අරුම පුදුම සතෙක් | සත්මඬල

අරුම පුදුම සතෙක්

සඳ එළිය අඩු නැතිව මුළු පරිසරය ම සිය සුමුදු බවේ චමත්කාරයට නතු කරගෙන ඇත්තේ ය. සඳ එළියෙන් දැඩි අන්ධකාරය පහව ගොස් පරිසරය සිහිලැල් බවකින් වෙළී ගියේ තුරු පත් අග ළපටිම පත්‍රවල පවා සඳ එළිය තවරමිනි. උඳුවප් ස‍ඳේ සිහිල විඳිමින් ම මම බැල්කනියේ තබා ඇති හාන්සි පුටුවේ ඉඳගෙන පරිසරයේ මනරම් බව විඳිමින් සිටියෙමි. සඳ එළියෙන් ප්‍රභාවත්ව තිබූ තැඹිලි අතුවල නාරටිය හෙවත් ඉරටු දිලිසෙමින් තිබිණි. සුදු වැලි පොළොව පුරා සෙවණැලි රටා මැවූ පොල්අත්තේ කෙළවරට වන්නට දුටු දෙයින් ම සිත විස්මයෙන් ඇලළිණි. සහතික වශයෙන් ම මා මෙතෙක් එවැනි දසුනක් දැක තිබුණේ නැත. එය ඔබට විස්මයක් නොවන්නේ නම් කමා කළ මැන! එහෙත් ඒ මනරම් සොබාදම් පිළිවෙළ නම් විස්මයජනක බැව් නොකියාම බැරිය.

ගිරවු යුවළක් සඳ එළිය පෙරවාගෙනම පොල් අත්තේ නිදා හුන්නෝ ය. ළා කොළ පැහැති පත්‍ර චන්ද්‍රකාන්තිය වැටී මලානික ලෙස දිස්න දෙමින් තිබිණි. රතු මාලයත්, හොටත් පමණක් දීප්තිමත්ව අඳුරු පරිසරයේ ඝනාන්ධකාරය මකාලුවේ ය. විස්මයත්, ආදරයත් කැටිවන්නේ ඒ නිදා සිටි ඉරියව්වට ය. එය මේ විස්මිත සොබාදහම ම උන්ට තිළිණ කළා විනා අපට නම් එවැනි ක්‍රියාවක් සහ ඒ නිසා ඇතිවෙන ප්‍රතික්‍රියාවක් ගැන සිතාගන්නටවත් නොහැකිය.

පොල් කොළය හොටින් අල්ලාගෙන නාරටියේ දෙකකුල් තබාගෙන අප ඇඳේ නිදාගන්නවාටත් වඩා සුවපහසුව ගිරවා පොල්අත්ත උඩ නිදා සිටියි. ඒ දසුන ඌ ගැන දුකක් මෙන්ම ආදරයක් ද ඇති කරන්නේ ය. සඳ විහිදුවන එළියෙන් උන්ට බාධාවක් නැත. මිනිස්සු මෙන් අනෙකාට දුක්ඛ දෝමනස්ස නොදෙන බැවිනුත්, සිතා බලා කිසිම පවුකාරකමක් නොකරන බැවිනුත්, උන්ට නින්ද දුෂ්කර නොවෙයි. හොඳින් නින්ද යන්නේ සිතේ කහටක් නැති කල්හි යැයි කියමනක් තිබේ. එනයින් බලන කල පොල්අත්ත උඩ නිදා ගත්තද ගිරවාට හොඳට නින්ද යන්නේ ය.

පින් පවු ගැන කෙසේ වෙතත් මෙලොව පැවැත්ම හෝ ගැන නොසිතන පිරිස් අද බහුල වෙති. ඔවුහු නිරන්තරයෙන් උත්සාහ කරනුයේ අනෙකාට වඩා මදක් හෝ ඉහළින් වැජඹීමට විනා සාරධර්ම රැකීමට නම් නොවේ. ජීවත්වීම වෙහෙසකර වූ තරමට ම මිනිසත්කම් ද පලා යන්නේ ය. සැබෑ නමින් ‘එරික් බ්ලෙයාර්’ වූ නිර්මාණකරණයේදී ‘ජෝර්ජ් ඕවල්’ නමින් හඳුන්වන විශිෂ්ට ගණයේ නිර්මාණකරුවා ඔබට මතක ඇති! ඔහු ලියූ, 1945 වසරේදී මුල්වරට එංගලන්තයේදී ප්‍රකාශයට පත්වූ ඒදඪථචත ජ්චපථ නම් කෘතිය දයාරත්න ගරුසිංහ විසින් ‘ගොවිපළේ පෙරළිය’ නමින් 1974 දී සිංහලට නඟනු ලැබ තිබේ. කුඩා කල මෙය කියැවූවත් එදා කතා රසයටත්, එහි එන සජීවී බවටත් ප්‍රිය කළා විනා එහි වූ ගැඹුරු යටිපෙළ තේරුම් නොගියා යැයි සිතෙන්නේ මෙකල එය කියවන විට ය. මෙකල නම් එහි එන සමහර සත්ත්ව චරිත, මිනිස් චරිතවලට ම ආදේශ වන්නේ ය.

ඒ චරිතවල නම් ගම් කියන්නයි ඔබ මගෙන් ඉල්ලා නොසිටිනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි!

මට දැනෙන දේ හා ඔබට දැනෙන දේ අතර සමානකම් මෙන්ම පරස්පරවිරෝධතා ද මතුවිය හැකිය. සංසන්දනය කෙතරම් නරක පුරුද්දක් වුවත් ඒ පුරුද්දෙන් මිදෙන්නට නම් මේ හොඳ පොත් ඉඩ දෙන්නේ ම නැත. “මිනිහා තමයි, නිෂ්පාදනය කරන්නේ නැතිව පරිභෝජනය කරන එකම සතා. මිනිහාට කිරි දෙන්නත් බෑ; බිත්තර දමන්නත් බෑ; නඟුලක් ඇදගෙන යන්න තරම් ඇඟපතේ හයිය හත්තිය ඇත්තෙත් නෑ; හාවො පස්සෙ එළවගෙන ගිහින් උන් අල්ලාගන්නත් බෑ. ඒ වුණාට සියලු ම සිවුපා සතුන්ගෙ ස්වාමියා වෙලා ඉන්නෙ, මිනිහා තමයි. මිනිහා හැම ‍සතෙක් ම වැඩට යොදවල, හාමතෙන් නොමැරෙන ගානට විතරක් උන්ට කන්න දීලා, ඉතුරු සේරම තමන්ට තියා ගන්නවා.”

සත්ත්ව ගොවිපළෙහි කකුල් දෙකේ සතා වන මිනිසාට ඇත්තේ එයාකාර කියැවීමකි. ඇත්තෙන් ම එය මිනිසා ගැන වන දරුණුම විවේචනයකි. විවේචනය කෙතරම් දරුණු වුවත් කතාව නම් සහතික ඇත්ත ය. ජෝර්ජ් ඕවල් මේ විවරණය කරන්නේ ජෝෂප් ස්ටාලින් යටතේ කුරිරුතම ඒකාධිපති පාලනයක් දක්වා පිරිහී ගිය සෝවියට් සමූහාණ්ඩුවේ සමාජ, දේශපාලන කතන්දරයයි. ලෙනින්ගේ සමාජවාදී පාලනයෙන් ඉක්බිති ස්ටාලින් මෙහෙය වූ සෝවියට් පාලනය සංකේතවත් කරනු සඳහා ඕවල් තෝරා ගත්තේ ‘මිස්ටර් ජෝන්ස්’ නමින් හැඳින්වෙන ඉඩම් හිමියකුට අයත් සත්ත්ව ගොවිපළකි.

 

මෙහි ඌරෝ - ඊරියෝද, ගොන්නුද - එළදෙන්නුද, අශ්වයෝද - වෙළඹුන්ද, එළුවෝද - එළිච්චියෝද, තාරාවෝද - තාරාවියෝද ඇතුළු බොහෝ සතුන් වෙති. ගොවිපළේ වඩාත්ම වයස්ගත සාමාජිකයා වන්නේ බෙන්ජමින් නමැති මහලු බූරුවා ය. මේ සියල්ලන්ගේ ම නායකයා වන්නේ වයසක විශාල ඌරකු වූ මේජර් වන අතර, සියලු ම සත්තු ඌට බොහෝ ගෞරව කළහ. මේජර්ගේ අභාවයෙන් අනතුරුව මේ සතුන්ගේ නායකත්වයට පත් වූයේ හිමබෝලයා, නැපෝලියන් හා ද්‍රෝහියා නමින් හැඳින්වූ ඌරන් ය. මොවුහු ජෝන්ස් මහතාට විරුද්ධව අරගලයක් ක්‍රියාත්මක කළ අතර, එය ජයග්‍රහණය ද කළේ ය. සත්ත්ව ගොවිපළේ අයිතිය සතුන්ට පැවරිණි.

සත්තු මෙහෙයවුවද ගොවිපොළ ඇතුළත ද මිනිස් සමාජයේ මෙන් ම වැඩකරන අය සහ නොකරන අය වූහ; ආඥාදායකයෝ සහ පාලිතයෝ වූහ; හොඳ සහ නරක දෙක ම විය; අවසන හොඳ යට ගොස් නරක මතු විය. මිනිස් සමාජය සේම ය. ඉඩම් හිමිකරුවා වන ජෝන්ස් මහතා පරාද කළ ඇසිල්ලේ පනවා ගත් සත් වැදෑරුම් සත්ත්ව පනතින් ඒ වන විට හයක් ම උල්ලංඝනය වී තිබිණි. සත්වැන්නද මෙසේ සංශෝධනය විය.

“සියලුම සත්තු සමාන වෙති. එහෙත් ඇතැම් සත්තු අනෙක් අයට වඩා සමාන වෙති.”

මේ පනත පනවා ගත් මොහොතේ තිබුණේ මෙසේ ය.

“සියලුම සත්තු සමානයෝ වෙති”

මේ පනත ‍සංශෝධනය වූයේ ඉහත සඳහන් කළ පරිද්දෙනි. සත් පනත ම කියවා ගන්නට නම් එක්කෝ ඒදඪථචත ජ්චපථ කියවා ගනු මැනවි; නැත්නම් කියවා ගනු මනා ය.

සත්ත්ව ලෝකයේ චරිත ඇසුරෙන් මනුෂ්‍ය ජීවිත විවරණය කරන අපූරුව ගැන සාහිත්‍ය ලෝකයේ බොහෝ නිදර්ශන ඇත. විෂ්ණු ශර්මන්ගේ ‘පංචතන්ත්‍රය’ ත් බෞද්ධ ජාතක කතා සාහිත්‍යයත්, හීන්සැරය වැනි කෘතිත් ඊට නිදසුන් ය. ඊසොප් ගේ කතා ද මතක් කළ යුතු ම ය.

මිනිසාගේ නරක ගති විසින් ම මිනිසා කියැවීමට ලක් කර ඇති සාහිත්‍යයක් නිර්මාණය වන්නේ මිනිසාගේ කල්ක්‍රියාවේ වන විසම බව නිසා ය. අද මෙන් ම එදා ද; එදා මෙන් ම අද ද මිනිසාගේ කල්ක්‍රියාව හොඳ වූයේ කලාතුරකින් බැව් මෙයින් පෙනෙන්නේ ය.

කෙසේ වුවත් ඌරන්ට පාලනය පැවරූ ජෝර්ජ් ඕවල් ගැන ඔබ කෙසේ කුමන විනිශ්චයක් දේ දැයි සිතා ගැන්මටවත් නොහැකිය. මිනිසා කෙදිනකවත් කියවාගත නොහැකි සත්ත්වයකු බැව් නම් මට, තිර වශයෙන් ම කිව හැකිය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.