ඔබ මේ කියවන්නේ විදුලි ක්‍රියායනයේ හා විද්යුත් ක්‍රියායනයේ ඵලයක් | සත්මඬල

ඔබ මේ කියවන්නේ විදුලි ක්‍රියායනයේ හා විද්යුත් ක්‍රියායනයේ ඵලයක්

යම් ශිල්පයක ඉතිහාසයත් එහි සංවර්ධනයත් පිළිබඳ අවබෝධය ලැබීම ශාස්ත්‍රීය අධ්‍යාපනයක් වන නමුදු, ස්ක්‍රීන් මුද්‍රණයේ ඓතිහාසික ගමන් මඟ, අද්‍යතන මුද්‍රණ කර්මාන්තය හා අත්වැල් බැඳගනිමින්, අනාගත නවීකරණ වෙත සම්ප්‍රාප්ත වීම සම්බන්ධයෙන්, එහි ශාස්ත්‍රීය වටිනාකම ද ඉක්මවාලයි.

ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය, විසිවැනි සිය වසරේදී ශීඝ්‍රගාමි ගමනක යෙදෙමින්, රළු මුද්‍රණ ස්වභාවය අභිභවා, එය සියුම් කලාවක් බවට පත් කෙරිණි. රසායන විද්‍යාවේ නවතම අත්හදා බැලීම් සමඟින්, යාන්ත්‍රික මෙවලම්වල නොයෙක් නවීකරණවල උපකාරයෙන් වේගවත් මුද්‍රණ ක්‍රම මෙන් ම විවිධ මතුපිට මත මුද්‍රණය සඳහා වුවමනා වන තීන්ත වර්ග ගණනාවක් ද වෙළෙඳපොළට නිකුත් කෙරිණි.

එදිනෙදා භාවිතයට වුවමනා කෙරෙන රෙදිවල මෙන් ම ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා මෙවලම් මත මුද්‍රණය ද, සුමට මතු පිට මෙන් ම රළු මතුපිට මුද්‍රණය කිරීමට ද, තීන්ත උරා නොගන්නා, ලෝහ, වීදුරු සහ පෝසිලෙන් පෘෂ්ඨ මත නොමැකිය හැකි වන සේ මුද්‍රණය කිරීමට ද, ක්‍රම සම්පාදනය විණි.

ස්ටෙන්සිල් ක්‍රමවේදයක් පාදක කොටගන භාවිත වන මුද්‍රණ ශිල්පය, ඇතැම් සංස්කෘතීන් සමඟ වසර දහස් ගණනක් අතීතයට යයි. ආදි ඊජිප්තුවෙන් මෙන්ම මෙය චීන හා ජපාන සංස්කෘතීන් හි, රාජකීය වස්ත්‍රවල අලංකාරය උදෙසා ද, රජ මැදුරු මෙන් ම ප්‍රභූ නිවෙස් බිත්ති හා සීලිං සැරැසිලි සඳහා ද, ඇතැම් විට සිමෙන්ති මෙන් වූ බදාම බිම අතුරා, ඒ මත කළ ගෙබිම් මුද්‍රණ ද වෙයි. මේ අතර මැටි කර්මාන්තය බහුල ලෙස මේ සංස්කෘතිවල භාවිත වූ බැවින්, එදිනෙදා පාවිච්චියට මෙන් ම අලංකාරය සඳහා යොදන මැටි බඳුන් මත ද, මෝස්තර යෙදීම ට පසු කලෙක ‘ස්ක්‍රීන්’ යනුවෙන් හඳුන්වන තිරයක් හා සම්බන්ධ කරමින්, තීන්ත පෙරා යවමින් නොහොත් විනිවේධනය කරමින් මුද්‍රණය කර ගත් බව, පුරාවිද්‍යා කැණීම්වලදී මතු වන පුරා වස්තු නිසා හෙළි වී ඇත. එහෙත් ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය, එහි උච්චස්ථානයට තවම පැමිණ නැත. අනාගතයේ ද එය විවිධ නවතාවලට ගොදුරු වෙමින් තව තවත් සියුම්තාව ඇතිව ජන ප්‍රයෝජනය තකා තම වන්දනාව නිම නොකරනු ඇත.

මේ මුද්‍රණ ක්‍රමයේදී එහි ප්‍රධාන අයිතමය වන්නේ, ‘ස්ටෙන්සිල්’ යනුවෙන් හඳුන්වන, මුද්‍රණය විය යුතු කොටස් කපා ඉවත් කළ යම් පත්‍රයකි. එය තුනී කඩදාසියක් විය හැකි ය. නැත හොත් ගනකම කාඩ්බෝඩ් හෝ ලෝහ තහඩුවක් වීමට ද පුළුවන. නැත හොත් තීන්ත විනිවේදනය කරන සුලු තුනී රෙදි කඩක තවරන ලද ඡායා ඵලකයක් ද විය හැකි ය.

ඒ කුමන මාධ්‍යයක් වූව ද ස්ටෙන්සිල් එකක විවෘත කොටස්වල පොදු ස්වභාවයක් වෙයි. එනම්, තීන්ත තැවරිය යුතු කොටස්වලට මැදි වන තීන්ත තැවරීම නොකළ යුතු ප්‍රදේශ ආවරණය කරන කොටස්, ඇතැම් විට වෙන් වී යෑම ය. විශේෂයෙන් ම, අකුරු මුද්‍රණය සඳහා කපන ස්ටෙන්සිල්වල, අකුරුවල ඇති මැද කොටස්, මෙසේ වෙන් වන බව, අකුරු දෙස බැලීමෙන් වටහා ගත හැකි ය. එබැවින් ඒවා නිසි ලෙස රඳවා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා ඒ කොටස් සම්බන්ධ කරන සිහින් තීරු ඉතිරි කරගැනීම ස්ක්‍රීන් මුද්‍රණයේ විලාසිතාවක් ද වෙයි.

එහෙත් සමහර අවස්ථාවල මේ සම්බන්ධක තීරු, අනවශ්‍ය දළ රළු කඩතොලු ස්වභාවයක් දක්වන බැවින්, ඒ අලංකාරයට බාධාවක් වන බව පෙනෙයි. අද දවසේ ද රෙදි මත මුද්‍රණය කරන බැනර් සඳහා කඩදාසි ස්ටෙන්සිල් යොදා ගන්නා අතර ඒවායේ අකුරුවල සම්බන්ධක තීරු නිසා තීන්ත නොතැවරෙන කොටස්වලට පසු පින්සලකින් එහි කඩතොලු වසා දැමීම කරනු ලබයි.

ඒ නමුදු චිත්‍ර හා මෝස්තර මුද්‍රණයේ මේ කඩතොලු ස්වභාවය නැතිව මුද්‍රණය කිරීමට විවිධ ක්‍රම සම්පාදනය කළවුන් අතර, ජපන් ජාතිකයන් එහි මුල්තැන් ගත් බව, ඉතිහාසය කියයි. සියුම් කලා තම ජන ජීවිතයේ ම කොටසක් වූ ඔවුන්ගේ එකී ක්‍රමවේදය ඉතා සියුම් ශිල්පයකි.

 

යම් මෝස්තරයක ස්ටෙන්සිල් කැපීමේදී එකට ම තබා ගත් කඩදාසි දෙකක, සම්බන්ධක තීරු සමඟ ම එය කපා ගැනීම, මෙහි මූලික කාර්ය ය. අනතුරුව, එක ස්ටෙන්සිලයක් මත, සම්බන්ධක තීරු නැති ස්ථානවල, මිනිස් හිස කෙස් ඇලැවීම කරනු ලැබිණි. ඉන්පසු දෙවැනි ස්ටෙන්සිල් එකෙහි කොටස්, ඒ මත ඇලවීමෙන්, හිස කෙස් මේ ස්ටෙන්සිල් පත්‍ර දෙකට මැදි වෙයි. එමෙන් ම ශක්තිමත් බව ද ඇති වෙයි. එතැන් සිට සම්බන්ධක තීරුවල කාර්යය හිසකෙස් මඟින් ඉටු කරන බැවින් කඩදාසියෙහි ඉතිරි කර ඇති සම්බන්ධක තීරු කපා ඉවත් කරනු ලබයි. මේ ක්‍රමවේදය උපයෝගි කොටගත් ඇඟලුම් මුද්‍රණයේදී මෙන් ම වෙනත් නොයෙක් පෘෂ්ඨ මත ‍කෙරෙන ස්ක්‍රීන් මුද්‍රණය සඳහා ද, මෙය මහත් පිටුබලයක් විණි. ඉතා ඉක්මනින් ම මේ මිනිස් හිසකෙස් සම්බන්ධක තීරු ශිල්පයේ හි තැන, සිහින් සිල්ක් කෙඳි අත්පත් කර ගත්තේ ය. මෙහි සියුම් බව නිසා ම මේ ක්‍රමවේදය සියවස් ගණනාවක් ම භාවිත කෙරිණි.

දහනව වැනි සියවසෙහි මැදභාගය වන තුරු ම, ස්ක්‍රීන් මුද්‍රණය යනුවෙන් හැඳින්වීමෙන් නොවිණි. ජපනුන්ගේ කලා කෙරෙහි ඇද බැඳ ගත් සිත් ඇති යුරෝපීයයෝ, මේ ස්ටෙන්සිල් මුද්‍රණ ශිල්පය, නවීකරණයට බඳුන් කළහ. සිහින් සිල්ක් කෙඳිවලින් අලවා සම්බන්ධ කළ ස්ටෙන්සිල්, ලී රාමුවකට ඇද ඇණ ගසා රැඳ වූ සිල්ක් රෙද්දක් මත අලවා තීන්ත තැවරීම පහසු කෙරිණි. අනතුරුව ඒ ස්ටෙන්සිලය සහිත රාමුවට උකු තීන්ත වත් කර ඒවා තවත් ලී පත්තකින් ඇදීමෙන්, මුද්‍රණය කිරීම, අද දවසේ දකින හැකි රාමුව හා ‘ස්කවිජ්’ යනුවෙන් හඳුන්වන පත්තකින් කෙරෙන ස්ක්‍රීන් මුද්‍රණය දක්වා වර්ධනය විණි.

තීන්ත ඇදීමට භාවිත වන ලී හෝ ලෝහ පත්ත, රබර් හෝ නෛලෝන් වැනි කෘත්‍රිම තලයක් සවි කළ එකකි. රබර් හා නයිලෝන් නම්‍ය සුලු ද්‍රව්‍ය බැවින්, සිල්ක් රෙද්දට ඉන් හානි නො වේ. වත්මනෙහි, සිල්ක් රෙදි වෙනුවට පිත්තල, ලෝකඩ හා මල නොබැඳෙන වානේ දැල්, මේ සඳහා පාවිච්චි කෙරෙන්නේ යන්ත්‍ර මඟින් කරන ස්ක්‍රීන් මුද්‍රණ සඳහා ය. එහි දී ‘ස්ක්‍රීන් ෆ්‍රේම්’ නොහොත් රාමු ද ලෝහ වර්ගවලින් තැනෙයි.

රෙදි මුද්‍රණ කර්මාන්තයේදී ක්‍රමවේද කිහිපයකට එය සිදු කෙරෙයි.

මේසය මත හස්තගත ස්ක්‍රීන් මුද්‍රණය

මුද්‍රණය කරනු ලබන රෙද්ද, දිග මේසයක් මත ඇලවීම පළමුව සිදු කෙරෙයි. ඉන් පසු මේසය දෙපැත්තේ සිට ගත් දෙදෙනකු විසින් මුද්‍රණ රාමුව ඔසොවා ගෙන, එහි පළලෙහි ප්‍රමාණයට, මේසයෙහි කෙළ වර දෙකෙහි සවිකොට ඇති, ලී නා දැත්තට හිරකොට රඳවනු ලැබෙයි. අනතුරුව ඒ රාමුවෙහි ඇති තීන්ත, එක් තැනැත්තකු පත්තෙන් තල්ලු කර යවන අතර රාමුවේ මැද හරියට එය ගමන් කරත් ම අනෙක් තැනැත්තා, එය තම අතට ගෙන මුද්‍රණය සම්පූර්ණ කරනු ලබයි. මෙසේ මුද්‍රණය කළ පසු රාමුව යළි ඉහළට ම ඔසොවා ඊළඟ ලී නා දැත්ත වෙත ගෙන ගොස් රඳවනු ලබයි. මෙසේ පෙර පරිදිම මෝස්තරය මුද්‍රණය කිරීම සිදු කෙරෙයි.

මේසය මත ස්වයංක්‍රීය ස්ක්‍රින් මුද්‍රණය

මුද්‍රණය කරනු ලබන රෙද්ද, රෙදි ඔතනයෙන් මිදෙමින්, ඒ පළල ම ඇති වාහක රබර් පටියක් මත ඇල වී, රාමුවේ පළලෙහි ප්‍රමාණය ගමන් කොට නවතියි. අනතුරුව එයට පහත් වී රැඳවෙන රාමුවෙහි ඇති තීන්ත පත්තෙන් ඇඳි මුද්‍රණය වූ පසු රාමුව යළි ඉහළට එසැවෙයි. නැවතත් රෙද්ද ගමන් කොට යළි නැවතෙමින් පෙර කී පරිදි සිදු කිරීම තවත් ක්‍රමයකි.

ස්වංයක්‍රීය රෝටරි ස්ක්‍රීන් මුද්‍රණය

තව ද හතරැස් රාමු වෙනුවට, මුද්‍රණය කරන රෙද්ද නොනවත්වා ධාවනය වෙයි. ඒ අතර බම්බු ආකාරයට තනන රාමු විශේෂයක් භාවිත කරමින්, කරකැවෙන ස්ක්‍රීන් මඟින් වඩා වේගවත්ව මුද්‍රණය කිරීමටත්, මෝස්තරය නොකැඩී සටහන් වීමත් සිදු වෙයි. මේ ක්‍රම ත්‍රිත්වයම අප රටෙහි තිබුණු වේයන්ගොඩ හා තුල්හිරිය පෙහෙකම්හල්වල භාවිත කෙරිණි. කෙසේ වුව ද රාමුවල ඇද සවි කළ සිල්ක් රෙදි මඟින් පත්තක් උපයෝගි කොට ගෙන, ස්ක්‍රීන් මුද්‍රණය සඳහා පේටන්ට් බල පත්‍රයක් ගත්තා යැයි සඳහන් වන්නේ ක්‍රි.ව. 1907 වසරේ ය.

පළමු වැනි ලෝක සංග්‍රාමයේ ඉතා විශාල වශයෙන් කොඩි, පතාක හා බැනර්, ස්ක්‍රීන් මුද්‍රණයෙන් නිම කෙරුණේ, අතින් ක්‍රියා කර වන මෙබඳු උපකරණ මඟිනි. අමෙරිකාවට සංක්‍රමණය වූ විදේශිකයන්ගෙන් ලබාගත් ඉතා සංක්ෂිප්ත තොරතුරු ඇසුරෙන් දහ නව වැනි සියවසේ එහි ස්ක්‍රීන් මුද්‍රණය ඇරැඹිණි. ක්‍රි.ව. 1915 වසරේ අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේදී මුල් වතාවට ඡායාරූප ස්ටෙන්සිල් ක්‍රමය අත්හදා බලා ඇති වග, ඉතිහාසය කියයි. එයින්, ස්ක්‍රින් මුද්‍රණ ශිල්පයට නව ජීවයක් එක් විණි.

රෙදිපිළි කර්මාන්තය විසින් මේ නව ක්‍රමවේදය ඉතා ඉක්මනින්ම පිළිගැනිණි. ක්‍රි.ව.1920 හා 1930 අතර කාලයේ, ඡායාරූප ස්ටෙන්සිල් සඳහා ‘ට්‍රේසිං ෆිල්ම්වල පිහිට වැඩිදියුණු කෙරිණි. ස්ක්‍රීන් මුද්‍රණයේ දී සායම් තැවරීම එක මත එක කිරීම මඟින් මිශ්‍ර වර්ණ දක්නට සැලැස්වීම, මේ මඟින් විශාල වර්ණ සංකලන පරාසයක් කරා මෙහෙයවිණි. එමෙන් ම මුද්‍රණයේ සියුම් බව ද, මොනවට පසක් විණි.

ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය, බ්ලොක් මුද්‍රණය හා රෙදිපිළි කර්මාන්තය අතර ඇති වේදිකාවක් බඳු ය. උසස් ගණයේ පිළි නිමැවුම් සඳහා අතින් චිත්‍ර ඇඳි චිත්‍ර ශිල්පීන් ද, සැලැසුම් ශිල්පීන් ද නිම කෙරුණු රෙදි පිළි වෙළෙඳපොළ සඳහා නිකුත් කෙරුණ ද, ඉල්ලුමට සරිලන සේ ඒ නොසෑහිණි.

 එහෙයින් මේ ඡායාරූප ස්ක්‍රීන් ස්ටෙන්සිල් ක්‍රමවේදය මඟින් එයට පිළිතුරු සැපයිණි. සිත්තරුන්ගේ සියුම් රේඛා, මේ මඟින් මුද්‍රණය කර ගත හැකි වූ බැවින්, එය වඩාත් ඵලදායි විය.

සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පයෙහි ආදි කර්තෘවරු නම් චීන ජාතිකයෝ ය. චීනය, සේද රෙදි සඳහා ප්‍රසිද්ධිය උසුලයි. සේද රෙදි සඳහා ම වගා කෙරෙන සමනල දළඹු ගොවිපොළ ඔවුන්ගෙන් ඇතැමකුගේ එදිනෙදා ජීවිකාව ය. එමෙන් ඒ කර්මාන්තය වත්මනෙහි ද, තම ජීවනෝපාය කර ගත්තෝ ද බහුලව ඇත්තාහ. මෙකී ශිල්පය ඇරැඹියේ, සේද රෙදි මත මෝස්තර මුද්‍රණය කිරීම සඳහා ය. එයට ඔවුන් පාදක කොට ගත්තේ ද සේද රෙදිවලින් තනනු ලැබූ රාමුවෙකි. මේ නිසා ම ඔවුන් එය හැඳින් වූ පාරිභාෂික වදනේ අරුත, ඉංගිරිසියට ගැනුණේ Silk Screen Printing යනුවෙනි. මේ ශිල්පය, වෙනත් දේශවලට ද පැතිර යන්න හේතු වූයේ, චීනුන්ගේ රෙදි වෙළෙඳාම ය. විවිධ රෙදි වර්ග තම වුවමනා සඳහා තනා ගත් මොවුන් ඒවා විදේශයට ද යැවුවේ තම ජාතිකයන් අතින්ම ය.

අප කුඩා කල එනම් කිතු වසින් එක් දහස් නමසිය පනස් ගණන්වල අග භාගයෙහි පමණ මසකට වරක් බැගින් චීන ජාතික රෙදි වෙළෙන්දා ගමට ආ බව අප විසින් හඳුනාගනු ලබන්නේ “චී... යෙප්...” යන හඬිනි. අප රටට නිදහස ලැබුණැයි කීව ද, ඉංගිරිසියේ ආධිපත්‍යය ලොවටම සිය අණසක පතුරවා සිටි මෙසම‍යෙහි අප රටේ ද, සිංහල බසට අනුයුක්ත කොට, ඉංගිරිසි වදන් බහුලව භාවිත කිරීම, බොහෝ නාගරිකයන්ගේ සිරිත විය. චීනා ආවේ, කොළොම් තොට හරහා ය. චීනයේ සිට එන අතර තුර අසන්නට ලැබෙන කතාබහේදීත්, කොළඹ රටේදී කන වැකෙන වචනවලින් ද “ලංකාවේ මිනිසුන්ට, ඉංගිරිසි බස වඩා හුරු යැ”යි චීනා සිතන්න ඇත. ඉතින් ඔහු කරන්න ඇත්තේ, ඉංගිරිසියෙන් මිල අඩු යන්න භාවිත වන Cheap යන වචනය, ඔහුට හැකි පමණින් වචනයේ අකුරු අනුව උච්චාරණය කිරීම ය. එය ඈත ට ඇසෙන සේ ඔහු මහ හඬින් කියත්දී වචනය ඇදෙන හෙයින්, අපට ඇසුණේ “චී... යෙප්” යනුවෙනි.

කෙසේ වුද මගේ මතකය යළි එදවස් වෙතට ගිය කල්හි මගේ අම්මා වූ ඩල්සි පීරිස් මහත්මිය මට මතක් වෙයි. ඇය එවකට ඈ උගැන්වූයේ කුරණ කටුනායක, මෙතොදිස්ත උසස් විදුහලෙහි බාලාංශයෙහි ය. නොයෙක් අත්කම් පිළිබඳ මනා හැකියාවක් ඇයට තිබිණි. පාසල් කාලයෙන් පසුව පාසලේ සිසු සිසුවියෝ බොහෝ අපේ ගෙදරට ආහ. ඒ පීරිස් ටීචර්ගෙන් නොයෙක් අත්කම් හා මැහුම් ගෙතුම් ඉගෙන ගැනීමට ය. විවිධ පින්තාරු ක්‍රම, ඔවුන්ට ඇය කියා දෙන හැටි බලමින්, යම් යම් දේ මම ද අත්හදා බැලීමි. එහෙත් ඒ මගේ ඉතා කුඩා අවධියයි. එනම් වයස අවුරුදු හතරත්, හතත් අතර කාලය ය. අප මේ විස්තර කරන ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය ගැන මා මුලින් දුටුවේ මගේ මව උගන්වන දේ ය. එහෙත් මා එදා ඇයගෙන් මේ ශිල්පය ඉගෙනගත්තේ නැත. එනමුදු මාගේ වෘත්තීය ජීවිතය ඇරැඹියේ පින්තාරුකරුවකු හැටියට ය. ඇය පාසල් දරුවන්ට ඉගැන්වූ ලිනෝලියම් බ්ලොක් ක්‍රමය ද මා සිත් ගත්තේ ය. මම චිත්‍ර පිටපත් කිරීමේ විවිධ ක්‍රමෝපායයන් අත්හදා බැලීමි. ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය ගැන මා මගේ අම්මාගෙන් විමසූ විට ඇය කියා සිටියේ නයිලෝන් ඕර්ගන්ඩ් නම් රෙදි, ඒ සඳහා උපයෝගි කරගත් බව ය. ඇය ළඟ තිබුණු පාවිච්චියට ගැනීමට නොහැකි ලා නිල් පාට ‍නයිලෝන් ඕර්ගන්ඩි සාරියක් ඇය මට දුන්නේ, ස්ක්‍රීන් තනා ගැනුමට ය. ඒ වන විට අප මොරටුවේ පදිංචිව සිටි බැවින් ලී රාමු තනා ගැනුම නම් ප්‍රශ්නයක් නොවිණි. එහෙත් තීන්ත වර්ග හා ස්ටෙන්සිල් ගැන කරුණු සොයා ගැනීමට නම් නොහැකි විණි. මව දැන සිටියේ ප්‍රාථමික ක්‍රම පමණි.

මාගේ චිත්‍ර ගුරුවරයා වූයේ, වෙස්ලි විදුහලේ චිත්‍ර ආචාර්යවරයා ද පසුව තුල්හිරිය පෙහෙකම්හලෙහි ප්‍රධාන චිත්‍ර සැලැසුම්කරුවා ද වූ ජයන්ත ප්‍රේමචන්ද්‍ර මහතා ය. රුසියාවේ ලුමුම්බා සරසවියේදී චිත්‍ර ශිල්පය හදාරා තිබුණු ඔහු එරට චිත්‍ර ශිල්පීන් තම කෘතිවල අමතර පිටපත් තැනීමට භාවිත කරන ලී කැටයම් හා ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය මට කියා දුන්නේ ය. නිසා මේ ක්‍රම උප‍යෝගි කරගෙන මම වෙසක් සුබ පැතුම් පත් හා දේශීය කලා පිළිබඳ චිත්‍ර සකස් කොට එවක බෙන්තොට සංචාරක පුරවරයෙහි ඔහු පවත්වා ගෙන ආ ‘නිලංකා’ කලා ගැලරියට අලෙවි කිරීම සඳහා දුනිමි.

ඒ වකවානුව, එනම් එක්දහස් නවසිය හැත්තෑ ගණන් වන තුරු, දේශීය සිනමා කරමාන්තයේ ප්‍රචාරක කටයුතු සඳහා මුද්‍රණාලවලින් ලබාදිය හැකි වූයේ විශාල ලී අකුරුවලින් මුද්‍රණය කළ අඟල් 36 හා අඟල් 24 ප්‍රමාණයේ පෝස්ටර් ය. ඇතැම් මුද්‍රණාලවල තිබුණු ලී අකුරුවල හැඩ විවිධාකාර ද ය. මේ ක්‍රමය භාවිතයේ තිබියදී ම ‘මාතර ආච්චි’ නම් සිනමා පටය සඳහා t2 යන මුද්‍රක නාමය ඇති ව, උන්නත අකුරු මුද්‍රණය වෙනුවට, වෙනත් අලංකාර අක්ෂර පෝස්ටර තාප්ප මත ඇලැවී තිබිණි. මේ පිළිබඳ වූ මගේ කුතුහලයට මා පිළිතුර ලද්දේ ජෝ දේව් ආනන්ද්ගේ චිත්‍රපටවල සහය අධ්‍යක්ෂ වූ රංජිත් පෙරේරාගෙනි. ඒ ‍තෝමස් තිලකරත්නගේ වැඩක් බව ඔහු පැවසුවේ ය. ඒ වන විට ‘දිනුම් කණුව’ නම් චිත්‍රපටය නිමවා තිරගත කිරීමට සූදානම්ව සිටි රංජිත්, කැලණියේ, වරාගොඩ පිහිටි තෝමස් තිලකරත්නගේ නවාතැන වෙත ඔහුගේ යතුරුපැදියෙන්, මා කැඳවා ගෙන ගියේ ය. එහි දී මේ අපූර්ව කාර්ය කළ නිහතමානි පුද්ගලයාට, මා හඳුන්වා දුන්නේ, කාටුන් සිනමා පට තනන්නකු ලෙස පමණි. අපූර්ව යනු පෙර නොවූ යනු ය.

තෝමස් තිලකරත්න විසින් දේශීය සිනමාවේ ප්‍රචාරක කටයුතු සඳහා හඳුන්වා දෙනු ලැබූ මේ පෝස්ටර කලාව, ස්ක්‍රීන් මුද්‍රණ නම් විය. වෙනත් දිනයක මම තනිවම එහි ගියෙමි. ඍජුව ම මා ආ කාරණය පවසා මේ ශිල්පය ගැන වැඩි යමක් දැන ගැනීමට කැමැති බව තිලකරත්න මහතාණන්ට මම පැවැසීමි. ඔහු කිසිදු පැකිළීමක් නැතිව බොහෝ දෑ කියා දුන්නේ ය. ‘බාටා’ පාවහන් සමාගම වෙනුවෙන් ඔහු නිම කරන ලද වෙළෙඳ දැන්වීම් ගොන්නක් පෙන්වා, “එහි ඇති වර්ණ සංඛ්‍යාව කොපමණදැ” කියා කිව හැකිදැ”යි මගෙන් විමසී ය. මම ද, ඒ ගණන් කළෙමි. එහි වර්ණ නමයක් මුද්‍රණය කර තිබිණි. මේ වන විට ‘හත්දින්නත්තරු’ නම් චිත්‍රපටයේ පෝස්ටර් එහි මුද්‍රණය කරමින් පැවැති මුද්‍රණ කාමරයටම මා කැඳවා ගෙන ගිය ඔහු, ඒ මුද්‍රණයේ ඇති විශේෂ බව පෙන්වා දුන්නේ ය. එනම් ඒ ස්ක්‍රීනය අතින් කපන ලද ස්ටෙන්සිල් එකකින් නිමවා ගත්තක් නොව ඡායාරූප ක්‍රමයට සකස් කරගත්තක් බව ය.

එය ද අප සිනමා ක්ෂේත්‍රයට මෙන් ම මුද්‍රණ ක්ෂේත්‍රයට ද තවත් අපූර්ව අත්දැකීමකි. ‘හත්දින්නත් තරු’ වෙනුවෙන් විජය කුමාරතුංගයන්ගේ රුව, මෙසේ ස්ක්‍රීනයක් මත, සටහන්ව තිබිණි. එතෙක් අප රටේ, මේ මුද්‍රණ ක්‍රමය සඳහා මේ ඡායාරූප ක්‍රමෝපාය භාවිත කරන ලද්දේ රෙදිපිළි මුද්‍රණය සඳහා පමණි.

‘ස්ක්‍රීන්’ යන ඉංගිරිසි වදනෙහි සිංහල පරිවර්තනය වන්නේ තිරය ය. එබැවින් ‘ස්ක්‍රීන්’ මුද්‍රණය යන වදන සිංහලෙන් භාවිත කළ යුත්තේ, ‘තිර මුද්‍රණය’ ලෙසිනි. එනමුදු, ඇතැම් වදන් නොයෙක් භාෂාවලදී ජන වහර අනුව විදෙස් වදන් හා බැඳෙයි. ඇතැම් විදෙස් බස්වල ඇති වචන, වෙනත් බස්වල බින්න බැස, ඒ බසෙහිම වදනක් ලෙසින් වැහැරෙයි. ‘ස්ක්‍රීන්’ මුද්‍රණය යන්න ද, අප අතර භාවිත වන්නේ, හුදු සිංහල වදනක් ලෙස ය. එහෙයින් අප මේ පොතෙහි සටහන් කරන්නේ ද ‘ස්ක්‍රීන් මුද්‍රණය’ යන ඉංගීරිසි සිංහල සංකර යෙදුම ය. පෝස්ටර් කලාව ගැන සිත් යොමද්දි අප රටෙහි වැඩිමනත්ව ම ‘ස්ක්‍රීන්’ මුද්‍රණයෙන් ප්‍රයෝජන ගත්තේ නාට්‍ය හා සිනමා ශිල්පීන් බව වැටහෙයි.

පෙර කල ‘ටියුෂන්’ පන්තිවලට අදාළ කාරණා ගැන ප්‍රචාරය කෙරෙන ‍පෝස්ටර් පවා මුද්‍රණය කරන ලද්දේ ‘ස්ක්‍රීන්’ මුද්‍රණයෙනි. චිත්‍රපට පෝස්ටර සඳහා ද බහුල වශයෙන් මේ ක්‍රමය භාවිත කළ ද අද්‍යතනයෙහි ඉතා පහසුවෙන් සමතල මුද්‍රණයෙන් ඒ නිම කරවා ගත හැකි වීම හේතුකව පහර වැදී ඇත්තේ ‘ස්ක්‍රීන්’ මුද්‍රණ ශිල්පීන්ගේ බඩට ය. ස්ක්‍රීන් මුද්‍රණය සඳහා වන යන්ත්‍ර ඇතත් අතින් කරන වැඩ කටයුත්තක් වෙනුවෙන් කාලය හා මුදල් වැය කෙරුමට ව්‍යාපාරික ප්‍රජාව උනන්දුවක් නොදැක්වීම, බෙහෙවින් කනගාටුදායක ය.

කඩදාසි මත ඇඳි චිත්‍ර පිරිසුදුවත් කලාත්මක ගුණය රැකෙන පරිදිත්, සෙලුලොයිඩ් තහඩු මතට පිටපත් කැරැ ගැනුම සඳහා ඡායාරූප බඳු වියදම් අධික නොවන ක්‍රම සකස් කිරීමට තාක්ෂණඥයන්ගේ ද පිහිට සජීවකරණ සිනමා ශිල්පඥයෝ පැතූහ.

ඒ ප්‍රාර්ථනා මල් ඵල ගන්වමින් නවසිය පනස්ගණන්වල මැද හරියේදී පමණ ස්ථිති විද්යුතය උපයෝගි කරගෙන ඡායා පිටපත් කැරැ ගත හැකි යන්ත්‍ර විශේෂයක් තනන ලද්දේ ය. සිනමාවේ සජීවීකරණ තාක්ෂණය වෙනුවෙන් නිම කරන ලද මේ උපක්‍රමය මඟින් Cell Animation ක්‍රමය සඳහා පිටපත් කිරීමේ කටයුත්ත වෙනුවෙන් එතෙක් වැය වූ විශාල මුදලක් හා කාලයක් ඉතිරි කැරැ ගත හැකි විය. එපමණක් නොව ඒ කාර්යය සඳහා යොදවා ගත් ශිල්පීන් වෙනුවෙන් වූ ඉඩකඩ ද වෙනත් කාර්යවලට යොදා ගත හැකි විය. එහෙත් ඒ ශිල්පීන් ඒ සේවාවෙන් ඉවත් වූ නමුත් වර්ණ ගැන්වීමේ වේගය වැඩිකරනු පිණිස, ඔවුන් යෙදවීම නිසා විරැකියාවෙන් පෙළීමට කාරණා නුවූයේ ය.

මේ ක්‍රමය නිපදවා එය වැඩි දියුණු කරන ලද්දේ හැලොයිඩ් සමාගම නම් ආයතනය විසිනි. එය ස්ථිතික විදුලි ඡායා ආරෝපණය නමින් හැඳින්වෙන පරිදි මූලික චිත්‍රයේ හෝ සටහනෙහි හෝ ස්ථිති විද්යුත් ඡායාවක් සුමුදු ලෝහ සිලින්ඩරයකට සමර්පණය (ප්‍රසූත) කරගෙන ඒ විද්යුත් බලයේ ආනිසංසයෙන් ආකර්ෂණය කර ගන්නා සියුම් වූ අංගාර ධූලි වෙනත් කඩදාසියක් හෝ සෙලුලොයිඩ් පත්‍රයක් මත තැවරීමෙන්, මූලික රූපය නැවතත් ඒ ආකාරයෙන් පිටපත් කැරැදීමට සමත් වන ක්‍රියාවලියෙකි. ඡායාරූප ස්ථිති විදුලිය මඟින් යළි මවා දීමේ ක්‍රමයක් වන මෙය ලොකු රූප පුංචි කර පුංචි රූප ලොකු කැරැ ක්ෂණයෙකින් පිටපත් ගෙනදීමට අද සමත් වී ඇත. එය තාක්ෂණික මෙවලක්ම වුව ද ලොව පුරා බහුල වශයෙන් පාවිච්චි වෙයි.

ඔසාලිඩ් ‍ෙනාහොත් සෙරොක්ස් යනුවෙන් මෙය මුලින් හඳුන්වන ලද්දේ ග්‍රීක වදනක් වන සෙරෝ යන්නෙන් ගම්‍ය වන වියළි ලේඛනය අනුව සෙරෝ ග්රැෆි ලෙසිනි. FAX යන්ත්‍රයේ මූල ධර්මයට ද මුල පිරූ මේ ක්‍රමය අපගේ උප්පැන්න සහතික, හැඳුනුම්පත් හා ලිපි ලේඛනවල පිටපත් ක්ෂණිකව ලබාදෙන විවිධ වෙළෙඳ නාමවලින් එන සිනමා සජීවකරණයේ අතුරු නිෂ්පාදනයක් වූ සාමාන්‍ය ජනවහරින් හඳුන්වතොත් ‘පොටෝ කොපි මැසිම’ නම් වන යන්ත්‍රය ය. මේ ක්‍රමයේ නියම නාමය වන්නේ ‘ෆොටෝ ස්ටැට් කොපි’ යන්න ය. එනම් ස්ථිතික ඡායා පිටපත් ය.

ප්‍රහාරක ක්‍රියායනය යනු තීන්ත විදිමින් හෝ විසුරුවමින් ස්ටෙන්සිල් යොදාගෙන කරන මුද්‍රණ ක්‍රමයකි. මෙහි ක්‍රමවේද විවිධත්වයක් ගනී. පෙර කල අපගේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ නිම කළ, තැපැල් කාර්යාල බඳු රාජ්‍ය ආයතනවල නාමපුවරු, මේ ක්‍රමයට ලෝහ තහඩු නිමවා, උඳුනක පුලුස්සා තහවුරු කරගන්නා ලද්දේ ය. ඒවා ඉනැමල් ලෙස හඳුන්වන ලද්දේ ය.

තීන්ත විසිර විදිනයන්ගේ පිහිටෙන් ද, මෙහි තවත් අදියරක් තිබෙයි. එය SPRAY PRINTING නමි. පසු කලෙක පරිගණක මුද්‍රණ යන්ත්‍ර, මේ ක්‍රමවේදය අනුව තැනුණු JET PRINTING නම් ක්‍රමවේදය මත තැනුණේ ය. සුවිසල් නාම පුවරු සඳහා උපයෝගි කරගන්නා DIGITAL PRINTING යන්ත්‍රවල ඇත්තේ ද, මේ ප්‍රහාරක ක්‍රියායනය වැඩි දියුණු කරන ලද තාක්ෂණයකි. එය වූ කලි විදුලි ක්‍රියායනය සහ විද්යුත් ක්‍රියායනය ඒකාබද්ධ කර තැනුනකි.

අවනත් ක්‍රියායනය සඳහා යොදා ගන්නා සිතුවම සහිත ‍ලෝහ තහඩුවල රඳවන තීන්ත තවරා ගන්නා ‘සිලිකන් රබර් කුට්ටිවලින්, සුමට හැඩ නැති රළු මතුපිට මත කරන මුද්‍රණ විසින්, වෙනත් ක්‍රමවේදවලට ළඟා නොවිය හැකි ස්ථාන මත කෙරෙන මුද්‍රණ, ප්‍රකීර්ණක ක්‍රියායනය යටතට ගැනෙයි. මුද්‍රණ ක්ෂේත්‍රයේ මේ සඳහා භාවිත කරන නාම වන්නේ ‘PAD PRINTING’ සහ ‘TAMPOON PRINTING’ ය.

අපි දැන් මුද්‍රණ ශිල්පය පිළිබඳ යොමුවෙහි අවසනට සම්ප්‍රාප්ත වී සිටින්නෙමු. හිම කැටයක් ද්‍රව බවට පත් වීමෙන් අනතුරුව, වාෂ්ප වෙයි. එහෙත් හිම කැටයකට ළං වී පිරික්සුව හොත් එයින් ජල වාෂ්ප ඍජුව ම නිකුත් කරන බව ද දැක ගත හැකි ය. මේ අන්දමට අතරමැදි කිසි යන්ත්‍රණයක්, ආධාරකයක් හෝ මතුපිටක් නැතිව, පරිගණකයෙන් සකස් කර ගන්නා ලේඛනය ‍හෝ රූපය, අවශ්‍ය වර්ණවලින් යුතුව, මුද්‍රණ යන්ත්‍රයකින් පහරනු ලැබීම සමුත්කර්ෂණ මුද්‍රණ ශිල්පයයි. අප මේ කියවන ‘සත්මඬල’ ද අපහට ලැබෙන්නේ ද විදුලි ක්‍රියායනය සහ විද්යුත් ක්‍රියායනය ඒකාබද්ධ කරගනිමිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.