දේශපාලනයේ කලාව | සත්මඬල

දේශපාලනයේ කලාව

මුල් බැල්මටම නම් දේශපාලනය සහ නිර්මාණ කලාව එකිනෙක හා නොපෑහෙන හා නොසැස‍ඳෙන ක්ෂේත්‍ර දෙකක් ලෙස පෙනී යන්නේ ය.

ඒ වුව ද “ආනන්දයෙන් ප්‍රඥාවට...” යනුවෙන් වූ අර්ථකථනය තුළ සහ “කලාව ජනතාව සඳහාය” යන විග්‍රහය තුළ ඒ අරඹයා වන අන්‍යොන්‍ය වූත්, අන්‍යන්ත වූත් මැදිහත් වීම ඍජුව පෙන්නුම් කළ හැකි ය.

ඒ කෙසේ වතුදු ලොව වූ සියලු විෂයයන් එකිනෙක පෝෂණය ලබමින් හා ගැටෙමින් මිනිසාට සේවය කරන බව සරල සත්‍යයක් මෙන් ම සිද්ධාන්තයක් ද වේ. එනයින් සියලුම විෂයයන් මිනිසා වෙනුවෙනි.

“ඇටමැස්සා” නම් වූ පරිවර්තනයේදී සුගතපාල ද සිල්වා සූරීහු දක්වනුයේ මෙවන් අදහසකි.

“දිව්‍ය ලෝකයත්, නරකාදියත් මිහිපිට දිස්වන තාක් කල් දේශපාලනයෙන් තොරව ‘මිනිසා’ ගැන කතා කළ නොහැකිය.”

එහිදී සුපැහැදිලි වන කරුණක් වන්නේ ලොව සමාජවල පවත්නා අන්තගාමී තත්ත්වය නිර්මාණ කලාවේදී ප්‍රමුඛ තේමා සපයන බවයි. සමහර විට එය ප්‍රමුඛ තේමාව නොව එකම තේමාව ද වනු ඇත.

එනම්, ඇති - නැති සහ සැප - දුක අතර වූ ගැටුම නිර්මාණ කලාවේ තිඹිරිගෙය වී ඇති බවයි.

මිනිසා විග්‍රහ කිරීම නිර්මාණ කලාවේ කාර්යය වේ නම්, මිනිසා පාලනය වන දේශපාලනය ගැන ද විමසීම කිසිදු අයුරකින් පැහැර හැරිය නොහැකි වන්නේ ය.

ජනතාවාදි සැබෑ නිර්මාණකරුවකුගේ යුතුකම සහ වගකීම ඉඳුරාම යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා මැදිහත්කරුවකු වීම බව කවදාත් කොතැනත් නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන්නකි.

ඒ නම් දෙලොවක් අතර වූ සදාතන ගැටුමයි. ඇති - නැති පරතරය ‍කේන්ද්‍ර කර ගත් අරගලයයි.

ඒ දිගින් දිගටම යුක්ති ගරුක ලෝකයක් සාධාරණ සමාජයක් ඉල්ලා කරන අනවරත අභියෝගයයි.

දේශපාලනමය දෘෂ්ටියකින් බලත හොත් ධනවාදය සහ සමාජවාදය අතර වූ ගැටුමයි. ලොව වූ සීමිත සම්පත් බෙදාගැනීම, අයිතිකර ගැනීම, ගොඩගසා ගැනීම උදෙසා වූ අරගලයයි.

ඒ අනුව ලොව සෑම නිර්මාණ කලාකරුවකුගේම කාර්යය මේ ගැටුමට අදාළව කරන මැදිහත්වීමයි.

 

ඒ අරබයා ‘රොබට් ඕවන්’ නම් වූ චින්තකයා දරනුයේ මෙවන් අදහසකි.

“ආර්ථික දියුණුව සඳහා මිනිසුන් අතර කුලල් කා ගන්නා තරගය වෙනුවට සහයෝගය වැනි සමාජ ගුණධර්ම ඇතුළත්, හොඳ සමාජ පරිසරයක් පදනම් කරගත් ‘එකා සැමටත් - සැම එකාටත්’ සේවය කරන ක්‍රමය සමුපකාර ක්‍රමය වේ.”

එහිදී ඔහු අගනා අදහසක් ඉදිරිපත් කරයි. එනම් කුලල් කා ගන්නා තරගය වෙනුවට ‘සහයෝගය’,‘සමුපකාරය’ යන්න ය.

මෙහි දී ඉතා වැදගත් වන්නකි, සමුපකාරය යන්න.

‘සී. ආර්. ප්‍රේ’ නමැති චින්තකයා ‘සමුපකාරය’ යන්න අරුත් ගන්වන්නේ මෙසේ ය:

ආර්ථික අතින් අබල දුබල සමූහයක් විසින් ආත්මාර්ථකාමී හැඟීමෙන් තොරව වෙළඳ ව්‍යාපාරයක් ගෙන යෑම සඳහා ඇති කරගත් සංවිධානයකි සමුපකාරය.

එහිලා තවදුරටත් වැදගත් වන්නේ විප්ලවීය නායක වී. අයි. ලෙනින් මෙන් ම අවිහිංසාවාදි නායක මහත්මා ගාන්ධිතුමන් සමුපකාරය අරබයා කළ කථිකා ය.

සමුපකාරය නමැති දෙවොලට ඔබ ඇතුළු වන විට ඔබගේ දේශපාලනය නමැති පාවහන් සහ හිස් වැසුම් ගලවා ඇතුළු වන ලෙස කීවේ ගාන්ධිතුමන් ය.

“ධනවාදී මව්කුස තුළ බිහිවූ එකම ප්‍රගතිශීලි දරුවා සමුපකාරයයි” කීවේ වී. අයි. ලෙනින් ය.

‘සමුපකාරය’ නම් වූ ආයතනය සුවිශේෂ පවිත්‍රත්වයකින් පවත්වාගත යුත්තක් බව මේ සියල්ලෙන් හෙළි වන්නේ ය.

මිනිස් සමාජය ඉදිරියට ගෙන යන බලවේගය ලෙස ප්ලේටෝ ප්‍රමුඛ බටහිර ග්‍රීක දාර්ශනිකයන් පෙන්වා දෙන්නේ ධනය, බලය සහ ලිංගිකත්වයයි.

ආගම, නීතිය සහ කලාව එහි සදාචාරාත්මක පාලනය පිණිස ගොඩනැඟී ඇති සහානුබද්ධ ආයතන ත්‍රිත්වයයි.

ඒවාහි ප්‍රමුඛ කාර්යය මිනිසා තුළ වූ සැඟවුණු ම්ලේච්ඡ බව අවම කර උසස් මිනිසා නිර්මාණය කිරීමයි.

නොබෙල් සාහිත්‍ය සම්මානලාභීලේඛක ඇල්බෙයා කැමූ පවසන්නේ මෙවන් අදහසකි.

“හොඳ නිර්මාණකරුවා සමාජ අරගලයේ කොටස්කරුවෙක් විය යුතුය.”

ආගම, නීතිය විසින් කළ නොහැකි ‘හික්මීම’ නිර්මාණ කලාව මඟින් පරිසමාප්තියට ගෙන ආ යුතු බව ඔහුගේ අදහස වන්නේ ය.

සැබෑ විප්ලවයට මඟපාදන්නේ ගැඹුරු ආදරය බවත් ආදරයෙන් තොරව සැබෑ විප්ලවයක් ගැන සිතා ගන්නවත් නොහැකි බවත් පවසන විප්ලවීය නායක අර්නස්ටෝ චේ ගෙවාරා එය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව නිර්මාණාත්මක පද කීපයකින් කාව්‍යාත්මකව කීවේ ය:

“පිළිරැව් දෙන්නට මගේම කටහඬ

කැප වී ඇත්නම් තවත් හඬක්

අල්වා ගන්නට මගේම අසිපත

එසැවී ඇත්නම් තවත් අතක්

කම් නැත මා මිය ගියාට...”

‘මිනිසා යනු මුදල්ය’ යන්න ප්‍රකට ඉංග්‍රීසි වදනකි. මුදල් ප්‍රමුඛ සෙසු භෞතික වස්තු අරබයා මිනිසා තුළ වූ තණ්හාව, මසුරුකම සහ අතෘප්තිය කීමට එයට වඩා වදනක් අවශ්‍ය නොවන්නේ ය.

එමඟින් නිර්මාණය වී ඇති ගැටුම නම්, මිනිසා තිරිසනකු කරන්න තරම් ම්ලේච්ඡ වූවකි.

සියලුම යුද්ධවල, විප්ලවල, අරගලවල බීජය මිනිස් හදවතේ රෝපණය වන්නේ මේ අතෘප්තිය කේන්ද්‍ර කොටගත් ගැටීමෙනි.

එහි අනවරත ගලා යෑම වැළැක්වීමට දේශපාලකයා මැදිහත් නොවන තාක් සැබෑ කලාකරුවාගේ භූමිකාව ද නිම නොවන්නේම ය.

නිර්මාණ කලාව මිනිසාගේ අධ්‍යාත්මය සුපෝෂණය පසෙකලා සොඳුරු යුධ අවියක් වන්නේ මෙහිදී ය.

මිනිසා ඥානනය කිරීමෙන් නොනැවතී ඔහු අරගලය කරා යොමු කරවන්න නිර්මාණකරුවා පෙර ගමන් යන්නේ ද ඒ සමඟිනි.

ඓතිහාසික රුසියානු විප්ලවයට පෙරාතුව ‘අම්මා’ නම් වූ සදාතනික සාහිත්‍ය කෘතිය නිර්මාණය කරමින් මහා ගත්කරු මැක්සිම් ගොර්කි එදා සිය අරමුණ අරුත් ගැන්වූයේ මෙලෙසිනි.

“සාහිත්‍යකරුවකු ලෙස මගේ අරමුණ මිනිසාගේ දුක් අ‍ඳෝනාවන්හි දෝංකාරය ඒ මිනිසාට ඇසෙන්නට ඇසෙන්නට සැලැස්වීමය.”

සැබෑ විප්ලවවාදියා යනු අයුක්තිය, අසාධාරණයට එරෙහිව සටන් වදින අරගලකරුවෙකි. වඩාත් උදාරතර සමාජයක් වෙනුවෙන් පෙනී සිටින සටන්කාමී විප්ලවවාදියා ශ්‍රේෂ්ඨ සමාජ නියමුවෙකි. ලෝක ඉතිහාසයේ බිහි වූ අද්විතීය විප්ලවවාදි නායකයන් ශ්‍රේෂ්ඨතම මිනිසුන් වූවා සේම සොඳුරු සාහිත්‍ය කලා රසිකයෝ වූහ. ලේඛකයෝ ද, පාඨකයෝ ද, විචාරකයෝ ද වූහ. විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල්මාක්ස්, රුසියානු විප්ලවයේ නායක වී. අයි. ලෙනින්, රුසියානු විප්ලවයේ සමනායක ලියොන් ට්‍රොට්ස්කි, කියුබානු විප්ලවයේ නායක පිදෙල් කස්ත්‍රෝ, අන්තර්ජාතික විප්ලවවාදි නායක අර්නස්ටෝ චේ ගුවේරා, චීන විප්ලවයේ නායක මාඕ සේතුං යනු එබඳු පුද්ගලයෝ ය.

නිර්මාණ කලාවත්, රසඥතාවත්, දේශපාලනයත් අතර වනුයේ භේද කළ නොහැකි සහසම්බන්ධයක් බව මේ අනුව ඉඳුරාම පසක් වන්නේ ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.