දැන්වීමක විසල් අවකාශය | සත්මඬල

දැන්වීමක විසල් අවකාශය

වැලමදුලක සැඟවූ ඖෂධයක් රෝගී දරුවකුට ගිලින්න සැලැස්වීම මෙන් ද උගුරට හොරා බේත් කෑමක් ලෙසින් ද සමාජයට සාධනීය මැදිහත් වීමක් කරන්නට වෙළෙඳ දැන්වීමකට ඇත්තේ ප්‍රබල හැකියාවකි.

රූපවාහිනී තිරයක් ඉදිරියේ රැඳී සිටින අපට වැඩිවශයෙන් නරඹන්න සිදු වන්නේ වෙළෙඳ දැන්වීම් ය. වෙළෙඳ දැන්වීම් යනු අප ඉල්ලා සිටින්නක් නොවේ. වෙළෙඳ දැන්වීම් නිර්මාණය හා ප්‍රදර්ශනය වෙළෙඳ සමාගම් හා ප්‍රචාරණ ආයතන සතු කාර්යයකි. බොහෝ විට මේ වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් කිව යුතු සාමාන්‍ය කරුණ වන්නේ ඒවා පොදු ජනතාව වික්ෂිප්ත කරවනසුලු බව ය. විනාඩි පහක් තුළ ඉස්තරම් සබන් වර්ගය ලෙස, ඉස්තරම් දන්තාලේපය ලෙස හුවා දැක්වෙන විවිධ සබන් හා විවිධ ටූත්පේස්ට් වර්ග පිළිබඳ අවිනිශ්චිතයේ අලාමුළාවෙන් හෙම්බත් වන පොදු ජනතාව වෙළෙඳ දැන්වීම හඳුනාගෙන සිටින්නේ ඇසිදිසි ලෝකයේ කරදරකාරයා වශයෙනි.

රූපවාහිනී තිරයක කලාතුරකින් දිගහැරෙන විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් නරඹන විට, ආකර්ෂණීය සංගීත වැඩසටහනකින් සමාධිගතව සිටින විට සුනාමියක් මෙන් තිරයට කඩා පාත් වන වෙළෙඳ දැන්වීම් කෙරෙහි ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයා තුළ වුව හට ගන්නේ නොරිස්සීමකි. වෙළෙඳ දැන්වීම්වලින් තොරව මාධ්‍ය ආයතනයකට පවතින්න බැරි වීමේ යථාර්ථය ඒ මොහොතේදී කිසිවකුටත් සිහි නොවන්නේ භාවවල සිදු වන ඒ ක්ෂණික උඩුයටිකුරු වීම නිසා ය. එහෙත් මේ කලබලකාරී වෙළෙඳ දැන්වීම් අතරේ ද සිත පහන් කරවනසුලු දැන්වීමක් ඉඳහිට දකින්න ලැබෙයි. මෙහි දී අප යමක් කියන්න උත්සාහ කරන්නේ එවැන්නක් පිළිබඳ ය.

වෙළෙඳ දැන්වීමක් ඇගැයීම යනු යම්කිසි වෙළෙඳ භාණ්ඩයකට හෝ සේවාවකට ලාබවාසි අත්පත් කරදීමක් ලෙස පෙනී යන මුත් අප මේ කතා කරන්නේ ඒ අරමුණ අතික්‍රමණය කළ දැන්වීමක් පිළිබඳ ය. එය මිනිස් අධ්‍යාත්මය වෙත මුදාහැරුණ නලමුදු සුවඳක් වැන්නකි. ඒ නිසා තවමත් අප නොදැන සිටින මේ වෙළෙඳ දැන්වීමේ නිර්මාපකයා වෙත ද මල්මිටක් පිරිනැමිය යුතුම ය.

වෙළෙඳ දැන්වීමක සන්දේශයට ප්‍රබල ලෙස බලපෑම් කරන්නේ එහි රූප ආකර්ෂණය යැයි පොදුවේ පිළිගැනෙයි. රූපය, සංජානනයට කෙරෙන බලපෑම වඩා තීව්‍ර යැයි සන්නිවේදන ගුරුවරු පවා අවධාරණය කරති. එහෙත් අප කතා කරන මේ දැන්වීමේදී නම් රූපය අභිභවා නැඟී සිටින්නේ හඬ ය.

“නමක් ගමක් දන්නෙ නං නැහැ. හැබැයි මනුස්සයෙක්”

සිත තිගස්සවනසුලු මේ වචන කිහිපය ඇතුළත කොතරම් නම් ගැඹුරු ජීවන අරුතක්, දහම් පණිවිඩයක් ගැබ්ව පවතින්නේ ද? මේ හා අදාළ රූපරාමු පෙළගැසෙන්නේ මෙසේ ය.

කාර්මික දෝෂයක් හේතුවෙන් මහමඟ නතර වූ වාහනය පණගන්වාගත නොහැකිව ස්ත්‍රියක් (දියණියක්) සහ පුරුෂයෙක් (පියෙක්) හෝන්දුමාන්දු වී සිටිති. එතැනින් ගමන් ගන්නා නන්නාඳුනන පුද්ගලයෙක්, මොහොතක් නතර වී ප්‍රශ්නය නිරාකරණය කරදීම සඳහා සිය ශිල්පීය කුසලතා ද උපයෝගි කරගනියි. සැණෙකින් ඔහු වාහනය පණ ගන්වයි.

“නමක් ගමක් දන්නෙ නං නැහැ. හැබැයි මනුස්සයෙක්” යි දියණිය කියන්නේ ඔහු කවුරුදැයි පියා අසන ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.

මේ වෙළෙඳ දැන්වීම අප තුළ කොතරම් ස්මරණ අවදි කරන්නේ ද? බොහෝ විට අප බොහෝ දෑ දැන සිටින මුත් හැමවිටම පාහේ අපට ඒවා මතක් වන්නේ නැත. නිදසුනක් වශයෙන් ‘මරණය’ ගනිමු. අප මිය යන බව දැන සිටිය ද අපට එය මතක් වන්නේ මළගෙයකදී ය. නැත හොත් විහාරගෙයකදී ය. මළගෙයි, විහාරගෙයි වැට තරණය කළ සැණින් අප ක්‍රියා කරන්නේ නොමැරෙන මිනිසුන් ලෙස ය. කෙසේ වුව ද මේ මතක් කරදීම බොහෝ විට කළ හැකි වන්නේ කලාකරුවාට හෝ සාහිත්‍යකරුවාට ය. දැන් මේ තාක්ෂණික ලෝකය තුළ යථෝක්ත හැකියාව ඉහළින් වර්ධනය කරගත යුතු වන්නේ දැන්වීම් නිර්මාපකයා ය.

රටක භෞතික සංවර්ධනය සමඟ ම සාහිත්‍ය කලාවල ද වර්ධනයක් සිදු විය යුතු යැයි සාමාන්‍යයෙන් පිළිගැනෙතත් එය යථාර්ථයක් වන ලකුණු පෙනෙන්න නැත. කියවීමේ පුරුද්ද මිනිසුන් වෙතින් අනුක්‍රමයෙන් ගිලිහී යමින් පවතී. විශේෂයෙන්ම ඒ කාලයට මිලක් නියම වී ඇති හෙයිනි. විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ ඉඳහිට හෝ බිහි වෙතත්, අපූරු පරිවර්තන කෘති සැලකිය යුතු ප්‍රමාණයක් වරින්වර එළිදුටුවත් ඒවා ගැන කතා නොකෙරෙන්නේත් නොලියැවෙන්නේත් මේ මිල ප්‍රශ්නය නිසා ය. එයට සමගාමීව අන්තර් පුද්ගල සබඳතාවල ද බරපතළ අඩුවීමක් දකින්න ලැබෙයි. ස්මාට් ෆෝන් ඇතුළු නන්විධ වූ තාක්ෂණික මෙවලම්, උපාංග පැටව් ගසමින් තිබුණ ද පුද්ගලාන්තර සබඳතා නාය යමින් තිබේ. පුරුෂාර්ථ යනු කිමැයි අනාගත පරපුරට හඳුන්වා දිය හැකි බොහෝ මාවත් වැසී ගොසිනි. මේ බියකරු නිහැඬියාවෙහි, රික්තයෙහි රාව නඟමින් පවතින්නේ ඇසිදිසි පණිවිඩයයි.

වෙළෙඳ දැන්වීම් වෙළෙඳ අවශ්‍යතාවක් වන බව සැබෑ ය. එහෙත් ඉල්ලුම සහ සැපයුම පිළිබඳ පිළිගත් සිද්ධාන්තය එසේ ම තිබියදී යථෝක්ත වෙළෙඳ දැන්වීම පූර්වාදර්ශය කරගනිමින් (වෙළෙඳ භාණ්ඩය හෝ සේවාව පිළිබඳ ප්‍රචාරණය ද සමඟින්) ජන සමාජයේ වඩා යහපත් වෙනසක් සඳහා කිසියම් වූ දායකත්වයක් ලබාදීමට වෙළෙඳ ප්‍රජාවට සහ දැන්වීම් නිර්මාපකයන්ට නොහැකි ද? එවැනි මනෝවිද්‍යාත්මක දැන්වීම් කලාවකින් නූතන ලෝකයට කිසියම් වූ බලපෑමක් කළ හැකි නොවන්නේ ද?

මහජන සම්බන්ධතා පුරෝගාමියකු ලෙස පිළිගැනෙන එඩ්වඩ් එල්. බර්නේස් (1993-1996) ලොව සුපතළ මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඥාති පුත්‍රයෙකි. බර්නේස් ද තම ජීවිතය කැප කර ඇත්තේ මිනිස් මනස අධ්‍යයනය අරබයා ය. ඔහු විශේෂයෙන් හැදෑරීම් කර ඇත්තේ බහුජන මනෝවිද්‍යාව විෂයයෙහි ය. බහුතරයකගේ මත විෂයයෙහි ප්‍රතිඵලදායි ලෙසත් ගෞරවනීය ලෙසත් බලපෑම් කළ හැකි වන්නේ කවරාකාරයකින් ද යන්න විග්‍රහ කිරීමට බර්නේස් ද යොමුව සිටියේ ය. මේ අතර අමෙරිකාවේ ප්‍රොක්ටර් සහ ග්‍රැම්බල් සමාගම, බර්නේස් වෙත එක්තරා ගැටලුවක් ඉදිරිපත් කර තිබිණි. ඒ සඳහා ඔහු ලබාදුන් උපදෙස්වල ඔහුගේ මනෝවිද්‍යාව පිළිබඳ ආදර්ශය ගැබ්ව පැවැතුණේ ය.

ප්‍රොක්ටර් සහ ග්රුම්බල් ආයතනයේ ගැටලුව වී ඇත්තේ තමන්ගේ නිෂ්පාදන කළුජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ය. බර්නේස් සමාගමට උපදෙස් දුන්නේ වර්ගවාදි ප්‍රචාරණ ව්‍යාපාරවලින් ඉවත් වන ලෙසට ය. උසස් යැයි සම්මත රැකියා සඳහා කළු ජාතිකයන් බඳවා ගන්නා ලෙසත්, කම්හලේ උත්සව අවස්ථාවලට කළුජාතිකයන්ට ද ඇරියුම් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් උපදෙස් දී තිබිණි.

බර්නේස්ගේ ශෛලිය බොහෝ විට සියුම් ය; දුරවබෝධ ය. ඔහු බීච් නට් පැකින් සමාගමට (බීච් ඇට ඇහිරීමේ සමාගමට) බේකන් විකිණීමට ආධාර කළේ බේකන් පමණක් ප්‍රවර්ධනය කිරීමෙන් නොවේ. මුළුමහත් අමෙරිකාවටම ප්‍රතිචාර දැක්විය හැකි (බීච් ඇට සහිත) පෝෂ්‍යදායක උදය ආහාරයක් ප්‍රවර්ධනය කිරීමෙනි. 1918 වසරේදී බර්නේස් ඉතිහාසයේ චර්යාව ද වෙනස් කළේ ය.

(මහජන සම්බන්ධතා - ආචාර්ය නන්දන කරුණානායක - 114 පිටුව)

වැලමදුලක සැඟවූ ඖෂධයක් රෝගී දරුවකුට ගිලින්න සැලැස්වීම මෙන් ද උගුරට හොරා බේත් කෑමක් ලෙසින් ද සමාජයට සාධනීය මැදිහත් වීමක් කරන්න වෙළෙඳ දැන්වීමකට ඇත්තේ ප්‍රබල හැකියාවකි. වෙළෙඳ භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ දැන්වීමක් නැරැඹීමේදී නරඹන්නා තුළ කිසියම් ආධ්‍යාත්මික වර්ධනයක් සිදු කළ හැකි ද යන ප්‍රශ්නය කෙරෙහි නෙත්කොන් බැල්මක් හෝ යොමු කිරීමට ප්‍රචාරක ආයතන මෙන් ම වෙළෙඳ සමාගම් ද සිතා බලන්නේ නම් සමාජ සංවර්ධනය උදෙසා මිලක් නැති දායකත්වයක් ලබා දීමට මේ දෙපාර්ශ්වයටම ඉඩ සැලසෙයි.

මිනිස් වර්ගයා ජාති, කුල, ආගම් වශයෙන් භේදභින්න වී සිටිය ද වෙනස්කම් පවතින්නේ මිනිසුන් අතර නොව තිරිසන් සතුන් අතර යැයි අවධාරණය කළේ බුදුන් වහන්සේ ය. අප මුලින් කී වෙළෙඳ දැන්වීම මූර්තිමත් කළේ ද මේ ස්වභාවය පැහැදිලි කරමින් උන්වහ්නසේ වදාළ වාසෙට්ඨ සූත්‍ර දේශනාවයි.

මිනිසා තවත් මිනිසකුට එරෙහි වන්නේ බොහෝ විට හිමිකම් අයිතිවාසිකම් අරබයා ය. ලෝක යුද්ධවලට මුල පුරන්නේ ද ඒ අයිතිය පිළිබඳ හැඟීම ය.

උප්පැන්න සහතිකයේ සඳහන් වචනයක්, වගන්තියක් මිනිසාගේ මිනිස්කමට අඩ තියන්නේ නම් කිසි දිනෙක ලෝක සාමයක් උදා විය හැකි නො වේ.

තාක්ෂණය මිනිසාට හිමිකරදී ඇති දෑ බොහෝ ය. ඒ අතර ඔහුට සිදු වී ඇති අහිමි වීම් අපමණ ය. බැලූ බැල්මට නොපෙනෙන, ඒ අහිමි වීම් විනිවිද දකින ඇසක් පිහිටා තිබුණේ සාහිත්‍යකරුවාට ය. කාලයට මිලක් නියම වූ ලෝකයක සාහිත්‍යකරුවාගේ වගකීම කාන්දු වන්නේ සාහිත්‍ය නිර්මාණයකට සාපේක්ෂව ගත් කල ක්ෂුද්‍ර යැයි කිව හැකි (දීර්ඝ කතාවක් තත්පර ගණනාවකට හකුළුවන) වෙළෙඳ දැන්වීම් නිර්මාපකයාට ය. මිනිත්තුවක් හෝ එයට ද අඩු කාලසීමාවක කෙටි දැන්වීම් නිර්මාණය කරන්නකුට අනගි අවස්ථාවක් විවර වන්නේ මේ අනුව ය. පිටු සිය ගණනක් වැය කළ යුතු කතාවක් තත්පර කිහිපයකට හකුළුවන්නා ඔහු ය.

සාහිත්‍යයේ නවමු ඉසව් හඳුන්වා දීම සඳහා සොබාදහම බිහි කළ අසිරිමත් නිර්මාණකරුවකු ලෙස අප දකින තුර්කි ජාතික ලේඛක ඔර්හාන් පාමුක් ලියූ ‘My Name is Red’ (මගේ නම රතු නමින් සනත් බාලසූරිය සිංහලට නැඟූ) නම් වූ පිටු හයසිය ගණනක් ආවරණය කරන අපූරු නවකතාවේ හැම පිටුවක් පුරා සැරිසරන්නේ ඉස්තාන්බුල්හි එදා විසූ ක්‍ෂුද්‍රසිත්තම් ශිල්පීන් ය. ඉතා කදිම රේඛාවන්ගෙන් හා මායා වර්ණ භාවිතයෙන් සිතුවම් නිර්මාණය කරන මේ ක්‍ෂුද්‍ර සිත්තම් ශිල්පීන් ගැන කියවද්දී මට මතක් වුණේ කෙටිකාලයක ලොකු කතාවක් කියන වෙළෙඳ දැන්වීම් නිර්මාපකයන් ය. මොන්ගෝලියානුවන් දක්වා දීර්ඝව ඈතට විහිදෙන පරම්පරාවකින් පැවැත එන මේ ක්‍ෂුද්‍ර සිත්තරුන්, නූතන වෙළෙඳ දැන්වීම නිර්මාපකයන් සමඟ සැසඳීමේ උචිතානුචිත බව ඇතැම් විට ප්‍රශ්නකාරී විය හැකි ය. එහෙත් ගස්, සතුන් හා සඳ මුහුණු ඇති තරුණ පෙම්වතුන් මෙන් ම වීරාඛ්‍යාන ද සිත්තමට නඟන ඒ සිත්තරුන් තරමටම නූතන දැන්වීම් නිර්මාපකයන්ට ද ඉටු කළ හැකි කාර්යභාරයක් තිබේ.

සන්නිවේදන මාධ්‍ය ඔස්සේ චර්යාත්මක වෙනසක් සිදු කළ හැකි ද යන ප්‍රශ්නයට සැපයෙන විවිධ පිළිතුරු තිබේ. පුවත්පත්, පුවත්හසුන්, ගුවන්විදුලිය, රූපවාහිනිය, වෙබ් අඩවි, පෝස්ටර්, කැලැන්ඩර්, දැන්වීම් පුවරු ඔස්සේ විසුරුවා හැරෙන භාවාත්මක පණිවිඩ, මිනිස් මනසේ අන්‍යෝන්‍ය දයාව, කරුණාව ජනිත කරන්නේ ද නැත හොත් ඒවා වෛරයට, සැකසාංකාවට, බියට අලුත් දොරටුවක් හැර දෙන්නේ ද යන්න පිළිබඳ මෙන් ම පණවිඩය ග්‍රාහකයාට ජනිත කරන්නේ කවරාකාරයේ මනෝවිද්‍යාත්මක එළැඹුමක් ද යන්න පිළිබඳ ද විමසිලිමත් වීම වැදගත් ය. මාධ්‍යවේදියාට හෝ දැන්වීම් නිර්මාපකයාට විමර්ශනශීලි බව ළඟා කරගත හැකි වන්නේ නිර්භය භාවය ද සමඟිනි. යහපත වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් ලැබෙන පරාජයන් තාවකාලික ය. විසිවැනි ශතවර්ෂය මුල්භාගයේදී අමෙරිකා එක්සත් ජනපදය තුළ රජයේ දූෂණ හා බල අධිරාජ්‍යවාදය හා සබැඳි අපචාර අනාවරණය කළ ගවේෂණශීලි මාධ්‍යවේදීන් හංවඩු ගසන ලද්දේ ‘කුණු අවුස්සන්නන්’ ලෙස ය. එහි ප්‍රමුඛයා වුණේ ජෝෂප් පුලිට්සර් ය. පුලිට්සර්ගේ කතුවැකි 1892 වැඩවර්ජනයේදී කම්කරුවන්ට නව ජවයක් සපයා දී තිබිණි. එහෙත් විසිවැනි සියවසේ උදාවත් සමඟ ම ‘කුණුකන්දල් ඇවිස්සීමේ පුවත්පත් කලාව’ ගවේෂණාත්මක පුවත්කලාව ලෙස උත්කර්ෂයට නැඟුණු අතර ‘පුලිට්සර්’ නාමය ද සම්මානිත වූවේ ය.

තාක්ෂණික අනන්ත භාවය හමුවේ කෘත්‍රිම බුද්ධිය රජයන ඉදිරි යුගයකදී මිනිසා සහ යන්ත්‍ර එක ම සමුච්චයක් බවට පත් වීමේ අවදානමක් පිළිබඳ කෙරෙන පුරෝකථන බොහෝ ය. කෙසේ වුව ද මිනිසාගේ අහිමි වීම්, මනුෂ්‍යත්වයේ නායයෑම් පෙන්වා දීම සඳහා ද කදිමට යොදාගත හැකි වන්නේ ද තාක්ෂණයම ය. එයට කර-උර දිය යුත්තේ නවෝත්පාදකයන් ය.

අනුන් පරාජය කිරීම කෙසේ වෙතත් තමන් පරාජය නොවී ජීවත් වීමේ කලාව, ඒ ආනන්දය සමාජගත කිරීමේ කාලීන අවශ්‍යතාවක් ඇතැයි අපට සිතෙයි. දැන්වීම් නිර්මාපකයාට වුව මෙය තනිව කළ නොහැකි ය. ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ද අවශ්‍ය ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.