වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට... | සත්මඬල

වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට...

අනන්ත වූ අවකාශයට මුළු ශරීරය ම මුදා හළ, මේ ලොව වන අනන්ත අපරිමාණ සුන්දරත්ව ශරීරයෙන් ම උකහා ගත් කෑඳැත්තෝ යුවළක් වැවට මායිම් ව ඇති කොළ වැරූ කඳක් මත නිසොල්මන් ව සිටියෝ ය. මිහිතලය මත වූ සියලු‍ චලන එකවර සිය නෙතට ග්‍රහණය කර ගැනීමට මඳක් හෝ පසුනොබෑ ඔවුහු වරින් වර සිය පියාපත් විදහා හරිමින් වැව් දිය පිස එන, හිරු රැස් හි සෞම්‍ය ප්‍රචණ්ඩත්වය විඳ ගත්හ. වැව් දිය රැලි හිරු රැසේ ප්‍රභාවෙන් සිය දිය රැලි ඔපවත් කර ගත්තේ; සියුම් ව හා සන්සුන් ව ය. එබැවින් ම හිරුගේ ප්‍රචණ්ඩත්වය වැව් දියට සඳ එළිය සේම මුදු සුමුදු බවක් රැගෙන ආවේ ය.

එකිනෙකා හා ආදරයෙන් වෙළුණු කෑඳැති යුවළ නිසොල්මන් ව පරිසරයේ ම කොටසක් ව සිටියෝ ය. විසල් අහස්තලය පවා ඔවුන්ට ඔවුන්ගේ ම ලෝකයේ තනි වන්නට ඉඩ හැරියා විනා බාධා නම් නොකළේ ය. සොබාදහම එක ම රිද්මයක සොඳුරු ව දිග හැරෙමින් පැවැතියේ ය.

සොබාදහමේ නිහඬ, සාමකාමී, නිසන්සල බවත්, වැව් දියේ නිසල බවත් බිඳී ගියේ බ්‍රාහ්මණ උකුස්සකුගේ සාගින්දර හේතුවෙනි. මිනිස් ඇසට නොපෙනුණ ද, වැව් දිය මත දිය කෙළි මසුන්ගේ දසුන උකුසු ඇසින් නම් ගිලිහෙන්නේ නැත. එය ද සොබාදහමේ ම නියමය විනා වෙනකක් නොවේ. එහෙත් බ්‍රාහ්මණ උකුස්සාගේ සම්ප්‍රාප්තිය නිසල බව බිඳ හෙළුවේ ය. එයින් සසල සිත් ඇති වූයේ මත්ස්‍යයන්ගේ පමණක් ම‍ නොවේ; කොළ වරා මිහිමතට අවසන් යුතුකම ද ඉටු කළ මිය යමින් සිටි කඳ මත සිටි කෑඳැත්තන් යුවළගේ ප්‍රේමණීය සාමකාමී බව ද බිඳ හෙළුවේ ය. ඉදින් කෑඳැත්තිය බියපත් වූ නියා, පෙම්වතාට ද පෙර තටු සලා බියමුසු ව ඉගිළුණා ය.

ලොව සියලු‍ සාමකාමී පැවැත්ම බිඳ වැටෙන්නේ මේ ආකාරයෙන් ම ය. එකකු අනෙකාගේ සාමකාමී පැවැත්මට බාධා පමුණුවන්නේ ය. සත්ත්ව ලෝකයේ නම් එසේ බාධා පමුණුවන්නේ නොදැනුවත් ව ය. මිනිස් ලොව ඊට වඩා වෙනස් ය. ඔවුහු දැන දැන ම අනෙකාගේ සාමකාමී පැවැත්මට බාධා පමුණුවති; එපමණක් නොව දැන දැන ම අනෙකාගේ පැවැත්මට තර්ජනය ද කරති.

ඔබට, මට අප හැම දෙනාට ම අනන්‍ය වූ පැවැත්මක්, පිළිවෙළක් තිබේ.

ඒ පිළිවෙළ කෙසේ ඇතිවූවා ද යන්න ගැන නිර්වචන සෙවීම බෙහෙවින් ම අපහසු ය. එහෙත් මිනිසුන් වන අප, අනෙකාගේ පැවැත්මට ගරු කළ යුතු වන්නෙමු. ඒ ගරු කිරීම වනාහි ඔබ ඔබට ම, මම මට ම ගරු කර ගැනීමකි. අප හොඳ දේ දුන්නොත් පමණක් පෙරළා අපට ද හොඳ දේ ලැබෙන්නේ ය. සොබාදහමේ පිළිවෙළ එහෙම ය. ඔබ අනෙකාට ගරු කළ හොත් අනෙකා ද ඔබට ගරු කරනු නියත ය. එබැවින් අප එකිනෙකාට ගරු කිරීමට පටන් ගතහොත් මේ ලොව කෙතරම් සුන්දර වේ ද?

වැව් දියෙහි පිපි නෙළුමෙන් මේ ලොවට ලැබෙන්නේ සුවඳවත් බව හා සොඳුරු මනනයන රංජනීය බව පමණක් ද? ම සිත විමසයි. නැත... නෙළුමක අප බාහිරින් දකින සුවඳවත් හා සොඳුරු බවෙහි අභ්‍යන්තර ගුණය, අර්ථය වූ කලී මඬෙහි හටගත් නෙළුම මඬ පරයා දිය මතුපිටට පැමිණ සුපිරිසුදු බවේ සංකේතය වීම ය. නෙළුම අපට ලබාදෙන ජීවිතාවබෝධය වඩාත් පුළුල් ව දැනෙන්නේ, ඒ සොඳුරු අප්‍රතිහත ධෛර්යය නිසා ය.

උල්පතකින් ඇරඹී, ගංගාවක් වී ගලා එවන් නෙළුම් දස දහස් ගණනක් පුබුදන වැවක් වන්නට ඇත්නම් අප මේ මිහිතලයට යුතුකම් ඉටු කළා වෙයි. උල්පත වැඩදායක ය; එහෙත් එය වඩාත් වැඩදායක වීමට නම් එවන් උල්පත් කිහිපයක් හෝ එක් ව ගංගාවක් ව ගලා බැසිය යුතුය. අනතුරුව සුදුසු බිමෙක මිහිතලය හා සහයෝගී ව වැවක් බවට පත් විය යුතුය. වැවක් විය යුත්තේ කුමක් සඳහා ද? වැසි දිය නොමැති සඳ, දියවර සපයමින් මිහිතලය තෙතින් සරසාලන්ට ය; සොඳුරු බව, අරුත්බර බව විදහන්නට නෙළුම් විකසිත කරවන්නට ය; නැතහොත් මේ ලොවට සිය යුතුකම් ඉටුකර වන්නට ය.

විනිවිඳින සිතිවිල්ල හැමදාමත් ඔබට ඇරියුම් කරන්නේ මේ ලොව නේකවිධ නොපනත්කම්ල දුර්ජනකම් පරදා සොඳුරු බවේ, පරාර්ථයේ ගුණ සුවඳ වපුරන්නට කියා ය. ඒ ගසක් මහ වැසි, ශුෂ්ක ඉඩෝර, සැඬ සුළං පරයා අහසට නැඟ අන් සියල්ලන් ම ඒ අනේකවිධ දුෂ්කරතාවලින් බේරා ගන්නට ඉදිරිපත් වන්නා සේ මේ ලොවට යුතුකම් ඉටු කරන්නට පෙළ ගැසෙනා සේ ය.

කියවා බලන්න, රත්න ශ්‍රී විජේසිංහයන් අපගෙන් මේ ලොවට විය යුතු යුතුකම් කවි පදවලට ගොනු කර ඇති අපූරුව....

ගංගාවක් වී ගලන්න

උල්පත පසු කර

වැවක් වෙලා නතර වෙන්න

නෙළුම් මලක් යට...

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.