විසංස්කෘතික රටක් වෙනුවට සංස්කෘතික රටක්! | සත්මඬල

විසංස්කෘතික රටක් වෙනුවට සංස්කෘතික රටක්!

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු රටේ සැලකිය යුතු මට්ටමේ සමාජ දේශපාලනික පරිවර්තන රැසක් සිදු වෙමින් තිබේ. ඇතැම් ඒවා රාජ්‍ය තාන්ත්‍රික සිදුවීම් ය. ඇතැම් ඒවා පොදු සමාජ ක්‍රියාකාරකම් ය. ඕනෑ ම මැතිවරණයක්, ජනාධිපතිවරණයක් අවසානයේ අඩු වැඩි වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පරිවර්තන සිදු වීම යථාර්ථයකි. ආණ්ඩු මාරු වීම්, ඡන්ද පොරොන්දු ආදිය නිසා පශ්චාත් මැතිවරණ සහ පශ්චාත් ජනාධිපතිවරණ සමවලදී, එවැනි ප්‍රවණතා ඇති වන බව අපි අත්දැකීමෙන් දනිමු.

එහෙත් මෙවර පශ්චාත් ජනාධිපතිවරණ කාලයේදී වඩා වැදගත් වන්නේ පුරෝකථන නොකරන ලද, එහෙත් සමාජ ප්‍රගතිකාරක ක්‍රියාවලි ජනතාවගේ මෙහෙයවීමෙන් සිදු වන්න පටන් ගැනීම ය.

පසුගිය දින කිහිපයේ මෙරට සියලු ජනමාධ්‍යවල ප්‍රධාන තේමාවක් වූයේ තරුණ පිරිස් සහ ජන කණ්ඩායම් එක්රැස් වී රටේ විවිධ පළාත්වල තිබෙන පොදු බිත්ති සහ තාප්පවල චිත්‍ර නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් එකවර පැන නැඟී එය රට පුරා රැල්ලක් මෙන් ව්‍යාප්ත වීම ය. බොහෝ විට අප රටේ පශ්චාත් මැතිවරණ සහ පශ්චාත් ජනාධිපතිවරණ කාලවකවානුවේදී වැසී යන්නේ භීෂණ සහ අපරාධවලිනි. එහෙත් මෙවර ඒ වෙනුවට සිදු වෙමින් පවතින්නේ එයට සපුරා වෙනස් සමාජ හිතකාමී ප්‍රජා කටයුත්තකි. එය ප්‍රජා කටයුත්තක් යැයි අප පවසන්නේ අපට ඒ පිළිබඳ සමාජ දේශපාලනික කියැවීමක් තිබෙන නිසා ය.

තැන් තැන්වල එකතු වී චිත්‍ර අඳිමින් සිටින තරුණ පිරිස මීට පෙර එකිනෙකා දැන හඳුනාගෙන සිටි අය නො වෙති. ඔවුන් එකිනෙකා මුණගැසී තිබෙන්නේ සමාජජාලා මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කිරීමේ පණිවිඩ බෙදාහදා ගැනීමෙනි. ඔවුන්ට පක්ෂ නැත; පාට නැත; කල්ලි නැත. ඒ අනුව ඔවුහු හිටිවන හමු වූ අහඹු තරුණ පිරිසක් වෙති.

මෙයට පෙර ද මෙවැනි කටයුතු වරින්වර කේවලව සිදු වී තිබේ. එවැනි එක් සිදු වීමක් නම් කලකට ඉහත දකුණු අධිවේගී මාර්ගයේ පෝද්දල ප්‍රදේශයේ පාලමක් යට සිදු කරන ලද බිත්ති පින්තාරුවකි. අවසානයේ ඒ පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයක් එක්තරා පෞද්ගලික නාළිකාවක අනුග්‍රහයෙන් සිදු කෙරුණි. ඉන්පසු අදාළ චිත්‍ර ඇඳීම කටයුත්ත එතැනින් ම අවසාන වී තිබෙන්නේ ගුටිකෙළියකින් පසු ය. එසේ සිදු වී ඇත්තේ මාධ්‍යයට අදහස් දැක්වීමේදී කල්ලිවාදයක් ඉස්මතු වී තිබීම නිසා ය.

එයට අමතරව ඇතැම් දේශපාලන පක්ෂ විසින් ද දේශපාලනික අරමුණු උදෙසා මෙවැනි කටයුතු අත්හදා බලා තිබේ. අදටත් සමාජජාලා මාධ්‍යවල තිබෙන එවැනි මෙහෙයුම්වලට ලැබී ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා අල්ප ය.

වර්තමානයේ සිදු කෙරෙමින් පවතින මේ බිත්ති සහ තාප්ප සිතුවම්කරණය ඉහත සිදු වීම්වලින් වෙනස් වන්නේ ඒවා මේ දක්වා ප්‍රජා මූලික කටයුතු ලෙස සංවිධානය වෙමින් තිබෙන නිසා ය. මෙකී ප්‍රවණතාවට පූර්වයෙන් සඳහන් කරන ලද සංවිධායකයෝ නැත. අනුග්‍රාහකත්වය සඳහා මූල්‍ය ආයෝජකයෝ නැත. සියල්ල සිදු වන්නේ හිටිවන ය. සමාජජාලවක එක් අයකු පළ කෙරෙන අදහසක් වටා වෙනත් ප්‍රදේශවල සිටින විවිධ තරුණ පිරිස් එකතු වෙති. දින වෙන් කර ගනිති. එක් ස්ථානයකදී මුණ ගැසෙති. අදාළ වීදි සිතුවම සඳහා අනුග්‍රාහකයන්, ආහාර සපයන්නන්, මූලික කටයුතු සංවිධානය කරන්නන් ගොනු වන්නේ ඉන් පසුව ය. ඒ අනුව පෙනී යන කාරණයක් නම්, වර්තමානයේ ඇති වී තිබෙන බිත්ති සහ තාප්ප සිතුවම් කිරීමේ සමාජ රැල්ල කවර ලෙසකින් වත්, පෙර පැවැති කණ්ඩායම්ගත හෝ කල්ලිගත හෝ සමූහ ක්‍රියාවලි හා සම්බන්ධයක් නැති බව ය. මේ සපුරා නවමු තත්ත්වයකි.

මේ ක්‍රියාවලිය ජනාධිපතිවරණයෙන් පසු එක්වර සමාජයෙන් ඉස්මතු වූ අනපේක්ෂිත සමාජීය ක්‍රියාන්විතයකි. එහෙයින් මේ පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම, මෙරට විද්වතුන්ගේ කාර්යභාරයකි.

බිත්ති සහ තාප්ප සිතුවම්කරණය

මේ පිළිබඳ ඓතිහාසික මූලය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන අතර, වසර 40,000 සහ 14,000 පමණ කාලයක ව්‍යාප්තව තිබෙන ඒවා ලෙන් සහ පර්වත වශයෙන් ලෝක ප්‍රකට වී තිබේ. මෙරට ලෙන් චිත්‍රවල ඉතිහාසය වසර 4000ක් පමණ ඉපැරැණි වන අතර, තන්තිරිමලය, නිල්ගල, තරුලෙන්ගල ගුහා චිත්‍ර වැනි පුරාවිද්‍යාත්මක සාධක ඒ සඳහා නිදර්ශන වශයෙන් ඉදිරිපත් කළ හැකි ය. මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කරන ආකාරයට, ලක්දිව ඉපැරැණි ම ගුහා චිත්‍ර ලෙස සැලකෙන්නේ දොරවක ලෙනේ ඇඳ තිබෙන ඒවා ය. මෙවැනි චිත්‍රවලට මානව රූප, සත්ත්ව රූප, දඩයම් ආයුධ වැනි නිර්මාණ අන්තර්ගත ය. කෙසේ වෙතත් මෙරට ඉපැරණි චිත්‍ර අතර සතුන් දඩයම් කිරීම දැක්වෙන රූප විරල බව විද්වතුන්ගේ අදහස ය.

මෙලෙස විමර්ශනය කරන විට වර්තමාන බිත්තිවල සහ තාප්පවල අඳිනු ලබන චිත්‍රවල ද අඩුවැඩි වශයෙන් සිතුවම් කර තිබෙන්නේ මානව රූප, සත්ත්ව රූප, යුද අවි ආයුධ බව පෙනේ. ඒ අනුව ඉතිහාසය වර්තමානයට රූපාන්තරණය වී තිබෙන බව පෙනී යයි.

එසේ ද වුවත් මෙයට වඩා වෙනස් ක්‍රියාවලියක් යුරෝපීය, අප්‍රිකානු සහ අමෙරිකානු සමාජ ආශ්‍රිතව සිදු වී තිබේ. අධිරාජ්‍යවාදය, කාර්මික විප්ලපය වැනි සමාජ විපරිණාම හා සසඳා බලද්දී ඒ ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන බිත්ති සහ තාප්ප ආශ්‍රිත සිතුවම් ඉතා සංකීර්ණ අර්ථ ජනිත කරන බව දක්නා ලැබේ. නිදර්ශනයක් වශයෙන් දියාගෝ රිවේරා විසින් අමෙරිකාවේ නිර්මාණය කරන ලදි. (Man of the Crossroads-1934) මූර්ති සිතුවමක් නිදර්ශනය කළ හැකි ය. එහි මංසන්ධියක සිටින මිනිසකුගේ රූපයක් නිර්මාණය කරනු ලැබුව ද එයින් ප්‍රකාශ වී තිබුණේ, පශ්චාත් කාර්මික සමාජයක දේවත්වය සැඟ වී තිබෙන

ආකාරයකි. ඒ අනුව පෙනී යන්නේ මෙවැනි පොදු ස්ථානවල චිත්‍ර නිර්මාණය කරන ලද බටහිර සමාජ ව්‍යාපාරවල නිතරම පාහේ දේවවාදය සහ මිනිසා අතර තිබුණු සංවාදය සහ විසංවාදය අඩුවැඩි වශයෙන් පාදක වී තිබෙන බව ය. එසේ ම අප්‍රිකානු රටවල සිදු වූ සමාජ අවදිවීම්වලදී, සුදු අධිරාජ්‍යවාදයට එරෙහි ව කලු ජාතිකයන් ගේ පීඩනය පුපුරා ගොස් තිබෙන අවස්ථා දැකිය හැකි ය.

පශ්චාත් කාර්මික යුගයේ ඇති වුණු කලාවේ තාක්‍ෂණික වර්ධනයත්, මනුෂ්‍යත්වය පිළිබඳ සංකීර්ණ සමාජ සංවාදයත්, ධනේශ්වර අධිරාජ්‍යවාදයේ අනවරත පීඩනයත් මෙවැනි නූතනවාදී, රැඩිකල් සමාජ අරගලවලට පිටිබල දී ඇති බව එකී යුගයන්හි සමාජ දේශපාලනික සන්දර්භය ගවේෂණය කිරීමෙන් අවබෝධ වේ.

නූතන සමාජ ප්‍රවණතා

දැනට වීදි චිත්‍ර ලෙස ප්‍රකට වී තිබෙන බටහිර විවිධ සමාජ ව්‍යාපාරවලින් පැන නැඟුණු මෙකී චිත්‍ර කලාව, කුරුටු චිත්‍ර, තාප්ප චිත්‍ර සහ වීදි චිත්‍ර ආදි වශයෙන් පරිණාමය වී තිබෙන බව පෙනී යයි.

ඒ බව, නූතන කුරුටු චිත්‍ර ප්‍රවණතාවේ ආරම්භය ඇති වූ බවට සැලකෙන ජර්මනියේ බර්ලින් තාප්පය පාදක කරගනිමින් ම පැහැදිලි කර ගත හැකි ය. කුරුටු යන්නට ඉංග්‍රීසියෙන් යෙදෙන Graffiti වචනයට ඇත්තේ සාමාන්‍ය සරල අර්ථයක් නො වේ. එයට නාස්තිකවාදි අර්ථයක් තිබේ. ඒ අනුව කුරුටු චිත්‍රය හෝ පාඨය නිර්මාණය කරන්නා යනු, කවර හෝ සමාජ විරෝධයක් නිසා පොදු හෝ පෞද්ගලික දේපළකට හානි කරන්නකු ලෙස ද සැලකිණි. එවැනි ඇතැම් නිර්මාණවලට අසභ්‍ය කරුණු ද අන්තර්ගත ය.

‘කුරුටු’ යන්නෙන් ක්‍ෂුද්‍ර අවකාශයක් ගම්‍යමාන වේ. එසේ වන්නේ එය පොදු සම්මත ක්‍රියාවකට වඩා පුද්ගලානුබද්ධ කටයුත්තක් ලෙස ප්‍රකාශ වන බැවිනි. එවැන්නකු ස්වකීය ප්‍රකාශය දක්වන්නේ ඇතැම් විට හදිසියේ ය. අවස්ථානුකූල අවකාශයක් තෝරා ගෙන ය. ඒ අනුව හිමි විය හැකි අවකාශය අල්ප ය.

මෙරට සීගිරියට 6 වැනි සියවසේ සිට 12 වැනි සියවස පමණ දක්වා, නන්විධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් විසින් ලලනාවන්ගේ රූ නැරඹීමෙන් පසු දක්වන ලද කෙටි අදහස්, ‘කුරුටු ගී’ වශයෙන් හැඳින්වෙන්නේ ද මෙවැනි තාර්කික පදනමක් ඔස්සේ බව පැහැදිලි ය. ඒවා ‘කැටපත් ගී’ යනුවෙන් හැඳින්වෙනවාට වඩා ‘කැටපත් පවුරේ - කුරුටු ගී’ යනුවෙන් හඳුන්වා දීම පොදු සමාජ සම්මතය වේ.

මෙලෙස සීගිරි කුරුටු ගීවලින් ඉස්මතු වී තිබෙන්නේ ද ප්‍රේක්ෂකයාගේ කිසියම් ප්‍රතිරෝධයකි. අනෙක් අතට කැටපත් පවුර යනු ගී ලිවීම සඳහා තනා තිබුණු ස්ථානයක් ද නො වේ. එහෙත් සීගිරි කුරුටු ගීවල අර්ථ විවරණ කළ යුතු වන්නේ බටහිර සමාජ ආකල්පයෙන් ද නො වේ. ඒවා මෙරටට අනන්‍ය ය.

මේ අනුව ජර්මනියේ බර්ලින් තාප්පයේ බටහිර කොටස, එවක ජන සමාජයේ පැවැති සමාජ පීඩනය ප්‍රකාශ කරනු වස්, තරුණයන් විසින් භාවිතයට ගැනිණි. එහි ආරම්භක සමයේ කුරුටු චිත්‍ර අඳින ලද තරුණයන්ගේ මුහුණේ ඉරියව්වලින් පෙනී යන්නේ ද, තත් සමාජ ප්‍රවණතාවේ තිබුණු අනීතික ස්වභාවය ය.

බර්ලින් තාප්පයේ බටහිර කොටසින් 1970 - 80 දශකවල දී සමාජ විරෝධයක් ලෙස ආරම්භ වුණු ඉහත සඳහන් කුරුටු චිත්‍ර ඇඳීමේ , බටහිර ජර්මනිය පාර්ශ්වයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ඒ ප්‍රදේශයට දෘශ්‍යමාන වන සමස්ත කොටස වෛවර්ණ චිත්‍රවලින් වැසී ගොස් තිබිණි. එවිට එය බිත්ති චිත්‍ර බවට පත් වී තිබෙනු දක්නා ලැබේ.

ඉන් පසු 1989 වර්ෂයේදී බර්ලින් තාප්පය විවෘත කෙරුණු පසු බටහිර ජර්මනියේ මෙන් ම නැගෙනහිර ජර්මනියේ ද චිත්‍ර ඇඳීමේ සමාජ ප්‍රවණතාව ප්‍රචලිත වී ගියේය. මේ සමඟ බිත්ති චිත්‍ර කලාව වීදි චිත්‍ර බවට පරිණාමය වූ බව කිය හැකි ය. මූලික වශයෙන් කුරුටු චිත්‍ර අඳින සමාජ ව්‍යාපාරය සිදු වන්නේ අනවසර තත්ත්වයක් යටතේ ය. එහෙත් නැගෙනහිර / බටහිර ජර්මන් අර්බුදය විසඳුණු පසු බර්ලින් තාප්පය අවට අවකාශය විසින් මිනිසුන් තුළ නිදහස් මානසික පරිසරයක් නිර්මාණය කෙරෙමින් තිබිණි. ඒ අනුව එතැන ඇඳෙමින් තිබුණු සමාජ චිත්‍ර ධාරාව වීදි චිත්‍ර කලාවක් බවට පරිණාමය වූයේ ය.

ඉහත සඳහන් ආකාරයට අනුව පැහැදිලි වන්නේ කුරුටු චිත්‍ර, තාප්ප චිත්‍ර සහ වීදි චිත්‍ර ආදි වශයෙන් විභේදනය වෙමින් පරිණාමය වී තිබෙන මේ සමාජ දේශපාලනික ක්‍රියාවලියේ තාර්කික විකාශනයක් ප්‍රකට වන බව ය. කුරුටු චිත්‍රවලට කුඩා අවකාශයක් ද, තාප්ප චිත්‍රවලට මධ්‍යම අවකාශයක් ද, වීදි චිත්‍රවලට දිගු අවකාශයක් ද අවශ්‍ය වේ. සමාජ විචාරකයන්ගේ අදහසට අනුව කුරුටු චිත්‍ර අඳින්නන්ට ස්ථානීය බලයක් නැත. එය අනවසරයෙන් සිදු කෙරෙන්නකි. එහෙත් සෙසු චිත්‍ර නිර්මාණකරුවන්ට තම කෘතිය අවසන් කරගැනීමට සාපේක්ෂ ව වැඩි අවකාශයක් අවශ්‍ය වන හෙයින්, ඔවුන්ට ස්වකීය නිර්මාණය සිදු කිරීමට කිසියම් ආකාරයේ බාධා රහිත පරිසරයක් අවශ්‍ය වේ. මෙලෙස එක් එක් ධාරාවලින් නිදර්ශනය වූ තාක්ෂණික වෙනස්කම් මත ඒවාට විවිධ නාම යොදා තිබේ.

මේ අනුව පැහැදිලි වන්නේ වර්තමානයේ මෙරටෙහි නගරයෙන් නගරයට ව්‍යාප්ත වූ වීදි චිත්‍ර සමාජ ප්‍රවණතාව, කුරුටු චිත්‍ර යනුවෙන් හඳුන්වන්න උත්සාහ දැරීම විෂයානුබද්ධ ව සිදු කෙරෙන වරදක් බව ය. අනෙක් අතට කුරුටු චිත්‍රවල අඩු වැඩි වශයෙන් විවිධ සටන් පාඨ තිබිය හැකි ය. ඒවා පොදුජනතාවගේ අවබෝධය උදෙසා ම ලියැවෙන ඒවා නො වේ. බොහෝ විට එයින් පළ කෙරෙන අදහස යොමු වන්නේ එකී සමාජ ප්‍රතිරෝධය දක්වන සෙසු සමකාලීන සමාජ විරෝධීන්ගේ අවබෝධය උදෙසා ය. ඇතැම් විට ඒවා රහසිගත ය.

එසේ ද වුවත් වීදි චිත්‍රකරුවන්ගේ අරමුණ පොදු ජනතාව විසින් ද ඉතා පහසුවෙන් අවබෝධ කරගනු ලැබේ. ඒවා හුදෙක් සමාජ විරෝධය පිණිස ම නිර්මාණය කරන ඒවා නො වේ. ඇතැම් විට ඒවා විනෝදය පිණිස ද නිර්මාණය කෙරේ. ඇතැම් ඒවා සංචාරක කර්මාන්තයට අදාළ විය හැකි ය. එසේ නො වේ නම් වෙනත් සමාජ අවශ්‍යතාවක් ඒ පිටුපස තිබිය හැකි ය.

සාම්ප්‍රදායික බිතු සිතුවම්

‘මිතුරුතොමෝ දුකසැප දෙකෙහි ම පැවැති

බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිති’

යනුවෙන් සැලළිහිණි සංදේශයේ සඳහන් කාව්‍ය පාඨය ම මෙරට බිතුසිතුවම් කලාව පිළිබඳ දාර්ශනික නිර්වචනයක් සපයන බව කිය හැකි ය.

අප රට බිත්ති සහ තාප්ප ප්‍රසිද්ධ අවකාශ ලෙස පොදුජන නිර්මාණකරණයට භාවිත කර තිබෙන ප්‍රකට ම නිදර්ශනය වන්නේ 5වැනි සියවසේ පමණ සිට (ක්‍රි.ව. 477 - 495) නිර්මාණය කර තිබෙන සීගිරියේ ලෙන් චිත්‍රාවලිය සහ කැටපත් පවුරේ කුරුටු ගී රචනා ය. සීගිරි බිතු සිතුවම් ආරක්ෂිත ලෙන්වල ද, මහා පර්වතයේ මතුපිට ද, අවට ලෙන්වල ද විටින් විට ඇඳ තිබේ. බාහිර කොටසේ චිත්‍ර ඇඳ තිබෙන පර්වත කොටස වර්ග මීටර් 13500කි. ලෝක සම්භාව්‍ය චිත්‍ර විචාරකයන්ගේ මතය වන්නේ මානව ශිෂ්ටාචාරයේ මිනිස් අතින් නිමවන ලද දැවැන්ත ම සිතුවම් සමූහය සීගිරියේ නිර්මාණය වූ බව ය. මෙබඳු බිතු හෙවත් බිත්ති චිත්‍ර පිළිබඳ පුරෝගාමී මූලාශ්‍රයක් අප රටට උරුමව තිබියදී, නූතන බිත්ති චිත්‍රවල ආරම්භය බර්ලින් තාප්පයට පවරා දීම කොපමණ අඥානකමක් දැයි කිය යුතු ද?

අඩු වැඩි වශයෙන් ආගමික සහ ලෞකික මුහුණුවරක් නියෝජනය කෙරෙන මෙකී සීගිරි චිත්‍ර නිර්මාණවලින් තත්කාලීන සමාජයේ එක් පැතිකඩක් නිරාවරණය වී ඇත. ඒවා තවමත් විවිධ විද්වතුන්ගේ අධ්‍යයනවලට යොමු වෙමින් තිබේ. දේවත්වයට පත් කරන ලද කාශ්‍යප රජුන්ගේ දියණිවරුන් දෙදෙනා අලළා මේ චිත්‍ර නිර්මාණය කර තිබෙන බව, බොහෝ විද්වතුන් ගේ අදහස ය.

මෙබඳු අවධියකින් පසු බටහිර යටත්විජිතකරණ සමයේ මහනුවර රාජධානිය ආශ්‍රිතව ගොඩනැගෙන උඩරට චිත්‍ර සම්ප්‍රදාය, බෞද්ධ සංස්කෘතිය පිරිහුණු සමයක අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් පැතිරී ගිය බෞද්ධ සිතුවම් කලා රැල්ලකි. උඩරට ප්‍රදේශයේ විහාරාරාම මූලික කරගනිමින් ව්‍යාප්ත වුණු මේ සමාජ ව්‍යාපාරයට ද නිල චිත්‍ර ශිල්පියෝ සිටියහ.

කොට්ටල්බද්ද ශ්‍රේණියට අයත් චිත්‍ර ශිල්පීන්ගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු මේ නූතන චිත්‍ර කලා සම්ප්‍රදායට දෙවරගම්පළ සිල්වත්තැන, දේවේන්ද්‍ර මූලාචාරියා, නීලගම පටබැන්දා, කොස්වත්තේ සිත්තර නයිදේ වැන්නෝ අයත් වෙති. මේ චිත්‍රවලට සීගිරි-දඹුලු සම්ප්‍රදායේ මෙන් ම ගුරුගල්, ගොකටු, නිල් ඇවරිය, මිදෙල්ල, දිවුල් ලාටු වැනි දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන තිබේ.

මෙලෙස සංවිධානය වූ දේශීය නූතන බිතු සිතුවම් හෙවත් බිත්ති සිතුවම් පහතරට කතළුව වැනි ප්‍රදේවල විහාරස්ථානවලදි තීරණාත්මක ලෙස විකෘති වී තිබෙන බව පැහැදිලි ය. නිදර්ශනයක් වශයෙන් කතළුව, පූර්වාරාමයේ පටචාරා කතා වස්තුවේ යුරෝපීය ඇඳුම් කට්ටලවලින් සැරසී සිටින නාවිකයන්ගේ චිත්‍ර පෙන්වා දිය හැකි ය.

එක් අතකින් මෙකී නිර්මාණ නූතන යුගයේ චිත්‍ර වශයෙන් හඳුන්වා දීමේ තාක්ෂණික වරදක් ද තිබේ. එයට හේතුව ඒ මඟින් අප රටේ බෞද්ධ උරුමයට අනන්‍ය චිත්‍ර කලාව විපරිණාමයට ලක්ව තිබෙන නිසා ය.

සංස්කෘතික වශයෙන් අවර සමයකට පත් වුණු කාලවකවානුවක, ‘හුදී ජන පහන් සංවේගය උදෙසා’ නිර්මාණය කරන ලද මේ බිතුසිතුවම්වලට අනන්‍ය රූප වින්‍යාසයක් ද, වර්ණාවලියක් ද තිබේ. වර්තමානයේදී නුවර යුගයේ චිත්‍ර හෙවත් උඩරට චිත්‍ර සම්ප්‍රදාය මැයෙන් හැඳින්වෙන මේ ද්විමාන චිත්‍ර කලාවේ ප්‍රධාන අරමුණ වූයේ ධර්ම සන්නිවේදනය ය. ජාතක කතා චිත්‍රාවලියක් ලෙස උඩරට සම්ප්‍රදායේ නිර්මාණවලින්, එකල බහුජනතාවගේ ධර්මාවබෝධය වර්ධනය කර තිබෙන බව ග්‍රන්ථාගත විචාරවලින් ප්‍රකට ය.

නව ලිබරල්වාදය සහ විසංස්කෘතිකකරණය

1977න් පසු අපේ රටේ සිදුවෙමින් තිබුණු සමාජ විපරිවර්තනය මුල් යුගයේ ම විවිධ විද්වත්තු සහ සමාජ ක්‍රියාකාරිකයෝ නන්විධ ආකාරයෙන් පෙන්වා දුන්හ. එහි ලා අදටත් සංවාදයට ලක් වන කූප්‍රකට ම සිදු වීම ‘ධර්මිෂ්ඨ සමාජය‘ නමින් කෘතියක් ලියා පළ කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට, එක්සත් ජාතික පක්ෂ මැරයන් ලවා කරවන පහර දීම ය. එහි යටිපෙළ ඉතා සංකීර්ණ ය. ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතියෙන් ඉස්මතු කරන ලද්දේ එතෙක් පැවැතුණු සිංහල සමාජය තීරණාත්මක වශයෙන් මජර වෙළෙඳ සමාජයකට ගොදුරු කිරීමේ දේශපාලනික කුමන්ත්‍රණයයි. එසේ ද වුවත්, එකී පහර දීමත් සමඟ තත් කෘතිය පිළිබඳ සමාජ සංවාදය යටිගමන් ගිය වග අපි දනිමු.

මෙබඳු සමාජ පරිසරයක 1985 වර්ෂයේදී සාහිත්‍ය සහ භාෂාවේදි අජිත් තිලකසේන විසින් රචනා කරනු ලැබ මුද්‍රණද්වාරයෙන් නිකුත් කරන ලද ‘සංස්කෘතික කාන්තාරයක් කරා’ කෘතිය නැවත සමාලෝචනය කර බැලීමෙන්, වර්තමාන තරුණ පරපුර විසින් සිදු කෙරෙමින් තිබෙන බිත්ති සහ තාප්ප සිතුවම්කරණය නිවැරැදිව වටහාගැනීමට අපට පාදක කෘතියක් සපයා ගත හැකි ය.

උක්ත කෘතිය අපට වඩාත් වැදගත් වන්නේ ‘සංස්කෘතික කාන්තාරයක් කරා’ කෘතියේ සඳහන් වන අදහස් එහි පළ කිරීමට පෙර 1984.05.10වැනි දින පිටකෝට්ටේදී, එවක තරුණ පිරිසක් අබිමුව කියවා තිබීම නිසා ය. එය කෘතියක් ලෙස පළ කෙරී තිබෙන්නේ එයින් පසු ව ය. ඒ අනුව 80 දශකයේ තරුණ පරපුර සහ වර්තමාන තරුණ පරපුර අතර සෘජු රේඛාවක් ඇඳ පෙන්වීමට මේ කෘතියෙන් අපට අවස්ථාවක් උදා වී තිබේ.

‘සංස්කෘතික කාන්තාරයක් කරා’ කෘතියේ සඳහන් අදහසක් මෙබඳු ය.

‘ස්මාරකයක් කඩා හැලෙන්න, දිරාපත් වෙන්න, ජරාවාස වෙන්න ඇර බලා සිටීම විසඳුමක් සේ අපට පිලිගන්න බෑ. එදා අපේ අධ්‍යාත්ම සහ සංස්කෘතික මුහුනුවර පිලිබිඹු කරන දේ වශයෙන් සලකන විට මේ ස්මාරක සංරක්ශනය කිරීම අත්‍යවශ්‍යයි. එහෙත් පුරාවස්තු කෙලසමින් සහ වනසමින් අපේ අතීතය අපට අහිමි කරමින්, අද දියත් කොට තිබෙන ඇති ‘සද් ව්‍යාපාර’ මගින් සිදු වන්නේ සංරක්ෂණයක් යැයි අපට කොහොමවත් පිළිගන්න බෑ. සංරක්ෂණය සූක්ශ්මාත්මතාවෙන් යුතු ව කිරීමෙනුත් එය අත්‍යවශ්‍ය දේට පමණක් සීමා කිරීමෙනුත් මේ ඓතිහාසික දේ රැකගත හැකියි.

ජන රුචිය පිරිහෙන්න තුඩු දෙන අන්දමට අද කොතෙකුත් දේ ජනතාව වෙනුවෙන් නිර්මාණය වෙනවා. නිදහස් සුලං රටාව අවහිර කෙරෙමින් ඉදි වන හිවිමහල්, තට්ටු පිට තට්ටු ගොඩනැඟිලි නිසා ක්‍රමයෙන් තාප නගරයක් බවට පත් වෙමින් බවට පත් වෙමින් පවත්නා කොලඹ නගරයේ වටිනා කියන පරන (විජිත සමයේ) ගොඩනැඟිල්ලක් හෝ සුන්දර යැයි ඇස රැඳවිය හැකි දර්ශනයක් වෙතොත් නිසැකයෙන් ම ඇසට පීඩා ගෙන දෙන අශෝභන දර්ශනයක් - පදික පාලමක් වැනි දරහැවක් හෝ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් - එය මුවා කෙරෙමින් ඒ අසලින්ම ඉදි වෙනවා.’ (පිටු 14 - 15 / උපුටනයේ අක්ෂර වින්‍යාසය තිලකසේන සම්ප්‍රදායට අනුකූල ය.)

අජිත් තිලකසේන මහතාගේ ප්‍රතිරෝධය ඇති වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් එවකට මෙරට ස්ථාපිත කෙරෙමින් තිබුණු සමාජ පාදඩකරණයට එරෙහි ව ය. ජේ.ආර්. ජයවර්ධනගේ ඊනියා සිංගප්පූරු ආර්ථික සංකල්පය නිසා මෙරට තිබුණු ස්වදේශික සංස්කෘතික පරිසරය මුලිනුපුටා දැමුණු අතර ඉන්පසු මුළු රටම පෙට්ටි කඩ විසංස්කෘතියකට ගොදුරු කරන ලදි. ඉන් පසු හන්දියේ ලොරිබාග පෙට්ටිකඩයේ සිට නගරයේ සුපිරි ගොඩනැඟිලිවලින් නිරූපිත පෙට්ටිකඩ දක්වා මේ පෙට්ටිකඩ විසංස්කෘතිය ගම්නියම්ගම් දක්වා පැතිරී ගියේ ය. අවසානයේ අප රටට උරුම වෙමින් තිබුණේ කිසිදු මානව දහමකට ගරු නො කරන නිරාගමික හතරැස් මිනිසෙකි.‘

වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන පොදු බිත්තිවල සහ තාප්පවල චිත්‍ර ඇඳීම අප තේරුම් ගත යුත්තේ මෙකී සන්දර්භයේ ය. තරුණ ජනතාව දැන් ඉල්ලා සිටිමින් තිබෙන්නේ පෙට්ටිකඩ විසංස්කෘතිය නො ව, සංස්කෘතික රටකි. මෙය සමාජීය වශයෙන් උන්නතිකාමී ප්‍රවණතාවකි.

‘කොලඹ නගරයේ වටිනා කියන පරන (විජිත සමයේ) ගොඩනැඟිල්ලක් හෝ සුන්දර යැයි ඇස රැඳවිය හැකි දර්ශනයක් වෙතොත් නිසැකයෙන් ම ඇසට පීඩා ගෙන දෙන අශෝභන දර්ශනයක් - පදික පාලමක් වැනි දරහැවක් හෝ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් - එය මුවා කෙරෙමින් ඒ අසලින් ම ඉදි වෙනවා.’ යනුවෙන් අජිත් තිලකසේන මහතා විසින් 80 දශකයේ අවධාරණය කරන ලද සමාජ ව්‍යසනයට එරෙහිව පළමු කැරැල්ල දියත් කරන ලද්දේ 2010-2015 කාල වකවානුවේදි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා විසිනි. ඒ, විජිත සමයේ දර්ශනීය ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කරමින් ගොඩනැඟිලි සංස්කෘතික අවකාශයක් සකස් කිරීමෙනි. එහිදී නව නාගරික සමාජ පරිසරයක් ගොඩනැඟුණු බව අවිවාදිත ය. ඒවා නිසි පරිදි පවත්වා ගෙන යෑමට තරම් සංස්කෘතික දැක්මක් 2015 බලයට පත් වුණු නව ලිබරල්වාදි යහපාලන ආණ්ඩුවේ යැංකි දේශපාලනය සතුව නො තිබිණි. ඒ අනුව රට ඉතා ශීඝ්‍රයෙන් විසංස්කෘතික අගාධයකට ඇදවැටිණි. එය කොපමණ ද යත් පල්ලියේ දෙවියන් යදිමින් සිටි බැතිමතුන් ඝාතනය කෙරුණු තරමේ ම්ලේච්ඡ කාලවකවානුවකි. එනම් පූර්ව 2009 සමාජයක් දක්වා රට ආපස්සට ඇදගෙන යෑමකි.

කෙසේ වෙතත් 2019 ජනාධිපතිවරණයේදී මෙරට බහුතර ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බලය පවරන ලද්දේ රට සංස්කෘතික කිරීමේ සමාජ දේශපාලනික ක්‍රියාවලියට නැවත පණ දීමට බව පැහැදිලි ය.

‘ඇසට පීඩා ගෙන දෙන අශෝභන දර්ශනයක් - පදික පාලමක් වැනි දරහැවක් හෝ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් - එය මුවා කෙරෙමින් ඒ අසලින් ම ඉදි වෙනවා.’ යනුවෙන් එදා ‘සංස්කෘතික කාන්තාරක් කරා’ යනුවෙන් හඳුන්වා දෙමින් සමාජ විචාරාත්මක කෘතිය පළ කළ අජිත් තිලකසේන මහතා පෙන්වා දෙන ලද විසංස්කෘතිකරණ ඛේදවාචකයට එරෙහිව, අද තරුණ පිරිස් වීදි බසිමින් සිටිති.

මේ තරුණ මනෝභාවය සෘජු ව සම්බන්ධ වන්නේ 2011 වර්ෂයේ සැප්තැම්බර් 27වැනි දිනට යෙදුණු ලෝක සංචාරක දිනය නිමිත්තෙන් කොළඹ බේරේවැව අසල පිහිටි දිගු බිත්තිය මත චිත්‍ර නිර්මාණය කෙරුණු අවස්ථාවට ය.

මෙරට සංචාරක නගර ආශ්‍රිතව මෙවැනි බිත්ති අලංකරණ තැනින් තැන සිදු වී තිබේ. ඇතැම් ඒවා ඇඳ තිබෙන්නේ විදේශකයන් විසිනි.

එසේ ද වුවත් 2011 Colombo wall ව්‍යාපෘතියට පාසල් 150ක දරුදැරියෝ 2000ක් සම්බන්ධ වූහ. ඔවුහු අදාළ බිත්තිය පුරා මනහර චිත්‍ර 400ක් නිර්මාණය කළහ.

අද අවදි වී තිබෙන්නේ එකී තරුණ විඥානය ය.

ඔවුන් ඉල්ලා සිටින්නේ පෙට්ටිකඩ විසංස්කෘතිය නො වේ; සංස්කෘතික රටකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.