නවීන බටහිර ලේඛකයා හා පැරැණි සාහිත්‍යය | සත්මඬල

නවීන බටහිර ලේඛකයා හා පැරැණි සාහිත්‍යය

නවීන බටහිර ලේඛකයා හා පැරැණි සාහිත්‍යය

සම්ප්‍රදාය මඟින් සිදු වන එක් වැදගත් මෙහෙයක් නම් අප තුළ රස විඳීමේ ශක්තිය, රසඥතාව, භාවකත්වය ඇති කිරීමයි. පැරැණි සාහිත්‍ය කෘති කියැවීම නිසා ඒවායේ පැනෙනා විචිත්‍ර වාගුක්ති, කාව්‍යෝක්ත යනාදිය අපේ ස්මෘතියට පිවිසෙයි. භාවකත්වය සකස් කිරීමෙහිලා මේ ස්මෘති මාත්‍රා ඉතා වැදගත් වෙයි.

1971 සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් දෙසැම්බර් 18 වැනිදා පැවැත්වූ

සාහිත්‍ය සම්මන්ත්‍රණයේ දේශනය.

“කවියකුගේ හොඳම නිර්මාණාංග මඟින් මෙන් ම ඔහුගේ පුද්ගලත්වය තියුණු ලෙස ප්‍රකට කරවන නිර්මාණාංග මඟින් ද මියගිය කවීන් හා ආදිකාලීන ලේඛකයන් ස්වකීය අමරණීයත්වය ප්‍රකාශ කරන බව අපට පසක් වනු ඇත”

ටී. එස්. එලියට්

නවීන බටහිර ලේඛකයන්, පැරැණි සාහිත්‍යයෙන් ලද ආභාසය යන්න අතිශයින් පුළුල් මාතෘකාවකි. එංගලන්තය, ප්‍රංසය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය ආදි බටහිර රටවල ඉතා සාරවත් වූත් සුසංවර්ධිත වූත් සාහිත්‍ය කලා දක්නට ලැබේ. මේ විවිධ රටවල එක් එක් ලේඛකයන් චිරන්තන සාහිත්‍යයෙන් ප්‍රභාවක් ලබා ඇති අයුරු පෙන්නුම් කිරීම විනාඩි 15ක් පමණ සුළු කාලයකට සීමා වූ කතාවකින් කිසි සේත් කළ නොහැකි දෙයකි. එවැන්නක් සඳහා අතිවිශාල ග්‍රන්ථයක් රචනා කිරීම අවශ්‍ය වෙයි. ඒ නිසා මා මේ කතාවෙන් බලාපොරොත්තු වන්නේ පොදුවේ බටහිර රටවල ලේඛකයන් චිරත්තන සාහිත්‍යය සමඟ සම්බන්ධකම් ඇතිකොට තිබෙන මූලික ක්‍රම පිරීක්සා බැලීමටයි.

නවීන බටහිර ලේඛකයා හා පැරැණි සාහිත්‍යය යන මාතෘකාව යටතේ කතා කිරීමේදී පළමුවෙන්ම සම්ප්‍රදාය යන සංකල්පය සාකච්ඡා කිරීමට සිදු වෙයි. සම්ප්‍රදාය යන වචනය අපි භාවිත කරන්නේ ඉංග්‍රීසියෙන් Tradition යන පදයෙන් සුචිත අර්ථ දැක්වීම පිණිසයි. නිර්මාණාත්මක සාහිත්‍ය විෂයෙහි, සම්ප්‍රදාය ඉතා වැදගත් ය. උසස් සාහිත්‍ය නිර්මාණය සඳහා සම්ප්‍රදාය මහත් පිටුබලයකි. ස්වකීය සම්ප්‍රදාය සහමුලින් අමතක කොට දමා ලේඛකයකුට උත්තම ගණයේ සාහිත්‍ය කෘති රචනා කළ නොහැකි ය. සාහිත්‍ය විෂයයෙහි ‍මේසා වැදගත් ධර්මතාවක් වන සම්ප්‍රදාය යනු අතීතයට අයත්, අජීව වස්තුවක්, කෞතුක භාණ්ඩයක් බවයි. මෙය සම්පූර්ණයෙන් වැරැදි මතයකි. සම්ප්‍රදාය යනු ජීව වස්තුවකි. වර්තමානයට වැදගත් වන අතීතයෙහි ජීව සාරය සම්ප්‍රදාය හැටියට විග්‍රහ කිරීමට පුළුවන. සම්ප්‍රදාය මඟින් සිදු වන එක් වැදගත් මෙහෙයක් නම් අප තුළ රස විඳීමේ ශක්තිය, රසඥතාව, භාවකත්වය ඇති කිරීමයි. පැරැණි සාහිත්‍ය කෘති කියැවීම නිසා ඒවායේ පැනෙනා විචිත්‍ර වාගුක්ති, කාව්‍යෝක්ති යනාදිය අපේ ස්මෘතියට පිවිසෙයි. භාවකත්වය සකස් කිරීමෙහිලා මේ ස්මෘති මාත්‍රා ඉතා වැදගත් වෙයි. ඒ නිසා සාමාන්‍ය රසිකයකුට මේ ස්මෘති මාත්‍රා අතිශයින් වැදගත් වේ නම් නිර්මාණාත්මක ලේඛකයන්ට ඒවා කොයි තරම් වැදගත් විය යුතු ද යන්න සිතා ගන්න පුළුවන. ඇත්ත වශයෙන් ලෝකයේ උසස් සාහිත්‍යකරුවන් හැමදෙනා සිය සම්ප්‍රදායවලින් ආභාසය ලබා ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි.

වර්තමාන ඉංග්‍රීසි කාව්‍ය ක්ෂේත්‍රය සකස් කිරීම සම්බන්ධයෙන් පුරෝගාමියකු හැටියට සැලකිය හැකි එස්රා පවුන්ඩ් අපි හැම දෙයක්ම අලුතින් ගොඩනඟමු’ යන උද්‍යෝග පාඨය ඉදිරිපත් කළත් ඔහු පාරම්පරික සාහිත්‍ය සම්ප්‍රදායට කොතරම් ණයගැති වූවා ද යන්න ඔහුගේ නිර්මාණාත්මක කෘති විග්‍රහ කරන විට පැහැදිලි වෙයි.

මේ අනුව බලන විට සම්ප්‍රදාය යන්න නිර්මාණාත්මක සාහිත්‍ය විෂයයෙහි අතිශයින් අර්ථවත් සංකල්පයක් බවත්, උසස් ලේඛකයන් නිතර ම සිය පාරම්පරික සම්ප්‍රදායෙන් ආභාසයක් ලබා ඇති බවත් අපට පෙනී යන කාරණයකි. මේ සම්බන්ධයෙන් සුප්‍රකට බටහිර කවියකු හා විචාරකයකු වන ටී. එස්. එලියට්ගේ ප්‍රකාශනයක් මෙහි දී දැක්වීම උචිත යැයි මම කල්පනා කරමි. සම්ප්‍රදාය යන්න පළමුවෙන් සිය විසිපස් වියට පසුව කවි ලියන කිසිවකුට අමතක නොකළ හැකි ඓතිහාසික විඥානයක් ඇතුළත් වේ. මේ ඓතිහාසික විඥානය සඳහා අතීතයෙහි අතීත භාවය මෙන්ම අතීතයෙහි වර්තමාන භාවයත් මූලභූත වෙයි. මේ ඓතිහාසික විඥානය තමා ජීවත් වන යුගයෙහි හා පරම්පරාවෙහි විශේෂතා වටහාගෙන පමණක් නොව හෝමර්ගේ පටන් අද දක්වා මුළු යුරෝපීය සාහිත්‍යයත්, එය තුළ තම රටෙහි සාහිත්‍යත් එක ම රටාවකට අනුව හැඩගැසී ඇති අයුරු වටහාගෙන ලිවීමට ලේඛකයන් පොලඹවයි.

ටී. එස්. එලියට් මෙහි දී විමර්ශනයට භාජන කරන්නේ බටහිර රටවල සාහිත්‍ය බව ඇත්ත ය. එහෙත් ඒ ප්‍රකාශයෙන් ධ්වනිත වන අර්ථය නැත් නම් මූලධර්මය අප කාහටත් වැදගත් ය. මේ අනුව බලන විට අපට පැහැදිලි වන්නේ කවර ලේඛකයකුට වුවත් සිය පාරම්පරික සාහිත්‍ය සම්ප්‍රදාය වැදගත් වන බවයි. මෙය බටහිර ලේඛකයන් මැනවින් වටහාගෙන තිබේ. නවීන බටහිර ලේඛකයන් වස්තු විෂයය අතින්, රචනා රීතිය අතින්, සන්දර්භ විධි අතින් පුදුම එළවන අන්දමේ අත්හදා බැලීම් පවත්වා තිබේ. ඒ නිසා බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ නවීන බටහිර ලේඛකයන් ස්වකීය සම්ප්‍රදායන්ට සම්පූර්ණයෙන්ම පිටුපා ගොස් තිබෙන බවයි. එහෙත් මෙය වැරැදි මතයකි. ඔවුන් කොතරම් නව අත්හදා බැලීම් පැවැත්වූවත්, ඒවා සියල්ල සිදුකොට තිබෙන්නේ සම්ප්‍රදාය විසින් හික්මවන ලද සාහිත්‍ය මනසකින් යුතුව ය. ඒ නිසා නවීන බටහිර ලේඛකයා හා පැරැණි සාහිත්‍යය යන මාතෘකාව ගැන කතා කිරීමේදී පළමුවෙන් කිව යුතුව තිබෙන්නේ සම්ප්‍රදාය ගරුකව, බොහෝ ලේඛකයන් පැරැණි සාහිත්‍යයෙන් ආභාසයක් ලබා තිබෙන බවයි. සම්ප්‍රදාය යන්න ඉතා සියුම් දෙයකි. මේ නිසා ම අසවල් ලේඛකයා අසවල් රචනය නිර්මාණය කිරීමේදී අසවල් ආකාරයට සිය සම්ප්‍රදායෙන් ආභාසයක් ලබා තිබෙනවා කියා පැහැදිලිව පෙන්නා දීම තරමක් අමාරු ය. එය ඉවෙන් මෙන් වටහාගන්නා දෙයකි.

එහෙත් යම් යම් ලේඛයන් චිරන්තන සාහිත්‍ය කෘතිවලින්, පැහැදිලි ලෙස දැක්විය හැකි අන්දමට ආභාසය ලබා ඇති අවස්ථාවක් එමට දක්වන්න පුළුවන. උදාහරණයක් හැටියට එංගලන්තයේ හා අමෙරිකාවේ විසිවැනි සියවසේ ඇති වූ කාව්‍ය විප්ලවය සලකා බලමු. මේ කාව්‍ය විප්ලවයෙන් පසුව බිහි වූ රචනාවල දක්නට ලැබෙන එක් මුඛ්‍ය ලක්ෂණයක් නම් සංකීර්ණ ආවේගවල ප්‍රබල සංඝට්ටනය විදහා දැක්වීමයි. මෙහි දී ඔවුන් ජෝන් ඩන්, ජෝර්ජ් හර්බට්, ඇන්ඩ්රූ මාවල් වැනි දහහත් වැනි සියවසේ කවීන්ගේ රචනාවලින් විශාල ආභාසයක් ලබා තිබේ. උත්ප්‍රාසයට හා සන්දිග්ධාර්ථවලට මුල්තැනක් ලැබෙන පරිදි දහහත් වැනි සියවසේ කවියෝ කාව්‍ය රචනා කළහ. එමෙන් ම “a bracelet of bright hair about the bone” වැනි කාව්‍යෝක්තිවල දක්නට ලැබෙන පරිදි ප්‍රබල ව්‍යතිරේකාලංකාරයට මුල්තැනක් දුන්හ. මෙහි Bright hair යන යෙදුමත් bone යන වචනයත් එක්තැන් කොට ඇති ආකාරයෙන් ව්‍යතිරේකාලංකාරය ජනිත වෙයි. මේ ලක්ෂණ නවීන ඉංග්‍රීසි හා අමෙරිකානු පදවල බහුලව දක්නට ලැබෙන අතර ම ඒ කවීන්ම ප්‍රකාශ කොට ඇති අන්දමට ඔවුන් දාහත් වැනි සියවසේ ජෝන් ඩන් වැනි රචකයන්ගේ නොමඳ ආභාසයක් ලබා තිබේ. ඇතැම්හු විදග්ධ සාහිත්‍ය කෘතිවලින් නැත් නම් චූල සම්ප්‍රදායෙන් එළියක් ලැබූහ. ඉතා ජනප්‍රිය කවියකු වන ස්පාඤ්ඤ ජාතික ෆෙඩ්රිකෝ ගර්සියා ලොර්කා නිදර්ශනයක් හැටියට දක්වන්න පුළුවන. ඔහු සිය පද්‍ය කාව්‍යයන් රචනා කිරීමේදී සිය රටේ ගැමි ගීවලින් මහත් ප්‍රතිෂ්ඨාවක් ලැබුවේ ය. නවීන ‍ලේඛකයන් පැරැණි සාහිත්‍යයෙන් ආභාසයක් ලබා තිබෙන්නේ භාෂාව හා කාව්‍යෝක්ති අතින් පමණක් නොවේ. ඇතැම් සාහිත්‍යකරුවන් පැරැණි ලේඛකයන් විසින් පරිචිත තාල, විරිත් වැනි රචනෝපක්‍රම ද ඉතා සාර්ථක ලෙස යොදාගෙන තිබේ. උදාහරණයක් වශයෙන් එලිසබිතියානු යුගයේ ජනප්‍රියව පැවැති Lambic oentametre යන දසමත් විරිත ටී.එස්. එලියට් වැනි ලේඛකයන් ඉතා සූර ලෙස නව ජීවයකින් යුතුව සිය කාව්‍යවල හා නාට්‍යවල යොදා තිබේ.

ඇත්ත වශයෙන් නවීන බටහිර ලේඛකයන් ආභාසයක් ලබා තිබෙන්නේ ස්වකීය පාරම්පරික සාහිත්‍යවලින් පමණක් නො වේ. බොහෝ දෙනා පිළිගන්නා අන්දමට විසිවැනි සියවසේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා නම් ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ස් ය. ඔහු‍ගේ කීර්තිය විශ්ව ව්‍යාප්ත කිරීමට ඔහු විසින් ඉදිරිපත් කරන ලද නව රංග සංකල්පය මූලෝපකාර විය. මේ රංග සංකල්පය සකස් කිරීමේදී ඔහු පාරම්පරික චීන ගීත නාටකයෙන් විශාල ආභාසයක් ලැබුවේ ය. ක්‍රෑර රංගන යන රංගන විශේෂය ජනප්‍රියත්වයට පත් කළ ඇන්ටොයිස් ආර්ටෝ තවත් කීර්තිමත් නාට්‍යකරුවෙකි. ඔහු බලි දූපතෙහි පැරැණි නාට්‍යවලින් එළියක් ලැබූවෙකි. ඩබ්ලිව්. බී. යේට්ස් නමැති සුප්‍රකට අයිරිස් ජාතික නාට්‍යකරුවා පුරාතන ජපානයේ නෝ නාට්‍ය ක්‍රමයෙන් ප්‍රභාවක් ලැබූවේ ය. විසිවැනි සියවසේ එංගලන්තයෙන් අමෙරිකාවේත් ඇති වූ උග්‍ර කාව්‍ය විප්ලවයට පදනම් වූ එක් සාහිත්යික වාදයක් තිබේ. එය නම් සංකල්පය රූප වාදය (Imagism)යි. එස්රා පවුන්ඩ්, රිචඩ් ඇල්ඩිංටන්, එම්. ලොවල්, හිල්ඩා ඩූලිට්ල් වැන්නෝ සංකල්ප රූපවාදය බිහි කිරීමේදී චිරන්තන ජපන් හා චීන පද්‍යවලින් හා පැරැණි ග්‍රීක පද්‍යවලිනුත් මහත් පිටිවහලක් ලැබූහ. මෙයින් අපට පැහැදිලි වන්නේ නවීන යුරෝපීය හා අමෙරිකානු ලේඛකයන් සිය රටවල පුරාතන සාහිත්‍ය කෘතිවලින් පමණක් නොව පෙරදිග රටවල පුරාතන සාහිත්‍ය කෘතිවලිනුත් ප්‍රතිෂ්ඨාවක් ලබා ඇති බවයි.

විසිවැනි සියවසේ බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ඉතා වැදගත් උද්භූතින් දෙකක් හැටියට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංග කලාවත්, එස්රා පවුන්ඩ් ඇතුළු කවීන්ගේ සංකල්ප රූපවාදයත් දක්වන්න පුළුවන. මේ උද්භූතින් දෙකට ම චිරන්තන සාහිත්‍යය මහත් පිටුබලයක් වී තිබේ. නවීන බටහිර ලේඛකයා හා පුරාතන සාහිත්‍යය අතර පවත්නා සම්බන්ධය පරීක්ෂා කිරීමේදී මේ තාක් අප සාකච්ඡා කළේ එක එල්ලේ ම පැරැණි සාහිත්‍යයෙන් ලබා ඇති ආභාසයයි. මෙය තමා ඉතා සරල ක්‍රමය වන්නේ. එහෙත් මීට වඩා සංකීර්ණ ස්වරූපයකින් මේ සම්බන්ධය දක්නට ලැබේ. ඇතැම් නූතන කවීන් පැරැණි පද්‍ය පාඨ උත්ප්‍රාසය දැනෙන පරිදි යොදාගෙන තිබේ. පැරැණි සමාජවල සරල සෞන්දර්යයත්, වර්තමාන සමාජයේ සංකීර්ණ වූත්, කර්කශ වූත් ස්වභාවයත් එකට පෙන්නුම් කිරීමට ඔවුන් මේ ක්‍රමය භාවිත කරයි. මේ සම්බන්ධයෙන් ටී.එස්. එලියට්ගේ ද ‘වෙස්ට් ලෑන්ඩ්’ නමැති කාව්‍යය අතිශයින් වැදගත් ය. මේ ලක්ෂණය එහි බහුල වශයෙන් දක්නට ලැබේ. මා එයින් උපුටා ගත් අවස්ථාවක් දෙකක් දක්වනු කැමැත්තෙමි. ඔහු එහි දී එක් තැනක ස්පෙන්සර් නම් කවියා ප්‍රොතැලමියන් නම් කාව්‍යයෙහි තේම්ස් නදිය වර්ණනා කිරීමේදී යොදාගත් කාව්‍යෝක්තියෙන් වර්තමාන අවධියේ රස බව දැක්වීමට යොදාගෙන තිබේ. ස්පෙන්සර් තේම්ස් නදියේ දුටුවේ මල් පියලියි. එලියට් දකින්නේ සිගරට් කොට හා කාඩ්බෝඩ් පෙට්ටියි.

‘ද වෙස්ට් ලෑන්ඩ්’ කාව්‍යයෙහි ම ඔහු තවත් තැනක ඇන්ඩ්රූ මාවල් නම් පැරැණි කවියාගේ පද්‍ය ඛණ්ඩයක් මඳක් වෙනස් ස්වරූපයකින් ඉදිරිපත් කරයි. මෙහිදීත් අරමුණ පුරාතන සමාජය හා නූතන සමාජය අතර වෙනස සංක්ෂිප්ත ලෙස පෙන්නුම් කිරීමයි. මේ මාවල්ගේ පද්‍ය ඛණ්ඩයයි:

But at my back I always hear

Time’s wineed chariot hurrying near.

එලියට් එය මඳක් වෙනස් කොට දක්වන්නේ ‍ෙම් ලෙසයි:

But at my back from time to time I hear

The sound of horns and motors

ටී. එස්. එලියට් ඇතැම් විට පැරැණි පද්‍ය ඛණ්ඩ උත්ප්‍රාස ජනනය සඳහා යොදාගන්නා අතර, තවත් සමහර අවස්ථාවල පැරැණි කාව්‍යෝක්තිවලින් ධ්වනිත වන හැඟීම් සමුදාය නව අත්දැකීමක් පරිපෝෂණය කිරීම සඳහා යොදා ගනියි.

Unreal city

Under the brown fog of a winter dawn

A crowd flowed over London bridge so many.

I Had not thought death had undone so many.

ලන්ඩන් පුරය විස්තර කරන මේ පද්‍ය ඛණ්ඩයෙහි සතර වැනි පාදය ඩාන්ටේගේ ‘ඉන්ෆර්නෝ’ නම් කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි. අපාය විස්තර කරන කාව්‍යෝක්තියක් මෙහි ලන්ඩන් පුරය විස්තර කිරීම සඳහා යොදාගෙන තිබේ. මේ අනුව බලන විට අපට ස්ඵුට වන්නේ නවීන ලේඛකයන් ඉතා සංකීර්ණ ලෙස පැරැණි සාහිත්‍ය කෘති උපයෝගි කොට ගෙන ඇති බවයි.

නවීන බටහිර ලේඛකයන් හා පැරැණි සාහිත්‍යය අතර සම්බන්ධය සම්මර්ශනය කිරීමේදී අපගේ අවධානයට හසු විය යුතු තවත් සංකීර්ණ උපක්‍රමයක් නම් පැරැණි කතා පුවත් නව විවරණයකින් යුතුව ඉදිරිපත් කිරීමයි. මේ සම්බන්ධයෙන් විසි වැනි ශත වර්ෂයේ ප්‍රංස නාට්‍යකරුවන්ගේ ප්‍රයත්න ඉතා වැදගත් ය. ජින් ගිරෝඩු, ජින් අනුඩි, ඇල්බට් කැටූ, ජෝන් පෝල් සාත්, ජෝන් කොන්ටෝ වැනි විශ්ව සම්මානයට පත් නූතන ප්‍රංස නාට්‍යකරුවන් ග්‍රීක නාට්‍යකරුවන් විසින් ගවේෂණය කරන ලද පුරාකතා අමුතු ආකාරයකට විග්‍රහ කොට නව දෘෂ්ටියක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත්ව තිබේ. ඔවුන් පැරැණි කතා පුවත් උපයෝගි කොට ගත්තේ සමකාලීන අත්දැකීම්, සමාජ තත්ත්වය හා සත්තාව වඩාත් ප්‍රබල ලෙස නිරූපණය කිරීමටයි.

ජෝන් අනුයිගේ ‘රියූරිඩිස්’, ‘ඇන්ටිගනි’ වැනි කෘති විමසීමෙන් මෙය වටහාගත හැකි ය. කාලීන අත්දැකීම් හා සමාජ තත්ත්ව ප්‍රකාශ කිරීමට නූතන ප්‍රංස නාට්‍යකරුවන් පැරැණි කතා වස්තු යොදාගත්තේ ඇයි? පැරැණි කතා වස්තුවල, පුරාකතාවල සදාතනික මනුෂ්‍ය අත්දැකීම් ගැබ්ව තිබේ. ඒ අත්දැකීම් ගවේෂණය කිරීමෙන් අතීතය හා වර්තමානය අතර පවත්නා සමීප සම්බන්ධයත්, දේශ කාල භේදයෙන් විනිර්මුක්ත වූ පොදු මානුෂික බවත් ගෙන හැර දැක්වීමට ඔවුහු අදහස් කළහ.

නවීන බටහිර ලේඛයා හා චිරන්තන සාහිත්‍ය අතර පවත්නා සම්බන්ධය විග්‍රහ කිරීමේදී අපගේ සැලකිල්ලට ලක් විය යුතු තවත් සංකීර්ණ උප ක්‍රමයක් නම්, වර්තමාන අත්දැකීමකට නිශ්චිත රටාවක් හා සංවිධානාත්මක ස්වරූපයක් ආරෝපණය කිරීමට පැරැණි කතා වස්තු යොදාගැනීමයි. උදාහරණයක් ව‍ශයෙන් වර්තමාන අවධියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් නවකතාවක් ගෙනහැර දක්වනු කැමැත්තෙමි. එනම් ජේම්ස් ජොයිස්ගේ ‘යූලීසිස්’ නවකතාවයි. මේ නවකතාවට පදනම් වී ඇත්තේ අයර්ලන්තයේ ඩඩ්ලින් පුරයේ වෙසෙන ලියෝපෝල්ඩ් බ්ලුට් හා ස්ටිවන් ඩිඩල්ස් යන දෙදෙනාගේ පැය විසිහතරක අත්දැකීම් සමූහයයි. ඉතා විශාල නවකතාවක් වන මෙහි සවිස්තර ලෙස ඔවුන්ගේ සිතුම් පැතුම්, කල්පනා චින්තා නිරූපණය කෙරේ. මේ අත්දැකීමට සංවිධානාත්මක ස්වරූපයක් ආරෝපණය කිරීම පිණිස ජේම්ස් ජොයිස් එක් උපක්‍රමයක් යොදාගෙන තිබේ. එනම් හෝමර්ගේ ‘ඔඩිසි’ කාව්‍යයෙහි සිදු වීම්වලට මේ නවකතාවෙහි අත්දැකීම් සම්බන්ධ කොට දැක්වීමයි. මේ කාර්යය ජොයිස් ඉටු කර ඇත්තේ ඉතා සූර අන්දමිනුයි. ‘යුලීසිස්’ නවකතාව ඉතා පහසුවෙන්, විසිරී ගිය සිදු වීම් හා සිතුවිලි රැසක් ඇතුළත් ප්‍රපංචිත අත්දැකීමක් බවට පත් වන්න ඉඩ තිබිණි. එහෙත් එය නොවන්නේත් එයට නිශ්චිත රටාවක් ආරෝපණය වන්නේත් හෝමර්ගේ කාව්‍යය ඇසුරු කරගැනීම නිසා ය.

මේ අනුව බලන විට නවීන බටහිර ලේඛකයන් පැරැණි සාහිත්‍ය සමඟ විවිධාකාර සම්බන්ධකම් ඇති කොටගෙන තිබෙන බව පෙනී යයි. සමහරු චිරන්තන සාහිත්‍ය කෘතිවලින් එක එල්ලේ ආභාසයක් ලබති; සමහරු පුරාතන සමාජය හා නූතන සමාජය අතර දක්නා වෛෂම්‍යය උත්ප්‍රාසවත් ලෙස දැක්වීම පිණිස පැරැණි සාහිත්‍ය ඛණ්ඩ යොදාගෙන තිබේ; තවත් සමහරු පැරැණි සාහිත්‍ය කෘතිවල දක්නට ලැබෙන කතා පුවත් වර්තමාන ජීවිතයට අදාළ වන පරිදි ප්‍රතිවිවරණය කරති; තවත් සමහරුන් සිය වර්තමාන අත්දැකීම්වලට නිශ්චිත රටාවක් ආරෝපණය කිරීම පිණිස පුරාතන සාහිත්‍යගත කතා ප්‍රවෘත්ති උපයෝගි කොට ගෙන තිබේ. මේ සියලු අවස්ථා ඉතා පහසුවෙන් නිදර්ශනානුසාරයෙන් විශද කරන්න පුළුවන. එහෙත් මේ හැරුණු විට බටහිර සෑම උසස් ලේඛකයකු ම සිය පාරම්පරික සාහිත්‍ය සම්ප්‍රදායෙන් ජීව සාරය ලබමින් සිය ගද්‍ය පද්‍ය කෘති රචනා කර ඇති බව කිව යුතුයි. මෙය නිදර්ශනානුසාරයෙන් පහසුවෙන් දැක්විය නොහැකි ය. මෙය අන්තර්ඥා‍නයෙන් වටහාගත යුත්තකි.

ඒ නිසා සමස්ත වශයෙන් සලකා බලන විට අපට කිව හැක්කේ නවීන බටහිර ‍ලේඛකයන් හා පැරැණි සාහිත්‍ය කෘති අතර ඉතා අර්ථවත් වූත්, ජීවසාටක වූත් සංවාදයක් නිරන්තරයෙන්ම පවත්නා බවයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.