සිත මහ පුදුම තැනක්! | සත්මඬල

සිත මහ පුදුම තැනක්!

අතුපතර සැඟවුණු කුඩා කහ කුරුල්ලකුට සැරින් සැරේ පහර දෙන කාක්කෝ කිහිප දෙනෙකි. උහු වේගයෙන් පියාඹා විත් අර තියුණු වර්ණයෙන් යුත් කුඩා පක්ෂියාට පහර දෙමින් නැවත ඈතට පියඹති. කුඩා කහ කුරුල්ලා ද වේගය අතින් කාක්කන්ට දෙවැනි වූයේ නැත. එහෙත් කළු සහ කහ වර්ණයෙන් දීප්තිමත් වූ ඒ පක්ෂියා වඩාත් ඇලු‍ම් කළේ නිසන්සලේ ඈත බලාගෙන සිටීමට යැ යි මට සිතේ. ඌ තව තවත් ගස්කොළ අතර සැඟවෙමින් තමාගේ සාමකාමී බවේ අයිතිය රැකගැනීමට වැර දැරුවේ ය.

මම පරිසරයේ කිසිදු අංගයකට හානියක් නොවන සේ කහ කුරුල්ලා දෙස බලාගෙන සිටියෙමි. ඌ, උගේ කුඩා හිස සොලවමින් සමස්ත පරිසරයට ම මොනවා දෝ කියමින් සිටියේ ය. විටින් විට සිය දීප්තිමත් පිහාටු දිගහරිමින්, එහි අලංකාරයෙන් තමා ම ප්‍රීතිමත් වෙමින් හීන් හඬින් ගීයක් ගායනා කළේ ය. සත්‍ය වශයෙන් ම ඌ, උගේ නිදහස බුක්ති විඳිමින් සිටියේ ය. කහ කුරුල්ලාට තවදුරටත් අනෙක් කිසිදු පක්ෂියකු ගැන හැඟීමක් තිබුණේ නැත.

මිනිස් මනසේ ඒකාග්‍රතාව ගැන ඔබට කුමක් සිතන්නේ ද? ඒකාග්‍රතාව නැති වී යෑමට හේතුව අප යාන්ත්‍රික බවට පත් වීම යැයි මට සිතේ. අපේ මොළය තීව්‍ර ලෙස ප්‍රාණවත් ව හා ක්‍රියාශීලි ව පවත්නේ නැති නම් එය ක්‍රමයෙන් වැහැරී යනු ඇත. මොළයේ කාර්යය හා චින්තනයෙන් වැඩි හරියක්, මොළයට ළඟා කරගත නොහැකි තරම් වේගවත් බවකින් ක්‍රියා කරන පරිගණකය විසින් අත්පත් කරගත් විට මොළය වැහැරී යන බවට තවත් නිදර්ශන කුමට ද? අපට නොදැනුණත්, නොපෙනුණත් මෙය දැනටමත් සිදු වෙමින් පවත්නා ක්‍රියාදාමයකි.

අප සිත ඒකාග්‍ර කරගැනීමේ දී එයට කේන්ද්‍රස්ථානයක් පවතින බැව් ඔබ දන්නවා ද? අප සිත ඒකාග්‍ර කරගන්නේ ඒ කේන්ද්‍රස්ථානයේ සිට ය.

අප සිත ඒකාග්‍ර කරගන්නේ ඇයි කියා ඔබ සිතා තිබේ ද? ඇත්තෙන් ම එය කරන්නේ අප ගැඹුරු ලෙස ඉටු කරගැන්මේ අපේක්ෂාව සහිත අරමුණක් වෙනුවෙන් නො වේ ද? ඒකාග්‍රතාව ඇති කරගත් විට නිරීක්ෂණය කරන්නේ කේන්ද්‍රස්ථානයේ සිට ය. එහෙත් අප අවධානය යොමු කරන තැන නම් කිසිදු කේන්ද්‍රස්ථානයක් නැත. නිල් ගුවන් තලයේ පාවෙන තනි වලාකුළක් හා ඒ අවට සඳඑළිය වැටී එන රමණීය පැහැය වැනි අතිශය චමත්කාරජනක දෙයක් නරඹන විට අප මෙතෙක් යොමු කළ කේන්ද්‍රස්ථානය වෙනස් වේ. මොහොතකට අපි එහි රමණීය බවෙන් විස්මිත වන්නෙමු. එවිට කේන්ද්‍රස්ථානය නැති ව යයි. එයට දැක්මේ සුන්දරත්වය එකතු වෙයි.

මඳක් සිතා බලන්න! මම ඔබට ඒ ගැන කුඩා නිදර්ශනයකින් පැහැදිලි කරන්නම්. කුඩා දරුවකු අතට සෙල්ලම් බඩුවක් දුන් විට කුමක් ද සිදු වන්නේ. දරුවා ඒ කෙරෙහි මුළුමනින් ම ඇදී යෑම නො වේ ද? එවිට සෙල්ලම් බඩුව අත ඇති තාක් ඔහු දඟ නො කරයි. එහෙත් ටික වේලාවකින් ඔහු ඒ සෙල්ලම් බඩුව කඩා බිඳ දමයි. එවිට නැවතත් ඔහු පෙර තත්ත්වයට ම පත් වෙයි. අපි බොහෝ දෙනා ද එපරිදි ය. අපි, අපේ බොහෝ කෙළිබඩුවලින් ආරක්ෂිතව සිටින්නෙමු.

ඒවා නැති වූ විගස යළිත් ඊට පෙර සිටි තත්ත්වයට පත් වෙමු. ඒ කිසිවක් නැතිව හුදෙක් අපට අප ගැන අවබෝධය ඇති වූ විට අප සිත ඒකාග්‍රතාවෙන් වියුක්ත වෙයි. ඒ නිදහස් වීම සමස්ත මොළය ම ක්‍රියාශීලි කරවයි. එනම් පූර්ණ අවධානය ඇති කරයි.

අප සෑම විට ම නරඹන්නේ නැත‍ හොත් සංවේදි වන්නේ අපේ ඉන්ද්‍රියන්ගෙන් එක් අංශයකින් පමණි. අප සංගීතයට සවන් දෙන්නේ අර්ධ වශයෙනි. පූර්ණ වශයෙන් සවන් දීම කිසි දිනෙක සිදු නො වේ. කිසිදු දෙයක් ගැන පූර්ණ ඉන්ද්‍රිය පද්ධතියෙන් අවධානවත් වීම කිසි විටෙක සිදු නො වේ. පර්වතයක් දෙස බලන විට එහි ප්‍රතාපවත් බවෙන් අපේ ඉන්ද්‍රිය පූර්ණ ලෙස ක්‍රියාත්මක වෙයි. රමණීය කඳු ගැටයක් දෙස බලා සිටිද්දී ද එපරිදි ය. එනිසා අපට අප අමතක වී යයි. පූර්ණ චන්ද්‍රයා පෑයූ නිසල තරු පිරි අහස හෝ රැළි නඟමින් බසිමින් පෙණ පිඬු මතු කරන සමුද්‍රය නරඹත් ම, මුළු ඉන්ද්‍රිය පද්ධතියෙන් ම ඊට අප අවධානය යොමු කරන විට, එය ම කේන්ද්‍රස්ථානයක් නැති අඛණ්ඩත්වය ඇති කරයි. කුමක් ද ඉන් වැටෙහන්නේ? අවධානය යනු මොළයේ පූර්ණ නිශ්ශබ්දතාව බව නො වේ ද?

නිශ්ශබ්දතාවේ ද විවිධ ස්වරූප තිබෙන බව ඔබ දන්නවා ද? හඬ දෙකක් අතර ඇති නිශ්ශබ්දතාව, ස්වර දෙකක් අතර ඇති නිශ්ශබ්දතාව යනාදිය ඊට අයත් ය. එපමණක් නො වේ, වනයකට පිවිසෙන විට නිශ්ශබ්දතාව ගැනත්, මුහුදු වෙරළේ පිය මනින විට හුදෙකලා බවෙන් ඇති වන නිශ්ශබ්දතාව ගැනත් සිහි කර බලන්න. එවිට ඔබට සියල්ල අභ්‍යන්තරයෙන් ම නිශ්චල යැ යි සිතෙන්නේ නැත් ද? එහෙත් භාවනාවේ ඇති නිශ්ශබ්දතාව චින්තනය විසින් හැඩගස්වනු ලබන නිශ්ශබ්දතාව නම් නො වේ. එය භීතිය නිසා පැන නඟින නිශ්ශබ්දතාව ද නො වේ. භාවනාවේ ඇත්තේ ඒ නිශ්චල ගුණය පමණක් නො වේ; ඊට හාත්පසින් ම වෙනස් වූ නිශ්චලත්වයකි.

කුමක් ද භාවනාවෙහි ඇති නිශ්චලත්වය? ඒ වනාහි සියලු‍ ඉන්ද්‍රීය ක්‍රියාත්මක ව පවතින විට සිදු වන සමස්ත මොළය ම සක්‍රිය වීම ය. මනසේ පරිපූර්ණ නිශ්ශබ්දතාව ඇති කරන නිදහස් බව එය යි. පරම නිශ්චලත්වය ඇත්තේ එබඳු මනසක ය; එබඳු චින්තනයක ය. ගුණවත් බව ඇති වන්නේ එවිට ය. අනාගමික වූ, අකාලික වූ යමක් වෙයි ද එය ඇත්තේ මේ නිශ්චලත්වයෙහි ය. භාවනාව යනු එය යි.

කහ කුරුල්ලාගේ නිහඬ-නිශ්චල බව ඔස්සේ මසිත බොහෝ දුර ගිය බැව් දැනෙන්නේ ගොම්මන් කළුවර විසින් පරිසරය වෙළාගෙන ඇති බැව් පෙනුණු දැනුණු විට ය. කහ කුරුල්ලා පෙනෙන්නට නැත. ඌ නික්ම ගොස් ය. සිත සැම තැන නික්ම යෑම පාලනය කරගැනීමට නම් ඒකාග්‍රතාව අත්‍යවශයෙන් ම වැදගත් නො වන්නේ ද?

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.