කලාකරුවෙනි ඔබ කොහි ද? ඔබගේ වගකීම කොහි ද? | සත්මඬල

කලාකරුවෙනි ඔබ කොහි ද? ඔබගේ වගකීම කොහි ද?

ප්‍රවීණ ලේඛක අජිත් තිලකසේනගෙන් පටන් ගනිමු

‘කලාවෙන් තොරව සමාජයකට පැවැතිය හැකි ද? පැවැතිය හැකි බව සංවේගයෙන් නමුත් අපි පිළිගත යුතුයි. එහෙත් තම පැවැත්ම හිත් පිත් නැතියවුන්ගේ, රොබෝ මිනිසුන්ගේ පැවැත්මක් පමණක් වනු මිස ශිෂ්ටාචාරයක පැවැත්මක් විය නොහැකියි. කලාව එදිනෙදා කටයුතුවලිනුත් අපට යම් පමණකට හරවා හැරියත් කලාව අපේ පැවැත්ම පිළිබඳ කාරණය අපේ සිත්හි සවිඥානකව රඳවා තබනවා. කලාවේ උත්පත්ති ස්ථානය ආගම වෙන්න පුළුවන්. එහෙත් ආගමේ කාරිය අහෝසි වී, එහි ජීව ගුණය සිඳී ඇති මෙකල එදා ආගමෙන් මිනිසා ලද අධ්‍යාත්ම තෘප්තියත් ඒ තෘප්තිය හා බැඳුණු ශාන්ත විශ්‍රාමය හා නිවිච්චකමත් අද ඔහු ලබන්නේ කලාවෙන්. එහෙයින් කලාව අද අපට පෙරටත් වඩා වැදගත්.’

(සංස්කෘතික කාන්තාරයක් කරා..., 2007, 41 පිටුව)

උක්ත ප්‍රකාශනයෙන් හෙළිදරවු වනුයේ කලාවේ ආශ්චර්යයයි; කලාව සතු මහාර්ඝ ගුණයයි; හැකියාවයි; එසේ ම අද යුගයට කලාවේ ඇති වැදගත්කමයි. කෙසේ වෙතත් කලාව මෙතරම් ජනප්‍රිය, මෙතරම් ශානර අතු ඉති ශාඛා ගණනාවක් බිහි කොට විවිධ මාධ්‍යය ඔස්සේ (රූපවාහිනී, සිනමා, මුද්‍රිත මාධ්‍ය, අන්තර්ජාලය, මුහුණු පොත, වයිබර් / වට්ස් අැප් / ඉමෝ / යූටියුබ්) ජනතාව අතරට ගිය අද යුගයේ මිනිසා මෙතරම් සිත් පිත් නැතියකු, රොබෝවරයකු වූයේ කෙසේ ද? ප්‍රශ්න කළ යුතු ය. එයට හේතු කාරණා සෙවිය යුතු ය.

එයට පළමු සහ අවසාන හේතුව වශයෙන් අප දකිනුයේ වත්මන් කලාවේ නිර්මාණකරණයේ ඇති දුබලතාවයි. ආත්මාර්ථකාමී භාවයයි. අද කලාව (කලාකරුවා) සිය යුතුකම / වගකීම ඉෂ්ට කරන්නේ නැති බව මම තරයේ කියමි. කලාව ආත්මාර්ථකාමී වී ඇත්තේ එහෙයිනි.

මා දන්නා පුතෙක් සිටී. ඔහු උගතෙකි. වෘත්තියෙන් පර්යේෂකයෙකි; විදේශ රටවල් හා සම්බන්ධව සමාජය, සංස්කෘතිය ගැන පර්යේෂණ කරන්නෙකි; පොතපත ලියන්නෙකි; නවකතාකරුවෙකි; සිතා ගත නොහැකි තරමට සංවේදී මිනිසෙකි; වටේ පිටේ සිටින බල්ලන්, බළලුන් සියලු දෙනා ඔහුගේ නිවෙස දැන් සත්තු වත්තක් කොට තිබේ. ඒ ඔහුගේ අනුකම්පාව, දයාව පිහිට කොට ගෙන ය. ඔහු එක් වරක් තමන් ඇති කරනා ගෙදරින් කෑමට යමක් නොලැබ තම වත්ත වටේ කැරකෙමින් සිටින සුනඛයාට අඬ ගසා කන්නට දෙයි. ඒ ද මස්, මාළු සහිත ප්‍රණීත ආහාර වේලකි. “ඔය දඩාවතේ යන ජරා බල්ලොත් දැන් ගෙට දාගන්ඩ ද හදන්නෙ?”

අම්මාගේ ගෝරනාඩුව ඔහුගේ කන් හිරිවට්ටයි.

“මොකද ආයෙ එයාල කඩේට ගිහිං ගන්ඩ ද? අපිට වාගෙ කැමැති කැමති දේ සල්ලි දීල ගන්ඩ කියලද?”

 

ඒ ඔහුගේ තර්කයයි; පිළිතුරයි; ගෙදර දවල් බතට වෑංජනයක් සෑදීම සඳහා හිස් කළ සැමන් ටින් එකේ හොස්ස හිර කොට ගත් අල්ලපු ගෙදර බැල්ලිය දැක වහාම කඩයට ගොස් අලුතින් සැමන් ටින් එකක් ගෙනැවිත් විවෘත කොට එය සම්පූර්ණයෙන්ම අර බැල්ලට භුක්ති විඳීමට ඉඩ සලසා දෙයි. එහෙත් එවන් සංවේදී සිතක් ඇති මිනිසා ඊයේ පෙරේදා සිට සිය මව අතහැර දමා තිබේ. එතෙක් දවසක් අම්මා වෙනුවෙන් කළ හැකි යුතුකම් සියල්ල කරමින්, ඇයට සුව පහසු ජීවිතයක් තනා දීමට කළ යුතු සියල්ල කරමින් සිටි ඔහු දැන් අම්මා සමඟ කිසිදු ආකාරයක සබඳතාවක් නොපවත්වයි.

ඒ නිසාම සහෝදරයාගේ, ඥාතියාගේ පටන් මුළු ගමක් “අම්මට සලකන්නැති එකා මොන උගතෙක් ද? මොකද්ද උගෙ උගත්කොම?” කියා ප්‍රශ්න කරයි. ප්‍රශ්න පමණක් නොවේ; හිරිහැර කරයි; ඔහුට කිසිදු කටයුත්තක් පාඩුවේ කරගන්න ඉඩ නොදේ. එහෙත් ඒ කිසිවෙකුත් අ.පො.ස. (සා/පෙළ) වත් සමත් වූවෝ නොවෙති. ඔහුගේ නිවෙස අසල සමිති ශාලාවේ මරණාධාර සමිතියේ සංවත්සරය නිමිත්තෙන් රාත්‍රියේ පිරිතක් සංවිධානය වේ. පිරිත පටන් ගනුයේ රාත්‍රි 08.00ට ය. එහෙත් සවස 06.00 සිට ඉස්පීකරය ගම දෙවනත් කරමින් විරිඳුවෙන් මවු ගුණ ගයයි. ඒ මගේ මිත්‍ර සමාජ විද්‍යාඥයාගේ වඩු වැඩ කරනා ඥාති පුතකුගේ යෝජනාවකට අනුවයි.

“අම්මා සිය ජීවිතයම කැප කොට, දහඩිය මුගුරු හෙළා, අනන්ත දුක් කරදර විඳ, ආදරයෙන් දයාවෙන් දරුවා සනසමින්, ඔහුට උගන්වා මහත්තයකු කළ බව කියමින් එවන් වූ දේවතාවක බඳු අම්මාට නොසලකන ගුණමකු උගතාට” දොස් තබයි; ශාප කරයි; එනම්, සහෝදර ඥාතීන් ප්‍රමුඛ මුළු ගමක්ම ඒ කරනුයේ ඒ උගතාට කලාවෙන් පාඩම් ඉගැන්වීමයි. එහෙත් ඒ කිසිවකුත්, මෙතරම් දුරට කලාවේ වටිනාකම, අර්ථය දන්නා ඒ කිසිවකුත්, නිකමට මේ ප්‍රශ්න ටික අසන්නේ නැත.

1) “එච්චර උගතෙක් වෙලත් ඇයි අම්මට සලකන්නැත්තෙ? අම්මව අතෑරල ඇයි? මං කියන්නෙ එච්චර මොළයක් තියෙන මිනිහෙක්?”

2) “අපි කවුද එයාගෙ උගත්කම ප්‍රශ්න කරන්ඩ? අපේ මොන උගත්කමක් ද? එයා පොත් ලියන්නෙක් කිව්වට, පිටරටවලට ලියනව කිව්වට අඩු තරමෙ අපි දන්නව ද එයා කරන්නෙ මොනව ද, පර්යේෂකයා කියන්නෙ කවුද කියලවත්? අපි කවුද එයා ගැන තීරණය කරන්ඩ? එයාව නිර්වචනය කරන්ඩ?”

3) “පහුගිය කාලෙ එයා තමා අම්මගෙ හැම දෙයක්ම කෙරුවෙ. හෙව්වෙ බැලුවෙ. දැන් මොකද මේ වෙලා තියෙන්නෙ?”

4) තිරිසන් සතකු වෙනුවෙන් පවා මුළු ආත්මයම කැප කරන පුද්ගලයා, එතරම් සංවේදී පුද්ගලයා මෙතැනදි මෙසේ වනුයේ ඇයි? සිය මවට සංවේදී නොවූයේ ඇයි?

ඒ කිසිවකුත් මෙවන් ප්‍රශ්න අසන්නේ නැත. එහෙත් මම දනිමි. ඔහු අම්මා අතහැරියේ බැරිම තැන ය. ජීවිත කාලයක් ඉවසා බැරිම තැන ය. කරන්න වෙනත් දෙයක් නැතිම තැන ය. බුදුන් වහන්සේ පවා අනුදත්තේ “කරන්න දෙයක් නැතිම තැන කළ යුතු දෙය අතහැරීම” බව ය.

එම මවු ගුණ විරිඳුව ඇසෙනා විට ඔහුට සිනා යනවා මම දුටුවෙමි.

“... ආදර කඳුළින් මා සැනසූ අම්මා

හීනෙන් වත් සිත නොරිදූ අම්මා...”

සිනාසෙන ඔහු මා දෙස හැරී

“අනේ මේ කතා මගෙ අම්ම සම්බන්ධයෙන් කොච්චර බොරු ද, එයාගෙ කටින් කවදාවත් මෙළෙක් වචනයක්, හිත සනසන වචනයක් පිට වෙලා තියෙනව ද? පොළොවත් එක්ක හැප්පිලා දරුවා වෙනුවෙන් කියල කොච්චර නැහුණත් වැඩක් තියෙනව ද? හිතේ තෙතමනයක්, ආදරයක් කරුණාවක් නැතුව. කටෙන් මිහිරි, ආදරණීය වචනයක් පිට වෙන්නෙ නැතුව. මට එදා ඉඳල යක්කු පේන්න බෑ. මට ඕනි මිනිස්සු යැයි කීවේ ය. එසේ ම ඔහු මා සමඟ වාහනයේ යන විට ඇසෙන මවු ගුණ ගී අසමින් දෙනෙත් කඳුළින් පුරවා ගන්නවා මම දැක ඇත්තෙමි. මා ඇයි දැයි ඇසූ විට

“අනේ මටත් මේ සින්දුවල කියනව වගේ ආදරණීය අම්ම කෙනෙක් ඉන්නව නං“ යැයි කියන්නේ ය.

ඉඳින් නියම කලාකරුවා පාදා ගත යුතු සත්‍යය මෙය නොවන්නේ ද? ගිරවුන් මෙන් එදා සිට අප හුරුව ඇත්තේ මවුපියන්ට සැලකීමේ මහාර්ඝ ගුණ වයන්න ය. එසේ නොකරන අජාසත්තලා, දේවදත්තලා බූවල්ලෙන් තළා පිටමං කරන්න ය. එහෙත් ඒ කිසිවකුත් දරුවන්ගෙන් මවුපියන්ට ඉෂ්ට විය යුතු යුතුකම් ගැන මිස, මවුපියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් ගැන කතා කරන්නේ නැත. කලාකරුවා කළ යුත්තේ එයයි. ගොඩනැඟිය යුත්තේ ඒ කතාවයි. එහෙත් අද වන විටත් අපේ කලාකරුවා කරනුයේ කිසිදු පෙර පසු විපරමකින් තොරව හංවඩු ගැසූ අජාසත්තයා, දේවදත්තයාම සමාජයෙන් පිටමං කිරීම පමණක්ම ය.

කලාකරුවා, සාහිත්‍යකරුවා තමන්ට අත්දැකීම වන පුටුව ගැන ලියන්න යන්නේ නම් පුටුවේ ඉඳගෙන පමණක් ලියා බැරි ය. පුටුවට හේත්තු වී සිට පමණක් පුටුව ගැන ලියා බැරි ය. පළමුව කළ යුත්තේ දුරින් සිට/ ඉහළින් සිට පුටුවේ සමස්තය දැක ඒ ගැන ලිවීමයි.

 

එසේ ම පුටුවේ වාඩි වී, එයට හේත්තු වී යන විවිධාකාර ඉරියව් ගෙන, ඒ අත්දැකීම ලබා, පුටුව ගැන ලිවීමයි. මෙලෙසින් නිර්මාණකරුවා යමක් දෙස/ යමකු දෙස හාත්පස සිට බලා ලිවීම කළ යුතු ය. එවිට ය සෑම පුද්ගලයෙක්, සෑම ක්‍රියාවක්, වචනයක් පිටුපසම ඇති සැඟවුණ කතාව, සැඟවුණ සාධාරණ කතාව පෙනෙනුයේ. එසේ ම ඒ සියලු නිරාවරණයන් සමඟ කලාකරුවාට පැවැරෙන වගකීම නම් අඩු තරමේ කලා කෘතියේදී වත් සාධාරණ, අවංක මිනිසාට ජයග්‍රහණය හෝ ජයග්‍රහණයක සෙවණැල්ල/ ඡායා මාත්‍රයක් වත් පෙන්වීමයි. එවිට ය පාඨකයා තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට ඒ නිර්මාණය අත්දැකීමක් බවට පත් කොට ගනුයේ. නැති නම් සිද්ධ වනුයේ කලාකෘතිය පෙන්වන යථාර්ථ ලෝකය මඟින් පාඨකයා ද සිය ජීවිතය පවත්වා ගැනීමට, ජයග්‍රහණය කරා මෙහෙයවීමට සටකපටකම් ඉගෙන ගැනීමයි. යථාර්ථය වූ කපටියාගේ ජයග්‍රහණය සැඟවීම තුළ ‘කලා කෘතිවල ඇත්තේ ව්‍යාජ ලෝකයක්’ යැයි පාඨකයා විසින් චෝදනා නැඟිය හැකි වුව ද, සාමාන්‍ය යථාර්ථ ලෝකයේ සාධාරණ පුද්ගලයා පරාජිතයා වුව ද, නිර්මාණකරුවාට සිය නිර්මාණයේදී ඔහු ජයග්‍රාහකයකු කිරීමට අවසරයක් තිබේ. ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවා නිමවන එය නිර්මාණයක් වන හෙයිනි.

“කලාව ආධ්‍යාත්මික දිවියේ කොටසක් වනවා මෙන්ම එහි බලවත් යාන්ත්‍රණයක්ද වේ- අධ්‍යාත්මික දිවිය වනාහී සංකීර්ණ චලනයකි- එහෙත් එය නිශ්චිත ය.”

(වසීලී කන්දීන්ස්කි, කලාවේ ආධ්‍යාත්මිකත්වය, විභවි ලලිත කලා ඇකඩමි ප්‍රකාශන, 2006 සැප්:

07 පිටුව)

“ආධ්‍යාත්මික බව වෙත හැරීම සැබෑ ස්වරූපයෙන් දිස් වන වඩාත් සංවේදී ක්ෂේත්‍රයන් අතරින් මුල් තැන ගන්නේ සාහිත්‍යය, සංගීතය හා කලාවයි. ඒ ක්ෂේත්‍ර නූතන කාලයේ අඳුරු තත්ත්වය වහා පිළිබිඹු කරයි. ජන සමූහවලට අදෘශ්‍යමාන මුත් ස්වල්ප දෙනකුට පමණක් පෙනෙන කුඩා තිතක් පරිද්දෙන් එළැඹෙන ශ්‍රේෂ්ඨත්වයේ පෙර නිමිති ඒවාට දැනෙයි.”

(එම, 24 පිටුව)

අජිත් තිලකසේනගේ ප්‍රකාශයෙන් මෙන් ම වසීලි කන්දීන්ස්කිගෙන් කියැවෙනුයේ මිනිස් ජීවිතයට ආධ්‍යාත්මික විශ්‍රාන්තියේ අවශ්‍යතාව සහ ඒ සඳහා කලාවේ උපයෝගීතාව, කාර්යභාරය හා හැකියාවයි.

“දීර්ඝ භෞතිකවාදි යුගයකින් පසු මෑතකදා අවදි වන්න පටන් ගත් අපගේ අධ්‍යාත්මයේ භංගාපේක්ෂාවේ අවිශ්වාසයේ, අර්ථවිරහිත බවේ හා අරමුණු රහිත බවේ කළල බීජ සැඟවී පවතී. ජීවන විශ්වය, නපුරු අර්ථශූන්‍ය විහිළුවක් බවට පත් කළ භෞතිකවාදි බියකරු සිහිනයේ ඡායා තවම මුළුමනින් අතුරුදන්ව නැත. පුනර්ජීවනය ලබන අධ්‍යාත්මය ඒ සිහිනයේ දැඩි වසඟයට තවමත් හසු වී සිටී. මහා අන්ධකාරය තුළ තනි වූ කුඩා තිතක් බඳු ප්‍රබල එළියක් පමණක් නිවෙමින් දැල්වෙයි. ඒ මන්දාලෝකය ඉවක් බඳු චෛතසිකයක් පමණි. එය ඇද බැඳගැනීමට තරම් නිර්භීතකමක් තවම සිතට නැත. ඒ ආලෝකය සිහිනයක් වත් ද, ඒ අඳුර යථාර්ථයක් ද යනුවෙන් සිත සැක කරයි. ඒ සැකය ද, එමෙන් ම භෞතිකවාදි දර්ශනය ගෙන එන පීඩාකාරී වේදනා ද අපගේ අධ්‍යාත්මය ‘ආදි කල්පික’ කලාකරුවන්ගේ අධ්‍යාත්මයෙන් දැඩි ලෙස වෙන් කරනු ලබන ලක්ෂණ වේ. අපගේ අධ්‍යාත්මය ඉරිතළා ඇත.’

(වසීලී කන්දීන්ස්කි, කලාවේ ආධ්‍යාත්මිකත්වය, විභවි ලලිත කලා ඇකඩමි ප්‍රකාහන, 2006 සැප්:

2-3 පිටු)

 

කන්දීන්ස්කි සිය සමාජය ගැන කලකට පෙර මෙසේ කීව ද සිංහල සමාජය නම් ඇත්තේ මෙකියන අවස්ථාවේ නොව එහි මුල් යුගයේ ය. එනම්, අප සිටිනුයේ එකියන භෞතිකවාදි යුගයේ ය. එහෙයින්ම අපගේ අධ්‍යාත්මය ප්‍රබලාකාරයෙන් නිශ්චල ය. අධ්‍යාත්මය කියා දෙයක් දන්නේවත් නැති තරමට ගොළු ය. අද සමාජ යථාර්ථය වනුයේ සටකපට ලෙස, උපක්‍රමශීලිව ජීවිතය ගෙන යන පුද්ගලයා ජයග්‍රහණය අත්පත් කොටගැනීමයි. සාධාරණ, අවංක මිනිසාට ජීවිතය පුරා උරුම වනුයේ පරාජය සහ කලකිරීමයි. ඔහු සමාජයෙන් මතු නොව තමාගෙන් ද බැට කයි; තමා ගැන ම කලකිරෙයි.

“යථාර්ථවාදි යුගයේදී වස්තුව නිරූපණය කිරීමට තැත් කරන ලද්දේ ‘තිබෙන සැටියෙන්ම’ය. ‘මනඃකල්පිතයෙන් තොර’ව ‘එහි සැබෑ ස්වරූපයෙන්’ය.”

(එම, 14 පිටුව)

“නූතන කාලයේ එවැනි ආධ්‍යාත්මික කම්පනයන් ජනිත කරවීමට ප්‍රේක්ෂකයා සමත් වන්නේ කලාතුරකිනි. ඔහු කලා නිර්මාණයක් තුළ දැකීමට උත්සාහ කරනුයේ එක්කෝ ප්‍රායෝගික අරමුණුවලට ප්‍රයෝජනවත් ප්‍රකෘතියේ පිරිසිදු අනුකරණයකි.

පෙබරවාරි මස සඟරාව බලන්න . . . .

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.