සිනමාවේ සාහිත්‍යය | සත්මඬල

සිනමාවේ සාහිත්‍යය

සාහිත්‍ය කලාවේ බිහි වන සංකල්ප බෙහෙවින් ම බලපෑ ආසියානු රට වනුයේ ජපානයයි. මේ මතවාද නව උරුම සමඟ සංකලනය කරගනිමින් ජපන් ඌරුවක් සහිත විලාසයක් ගොඩනඟන්න ඔවුහු සමත් වූහ. 1920 - 30 දශකවල ජපන් සිනමාවේ වර්ධනීය අවස්ථාවේ ඔවුහු මේ සංකල්පවලින් නොමඳ ආභාසයක් ලැබූහ.

1970 දශකයේ මෙරට සිනමාවේ සිදු වන වෙනස්වීම්වලට පාදක වන්නේ ද සාහිත්‍යය නොවේ. ධර්මසේන පතිරාජ වස්තු විෂයයෙන් ස්වතන්ත්‍ර වූ අතර ඔහු දැනුම්වත්ව සාහිත්‍ය ආඛ්‍යාන ශෛලියෙන් බැහැර වූවෙකි. ඔහු සිනමාවට නැඟූ එක ම නවකතාව වන ‘එයා දැන් ලොකු ළමයෙක්’ (කරුණාදාස සපුතන්ත්‍රීගේ නවකතා 2ක් ඇසුරෙන්) ඔහුගේ නිර්මාණ සමස්තය අතර හිමි කරගත්තේ නොවැදගත් තැනකි. මේ කෘතියේදී වුව නවකතාවේ සන්දර්භයෙන් මිදෙන්න ඔහු දැරූ දැනුවත් ප්‍රයත්නය දිස් වෙයි. ‘සොල්දාදු උන්නැහේ’ සඳහා එච්. ඒ. සෙනෙවිරත්නගේ කෙටිකතාව ඔහු පාදක කරගත්තේ ඡායාමාත්‍රවයි. මේ නව සිනමාවේ අනෙක් ප්‍රධාන සිනමාකරු වන වසන්ත ඔබේසේකර කිසිවිටෙක වස්තු විෂයය සඳහා සාහිත්‍යයට යොමු වූවෙක් නොවේ. ඔහුගේ තේමා ස්වතන්ත්‍ර වන අතර (සැබෑ සිදු වීම් වුවද) සිනමා රීතිය ද අතිශයින් “පිරිසුදු” වූවකි. මේ සිනමාකරුවන් දෙදෙනාම සාහිත්‍යයෙන් බැහැරව පිරිසුදු සිනමාවක රැ‍ඳෙන්න ප්‍රයත්න දැරුව ද අනෙක් ප්‍රබල සිනමාකරුවන් සියලු දෙනාම පාහේ වස්තු විෂයය සඳහා සාහිත්‍යයට නැඹුරු වන බව පෙනෙයි. සාහිත්‍යයේ සන්දර්භයෙන් හා රීතියෙන් මිදෙන්න හැකි වූයේ ඔවුන් අතුරින් කිහිපදෙනකුට පමණි. සුමිත්‍රා පීරිස්ගේ සියලු චිත්‍රපට නවකතා ඇසුරෙන් තැනිණි. සිනමා භාෂාව ව්‍යක්ත ලෙස හසුරුවන්න ඇය සමත් වුව ද සාහිත්‍ය ආඛ්‍යාන ලක්ෂණවලින් මිදෙන්න ඇයට හැකි වූ බවක් නොපෙනෙයි. නවකතාවක් ව්‍යක්ත අයුරින් සිනමාවට නැඟීම පිළිබඳ හොඳම නිදර්ශනයක් වන්නේ ‘විරාගය’යි. තිස්ස අබේසේකර සාහිත්‍ය සන්දර්භයත්, සිනමාවේ අලංකාර සම්ප්‍රදායත් මැනවින් සුසංයෝගි කරයි. ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බව දුක’ ද සාහිත්‍ය ආඛ්‍යාන රීතියේම පවතින නිර්මාණයකි. මෑතකාලීන සිනමාකරුවන් අතුරින් ප්‍රසන්න විතානගේ දේශීය/විදේශීය සම්භාව්‍ය සාහිත්‍යයෙන් නොමඳ ආභාසය ලැබූ සිනමාකරුවකු බව පෙනෙයි. ‘අනන්ත රාත්‍රිය’ ටොල්ස්ටෝයිගේ ‘ Resurrection’ නවකතාවෙන් උපත ලැබූවෙකි. තේමාවෙන් මෙන් ම උපයුක්ත ආඛ්‍යාන රීතියෙන් ද සාහිත්‍යයට සපුරා ප්‍රතිපක්ෂව සිටින එකම මෑතකාලීන සිනමාකරු වන්නේ අශෝක හඳගමයි. ඔහු ‘පිරිසුදු’ සිනමා රීතියක පිහිටන්න ප්‍රයත්න දරන්නෙකි. ඔහුගේ ව්‍යාඛ්‍යානයේ සාහිත්‍ය ආභාසය බිඳකුදු විද්‍යමාන නොවන බව මගේ අදහසයි.

සාහිත්‍ය කලාවල බිහි වන සංකල්ප බෙහෙවින්ම බලපෑ ආසියානු රට වනුයේ ජපානයයි. මේ මතවාද නව උරුම සමඟ සංකලනය කරගනිමින් ජපන් ඌරුවක් සහිත විලාසයක් ගොඩනඟන්න ඔවුහු සමත් වූහ. 1920 - 30 දශකවල ජපන් සිනමාවේ වර්ධනීය අවස්ථාවේ ඔවුහු මේ සංකල්පවලින් නොමඳ ආභාසයක් ලැබූහ. ෂින් කන්කතු ෂුහි (සංවේදනවාදය - Sensationlism) කලා ප්‍රවණතාව ජපානයේ උපත ලැබුවේ අනාගතවාදය, ඩඩාවාදය, ඝතිකවාදය, උපස්ථිතිවාදය, ප්‍රකාශනවාදය, අධියථාර්ථවාදය වැනි සාහිත්‍යය හා චිත්‍ර කලා ඇසුරු කරගනිමින් ප්‍රභවය වූ කලා සංකල්ප හා ජපන් කලා සම්ප්‍රදායයන්ගේ සුසංයෝගයෙනි. මේ නව සංකල්පය මේ අවධියේ ජපන් සිනමාව කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ බව පෙනෙයි. ජපන් නූතනවාදි සිනමාවේ පියා ලෙස හැඳින්වෙන කිනුගස තෙයිනොයුකෙ මේ ප්‍රවණතාවල විශිෂ්ට ප්‍රතිඵලයකි. කබුකි, නෝ වැනි නාට්‍ය සම්ප්‍රදායන්, ගෙන්ජි මොනගතරි වැනි ඓතිහාසික සාහිත්‍ය ආභාස නූතනවාදි ජපන් නවකතාවේ ඇසුරත් සමඟ සංකලනය මේ යුගයේ බිහි වූ ජපන් සිනමාකරුවන්ගේ කෘතිවලින් මොනවට පිළිබිඹු වේ.

සිනමාවේ විවිධ ප්‍රභේද (Genres) උපත ලැබුවේ ද බොහෝ විට සාහිත්‍ය කෘති මත පදනම් වෙමිනි. කලාත්මක සිනමාවේ සන්ධිස්ථාන බවට පත් වූ බොහෝ නිර්මාණ මෙන් ම ආදායම් ඉපදවීමේ වාර්තා තැබූ චිත්‍රපට බොහෝ තැනුණේ සාහිත්‍ය කෘති ඇසුරු කරගනිමිනි. මෙතෙක් වැඩි වශයෙන් සිනමාවට නැඟී ඇත්තේ බයිබලයයි. ග්‍රිෆිත්ගේ ‘Judith of Bethulia’ (1913) සිට ඔස්කාර් සම්මාන රැසක් දිනූ ‘බෙන්හර්’ (1959) හා ඉමහත් ජනප්‍රසාදයක් දිනූ ‘The Ten Commandments’ ද ඇතුළුව චිත්‍රපට සිය ගණනාවක් බයිබලය ඇසුරෙන් නිර්මාණය වී ඇත. අරාබි නිසොල්ලාසය ද චිත්‍රපට රාශියකට වස්තු විෂයය සැපයීමෙන් දායක වී ඇත. මෙරට පැරැණි සාහිත්‍යයේ කෝෂ්ඨාගාරය සේ සැලකෙන ජාතක පොත සිනමාවට විෂය වූයේ එක් වතාවක් පමණි (වෙසතුරු සිරිත). ඉතා ජනප්‍රිය වූ ටාසන් චිත්‍රපට මාලාව (ප්‍රථම චිත්‍රපටය Tarzan of the Apes – 1918) එඩ්ගා රයිස් බරෝස්ගේ නවකතා මත පදනම් විය.

භූතාත්ම පිළිබඳ උ‍ද්වේගකර චිත්‍රපට සම්ප්‍රදාය ඇරැඹෙනුයේ බ්රැට් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා නවකතාව ඇසුරු කරගනිමිනි. එවැනි ම චරිතයක් වූ ෆ්රැන්කන්ස්ටයින් උපත ලබන්නේ මේරි ෂෙලීගේ නවකතාවෙනි. ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් නවකතා රහස් පරීක්ෂක චිත්‍රපට ධාරාවේ ආරම්භය විය (ප්‍රථම ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටය නිපදවූයේ 1900වසරේදී ය). මේ ධාරාව නව මුහුණුවරක් ගනිමින් ඉතා ජනප්‍රිය ප්‍රවණතාවක්ව වැඩෙනුයේ 1960 දශකයේදී ඉයන් ෆ්ලෙමින්ගේ ජේම්ස් බොන්ඩ් නවකතා තිරයට ගෙන ඒමත් සමගිනි. මේ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය ‘Die another day’ බටහිර අතිමහත් ජනප්‍රසාදයක් ලබමින් තිරගත විය. ත්‍රාසජනක චිත්‍රපට ධාරාවේ සන්ධිස්ථානයක් බවට පත් වූ එමෙන් ම ලොව වැඩිම ආදායමක් ඉපද වූ චිත්‍රපට 10 අතරට එක් වන ‘Jaws’ චිත්‍රපටය ස්ටීවන් ස්පීල්බර්ග් නිර්මාණය ක‍ළේ රොබට් බෙන්ඩ්ලිගේ නවකතාව ඇසුරෙනි. මෙතෙක් බෙන්ච්ලි ඉහළ ආදායමක් ලැබූ චිත්‍රපටය වන ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ‘Jurasic Park’ (1993) නිර්මාණය වූයේ මයිකල් ක්‍රිච්ටන්ගේ විද්‍යා ප්‍රබන්ධය පාදක කරගනිමිනි. පුවත්පත්වල හා සඟරාවල පළ වූ චිත්‍රකතාවල එන කාටුන් චරිත ඇසුරෙන් නිර්මාණය වූ සිනමා කෘති ද අතිශයින් ජනප්‍රසාදයට ලක් විය. ෆ්ලෑෂ් ගෝර්ඩන් චරිතයේ සිට වර්තමානයේ හැරී පෝටර් දක්වා අඛණ්ඩව විකාශය වූ මේ ධාරාව මුදල් උපයන ආකරයක් බවට පත් විය. සුපර්මෑන්, බැට්මෑන් මේ අතුරින් ප්‍රසාදයට ලක් වූ චරිත කිහිපයකි. දැනට ශ්‍රී ලංකාවේ තිරගත වන ‘දේවදාස්’ ද සුප්‍රකට වංග සාහිත්‍යකරුවකු වන සරත්චන්ද්‍ර චැටර්ජිගේ නවකතාව ඇසුරෙන් තැනුවකි (මේ නවකතාව කිහිපවතාවක්ම චිත්‍රපටයට නැඟුණු අතර සිංහල ‘රම්‍යලතා’ චිත්‍රපටය ද ඒ ඇසුරෙන් තැනූවකි). මෙතෙක් වැඩි ව‍ශයෙන් සිනමාවට වස්තු විෂයයන් සැපයූ මහා සාහිත්‍යධරයා චාල්ස් ඩිකන්ස් විය යුතු යැයි සිතමි. ඔහුගේ නවකතා සියල්ල පාහේ නැවත නැවතත් චිත්‍රපටයට නැඟී ඇත. ඒ අතුරින් වඩාත් ජනප්‍රසාදයට ලක් වූයේත් වැඩිම වතාවක් සිනමාවට නැඟුණේත් ‘Cristmas Carrol’ කෘතියයි. වික්ටෝරියානු සුචරිතවාදය පිළිකෙව් කරමින් ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ යථාව නිරූපණය කළ ඩී. එච්. ලෝරන්ස්ගේ බොහෝ නවකතා ද චිත්‍රපටයට නැඟී ඇත (Fox – women in love නවකතා ඇසුරෙන් තැනූ චිත්‍රපට කලාත්මක ගුණයෙන් යුක්ත විය). ඔහුගේ ‘Lady chacterlys lover’ නවකතාව මෑත අවධියේදී මෘදුකාම චිත්‍රපට ධාරාවක් බිහි වීමට පදනම සැපයුවේ ය. මේ චිත්‍රපට එකී නවකතාවේ හරය සම්පූර්ණයෙන් විනාශ කළ අධම ගනයේ කෘති බව මෙහිලා සටහන් කළ යුතු ය. සිනමාව ජනප්‍රිය මාධ්‍යයක් ලෙස වැඩීමේදී සාහිත්‍යයෙන් ලත් පෝෂණය කෙතෙක් දැයි මේ විග්‍රහයෙන් ද පැහැදිලි වනු ඇත. එඩ්වින් එස්. පෝටර්ගේ ‘Uncle Toms Cabin’ සිට බිලී ඕගස්ට් අධ්‍යක්ෂණය කළ ඉසබෙලා ඇලන්ඩේගේ ‘The House of Spirits’ නවකතාව දක්වා සාහිත්‍ය ඇසුරින් නිර්මාණය වූ සිනමා කෘති සංඛ්‍යාව ලෝකයේ සමස්ත චිත්‍රපට සංඛ්‍යාවෙන් 75%කට වැඩි වනු මිස අඩු නොවන බව නම් උපකල්පනය කළ හැකි ය.

විවිධ කලාවල අවධියෙන් අවධිය බිහි වන මතවාද සිනමාව කෙරෙහි බලපාන බව සක්සුදක් සේ පැහැදිලි ය. එසේ ම සිනමාවේ බිහි වන ප්‍රවණතා සෙසු කලා කෙරෙහි බලපාන බව ද අමතක නොකළ යුතු ය. කලාවල මේ අන්තර්පෝෂණය ඉතා ස්වාභාවික ප්‍රපංචයකි. සාහිත්‍යයේ වර්ධනය සඳහා සිනමාවෙන් දැක්වුණු දායකත්වය ද අනල්ප ය. සිසිල් හෙප්වර්න්ගේ ‘ABC of the cinematograph’ (1897) ග්‍රන්ථයේ සිට මේ දක්වා සිනමාවේ සිද්ධාන්තම පක්ෂය අලළා රචිත ශාස්ත්‍රීය ග්‍රන්ථ සංඛ්‍යාවෙන් ඉතා විශාල ය. සිනමා සාහිත්‍යය යනුවෙන් නව සාහිත්‍ය ප්‍රභේදයක් ඇති වනුයේ මේ ශාස්ත්‍රීය ග්‍රන්ථවල බිහි වීමත් සමඟ ය. සිනමා කෘති සඳහා පාදක වන තිර රචනා මුද්‍රණය කිරීම වර්තමානයේ ඉතා පුළුල් සාහිත්‍ය ව්‍යාපාරයක් බවට පත්ව ඇත. අමෙරිකාවේ හා ප්‍රධාන යුරෝපීය රටවලත් ඉන්දියාවේ හා ජපානයේත් විශිෂ්ට සිනමා කෘතිවල තිර රචනා අනිවාර්යයෙන්ම මුද්‍රණය කෙරේ. චිත්‍රපට කතා ඇසුරෙන් නවකතා සම්පාදනය කිරීමේ ප්‍රවණතාවක් ද දැකිය හැකි ය. 1970 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ ‘Love Story’ නවකතාව ලියැවුණේ ඒ චිත්‍රපටයේ තිර රචනය පාදක කරගනිමිනි. චිත්‍රපටය තිරගත වීමට පෙර නවකතාව (එරික් සීගල්) වෙළෙඳපොළට ආ අතර අතිශයින් ජනප්‍රිය විය. චිත්‍රපටයේ ජනප්‍රිය භාවයට ප්‍රධාන ආධාරකය බවට පත් වූයේ එයයි. සිනමාව පිළිබඳ ශාස්ත්‍රීය සඟරා ද ජනප්‍රිය අංග කෙරෙහි අවධානය යොමු කරන පුවත්පත් හා සඟරා ද වශයෙන් සිනමා සාහිත්‍යයට විවිධ වෙයි.

සිනමාව ස්වතන්ත්‍ර කලාවකි. එහි අනන්‍ය ලක්ෂණ එහි භාෂාවත් අලංකාර සම්ප්‍රදායත් ඇසුරින් නිපන් ඒවායි. එහෙත් මේ ලක්ෂණ හැඩගැසුණේත්, වැඩුණේත් ප්‍රධාන කොටම සාහිත්‍ය කලාව ඇසුරේ ය.

එහෙයින් සාහිත්‍යයෙන් සිනමාව ලත් පෝෂණය අනල්ප බවට සැකයක් නැත.

සාහිත්‍ය කෘති ඇසුරෙන් තැනූ කලාත්මක ගුණයෙන් හා ආදායම් ඉපදවීමෙන් සන්ධිස්ථාන බවට පත් වූ සිනමා කෘති කිහිපයක් පහත දැක්වේ.

1912 ‘ඔලිවර් ට්විස්ට්’ චාල්ස් ඩිකන්ස් - අධ්‍යක්ෂණය තෝමස් බෙන්ට්ලි (මෙය නවකතාවක් පරිපූර්ණ ආකාරයෙන් සිනමාවට නැඟුණු ප්‍රථම අවස්ථාව සේ සැලකේ.)

1915 ‘බර්ත් ඔෆ් අ නේෂන්’ තෝමල් ඊ. ඩික්සන්ගේ නවකතා 2 - අධ්‍යක්ෂණය ඩී. ඩබ්. ග්‍රිෆිත්

1918 ටාසන් (Tarzon of the Apes) එඩ්ගා රයිස් බරෝස්ගේ නවකතාව

1922 ‘නොස්ෆෙරාතු’ බ්‍රෑම්ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා ඇසුරෙන් - අධ්‍යක්ෂණය මුර්නාවු

1926 ‘අම්මා’ මක්සිම් ගෝර්කි - අධ්‍යක්ෂණය වී. ඒ. පුඩොව්කින්

1926 ‘මෙට්රො පොලිස්’ Thea von Harbou ගේ විද්‍යා කතාව - අධ්‍යක්ෂණය ෆ්‍රිට්ස් ලෑන්ග්

1930 ‘ද බ්ලු ඒන්ජල්’ හෙයින්රිච් මාන් - අධ්‍යක්ෂණය ජෝසන් වොන් ස්ටර්න්බර්ග්

1951 ‘ඇෆ්රිකන් ක්වීන්’ සී. එස්. ෆෝස්ටර් - අධ්‍යක්ෂණය ජෝන් හස්ටන්

1936 ‘කැමිලි’ ඇලෙක්සැන්ඩර් ඩූමා - අධ්‍යක්ෂණය ජෝර්ජ් සුකෝර්

1939 ‘ගෝන් විත් ද වින්ඩ්’ මාග්‍රට් මිෂෙල් - අධ්‍යක්ෂණය වික්ටර් ෆ්ලෙමින් (ඔස්කාර් සම්මාන 10 - ඉහළ ආදායම් මාර්ග)

1939 ‘වදරින් හයිට්ස්’ එමිලි බ්‍රොන්ටේ - අධ්‍යක්ෂණය විලියම් වයිලර්

1940 ‘ද ග්රේප්ස් ඔෆ් රූත්’ ජෝන් ස්ටෙයින්බෙක් - අධ්‍යක්ෂණය ජෝන් ෆෝඩ්

1940 ‘රෙබෙකා’ ඩැප්නි ඩී. මොරියර් - අධ්‍යක්ෂණය ඇල්ෆ්‍රඩ් හිච්කොක් (අමෙරිකාවේ අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය, ‍හොඳම චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානය දිනූ ඔහුගේ එක ම චිත්‍රපටය)

1943 ‘බැට්මෑන්’ බොබ්කේන්

1950 ‘හකුචි’ ඩෙස්ටොව්ස්කි The Idiot - අධ්‍යක්ෂණය අකිර කුරොසව

1952 ‘ෆොබිඩ්න් ගේම්ස්’ ප්‍රාංශුවා බෝයර් - අධ්‍යක්ෂණය රෙනෙ ක්ලෙමන්ට්

1953 ‘ෆොම් හියර් ටූ එටර්නිටි’ ජේම්ස් ජෝන්ස් - අධ්‍යක්ෂණය ෆෙඩ් සිනර්මාන් (ඔස්කාර් සම්මාන 8)

1953 ‘ද රොබ්’ ලොයිඩ් සී. ඩග්ලස් - ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය

1953 ‘ජි ගොකු මොන්’ (Gate of hell) අතුනගවගේ කෙටිකතා ඇසුරෙන් කකුචි කං රචනා කළ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කිනුගස තෙයිනොසුකෙ (1954 කාන් චිත්‍රපට උලෙළේ ග්‍රාන්ද් ෆ්‍රී සම්මානය)

1953 ‘උගෙත්සු මොනගතර’ උළුද අකිනරි - අධ්‍යක්ෂණය මිසොගච් කෙන්ජි

1953 ‘ෂේන්’ ජැක්ෂෙෆ - අධ්‍යක්ෂණය ජෝර්ජ් ස්ටීවන්ස් (ගොපලු චිත්‍රපටවල නව ප්‍රවණතාවක්)

1955 ‘ඊස්ට් ඔෆ් ඒඩන්’ ජෝන් ස්ටයින්බෙක් - අධ්‍යක්ෂණය එලිසා ක්‍යාන්

1955 ‘ගොඩ්සිලා’ ෂියේග්රු කයමා - අධ්‍යක්ෂණය ඉමෂිරො හොන්දු (චිත්‍රපට මාලාවක ආරම්භය)

1955 ‘පාතර්පංචලි’ බිභූතිභූෂන් බැනර්ජි - අධ්‍යක්ෂණය සත්‍යජිත් රායි (1956 කාන් උලෙළ හොඳම මානව සබඳතා නිරූපණය)

1957 ‘ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ පියරේ බව්ල් - අධ්‍යක්ෂණය ඩේවිඩ් ලීන් (ශ්‍රී ලංකාවේ රූගත කෙරිණි)

1956 ‘අපරාජිතෝ’ බිභුතිභූසන් බැනර්ජි - අධ්‍යක්ෂණය සත්‍යජිත් රායි (1957 වෙනිස් චිත්‍රපට උලෙළ - Golden Lion of st mark) (1958 සැන්ෆ්‍රැන්සිස්කෝ උලෙළ හොඳම චිත්‍රපටය විචාරක සම්මානය)

1959 ‘ඔපු සංසාර්’ බිභූති භූෂන් බැනර්ජි - අධ්‍යක්ෂණය සත්‍යජිත් රායි (1960 ලන්ඩන් චිත්‍රපට උලෙළේ සදර්ලන්ඩ් සම්මානය)

1960 ‘සයිකෝ’ රොබට් බ්ලොක් - අධ්‍යක්ෂණය ඇල්ෆ්‍රඩ් හිච්කොක් (ත්‍රාසජනක චිත්‍රපට ධාරාවේ නව ප්‍රවණතාව)

1960 ‘ටයිම් මැෂින්’ එච්. ජී. වෙල්ස් - අධ්‍යක්ෂණය ජෝර්ජ් පෑල්

1961 ‘ඩොක්ටර් නෝ’ ඉයන් ෆ්ලෙමින් - අධ්‍යක්ෂණය (බොන්ඩ් චිත්‍රපට මාලාවේ ආරම්භය)

1962 ‘ලොලිටා’ ව්ලදිමිර් නබකොච් - අධ්‍යක්ෂණය ස්ටැන්ලි කුබරික්

1963 ‘ඩොක්ටර් ස්ට්‍රේන්ප්ලච්’ පීටර් ජෝර්ජ් අධ්‍යක්ෂණය ස්ටැන්ලි කුබ්රික් (න්‍යෂ්ටික අවි තරගයට එරෙහි චිත්‍රපට ධාරාවක ආරම්භය)

1963 ‘ද ලෙපර්ඩ්’ ගියසෙප්පෙ ටොමාසි - අධ්‍යක්ෂණය ලුෂිනෝ විස්කොන්සි (ඉතාලි නවයථාර්ථවාදි සිනමාවේ සිනමාකරුවෙකි)

1964 ‘මේරි පොපින්ස්’ පී. එල්. ට්‍රැවර්ස් - අධ්‍යක්ෂණය (වෝල්ට් ඩිස්නි)

1964 ‘ෂෝබා ද ග්‍රීක්’ Nikos Kazantzakis - අධ්‍යක්ෂණය Michael Cacoyannin

1964 ‘චාරුලතා’ රබීන්ද්‍රනාත් තාගෝර් - අධ්‍යක්ෂණය සත්‍යජිත් රායි (1965 බර්ලින් උලෙළේ හොඳම අධ්‍යක්ෂණය සම්මානය, 1965 අකපුල්කෝ උලෙළ හොඳම චිත්‍රපටය)

1965 ‘ඩොක්ටර් ෂිවාගෝ’ - බොරිස් පැස්ටර්නක් - අධ්‍යක්ෂණය ඩේවිඩ් ලීන්

1967 - ‘යුලිසීස්’ ජේම්ස් ජොයිස් - අධ්‍යක්ෂණය ජොසෙන් සිරික් (චිත්‍රපටයට නැඟීමට අසීරු සන්දර්භයෙන් යුත් නවකතාවකි).

1967 ‘Bell de Jour’ ජොසෙල් කෙසෙල් - අධ්‍යක්ෂණය ලූයි බුනුයෙල්

1968 ‘ද ස්පේස් ඔඩිසි’ ආතර් සී. ක්ලාක් - අධ්‍යක්ෂණය ස්ටැන්ලි කුබරික්

1972 ‘ගෝඩ්ෆාදර්’ මරියො පුසො - අධ්‍යක්ෂණය ෆ්රැන්සිස් ෆෝඩ් කොපොලො

1973 ‘එක්සෝසිට්’ - විලියම් පීටර් බ්ලැවි - අධ්‍යක්ෂණය විලියම් ෆ්‍රීඩ්කින් (භූතාවේශය පිළිබඳ චිත්‍රපට ධාරාවක ආරම්භය)

1973 ‘අසනි සංකේත්’ බිභූති භූෂන් බැනර්ජි - අධ්‍යක්ෂණය සත්‍යජිත් රායි (1974 බර්ලින් උලෙළේ සම්මානය)

1975 ‘වන් ෆ්ලු ඕවර් ද කුක්කුස් නෙස්ට්’ කෙන්කෙසි - අධ්‍යක්ෂණය මිලෝස් ෆෝමන්

1978 ‘මිඩ්නයිට් එක්ස්ප්‍රස්’ බිලි හේස් - අධ්‍යක්ෂණය ඇලන් පාක‍ර්

1984 ‘ද ක්ලින් ෆීල්ඩ්ස්’ නිබන්ධනයක් ඇසුරෙන් අධ්‍යක්ෂණය රෝලන්ඩ් ජෝන්

1990 - ‘ද සයිලන්ස් ඔෆ් ලෑම්බ්ස්’ තෝමස් හැරිස් - අධ්‍යක්ෂණය ජොනතන් ඩෙමි

1993 ‘ෂින්ඩ්ලර්ස් ලිස්ට්’ තෝමස් කෙනලි - අධ්‍යක්ෂණය ස්ටීවන් ස්පීල්බර්ග්

2001 ‘ලෝඩ්ස් ඔෆ් රින්ග්’ ජේ. ආර්. ආර්. ටෝකියන් - අධ්‍යක්ෂණය පීටර් ජැක්සන් (මෙහි දෙවැන්න Two Towers) සති දෙකකදී ඩොලර් මිලියන 200ක ආදායමක් උපයන්නට සමත් විය. (2002)

චිත්‍රපටයට නැඟුණු මෙරට සාහිත්‍ය කෘති (කිහිපයක් පමණක්)

1953 ‘කැලෑහඳ’ - ඩබ්.ඒ. සිල්වා - අධ්‍යක්ෂණය බී. ඒ. ඩබ්. ජයමාන්න (තිරයට නැඟුණු ප්‍රථම නවකතාව)

1957 ‘සිරකරුවා’ - වික්ටර් හියුගෝ - අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර (ලෙ මිසරාබිලෙ)

1958 ‘දෙයියන්නෙ රටේ’ - ඩබ්. ඒ. සිල්වා - අධ්‍යක්ෂණය එල්. එස්. රාමචන්ද්‍රන් (තිරයට නැඟුණු ප්‍රථම කෙටි නවකතාව)

1959 ‘දෛවයෝගය’ - ඩබ්.ඒ. සිල්වා - අධ්‍යක්ෂණය එස්. කේ. ධිජා (උතුරු ඉන්දියාවේ නිෂ්පාදනය වූ ප්‍රථම ලාංකික චිත්‍රපටය)

1963 ‘ගම්පෙරළිය’ - මාර්ටින් වික්‍රමසිංහ - අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් (අන්තර්ජාතික සම්මාන දිනූ ප්‍රථම චිත්‍රපටය 1965 නවදිල්ලි අන්තර්ජාතික උලෙළ රණමයුර සම්මානය, විචාරක සම්මානය 1965 මැක්සිකෝවේ අකපුල්කෝ ජගත් චිත්‍රපට උලෙළ පිළිබඳ අට වැනි සමාලෝචනය ගෝල්ඩන් හෙඩ් ඔෆ් ෆැලෙන්ක් සම්මානය)

1965 ‘සුදෝසුදු’ - කේයස් - අධ්‍යක්ෂණය රොබින් තම්පෝ (ටෙනිසන්ගේ ඊනොක් ආඩන් ඇසුරෙන් තිරයට නැඟුණු ප්‍රථම කවිකතාව)

1968 ‘ගොලු හදවත’ - කරුණාසේන ජයලත් - අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් (1969 නවදිල්ලි චිත්‍රපට උලෙළ - ගොළු හදවත හා ලෙස්ටර්ගේ සෙසු චිත්‍රපටවල කලා නිපුණත්වය උදෙසා සීඩාල්ක් සම්මානය)

 

1970 ‘තුංමංහන්දිය’ - මහගමසේකර - අධ්‍යක්ෂණය මහගමසේකර (1972) ටෂ්කන්ට් උලෙළ - ඩිප්ලෝමා සහතිකය)

1972 ‘නිධානය’ - ජී. බී. සේනානායක - අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් (සිනමාවට නැඟුණු ප්‍රථම කෙටිකතාව) (වෙනිස් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ Silver Lion of st. mark ලෝක සිනමාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් සිනමනික් ආයතනය තේරූ චිත්‍රපට සි‍යයෙන් එකකි. පනස් වසරක දේශීය සිනමාවේ හොඳම චිත්‍රපටය)

1974 ‘ළසඳා’ - ටී. බී. ඉලංගරත්න - අධ්‍යක්ෂණය කේ. ඒ. ඩබ්. පෙරේරා (රෝමයේ අන්තර්ජාතික කතෝලික පර්ෂද චිත්‍රපට උලෙළ, ප්‍රශංසාත්මක පදක්කම)

1976 ‘මඩොල්දූව’ - මාර්ටින් වික්‍රමසිංහ - අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් (සිනමාවට නැඟුණු ප්‍රථම යොවුන් නවකතාව)

1977 ‘සිරිපාල හා රන්මැණිකා’ - ධර්මසිරි ගමගේ - අධ්‍යක්ෂණය අමරනාත් ජයතිලක (සාහිත්‍ය කෘතිය නිකුත් වූයේ චිත්‍රපටය නිෂ්පාදනය වූ පසුවයි.)

1978 ‘අහසින් පොළොවට’ - අයිලින් සිරිවර්ධන - අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් (1978 කයිරෝ චිත්‍රපට උලෙළ තුන්වැනි ලෝකයේ හොඳම චිත්‍රපටය, අක්නේටන් සම්මානය)

1981 ‘බැද්දේගම’ - ලෙනාර්ඩ් වුල්ෆ් - අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස්

1986 ‘මල්දෙණියේ සිමියොන්’ - ඇරැව්වල නන්දිමිත්‍ර - අධ්‍යක්ෂණය ඩී. බී. නිහාල්සිංහ (නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උලෙළ - හොඳම නිළිය සඳහා රජත මයුර සම්මානය, අනෝජා වීරසිංහ)

1987 ‘විරාගය’ - මාර්ටින් වික්‍රමසිංහ - අධ්‍යක්ෂණය තිස්ස අබේසේකර (50 වසරක සිංහල සිනමාවේ හොඳම තුන්වැනි චිත්‍රපටය)

1988 ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ - සයිමන් නවගත්තේගම - අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස් (කෙටිකතාවකි)

1990 ‘පාලම යට’ - කුලසේන ෆොන්සේකා - අධ්‍යක්ෂණය එච්. ඩී. ප්‍රේමරත්න (ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයකි)

1998 ‘ගිනි අවි ගිනි කෙළි’ - අනුර හොරේෂස් - අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරිය

2002 ‘සුදු සෙවණැලි’ - පියදාස වැලිකන්නගේ - අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.