදි විවිධ ක්‍රියාවල නිරත වන ආකාරය විස්තර කෙරේ. පද්‍ය ගායනා කරන අතර නළුවෝ ඒ ඒ ක්‍රියා අනුකරණයෙන් දක්වති. අනතුරුව පොතේ ගුරු, ගොහොදා හා කල්ලි අතර කතාබහක් ඇති වේ.

පොතේ ගුරු: ඈ බොල ගොහොදා, උඹට ලැජ්ජ නැද්ද පිටි කොටන්න? ගෙවල්වල ගෑනුනෙ පිටි කොටන්නෙ? පිරිමි පිටි කොටනවය?

ගොහොදා: ඔව්, ඒක ඇත්ත තමයි. බොල කල්ලි, මට බෑ පිටි කොටන්න. උඹට ඕනැ නං කොටා ගනිං.

කල්ලි: පිටි කොටන්න බෑ? එහෙනං වෙල්ලවැහුම් ඕනැ නැද්ද?

ගොහොදා: පිටි කොටන්නෙ ගෑනු නේ? පිරිමි පිටි කොටනවය?

කල්ලි: හොඳයි, එහෙනම් මං කොටා ගන්නං, හැබැයි උඹට එහෙම දෙන්නෙ නෑ වෙල්ලවැහුම්.

ගොහොදා: මට ඕනැ නෑ වෙල්ලවැහුම්. උඹට ඕන නං මම පිටි ටික හලාල දෙන්නං.

කල්ලි: පිටි හලන්නෙ ගෑනු නෙ. උඹ ඔහොම බලාගෙන හිටපං, පිරිමියා වගේ.

කල්ලි වෙල්ලවැහුම් සාදමින් සිටින අතර හැලයා එහි පැමිණෙයි. එවිට ඇය ගොහොදාගේ වෙල්ලවැහුම් පංගුවත් අප්පච්චිට දිය හැකි බව සිතා සතුටට පත් වෙයි. කල්ලි වෙල්ලවැහුම් පහක් ම සාදා හැලයාට ගෙනත් දෙයි. හැලයා වෙල්ලවැහුම් කකා රසවිඳින අතර ගොහොදා තොල් මර මරා එදෙස බලා සිටියි. පොතේ ගුරු එළිසම පද්‍ය දෙකකින් එය විස්තර කොට ඇත්තේ මෙසේය.

වෙල්ලවැහුම් කකා හැලය සතුටු වෙමින් යන්නේ

තල්ල හොඳට තලු ගහ ගහ ඇස් කරකවමින්නේ

ලොල්ල වෙමින් බලා සිටින ගොහොදට නොලැබෙන්නේ

කෙල්ල මේව කොහොමද උඹ හදන විදිය දන්නේ

 

තත්දිත් තොන්නං කියලයි හැලය නටා යන්නේ

චව් චව් චව් චව් කියලයි වෙල්ල වැහුම් කන්නේ

ගුඩුස් ගුඩුස් ගුඩුස් කියා විජහට ගිල ගන්නේ

තත් තත් තත් තත් කියලයි තලු ගහ ගහ ඉන්නේ

අනතුරුව පොතේ ගුරු ගායනා කරන එළිසම පද්‍යයකින් හැලයා තම අඹුව වන වෑජ්ජමී ලවා වෙල්ලවැහුම් සාදවාගැනීමේ අපේක්‍ෂාවෙන් ගෙදර යෑමට සූදානම් වන බව පැවැසේ. තවද ඒ රසකැවිලි වර්ගයේ නම සිහියේ තබාගැනීම ඔහුට දුෂ්කර හෙයින් ඔහු එය නැවත නැවතත් කිය කියා සිටින බවත් හෙළි වේ.

හැලයා, “වෙල්ලවැහුම්, වෙල්ලවැහුම් ...” කිය කියා යන අතර පොල් පිත්තකට පය පැටලී ඇදවැටේ. ඔහු ඇදවැටෙන විට “හොත්තෙරි පංචං” කියා ඔහුගේ කටින් පිට වේ.

 ඒත් එක්කම ‘වෙල්ලවැහුම්’ යන නම ඔහුට අමතක වේ. ඒ වෙනුවට “හොත්තෙරි පංචං” යනුවෙන් නැවත නැවතත් කිය කියා ඔහු ඇවිදගෙන යයි. ස්වල්ප වේලාවකින් තම නිවෙසට එන හැලයා තම අඹුව අමතා මෙසේ කියයි:

හැලයා: හොත්තෙරි පංචං, විජහට හොත්තෙරි පංචං හදල දියං, මට කන්න ඕන හොත්තෙරි පංචං. උඹ කවදාවත් හදන්නෙ නෑ. උඹට බැරි ද එහෙම කෑමක් හදන්න, ඉඳල හිටලවත්, මාව හැමදාම බඩගින්නෙ තියන්නෙ නැතුව?

වෑජ්ජමී: අනේ මම නං අහල නෑ ඔහොම කෑමක් ගැන. මොනවද ඒ? මැල්ලුමක් ද බැදුමක් ද? නැත්තං වෑංජනයක් ද? කිරට ද හදන්නෙ? මිරිසට ද?

හැලයා: කිරට මිරිසට හදන එකක් නෙවේ බං, පැණි රහ ජාතියක්.

වෑජ්ජමී: හොත්තෙරි පංචං කියල පැණි රහ ජාතියක්? කවුද උඹට ඕක කිව්වෙ? මුන්දැට නං යස්ස දෝසයක් ද කොහෙදෝ වෙන්න ඇති. උඹ කොහෙ ගිහිල්ල ද මේ එන්නෙ? ඒක කියාපං.

හැලයා: . . . . . මං කල්ලි බලන්න ගිහිල්ල එන්නෙ. උන්දැ තමයි මට හදල දුන්නෙ හොත්තෙරි පංචං.

වෑජ්ජමී: උඹ ඉර මුදුන් වෙලාවෙ ද පිටත් වෙලා ආවෙ?

හැලයා: ඉර මුදුන් වෙලාවෙ? ඔව්, මොකද ඉතිං?

වෑජ්ජමී: ඒක තමයි කාරණේ. යස්සයෙක් ගහල තියෙනව.

හැලයා: උඹට මං උගන්නන්නං යස්සයො ගහන හැටි. . . . . උඹේ ඔළුව පොඩි කරනව මේකෙං, හොත්තෙරි පංචං හදල දුන්නෙ නැත්තං.

හැලයා මෝල් ගහක් ගෙන ඇයට තළන්න සූදානම් වන අතර වෑජ්ජමී ද කොහු මිටක් ගෙන ඔහුට පහර දෙන්න ලෑස්ති වෙයි. ඒ අවස්ථාවෙහි අසල සිටි පිරිමියෙක් හා ගෑනු දෙන්නෙක් එහි පැමිණෙති. පිරිමියා එසේ දබර කරගැනීමට හේතුව විමසයි. තම අඹුව කවරදාකවත් තමාට රහට කෑමක් සාදා නොදෙන බව හැලයා පවසයි. එයට පිළිතුරු දෙන වෑජ්ජමී තමා අහලාවත් නැති කෑමක් සාදා දෙන ලෙස ඔහු බල කරන බව කියා සිටියි. නිතර නිතර සැමියා සමඟ ගැටුම් ඇති කරගැනීම ගැන වෑජ්ජමීට ගැහැනු දෙදෙනාම දොස් නඟති. ඉන් කෝපයට පත් වන වෑජ්ජමී කොස්සක් ගෙන ඉන් පහර දීමට සූදානම් වෙයි. එවිට ඔවුහු එතනින් පිටවී යති. එසේ පිට වී යන අතර එක් ගැහැනියක්, “උන්දැගෙ කට හරියට වෙල්ලවැහුමක් වගෙ” යනුවෙන් පවසයි. එය ඇසුණු විගසම හැලයාට ඔහු කැමැති රසකැවිලි වර්ගයේ නියම නම සිහිපත් වේ.

වෑජ්ජමී: මගේ කටලු වෙල්ලවැහුමක් වගේ තියෙන්නෙ. මං උන්දැට කියන්නෙ නැහැ.

හැලයා: උන්දැ කියාපු එක තමයි හරි.

වෑජ්ජමී: මොනව? උඹත් මට නං හදනවද? බලාගනිං මගේ අතේ කොහුමිට.

හැලයා: නැහැ, නැහැ, ඒක නෙවේ, ඒ ගෑනි කියාපු නම හරි. වෙල්ලවැහුම්. (ඈ ඔහුට ගහන්ට සැරසෙයි.)

වෑජ්ජමී: මම උඹට වෙල්ලවැහුමක් දෙනව.

හැලයා: මං කිව්වෙ, වෙල්ලවැහුම් හදන්නෙයි කියල. හොත්තෙරි පංචං නෙවෙ.

වෑජ්ජමී: වෙල්ලවැහුම් හදන්නෙයි කිව්ව?

හැලයා: ඔව්, වෙල්ලවැහුම් තමයි මට කල්ලි හදල දුන්නෙ. ඒව තමයි මම ඉල්ලුවෙ.

වෑජ්ජමී: ඉතිං එහෙම කියාපංකො. උඹ මෙහෙ ඇවිල්ල දෙඩෙව්වම මම දන්නවයැ?

හැලයා: මට නම මතක නැතිවුණා බං.

අනතුරුව ඔවුන් දෙදෙනා සාමකාමී ලෙස කතාබහ කිරීමට පටන් ගනිති. වෙල්ලවැහුම් සෑදීම පිණිස පැණි ටිකක් හා පොල් ගෙඩියක් ගෙනැත් දෙන ලෙස වෑජ්ජමී හැලයාට කියයි. එවිට හැලයා නට නටා පිට වී යයි. ඉන් පසු පොතේ ගුරු කරළියට අවුත් වෙල්ලවැහුම් සෑදීම පිළිබඳ එළිසම පද්‍ය සතරක් ගායනා කරයි. ඒ පද්‍ය ගායනා කරන අතර වෑජ්ජමී වෙල්ලවැහුම් සාදන ආකාරය අනුකරණය කොට දක්වයි.

ඉන් පසු හැලයා නැවතත් කරළියට එයි. වෑජ්ජමී තමා වෙල්ලවැහුම් පහක්ම සෑදූ බව ඔහුට දන්වයි. වෙල්ලවැහුම් පහ බෙදාගන්නා ආකාරය පිළිබඳ දෙදෙනා අතර කතාබහක් ඇති වේ. හී හාන්නේ, පුරං කොටන්නේ, ගොයම් පාගන්නේ තමා නිසා වැඩි කොටසක් තමාට හිමි විය යුතු බව හැලයා කියයි. වී වේළන්නේ, වී කොටන්නේ, හාල් පොළන්නේ, පිටි කොටන්නේ, පිටි හලන්නේ තමා බැවින් වැඩි කොටසක් තමාට හිමි විය යුතු බව වෑජ්ජමී කියයි. මෙසේ ටික වේලාවක් වාද කරමින් සිට අවසානයේදී ඔට්ටුවක් ඇල්ලීමට දෙදෙනාම තීරණය කරති. එනම් වැඩි වේලාවක් කතා නොකර සිටින කෙනාට වැඩි වෙල්ලවැහුම් ගණනක් දීමට දෙදෙනාම එකඟ වෙති. ඉන් පසු ඇඳන් දෙකක් ඔසවාගෙන අවුත් දෙදෙනාම නින්දට වැටෙති. එවිට පොතේ ගුරු පැමිණ එළිසම පද්‍ය පහක් ගායනා කරති. ඉන් දෙකක් පහතින් දැක්වේ.

කතා නොකර නිදා ගනින් මගෙ හොඳ හැලයානෝ

නිදා ගත්ත තරමට බොට වාසියි හැලයානෝ

කතා නොකර නම් බෑ උඹෙ ගෑනිට හැලයානෝ

බෙදා දෙන්නෙ වෙල්ල වැහුම් උඹටයි හැලයානෝ

 

දෙන්න එක්ක ගොරව ගොරව සිටිති බුදිය ගෙන

අන්න හරම කතා නොකර ඇස් දෙක වහ ගෙන

ඔන්න හැලය ඇස් ඇරගෙන හොරෙන් බලා ගෙන

කන්න හිතේ ඇති හොඳටම වෙල්ල වැහුම් ගෙන

ඔවුන් දෙදෙනා බොහෝ වේලාවක් නිදාගෙන සිටීම ගැන අසල්වැසියෝ පුදුමයට පත් වෙති. හදිසියේම එක් ගැහැනියක් එහි ඇතුළු වෙයි. හැලයා සහ ඔහුගේ අඹුව මිය ගොස් ඇතැයි ඇයට සිතේ. එහෙයින් කිසිවක් රැගෙන යෑමට තීරණය කරන ඈ එහි තිබෙන හිරමනය අතට ගනියි. එවිටම මෙන් තවත් ගැහැනියක් එහි පිවිසෙයි. දෙදෙනාම ටික වේලාවක් කතාබහ කරමින් සිටිති. පසුව පැමිණි ගැහැනිය එහි තිබෙන ඇතිලියක් හා නෑඹිලියක් රැගෙන යෑමට සූදානම් වෙයි. එවිට මුලින් පැමිණි ගැහැනිය මෙසේ පවසයි:

“මෙව්ව ගෙනියන්න ගියොත් මිනිස්සු හිතාවි මොකොද කියල. මෙහේ හංගල තියලා අපි හයියෙං අඬමු. මිනිස්සු ඇවිත් පිරුණම ඕන එකක් අරගෙන යන්න පුළුවන්.”

ඉන් පසුව පසු දෙදෙනාම මෙසේ කියමින් අඬන්නට පටන්ගනිති.

“අනිච්චං දුක්කං, හැලයයි වෑජ්ජමීයි මැරිල! හැලය කොච්චර හොඳ මිනිහෙක්දෝ! අනේ උන්දලට නිවන් සැප ලැබේවා!”

අනතුරුව තවත් ගැහැනියක් ද පිරිමියෙක් ද පිවිසෙති. ඒ ගැහැනියත් අඳෝනා නඟමින් අඬන්න වෙයි.

එවිට පිරිමියා මෙසේ පවසයි:

“ඔය ඇඬිල්ල නවත්තපල්ල. ඉතිං මොකද කරන්නෙ? මැරිලනං අමු සොහොනට ගෙනිහිල්ල දාන එකනෙ තියෙන්නෙ.”

ඉන් පසු පිරිමි දෙතුන් දෙනෙක් පැමිණ හැලයා හා වෑජ්ජමී නිදා සිටි ඇඳන් ඔසවාගෙන යති. එවිට කරළියට එන පොතේ ගුරු එළිසම පද්‍ය පහක් ගායනා කරයි. ඒ පද්‍ය මඟින් මළවුන් අමු සොහොනට ගෙන යෑම පිළිබඳ විස්තර කෙරේ. තවද මවුපියන්ගේ හදිසි මරණය ගැන අසා හැලයාගේ ලොකු දූ ද බාල දූ වන කල්ලි හා ඇගේ සැමියා වන ගොහොදා ද එහි පැමිණි බවත් පැවැසේ.

මවුපියන්ගේ හදිසි මරණය ගැන අසා එහි පැමිණි ලොකු දූ හා බාල දූ වන කල්ලි අතර කතාබහක් ඇති වේ. ඒ මරණය පිළිබඳ දෙදෙනා එකිනෙකාට දොස් පවරා ගනිති. කල්ලි පියාට සාදා දුන් වෙල්ලවැහුම්වලට වහ දමා තිබෙන්න ඇතැයි ලොකු දූ පවසයි. ඉන් කෝපයට පත් වන කල්ලි එයට මෙසේ පිළිතුරු දෙයි:

“උඹ කියන බොරුවලට උඹට හෙණ ගහන්න ඕන. මැරිච්ච මිනිස්සු වුණත් නැඟිටල ඒවි මෙහෙම පට්ටපල් බින්න දොඩන කොට.”

එවිට මෙතෙක් වෙලා නිදාගත්තාක් මෙන් සිටි හැලයාට, වැඩි වේලාවක් කතා නොකර සිටීටම තම අඹුවත් සමඟ ඇල්ලූ ඔට්ටුව පිළිබඳ අමතක වෙයි. ඔහු වහාම නැඟිට මෙසේ පවසයි.

“හැලයා: උඹ මොකද බං කල්ලිට ඔහොම බනින්නෙ? උඹ නේද මාව බඩගින්නෙ තිබ්බෙ, වංසෙ කබල් ගානවයි කිය කියා.

වෑජ්ජමී: (වහා නැඟිට) මම කනව ඔක්කොම. උඹ කිව්වෙ මට ඔක්කොම කන්නෙයි කියලනෙ.

(සියලු දෙනාම ‘අපිව කනවෝ, අපිව කනවෝ’ කියා කෑ ගසමින් දුවයති.)

හැලයා: ආං උඹට බය වෙලා ඔක්කොමලා එක්ක පැනල ගියා.

වෑජ්ජමී: උඹටයි බය වුණේ, මට නෙවේ. උඹනෙ ඉස්සෙල්ල කතා කෙරුවෙ.

හැලයා: කතා නොකර ඉන්න පුළුවන් ද, අරකි කියපු පල් බොරු අහගෙන?

වෑජ්ජමී: උඹ මහ ලොකුවට මට බැන්නට, අන්තිමට කට තියාගෙන ඉන්න බැරි වුණේ උඹට ද මට ද?

වෙල්ලවැහුම් කන්නෙ කවුද

බැරි සිල් උඹ ගත්තෙ මොටොද

කතා නොකර සිටියෙ කවුද

නිදං ඉන්න බැරි කාට ද?

හැලයා: මට වෙල්ලවැහුම් එකක්වත් දියන්. උඹ ඔක්කොම කෑවොත්, මම කෙළ ගිලිනව.

වෑජ්ජමී: (ඔහු වටේ නට නටා)

පොඩ්ඩක්වත් දෙන්නෙ නැතෝ

කපුටු මාල්ලට දෙනවෝ

මම දිනුවෝ මම දිනුවෝ

වෙල්ලවැහුම් මම කනවෝ

 

අනතුරුව පොතේ ගුරු කරළියට අවුත් එළිසම පද්‍ය නවයක් ගායනා කරයි. පළමු වැනි පද්‍යය මඟින් හැලයා ඔට්ටුව පැරදුණු හෙයින්, ඔහුට වෙල්ලවැහුම් පොඩ්ඩක්වත් නොදෙන බව කියමින්, ඔහුට විහිළුතහළු කරමින්, වෑජ්ජමී නටනටා ආපසු ගෙදර බලා යන බව පැවැසේ. තුන්වැනි පද්‍යය මඟින් නාට්‍යය කෙළවර කිරීම පිණිස සියලු නළුවන් කරළියට අවුත් නටනටා තෙද පත්තිනි දෙවිඳුගේ අනුහසින් දොස් දුරු කරනු පිණිස වෙස් මුදාහරින බව දැනුවත් කෙරේ. ඉන් පසු පොතේ ගුරු ගායනා කරන එළිසම පද්‍ය මඟින් චරිත නිරූපණය කරන නළුවන් එකිනෙකා කරළියට අවුත් නටමින් වෙස් මුදාහරින අයුරු දැක්වේ.

පළමුකොටම හැලයා ලෙස රඟපාන නළුවා කරළියට අවුත් නටමින් අඹ පත්තිනි දෙවිඳුගේ අනුහසින් දොස් දුරු කරනු පිණිස තම වෙස් මුදාහරියි. දෙවනුව වෑජ්ජමී ලෙස රඟපාන නළුවා කරළියට අවුත් නටමින් මල් පත්තිනි දෙවිඳුගේ අනුහසින් දොස් දුරු කරනු පිණිස තම වෙස් මුදාහරියි. තෙවනුව හැලයාගේ ලොකු දූ ලෙස රඟපාන නළුවා කරළියට අවුත් නටමින් සිද්ධ පත්තිනි දෙවිඳුගේ අනුහසින් දොස් දුරු කරනු පිණිස තම වෙස් මුදාහරියි. සිව්වනුව හැලයා ගේ බාල දූ හෙවත් කල්ලි ලෙස රඟපාන නළුවා කරළියට අවුත් නටමින් ගිනි පත්තිනි දෙවිඳුගේ අනුහසින් දොස් දුරු කරනු පිණිස තම වෙස් මුදාහරියි. පස්වනුව කල්ලිගේ සැමියා හෙවත් ගොහොදා ලෙස රඟපාන නළුවා කරළියට අවුත් නටමින් ජල පත්තිනි දෙවිඳුගේ අනුහසින් දොස් දුරු කරනු පිණිස තම වෙස් මුදාහරියි. ඉන් පසු සෙසු නළුවෝ ද කරළියට අවුත් නටමින් සත් පත්තිනි දෙවිඳුගේ අනුහසින් දොස් දුරුකරනු පිණිස වෙස් මුදාහරිති. පොතේ ගුරු ගේ එකී ගායනයත් සමඟ වෙල්ලවැහුම් නාට්‍යය නිමාවට පත් වේ.

වෙල්ලවැහුම් වනාහි දැනට බොහෝ දුරට අභාවයට පත්ව තිබෙන සොකරි නමැති ලාංකික ගැමි නාට්‍ය ක්‍රමය ආදර්ශයට ගෙන රචනා කොට නිෂ්පාදනය කෙරුණු නාට්‍යයකි. මෙය වූ කලි ගැමියන් අතර එදිනෙදා කතා ව්‍යවහාරයෙහි පවතින භාෂාව උචිත ලෙස නාට්‍යකරණය උදෙසා යොදාගත් කෘතියකි. තවද ඒ බස ගායනයට යෝග්‍ය පරිදි රසවත් ලෙස එළිසම පද්‍යකරණය සඳහා ද මෙහි උපයෝගි කොටගෙන තිබේ. නැටුම්, ගැයුම්, වැයුම් ආදි දේශීය ලක්‍ෂණ අන්තර්ගත සම්භාව්‍ය ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායකට අමතරව පොදු ජනතාවට පවා රසවිඳිය හැකි ජනප්‍රිය නාට්‍ය සම්ප්‍රදායක් ද ගොඩනැඟීමට ‘වෙල්ලවැහුම්’, ‘ඒකට මට හිනා හිනා’ වැනි නාට්‍ය මඟින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර දැරූ ප්‍රයත්නය ද ඇගැයීමට ලක් වුව මනා ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.