අමෙරිකානු සාහිත්‍යයෙහි එන ආසියානු සෙවණැල්ල | සත්මඬල

අමෙරිකානු සාහිත්‍යයෙහි එන ආසියානු සෙවණැල්ල

මා මීට පෙර සඳහන් කළ අන්දමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයකම ආසියානු සංක්‍රමිකයන්ගේ බලපෑම සාහිත්‍ය කලා කෙරෙහි නොමඳව දැක ගන්නට ලැබෙන බව අවධාරණය කළ යුතු ය. ‘ධර්ම බම්ස්’ නවකතාව පෙරදිග සාරධර්ම හා සෙන් බෞද්ධ දෘෂ්ටිවාදය ප්‍රකට කෙරෙන උසස් නවකතාවක් ලෙස විචාරකයෝ දකිති.

ඉපැරැණි මාෂල්සියා සිරගෙදරත්, සපත්තු කම්හලත් නොපැවැතියේ නම් එංගලන්තයෙන් චාල්ස් ඩිකන්ස් කෙනෙක් බිහි නොවන්නේ ය. බිම් මුළුතැන්ගෙය, කැඩුණු සපත්තු අඩි හා බැඳුණු අධ්‍යාපනයේ අඳුරු සෙවණැලි දක්නට නොතිබුණේ නම් එච්.ජී.වේල්ස් කෙනෙක් බිහි නොවන්නේ ය. එක්තරා බටහිර විචාරකයකු පවසා ඇති මේ කියමනෙන් ගම්‍ය වන්නේ සාහිත්‍යකරුවා යනු තමා ඇසුරු කරනු ලබන සමාජ වටපිටාවේ අතුරුඵලයක් යන්න ය. සාහිත්‍යකරුවා යනු කාලීන සමාජ නිෂ්පාදනයක් යන්න ය.

18 සහ 19 වැනි ශතවර්ෂවලට වඩා විසි වැනි සියවස ආරම්භ වන විටම ජගත් සාහිත්‍ය හා කලාවෙහි විවිධ පැතිකඩ කෙරෙහි කාලීන සමාජ ධාරණවල බලපෑම පෘථුල වශයෙන් දැකගත හැකි වන්නේ ය. රාජාණ්ඩුක්‍රම හා වැඩවසම් සමාජ සංකල්ප බිඳ වැටීම, ධනවාදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, යටත්විජිතවාදය නැඟ ඒම, ආගමික සිතුම් පැතුම්වලට අභියෝග කරමින් විද්‍යාත්මක දැනුම හා දර්ශනවාද පැතිර යෑම, මාක්ස්වාදයේ ව්‍යාප්තිය ආදි කාරණා නිසා මිනිස් චින්තන රටාව බලවත් වෙනසකට බඳුන් විය. මෙහි දී සමහර බටහිර සාහිත්‍යකරුවන් මේ සමාජ වෙනස් වීම පිළිබඳ අවදි වූ මනසකින් සිටි බවත් සමහරුන් බටහිරට උරුම වූ පැරැණි පැසිස්ට් චින්තනයේම ඇලී ගැලී සිටි බවත් බටහිර සාහිත්‍යකරුවන් තත්කාලීන නිර්මාණ ඇසුරු කරන විට අපට පෙනී යයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ඉන්දියාවෙහි යටත්විජිත නිලධාරියකු ලෙස ‍සේවය කළ රඩ්යාඩ් කිප්ලින් නමැති ලේඛකයා (1865 – 1936) නැඟී එන නව චින්තනය පිටු දුටු පැසිස්ට්වාදි චින්තනයක් සහිත ඉංග්‍රීසි ලේඛකයකු ලෙස සමහර විද්වත්හු දක්වති. ඔහු යටත්විජිත පාලකයන් වෙනුවෙන් සේවය කළේ ය. ඔවුන් උදෙසා කලා නිර්මාණ බිහි කළේ ය. ඔහු සුදු අධිරාජ්‍යවාදි පාලකයන් තුළ පැවැති අධිපතිවාදි මානසික තත්ත්වය කිසි විටෙකත් බැහැර නොකළ බව ඉන්දියාව ඇසුරු කරගෙන ඔහු කළ ගද්‍ය හා පද්‍ය නිර්මාණවලින් ගම්‍ය වෙයි. ඔහු සාඩම්බරයෙන් යුතුව අවධාරණය කළේ පෙරදිග හා අපරදිග කිසි ලෙසකවත් පෑහෙන්නේ නැති බවයි. “East is East and West is West..” ඔහුගේ එක් කවියක ආරම්භක වැකියකින් එය අවධාරණය කරයි. එවැනි පටු සමාජ ආකල්පයක සිරව ඔහු තම නිර්මාණ බිහි කළ ද ඒ වන විට ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රකට කවියන් හා ලේඛකයන් නව සමාජ චින්තනයකින් සන්නද්ධව සිටි බවත්, ඔවුන්ගේ නිර්මාණ බටහිර සාහිත්‍යය නව මාර්ගයකට ප්‍රවිෂ්ට කිරීමට සමත් වූ බවත් අපට පෙනෙයි. ටී.එස්. එලියට්, මැතිව් ආනෝල්ඩ්, ක්ලිච් බෙල්, ලොනාඩ් වුල්ෆ්, ඊ. එම්. ෆෝස්ටර්, ජෝර්ජ් ඕවල් වැනි සාහිත්‍යකරුවන් ආසියාව පිළිබඳ වූ නව චින්තනයේ පෙරටුගාමී ලෙසින් සැලකිය හැකි ය.

මේ ඓතිහාසික සමාජ පසුබිම ඔස්සේ අප මඳකට හෝ තැත් කරන්නේ 17, 18 සහ 19 ශතවර්ෂවල අමෙරිකාවේ සාහිත්‍යය කලාවක් බිහි වීමට පසුතලය නිර්මිත වූ ආකාරය හා එයට ආසියානු දායකත්වය කෙසේ වීද යන්න ගැන කෙටියෙන් විමසා බැලීමට ය. බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය ජනයාගේ සංක්‍රමණය ප්‍රමුඛ කොට ගෙන අමෙරිකානු සමාජය බිහි වූ බව අපි දනිමු. එහි සාහිත්‍ය බොහෝකොටම ඉංග්‍රීසි සාහිත්‍යයේ ආභාසය ඔස්සේ වැඩුණ බවත් දනිමු. මේ අමෙරිකානු සාහිත්‍යය ඉංග්‍රීසි සාහිත්‍යයට නෑකම් කිව ද පූර්ණ වශයෙන් ඉංග්‍රීසි සාහිත්‍යයෙන් වෙනව අමෙරිකානු භූමි මත රෝපණය වුණු සාහිත්‍යයක් වන්නේ ය. එරට අනෙකුත් කලා ද එසේ ම ය. ජනපද පිහිටුවා ගැනීමේ අවධියේ සිට මේ දක්වා අමෙරිකානු සාහිත්‍යයේ සංගත මූලික ධාරණා ගැන පූර්ණ ගවේෂණයක යෙදෙමින් මාර්කස් කන්ලිපෆි නම් විද්වතා රචිත ‘The Literature of the United States’ නම් කෘතියේ පෙරවදනෙහි සඳහන් වන මේ විස්තරයෙන් එරට සාහිත්‍යයේ සමාරම්භක අවධිය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගත හැකි වන්නේ ය. ඔහු තැනක මෙසේ දක්වයි.

“තවත් අතකින් විමසා බැලුව හොත් අමෙරිකානු සාහිත්‍ය අප ආගන්තුක බවක් මෙන්ම කුලුපග බවක් පිළිබඳ කුතූහලයක් දනවයි. අමෙරිකාව යනු යුරෝපා ව්‍යාප්තියේම එක්තරා දිගුවකි. එහි ජීවත්වන්නෝ යුරෝපය මුල් බිමකොට ගත් ජාතීහු ය. ඒ හැරුණ විට සිය කැමැත්තෙන් එරටට පැමිණි සංක්‍රමිකයනුත්, අප්‍රිකානු කලාපවලින් පැමිණි, විශේෂයෙන් නීග්‍රෝ වහලුන් හා වෙනත් ජාතින්ගෙනුත් අමෙරිකානු සමාජය නවීකරණයට පත්ව තිබෙන්නේ ය. එහෙත් අමෙරිකානු සමාජයේ මූලික ව්‍යූහය නිර්මාණය වී ඇත්තේ යුරෝපීය ජාතීන්ගේ, විශේෂයෙන් බ්‍රිතාන්‍ය ජාතීන්ගේ සංක්‍රමණිකයන්ගේ සම්පර්කය හේතු කොට ගෙන ය. සංස්කෘතික වශයෙන් බලන කල අමෙරිකාව යනු යුරෝපීය කොලනියකි.

එහෙත් මේ අමෙරිකානු භූමිකාවේ එරටට සුවිශේෂ වූ සමාජ සංකීර්ණතාවක් දක්නට ලැබේ. වෙනත් යුරෝපීය කොලනිවල මෙහි මෙන් ශීඝ්‍ර ජනගහන වර්ධන වේගයක් දක්නා නොලැබේ. එසේ ම යුරෝපයෙන් වෙන්වුණු දේශපාලන ස්වාධීනතාවක් මෙහි දක්නා ලැබේ. යුරෝපීය සම්භවය සහිත අනෙකුත් රටවල දක්නට නොලැබෙන අන්දමේ තියුණු ආකෘති වෙනක් මෙහි දැකිය හැකි අතර මුල් සංස්කෘතිවල දක්නට ලැබෙන උත්තරීතර සංස්කෘතික ගුණාංග මෙහි අන්තර්ගතව නැත්තේ ය.

අමෙරිකානු ඉතිහාසය හා එහි සාහිත්‍ය විකාශනය දෙස විමසුම් බැල්මක් හෙළන විට එකවරම පෙනී යන්නේ පැරැණි ලෝකයේ හා නව ලෝකයේ අවශ්‍යතා අතර පවතින්නා වූ දෙබිඩි ස්වරූපයයි. ඊයේ දිනය අවලංගු වෙමින් තිබේ. ඒ වෙනුවට හෙට දිනය බියකරු ලෙස උදාවෙමින් තිබේ. අමෙරිකානුවන් සාහිත්‍ය නිෂ්පාදන කෙරෙහි විශේෂ වූ නැඹුරුවක් දක්වන්නේ නැත. අමෙරිකානු ලේඛකයෝ යුරෝපීය ලේඛකයන් කෙරෙහි ඊර්ෂියාව දක්වති. නිර්මාණත්මක ක්ෂේත්‍රයේදී එනම් නවකතාව කවිය හා නාටකය වැනි විෂයයෙහිදී එරට පදිංචිව සිටිනා කෙනකුට මේ සත්‍ය පැහැදිලිව දැක ගත හැකි වන්නේ ය. එසේ වුව ද දැවැන්ත විචාරය, ඉතිහාස විශ්ලේෂණය හා සංවාද පැවැත් වීම අමෙරිකානුවන්ට එතරම් කජ්ජක් නොවේ.

අමෙරිකානු සාහිත්‍යයේ දක්නට ලැබෙන ඉහත දැක්වෙන ද්විත්ව ස්වභාවයට පාදක වූ හේතු කිහිපයක්ම දැක්විය හැකි ය. 17 වැනි සියවසේ යුරෝපයෙන් පැමිණි පිරිස් ‘නව එළිසබත් සාහිත්‍ය යුගයක්’ බිහි කිරීමට එක් පැත්තකින් උත්සාහ කළෝ ය. එනමුත් දහ අට සහ දහ නව වැනි සියවසින් පසු පැමිණි සංක්‍රමිකයන් අමෙරිකානු සාහිත්‍ය නව මඟකට අවතීර්ණ කළ බවක් දැකිය හැකි ය. විශේෂයෙන් මධ්‍යම ආසියාව රුසියාව ඇතුළු යුරල් කඳුවැටියට නැ‍ඟෙනහිර ප්‍රදේශවලින් මෙන් ම ඉන්දියාව, පාකිස්ථානය, තායිලන්තය, චීනය, ජපානය සහ ඉන්දුනීසියාව වැනි රටවලින් සංක්‍රමණය වී සිටි ආසියානු සම්භවයක් සහිත අමෙරිකානුවන් සාහිත්‍යය කලාවල මෙන් ම එරට දේශපාලන සංස්කෘතියෙහි ද ප්‍රබල වෙනස්කම් ඇති කොට තිබෙන බව විද්වත්හු පෙන්වා දෙති. අද වන විට මිලියන හත අටකට අධික ආසියානුවන් පිරිසක් අමෙරිකානු දේශපාලනය හා සමාජ වින්‍යාසය වක්‍රාකාරයෙන් හසුරුවනු ලබන බව ඔවුහු තවදුරටත් පෙන්වා දෙති. අද වන විට කැලිෆෝනියාව, ඉලිනොයිස්, නිව්යෝර්ක්, නිව්ජර්සි හා හවායි යන ජනපදවල බහුල වශයෙන් වෙසෙන ආසියානු සුළු ජාතිකයන්ගේ ජන සම්මිශ්‍රිතය ඒ ප්‍රදේශවල ආසියානුවන්ට ‍අනන්‍ය වූ සංස්කෘතික හා භාෂා වෙනස්කම්වලට අනුව හැඩ ගැසෙමින් සිටිනු පෙනෙයි. ඔවුහු යුරෝපයෙන් පැමිණ එහි පදිංචි වූ අනෙක් සංක්‍රමිකයන්ට වඩා වෙනස් සංස්කෘතික ගති ලක්ෂණවලින් හික්ම වූවෝ වෙති. පරම්පරා කිහිපයක් ගත වුව ද ඔවුන් යුරෝපීයන් හා එක්ව වැඩුණ ද සංස්කෘතික ගති ලක්ෂණ ඇති ආසියානු හැඩගැස්ම වෙනස් වී නැත. යුරෝපීයයන් ඉතා පහසුවෙන් අමෙරිකානුවන් බවට පත් වුව ද ආසියානුවන් අමෙරිකානුවන් බවට පත් වීම පිණිස කලක් ගත වනු ඇත.

ඒ අතර අපගේ අවධානය යොමු විය යුත්තේ මේ ආසියානු අමෙරිකානුවන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කොට ඇති ආසියානු අමෙරිකානු සාහිත්‍ය දර්ශනපථය හා දෘෂ්ටිවාදි සංකථනය අමෙරිකානු ප්‍රධාන සාහිත්‍ය ධාරාවේ විභවතාව කෙරෙහි බලපෑම් කර ඇත්තේ කුමන ආකාරයෙන් ද යන්න ගැන ය.

මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතු බව ඇල්බඩ් ඩී. වැන් නොස්ට්‍රන්ඩ් නම් විචාරකයා විසින් පෙන්වා දෙනු ලබන අතර මේ ආසියානු සංකල්ප හා දෘෂ්ටිවාදි සංකථන අමෙරිකානු සංදර්භයේ පෑහීමකට පත් වන්නේ කෙසේ ද යන්න ගැන ද අවබෝධයක් ලබාගැනීමට උත්සාහ ගත යුතු බව ය.

බ්‍රිතාන්‍යයේ නව සම්භාව්‍යවාදයෙන් සහ නව එංගලන්තයේ ‘අතිපාරිශුද්ධ සාහිත්‍යවාදයෙන්’ මුල් යුගයේ බලපෑම් ලද අමෙරිකානු සාහිත්‍යකරුවෝ ඉන් සෑහීමකට පත් නොවූහ. ‘අති පාරිශ්‍ර්දධ’ විචාර වාදයේ යම් යම් සාධනීය අගයන් කෙරෙහි නැඹුරුතාවක් දැක් වූ ඔවුහු සාහිත්‍යකරුවා පටු සදාචාරවාදයෙන් මිදිය යුතු බව පවසා සිටියහ. ලාභයට කෑදරකම් දක්වන අමෙරිකානු චරිතවලට ආධ්‍යාත්මික බාම් තැවරීමක් ලෙස වැන්බෲක් නම් විචාරකයා මේ සදාචාර බලපෑම් විග්‍රහ කළ අතර ජොන් රැන්සම් විචාරකයා පවසා සිටියේ එය කතාකරුවාගේ අත්දැකීම මූර්තිමත් කිරීම පිණිස ගන්න ලද තාක්ෂණික උත්සාහයක් ලෙස ය. ඒ කෙසේ වුව ද අමෙරිකානු සාහිත්‍ය කෙරෙහි පවත්නා සදාචාර බලපෑම ඔවුහු පිළි ගත්හ. මේ ශක්ති සම්පන්න සදාචාර බලපෑම ඔස්සේ නවකතාවල චරිතවලට කිසියම් විමුක්තියක් උදා කරවන බවත්, එය මානව සම්බන්ධතා තහවුරු කිරීමට හේතු වන්නක් බවත් සමහර විචාරකයෝ පෙන්වා දුන්හ.

අමෙරිකානු සාහිත්‍යයේ මේ සදාචාර වූ මතවාදය තහවුරු කිරීමෙහිලා ප්‍රබල විචාර පදනමක් සැපයුණේ 1930 වර්ෂයේ ය. විලියම් සි බ්‍රවනෙල් නමැති සාහිත්‍ය විචාරකයා ප්‍රමුඛ කණ්ඩයම විසින් ඉදිරිපත් කළ මේ විචාර සංකල්පය හැඳින්වෙන්නේ නව මානව හිතවාදය ‘New Humanism’ නමිනි. සාහිත්‍යකරුවා විසින් ඉදිරිපත් කරනු ලබන සාහිත්‍ය අත්දැකීමෙන් ගම්‍යවන්නා වූ සදාචාර වටිනාකම් කෙරෙහි විචරකයා මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු බව ද මොවුහු පෙන්වා දුන්හ. එහෙත් එහි පදනම යථාර්ථවාදි විය යුතු ය. මිනිසා මුහුණදෙන ස්වාභාවික බලවේග මෙන් ම නොපෙනෙනා බලවේග ද සංකේතානුසාරයෙන් නිරූපණය වීමත් එයින් මිනිස් ජීවිතයට සදාචාරමය පිටුබලයක් ලැබීමත් අවශ්‍ය වන්නේ ය. කලාකරුවා සහ ජනතාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පැවැතිය යුතු අතර කතා 

අන්තර්ගතයේ පවත්නා ප්‍රබලතාව ඔස්සේ මිනිසා ශ්‍රේෂ්ඨත්වයට පත් කළ යුතු බවත්, අත්දැකීම් ප්‍රක්ෂේපණය ඔස්සේ මනුෂ්‍යත්වය ඔප්නැංවිය යුතු බවත් මේ විචාරක ගුරුකුලය විසින් පෙන්වා දෙන ලදි. මේ සංකල්පය පසුව තවත් සංවාදයන් ඔස්සේ මාක්ස්වාදි විචාර සිද්ධාන්තය කෙරෙහි යොමු වන සැටි ද දක්නට ලැබෙයි. ජේම්ස් ටී ෆෙරෙල්ගේ ‘A Note on Literary Crititism’ කෘතිය ඔස්සේ මේ විචාර වාද නව ප්‍රවේශයකට යොමු වන අයුරුත්, අනතුරුව මනෝවිද්‍යාත්මක සංදර්භ හා විවිධ භාෂා ආධිපත්‍ය හා ශිල්ප ක්‍රමයන් වෙත යොමු වන අයුරුත් අපට දැක ගත හැකි වන්නේ ය.

යුගයක පවත්නා ආර්ථික, සදාචාර හා මානසික වාතාවරණය සාහිත්‍ය නිර්මාණවලට මහත් පිටුබලයක් ඇතිකරනු ලබයි. 1940 හා 50 දශකවල අමෙරිකාවේ තරුණ පරපුරේ පැතිර යමින් පැවැති දැඩි අසහනකාරී මානසික ස්වභාවය එරට සාහිත්‍ය ගමන් මඟ වෙනස් වීම කෙරෙහි බලපෑමක් ඇති කර තිබේ. තරුණ පරපුරේ පැවැති සම්ප්‍රදාය විරෝධී ආකල්ප හා ක්‍රිස්තියානිය කෙරෙහි පැවැති විශ්වාසය බිඳී යෑමත් නිසා නව දෘෂ්ටිවාදයක ප්‍රවේශයක් විවර කෙරෙන බවක් අපට අමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය විමර්ශනය කරන විට පැහැදිලි වන්නේ ය. 1946 පමණ වන විට කැලිෆෝනියාවේ තරුණ පරපුර ගෙන යනු ලැබූ සම්ප්‍රදාය විරෝධී අරගලයට එක් හේතුවක් ලෙස දැක්වෙන්නේ පවත්නා ක්‍රිස්තියානු ආගමික දැක්ම මඟින් ඔවුන් සොයන්නා වූ නව ලෝකය විවර නොවන බව ප්‍රකාශ වීම ය. මේ අරබයා සාහිත්‍ය කතිකාවතක් ගොඩනැ‍ඟෙන්නේ ජැක් කැරොයික් නම් ලේඛකයා විසින් ලියනු ලබන ‘On The Road’ සහ ‘The Dharma Bums’ නමැති නවකතා දෙක නිසා ය. මෙහි ‘ධර්ම බම්ස්’ නමින් අර්ථග්‍රහණය වන්නේ ආධ්‍යාත්මික අගය සොයා යන මිනිසා යන්න ය.

මා මීට පෙර සඳහන් කළ අන්දමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයකම ආසියානු සංක්‍රමිකයන්ගේ බලපෑම සාහිත්‍ය කලා කෙරෙහි නොමඳව දැක ගන්නට ලැබෙන බව අවධාරණය කළ යුතු ය. ‘ධර්ම බම්ස්’ නවකතාව පෙරදිග සාරධර්ම හා සෙන් බෞද්ධ දෘෂ්ටිවාදය ප්‍රකට කෙරෙන උසස් නවකතාවක් ලෙස විචාරකයෝ දකිති. සංචාරය හා භාවනාව ඔස්සේ ජීවිතයේ අරත් සොයා යන රේ ස්මිත් නමැති චරිතයක් වඩා ගොඩනැඟුණ මේ නවකතාව මඟින් එතෙක් අමෙරිකාවේ පැවැති ආගමික ඇදහීම් කෙරෙහි කිසියම් අභියෝගයක් එල්ල කෙරුණ බවක් පෙනෙයි. ධර්මය නමැති රියසකෙහි සැබෑ අරුත වන්නේ කුමක් ද? අප සොයා යන්නා වූ වෙනත් උත්තරීතර ලෝකයක් පවතී ද? මිනිසාට උත්තරීතර බව කරා ළඟා විය හැක්කේ කෙසේ ද? චීනයේ සෙන් බෞද්ධ ආගමික දෘෂ්ටිවාදයේ බලපෑම මේ නවකතාවෙන් ගම්‍ය වන අතර එය බ්‍රිතාන්‍ය නවකතා සාහිත්‍යය කෙරෙහි ද බලපෑමක් ඇති කිරීමට සමත් වූ ආකාරය විචාරකයෝ දක්වති.

අප මේ ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වූ මාතෘකාව ප්‍රතිෂ්ඨාත්මක කරමින් ආසියානු සම්භවයක් සහිතව අමෙරිකාවේ ජීවත් වන ලේඛකයෝ සිය සාහිත්‍ය නිර්මාණ ඔස්සේ තමන්ගේ මවුබිමේ ගෙවුණ ජීවිතය මෙන් ම අමෙරිකාවේ ගෙවන ජීවිතය ද තුලනාත්මකව විග්‍රහ කරමින් ලියැවුණු සාහිත්‍ය කෘති රැසක් ම නූතන අමෙරිකානු සාහිත්‍යයට දායාද කොට ඇත්තෝ ය.

 එහිදී බටහිර පවුල් සංකල්පය හා පෙරදිග පවුල් සංකල්පය අතර පවත්නා දුරස්ථතාව, සිය රටෙහි සංස්කාතික වටිනාකම්වල දක්නට ලැබෙන සුවිශේෂතාව, කාමය පිළිබඳ බටහිර හා පෙරදිග පවත්නා සමානතා හා ප්‍රතිවිරෝධතා ආදිය අමෙරිකානු වාර්ගික චරිත ඔස්සේ විවරණය කිරීමට ඔවුහු උත්සාහ දරති.

1909 වසරේදී යුංග් විංග් නමැති චින ලේඛකයා අමෙරිකාවේ ගත කරන ජීවිතය හා චීනයේ ගත කළ ජීවිතය සංසන්දනය කරමින් ලියන ලද ‘පුද්ගල ජීවිත විවරණය’ අමෙරිකාවේ ආසියානු සාහිත්‍යයේ මතක සටහනක් ලෙස ගැනෙයි. චීන සංක්‍රමික ජනතාව කැනඩාවේ හා අමෙරිකාවේ කම්කරු වෘත්ති යෙදෙමින් ඉතා අවම පහසුකම් යටතේ ජීවිතය ගැටගසා ගන්න ගන්නා උත්සාහය ‘සූ ෂින් නහර්’යන අන්වර්ථ නාමයෙන් ලියැවුණු කෘතියෙන් අපට දැක ගත හැකි ය. 1925 වසරේ සුගිමොටෝ නමැති ජපන් ලේඛිකාව පළ කළ ‘සමුරායි දියණිය’ නම් කෘතිය ද මුල් යුගයේ රචිත එවැනි වැදගත් නිර්මාණයකි.

ෆ්‍රැන්සිස්කෝවේ පිහිටි චයිනා ටවුන්හි දිවි ගෙවන චීන ජනතාවගේ ජීවන අත්දැකීම් ප්‍රස්තුත කොට ‘චින් යංග් ලී’ ලියන ලද නවකතාව මෙන් ම ‘ලුවිස් චූ’ ලියන ලද ‘Eat a Bowl of Tea’ නමැති කෘතිය ද මුල් යුගයේ අමෙරිකානු චින ජනතාවගේ ජීවන යථාර්ථය නිරූපිත වැදගත් නවකතා ලෙස සැලකෙයි.

හැත්තෑව දශකය වන විට අමෙරිකානු සාහිත්‍යය කෙරෙහි චින ජාතික ලේඛකයන් හා ඔවුන් ඉදිරිපත් කරනු ලබන සමාජ අත්දැකීම්වල බලපෑම බහුල ලෙස විද්‍යාමාන වේ. මැෂිනි හොංග් කිංස්ටන් නමැති චීන ජාතික අමෙරිකානු ලේඛිකාව විසින් ලියන ලද ‘The Wonan Warrior’ සහ ‘China Men’ නමැති නවකතා දෙක අමෙරිකාවේ මෙන් ම ලොව පුරා සාහිත්‍ය රසිකයන් අතර මහත් ප්‍රසාදයට ලක් විය. කැලිෆෝනියාවේ ජීවත් වන චින කාන්තාවකට මුහුණ දෙන්න සිදු වන අත්දැකීමක් ලෙස විකාශනය කෙරෙන මුලින් සඳහන් කළ කෘතිය අමෙරිකානු විචාරක මණ්ඩලයේ සම්මානයෙන් පුද ලැබී ය. චීන කතා සම්ප්‍රදාය අමෙරිකානු තාත්වික කතා සම්ප්‍රදාය හා බද්ධ කරමින් ඇය ලියූ දෙවැනි කෘතිය ද පාඨක හා විචාරක අවධානයට ලක් විය. මේ දශකයේ චීන නාටක මෙන් ම ටෙලි නාටක ද කලඑළි බසිමින් අමෙරිකානු කලාවේ අන්තර්ගතයේ පෙරළියක් ඇති කරන සැටි දැක ගත හැකි ය. බටහිර ‘වෙස්ටර්න්’ නමින් හැඳින්වෙන කතා සම්ප්‍රදායට චීන සෙන් බුදු දහමේ එන මානව හිතවාදි දර්ශනය සම්මිශ්‍රණය කරමින් ප්‍රබල ආඛ්‍යානයක් ගොඩනැ‍ඟෙන සැටි ‘Kung Fu’ කතාමාලාව පෙන්වා ‍දෙයි. එය ඒ. බී. සී. අමෙරිකානු රූපවාහිනිය ඔස්සේ ලොව පුරා ජනප්‍රිය වූ සැටි අපට පැහැදිලි ය. පසුව එය නවකතා මාලාවක් ලෙස අමෙරිකානු සාහිත්‍යයට ද එක් වෙයි. ඉක්බිතිව බෲස් ලී හඳුන්වා දුන් ‘කුංග් ෆූ’ සටන් චිත්‍රපට මාලාව හොලිවුඩ් සිනමාවේ අන්තර්ගතය කණපිට හැරවීමට සමත් වූ සැටි විචාරකයෝ දක්වති.

පොදුවේ ගත් කල අමෙරිකානු සාහිත්‍ය කලා කෙරෙහි ආසියානු දර්ශන වාදවලින් හා ආසියානු සංස්කෘතිය විසින් කෙරෙන බලපෑම අතිවිශාල ය. මෙහි දී චීන සම්භවයක් ඇත්තන් මෙන් ම රුසියානු, ඉන්දියානු හා මැද පෙරදිග කලාපවල සම්භවය සහිත අමෙරිකානු ජාතිකයන් වෙතින් මේ බටහිර අත්දැකීම් විටෙක ආසියානුකරණය වෙයි. අමෙරිකාවේ වෙසෙමින් සිය වාර්ගික අනන්‍යතාව සහිත ලේඛන ප්‍රවේශයක් විවර කරගැනීමට මේ සාහිත්‍යකරුවෝ දැනටමත් සමත්ව සිටිති. එහෙත් ඔවුන්ගේ වාර්ගිකතාවලට අනුව මේ ආසියානු සමාජ අත්දැකීම් සූචනය කරනු ලබන විලාසයේ එකිනෙකට ප්‍රතිවිරෝධතා දකින්න ලැබෙන බව ද කිව යුතු ය. මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද ‘හැන්ග් කංග්ස්’ වැනි හොංකොං සාහිත්‍යකරුවන්ගේ ඇතැම් කෘතිවල හා දකුණු කොරියානු හා චීන නවකතා රචකයන්ගේ ඇතැම් කෘතිවලත් කාමය හා ‍දේශපාලනය අනවශ්‍ය ලෙස උත්කර්ෂයට නැංවීමට වෑයම් කරන බවක් විචාරකයෝ දක්වති. චීන සම්භවය සහිත සමහර අමෙරිකානු නවකතාකරුවන් චීන සංස්කෘතික විප්ලවය පැවැති සමයේ අත්දැකීම් විදාරණය කරන බව පවසමින් දේශපාලන වශයෙන් තමන් තුළ පවත්නා චීන විරෝධය නවකතාව ඔස්සේ විදාරණය කරන්න උත්සාහ ගන්නා බව නූතන අමෙරිකානු චීන නවකතා අධ්‍යයනය කිරීමෙන් වටහා ගත හැකි ය. එසේම චීන ආධිරාජ්‍ය යුගයේ පැවැති අන්තඃපුර සල්ලාල ජීවන දැක්ම හුවා දක්වමින් මේ චීන සංක්‍රමිකයන්ගේ දෙවැනි හා තෙවැනි පරපුර වාණිජ අරමුණින් යුතුව නවකතාකරණයේ යෙදී සිටිනා අයුරු අපට දැක ගත හැකි ය. චීන අමෙරිකානුවන් වන ටිම් ලියූ, චේ යූ. ජස්ටින් චිං, හා ජින්, සී වයි. ලී, අමි ටැං, යුයි යුවාන් ලී, ලිසා ෂි වැනි නවකතා රචක රචිකාවන් අද වන විට අමෙරිකාවේ ජනප්‍රිය චීන නවකතා සම්ප්‍රදායක් ගොඩනඟමින් සිටිති. මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය පිණිස ඩේවිඩ් හසින් ෆූ වන්ඩි විසින් ලියන ලද ‘Asian American Heritage’ නම් කෘතිය පරිශීලනය කරන්නේ නම් මැනවි.

අවසාන වශයෙන් කිව යුත්තේ චීනයේ ජිවත් වූ වාංග් දුලූ (1909 – 1977) නමැති සුප්‍රකට ලේඛකයාගේ කෘති ආශ්‍රිතව නිපදවුණු ‘Crouching Tiger Hidden Dragon’ නම් සිනමා කෘතිය 2000 වසරේ ඔස්කාර් සම්මාන රැසකින් හා තවත් බටහිර රටවල සම්මානවලින් පිදුම් ලැබ ඇත. එය ‘යකඩ මාවත’ නමින් මගෙන් සිංහලට නැඟිණි. එය මා මේ ලිපියෙහි මුලින් සඳහන් කළ ඉංග්‍රීසි ලේඛක රඩ්යාඩ් කිප්ලින්ගේ බටහිර ‘සුපිරිවාදි) සංකල්පයට ආසියානුවන් වෙතින් එල්ල කෙරෙන අතුල් පහරක් වැන්නැයි සිතෙයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.