යථාර්ථවාදී නවකතාවේ නූතන එළැඹුම | සත්මඬල

යථාර්ථවාදී නවකතාවේ නූතන එළැඹුම

විශ්වවිද්‍යාලයීය සමාජ යථාර්ථය නිරූපණය කිරීමට දරන ලද ප්‍රශස්ත ප්‍රයත්නයක් ලෙස 1977 වසරේදී පළ වූ ‘අත්ත බිඳෙයි පය බුරුලෙන්’ දැක්විය හැකි ය. විශ්වවිද්‍යාලය නියෝජනය කරන ගුරුකුල, සිසු හා සේවක යන තෙපාර්ශ්වය ක්‍රියාත්මක වන අයුරු මෙහි සත්‍යය විනිවිද දකිමින් යථාර්ථරූපී ලෙස නිරූපණය වේ.

මීට පෙර ද විශ්වවිද්‍යාල සමාජය පසුබිම් කරගෙන සිරි ගුනසිංහ ‘හෙවනැල්ල’ ද, එදිරිවීර සරච්චන්ද්‍ර ‘හෙට එච්චර කරුවල නෑ’ මිණිවන් පී. තිලකරත්න ‘කන්දෙන් ලන්දට’ යන නවකතා රචනා කොට තිබුණ ද එවායින් තත්කාලීන විශ්වවිද්‍යාල සමාජය ගැඹුරින් නිරූපණය නොවී ය.

මධ්‍යම පන්තියේ ආරම්භය, විකාශනය හා අවසානය පිළිබිඹු කරන නවකතා මාලාවක් රචනා කිරීමට පෙලඹුණු ගුණදාස අමරසේකර ඒ ප්‍රයත්නය ආරම්භ කෙරුණේ 1984 වසරේදී ‘ගමනක මුල’ නමැති නවකතාව රචනා කරමිනි. මේ නවකතා පෙළෙන් සිංහල නවකතා ක්ෂේත්‍රයෙන් ඈත් වෙමින් පැවැති ආත්මකථන ස්වරූපය සිංහල නවකතාවට නැවත ප්‍රවිෂ්ට කරනු ලැබූයේ ‘ගමනක මුල’ නවකතාවෙනි. 1986 වසරේදී එහි දෙවැනි කොටස වන ‘ගම්දොරින් එළියට’ පළ වූ අතර එමඟින් 1956 වසරේ මහජන එක්සත් පෙරමුණ ලබා ගන්නා දේශපාලන ජයග්‍රහණය තෙක් මෙරට ජනවංශය හා බැඳුණු ගුණදාස අමරසේකරගේ ජීවන චරිතය කේන්ද්‍ර කොට ගත් ආත්මකථනය විකාසනය වෙයි. 1956න් පසු උදා වූ මධ්‍යම පන්තියේ නැඟීම හා බැඳුණු අත්දැකීම් පාදක කර ගෙන, එහි තුන්වැනි කොටස වන ‘ඉණිමගේ’ ඉහළට රවනා කළේ ය. මේ නවකතාවෙන් විවරණය වන්නේ කථානායකයා වන පියදාසගේ හද මනස මේ ඉණිමගෙහි ඉහළට ඇදී යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් මතු වූ ශෝචනීය ඉරණම ය. 56 පොදුජන ජයග්‍රහණයෙන් පසු බණ්ඩාරනායක අගමැතිතුමාගේ නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම හා බැඳුණු සිදු වීම් විවරණයෙන් නවකතාව ආරම්භ වේ.

එදින කථානායකයා වන පියදාසට වැදගත් වන්නේ ඔහුගේ පවුලේ සියලු දෙනා යටලමත්ත හැර දා හැම්මැලියේ පදිංචි වී සතියක් ගෙවී යෑමෙන් පසු පිරිත් පින්කමක් පැවැත්වීමට පෙලඹීම නිසා ය.

ගමනක මුලෙන් ඇරැඹුණු දේශීය මධ්‍යම පන්තියේ පරිණාමය විවරණය කරන නවකතා මාලාවේ සිව්වැනි පියවර ‘වංකගිරිය’යි. මෙයට පාදක වී ඇත්තේ හැටේ දශකයේ මුල් භාගයයි. විජාතික උසස් පන්තියෙන් පෙරළා බලය ලබා ගත් මැද පන්තිය මේ අවධිය වන විට, ඉණිමගේ ඉහළට යන්නේ මහත් වේගයෙනි. තමා ඔසවා තැබූ ගැමි ජනතාව නොතකමිනි. විජාතික උසස් පන්තිය සිය ආධිපත්‍යය රැක ගැනීම සඳහා තනා ගත් සමාජ ආර්ථික ව්‍යූහය කිසිදු වෙනසකින් තොරව තබා ගැනීමත්, ඒ සියලු වරප්‍රසාද හිමි කරගැනීමත් ඔවුන්ගේ එක ම අධ්‍යාසය විය. ව්‍යාජ වූත්, අර්ථශූන්‍ය වූත්, කුහක වූත්, ආත්මාර්ථකාමී වූත්, අවස්ථාවදි වූත්, නියත පැවැත්මක් නැති වූත් සත්‍ය ලෙස මල ගන්ධබ්බ ස්වරූපයක සිටින්නා වූත් මධ්‍යම පන්තියේ ගතික බව නිරූපණය කිරීමට දරන ලද ප්‍රශංසාත්මක උත්සාහයක් ලෙස ‘වංකගිරිය’ නවකතාව හඳුන්වා දිය හැකි ය.

මධ්‍යම පන්තියේ පරිණාමය විවරණය කරන මහා ප්‍රබන්ධයෙහි පස්වැනි සග ලෙස නම් කර ඇත්තේ යළි මඟ වෙත (1993) ය. වංකගිරියක වට රවුමේ ගිය කතානායකයා වන පියදාස තමා විසින් සරදම් දෘෂ්ටියෙන් හා අවඥාවෙන් බැහැර කරන ලද සාම්ප්‍රදායික ජීවන රටාව වෙත පෙරළා ඇදී යන අයුරු යළි මඟ වෙත නවකතාවෙන් විවරණය කෙරේ. තරුණ වියේ නොදැමුණු හැඟීම් විසින් කුල්මත් කරනු ලැබූ බැව් සීමා කිරීමට පෙලඹුණ ද තරුණ විය ඉක්මවා ගොස් මැදි වියට ප්‍රවිෂ්ට වූ විට විය යුතු පරිදි සාම්ප්‍රදායික ජීවන රටාව ඇද වැලඳ ගැනීමට පෙලඹෙයි. එපමණක් නොව ඒ ජීවන රටාව විසින් අගයන ලද පුරුෂාර්ථ හා වටිනාකම් ද වැඩි විරෝධයකින් තොරව පිළිගැනීමට නැඹුරු වේ. සිය හදවත රිදුම් නොදෙන ඒ මඟ වෙත ඔහු ඇදී යන්නේ තර්කය හා බුද්ධිය වහල් කොට ගෙන නොව සිය උපවිඥානයේ ඇණවුමක් ලෙසට ය. මේ කතා කලාවේ නැවත අදියර වන්නේ ‘දුර රටක දුකට කිරියක (2001) ය. මේ කතාවෙන් විවරණය වන්නේ කතානායක පියදාස රටින් බැහැර ව එංගලන්තයේ ගත කළ තෙවසක් පමණ වූ කාලයයි. සිය බිරියත් දරුවත් සමඟ පශ්චාත් උපාධි සඳහා එංගලන්තයට යන කතා නායකයා එහිදි තමා මෙතෙක් මුහුණ නොදුන් දුක් හිරිහැර හා ආපදාවලට ගොඳුරු වෙයි. හද මනස තවන දුෂ්කර ක්‍රියා සමයකට මුහුණ දෙයි.

නවකතාවේ අවසාන භාගයෙහි නිරූපණය වන්නේ 1970දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධාන ගත වී මහ මැතිවරණයට මුහුණදී ඉන් ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීම හා බැඳුණු සිදු වීම් නිරූපණයකිනි. පියදාස මෙය බලාපොරොත්තු වූවකි. ඔහු මේ ගැන මහත් තෘප්තියට පත් වේ.

මාක්ස්වාදය දේශීය සංස්කෘතියට හා සභ්‍යත්වයට අනුකූලව හැඩ ගැසිය යුතු බව පියදාස විශ්වාස කළේ ය. ඒ මඟින් දේශීය උරුමය හදා ගත යුතු බව ඔහු අවධාරණය කළේ ය.

පියදාස විවිධ හැලහැප්පීම් මැද ගෘහ්‍ය ජීවිතයෙහි ස්ථාවර වන අයුරු ‘ගමනක මැද’ නවකතාවෙන් නිරූපණය වේ. දේශපාලන වශයෙන් සලකා බලන විට තුන් හවුල් රජයේ දේශපාලනය ක්‍රියාත්මක වූ 70 - 77 අවධියයි. රටේ තත්කාලීන දේශපාලන, ආර්ථික හා සාමාජික යථාර්ථය විවරණය කරන අතර ම පියදාසගේ පවුලේ කතාව විශ්ලේෂණය කිරීමට ද ලේඛකයා විමසිලිමත් වීම මේ නවකතා මාලාවේ ම දක්නට ලැබෙන සුවිශේෂ බවයි. පවුලේ වෘත්තාන්තයත්, සමාජ හා දේශපාලන විශ්ලේෂණයත් සමාන්තර ලෙස විකාසනයට ලේඛකයා ගෙන ඇති උත්සාහය සමහර අංගෝපාංගවලින් සාධනීය ලක්ෂණ ප්‍රකට කළ ද ඇතැම් පැතිකඩවලින් අසාධනීය ලක්ෂණ ප්‍රකට කළේ ය.

ප්‍රභූ අධිපත්‍යයට එරෙහි ව සාමාන්‍ය ජනතාවගේ නැඟී සිටීම විවරණය කරන අත්දැකීම් ද මේ කාල අවධියෙහි රචනා වූ නවකතාවලට පාදක වූ බව පෙනේ. නිහාල් පී. ජයතුංගගේ ‘මහදෙණිය වත්ත’ නවකතාවෙන් විවරණය වන්නේ එබඳු අත්දැකීමකි. ප්‍රභූ පන්තියේ ගරා වැටීමත්, ගරා වැටෙන ප්‍රභූ බලාධිකාරීන් සමාජයේ වෙනත් බලවතුන්ගේ සහයෝගය ලබා ගනිමින් කෙසේ හෝ සිය ප්‍රභූ බව රැක ගැනීමට දරන ප්‍රයත්නය, දක්ෂ ලෙස රූපණය කිරීමට නවකතාකරුවා කුසලතා පූර්ණ වී ඇත. ඇන්. ටී. කරුණාතිලකගේ උළු ගෙදර ආරච්චිල මෙන් ම එහි දෙවැනි කොටස ලෙස සැලකෙන හීන් අප්පුගේ කතා වස්තුව ද මේ හා සමාන අනුභූති විවරණය කෙරෙන නිර්මාණ ද්වයකි. යටත් විජිත පාලන ක්‍රමය පැවැති කාලයේ ද දේශීය පළාත් පාලනය, ගම කේන්ද්‍ර කොට ගෙන ගමේ ප්‍රමුඛයා වූ ආරච්චිලගේ අධිකාරි බව යටතේ ක්‍රියාත්මක විය. ආරච්චිල ගමට තිබුණු එක ම උළු ගෙදරෙහි ස්වාමියා විය. ක්‍රමයෙන් ආරච්චිල ක්‍රමය අහෝසි වී ග්‍රාමසේවක විසින් ගම පාලනය කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්න වූයෙන් සාමාන්‍ය පවුල්වලින් පැවැතෙන උගත් පිරිසට ද පරිපාලනයට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්තාව ලැබිණි. පරිපාලනයේ ඇති වූ මේ යථාර්ථය සමඟ ම ගමේ පැවැති සාමුහික බව හා සුහද බව නැතී වී උදරාර්ථය පෙරදැරි කර ගත් පිරිස්වලින් පාසල පමණක් නොව පන්සල ද මෙහෙයවීමට වූයෙන් ඇති වූ ගමේ පරිහාණිය ද මේ නවකතාවෙන් විවරණය වේ.

මේ කතා තේමාවෙහි තවත් පැතිකඩක් නිරූපණය කිරීමට සයිමන් නවගත්තේගම සුද්දිලාගේ කතාවෙන් උත්සාහ ගෙන ඇත. මෙහි තිබෙන විශේෂත්වය නම් ‘බැද්දේගම’ නවකතාවේ වස්තු සන්දර්භය සිහි ගැන්වන අයුරින් කතා පුවත විවරණය කිරීම ය. බැද්දේගම මෙන් ම මෙහි නිරූපණය වන ගමේ ද, ජීවත් වන ගැමියන්ගේ ජීවිත කෙරෙහි බෙහෙවින් බලපාන්නේ ගමේ ආරච්චිල ය. බැද්දේගම හි නිරූපණය වී ඇත්තේ මින් සියවසකට පමණ පෙර ලංකාවේ දකුණු පළාතේ හද්දා පිටිසර ජීවිතයයි. එහෙත් සුද්දිලාගේ කතාවේ නිරූපණය වන්නේ මින් විසිපස් වසකට පමණ පෙර රජරට පළාතේ කැලෑබද ගමක ජීවිතයයි.

ස්ත්‍රී ‍ස්වෛරීත්ව අරගලය පිළිබිඹු කරන නවකතා රැසක් රචනා වූ 70,80 හා 90 දශකවල නවකතාවේ අභිවර්ධනයට ලේඛිකාවන්ගේ දායකත්වය ලැබීම ද ප්‍රවණතාවකි. ඊවා රණවීර, සුමිත්‍රා රාහුබද්ධ, රූපා කොඩිතුවක්කු, සුනේත්‍රා රාජකරුණානායක, යමුනා මාලනී පෙරේරා, ශාන්ති දිසානායක යන ලේඛිකාවෝ ස්ත්‍රිය මුහුණදී සිටින ජීවන ඛේදවාචකය, පුරුෂාධිපත්‍යය හා බැඳුණු අමානුෂික පීඩනය නවකතා මඟින් විශ්ලේෂණය කිරීමට පෙලඹුණහ. විශේෂයෙන් සුමිත්‍රා රාහුබද්ධගේ ‘බුමුතුරුණු’ (1978), ‘කෙළිමඬල’ (1984), ‘දුලදුලාය’ (2007), ‘කන්දක් සේ මා’ (2009), ‘අග පිපි මල්’ (2010) යන නවකතා නිදසුන් ලෙස දැක්විය හැකි ය. සුනේත්‍රා රාජකරුණානායකගේ ‘පොදු පුරුෂයා’ (2008) ද ලිංගික සුරා කෑමට ගොදුරු වන කාන්තාවන් අරභයා යථාර්ථය විනිවිද දකිමින් රචනා කරන ලද නිර්මාණයකි. මෙබඳු නවකතා මඟින් ලේඛිකාව විමසිලිමත් වී ඇත්තේ පුරුෂ මූලික සමාජයෙහි ගැහැනියගේ ජීවන ඉරණම ශෝචනීය වන අයුරු පෙන්වා දීමට ය.

ජනවාර්ගික අර්බුදය විවරණය විවරණය කරන නවකතා ද 70,90 දශකවල රචනා වූ සේ ය. අනුලා විජේරත්න මැණිකේ විසින් රචනා කරන ලද ‘වඩබා ගින්න’ මෙකී තේමාව ගැඹුරින් විශ්ලේෂණය කර දක්වන නිර්මාණයකි‍.

 විටෙන් විට පැන නැඟුණු ජනවාර්ගික අර්බුද සමස්ත දිවයින ම අකර්මණ්‍ය කිරීමට බලපා ඇති අයුරු මේ අරභයා රචනා වූ නවකතාවලින් ගැඹුරින් නිරූපණය විය‍. මේ තේමාව පාදක කර ගත් හැම නවකතාවකට ම පොදු වූ ලක්ෂණ කිහිපයක් දැක්විය හැකි ය. පළමුවැන්න ජාතිවාදි අරගලය හා බැඳුණු යථාර්ථය විශ්ලේෂණය කොට දැක්වීමට ලේඛකයන් කුසලතා ප්‍රකට කිරීම ය. දෙවැන්න ජාතිවාදයේ අමානුෂික ස්වභාවය විවරණය කොට මිනිස් වර්ගයා ජාති කුල හා ආගම් වශයෙන් බෙදී අරගල කරගැනීම නොමනාය යන අදහස කලාත්මක ලෙස අවධාරණය කිරීම ය.

මානව වර්ගයා විෂයෙහි පහන් සංවේගය ජනනය කිරීමට තුඩුදෙන අයුරින් අත්දැකීම කේන්ද්‍ර කරගත් සිදු වීම් මානව හිතවාදි දෘෂ්ටියකින් අවලෝකනය කිරීම තෙවැනි වැදගත් ලක්ෂණය ලෙස දැක්වීමට පුළුවන. මුළු මහත් මිනිස් සංහතිය විෂයයෙහි අපරිමිත සෙනෙහසක් හා ආදරයක් ජනනය කිරීමට තුඩුදෙන ආකාරයේ ක්‍රියාකාරකම් හා බැඳුණු චරිත ලක්ෂණ අන්තර්ගත චරිත කිහිපයක් නිරූපණය කිරීම සිව්වැනි ලක්ෂණයයි. ජාතිවාදයේ කුරිරු බව හා භයංකර වේශය දෘශ්‍ය රූපයක් ලෙස නිරූපණය කිරීමට ලේඛකයා ප්‍රකට කරන හුරුබුහුටි බව පස්වැනි ලක්ෂණය ලෙස දැක්වීමට පුළුවන. මනුෂ්‍යත්වය සාදරයෙන් වැලඳ ගත යුතු සංකල්පයක් බැව් අවධාරණය කිරීම හයවැනි වැදගත් සාධකයකි. තේමාව විවරණය කෙරෙන එබඳු නවකතා අතර සුමිත්‍රා රාහුබද්ධගේ ‘සුර අසුර’, කරුණාදාස සූරියආරච්චිගේ ‘කළු දෝංකාරය’ (2009) විශේෂයෙන් සඳහන් කළ යුතු නිර්මාණද්වයකි. බොහෝ තරුණ ලේඛකයන් විසින් ද මේ අත්දැකීම් ක්ෂේත්‍රය විවරණය කරමින් නවකතා රචනා කරනු ලැබ ඇත.

මේ අවධියේ විවිධ සමාජ පැතිකඩ හා බැඳුණු අත්දැකීම් විවරණය කරමින් නවකතා රචනා කිරීමට බොහෝ ලේඛකයෝ පෙලඹුණහ. ඒ ලේඛකයන් අතර සුනන්ද මහේන්ද්‍ර, එදිරිවීර සරච්චන්ද්‍ර, ආර්. ආර්. සමරකෝන්, ඒ. වී. සුරවීර‍, ගුණසේන විතාන, එච්. ඒ. සෙනෙවිරත්න, ඇරැව්වල නන්දිමිත්‍ර, සුගතපාල ද සිල්වා, මිණිවන් පී. තිලකරත්න, සෝමවීර සේනානායක, ටෙනිසන් පෙරේරා, සුනේත්‍රා රාජකරුණානායක, ජයසේන ජයකොඩි, රන්ජීත් ධර්මකීර්ති, සිරිලාල් කොඩිකාර, කුලසේන ‍ෆොන්සේකා, සරත් ආරියරත්න, වීර පොකුණේ උපරතන හිමි, පියදාස වැලිකන්නගේ, චම්මින්ද වෙලගෙදර, ඒ. ඇම්. කරුණාරත්න යන නිර්මාණකරුවන් විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

80ල 90 දශකවල සිංහල නවකතාවට ප්‍රවිෂ්ට වූ නව ප්‍රවණතාවක් ලෙස අධියථාර්ථවාදි රීතිය අනුගත නවකතා කිහිපයක් රචනා වීම දැක්විය හැකි ය. මෙහිදී පුරෝගාමී මෙහෙයක් ඉටු කළ ලේඛකයා වන්නේ සයිමන් නවගත්තේගම ය. යථාර්ථවාදයේ ඇතැම් සීමා හේතු කොට ගෙන ෆ්‍රාන්ස් කෆ්කා බඳු ලේඛකයන් විසින් අනුගමනය කෙරුණු අධියථාර්ථවාදය අනුගමනය කිරීමට නවගත්තේගම පෙලඹුණේ ඔහු නවමං සොයා යන නිර්මාණකරුවකු වූ හෙයිනි. අධියථාර්ථවාදි රීතියට සුවිශේෂ වූ ලක්ෂණ කිහිපයක් දැක්විය හැකි ය.

1. උපවිඥානයේ ක්‍රියා කාරිත්වය විවරණය කිරීම

2. සිහින ලෝකය හා බැඳුණු මායාමය තලයකින් යථාර්ථ අර්ථකථනය කිරීමට නැඹුරු වීම

3. විඥාන පරිවර්තනයකට තුඩුදෙන සේ අත්දැකීම් ක්ෂේත්‍රය හැසිරවීමට හා ආඛ්‍යාන ක්‍රමවේදය මෙහෙයවීමට පෙලඹීම

4. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සිහින විග්‍රහය උපයෝගි කරගැනීම.

5. භෞතික යථාර්ථය සමඟ බද්ධ නොවී පරිකල්පනය හා මනස සමඟ දැඩි ලෙස සම්බන්ධ වී පැවතීම

6. උපවිඥානය හා අවිඥානය විවරණය කිරීමට ගවේෂණාත්මක ප්‍රයත්නයක යෙදීම

7. සිහිනයකදී මෙන් අද්භූත, වියුක්ත මායා ලොවක් ප්‍රතිනිර්මාණය කිරීම

8. පුද්ගලයා එක ම ස්වරූපයෙන් නොදැක විවිධ ස්වරූපවලින් දැකීමට පෙලෙඹීම

9. සම්මත කලා න්‍යාය වූ සංරචනය ප්‍රතික්ෂේප වී විසංරචනය ඉස්මතු කිරීම

10. යථාර්ථවාදි කලා නිර්මාණයකදී මෙන් තර්කානුකූල හේතු ඵල සම්බන්ධය, භව්‍යත්වය,

විශ්වසනීයත්වය, අව්‍යාජත්වය යන කලාත්මක ප්‍රයෝග එයට වඩා වෙනස් මුහුණුවරකින් විද්‍යමානවීම මෙකී ලක්ෂණ ඉස්මතු වන සේ කෙටිකතාව මෙන් ම නවකතාව හැසිරවීමට නවගත්තේගම කුසලතා පූර්ණ වූයේ ය. ඔහුගේ ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’, ‘ක්ෂීර සාගරය කැලඹිණ’, ‘සාපේක්ෂණී’, ‘දඩයක්කාරයාගේ කතාව’ ආදි නවකතා රචනයේදී මේ යථාර්ථවාදි රීතියෙන් ‍ආලෝකය ලැබීමට කුසලතාපූර්ණ වූයේ ය. නවගත්තේගම අධියථාර්ථවාදයත්, මායා යථාර්ථවාදයට ආවේණික වූ ලක්ෂණත් මුසු කරගෙන මේ නවකතා රචනා කිරීමට පෙලඹුණු බැව් පෙනෙයි.

මේවායෙහි යථාර්ථවාදි ලෙස ඇරැඹෙන කතාව වරින්වර, අතාත්වික චරිත හා සිදු වීම්වලින් විභූෂණය වේ. සැබෑ ලෝකයේ නොසිදු විය හැකි දේ, එනම් දෙවියන් හෝ වෙනත් අමනුෂ්‍යයන් ඉදිරිපත් වීම, මළවුන්ට පණ ලැබීම, ඇතැමුන් ඉතා දිගු කලක් ජීවත් වීම මේ නිර්මාණවල දක්නට පුළුවන. ‘ක්ෂීර සාගරය කැලඹිණ’ නවකතාවේ සමස්ත සිදු වීම වරෙක අධිරාජයා දුටු සිහිනයක් සේ නිරූපණය වී ඇත. මේ වූ කලි මධුවිත පානයෙන් හා අධික කාම සම්භෝගයෙන් වෙහෙසට පත් ව තද නින්දට වැටී සිටි අධිරාජයා දුටු ස්වප්න දර්ශනයක් විය හැකි ය. කතාව අවසානයේදී කැරැලිකරුවන් ජයග්‍රහණය කළත්, මහ ඇමති ප්‍රමුඛ කුමන්ත්‍රණකරුවෝ ද නන්දිමිත්‍ර විසින් ක්ෂණිකොව මරා දමනු ලබති. මෙය ද නිරූපණය වී ඇත්තේ සිහිනයක ස්වරූපයෙනි. සත්‍යය හා මිථ්‍යාව ඓන්ද්‍රීය ලෙස බද්ධ කරමින් කතාවට විචිත්‍රත්වයක් ආරෝපණය කිරීමට සයිමන් නවගත්තේගම කුසලතාපූර්ණ වී ඇත. මෙබඳු මායා දර්ශන හා අද්භූත සිදු වීම් උපයෝගි කරගෙන ‘දඩයක්කාරයාගේ කතාව’ ද රචනා කළ බැව් පෙනේ.

 

අතිමානුෂික ස්වරූපයක් ගන්නා චරිත, සතුන් හා දෙවි දේවතාවුන් මෙහි සක්‍රීය ලෙස නිරූපණය වේ.

සිංහල නවකතා ඉතිහාසයේ සයවැනි අදියර ලෙස 2000 සිට වර්තමානය තෙක් කාලවකවානුව දැක්විය හැකි ය. මෙකල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි, අධියථාර්ථවාදය, මායා යථාර්ථවාදය මෙන් ම පශ්චාත් නූතනවාදය ද, ප්‍රබන්ධකරණය හා බැඳුණු බටහිර නව ප්‍රවණතා ද සිංහල නවකතාකරුවන්ගේ අත්හදා බැලීම්වලට පාදක වූයේ ය. බොහෝ තරුණ ලේඛකයෝ මේ සඳහා සැලකිලිමත් වූහ. මෙහිලා විමසිලිමත් වූ නවකතාකරුවන් ලෙස කේ. කේ. සමන් කුමාර, ජයතිලක කම්මැල්ලවීර, එරික් ඉලයප්ආරච්චි, ලියනගේ අමරකීර්ති, ටෙනිසන් පෙරේරා, කීර්ති වැලිසරගේ, නිශ්ශංක විජේමාන්න, සුනේත්‍රා රාජකරුණානායක, කැත්ලීන් ජයවර්ධන, මොහාන් රාජ් මඩවල, කපිල කුමාර කාලිංග, සමන් වික්‍රමාරච්චි ආදි ලේඛක ලේඛිකාවන් දැක්විය හැකි ය.

90 දශකයේ සිට මෙරට විද්වත් පාඨකයන්ගේ සංකථනයට යොමු වූ විචාරවාදයත් ලෙස පශ්චාත් නූතනවාදය දැක්විය හැකි ය. කණ්ඩායම විසින් විවිධ සංවාද, සාකච්ඡා හා සම්මන්ත්‍රණ මඟින් ඒ වන විට මෙරට පශ්චාත් නූතන සමාජයක් බිහි වී තිබෙන බව පවසනු ලැබී ය. ඔවුන්ගේ ක්‍රියාකාරි බව මේ පිළිබඳ ප්‍රබෝධයක් තරුණ ලේඛකයන් අතර ඇති වීමට බලපෑ බැව් පෙනෙයි. කේ.කේ. සමන් කුමාර බඳු තරුණ ලේඛකයෙක් මේ විචාරවාදයට අනුගත වෙමින් නවකතා රචනා කිරීමට විමසිලිමත් වුව ද ඒවා සාර්ථක කලා නිර්මාණ නොවුණු බැව් ඔහුගේ ‘පිනි අහුරක් ඉහිරුණා’ (2000), ‘නේරංජනේ ඉස්නානේ’ (2000), ‘මහිලා වංශය’ (2016) බඳු නවකතාවලින් පෙනෙයි. පශ්චාත් නූතනවාදයට ආවේණික වූ ඇතැම් සාහිත්යික ලක්ෂණ මෙසේ ය.

1. සමාජ අපරිපටිය හා එහි ප්‍රතිඵලයක් වශයෙන් මතු වන සංක්ෂෝභය කෙරෙහි නිර්මාණක්ෂිය යොමු කිරීම. සමාජ අපරිපටිය මඟින් සමාජ පරිපාටියක් දැක ගත හැකි බව

නූතනවාදීහු සඳහන් කළත් පශ්චාත් නූතනවාදීහු එය ප්‍රතික්ෂේප කළහ.

2. සමාජ ජීවිතයෙහි බහුත්වය සිතුවම් කිරීමට පෙලඹීම. එහෙත් නූතනවාදීන් මෙන් එමඟින් ඒකත්වයක් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි යැයි පශ්චාත් නූතනවාදීහු විශ්වාස නොකරති.

බහුත්වය මඟින් තව තවත් බහුත්ව බිහි වෙනු විනා ඒකත්වයක් බිහි නොවන බව ඔවුහු අවධාරණය නොකරති.

3. තර්ක ශක්තිකත්වය - ඒ ඒ යුගවල අවශ්‍යතා අනුව නිර්මාණය වන බව සඳහන් කිරීම. එය සාර්වත්‍රික හෝ සර්වකාලීන ධර්මතාවක් නොවන බව පශ්චාත් නූතනවාදීහු ප්‍රකාශ කරති.

4. සාහිත්‍ය නිර්මාණයකින් මිනිසාත්, සමාජයත් පිළිබඳ ගැඹුරු ආලෝචනා මතු කළ යුතු යැයි නුතනවාදීන් ප්‍රකාශ කරනු ලැබුව ද, පශ්චාත් නූතනවාදී සාහිත්‍යකරුවන්ගේ අදහස වන්නේ මානව ජීවිතයෙහි ගැඹුර සොයමින් මානව ජීවිත අගාධයෙහි කිමිදෙන්න දරන ප්‍රයත්නය නිරර්ථක බව ය.

5. සාහිත්‍ය කෘතියක් නිමාවට පත් වූවක් ලෙස නොසලකන පශ්චාත් නූතනවාදීහු සාහිත්‍ය කෘතියක් නිරන්තරයෙන් ම විකාසනය වන ක්‍රියා දාමයක් ලෙස සලකති.

6. සාහිත්‍ය කෘතියක විවෘත බව විෂයෙහි වැඩි අවධානයක් යොමු කිරීම. සම්මත සීමා අතික්‍රමණය කරමින් නව නිර්මාණ බිහි කිරීමට පෙලඹීම.

7. විවිධ සාහිත්යික ශෛලි, සන්දර්භ ක්‍රම, රීති, ආකෘති ආදිය එකට මිශ්‍රණය කරමින් භාවිත කිරීමට පෙලඹීම

8. කලාවල විදග්ධ හෙවත් සම්භාව්‍ය යනුවෙන් ද ජනප්‍රිය යනුවෙන් ද කොටස් කිරීමට එකඟ නොවන පශ්චාත් නූතනවාදීහු එබඳු ප්‍රභේදයක් නොදක්වා සංස්කෘතික නිෂ්පාදිතය යන සංකල්පය ගෙන හැර පෑම

9. ආකෘතිය ගැන සැලකිලිමත් නොවීම. වඩාත් සැලකිලිමත් වූයේ ප්‍රතිආකෘතිය කෙරෙහි ය.

10. සාහිත්‍ය කෘතියක නිශ්චිත අර්ථයක් නැති බව, ඔවුන්ගේ අදහස වන්නේ සාහිත්‍ය කෘතියක විවිධාර්ථ ඇති බවත්, ඒ ඒ පාඨකයන්ගේ බුද්ධි මහිමය අනුව එකී අර්ථ අනාවරණය කෙරෙන බවත් ය

11. ක්‍රීඩාශීලිත්වය පශ්චාත් නූතනවාදීන්ගේ පරිකල්පන ශක්තිය ක්‍රීඩාශීලීත්වය සමඟ එකට බැඳී පැවැතීම

12. නූතනවාදීන් සූචකය හා සූචිතය අතුරෙන් සූචිතය (වචන මඟින් නිරූපිත අර්ථය) කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ද පශ්චාත් නූතනවාදීහු සුචකය විෂයෙහි වැඩි අවධානයක් යොමු කරති.

ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන් කුමාර ඇතුළු තවත් තරුණ ලේඛකයෝ මෙකී ධර්මතා කෙරෙහි සැලකිලිමත් වෙමින් නවකතා රචනා කිරීමට දැරූ ප්‍රයන්තය එතරම් සාර්ථක නොවූහ. ඔවුහු වැඩි අවධානය යොමු කළෝ ලිංගිකත්වය අතිශයෝක්තියෙන් යුතුව ආකාර්ෂණීය ධර්මතාවක් බවට පත් කිරීමට ය.

ඉන්ද්‍රජාලික යථාර්ථ වාදය, මායා යථාර්ථවාදය හෙවත් රූපකාත්මක යථාර්ථවාදය නවකතා ක්ෂේත්‍රයෙහි බොහෝ තරුණ ලේඛක ලේඛිකා වන්ගේ අවධානය යොමු වීම ද මෙකල දැකිය හැකි ප්‍රවණතාවකි. ටෙනිසන් පෙරේරා, සයිමන් නවගත්තේගම, ලියනගේ අමරකීර්ති, ජයතිලක කම්මැල්ලවීර‍‍‍, ‍මොහාන් රාජ් මඩවල, කපිල කුමාර කාලිංග, බර්ට්‍රම් නිහාල්, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යන ලේඛකයෝ මේ යථාර්ථවාදි රීතිය උපයෝගි කරගෙන මෙරට සමාජ සත්‍යය ගවේෂණය කිරීමට නැඹුරු වී සිටිති. ටෙනිසන්ගේ ‘භූතාත්ම’, ‘සසර දිගන්තය’, ‘මහා රාවණා’, සයිමන්ගේ ‘සංසාරාණ්‍යයේ උරුමක්කාරයා’, ලියනගේ අමරකීර්තිගේ ‘අටවක පුත්තු’ ‘කුරුලු හදවත’, ‘අහම්බකාරක’, මොහාන් රාජ් මඩවලගේ ‘මාගම්සෝලිය’, ‘ලොවීනා’, ‘ආදරණිය වික්ටෝරියා’, ‘රැජින’, ‘කොලොම්බා’ ආදි නවකතාවල මයායථාර්ථවාදි ලක්ෂණ අඩුවැඩි වශයෙන් දැය හැකි ය. මේ යථාර්ථවාදි රීතියට ආවේණික වූ ලක්ෂණ මෙසේ දැක්විය හැකි ය.

1. සැබෑ ලෝකය හා මායා ලෝකය ඒකාබද්ධ කරමින් සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට අනුබල දීමට මෙය යථාර්ථවාදයෙහි සංකීර්ණත්වය පිළිබිඹු කරන යථාර්ථවාදයෙහි මර්යාදා පුළුල් කරන යථාර්ථ රීතියක් ලෙස සැලකේ. බැලු බැල්මට මේ සංකල්පය විරෝධෝක්තියක් ලෙස කෙනකුට පෙනිය හැකි ය.

යමක් මායානුකූල නම් එය යථාර්ථවාදි වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නැගේ. එහෙත් මේ සංකල්පය ගැඹුරින් විවරණය කරන විට ඒ මතුපිට පරස්පර විරෝධය ගිලිහී යයි‍.

2. භව්‍යත්වය හා අභව්‍යත්වය, විශ්වසනීයත්වය හා අවිශ්වසනීයත්වය අතර නව සම්බන්ධයක් ඇති කරමින් යථාර්ථවාදයෙහි විෂයක්ෂේත්‍ර පුළුල් කිරීම

3. යථාර්ථවාදයෙහි විවිධාංග වටහාගැනීමට තුඩු දෙන සේ සිදුවිම්ල චරිත හා පසුබිම් ගොඩනැඟීම.

4. ආශ්චර්යජනක, අද්භූතාත්මක ලෝකයක් චිත්‍රණය කිරීම

5. මෙබඳු නවකතා සුරංගනා කතා, අද්භූත කතා හා ගැමි ආඛ්‍යාන සිහියට නඟමින් සමකාලීන ඉතිහාසය ගැඹුරින් නිරූපණය

6. මතුපිටින් දක්නට ලැබෙන මන:කල්පිත ස්වරූපයට යටින් ගැඹුරු සමාජ සත්තා හා ඓතිහාසික සිද්ධි විවරණය

7. හේතුඵල සම්බන්ධයෙහි යම්බඳු දූරස්ථතාවක් ප්‍රකට කිරීම

8. දේශය, කාලය හා අනන්‍යතාව පිළිබඳ සාම්ප්‍රදායික සංකල්ප අතික්‍රමණය කිරීම

9. රූපාකාර්ථ වාච්‍යාර්ථ බවට පරිවර්තනය කළ හැකි වීම

මෙකී මායායථාර්ථවාදි ලක්ෂණ ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්, ඉසබෙල් ඇලෙන්දේ ඇතුළු ලතින් අමෙරිකානු නවකතාකරුවන්ගේ නවකතාවල ගැඹුරින් ප්‍රකට වුව ද සිංහල නවකතාකරුවන්ගේ නිර්මාණවලින් ඒවා බොහෝ විට දිස් වන්නේ මතුපිටින් පමණි. කතා පුවත හා බැඳුණු සිදු වීම්, සංසිද්ධි හා චරිත සංඝටන එකිනෙකට බද්ධ කොට නිරූපණය නොකොට මායායථාර්ථවාදයෙහි ගම්භීර බව උකහා ගත නොහැකි ය. කෙසේ වුව ද අපේ නවකතාකරුවන් තවදුරටත් ඒ ගැන ඇප කැප වී මේ කලා රීතිය පරිහරණයට පෙලඹේ නම් අනාගතයේදී මායා යථාර්ථවාදි රීතිය අනුගත උසස් නවකතා නිර්මාණය කළ හැකි වේ.

ඉහත අපගේ විමසීමට ලක් වූ යථාර්ථවාදි ප්‍රභේදවලට අනුගත සිංහල නවකතා 2000, 2010 දශකවල රචනා වෙමින් තිබුණ ද යථාර්ථවාදය යල් පැන ගිය රීතියක් බවට පත් වී නැත. ඒ බැව් එරික් ඉලයප්ආරච්චි, පී. බී. ජයසේකර, කීර්ති වැලිසරගේ, ඒ. එම්. කරුණාරත්න, චම්මින් ද වෙලගෙදර, සේපාලි මායාදුන්නේ, සේන තෝරදෙනිය, පියදාස වැලිකන්නගේ, ශාන්ති දිසානායක, සුමුදු නිරාගී සෙනෙවිරත්න, අනුරසිරි හෙට්ටිගේ, සුසන්ත මහඋල්පත බඳු නවකතාකරුවන්ගේ නිර්මාණවලින් ප්‍රකට ය. ඓතිහාසික පරිස්ථිතියක රඳවා මානව ජීවන ක්‍රියාකාරකම් හා මානව සම්බන්ධතා විවරණය කිරීම යථාර්ථවාදි නවකතාවල අනන්‍යතාව ප්‍රකට කරන ලක්ෂණ වේ. කාලය හා අවකාශයට අනුරූපී ලෙස චරිත ගොඩනැඟීම හා විකාසනය කිරීම පැහැදිලි ලෙස දැකිය හැකි ය. ඒ අනුව එහි කාලය ද ඓතිහාසික කාලයක් වීම වැළැක්විය නොහැකි ය. අප මුහුණ දෙන සමාජ සත්‍යය එනම් සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රපංච විවරණය කිරීම යථාර්ථවාදි සාහිත්‍ය කතාවලින් සිදු කෙරේ. ‘පාදයාත්‍රා’, ‘පරදේශී මරියා සිලෝනිකා වස්තුව’, ‘දෛව’, ‘බණ්ඩාර මැරූ උන්’, ‘හඳුන්මල් කඩුල්ල’, ‘කළු ආරච්චිලගේ කතාව’ ආදි නවකතාවලින් යථාර්ථවාදි රීතිය යල් පැන නොගිය බව තහවුරු කෙරේ. එච්. බී. කරුණාරත්නගේ ‘හිතුවක්කාරී’ නවකතාව ද මෙයට තවත් නිදසුනකි.

ගවේෂණාත්මක ගණයෙහිලා සැලකිය හැකි නවකතා පසුගිය කාලයෙහි බොහෝ ලේඛකයන් විසින් රචනා කරනු ලැබී ය. යම් යම් ක්ෂේත්‍ර හෝ සමාජ ස්ථිර හෝ කුල විභේදන පිළිබඳ පර්යේෂණ කොට උකහා ගන්නා දැනුමෙහි පිහිටා හරවත් නවකතා කිහිපයක් රචනා වූ සේ ය. ඉතිහාසය හා පුරා විද්‍යාත්මක තොරතුරු පිළිබඳ දිගු කාලීන පර්යේෂණාත්මක ගවේෂණයකින් පසු සුනේත්‍රා රාජකරුණානායක ‘සෞම්‍යාලෝකය‘ නවකතාව රචනා කළා ය. එය දීර්ඝ නවකතාවකි. චිත්‍ර කලාව පිළිබඳ පෙරපර දෙදිග රටවල ලියැ වී තිබෙන පොත්පත් ද වෙනත් වාර්තාගත තොරතුරු දල අනුසාරයෙන් සේන තෝරදෙනිය ‘බණ්ඩර මැරූ උන්’ නවකතාව රචනා කළේ ය. එසේ ම නුවර යුගයේ පන්සල් චිත්‍ර කලාව පිළිබඳ දිගු කාලීන පර්යේෂණ ක්‍රියාවලියක යෙදී උකහා ගත් ජීවිතාවබෝධයෙන් යුතුව සුමුදු නිරාගී සෙනෙවිරත්න විසින් දූල්වල අලංකාරේ නවකතාව රචනා කරන ලදි. මොහාන් රාජ් මඩවල විසින් ‘ලොවීනා’ නවකතාව රචනා කිරීමට පෙර රොඩී කුලය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා පර්යේෂණ ක්‍රියාවලියක නිරත වූ සේ ය. අධ්‍යයනය හා පර්යේෂණය යන බුද්ධි ගවේෂණ මාර්ගවලට අනුගත වීම සිංහල නවකතාව හරවත්, කලා මාධ්‍යයක් බවට පත් වීමට ප්‍රබල ආධාරකයක් වන්නේ ය. සුමිත්‍රා රාහුබද්ධගේ ‘තුරු සමුදා’ ද මේ ගණයට ගැනෙන නිර්මාණයකි. නෘත්‍ය කලාව පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින් තොරව ඇයට එබඳු නවකතාවක් රචනා කිරීම පහසු නොවන්නේ ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.