හොඳට නරකට දෙකට ඇය ම ය | සත්මඬල

හොඳට නරකට දෙකට ඇය ම ය

වේළී ඉරිතළා ගිය පොළොව දිය බිඳක් යදිමින් සුසුම්ලමින් සිටි මොහොතක් උදා වී තිබිණි. බැලු‍ බැලු‍ අත කුපිත හිරු එළිය විනා තෙත් බවෙක ලකුණක් හෝ නොවීය. හිරු සඳවතට ඉඩ දී ගොම්මනේ නික්ම යද්දී පවා සිය සැඩ බවේ ලකුණු ඉතිරි කොට ගියේ හිත් පිත් නැතිව ය. ඉදින් ගොම්මන පවා සඳ එළිය පෙනි පෙනී පීඩාකාරී රශ්මියෙන් මහ පොළොව පෙළමින් සිටියේය. නරක සියලු‍ සෑම තැන වේගයෙන් පැතිරෙන්නා හා සේම නික්ම ගිය ද තම අණසක පතුරන්නට හිරු පසුබට නොවූවේ ය.

අඹ ගස පුරා රිකිල්ලක් රිකිල්ලක් ගානේ හටගත් අඹ මල්, දැඩි හිරු රැසට මුහුණ දීමට නොහැකිව සිය ප්‍රභාස්වරය හකුළාගෙන ය. වෙනදා විකසිත ව බමරුන්ගේ ලොවට ආශීර්වාදයක් වූ අඹ මල් අද සිටින්නේ තාන්තුවාවෙනි. කුරුලු‍ කූජන පවා අද ඇසෙන්නේ වරින් වරය; ඒ ද විඩාබරව ය.

අප ජීවත් වන සමාජය සෑම විටෙක ම පාහේ විවිධාකාර භේද භින්නතාවලින් යුක්ත නොවන්නේදැයි ම සිතට දැනේ. කුලය, ජාතිය, ආගම මතු නොව ස්ත්‍රීත්වය හා පුරුෂත්වය පවා විවිධ මතභේදවලට ලක් වේ. එහි ප්‍රතිඵල වශයෙන් විවිධ නවකතා, කෙටිකතා සහ සාහිත්‍ය කෘති බිහිවනු ද දැකිය හැකිය. එහෙත් ඒ කිසිවකට සමාජයේ වන සංකීර්ණ විෂම බව තුරන් කළ හැකි වේද?

ඉඩ ඇති විටෙක කියවා බලනු මැනවි, කමලා දාස් නම් සුප්‍රකට ඉන්දීය ලේඛිකාවගේ Alphabet Of Lust නම් නවකතාව. මෙය අනුරාගයේ මුල්පොත නමින් ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් විසින් පරිවර්තනය කර තිබේ. ආධ්‍යාත්මීය වශයෙන් පිරිහී ඇති භාරතීය දේශපාලනය, ගැහැනු මිනිසුන්ගේ කුහකත්වය, ලිංගික මාත්සර්යය පමණක් නොව රැඩිකල් දේශපාලන ව්‍යාපාරය, කාන්තා විමුක්තිය, සමාජ පෙරළිය හා ස්ත්‍රීත්වයේ විවිධ පැතිකඩ මෙමඟින් නිරූපිත ය. වඩාත් ම වැදගත් වන්නේ කමලා දාස් මේ කෘතිය මඟින් ඔබේ සහ මගේ ජීවිතවල ඇති බාහිරයට හසු නොවන අභ්‍යන්තර අරගල කෙරෙහි දක්වන සියුම් සූක්ෂ්මතාවයි. නොසන්සි‍ඳෙන ආශාවේ ඉරණම ඇය නොදැනුවත් ව ම පාඨක අපට ඒත්තු ගන්වන්නී ය.

“‍අද ඉන්දියාවේ මිනිස්සු, වැඩියෙන් බයේ ඉන්න ගෑනි ඔයා නෙමෙයිද? දැන් අගමැති වුණත්, ඔයා අතේ සෙල්ලම් බඩුවක්... ඉතින් ඔයා කියනවා මම ඔයාව විනාශ කළාය කියලා. මානසි ඔයා ළඟ තිබුණෙත් ඉහළට නඟින ආශාව විතරයි.”‍

හොඳට නරකට දෙකට ම ගැහැනිය ම ය. මානසී ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරිය ලෙස ඔසවා තබන්නේ යකඩ හා වානේ ඇමැති වන විජායි රාජේ ය. ඇය විජායි ව පසු කරගෙන අගමැති දක්වා ම යයි.

මේ සුන්දර නිබන්ධය නිම වන්නේ මිනිස් සන්තානයේ වන විවිධ, විෂම බව පාඨකයාට මනාසේ පැහැදිලි කරමිනි. කමලා දාස් නිදහස් චින්තනයෙන් උපන් ඒ චින්තනයෙන් වැඩ ගත් අපූරු තාලයේ ගැහැනියක වන්නේ ඒ නිසා ය. ඇය ස්ත්‍රීත්වය පවා අභියෝගයට ලක් කරන්නේ ගැහැනිය නිරුවත් කිරීමේ අරමුණින් නම් නොවෙයි. ඒ අරමුණ ඇගේ අරමුණු අතර තිබුණේ ම නැත. ඇය නිරුවත් කරන්නේ සමාජයයි; සමාජ ක්‍රමයයි. ගැහැනියක සළුපිළි ගලවන විට ඒ වටා සිටින බොහෝ දෙනකුගේ සළුපිළි ඉබේ ම ගැලවෙන බව දන්නේ කීයෙන් කී දෙනා ද?

හෙන්රි ජයසේන නම් ප්‍රවීණ නාට්‍යවේදියා කුවේණිය එදා නොව අදද අප අතරම සැරිසරන්න බවට මෙසේ පවසන බව මේ මතක ඔස්සේ ම නැවත මතු වනු දැනේ.

සදා ඇය අප හා සිටින්නී

දොරින් දොර අප හ‍ා වෙසෙන්නී

එදා හෙළු කඳුළුත් රුහිරු බිඳු

සදා අප වෙනුවෙන් හෙළන්නී

මහ පොළොව ඉරි තළන්නේත් වැස්ස අහිමි වන්නේත් අපේ ම වරදිනි. අප ගසක් කපා බිම හෙළන තාක්, කෙඳිරි ගාද්දීම ගල් පර්වත පුපුරුවනතාක් කල්, ස්වාභාවික දිය ඇලිවල උරුම මාවතට බාධා කරනතාක් මහ පොළොව ඉරි තළන්නේය; වැස්ස අහිමි වන්නේය. ඒවා සිද්ධ වන්නේ අපේ ම ක්‍රියාකලාප අනුව ය. සමාජ ක්‍රමය ද එසේ ම ය. අප නෙළන්නේ අප විසින් ම වැපිරූ භෝගවල අස්වැන්න විනා වෙන අය වැපිරූ භෝගවල අස්වැන්න නොවේ. කමලා දාස් මේ කියන සමාජ ක්‍රමයේ වැරැද්ද ද අප අත ම ය.

ගැහැනිය ගැන කෙසේ කොහොම කීවත් කියා නිම කළ නොහැකි බැව් දන්නේ සාහිත්‍යකාරයන් විතරක් ම නොවේය. ජාතක කතා කලාවේ සිට නූතන කලාව දක්වා ම භේදයකින් තොරව ගැහැනිය ප්‍රධාන මාතෘකාව වූවා සේම අන් සෑම සියලු‍ ක්ෂේත්‍රයකමත් ගැහැනිය ගැන කතා නොකර යන්නන් නැති තරමට ය. ඉදින් කමලා දාස් මේ අත තබා තිබෙන්නේ හැමෝම ආසා කරන මාතෘකාවකට ය; ඒ වගේම වහා ගිනි ඇවිලෙන සුලු‍ මාතෘකාවකට ය. සාහිත්‍යකරුවා අත ගැහැනිය විවිධ හැඩතල ගන්නේ ඇයට විවිධ වටිනාකම් සේම විවිධ නිර්ණායක ද සම්පාදනය කරමිනි. කෙසේ නමුත් සාහිත්‍යකරණයේ අරමුණ එය ම නොවන්නේද? ඒ කෙසේ කීවත් අවසන නැවත මෙසේ කියන්නට සිදු වෙනවා ම ය.

හොඳට නරකට දෙකට ගැහැනිය ම ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.