අනාගතය චිත්‍රකලාවට මුදා හළ සිතුවම්කරුවා | සත්මඬල

අනාගතය චිත්‍රකලාවට මුදා හළ සිතුවම්කරුවා

ජීවිතයේ එකම අරමුණක් වෙනුවෙන්ම පමණක් ජීවත් වූ මිනිසකු මේ මිහිපිට සිටියේ නම් ඒ, දහ නවවැනි සියවසේ යුරොපයේ ඇරැඹුණු උපස්ථිකවාදි චිත්‍ර ප්‍රවණතාවේ පුරොගාමියකු වූ වැන්ගෝ පමණක් ම යැයි සිතමි.

යුරෝපයේ විශාලතම චිත්‍රාගාර සහ චිත්‍ර ආයතන කිහිපයකම හිමිකරුවන් වූ වැන්ගෝ පරපුරේ අය අතර චිත්‍ර ශිල්පීහු ද වූහ. ඒ අතර වැන්ගෝගේ වැඩිමහල් සොයුරා ද විය.

වින්සන්ට් තරුණ වියේ සිටම චිත්‍රශිල්පියකු වීමේ පිපාසයෙන් පෙළෙන්නකු වූ අතර එය සංසිඳුවා ගැනීම සඳහා දැරූ ප්‍රයත්නයන් හෙළා දකින්න වූ වැන්ගො පරපුරේ ඇත්තන් සහ ඔවුන්ගේ සමකාලීනයන් ඔහු නිරතුරුවම අවඥාවට, සරදමට සහ නින්දාවට පත් කිරීම් නිසා ඒ සියල්ල දරා ගනිමින් තම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඔහුට අතිමහත් දුෂ්කර ක්‍රියාවක නිරත වන්න සිදු වූයේ ය.

සියල්ලන්ම වින්සන්ට් හැර දමද්දී ඔහුට උපකාර කළේ ඔහුගේ බාල සොයුරු ‘තියෝ‘ පමණකි. ඔහු මසකට ෆ්රෑන්ක් 100ක් වින්සන්ට්ට එවූ අතර වින්සන්ට් මාසය අවසන් වන්නත් පෙර ඒ මුදල වැය කළේ තම චිත්‍ර සඳහා පෙනී සිටි නිරූපිකාවන්ට ය. ඉන් පසු මාසයේ ඉතිරි දවස් ගෙවාගැනීම සදහා හිතවතුන්ගෙන් ඔහු ණයට මුදල් සිඟාකෑමට සිදු විය. අන්තිමේදී හිතවතුන් ද ඔහුට ණයට දීම ප්‍රතික්ෂ්ප කළේ ය.

ඒ නිසා මාසයේ ඉතිරි දවස් කිහිපයේ කළු පාන් කෑල්ලක්, කළු කෝපි උගුරක් නැතිව ඔහු නිරාහාරව සිටියේ ය. අධික කුසගින්න නිසා ඔහු ඇඳෙන් නැඟිටින්න බැරි තරමට දුර්වල වූ අවස්ථා එමට ය. නමුත් ඔහු තෙළි තුඩ අත්හැරියේ නැත.

හිරු කිරණින් ප්‍රභාවත් වූ ස්වභාව ධර්මයේ අපූරු දායාදයන්ගේ වර්ණ සහ හැඩතලවලින් වශිකෘත වූ හෙතෙම ස්වභාවධර්මයේ ජීවය, සාරය සිය කැන්වසය මඟින් මතු කරගැනීමට නිරතුරු වැර දැරුවේ ය. ඒ සඳහා රට රටවල සංචාරය කරමින් විශාල තිරිඟු යායවල්, ගංගා, වැව්, පොකුණු, ගිරි හෙල් සොයා යමින් ඒවායේ වර්ණ සහ හැඩතල සිය කැන්වසය මඟින් මතු කරන්න වැර දැරුවේ ය.

එපමණක් නොව මහපොළොව සමඟ පොරබදමින් ස්වභාවධර්මය සමඟ අරගල කරමින් සිටි ගොවීන්ගේ මෙන් ම කම්කරුවන්ගේ ශ්‍රමය ද, ඔවුන්ගේ ආත්මීය සන්වේදන ද කැන්වසය මඟින් මතු කරගැනීම සඳහා දවස පුරාම වෙල් යායවල් මැද සැඩ හිරු රැසින් පීඩා වින්දේ ය. එහෙත් ඒ පීඩා ඔහුට පීඩාවක් නොවූයේ ඔහු තම අරමුණ ජය ගැනීම වෙනුවෙන්ම සියල්ල කැප කොට සිටි බැවිනි.

සුභා රණවීර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද ‘නිර්මාණයේ මහා ශෝකය: වින්සන්ට් වැන්ගෝ‘ නම් වූ අපදාන නවකතාවේ ඒ අරමුණ කෙබඳු දැයි මෙසේ විස්තර කරයි;

“ඔහු උදෑසන 4 ට පටන් ගෙන රෑ බෝවන තෙක්ම එක දිගටම වැඩ කළේ ය. ඔහු සම්පූර්ණ චිත්‍ර 2ක් 3ක් දිනපතා නිම කළේ ය. ඔහුට වැදගත් වූයේ තමාට මේ දෙරණ මත කෙතරම් වැඩ ප්‍රමාණයක් කළ හැකි ද යන්නයි. ඔහු කාලය මැන්නේ කැලැන්ඩරයේ පිටුවලින් නොව ඔහු නිම කළ කැන්වස් ප්‍රමාණයෙනි.”

“ඔහු දැන සිටි එකම දෙය, ඔහුට හැඟුණු එකම දෙය චිත්‍ර. තව චිත්‍ර. තව තවත් චිත්‍ර නොකඩවා ඇදිය යුතු බවයි.”

සිය එකම අරමුණක් සාක්ෂාත් කරගැනීම උදෙසාම ජීවත්වූ වැන්ගෝ ඒ නිසාම සමාජයෙන් පරාරෝපිත වූ පිටස්තරයෙක් විය.

ප්‍රේමය හමුවේ අතිශය රොමාන්තිකයකු වූ වැන්ගෝ සම්මතයන් මෙන් ම සීමා ද නොඉවසුවේ ය. ඒ නිසාම ප්‍රේමය හමුවේ නොරිස්සුම් සහගත දඩබ්බරයකු වූයේ ය.

ඔහු පළමුව ප්‍රේමයෙන් බැඳුණේ අන් තරුණයකු සමඟ විවාහ ගිවිසගෙන සිටි 19 හැවිරිදි තරුණියකට ය. ඒ වන විට වින්සන්ට් 21 හැවිරිදි ගැටයෙකි. උර්සුලා නම් වූ ඇය තමන් විවාහ ගිවිසගෙන සිටින බව කියා ඔහුගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරද්දීත් වින්සන්ට් පසු නොබෑවේ ය. ඇගේ පිටුදැකීම නොතකා ඈ පසුපස ලුහුබැන්දේ ය.

දෙවනුව ඔහු ප්‍රේමයෙන් මුසපත් වූයේ ඔහුගේම ඥාති සොයුරියක වූ ‘කේ‘ට ය. ඒ වන විට වැන්දඹුවක සිටි ඇය වින්සන්ට්ගේ චිත්‍රවලට ඇලුම් කළ නිසා ඔහු කල්පනා කළේ ඇය සිය බිරිය කරගැනීම කෙරෙහි ය. ඇය ද ඔහුගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කළ නමුත් ඔහු එය නොතකා උමතුවෙන් මෙන් ඇය පසුපසම ලුහුබැන්දේ ය. ඒ නිසාම ඇයට තම මවුපියන් වෙත යන්න සිදු වූ අතර ඔහු ඇය සොයා ඇගේ මවුපියන්ගේ නි‍ෙවසට අනවසරයෙන් හා බලහත්කාරයෙන්ම ඇතුළු වී පූජකවරයකු වූ ‘කේ‘ ගේ පියාට අභියෝග කරමින් කියා සිටියේ තමන්ට ඇය විවාහ කරගන්න අවශ්‍ය බව ය. ඇගේ පියා එය තරයේ ප්‍රතික්ෂේප කරද්දී වින්සන්ට් එයට විරෝධය පෑවේ දැල්වෙමින් තිබූ ඉටිපන්දමකට අත අල්ලාගෙන එය ගිනි පෙණෙල්ලක් මෙන් රතු වන තුරු පුලුස්සා ගනිමිනි.

වින්සන්ට් තෙවෙනුව පෙම් බැන්දේ අවන්හලක වයින් බොමින් සිටි ක්‍රිස්ටිනා නමැති වීදියේ සරණ ලියකට ය. දරුවන් දෙදෙනකුගේ මවක වූ ක්‍රිස්ටිනාගේ තරාතිරම නොබලා ඇය තම නි‍ෙවසට කැඳවාගෙන ගියේ නිරූපිකාවක ලෙසිනි. ඉන්පසු මල්ලී එවූ ෆ්රෑන්ක් සියයෙන් වැඩිහරියක්ම ඔහු වැය කළේ ක්‍රිස්ටිනාගේ නිරූපණය වෙනුවෙන් සහ ඇගේ දුක සැප වෙනුවෙනි.

පසුව ක්‍රිස්ටිනා කෙරෙහි අනුකම්පා මුසු ප්‍රේමයකින් බැදුණු හෙතෙම දරුවන් සමඟ ම ඇයට වෙසෙන්න අලුත් නි‍ෙවසක් ද කුලියට ගත්තේ ඇය විවාහ කරගන්නා අදහසිනි. ඒ නිසා තම ඥාතීන්ගෙන් සහ හිතමිතුරන්ගෙන් ඔහු වෙත එල්ල වූ නින්දා අපහාස කිසිවක් ඔහු තුට්ටුවකටවත් මායිම් නොකළේ ය. එහෙත් අවසානයේ ක්‍රිස්ටිනාද ඔහු හැර ගියා ය.

“සිවුවැනිව වින්සන්ට් ප්‍රේමයෙන් බැඳුණේ නොසිතු විරූ ලෙස ඔහුගේ චිත්‍රවල අගය වටහාගත් අහම්බෙන් මුණ ගැසුණු මාගොට් නමැති 37 හැවිරිදි අවිවාහක ගැහැනියකි. ඇයගේ ප්‍රේමය ඉදිරියේ ඔහු පළමු වරට සැනසුණේ ය. ඇය විවාහ කරගන්න අපේක්ෂා කළ ද ඒ අපේක්ෂාව ද බිඳවැටුණේ ඇයගේ සොයුරියන් වින්සන්ට් රස්සාවක් නොකරන, ගැහැනියක නඩත්තු කළ නොහැකි, නිකමකු, රස්තියාදුකාරයකු ලෙස සලකා ඔහු ප්‍රතික්ෂේප කළ බැවිනි.

ප්‍රේමය හමුවේ අසීමිත ලෙස පරාජය වුව ද ඔහු සිය කලාව අත් නොහැරියේ ය. ඒ වෙනුවෙන්ම සිත ද, කය ද නොනවත්වාම වෙහෙස වූයේ ය.

චිත්‍රකලාව වෙනුවෙන් අව්වෙන්, පින්නෙන්, වැස්සෙන්, සුළඟින් විඳි පීඩාවන් ද, කුසගින්නෙන් විඳි පීඩාවන් ද, ප්‍රේමය පරාජය විමෙන්, නොතකා හැරීම්වලන්, නින්දා අපහාසවලින් විඳි පීඩාවලද මැද ඔහු මීමැස්මොර රෝගියකු වී පසුව එය උත්සන්න වීමෙන් උන්මන්තකාගාරයට ද යැවිණි. එහිදී ද ඔහු තම වෛද්‍යවරයාගේ අවසරය පරිදි එළිමහනේ චිත්‍ර ඇන්ඳේ ය.

තමා සමඟ එකම කුටියේ චිත්‍ර අඳින්නට එන්නැයි තමා විසින් ම අරියුම් කළ පෝල් ගොගෑන් සමඟ චිත්‍ර කලා ප්‍රවණතා ගැන වාද විවාද කරන්න ගොස් ඔහු සමඟ අමනාප වී පහර දෙන්න ඔහු පසුපස ලුහුබැදගියේ ය. ඒ නිසාම ඇති වූ චිත්තාවේග දරාගන්න නොහැකිව දිවි නසාගන්න උත්සාහ කළේ ය. වරක් ඔහු රේසරය අතට ගෙන දකුණු කන සියතින්ම කපා දැමුවේ ය. අනතුරුව එය බේසමක දමා සොදා පාර්සල් කර නූලකින් ද ගැට ගසා ගෙන ගොස්, හුරතලයට මෙන් නිතර නිතර ඔහුගේ කන ඉල්ලා සිටි තරුණ අබිසරුලියකට සිහිවටනයක් ලෙස තෑගි කළේ ය.

සැබැවින්ම වින්සන්ට් වැන්ගෝගේ කැඩුණු, වේගවත් පින්සල් පහරවලින් එළියට එන්නේ ඔහු තම ඇතුළතින්ම දරා සිටි අප්‍රමාණ විඳවීම් කන්දරාවයි. සිතුවම් ලෙස එළියට ආවේ අනන්ත අප්‍රමාණව දුක්ඛ දෝමනස්සවලින් ගහන සිය අත්දැකීම් සම්භාරයේ සවිඥානක ආත්ම ප්‍රකාශයයි.

එසේ පුරා දස වසරක් මුළුල්ලේ වින්සන් කළ දුෂ්කර ක්‍රියාවෙන් පෞද්ගලිකව ඔහු අත්කර ගත් කිසිවක් නැත. සිය ජීවිත කාලයේම කිසිදු චිත්‍රයක් විකුණාගත නොහැකි වූ මේ මහා නිර්මාණවේදියා තම ශ්‍රමයේ, කැපවීමේ, ප්‍රතිභාවේ ශක්තිය අනාගත චිත්‍රකලාව වෙනුවෙන් මුදාහැර සියතින්ම හිසට වෙඩි තබාගෙන මිය ගියේ ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.