වැව් ගම්මානවල ගම් රාජකාරි චාරිත්‍ර | සත්මඬල

වැව් ගම්මානවල ගම් රාජකාරි චාරිත්‍ර

වැව පදනම් වූ පුරාණ වැව් ගම්මානවල සිදු කරන පාරම්පරික හා සාම්ප්‍රදායික චාරිත්‍ර අතර තවත් චාරිත්‍රයක් වන්නේ ගම් රාජකාරියයි. පුරාණ වැව් ගම්මානවල ගැමියන්ගේ පාරම්පරික ජීවනෝපාය වන කෘෂිකර්මය මෙන් ම වැව හා ප්‍රාදේශීය දෙවියන් සම්බන්ධ කරගනිමින් මේ ගම් රාජකාරිය චාරිත්‍රය සිදු කරනු ලබයි.

ගම් රාජකාරියේදී සිදු වන්නේ ඉදිරි කන්නය සඳහා වැවට නිසි පරිදි වැස්ස ලැබී වැව පිරී ඉතිරී ඉන් ගොවිතැන් බත සරුසාර කරන්නැයි දෙවියන්ගෙන් ඉල්ලා සිටීම ය. එමෙන් ම මේ ආකාරයට පෙර කන්නයේදී දෙවියන්ට වූ බාරහාර ඔප්පු කිරීම ද මෙහි දී සිදු වේ. නැඟෙනහිර පළාතේ පදවි - ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැරැණි වැව් ගම්මානයක් වන පරණමැදවච්චිය ගම්මානයේ ගම් රාජකාරිය චාරිත්‍රය අදට ද සිදු වේ. පදවි - ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට ගම් රාජකාරිය චාරිත්‍රය සිදු වන්නේ ද මේ ගම්මානයේ පමණි.

ගම් රාජකාරිය චාරිත්‍රය ආරම්භ වන්නේ පාරම්පරිකව ගම් රාජකාරි චාරිත්‍රය ඉටු කළ කපු පරම්පරාවක කපුරාලට බුලත් අතක් දී චාරිත්‍රය සිදු කිරීම සඳහා දිනයක් ලබා ගැනීමෙන් ය. මේ චාරිත්‍රය දින දෙකක් පුරා පැවැත්වෙන හෙයින් බොහෝ දුරට මෙකී චාරිත්‍රය අඟහරුවාදා හා බදාදා යන දෙදින පැවැත්වීමට දින යොදා ගැනීම සිදු වේ.

මේ චාරිත්‍රයේදී කතරගම දෙවියන්, වල්ලි අම්මා සහ පත්තිනි මෑණියන් වැනි ප්‍රකට දෙවි දේවතාවන් මෙන් ම ප්‍රාදේශීය වශයෙන් දෙවියන් යැයි සැලකෙන ඉලන්දාරි, කම්බිලි හඳුන්කුමාර, වැවේ බණ්ඩාර, වෙලේ බණ්ඩාර, මලේ බණ්ඩාර, ගලේ බණ්ඩාර, හිඟුරක බණ්ඩාර, පනම් බණ්ඩාර, අයියනායක වැනි දෙවිවරුන් සිහි කරමින් මේ චාරිත්‍රය සිදු කරන බව මෙකී චාරිත්‍රය වර්තමානයේ සිදු කරන කපුරාල සහ ගම්මානයේ ගැමියෝ සඳහන් කරති.

චාරිත්‍රය සඳහා කපුරාල දින ලබා දීමෙන් පසු ගමේ ජීවත් වන ගැමි පවුල්වලින් අදාළ චාරිත්‍රයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ එක්රැස් කිරීම සිදු වේ. මෙසේ එකතු කරනු ලබන ද්‍රව්‍ය වන්නේ හාල්, පොල්, කැවුම්, බුලත්, පුවක් සහ මුදලින් යම් ප්‍රමාණයකි (යම් හෙයකින් අතීතයේදී මේ චාරිත්‍රය සඳහා මුදල් එකතු කිරීමක් නොකළා විය හැකි ය). මෙවැනි කටයුතුවලට මැදිහත් වන්නේ සමාජ හා ආගමික කටයුතු සඳහා ගම්මානයේ විශ්වාසය දිනාගෙන සිටින පුද්ගලයා හෝ පුද්ගලයන් ය.

චාරිත්‍රය ඉටු කිරීමට පෙර එකතු කරන මේ දේවල්වලින් කැවුම් 50ක් සහ බුලත් 50ක් පමණ කිසිදු ආකාරයකට ඉඳුල් නොකර චාරිත්‍රයේ පළමු කර්තව්‍යය හෙවත් පනම් බැඳීමේ චාරිත්‍රයට (මෙයට ඉලන්දාරි දෙයියන්ගේ මඩේ යනුවෙන් ද ව්‍යවහාර කෙරේ) යොදා ගනී. චාරිත්‍රයේ පළමු අදියර වන පනම් බැඳීම යටතේ සිදු වන්නේ චාරිත්‍රයට නියම කරගත් අඟහරුවාදා දිනයේ සවස ගමේ වැවට ගොස් කපුරාල දෙවියන්ට කන්නලව් කිරීම ය. කන්නලව්වට පෙර වැව් බැම්මේ තෝරාගත් ස්ථානයක සුදු රෙදි කඩක් එළා ඒ මත කැවුම් 50ක් සහ බුලත් 50ක් තබනු ලැබේ. අනතුරුව කපුරාල මිණිගෙඩි සොලවමින් දේව කන්නලව්ව සිදු කරයි. මෙකී දේව කන්නලව්වෙන් පසු සුදු රෙදි කඩ මත තබා ඇති කැවුම් සහ බුලත් යනාදියට කූඹියකු වැනි සතකුගෙන් හෝ හානියක් නොවන බව ගැමියෝ විශ්වාස කරති. මෙකී දේව කන්නලව්ව නිමා කිරීමෙන් පසුව සුදු රෙදි කඩ මත තැබූ කැවුම් සහ බුලත් යනාදිය ද පසුදා හිමිදිරිය වන තෙක් වැව් බැම්මේ තැබීම සිදු වේ. අදාළ කන්නලව්ව කිරීමෙන් අනතුරුව කපුරාල එකී ස්ථානයෙන් ඉවත් වී යයි.

දේව කන්නලව්වට පසු දා කපුටා කෑගැසීමට පොරොතුව හිමිදිරියේ ම වැවට ගොස් පෙරදා සුදු රෙදි කඩ මත තැබූ කැවුම් හා බුලත් යනාදිය එක පොදියකට බැඳගෙන ආපසු ගෙන ඒම සිදු වේ. මෙකී ආරම්භක චාරිත්‍රයෙන් පසුව චාරිත්‍රයේ දෙවැනි අදියර හෙවත් වල්ලිඅම්මාගේ දානය ආරම්භ වේ. වල්ලිඅම්මාගේ දානය සඳහා සුදුසු ස්ථානයක් කලින් ම වෙන් කරගැනීම සිදු වේ. සාමාන්‍යයෙන් මෙය සඳහා යොදාගනු ලබන්නේ ගම්මානයේ ගැමියන් නිතර එක්රැස් වන හෝ එසේ එක්රැස් වීමට සුදුසු යැයි තීරණය කර ගන්නා ස්ථානයක් ය. එසේ වෙන් කරගන්නා ස්ථානය මනාව පිරිසුදු කර ගැනීම ද එහිදී සිදු වේ. මෙලෙස පිරිසුදු කරගත් ස්ථානයේ තරමක් සවිමත් කෝටු සතරක් සිටුවා ඒවා ද උපකාර කරගනිමින් මිනිසාගේ උසට වඩා අඩු උසකින් සුදු රෙදි කඩකින් වියනක් බඳිනු ලැබේ. අනතුරුව සිටුවා ගත් ලී කෝටු මත බෝල්පනා අතු එල්ලීම සිදු වේ. චාරිත්‍රයේ ප්‍රධාන අංගය වන කිරි ඉතිර වීම සිදු වන්නේ මේ ස්ථානයේ ය. මේ කිරි ඉතිර වීම කුඩා මැටි මුට්ටියක් යොදාගනිමින් සිදු කරන අතර, මේ කිරි ඉතිර වීමට සූදානම් කළ මේ මුට්ටිය හඳුන්වන්නේ රජ හැළිය යනුවෙනි. මේ චාරිත්‍රය සිදු කරන කපුරාල උදෑසනට ආහාර නොගන්නා අතර, කැවිලි ආහාරයට ගෙන තේ පානය කිරීම පමණක් සිදු වන අතර, එය ද මෙතෙක් පැවැති සම්ප්‍රදායකි. මේ පූජාව සඳහා පූජා භාණ්ඩ ලෙස පොල් ගෙඩියක්, බුලත් සහ අලුතින් නෙළාගත් වී වට්ටියක් ද යොදා ගනු ලැබේ. පූජාවේදී කිරි අතුරා පූජා භාණ්ඩ හා මිණිගෙඩි යොදාගෙන දෙවි දේවතාවන්ට කන්නලව් කිරීමක් ද සිදු වේ.

රජ හැළිය ඉතිර වීමත් සමඟ ම චාරිත්‍රයේ තවත් අදියරක් දියත් වේ. එනම් ගම් රාජකාරියට සහභාගි වන ගම්මානයේ ගැමි දරුවන්ට මෙන් ම ගම්මානයේ ජීවත් වන්නන් සඳහා සූදානම් කරන දිවා භෝජනයයි. මෙකී භෝජනය සඳහා ද යොදා ගන්නේ එකී චාරිත්‍රයට ම සුවිශේෂ සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුවකි. එනම් බත්, වට්ටක්කා මාළුව, ගංසූරිය කොළ මැල්ලුම (ගංසූරිය කොළ නැති නම් මඤ්ඤොක්කා කොළ හෝ හෝ මුරුංගා කොළ ගනු ලැබේ), සියඹලා හොද්ද (සියඹලා හොද්ද පිළියෙල කිරීමේ යම් අපහසුතාවක් තිබුණේ

නම් කිරි හොද්දක් පිළියෙල කරනු ලැබේ) යනාදිය ය. එනම් මේ ආහාර වට්ටෝරුවේදී බත් සමඟ එළවළු මාළුවක්, මැල්ලුමක් සහ හොද්දක් යොදාගැනීම සිදු වේ. මෙයට කරවල යනාදි කිසිදු පිලී වර්ගයක් යොදා නොගනී. ගම් රාජකාරියට දායකත්වය දක්වන වැව් ගම්මානයේ සෑම දෙනකුම මෙකී චාරිත්‍රානුකූල දිවා භෝජනයට සහභාගි වන අතර ඒ සියල්ලන්ට ඉහත සඳහන් කළ ආහාර පිරිනැමීම සිදු වේ. විශේෂත්වය වන්නේ මෙකී ආහාර පිළියෙල කිරීම සඳහා ද වැව් ගම්මානයේ වැඩිහිටි ගැහැනු සහ පිරිමි සහභාගි වීම ය. දිවා භෝජනය සැකසීමෙන් අනතුරුව ළමා ළපටියන්ට මුලින් ම ආහාර වර්ග බෙදීම සිදු වන අතර, රජ හැළියේ ඇති කිරිබත් ගුළි කර කිරිබත් ගුළි ද ළමුන්ට බෙදා දීම සිදු වේ. අනතුරුව ගම් රාජකාරිය චාරිත්‍රයට සහභාගි වන සියලු දෙනාට ද දිවා භෝජනය පිරිනැමේ.

මෙකී චාරිත්‍රවලින් පසුව ගම් රාජකාරියේ අවසන් චාරිත්‍රය ඉටු කිරීමේ අවස්ථාව උදා වේ. අවසන් චාරිත්‍රය වැව් ගම්මානයේ ඇති වැවේ වැව් බැම්ම මත සිදු කරන අතර, එයට අවශ්‍ය ප්‍රධාන ආහාර ද්‍රව්‍යයක් වන්නේ වැව් ගම්මානයේ වැවෙන් ම අල්ලා ගෙන පිසූ වැව් මාළු ය. බදාදා රාත්‍රියේ සිදු කිරීමට නියමිත මේ චාරිත්‍රයට අවශ්‍ය වැව් මාළු අල්ලා ගැනීම සඳහා තෝරා ගත් ගැමියන් කිහිපදෙනකු බදාදා උදෑසන හෝ මධ්‍යහ්නට පෙර වැවට පිටත් කෙරේ. බොහෝ විට කරක්ගෙඩිය භාවිතයෙන් මාළු අල්ලා ගැනීම සිදු වන අතර, කරක්ගෙඩිය යොදා ගනිමින් මාළු අල්ලා ගැනීමට නොහැකි අවස්ථාවක වෙනත් උපක්‍රමයකින් මාළු අල්ලා ගැනීම සිදු වේ. මාළු අල්ලාගෙන පැමිණි පසු මාළු ශුද්ධ පවිත්‍ර කර එය පිසින තෙක් ඒවයෙහි ලුණු සහ කහ ගල්වා තබනු ලැබේ. සාමාන්‍යයෙන් මෙහි දී තරමක් වැඩියෙන් වැව් මාළු අල්ලා ගැනෙයි. සවස් වරුවේ මෙකී මාළු පිස ගන්නා අතර, රාත්‍රි චාරිත්‍රයට එය රැගෙන යන්නේ ඉන් අනතුරුව ය. මෙකී චාරිත්‍රයට යොදා ගනු ලබන්නේ වැව් ගම්මානයේ ප්‍රධාන වැවෙන් ම අල්ලා ගත් වැව් මාළු වන අතර, එකී වැවේ මාළු නැති නම් ආසන්න ම වැවෙන් වැව් මාළු අල්ලා ගැනීම සිදු කෙරේ. මෙයට හැකි සෑම විටෙක ම උත්සාහ ගනු ලබන්නේ වැව් මාළු යොදා ගැනීමට වන අතර, වැවේ මාළු නැති නම් පමණක් මුහුදු මාළු යොදා ගැනීම සිදු කෙ‍රේ. කෙසේ වුව ද මේ පූජාවට ඌරු මස් යනාදි මාංස වර්ග භාවිත කරනු නො ලැබේ.

රාත්‍රියේදී වැව් බැම්ම මත සිදු කරන අවසන් චාරිත්‍රය සඳහා සහභාගි වන්නේ ගම්මානයේ පිරිමි සාමාජිකයන් පමණි. අවසන් චාරිත්‍රයේදී අයියනායක දෙවියන්, ඉලන්දාරි දෙවියන් සහ වන්නි දෙවියන් යන වියළි කලාපයේ ජනතාව අදහනු ලබන දෙවියන් තිදෙනා සඳහා වැව් බැම්ම මත කිරිබත් මුට්ටි තුනක් පිළියෙල කරනු ලැබේ. එමෙන් ම මේ පූජාවට බත්, පරිප්පු හොදි මෙන් ම වැව් මාළු යොදා ගන්නා අතර, මුට්ටි තුනේ පිසිනු ලබන කිරිබත් ගුලි කර ඒවා ද පූජාවට එක් කර ගනු ලැබේ. කෙසේ නමුත් රාත්‍රී පූජාවට යොදා ගන්නා බත් ඇතුළු ආහාර ද්‍රව්‍ය නැවත ආහාරයට ගැනීමක් සිදු නො කෙරේ. අනතුරුව වැව් බැම්මේ තෝරාගත් ස්ථානයේ සුදු රෙදි කඩක් එලා ඒ මත බුලත් 07ක්, පුවක් 07ක් සහ කැවුම් 07ක් බැඟින් තබනු ලැබේ. ඉන් පසුව කපුරාල දෙවියන් උදෙසා කරන යාතිකාව ආරම්භ කරනු ලැබේ. මේ යාතිකාවේදී කපුරාල දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ වැව ජලයෙන් පිරී යන තරමට වැස්ස ලබාදෙන ලෙසත්, වැව් ජලයෙන් සිදු කරනු ලබන ගොවිතැන් බත සරුසාර වන ලෙසත් සහ ගම්මානයේ වැසියන් ලෙඩ රෝග හා අනෙකුත් උපද්‍රවවලින් ආරක්ෂා කරදෙන ලෙසත් ය. කපුරාල මෙකී යාතිකාව අවසන් කිරීමත් සමඟ ගැමියකු තුවක්කුවක් යොදා ගනිමින් වැවට වෙඩිල්ලක් තැබීම සිදු වේ. අද වන විට තුවක්කු භාවිතය සීමා වීම හේතුවෙන් මේ වැව් ගම්මානයේ ගැමියෝ විසින් තුවක්කුවෙන් වැවට වෙඩි තැබීම වෙනුවට අලි වෙඩිල්ලක් වැවට දැමීම සිදු කරති. අනතුරුව අදාළ ස්ථානයේ දුම්මල ඇල්ලීමක් සිදු කරන අතර, එකී කර්තව්‍යයෙන් පසුව සුදු රෙදිකඩ මත තැබූ බුලත්, පුවක් හා කැවුම් යනාදිය අසුරාගෙන ගම්මැද්දට එමෙන් පසු ගම් රාජකාරියේ අවසන් චාරිත්‍රය ද නිමා වේ.

ගම් රාජකාරියේ අවසන් චාරිත්‍රයේදී මුට්ටි තුනක පිළියෙල කරනු ලබන කිරිබත් ආපසු රැගෙන එන අතර, එය ළමා ළපටින්ට කෙසෙල් කොළවලට බෙදා දීම සිදු වේ. මේ කිරිබත පිඟන්වලට බෙදා දීමක් සිදු නොවන අතර, කෙසෙල් කොළ හෝ වෙනත් ගැළපෙන කොළ වර්ගයකට බෙදා දීම සිදු කෙරේ.

ගම් රාජකාරියේ සියලු චාරිත්‍ර නිමා වීමෙන් පසු කපුරාල පසු දින (එනම් බ්‍රහස්පතින්දා උදෑසන) චාරිත්‍රයන් සිදු කළ ගම්මානයෙන් පිටත් වන අතර, පූජාව සඳහා එක් කළ ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ හා මුදල් ඉතිරි වී ඇත් නම් ඒවා සියල්ල ද කපුරාලට ලබා දීම සිදු වේ. ඉතිරි වූ එකී කළමනා නැවත ගැමියන් අතර බෙදාදීමක් සිදු නො වේ. වියළි කලාපයේ වැව් ගම්මානවල අතීතයේ සිට පැවැත ආ මෙකී ගම් රාජකාරිය චාරිත්‍රය වර්තමානයේ ඉතා දුර්ලභ ය. යම් හෙයකින් අතීතයේදී මේ චාරිත්‍රය මෙයට වඩා වෙනස් ආකාරයකට සිදු කළා ද විය හැකි ය. එසේ වුව ද මෙකී චාරිත්‍රය අද වන විට භාවිතයේ පවතින්නේ මේ ආකාරයෙනි. දැනට වියළි කලාපයේ බොහෝ දුරට සිදු වන වැව හා වැව් ගම්මාන ආශ්‍රිතව සිදු වන චාරිත්‍රය වන්නේ මුට්ටි නැමීමේ චාරිත්‍රය ය. විශේෂයෙන් ම පදවිය සහ පදවි - ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මුට්ටි නැමීමේ චාරිත්‍රය සිදු වන්නේ පදවිය වැව පදනම් කර ගනිමිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.