වෙස්මුහුණු සැරිසරන මුහුණුපොත් වේදිකාව | සත්මඬල

වෙස්මුහුණු සැරිසරන මුහුණුපොත් වේදිකාව

තාමත් සමාජය ගැන නොදන්න තමන්ගේම දුවට මෙහෙම දෙයක් වුණොත්. මවට අතිශය කීකරු දියණිය අම්මට කියනවා මෙහෙම.

“අම්මේ! සිඩ්නිවල ‍ඉඳලා ෆොරීනර් කෙනෙක් මට චැට් කරනවා; මැසේජස් එවනවා; එයා සිඩ්නි යුනිවසිටියේ හයස්ටඩීස් කරන්නේ; හරිම හොඳ පාටයි, හරිම කෙයාරින්...” අම්මත් මොකුත් කියන්නෙ නැහැ. ඇයි ඉතින් ඒ සිඩ්නි සුද්දට එහේ ඉදලා තමන්ගේ මෙහේ ඉන්න දියණිය ගැහැනියක් කරන්න බැහැ නේ.

ස්ටේට්වල ඉන්න සුද්දෙක් ඔබට රික්වෙස්ට් එකක් එවනවා... ඔහු කඩවසම්... සල්ලිත් තියෙනවා වගේ.... මේක අමුතු අත්දැකීමක්... ඔබ මිතුරු ඉල්ලීම පිළිගන්නවා. ඔහු චැට් කරනවා. ඔබ පිළිතුරු සපයනවා. විශ්වාසය දිනාගන්නවා. ඡායාරූප හුවමාරු වෙනවා. ඔබව ඇත්තටම බලන්න ආසයි කියනවා... අවශ්‍ය නම් ඔබට මුදල් පවා එවන්නම් කියනවා.... සමහර විට ඔහු නිරුවතින් වුණත් පින්තූර එවන්න පුළුවන් ඔබගේ විශ්වාසය තහවුරු කරගන්න කියලා...... ඔබ හැඟීම්වලට වහල් වුණොත් ඒ දේම කරන්න පෙලඹෙන්න පුළුවන්. ඇයි ඉතින් මොකට බය වෙනව ද...? පිට රට සුද්දෙක් නේ. ලංකාවේ කවුරුත් දන්නේ නැහැ මේ රහස් සම්බන්ධය. චැට් කළා; ඩිලීට් කළා; හරිම සරලයි. කොහොම කියලා ඔප්පු කරන්න ද? ඔබට එහෙම හිතෙන්න පුළුවන්. රෑ තිස්සේ චැට් කරලා නයිටිය පිටින් සෙල්ෆි ගහලා ඔහුට යවලා පසුවදා උදේ ඔබ ඒ හැන්ඩ්සම් සුද්දා ගැන හිතමින් පාරේ යනවා.

බස් හෝල්ට් එකේ ඉන්නවා ඔබේ නිවෙසට අල්ලපු ගෙදර ඉන්න පාසල් යන ඉලන්දාරියා. ඔබට කියනවා ‘ගුඩ් මෝනිං ඇන්ටි’ කියලා. “මෝනිං පුතා!” කියලා ඔබ යනවා අර සුද්දා ගැන හිතමින්. එතකොට අර අල්ලපු ගෙදර ඉන්න ඉලන්දාරියා තමන්ගේ යාළුවන්ට පෙන්නනවා

“මේ බලපන් ඊයේ රෑ අර ඇන්ටියා රෝස පාට ‘නයිටිය’ ඇඳලා මට එවපු පින්තූර කියලා...”

ඒ අර අමෙරිකන් සුද්දට ඔබ යැවූ ඒවා.... කොහොමද එහෙම වෙන්නේ...? දෙයියනේ... ඒක එහෙම වෙන්න පුළුවන් ද?

තාමත් සමාජය ගැන නොදන්න තමන්ගේම දුවට මෙහෙම දෙයක් වුණොත්. මවට අතිශය කීකරු දියණිය අම්මට කියනවා මෙහෙම.

“අම්මේ! සිඩ්නිවල ‍ඉඳලා ෆොරීනර් කෙනෙක් මට චැට් කරනවා; මැසේජස් එවනවා; එයා සිඩ්නි යුනිවසිටියේ හයස්ටඩීස් කරන්නේ; හරිම හොඳ පාටයි හරිම කෙයාරින්...” අම්මත් මොකුත් කියන්නෙ නැහැ. ඇයි ඉතින් ඒ සිඩ්නි සුද්දට එහේ ඉදලා තමන්ගේ මෙහේ ඉන්න දියණිය ගැහැනියක් කරන්න බැහැ නේ. අම්මත් සිද්ධිය සිල්ලරට අරගෙන නිකම් ඉන්නවා. අනෙක අද කාලේ මවුපියන් බලන්නේ කොහොම හරි තමන්ගේ දරුවා පිටරටකට යවන්නනේ. ඒකට පොටක් පෑදෙනවා නම් මොකට විරුද්ධ වෙනව ද? ටික දවසක් යනකොට ලංකාවේ අන්කල් කෙනෙක් අර දුවට කතා කරනවා.

“අපි ළඟ තියෙනවා ඔයාගේ අඩ නිරුවත් පින්තූර. මොකද කියන්නේ! මේවා අන්තර්ජාලයට දාන්න ද...? එහෙම නැති නම් මම කියන විදියට වැඩ කරනව ද?”

ළමයා බය වෙනවා. ඒත් සීයට ලක්ෂ වාරයක් විශ්වාසයි තමන් කවදාවත් අන්කල්ලට තබා මල්ලිලාටවත් එහෙම පින්තූර යවලා නැති බව. අහවල් දවසට, අහවල් තැනට, ලස්සනට ඇඳගෙන, තනියම එන්න කියලා අර නාකි අන්කල් කියනවා. එහෙම නැති නම් පින්තූර ටික සමාජගත කරනවා කියලා බය කරනවා. පින්තූර ලීක් වුණොත් පාසල් ගිහිල්ලා හමාරයි. රස්සාවට ගිහිල්ලත් ඉවරයි. කොටින්ම කිව්වොත් ඉඳලා හමාරයි. ටිකකින් අර අන්කල් තමන්ගේ අඩ නිරුවත් පින්තූර දෙක තුනක් අර දුවට එවනවා. කෙල්ල උඩ යනවා. තමන් අතිශයින් විශ්වාස කරපු සිඩ්නි තරුණයාට යවපු පින්තූර තමයි මේ මිනිහා මෙහෙම තමන්ටම නැවත පෙන්වන්නේ. කොහොමද ඒක එහෙම වෙන්නේ?

ඇත්තටම ඒවා එහෙම වෙන්න පුළුවන් ද?

ඔව්! ඒවා එහෙම වෙන්න පුළුවන්; ඇත්තටම ඒවා එහෙම වෙන්න පුළුවන්. හරිම සරලයි. ඒක වෙන්නේ මෙහෙමයි. ලංකාවේ ඉන්න තරුණ කොල්ලෙක් හරි, මැදිවියේ පිරිමියෙක් නැති නම් නාකි අන්කල් කෙනෙක් බොරුවට සුද්දෙක් වගේ රගපානවා. ඒක කරන්නේ හොර එකවුන්ට් එකක් හදාගෙන. ඒක කරන හැටි මම කියන්න යන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න; එහෙම කරන්න පුළුවන් බව; එහෙම කරන මිනිසුන් අනන්තවත් මේ සමාජයේ ඉන්න බව. විනාඩි දහයක් ඇතුළත එවැනි ගිණුමක් හදලා මුහුණු පොතට දාන්න පුළුවන්. ඒවා කොහොමත් හොයාගන්න බැරි තරම් සූක්ෂ්ම විදියට කරන්න ඔවුන් දන්නවා. අසභ්‍ය චිත්‍රපටවල රඟපාන සුද්දකුගේ ඡායාරූප පවා තමන්ගේ වගේ යවන්න පුළුවන් බැලූ බැල්මට අහු නොවෙන්න.

ඒ අතරේ මෙහෙම අයත් ඉන්නවා. කෙල්ලන්ගේ නමින් එකවුන්ට් හදාගෙන එන පිරිමි. කොහේ හරි ඉන්න කොල්ලකුගේ පින්තූරයකුත් දා ගන්නවා; ඒ කියන්නේ ප්‍රොෆයිල් පික්චර් එකට කවුරු හරි කාන්තාවකගේ පින්තූරයක් දාලා ගැහැනියක් වගේ රඟපානවා කියන එක. එයට පස්සේ කෙල්ලෙක් වගේ හුරතල් වෙන්න යනවා ඇන්ටිලා එක්ක. ‍එහෙම නැත් නම් ‘අක්කි අක්කි’ කියලා තොඳොල් වෙන්න යනවා බබා වගේ. එහෙම නැති නම් ‘අනේ නංගා’ කියාගෙන යනවා පොඩි කෙල්ලන් පස්සේ. ඒක වෙනම උණක්. එහෙම පිරිමින්ට ඕනේ කරන්නේ වෙනම ‘ආතල්’ එකක්.

එහෙම එන අයගේ එක අරමුණක් තමයි සමලිංගික කාන්තාවක් වගේ හැසිරෙන එක. මේ මුහුණුපොතේ සිටින අතිශය වැදගත් බොහෝ දෙනෙක් ගෞරව කරන මිතුරියක් මට දිනක් කියපු කතාවක් මේක.

“මට හරියට කෙල්ලන්ගෙන් කරදර අනේ. මම ගැන පිස්සු වැටිච්චි කෙල්ලෝ කීප දෙනෙක්ම ඉන්නවා. එයාලා මරු කතා කියනවා”

එහෙම කියලා ඇය තොරතෝංචියක් නැතිව හිනා වෙනවා. මම දවසක් කිව්වා එහෙම චැට් කරන්න එන කෙල්ලන්ගේ නම් මට එවන්න කියලා. මට දැක්කම හිනා ගියා. ඒ සියල්ල හොර ගුහා. තනිකර ෆේක් එකවුන්ට්. කෙල්ලෝ වගේ රඟපාන කොල්ලන්ගේ කෙරුවාවල්. සමහර අයගේ මිතුරු ලැයිස්තුව හාරදාහ පැනලා පන්දාහට කිට්ටු කරලා. මා කිව්වට ඇය විශ්වාස කළේ නැහැ.

“නැහැ නැහැ එයා නම් ඇත්තම ගර්ල් කෙනෙක් තමයි”

එයට පසු මා ඈට මෙහෙම පැවසුවා.

“කවදා හරි ඒ අය එක්ක වීඩියෝ චැට් එකකට ගිහිල්ලා තියෙනව ද? එහෙම නැති නම් අඩු ගානේ කෝල් එකක්වත් අරගෙන තියෙනව ද?”

අන්න එතැන තමයි රහස. මා ඒ ගැන අන්තිමට කියන්නම්. මානසික අසහනකාරයෝ ඉන්නවා මෙවැනි දේවලින් තනියම විනෝදයක් අරගෙන නිකං ඉන්න. ඒ වගේම පිස්සු යක්කුත් ඉන්නවා ගෙල මිරිකලා ලේ බොන්න දඟලන. මේ දෙගොල්ලන්ගෙන්ම ඔබ පරිස්සම් විය යුතුයි. මේ අතරේ ඉන්න පුළුවන් ඇත්තටම සීයට කෝටිවාරයක් විශ්වාස මිතුරෙක්. මොන පින්තූරයක්, මොන කතාබහක් කළත් බය වෙන්න කාරි නැති. චැට් කළා, මකලා දැම්මා ඉවරයි. ඔව් ඒක හරි. එනමුත් ඒත් එහි ඇති භයානක බව ගැන ඉදිරි ලිපියකින් උදාහරණ ඇතිවම කියන්නම්.

විදේශිකයකු ලෙස හෝ නැතිනම් ලාංකිකයකු ලෙස හෝ මුහුණු පොතේ සිටින මෙහෙම ව්‍යාජ මිනිසුන් අඳුනාගන්නේ කොහොම ද? මුහුණුපොතේ ඉන්න මේ හැමෝම බොරු වෙන්නත් බෑනේ. දැන් ඔය ඕනේ තරම් කොල්ලෝ කෙල්ලෝ ෆේස් බුක් එකෙන් සෙට් වෙලා ‘ලව්’ කරලා කසාද බඳින්නේ. බැරි වෙලාවත් අර රට ඉඳලා චැට් කළේ ඇත්තටම වැදගත් සුද්දෙක් නම්.... ඔව්! මේවා අඳුනාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. එනමුත් මේ හැම සිල්ලර ක්‍රමයකින්ම සූක්ෂ්මව බේරෙන්න එහා පැත්තේ ඉදලා චැට් කරන කපටියා දන්නවා. ඒ හැම ක්‍රමයක්ම එකින් එක කියන්න ගියොත් ලිපිය දිග වැඩි වෙනවා. ඒ නිසා මා ඒවා කියන්න යන්නේ නැහැ. ලේසිම, ඉක්මන්ම ක්‍රමය එක්වරම චැට් කරමින් සිටින විට වීඩියෝ කෝල් එකකට යෑම. එතකොට බලා ගන්න පුළුවන් චැට් කරන්නේ සිඩ්නි සුද්දෙක් ද නැති නම් වීදුරුවලින් පාටිෂන් කළ කාමරයේ ඉන්න තමන්ගෙම ඔෆීස් බොස් ද කියලා. එහෙම නැති නම් කාලෙකට පෙර තමන් බ්ලොක් කරලා එළවලා දාපු පරණ සයිබර් ලව් එක ද කියලා.

අක්කි අක්කි ගාගෙන හුරතල් වෙන්න එන්නේ නංගියෙක් ද එහෙම නැති නම් ඔෆීස් වෑන් එකේ මල්ලි ද කියලා. චරිතයේ ශුද්ධභාවය හොයන්න කඩවසම් තරුණයෙක්ගේ ඡායාරූපයක් දාගෙන එන්නේ තමන්ගේම නීත්‍යනුකූල පිස්සු සැමියා වෙන්නත් පුළුවන් !

(කොහොමද එහෙම දෙයක් වුණොත් ?) මේ අනතුර පිරිමි පාර්ශ්වයටත් වලංගුයි. ලස්සන පොඩි කෙල්ලෙක් වගේ හොර එකවුන්ට් එකක් හදාගෙන ගෙදරදී හොර පූසා වගේ ඉන්න මහත්තයාගේ කෙරුවාව බලන්න තමන්ගේම බිරිය වුණත් එහෙම එන්න පුළුවන්. බැඳපු නැති සූටි නංගිලා මල්ලිලා වුණත් තමන්ගේ පෙම්වතියගේ පාරිශුද්ධභාවය හොයන්න ඒම එන්න හැකියි.

මේ හොර එකවුන්ට්කාරයෝ කිසි දවසක වීඩියෝ චැට් එකකට යන්නේ නැහැ. හේතුව තමන්ගේ සැබෑ මුහුණත් තහඩුව දර්ශනය වෙන නිසා. එතකොට කරන්නේ වීඩියෝ කෝල් එක උස්සන් නැතිව චැට් එකෙන්ම ඉන්න දඟලනවා. එහෙම නැති නම් කියනවා

“මම දැන් බිසී පැටියෝ... කා එකට නැඟලා ඩ්‍රයිව් කරන්න සීට් බෙල්ට් දා ගත්තා විතරයි. ඉස්සරහ ට්‍රැෆික් ! ගිය සතියෙත් හයිස්පීඩ් ගිහිල්ලා ඇල්ලුවා. ෆ්‍රී වෙච්ච ගමන් වීඩියෝ කොල් එකට එන්නම්”

එහෙම කියලා සයින් අවුට් වෙලා ඇත්ත එකවුන්ට් එකට මාරු වෙනවා. සමහර විට ඒ පුද්ගලයා කාරකේ නැඟලා සීට් බෙල්ට් නොවෙයි පොල් කඩන්න ගහේ යන්න වළල්ල කකුලට දාගත්තු එකෙක් වෙන්නත් පුළුවන්! හැබැයි මතක තියා ගන්න වීඩියෝ කෝල් එකෙන් වුණත් බොරු කරන්න පුළුවන් බව. එනමුත් ඇත්තටම තමන් අහන ප්‍රශ්නවලටම පිළිතුරු දෙනව ද කියලා අවධානය යොමු කළොත් ඒක හොයා ගන්න අමාරු නැහැ. ඒ වගේමයි චැට් කරමින් ඉන්න අතර එක්වර ම සාමාන්‍ය දුරකතන ඇමතුමක් ගන්නත් පුළුවන්. පිරිමියෙක් නම් කටහඬින් හොයන්න පුළුවන් නේද කියලා ඔබ හිතාවි. ඒත් හඬ වෙනස් කරලා කතා කරන්න දස්සයෝ ඕනේ තරම් ඉන්නවා; ඒ වගේම ස්වාභාවිකවම මෘදු හඩක් තියෙන කොහෙටවත් නැති පිරිමිත් ඉන්න නිසා ඒක සාර්ථකම නැහැ. හොඳම දේ එහා පැත්තේ ඉන්න භූතයාට කියන්න ඔයාගේ මූණ වීඩියෝ එකකින් බලන්න මම හරිම ආසයි, අනේ ඉක්මනට වීඩියෝ කෝල් එකක් තමන්ට ගන්න කියලා. ඔහු බොරු කාරයෙක් නම් ඒවා මේවා කියලා වීඩියෝ කෝල් එකට නෑවිත් ඉන්නවා. එතකොට තමන්ට අවබෝධ විය යුතුයි මෙතන මොකක් හරි හොරයක් තියෙනවා නේද කියන කාරණය. අදි මදි කරලා ඔවුන් බේරෙන්න බලනවා; දෙපාරක් තුන්පාරක් ඒක එහෙම වුණාට පස්සේ තමන් දැන ගත යුතුයි ඊළඟට කරන්න වුවමනා මොකක් ද කියලා. එක්කෝ මිතුරු ලැයිස්තුවෙන් අයින් කරනවා; නැති නම් ප්‍රතිචාර නොදක්වා ඉන්නවා.

හුදෙක් කාමය අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ව්‍යාජ ගිණුම් තියෙන මිනිසුන් ගැනයි මා ඒ පැවසුවේ. කාමය අරමුණු කර නොගෙන මුදල් සූරා කෑම අරමුණ කරගන්න බලා සිටින ව්‍යාජ ගිණුම් ද මුහුණු පොතේ එමටයි. ඔබ දන්නවා සමහර පුද්ගලයන් කාමයට ගිජු නැති බව; එනමුත් වටිනා තෑගි භෝගවලට ඒ අය කැමැතියි. ඒ අය රැවටෙන්නේ මෙහෙමයි. ඇත්තටම විදෙස් මිතුරකු කතා කරනවා. විශ්වාසය තහවුරු කරගන්න කියලා කෙළින්ම වීඩියෝ කෝල් එකක්ම දෙනවා. ෂා! දැන් බය වෙන්න කිසිම දෙයක් නැහැ. ප්‍රොෆයිල් එකේ ඉන්න ඇත්තම කෙනායි වීඩියෝ එකේ දකින්නේ. මෙහෙම ටික දවසක් ගිහිල්ලා ඒ අය වට්ස්ඇප් නම්බර් ඉල්ලනවා. එයට පස්සේ මුහුණුපොතෙන් ඉවත් වෙලා වයිබර්, වට්ස්ඇප්වලින් කතිකාව ගෙනියනවා. ටික දවසක් ගිහිල්ලා කියනවා.

“මම ඔයාට වටිනා තෑගි පාර්සලයක් කුරියර් කරලා එව්වා. එකේ ලැප්ටොප් එකක්, වයිට් ගෝල්ඩ් නෙක්ලස් එකක්. එහෙම නැතිනම් ටැබ් එකක්, තව සුවඳ විලවුන් වර්ගත් තියෙනවා.” කියලා. ඒ වගේම ඩොලර් සීයකුත් තියෙනව; ඒක දාලා තියෙන්නේ පාර්සලය කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න යන වියදම කියලා. ඒක නිසා දැනට අතේ තියෙන සල්ලිවලින් මේ ගිණුමට ඩොලර් සීයක් දාලා තෑගි පාර්සලය අරගෙන අර ඩොලර් සීය අතින් ගිය වියදමට හිලව්ව ගන්න කියලා. එහෙම කියලා මුදල් දමන්න ගිණුම් අංකයක් එවනවා. බලාගෙන ගියාම අර විදෙස්ගත සුද්දා තමන්ට ලක්ෂ දෙක තුනක තෑගි කුරියර් කරලා එවලා. අතින් ඩොලර් සීයක් දැම්මත් පාඩු නැහැ. එයිට පස්සේ වෙන දේ මම කියන්න ඕනේ නැහැ. ඒවට අහුවුණු අනන්ත පිරිසක් ලංකාවේ වගේම විදෙස් රටවලත් ඉන්නවා. ඔවුන්ට අහුවුණාට පස්සේ නැවත අර මුහුණුපොතේ ඔහුව සොයනකොට දැකගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ගිණුමෙන් ඔහු අතුරුදන් වෙලා.

අපි මේ මොනා කිව්වත්, කුමක් ලිව්වත් වැඩක් නැති වෙන්න පුළුවන්; ඒ හෙට දිනයේ මෙවැනි තෑගි පාර්සලයක් ඔබට විදේශිකයකු එව්වා කියලා පණිවිඩයක් ලැබුණොත් ඔබ ඒක විශ්වාස කරන නිසා. හැබැයි ඔබට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔබට පුළුවන් ඇත්තටම එහෙම තෑගි පාර්සලයක් ඇවිත් තියෙනවා ද කියලා අදාළ තැන්වලට දුරකතන ඇමතුම් දීලා දැන ගන්න. ඒත් ඔබ හැම දෙයක්ම හොරෙන් කරන කෙනෙක් නම්, එනම් හොඳ යාළුවකුටවත් කිසිවක් නොකියන, තමන්ගේ මවට, පියාට, ළඟම ඥාතියකුටවත් කිසිවක්ම නොකියන, ඒ වගේම සැමියා සමඟ මිතුරු ලීලාවෙන් කටයුතු නොකරන කෙනකු නම් ඔබ ඉන්නේ මුහුණුපොතේ අවදානම් කලාපයේ.

මේ ලිපිය කියවලා පිරිමි මන්දස්මිත නඟන්න එපා.

“අපොයි! ගෑනුන්ගේ මෝඩකම්” කියලා. මේ ලිපිය පිරිමි පාර්ශ්වයටත් මේ විදියටම වලංගුයි. මෙවැනි සුද්දියකුට රැවටිලා; ඒ සුද්දියගේ ව්‍යාපාරවල කොටස් මිල දී ගන්න සල්ලි යවලා; තාමත් බැංකු ණය ලක්ෂ විස්සක් ගෙවන තරුණයකු ගැන කතාව වෙන දවසක කියන්නම්.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.