ජනකවියා හා සිරිපා වැඳුම | සත්මඬල

ජනකවියා හා සිරිපා වැඳුම

සමනොළ ගිර, සමන් දෙවොල, සීත ගඟුල, ගෙත්තම්පාන, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැල කණුව, මහගිරිදඹය, ශ්‍රීපාද පද්මය මේ ආදි ශ්‍රී පාද වන්දනා ගමනේ නොයෙක් තැන් අපේ ජන කවියා දුටු අයුරු සහෘද පහන් සංවේගය ජනනය කරන්නේ ය.

උඳුවප් පුනු පොහෝ දින සිට වෙසක් පුනු පොහෝදින දක්වා කාල සීමාව ශ්‍රී පාද වන්දනා සමය වෙයි. බෞද්ධ, අබෞද්ධ ජනතාවගේ සාදු නදින් වාතලය රැව් පිළිරැව් දෙන්නේ ය. සැදැහැ බැතියෙන් මුවින් කියැවෙන කරුණා හඬ දසත පැතිරෙන්නේ ය.

ශාන්ති නායක ලොවුතුරු බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ශ්‍රී ලංකාද්වීපයට වැඩි අවස්ථාවේ සුමන දෙවි රජුගේ ඇරියුමෙන් සමනොල සිරිපා පිහිටුවා වදාළ සේක.

“යන්නම්මදාය නදියා පුලිනේ ච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනා ච ලග්ගේ
යං තත්සයෝනක පුරේ මුනිනොච පාදං
තාං පාද ලාඤ්ඡන මහං සිරසා නමාමි”

නර්මදා නදී වාලුකා තීරය සච්චබද්ධ ගිර, සමනොළ ගිර, යෝනක පුර යන සතර ස්ථානවල සිරිපා පිහිටුවා වදාළ බව කියැවෙයි. කවර තන්හි ශ්‍රී පාද ලාඤ්ඡන පැවැතිය ද මෙරට ශ්‍රී පාද ලාඤ්ඡනය පිහිටුවා ලූ දා සිට අද දක්වාත් හෙටත් මේ තරම් වන්දනාමානයට ලක් වූ අන් ශ්‍රීපාද ස්ථානයක් නැත්තේ ය. රජ මැදුරේ සිට දිළිඳු පැල්පත් වැසියා දක්වා වූ විවිධ තරාතිරමේ වූවෝ, ලොකු කුඩා බාල මහලු තරුණ තරුණියෝ, දෙස් විදෙස් ජනී ජනයා මහත් සැදැහැයෙන් සිරපා වඳිති. මේ වන්දනාකරුවෝ ගමන් විඩාව සංසිඳුවා ගැනීම මෙන් ම සැදැහැ බැතිය පළ කිරීමට කවිය උපයෝගි කර ගත්හ. ශ්‍රී පාද මළුව කරා යන මෙන් ම ආපසු එන අපේ සාමාන්‍ය ජනයාගේ චිත්ත සන්තානයෙහි නිරායාසයෙන් සිතට නැඟෙන්නා වූ සිතිවිලි සමුදාය අපේ ජන කවි පද සාහිත්‍යය ගැන විමසුම් ඇස හෙළන කළ පෙනී යයි.

සමනොළ ගිර, සමන් දෙවි. සමන් දෙවොල, සීත ගඟුල, ගෙත්තම්පාන, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැල කණුව, මහගිරිදඹය, ශ්‍රීපාද පද්මය මේ ආදි ශ්‍රී පාද වන්දනා ගමනේ නොයෙක් තැන් අපේ ජන කවියා දුටු අයුරු සහෘද පහන් සංවේගය ජනනය කරන්නේ ය.

වන මෘග පක්ෂීන්ට, නෘත්‍ය මණ්ඩපයක්, ගායනා කරන්නවුන්ට ගී මණ්ඩපයක්, සා පිපාසා සන්සිඳු වන ආපාන භූමියක් යනාදි ලෙසත්, සමන්කුළු නයනාතිරමණියත්වය දර්ශනීයත්වය ‘සමන්තකූට වර්ණනා’ පණ්ඩිතවරු ද, දෙස් විදෙස් සියල්ලෝ ද දුටු බැව් සඳහන් සටහන් වෙයි.

ජන කවියාට සමනොළ ගිර බෙහෙවින් වස්තු විෂය වෙන්නකි.

“ලංකාවට අධිපති පර්වත මුදු නේ
සිංහාසනයේ වද මුණිඳුට පහළ වු ණේ
පිහිටි සිරිපාද පර්වත කොන මුදු නේ
ගංගා සතර පර්වතයෙහි උපත වුණේ”

මහත් අභිරුචියෙන් වර්ණිත සමන්ගිර ආගමික කරුණු නිසා ම පමණක් නොව රට සරු කරමින් සතර දෙසට ගලන ගංඟාවන්ගේ ප්‍රභවය නිසා ද වැදගත් බව කියාපායි.

රාත්‍රියෙහි ගැල පදවන ගැල්කරුට සමනොළ ගිර පෙනෙයි.

“අලට කන්න බැරි අල‍ගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද”

ජන කවියා සියලු බුදුවරු සමනොළ ගිර පා සටහන් තැබූ බව කියයි.

“ඔක්කොම මුණ බුදුව ලොවට සමෙනොළ ගල පිටට වැඩිය

දක්නට සිරිපාද එබූ අණසක මිහිදෙරණ තලය”

සමන් දෙවි ගැන මෙසේ දකියි.

“සමන්තකූට පර්වතයක සාසන බාරව සිටි නෙක
සවන් පුරා අසන බණක රකින සීලෙ සිල් මත මෙක
අතින් දරන පත්කඩයක නා ගුණවැල් නිතර අතක
සමන් දෙවිඳු යන උතුමෙක දෙවොල් යකුට බල පෑවෙක”

යන ලෙස සමන්තකූට පර්වතයත්, ශාසනයත්, බාරව සුරකින පත්කඩය, නවගුණ වැල ගෙන සිල් රකින සමන් දෙවිඳුන්ගේ වාහනය ගැන කීමට ද ජන කවියා අමතක නොකරයි.

“සුද්ද ලෙසින් නිති ගත බබළන් නේ
සුද්ද ඇත් පිටවද වැඩ ඉන් නේ
බුද්ද මෙසාසන දියුණු කරන් නේ
සුද්ද සමන් දෙවියෝය වඩින් නේ”

සුදු ඇතා ගැන කියන ජන කවියා සුප්‍රසිද්ධ සබරගමු මහ සමන් දේවාලය ගැන කියන අයුරු බලන්න.

“හෙළ මුදුනින් වැඩිය කලට
පෙනේ ය උළු මාලිගා ව
රෑ දාවල් එළිය ඇතුව රන්කොත්
බබළන සුබා ව
බිම්බරකට සෙනඟ ඇවිත්
සෑදෙව් උළු මාලිගා ව
මුළු රටටම පාරට්ටුයි
සබරගමුවෙ මාලිගා ව”

සබරගමු මහ සමන් දේවාලයෙහි දක්නා ලියලන ගල ජන කවියා මෙසේ පවසන්නේ එහි විස්මයජනක බව ද හඟවමිනි.

 

“කුරුවිට කෝරලේ පල්ලේ පත්තුවෙ
උතුම් සබරගමු දේවාල්
දිවයින් දවසට ලියලා ගෙන එන
ගලක් තිබුණා කීවා මැද මාලේ
ලොව සතහට මතුවටපවතින්නට
සුමන දෙවිඳු පෑවා ද බලේ
එම ගල සකියනි තව ලියලනවද
උතුම් සබරගමු දේවාලේ”

සමන් දෙවිඳු සමනොළ කන්දේ අධිගෘහිත දෙවි නිසා පෙර සිටම සමනොළ කන්ද වැඳුම් පිදුම් ලැබූ බව පෙනේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරිහු ආර්ය ජනතාව ඉතා ඈත කාලයේ සිට ඇදහූ දෙවිවරුන් අතර ඉතා සැලකිය යුත්තෙක් වන යමරජු සමන් දෙවියන් සේ පවසති. යම රජුට සංස්කෘත භාෂාවේ ‘ශමන්’ යනුවෙන් හැඳින්වෙයි. සිංහල භාෂාවට එය ‘සමන්’ ලෙස පෙරළී ඇත. යම රජු කරුණා රසයට අධිගෘහිත බව නාට්‍ය ශාස්ත්‍රය දක්වයි. ශ්‍රී පාද වන්දනාකරුවෝ අදත් කරුණාවයි කියා හඬ නඟමින් යන්නේ ඒ නිසයි. මේ ආදි අදහස් සමන් දෙවි ගැන පරණවිතාන සූරීහු පෙන්වති.

සමන් දෙවිඳුන් සිහිකර ඒ පිහිටෙන් කරුණා කරමින් දෙවිඳුන්ට පින් දෙමින් විපත් කරදරවලින් තොරව ගමන් කිරීමට සමන් දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කිරීම ලක්ෂණය විය. විවිධ භාරහාර වෙති. ඒ ඉටු වන බව ඔවුන්ගේ දැඩි විශ්වාසයයි. සිරිපා වැඳුම ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් බවත් මෛත්‍රී බුදුරදුන් දැක්මට ඒ හේතු වන බවත් කියයි.

“සමන් දෙවිඳු කරුණාවයි
සුමන සමන් දෙවි පිහිටයි”

ආදි ලෙස කියමින් සිරපා වැඳුමට පිවිසෙන්නේ මුලින් ළං වන්නේ සීත ගඟුලට ය.

සීත ගඟුලේදී නා සුදු පිරුවට හැඳ පුද පඬුරු බැඳ යළි ගමන් අරඹයි.

“සීත ගඟුලෙහිදී පන්සිල් අරගෙ න
උණුසුම් ඇති පිළි පමණක් හැඳගෙ න
සමන් දෙවිඳුනට පඬුරුත් වැඳ ගෙ න
සාදු කියමු අපි සතුටින් හැම දෙ න”

බොහොම සැදැහැ බැතියෙන් ගමන් අරඹන ඔවුහු අනතුරුව ගෙත්තම්පානට පිවිසෙති.

බුදු හිමි සිවුර මසන ලද්දේ මෙතන්හිදී යැයි ජනප්‍රවාදයේ එන ගෙත්තම්පානේදී ඉදිකටු, නූල් පූජා කිරීම සිරිත ය.

“ගෙත්තම් පාන ඉදිකටු පූජා කර මු
හැරමිටි පාන හැරමිටි පූජා කර මු
දොඩම්බැවිල තල අබ පූජා කර මු
සිරි පතුලට රන් මල් පූජා කර මු”

ක්‍රමයෙන් සීතල ද වැඩි වෙයි. එහෙත් සාදු නාදය, කරුණා හඬ අඩු නැත. හිමේ නඟින සැදැහැතියන්ට ධර්මරාජගල දර්ශනය වෙයි. පඩි කොපමණදැයි ගණන් කළ ද හරියටම කීයක් දැයි කිව‍ නොහැකි අපූර්ව තැනක් ලෙස දකියි.

“ධර්මරාජ ගල යටින් පෙනෙන් නේ
බොහොම දෙනෙක් පඩි ගණන් කරන් නේ
ගණන කියන්නට බැරිද බොලන් නේ
මන්ද කියා සමහරු ළතවන නේ”

අනතුරුව වන්දනාකරුවා පිවිසෙන්නේ හැරමිටි පානට ය. මෙහි දී ද පඬුරු බඳිති. සමන් දෙවිඳුට පින් දෙති.

“සමන් දෙවිඳුගෙන් පිහිට ලැබෙන වා
උතුම් බුදුන් අපි වඳින්න යන වා
හැරමිටි පානේ අපි නවතින වා
එතනදි සමහරු පඬුරු බඳින වා”

කුඩාගිරිදඹය පසුකොට ඇහැළ කණුව ළඟ නතරව ගමන් විඩා නිවා ගනියි.

“ඇහැළ කණුව දැන ගොස් නවතින් නේ
අටසිල් පන්සිල් අරගෙන යන් නේ
සිතේ කුහක කම් අත්හැර ගන් නේ
සමන් දෙවිඳුන් පිහිටක් වන් නේ”

මහගිරිදඹය ගමන දුෂ්කර ය. එහෙත් ඒ දුෂ්කරතාව ගැන නොසිතයි. එය පහසුවක් ලෙස සලකමින් සමන් දෙවිඳුන්ගේ කරුණාව ඉල්ලති.

“වට පිට නොබලා පාර බලන් නේ
අඩියෙන් අඩියට සාදු කියන් නේ
දම්වැලෙ එල්ලී දඹේ නඟින් නේ
සමන් දෙවිඳුගේ අප රැක දෙන් නේ”

දම්වැලේ එල්ලී ගමන් ගත් පිරිසක් වේගවත් සුළඟකින් පැද්දී අගාධයට වැටී මියගිය පුවතක් ඉංග්‍රීසි ලේඛක ජෝන් ස්ටිල් සඳහන් කරයි.

“මවුපිය දරු මුනුපුරන් ඇතුළු දරු පවුලක් අගාධය කරා දම්වැල්වල එල්ලී එන විට වේගයෙන් හැමූ කුණාටුවෙන් දම්වැල් ඒ මේ අත පැද්දිණි. ඔවුන්ට ඉහළට හෝ පහළට යෑමට හැකියාවක් නැත්තෙන් එසේ එල්ලීගෙන සිටි අතර සුළඟ වේගවත්ව දම්වැල නියම මඟින් ඈත්ව ඇදී යමින් ගමන් කරමින් සිටි මඟින් ඈත් වෙයි. පරක් තෙරක් නොපෙනෙන මහා ආගාධය ‍මොවුන්ට පෙනෙයි. සුළඟ හා කුණාටුව වේගවත් ය. කකුල් පහතට එල්ලා වැටෙමින් දම්වැලේ එල්ලී සිටින ඔවුන්ට තවත් එසේ සිටීමට හැකියාවක් නැත. එක එක්කෙනා කොස් දෙල් මෙන් පහත ආගාධයට වැටෙන්න වූහ. කුඩා දරුවන්, මහල්ලන්, ස්ත්‍රීන් වරින් වර වැටෙමින් අවසානයට පවුලේ නායක ශක්තිවන්ත පිරිමියා ද ඇද වැටිණි. මේ අතිශයින්ම ශෝකජනක භයංකර දර්ශනය පහත සිටි අය බලා සිටින්නේ දෙඅත්ලෙන් මුහුණ වසාගෙන ඉකිබිඳිමින් ය.”

මේ පුවත බලන කල එකල සිරිපා ගමන කොතරම් දුෂ්කර දැයි හැඟේ.

මහගිරි දඹය ද ආයාසයෙන් පසු කරමින් කරුණා නද දෙමින් සමන් දෙවිඳුන් හට පින් දෙමින් දැන් දැන් ළං වන්නේ ශ්‍රී පාද පද්මය කරා ය. ශ්‍රී පාද මුදුනට ළංව ශ්‍රී පාද පද්මය දකින ඔවුන්ට ගමනේ සියලු දුෂ්කරතා අමතක වෙයි. මහා ජයක් ලද්දකු සේ සිරිපා පද්මය රිසි සේ සිත් සේ වැඳ පුදා ගනියි.

“සියලු දෙනම ගොස් පද්මෙ වඳින් නේ
මාර යුදෙන් ජය ගන්නා වැන් නේ
පුද පූජාකොට පින් ලැබ ගන් නේ
සුමන සමන් දෙවි මේ පින් ගන් නේ”

වෙනදා මහ මඟ යන්නට තරම් වාරු නැති මහල්ලන් පවා තරුණයන් මෙන් මහත් උනන්දුවෙන් රන්ගිරි දඹේ ආදිය නඟින හැටි පුදුම ය! ඔවුන්ගේ මානසික ශක්තිය, කායික ශක්තිය, කරුණා ශ්‍රද්ධාවෙන් ප්‍රබල වෙමින් මහත් ආත්ම ශක්තියක් ලබන්න ඇත.

“ගුවන් තල දැකල සිත තුළට බිය නොවන්
නුවන් නිතර පන්සිල් පද සිතේ දරන්
නිවන් දකින ලෙස පරලොවට වැඩ කරන්
සමන් දෙවි බලෙන් සිරි පතුල වැඳ වරෙන්”

ජීවිතයේ වරක් හෝ සිරිපා වැඳගත යුතු ය යන අධිෂ්ඨානයෙන් වෙළී අදහස මස්තකප්‍රාප්ත කරගනිති.

ඉහළ නඟින, පහළ බසින, වඳින්න යන, වැඳලා බහින ආදි වශයෙන් සියලු දෙනාට කරුණාව පතුරාලමින් එකාවන්ව සිදු කරගන්නාවූ, ශ්‍රී පාද වන්දනාව පිළිබඳ ජන කවීහු විවිධ ලෙස දුටහ.

‘තුන්සරණය’, ‘හිම ගත වර්ණනාව’, ‘සමන් දෙවි වරුණ’ ආදි ‘පොතපත සඳහාත් පද ගායනා කරන සිරිපා වන්දනාකරුවන්ගේ මුවින්, ජන කවියා දුටු සිරිපා වරුණ ද කියැවෙන්නේ ය.

ලොව ප්‍රකට ආගමිකයන්ගේ ද ගෞරවයට පාත්‍ර වූ සමන්තකූට පර්වත මස්තක ශ්‍රී පාද ලාඤ්ඡනය ඉංග්‍රීසින්ට ඇඩම්ස් පීක් ය. ඉස්ලාමිකයන්ට ‘බාබා ආදමලී’ ය. හින්දුන්ට ‘ශිවනඩි පාද’ ය. මේ ආදි ලෙසින් සලකමින් ඈත කල සිටම ජාතියේ හදවත ලෙසින් සලකන සමනොළ සිරිපා විජාතිකයන්ගේ ද භක්තියට ලක් වන්නේ ය.

ඉන්දියාව ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ක්‍රි. ව. 20දී කාශ්මීර මහරජතුමා, ක්‍රි. ව. 41 - 54 රෝමයේ ක්ලෝඩියස් රජුගේ තානාපති, වජ්‍රබෝධි, පාහියන් හිමි, මාර්කෝ පෝලෝ, ඉබන් බතුතා, ඩබ්. ටී. සීබල්, ජෝන් ස්ටිල්, රොබට් නොක්ස්, එමර්සන් ටෙනන්ට්මි ආදි බොහෝ විදේශිකයෝ සමනොළ සිරිපා පිළිබඳ සම්බන්ධ වෙති. ඔවුහු සමනොළ සිරිපා ගැන විවිධ සටහන් තැබූහ. තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි ආදි දේශීය කවියෝ ලේඛකයෝ ශ්‍රී පාදය ගැන දැක්වූහ.

සිරිපා පිළිබඳ මෙබඳු දෙස් විදෙස් සටහන් වාර්තා පොතපත අතිශයින් වැදගත් ය. එලෙස ම සිරිපා වැඳුමට පිටත් වීමට පෙර බාරහාර වීම, නඩේ ගුරු, කට බණ, කරුණාව, සමන් දෙවි මේ ආදි අනේක විධ කරුණු දක්වමින් අපේ ජන කවියාගෙන් අවංකව, නිර්ව්‍යාජව පැවසෙන සිරිපා වන්දනා පිළිබඳ බො‍හෝ ජන කවි වන්නේ ය. ඒ ද විමසුමට වටී.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.