ජාතික ඇඳුම් පුරාණය | සත්මඬල

ජාතික ඇඳුම් පුරාණය

1921 මැයි මාසේ දිනක එවකට කොළඹ ආනන්ද මහා විදුහල්පතිව සිටි ශාස්ත්‍රාචාර්ය පී. ද. ඇස්. කුලරත්න මහතා විසින් ඇරැඹූ ජාතික ඇඳුම් ව්‍යාපාරය, ඉන් වසර 35ට පසුව මෙරට ආණ්ඩු පෙරළියකට පවා හේතු විය හැකි බවට එදා ජීවත් වූ කිසිවකුත් නොසිතන්න ඇත. අධිරාජ්‍යවාදීන් සහ මිෂනාරීන් විසින් දැඩි පීඩනයකට ලක් කර සිටි සිංහල බෞද්ධ ජනතාවට ප්‍රාණ වායුව පිඹිමින් 19 වැනි සියවස මුලදී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඇරැඹූ මහා ජාතික ව්‍යාපාරයෙන් ඇති වුණු සංස්කෘතික ප්‍රබෝධයට කුලරත්න මහතාගේ ජාතික ඇඳුම් ව්‍යාපාරය සාකල්‍යයෙන් ම ගැළපු‍ණේ ය. යුරෝපීය ඇඳුම් ඉවතලා දළ රෙදිකඩකින් සිය සිරුර වසාගත් ඉන්දියානු ජාතික සටනේ පුරෝගාමි මහත්මා ගාන්ධිතුමා මෙන් ම, ධර්මපාලතුමාත් එතුමාගේ අනුගාමික බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාත් යුරෝපීය ඇඳුම් අත්හැර රෙද්දට යොමු වුණේ සියවස ඇරැඹීමටත් පෙර ය. ධර්මපාලතුමාගේ ආභාසයෙන් දේශ සේවයට පිවිසි පියදාස සිරිසේන මහතා ද ඇන්දේ කර පියවූ කෝට් එකක් හා රෙද්දකි. මහජනයාට ඇඳීමට පහසු වියදම් අඩු ඇඳුමක් ලෙස කුලරත්න මහතා ඇරැඹූ ජාතික ඇඳුම් ප්‍රතිසංස්කරණය දේශප්‍රේමය වඩවන ව්‍යාපාරයක් බවට පත් කළේ පියදාස, සිරිසේන මහතා ය. ජනප්‍රධානීන්ගෙන් වැඩි අනුබලයක් නොලැබෙද්දී එයට සිංහල ජාතිය පත්‍රයෙන් ජීවය සැපයුවේ සිරිසේන මහතා විසිනි. ඒ ව්‍යාපාරයට සහාය දෙමින් පළ වුණු, කතුවැකි, ලිපි, විවිධ පුවත්පත් හා දැන්වීම්වලින් ද, 1921 දෙවැනි භාගයේ ‘සිංහල ජාතිය’ පිරී තිබිණි. ශාස්ත්‍රචාර්ය ජී. පී. මලලසේකර, ශාස්ත්‍රාචාර්ය එල්. එච්. මෙත්තානන්ද වැනි ආනන්දයේ තරුණ ගුරුවරු ද කුලරත්න මහතාට සහාය වූහ.

එදා මේ පුරෝගාමීන් ගෙන ගිය ව්‍යාපාරය කෙතරම් සාර්ථක වී දැයි පෙනෙන්නේ 1956 දේශපාලන පෙරළියට සමගාමීව සිදු වුණු සමාජ පෙරළියත් සමඟ ‘රෙදි බැනියම් අදින්නන්ගේ යුගයක්’ උදාවීමෙනි. 1956 පෙරළියට මුල් වූ පංච මහා බලවේගයේ භික්ෂූන් වහන්සේලා හැරුණුකොට ඉතිරි කොටස් හතරේම පොදු ඇඳුම වූයේ ජාතික ඇඳුමයි. අද වන විට රටේ සාමාන්‍ය ජනතාවගේ පටන් රාජ්‍ය නායකයා දක්වා ජාතික ඇඳුම පිළිගෙන තිබීම 1956 වසරේදී ඇරඹුණ සංස්කෘතික විප්ලවයේ ජයග්‍රහණයකි.

කුලරත්න මහතාගේ ජාතික ඇඳුම් ව්‍යාපාරය ඇරැඹී දින කිහිපයකට පසුව ‘සිංහල ජාතියේ’ පළ වූ මේ කතුවැකියෙන් එදා පැවැති තත්ත්වය ගැනත්, එවැනි පරිවර්තනයක් අවශ්‍ය වූයේ මන්ද යන වගත් නූතන පාඨකයාට අවබෝධකර ගත හැකිය: ‘සිංහල ජාතික ඇඳුම’ (31 මැයි 1921)

“ජාතියක ප්‍රබෝධය කිසිවකුටත් වැළකිය නොහැකියි. එහෙත් එය ප්‍රමාද කරන්නත්, යථා ස්ථානයට නොපැමිණීමටත්, සලස්වන්න බැරි නැත. වර්තමාන පෙරදිග වාසීන්ගෙන් සිංහලයන්ට පමණක් මර නින්දේ සිටිය හැකි ද? සත්තකින් ම බැරි ය.

අපේ ජාතික හැඟීම කොයිතරමකින් වත් දැන් යමකු තුළ නැත්තේ නම් ඒ සිංහල ලේ මිශ්‍රවීමක් වත් නැතියකු තුළ බව පෙනෙයි. සිංහල ලේ කොයි ප්‍රමාණයක් වත් මිශ්‍ර වූ කා තුළත් ජාතික හැඟීමක් දැන් ඇති වී තිබේ. ජාතික හැඟීම ඇති වුණු පසු ජාතික ඇඳුම අවශ්‍ය ය. මේ ගැන නොයෙක් දෙනා බොහෝ කාලයක් සිට කල්පනා කරමින් සිටියෝ ය.

අවුරුද්දකට රුපියල් කෝටි කීපයක් අප විසින් යුරෝපයට දෙනු ලබන්නේ කුමක් සඳහා ද? අපේ ජාතියට නුසුදුසු වූ, ශරීර සුවයට බාධක වූ, අන්‍ය ජාතීන්ගෙන් ගැරහුම් ලබන විකාර වූ නානා වේශධාරීන් ඇති කරන දේශගුණයට හාත්පසින් ම විරුද්ධ වූ සම්පූර්ණයෙන් අවැඩදායක වූ යුරෝපීය ඇඳුම සඳහා ය. මේස්, ටයි, කොලර්, ටයි පින්, බූට් පොලිෂ් ගාටර්, තොප්පි, කලිසම්, කෝට්, වෙස්ට් කෝට්, බොත්තං යන මේ ද්‍රව්‍ය ටික සඳහා පමණක් ලක්ෂ සියයකට වඩා අපේ මේ කුඩා රටෙන් විදේශවලට දෙති. මේ දීම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වනු මිස කොහෙත්ම අඩු වන බවක් නොපෙනේ. රටේ අධිපතීන් හා උගතුන් ද ගත් වේශය, රටවාසී අන්‍යයන් විසින් ද ගැනීම ධර්මතාවක් බැවින් මුළු ‍රටම යුරෝපීය ඇඳුමට බැස්සා පුදුමයක් නොවේ.

පරංගි, ඕලන්ද ආදින්ගේ කාලවල පටන් පුරුදු වෙවී ආ නානා ප්‍රකාර ක්‍රමවලින් යුත් සංකීර්ණ වූ ඇඳුම දැන් අපේ ඉහමොළ දිය වී යන තරම් අවැඩදායක තැනට පැමිණ මුළු රටම මහත් අමාරුවේ බැවින් මේ අයුතු බරෙන් නිදහස් වීම කාගේත් බලවත් යුතුකමකි.

ආනන්ද මහා විද්‍යාලයේ ප්‍රධාන තැන්පත් ශාස්ත්‍රාචාර්ය කුලරත්න මහතා අනෙක් ප්‍රධානින් මෙන් ම මේ ගැන කල්පනා කරමින් සිටි කෙනෙකි. කටයුත්තේ තිබෙන භාරදුරකම නිසා කවුරුත් කල්දමමින් සිටි මේ උසස් ජාතික මෙහෙය පණ ගැන්වීමට කුලරත්න මහතා පසුගිය මංගල දිනයේ නිර්භයව පටන් ගන්නා ලදි. දැන් කුලරත්න මහතාටත්, ඒ අනුව යන්නන්ටත්, දොස් කියන්නෝ බොහෝ වෙති. එහෙත් තමන්ටත්, අනුන්ටත් වැඩ කැමැති කිසිවකු දුර්මුඛ නොවිය යුතු ය; භය නොවිය යුතු ය; මේ ජාතික ඇඳුම ය කියන්නේ වර්ෂයකට රුපියල් දෙකෝටියක් තරම රටේ රඳවා ගන්නා සම්‍යක් උපායකි. කුලරත්න මහතා ජාතික මහා විද්‍යාලයේ ප්‍රධානියා ය. එතුමාගේ අදහස එකහෙළාම පිළිගැනීමට රටේ වැදගත් පවුල්වල දරුවෝ දාහකට වඩා ‍බලාපොරොත්තු වෙති. මේ හෙයින් මේ ජාතික ඇඳුමේ ආරම්භය ඒ මහතා විසින් පටන් ගැන්ම අන්‍ය කා විසින් පටන් ගත්තාටත් වඩා යහපත් ය.”

ජාතික ඇඳුම් ව්‍යාපාරය පිළිබඳ එදා සිටි ජනනායකයන් කිහිප දෙනකුගේ අදහස් ද එදා පත්‍රයේ මුල් පිටුවේ පළ කර තිබිණි. අධිනීතිඥ ඇස්. ආර්. සේනානායක මහතා මෙසේ පවසා තිබිණි:

“අධික වියදම් යන යුරෝපීය ඇඳුම් අත්හැර වියදම් අඩු වූ ශරීරයට සුවපහසු ඇඳුමක් සූදානම් කර නොගෙන අපට ඔළුව උස්සන්න නොලැ‍බේ. කුලරත්න මහත්මයාගේ මේ පටන් ගැන්මට මම මුළු හෘදයෙන්ම ස්තුති පළ කරමි.”

අධිනීතිඥ ශාස්ත්‍රාචාර්ය ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක, වාසල මුදලි පණ්ඩිත ඩබ්ලිව්. ඇප්. ගුණවර්ධන වැනි නායකයන් ද සමාන අදහස් දක්වා තිබිණි.

මේ ප්‍රශ්නය පිළිබඳ එකල ප්‍රබල පුවත්පතක් වූ ‘මෝනිං ලීඩර්’ පත්‍රයේ පළ වූ ලිපියකට කුලරත්න මහතා යැවූ පිළිතුරු ලිපියක සිංහල අනුවාදයක් ජුනි 14 දින ‘සිංහල ජාතියේ’ පළ වී තිබිණි. මේ ඉන් උපුටාගත් කොටස් කිහිපයකි.

“මගේ ඇඳුම ජාතික ඇඳුම නොවේ යැයි මා විසින් ප්‍රකාශ කරන ලදැයි එහි කියා තිබේ. සත්තකින්ම එය සත්‍යයකි. මේ ඇඳුම, මේ තාක්ම අර්ථ සංරක්ෂණයට යෝග්‍ය වූ එකක් පමණි. එහෙත් මහජනයා විසින් ක්‍රමයෙන් භාවිත වුව හොත් එවිට එය ජාතික ඇඳුම වනු නොඅනුමාන ය. ජාතික ඇඳුම වනාහි පෙර සිටි අපේ මුතුන්මිත්තන් විසින් අඳින ලද ඇඳුම ම විය යුතු යැයි සිතන තමුන්නාන්සේගේ ලියුම්කරු භවතුන් සමඟ මම සත්තකින්ම එකඟ නොවෙමි. අප විසින් ඇන්ද යුතු වන්නේ අපේ පෙර සිටි මුතුන් මිත්තන්ගෙන් කවරකු අඳින ලද ඇඳුම දැයි කිසිවකු විසින් දක්වන බවක් නොපෙනේ. යම් කිසිවකු එය දැනගත් නමුත් ‘ජාතික ඇඳුම’ වීමට අප විසින් ඒ ඇඳුම ම භාවිත කළ යුතු යැයි මට නොසිතේ.”

එදා ජනප්‍රධානින්ගෙන් කුලරත්න මහතාට අවශ්‍ය තරම් සහාය ලැබී නැති බව ඔතුමාගේ මේ අදහස්වලින් පෙනේ.

“අපේ ප්‍රධානින්ගෙන් වැඩි දෙනෙක් ඔවුන්ගේ ඇඳුම් වෙනස් කිරීම ගැන සිතීමට තරම් නිදහස් මතිකයන් නොවේ යැයි මම තරයේ විශ්වාස කරමි. ඇත්ත කියතොත් අපේ ප්‍රධානීන්ගෙන් කෙනෙක් තමාගේ ඇඳුම වෙනස් කිරීමට උවමනා කරන චෛතසික ධෛර්යය තමාට නැති බව මා සමඟ කීවේ ය. මේ කාරණය සම්බන්ධව අපේ ප්‍රධානීහු ඔවුන්ගේ සැලකිල්ල යොමු නොකළ බවත්, එසේ කරන ලද්දේ නම් ඔවුන් පළමුවෙන් ක්‍රියාකොට මඟ පෙන්වන බවත් මගේ විශ්වාසයයි.”

එදින පත්‍රයේ මුල් පිටුවේ පළ වූ ලියුමකින් ශාස්ත්‍රාචාර්ය ජී. පී. මලලසේකර මහතා දන්වා සිටියේ සිංහල මිනිසුන්ට මෙකලට යෝග්‍ය ඇඳුමක් ගැන සාකච්ඡා සභාවක් 18 දින ආනන්ද මහා විද්‍යාලයේදී පැවැත්වෙන බව ය.

ජූනි 14 දින සිංහල ජාතිය පත්‍රයේ ද සිරිසේන මහතා අදහස් දක්වා තිබේ:

“විදේශීය ඇඳුමකින් සැරැසීම, විදේශික උපකරණ පාවිච්චිය, විදේශික භාෂාවකින් කතා කිරීම, විදේශිකයන් ගුරු ස්ථානයේ තබා ගැනීම යනාදීහු ඒකාන්තයෙන් ස්වජාතික මතක නැති වීමට හේතු වෙති. ජාතියේ මතක නැති වීමට, වැසී යෑමට හේතු වූ මේ කරුණු මෙසේම තබාගෙන ජාතික ප්‍රබෝධයක්, හැඟීමක් ඇති කරගන්ට සිතීම අමාර්ග ප්‍රතිපත්තියක් බව හැ‍ඟේ.... ඇඳුම් ‍දෙඩුම් ආදි විදේශික උපක්ලේෂවලින් කිලිටි වූ ජාතියකට ස්වජාතිකත්වයෙන් කිසි කලෙක බැබළිය නොහැකියි.”

නිදා සිටි සිංහල ජාතිය අවදි කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සිරිසේන මහතාට එවූ ලියුමක් ජූනි 21 දින ‘සිංහල ජාතිය’ මුල් පිටුවේ පළ විය:

“ප්‍රිය සිරිසේන,

මහජන සම්මතයට එකඟව ක්‍රියා කිරීම පුරාණ චාරිත්‍රයකි. මහජන සම්මතයට අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් රුසියාව, ජර්මනිය, අස්ත්‍රියාව යන මහා රාජ්‍යවල මහා රජවරුන්ටත් හානි පැමිණ තිබේ. රෙදි අඳින සිංහල කොටස කලිසම් අඳින සිංහල කොටසට අධික බැවින් මහාජන සම්මතයෙන් කලිසම්, තොප්පි ආදි යුරෝපීය චීවර ප්‍රතික්ෂේප කළ යුතුයි. කලිසම්කාර ස්වල්පදෙනාගේ යුතුකම සිංහල මහජනයා සමඟ සාමග්‍රියෙන් ක්‍රියා කිරීම ය. වාද විවාද මෙකලට අයෝග්‍ය ය. මහජන සභාවක් පවත්වා කලිසම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරගත යුතුයි.

ස්වල්ප දෙනෙකුගේ මතයත්, අත්තනෝමතයත් භාර ගැනීම විභජ්ජවාදි මණ්ඩල ධර්මය නොවන බව පොත්වලින් පෙනෙයි. කලිසම අඳින්න පටන් ගත් අය එසේ කළේ මහජන සභාවකින් කළ නියෝගයකින් නොවේ. ඔවුනොවුන්ගේ අත්තනෝමතය මුල් කරගෙන අහංකාරකම නිසා යුරෝපීය ආචාර සමාචාර වස්ත්‍ර ඇඳීම සිංහලයන් විසින් පටන් ගන්නා ලදි. සිංහල තරුණයන්ට යහපත් මාර්ගයේ යන්ට සැලැස්සූ තරුණ ශාස්ත්‍රාචාර්ය කුලරත්න පඬිතුමාගේ ආදර්ශය සිංහල තරුණයන් ගත යුතුයි.

හිතවත්, අනගාරික ධර්මපාල”

ජාතික ඇඳුම ප්‍රචලිත කිරීමේ මඟක් ලෙස එය සභාවලටත්, උත්සවවලටත්, මංගල්‍යාමංගල්‍යවලටත් ආරම්භ කරන ලෙසත්, අනිත් කටයුතුවලදී තම තමන්ට පුරුදු ඇඳුම අඳින ලෙසත් ජූනි 21 දින උප කතු වැකියකින් සිරිසේන මහතා මහජනයාගෙන් ඉල්ලා ඇත. එදින ප්‍රධාන කතුවැකිය වූයේ “ඇඳුම් ප්‍රතිසංස්කරණය හා අපේ ප්‍රධානීහු” නමිනි.

මේ උපුටාගත් කොටසකි:

“මහජන මතය රාජබලයටත් ලොකු ය. ඒ එසේ නම් ලොකු මිනිසුන්ගේ බලයට ගෞරව කළ යුතු ද? කන්ද ළඟට මහමත් යනවා විනා මහමත් ළඟට කන්ද එන්නේ නැත. එමෙන් ම මහජන මතයට ප්‍රධානීන් යටත් විය යුතුවා මිස ප්‍රධානීන්ගේ මතයට මහජන මතය යටත් විය යුතු නැත. එහෙත් සාමාන්‍ය ජනයාගේ අමාරුව අත්හැරෙන වියදම් අඩු ඇඳුමක් ඇඳීම කාගේත් යුතුකමක් බව නිශ්චය කරගත යුතු ය. සිංහලයන්ගේ ජාතික හැඟීමත්, ‍ජාතික ගෞරවයත් සුන්‍ය කළ කලිසම් ආදි යුරෝපීය ඇඳුම් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළ ශාස්ත්‍රාචාර්ය කුලරත්න මහතා ලංකා ඉතිහාසය අලංකාර කළවුන්ගෙන් කෙනෙක් විය යුතුයි.

කෙසේ වුවද ජාතික ඇඳුම දෙස අවඥාවෙන් බැලූ ප්‍රබල පිරිසක් ද එදා සිටි බව පෙනේ. මෙයින් ප්‍රමුඛයා වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයාධිපති ඒ. ජී. ප්‍රේසර් දේවගැතිවරයා ය. ඔහු ජාතික ඇඳුමින් සැරසී විදුහලට පැමිණි සිසුන් බංකු උඩ නග්ගවා ඔවුන්ට අපහාස හා තර්ජන කර ඇත. මේ පිළිබඳ මහජන විරෝධය දක්වා එවන ලියුම් පළ කරමින් සිරිසේන මහතා ඔහු දැඩි විවේචනයට ද ලක් කළේ ය. ප්‍රේසර් දේවගැතිවරයා ටික කලකට පසු සිරිසේන මහතාගෙන් පළි ගත්තේ තමාට අපහාස වන ලිපියක් පත්‍රයේ පළ කිරීම ගැන රුපියල් පන්දහසක අලාභයක් ඉල්ලා නඩු පැවරීමෙනි. නඩුව උසාවියේදී සමාදාන වුව ද නඩු ගාස්තු වශයෙන් රුපියල් 300ක් ගෙවීමට සිරිසේන මහතාට සිදු විය.

ජාතික ඇඳුම් ව්‍යාපාරයට විශාල ශක්තියක් ලැබුණු අවස්ථාවක් ලෙස තරුණ අධිනීතිඥ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සිය යුරෝපීය ඇඳුම් ප්‍රසිද්ධියේම ගිනිබත් කොට ජාතික ඇඳුම පිළිගැනීම කැපී පෙනෙයි. එදා අධිරාජ්‍යවාදීන්ගේ පතාක යෝධයකු වූ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාගේ එකම පුත්‍රයා එංගලන්තයේ විශිෂ්ට අධ්‍යාපනයක් ලබා මෙරටට පැමිණි මුලදීම සිය ආගමත්, ඇඳුමත් වෙනස් කිරීම ඉහළ සමාජයේ කැලඹීමටත්, සාමාන්‍ය ජනයාගේ ප්‍රීතියටත් හේතු වුණා නිසැකයි.

යුරෝපීය ඇඳුම අත්හැර ජාතික ඇඳුම මුලදීම පිළිගත් ප්‍රසිද්ධ පුද්ගලයන් ලෙස ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, නීතිඥ ආනන්ද මීවනපලාන සහ පසුකාලයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍යවරුන් වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සහ ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහත්වරු කැපී පෙනෙති. රාජ්‍ය මන්ත්‍රීවරුන් වූ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ සහ පිලිප් ගුණවර්ධන මහත්වරු තවත් දෙදෙනෙකි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ ඇමැති සහ සභානායක වූ ඩී. බී. ජයතිලක මහතා වැදගත් ජාතික ආගමික අවස්ථාවල එය ඇන්දේ ය. රුවන්මැලි මහ සෑ කොත් පැලඳවීමේ උත්සවයේදී එදා මෙරට ඔටුනු නොපලන් රජු ලෙස සැලකුණු ජයතිලක මහතා චාම් සුදු ජාතික ඇඳුමිනුත්, දියවඩන නිලමේ තුමා විචිත්‍ර, බබළන, උඩරට ඇඳුමෙනුත් සැරැසී සිටීම විශේෂයක් වූ බව ‘සිංහල ජාතිය’ වාර්තා කළේය. ඩී. ඇස්. සේනානායක මහතා බොහෝ ආගමික උත්සවවලට ඇන්දේ ජාතික ඇඳුමයි. අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු මහනුවර දළදා මාලිගයට ඔහු ගියේ ද එලෙස ය. ඩඩ්ලි සේනානායක මහතා ද බොහෝ ආගමික උත්සවලට සහභාගි වූයේ ජාතික ඇඳුමිනි. මහියංගණ කේතුපිලන්දනයට ද ඔහු සහභාගි වූයේ එලෙස ය. මේ නායකයන් තිදෙනාම ජාතික ඇඳුමට, ජාතික කොඩිය මෙන් ගෞරවයෙන් සැලකූ බව පෙනේ.

මහපඬි කුමාරතුංග මුනිදාසතුමාත්, ජයන්ත වීරසේකර, රැ. තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු වැනි හෙළ හවුලේ නායකයෝත් ජාතික ඇඳුම ඇන්දාහ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වූ මහාචාර්ය මලලසේකර, මහාචාර්ය එම්.ඩී. රත්නසූරිය, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය ඇෆ්.ආර්. ජයසූරිය, ආචාර්ය ඇම්. ශ්‍රී රම්මණ්ඩල, ආචාර්ය ඇම්.එච්. පීටර් සිල්වා ආදි මහත්වරුත් ජාතික ඇඳුම භාවිත කළහ. කොළඹ යුගයේ බොහෝ ජනප්‍රිය කවීන් ද ඇන්දේ ජාතික ඇඳුමයි.

ජාතික ඇඳුම් ව්‍යාපාරය ආරම්භයේ සිටම කුලරත්න මහතාට යෝධ ශක්තියක් වූ ජී. පී. මලලසේකර මහතා විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වශයෙන් ද, රුසියාවේ හා මහා බ්‍රිතාන්‍යයේ තානාපති වශයෙන් ද, එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නිත්‍ය ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් ද ඇන්දේ ජාතික ඇඳුමයි. එතුමා සුදෝ සුදෙන් මෙන් ම විවිධ වර්ණවලින් හැඩ ගැන්වුණු බතික් වැනි ජාතික ඇඳුම් ද ඇන්දේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පසු කලෙක අධ්‍යාපන ඇමැතිවරුන් ද වූ ඩබ්ලිව්. දහනායක හා අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහත්වරුන් ද දිගටම ඇන්දේ ජාතික ඇඳුමයි. සිවිල් සේවයේ උසස් තනතුරු දැරූ ආචාර්ය ආනන්ද ගුරුගේ සහ හෙ. ජිනදාස මහත්වරු ද ජාතික ඇඳුම ඇන්දහ.

1956 වසරේ ජයග්‍රහණයෙන් පසුව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඇමැති මණ්ඩලයේ එක් අයකු හැර අන් සියලුදෙනාම දිවුරුම් දුන්නේ ජාතික ඇඳුමින් සැරැසී ය. එවකට සිටි අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක අධිරාජ්‍යවාදී ඇඳුමිනුත්, බණ්ඩාරනායක මහතා ජාතික ඇඳුමිනුත් සැරසී සිටීම යුග දෙකක වෙනස පෙන්වූයේ ය. මෙයින් පසු ‘රෙදි බැනියම් යුගය’ උදා විය.

1961 වසරේදී විලියම් ගොපල්ලව මැතිතුමා ජනාධිපති වීමෙන් පසුව අද දක්වාම ලංකාවේ රාජ්‍ය නායකයන් ඇන්දේ ජාතික ඇඳුමයි. 1976 දී පී. ද ඇස්. කුලරත්න මහතා අභාවප්‍රාප්ත වන විට මෙරට ජනාධිපති වූයේ ගොපල්ලව මැතිතුමා ය. තමා සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් වියදම් අඩු ඇඳුමක් ලෙස හඳුන්වා දුන් ජාතික ඇඳුම රටේ ආණ්ඩු පරිවර්තනයකට පවා හේතු වුණු හැටිත්, රාජ්‍ය නායකයාගේ ද ඇඳුම බවට පත් වුණු හැටිත් දැකීමට කුලරත්න මහතා වාසනාවන්ත විය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.