ධර්මාශෝක අධිරාජ්‍යයා සහ මහින්ද හිමියෝ කවුරු ද? | සත්මඬල

ධර්මාශෝක අධිරාජ්‍යයා සහ මහින්ද හිමියෝ කවුරු ද?

පුරාණ ඉන්දියාවේ මගධ ජනපදයේ (වත්මන් ‘බිහාර්’), පාඨලී පුත්‍රයේ (පැට්නා) අගනුවර වූ‘උජ්ජේන්’ (උදේනි) ප්‍රාන්තයේ (මධ්‍ය ප්‍රදේශ්) ක්‍රිස්තු පූර්ව 268 සිට 232 දක්වා පාලනය කළ, අශෝක (අශෝක සෙල් ලිපිවල සඳහන් කර ඇති පරිදි දේවානම්ප්‍රිය ප්‍රියදර්ශි) හෙවත් ‘අශෝක ධම්ම’ (ධර්මාශෝක) නම් ක්‍රිස්තු පූර්ව 320-272 දක්වා මෞර්ය අධිරාජ්‍යයේ රජ කළ ‘බින්දුසාර’ රජුගේ පුතුන්ගෙන් කෙනෙකි. බින්දුසාර රජුගේ සාමාන්‍ය බිසවක වූ මෝරිය කුලධර්මා බිසව, ‘සුසීමා’ සහ ‘අශෝක’ යන කුමාරවරුන් දෙදෙනාගේ මව වූවා ය.

බින්දුසාර රජු රාජ්‍යත්වයේ සිටි වකවානුවේ ම, අවන්ති ප්‍රාන්තයේ උදේනි නුවර ඇමැතිවරුන්ගේ මෙහෙයවීමෙන් ඇරැඹි කැරැල්ලක් සාර්ථකව මැඬ පැවැත්වීමට සමත් වූ තරුණ අශෝක කුමරුන් අටළොස් වියේදී (ක්‍රි.පූ.286 දී) අවන්ති ප්‍රාන්තයේ යුව රජු වශයෙන් ද, පසුව බින්දුසාර රජුගේ උපදෙස් මත තක්ෂිලා ප්‍රාන්තයේ කැරැල්ලක් මැඬලීමට සිය සොහොයුරු ‘සුසීම’ට සහාය වීමෙන් පසු තක්ෂිලා ප්‍රාන්තයේ යුව රජු වශයෙන් ද, පත් කළේ ය.

උදේනි පුරයේ කැරැල්ල මැඬ පැවැත්වීමේදී සිදු වූ තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටින අතර, වේදිසගිරියේ (විදිසාවේ) ‘මහාදේවි’ නම් වූ කුමරිය සමඟ ප්‍රේමයෙන් බැඳුණු තරුණ අශෝක කුමරු, විසිවැනි වියේදී ඇය ආවාහ කරගත් බව වංශ කථාවල සඳහන් ය.

ඔවුන්ට දාව, ‘මහේන්ද්‍ර’ (මහින්ද/මිහිඳු) කුමරු උපත ලැබුවේ ක්‍රි.පූ. 285දී උදේනියේ ‘වේදිස’ නගරයේ ය. මහේන්ද්‍ර කුමරුන්ගේ උපතින් තුන් වසරකට පසු දේවි කුමරිය ‘සංඝමිත්‍රා’ (සංඝමිත්තා/සඟමිත්) නම ලැබූ දියණිය ද බිහි කළා ය.

මේ වකවානුවේ බින්දුසාර රජතුමා මරණාසන්න වූ අතර, උදේනිපුර සිට පාඨලීපුත්‍ර අගනුවර බලා නික්ම ගිය අශෝක කුමරු, පියරජතුමාගේ ඇමැතිවරුන්ගේ ද සහාය ඇතිව අගරජ බවට පත් වීමට සැරසී සිටි ‘සුසීම’ නම් තම අයියණ්ඩිය ඇතුළු සියලු සහෝදරවරුන් ඝාතනය කර, සිංහාසනාරූඪ වූ බව මහා වංශයේ සඳහන් වේ. අශෝක අධිරාජ්‍යයාගේ අභිෂේකය සිදු වී ඇත්තේ සිංහාසනාරූඪ වීමෙන් සිවුවසරකට පසුව (ක්‍රි.පූ.269දී) ය.

 

මරා දැමූ ‘සුසීම’ කුමරුට, ‘නිග්‍රෝධ’ නම් වූ පුතකු සිටි අතර, පසුව පැවිදි බවට පත්ව කාලිංග සංග්‍රාමයෙන් පසු අශෝක මහරජතුමා දිනක් වීදියේ සංසුන් ගමනින් වඩින කුඩා සාමණේර නමක් මාළිගයට කැඳවා, උන්වහන්සේ දේශනා කළ ගාථාවක් අසා පැහැදුණු බවට සඳහන් වන්නේ ද මහා මහින්ද (මිහිඳු හිමියන්) සමඟ ලක්බිමට පළමුවරට පැමිණි ධර්මදූත පිරිසේ සිටි ‘නිග්‍රෝධ සාමණේර’ වශයෙන් හඳුන්වා දී ඇත්තේ ද, මේ ‘නිග්‍රෝධ’ කුමරු ම ය.

අශෝකගේ රාජාභිශේකයෙන් පසු, ‘දේවි’ කුමරිය සිය පුතු ‘මහේන්ද්‍ර’ (මහින්ද) කුමරුන් හා ‘සංඝමිත්‍රා’ (සංඝමිත්තා) දූ කුමරිය ද සමඟ වේදිසගිරියේම රැඳී සිටි අතර ඒ වකවානුවේ කුඩා මහින්ද කුමරුත්, සංඝමිත්තා කුමරියත් සිය මවගේ ආගම වූ බෞද්ධාගම වැලඳ ගත්හ. පසුව පිය රජුගේ ඉල්ලීම සලකා දරුවන් දෙදෙනා පමණක් පාඨලී පුත්‍රයට යවා දේවි කුමරිය සිය මවුපියන් ද සමඟ වේදිසගිරියේම රැඳී සිටියා ය. එසේ වීමට හේතු වූයේ දේවි කුමරිය වෛශ්‍ය (වෙළෙඳ) කුලයට අයත් වීම නිසා බිසවක වශයෙන් රාජ්‍යයට යෑම තහනම් වීම ය.

අශෝක මහරජු සිය අග මෙහෙසිය වූ ‘අසන්ධිමිත්‍රා’ගේ මරණයෙන් පසු, තමාට වඩා බෙහෙවින් ළාබාල වූ අතිශයින් සුරූපී බිසවක වූ ‘තිෂ්‍යරක්ෂා’ (තිස්සරක්ඛා/තිසාරා) නම් වූ ක්ෂත්‍රිය කුමරියක සිය අග බිසව කර ගත්තේ ය.

‘තිසාරා’ දේවිය සිය අග බිසව කරගත් පසු අශෝක රජතුමා දිග්විජය පිළිවෙත අනුගමනය කරමින්, බිහිසුණු කාලිංග (වත්මන් ‘ඔඩීෂා’ ප්‍රාන්තයේ පිහිටි) රාජ්‍යය ආක්‍රමණය ඇරැඹියේ ය. කාලිංග යුද්ධය ආරම්භ වී ඇත්තේ අශෝක රජුගේ මෞලි මංගල්‍යයෙන් වසර අටකට පසුව (ක්‍රි.පූ.260 දී) බව, 13 වැනි අශෝක සෙල් ලිපියේ සඳහන් වේ.

කාලිංග රාජ්‍යය ආක්‍රමණය කිරීමට වසර කීපයක් තුළ කළ මේ සංග්‍රාමයේදී අශෝක රජතුමා කොතරම් ක්‍රෑර වූයේ ද යත්, වැසියෝ ඔහු ‘චණ්ඩාශෝක’ යන අපර නාමයෙන් ද හැඳින්වූහ. අශෝක සෙල් ලිපියක ම සඳහන් වන අන්දමට, සංග්‍රාමයේදී එක්ලක්ෂ පනස් දහසකට අධික මිනිස් ජීවිත නැති විය. එයටත් වැඩි සංඛ්‍යාවක් ආබාධිත වූහ. තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කාලිංගයෙන් පිටුවහල් කරනු ලැබිණි.

කාලිංග රාජ්‍යය විජයග්‍රහණයෙන් අභිමානයට පත් අශෝක අධිරාජයා, සිය ජයග්‍රහණයේ අසිරිය දැක බලා ගනු පිණිස සංචාරය කරන අතරතුර, සංග්‍රාම භූමියේ විසිරී තිබූ දහස් සංඛ්‍යාත මළ සිරුරු ද, අ‍ඳෝනා දෙමින් හඬා වැලපෙන ජනී ජනයා ද, විනාශ වී ගිය නිවාස ඇතුළු දේපළ ද දැක බෙහෙවින් කම්පාවට පත්ව, දික්විජය ප්‍රතිපත්තිය අතහැර දැම්මේ ය.

ක්‍රි.පූ. 250 පමණ සිට, සිය රටවැසියාගේ සුබ සිද්ධියත්, රාජ්‍යයේ උන්නතියත් වෙනුවෙන් කැප වූ මහරජතුමා, සිය අධිරාජ්‍යය පුරා සෙල් ලිපි 33ක් පිහිටුවා ඒ මත ද, ටැම් ලිපි හා පර්වත ගුහාවල ද සිය පරමාර්ථ, අදහස් හා උපදෙස් සටහන් කර තැබී ය. මාගධී ප්‍රකෘත භාෂාවෙන් බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් කර ඇති මේ ලිපිවල රජතුමා බුද්ධ ශාසනය නඟාසිටුවීමට මෙන් ම සංඝයා වහන්සේට සැලකිය යුතු ආකාර, කළ යුතු උවටැන්, බෞද්ධ සිද්ධස්ථාන වැඩි දියුණු කිරීමට ගත යුතු පියවර, සෙසු ආගම් හා පුද පූජා කෙරෙහි දැක්විය යුතු ගෞරවය, රට වැසියන් සිය සහෝදර වැසියන්ට පමණක් නොව, සිරකරුවන්ට සහ සතුන් කෙරෙහි පවා කරුණාවෙන් හා දයාවෙන් සැලකිය යුතු ආකාරය, පරිසරය රැකිය යුතු ආකාරය ආදි දේ ගැන සඳහන් වේ. එතුමා සංඝ සමාජයට ඇතුළු වී බ්‍රාහ්මණයන් විසින් විකෘති කරනු ලැබ තිබූ නිර්මල බුද්ධ ධර්මය යළි ‍එළිපෙහෙළි කිරීමට, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පාඨලීපුත්‍රයේදී තුන්වැනි ධර්ම සංඝායනාව පැවැත්වීමට කටයුතු සංවිධානය කළේ ය.

තුන් මසක් තුළ පැවැත්වූ ධර්ම සංගායනාවෙන් පසු, අශෝක මහරජතුමා බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා කාශ්මීර ගාන්ධාරය, යෝනකය (යවන දේශය/ග්‍රීසිය), අපරන්ත දේශය (ඇලෙක්සන්ඩ්‍රිරියාව), මහිෂ මණ්ඩලය, වනවාසී ප්‍රදේශ, හිමාල ප්‍රදේශය, ස්වර්ණභූමිය (බුරුමය), මහා රට්ඨ ආදි රටවල් අටකට ද, ‘ත්‍රාමපර්නි’ (තම්බපන්නි/හෙළදිව) ට ද දූත පිරිස් යැවී ය.

අශෝක මහ රජතුමාගේ ‘මහින්ද’ පුත්කුමරු විසි වයස් වූ කළ, පාඨලී පුත්‍රයේදී මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ යටතේ පැවිදි බිමට ඇතුළු වී නොබෝ කලකින් අර්හත් ඵලයට පත් වූහ.

සංඝමිත්තා දූ කුමරිය, වයස දහහතරේදී මහ රජතුමාගේ බෑනා කෙනකු වූ ‘අග්‍රිබ්‍රාන්ධී’ නම් වූ බ්‍රාහ්මණ තරුණයකු හා සරණ ගොස්, ‘සුමන’ නම් ලද පුතකු ලැබ, දහඅට වැනි වියේදී ‘ආයුපාල’ නම් වූ තෙරණියක යටතේ ශාසනයට ඇතුළු වූවා ය. ඇගේ පුත් කුමරු වූ සුමන ද, කුඩා අවධියේ දීම පැවිදි වූ අතර, ඔහු මහින්ද මහ රහතන් වහන්සේ පළමුවරට ලක්බිමට වැඩි අවස්ථාවේ පැමිණි ධර්මදූත කණ්ඩායමේ සාමාජිකයෙක් ද විය.

මහා මහින්ද රහතන් වහන්සේ ප්‍රධාන ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන භික්ෂූන් වහන්සේ සිව් නම ද, සංඝමිත්තා තෙරණියගේ ගිහි කල පුත් වූ ‘සුමන’ සාමණේරයන් ද, මුනුපුරකු වූ ‘භණ්ඩුක’ කුමාරයාගෙන් ද සමන්විත වූ පිරිස ද සමඟ මිහින්තලාව අසල දඩකෙළියේ යෙදී සිටි ලක්දිව රජ කළ තිස්ස (පසුව ‘‍දේවානම්පිය තිස්ස’) නිරිඳුන් හමු වීම, මහා වංශයේ සඳහන් කර ඇති පරිදි හුදෙක් අහඹු සිදුවීමක් නොව, අශෝක අධිරාජ්‍යයාණන් සහ ලක්දිව රජ කළ තිස්ස නිරිඳුන් අතර දූතයන් මඟින් සැලසුම්සහගතව සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය වේ.

මහින්ද මාහිමියන් ‘තිස්ස’ රජුගේ බුද්ධි මට්ටම දැනගනු වස් ‘අඹ ගස්’ සහ ‘නෑයන්’ හා සම්බන්ධ ප්‍රශ්න අසා, තුටු පහටුව, පසු ව පිරිසට ‘චුල්ල හත්ථිපදෝපම’ සූත්‍රය දේශනා කළ බවත්, අනතුරුව රජතුමා ප්‍රධාන පිරිස බෞද්ධාගම වැලඳගත් බවත් වංශකථාවල සඳහන් ය.

තිස්ස රජතුමාගේ බෑනණුවන් වූ ‘අරිට්ඨ’ අමාත්‍යවරයා ප්‍රමුඛ පනස් දෙනෙක් පිරිස මිහිඳු හිමියන් වෙතින් පැවිදි බව ලබාගැනීමත් සමඟ මෙරට භික්ෂු ශාසනය බිහි විය. පසුකලෙක දේවානම්පිය තිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් මෙරට විනය සංගායනාවක් පවත්වනු ලැබුවේ ද ‘මහා අරිට්ඨ තෙරුන් වහන්සේ’ වශයෙන් හඳුන්වනු ලැබූ මේ තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙනි. මහින්ද මහ තෙරණුවන් ලක්දිවට වැඩම කළ දිනට පසු දින රජතුමා පිළිගැන් වූ දානය වළඳා අනතුරුව කළ දම් දෙසුම අවසානයේ ‘මහානාග’ යුව රජුගේ බිසව වූ ‘අනුලා’ දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් සෝවාන් ඵලයට පත් වූ අතර, දෙවැනි දින, ඔවුහු මහ තෙරණුවන් හමු වී තමන් ද පැවිදි වීමට කැමැති බව දන්වා සිටියහ. තමන් වහන්සේට ස්ත්‍රීන් පැවිදි කිරීම අකැප බව දන්වා සිටි මහ තෙරණුවෝ, අශෝක පියරජතුමන්ට අවශ්‍යතාව දන්වා යවා, තමන් ගිහි කල නැඟණිය වූ සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවා, ස්ත්‍රීන් පැවිදි කරවා ගන්නා ලෙස රජතුමන්ට දන්වා සිටියහ.

ඒ අනුව අශෝක මහරජතුමා සංඝමිත්තා තෙරණියත්, ඇය භාරයේ ම ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් ද මෙරටට එවූහ. සංඝමිත්තා තෙරණිය හා සමඟ පැමිණි මහරජතුමාගේ ‘වේදිස’ බිසවගේ සහෝදරයන් අට දෙනකු ඇතුළත් පිරිස, ත්‍රාමලිප්තයේ පැළලුප් නුවරින් නැව් නැඟ, ලක්දිව බලා අවුත්, ක්‍රි.පූ. 249 උඳුවප් මස දඹකොළපටුනින් ගොඩ බැස, ‘ජය ශ්‍රී මහා බෝධි’ අංකුරය අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කළ බව වංශ කථාවල දැක්වේ.

අශෝක මහරජතුමා විසින් ලක්දිව තිස්ස රජතුමාට ‘දේවානම්පිය’ යන ගෞරව නාමය පිරිනැමීමෙන් පසු රජතුමා ‍ ‘දේවානම්පිය තිස්ස’ නමින් ප්‍රචලිත විය.‍

‍බුද්ධගයාවේ වැඩ විසූ ශ්‍රී මහා බෝධිය තිසාරා අග බිසව අශෝක මහරජතුමාගේ රාජ්‍යත්වයෙන් 19 වැනි වසරේදී, විෂ කටු ගස්වා විනාශ කරවූ බව සඳහන් වේ. එයට හේතුව අශෝක අධිරාජ්‍යයා තමන්ට වඩා ශ්‍රී මහා බෝධියට දැක්වූ ගෞරවය සහ සැලකිල්ල නිසා හටගත් ඊර්ෂ්‍යාව නිසා මෙන් ම අන්‍යාගමික භක්තිකාවක වූ ඇය රටවැසි බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් වන්දනා මාන කරන බෝධිය විනාශ කර දැමිය යුතු යැයි සිතූ හෙයින් ද විය හැකි යැයි අනුමාන කෙරේ.

බුද්ධගයාවේ යළි රෝපණය කරනු ලැබූ බෝරුක් දෙකක් ද, පසු කාලවල විනාශ කෙරුණු අතර ක්‍රි.ව.1876 වසරේදී එවකට පැවැති බෝධිය ද කුණාටුවක් නිසා යළිත් විනාශ වී ගිය හෙයින් දැන් සාංචියේ දක්නට ලැබෙන්නේ කලකට පසුව සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවා අනුරාධපුරයේ මහමෙවුනාවේ රෝපණය කළා වූ ජය ශ්‍රී මහා බෝධියෙන් ලබාගත් අංකුරයකින් හටගත් බෝ රුකකි.

දේවානම්පිය තිස්ස රජතුමාගේ ඉල්ලීම මත, මහින්ද මහ රහතන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි වඩමවා, මෙරට පළමු වැනි ස්තූපය වන ‘ථූපාරාමය’ කර වූ අතර, ඒ ‍හේතුවෙන් එය ‘පඨමක චෛත්‍යය’ නමින් ද හැඳින්විණි.

‍මෙසේ මෙරට ස්ථාපිත වූ බුදුදහම, රාජ්‍යාගම බවට පත් වූ අතර එතැන් පටන් ලක්දිව රාජ්‍යයට හිමිකම් කිව හැකි වූයේ බෞද්ධයකුට පමණකි.

මහින්ද මහරහතන් වහන්සේ ලක්දිව භික්ෂු ශාසනය පිහිටුවීමෙන් පසු උන්වහන්සේ ‍බොහෝ කලක් මෙරට නොයෙක් තැන්වල වැඩ වාසය කරමින් ධර්ම ප්‍රචාර කටයුතුවල යෙදී සිටි බව හෙළි වේ.

උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු දේහය ආදාහනය කර භස්මාවශේෂ, අම්පාර ප්‍රදේශයේ රජගල පිහිටි ස්තූපයක තැන්පත් කර ඇති බව ඒ ස්ථානයේ ඇති සෙල් ලිපියක සඳහන් ය. ඒ ස්ථානයේම ප්‍රථම ධර්ම දූත කණ්ඩායමේ සිටි ‘ඉට්ඨීය’ තෙරුන් වහන්සේගේ භස්මාවශේෂ ද තැන්පත් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.