බෞද්ධ දෘෂ්ටිය මතු කළ විශ්ව සාහිත්‍ය නිර්මාණ | සත්මඬල

බෞද්ධ දෘෂ්ටිය මතු කළ විශ්ව සාහිත්‍ය නිර්මාණ

මාක් ට්වේන්ගේ ‘හක්ල්බරි ෆින්’ කතාවේත් ප්‍රකට වන්නේ සාදු යෞවනයකුගේ උත්සාහ සම්පත්තියයි. ගුස්ටාව් ෆ්ලෝබෙයාර්ගේ ‘එමා බෝවාරි’ නවකතාවේ එමාගේ චරිතයෙන් ප්‍රකට වන්නේ අවසර කල් රහස් තැන වරදෙහි බැ‍ඳෙන ගැහැනියක සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇය විඳින චිත්ත චෛතසික වේදනාවයි.

ජගත් රචකයන්ගේ නිර්මාණ විමසන විට බෞද්ධ ජීවන දෘෂ්ටිය ඒ නිර්මාණ මඟින් ප්‍රකට වෙයි. බොදු හැඟීම් විශ්ව සාහිත්‍ය කෘතිවල අන්තර්ගතව ඇත.

නිකොලායි ඕස්ත්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’ නවකතාවේ එන ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ චරිතය බෞද්ධ දර්ශනයේ එන උට්ඨාන වීර්යය මේ යැයි කියාපාන්නකි. පාවෙල් නව සෝවියට් රජයේ නිලධාරියකු ලෙස සංවර්ධන සංග්‍රාමයට එක් වී සිය ජීවිතයේ සෞඛ්‍ය ගැන නොසිතා අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරයි. යවන වියේදී කොර්චාගින් පෙන්වන වීර්යය අධිෂ්ඨානය, උට්ඨාන වීර්යයන් පිරි ඔහුගේ යෞවන සමය සිහි ගන්වන්නේ බෞද්ධ දෘෂ්ටියේ එන උට්ඨාන වීර්යයෙන් යුත් පුද්ගලයා ලොවම දිනන බවයි.

කොර්චාගින් අවසානයේ ලෙඩ ඇඳට වැටී අකර්මණ්‍ය වුව ද ඔහු සාහිත්‍ය කටයුතුවල නිරත වෙයි. රෝග සතුරාට එරෙහිව උට්ඨාන වීර්යයෙන් කොර්චාගින් සටන් කරයි. විශේෂ ගති ඇති පුද්ගලයන් ලොව දිනන බවට ඇති බෞද්ධ කියමන සනාථ කරමින් පාවෙල් කොර්චාගින් ලොව ප්‍රසිද්ධ රචකයකු බවට පත් වෙයි.

උට්ඨාන වීර්යයෙන් යුත් කොර්චාගින්ගේ කෙටි ජීවිතය ආදර්ශවත් එකකි. ඒ ආදර්ශය තුළ උට්ඨාන වීර්යය ගැබ්ව ඇත. නෝර්වීජියානු ලේඛක ක්හුට් හැම්සන්ගේ සරුපස නවකතාවේ එන අයිසැක්ගේ චරිතය උට්ඨාන වීර්යයෙන් ගොඩනැඟුණකි. මවට පියාට සත්කාර කළ යුතු ය; කළගුණ පළ කළ යුතු ය; මහලු මවුපියන් රැකබලාගත යුතු ය; දයාව පෑ යුතු ය යන බෞද්ධ දෘෂ්ටිය ඔපූර් සංසාර්හි ඔපූර්ගේ චරිතය මඟින් ප්‍රකට වෙයි.

ෆියොදෝර් දොස්තයෙව්ස්කිගේ ‘කරමසෝ සහෝදරයෝ’ නවකතාවේ එන අල්යොසා කරමසෝගේ යෞවන චරිතය ක්‍රිස්තියානි ආගමික හැදියාව ඇති පුද්ගලයකුට වඩා බෝධිසත්ත්ව චරිතයක ගුණ රුව කියාපාන්නකි.

අල්යොසා කරමසෝ තම පියාගේත්, සොහොයුරාගේත් ජීවිතය දෙස බලන්නේ උපේක්ෂා සහගත සිතිනි. ඉතා කදිම යෞවන කාලයත් ගෙවන අල්යොසා ඉවසීම, විනීත බව, බොරු නොකියන බව, ඍජු බව, අවංක බව පසක් කොට ගත්තෙකි. බුදු දහමට අනුව පුද්ගලයකුගේ උතුම් ගුණාංග රාශියක් අල්යොසා කරමසෝ වෙත ගැබ්ව ඇත. අල්යොසාගේ චරිතය මේ මහා නවකතාවට ආලෝකයක් එක් කරයි. අල්යොසාගේ චරිතය සංයමශීලි ආචාරශීලි, සුපේශල ශික්ෂාකාමී යතිවරයකුගේ චරිතය ප්‍රකට කරයි.

මාක් ට්වේන්ගේ ‘හක්ල්බරි ෆින්’ කතාවේත් ප්‍රකට වන්නේ සාදු යෞවනයකුගේ උත්සාහ සම්පත්තියයි. ගුස්ටාව් ෆ්ලෝබෙයාර්ගේ ‘එමා බෝවාරි’ නවකතාවේ එමාගේ චරිතයෙන් ප්‍රකට වන්නේ අවසර කල් රහස් තැන වරදෙහි බැ‍ඳෙන ගැහැනියක සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇය විඳින චිත්ත චෛතසික වේදනාවයි.

 

එමා අධික වියදම්කාරී ජීවිතයකට හුරු වී සිටින අරත ඇයට උදවු කළ පුරුෂයෝ ඇගෙන් ඈත් වෙති. ඇය මේ නිසා මහත් චිත්ත පීඩාවකට පත් වෙයි. ලෝක සම්මතයට හා නීතියට අනුව ගැහැනියකට ලිංගික ආශාව සන්තර්පණය කරගත හැකි වුවත් ඒ සමාජයේ රැවටිලිකාර රැල්ලට හසු වෙයි. එයින්ම ඇගේ ජීවිතය විනාශ වෙයි.

මිහයීල් ෂෝලහොව්ගේ ‘පෙරළූ නැවුම් පස’ කතාවේ උට්ඨාන වීර්යයෙන් ඉදිරියට එන සෝවියට් රජයේ නිලධාරීන්ගේ ජීවිතය එකලු කර ඇත. එහිදී සෝවියට් රජයට එරෙහිව කුමන්ත්‍රණය කරන පිරිසක් ද, අවසාන‍යේ ඒ කුමන්ත්‍රණකරුවන් හෙළි වන අන්දම ද රචකයා දක්වා ඇත.

ෂුකාර් සීයාගේ හාස්‍යෝත්පාදක චරිතය මඟින් රචකයා ප්‍රකට කරන්නේ යමකු මහලු වියට පත් වන විට ළදරුවකු‍ සේ ක්‍රියා කරන අන්දමයි. ෂුකාර් සීයා අශ්වයකු මිලට ගෙන ගෙන එද්දී ඌ මහලු අශ්වයකු, අබලන් බව වටහාගන්නේ දිගු වේලාවකට පසු ය.

අමෙරිකානු ලේඛක ජැක් ලින්ටන්ගේ ‘කෝල්ඩ් ඔෆ් ද වයිල්ඩ්’ නව කතාබස් අපට කියන්නේ බක් නම් සුනඛයාගේ වික්‍රම ගැනයි. මිනිසුන් පමණක් නොව සතුන් ද උට්ඨාන වීර්යයෙන් කටයුතු කළ බව රචකයා කියයි.

බක් නම් සුනඛයා ඇලස්කා හිමකතරේදී දක්වන දස්කම් එමෙන්ම ව්‍යසනයකදී සුනඛ්‍යා පෙන්වන වීර්යය අපට සිහිපත් කරන්නේ බෞද්ධ කතාවක එන ලේන මවක සිය පැටවුන් මුහුදට වැටුණු පසු සිය වලිගයෙන් මුහුදු වතුර හිස් කරන්න පටන්ගත් කතා පුවතේ එන ලේන අම්මාගේ වීර්යයයි.

ජැක් ලන්ඩන්ගේ කතා බොහොමයක වීර්යයෙන් පිරි සත්තු අපට මුණගැසෙති. අපේ ජාතක කතාවල ද එවැනි සතුන්ගේ ප්‍රවෘත්ති ඇතුළුව ඇත.

අමෙරිකානු ජාතික ලේඛකයකු ලියූ ‘මහල්ලා සහ මුහුද’ කෙටි නවකතාවේ එන ධීවරයා රැයක් නිදිවරා විශාල මාළුවකු අල්ලා ගොඩට ගෙන එන විට ඉතිරි වන්නේ මාළුවාගේ ඇටකටු පමණකි. බුදුදහමට අනුව ප්‍රවේගකාරී වේදනාකාරී උත්සාහය ඵල නොදරන බව අර්නස්ට් හෙමිංවේගේ මේ කතාවේ එන ධීවරයාගේ චරිතයෙන් අපට පසක් වෙයි.

බුදු දහමට අනුව ලෝකය විපරිතයන්ගෙන් ගැවසීගන්නා බවට සඳහන් වී ඇත. මව, පියා, දුව නොහඳුනන යුගයක් අප වෙත එයි. එසේම අපගේ සාරධර්ම බිඳවැටෙයි. ලෝකයම මුරුගසන් වරුසාවකට තෙමී අවුල් ජාලයක් වෙයි.

ඇල්බෙයා කැමූගේ ‘පිටස්තරයා’ නවකතාවේ එන ප්‍රධාන චරිතය ලෝකය දකින්නේ ඉර හඳ තරු හා භෞතික දේවල් සදාතනික බවයි. මව මියගොස් සිටියදී තම පෙම්වතිය සමඟ හාස්‍යයෙන් පිරි චිත්‍රපටයක් බලමින් ඇයගේ ශරීරය අතගාන මෙහි ප්‍රධාන චරිතය මඟින් අපගේ ආධ්‍යාත්මික සාරධර්ම පිරිහීමේ කතාව ප්‍රකට කරයි.

ජර්මානු ජාතික හර්මන් හෙස ‘සිද්ධාර්ථ’ කෘතිය ලියමින් නොබෙල් ත්‍යාගය දිනාගන්නේ බෞද්ධ දෘෂ්ටියේ අකලංක බව ලෝකයට ගෙන යමිනි.

බුදුන් වහන්සේ පෙන්වූ පරම සත්‍යය ලොව පවතින තුරු වෙනස් නොවන අතර, බටහිර රචකයන්ගේ විශ්ව නිර්මාණවලත් ඒ සත්‍යය නිදන්ව ඇති බව මෙනයින් බලන විට පෙනී යන සත්‍යයයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.