ධර්ම සංගායනා පිළිබඳ විමසුමක් | සත්මඬල

ධර්ම සංගායනා පිළිබඳ විමසුමක්

සංගායනා යනු, කට පාඩමින් කීම, සාමූහිකව පඨනය කරමින් දොස් නිදොස් විමසුම යන අරුත් සපයන වදනකි. සංගායනා ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ කිසියම් ව්‍යාකුල බවකි. එහෙයින් සංගායනා අරමුණු සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින් ධර්ම සංගායනා විමසුමට ලක් කිරීම වඩා යෝග්‍ය බව හැඟේ.

ධර්මය සහ ධර්මාර්ථ විවරණය කිරීම, භික්ෂූන් වහන්සේලා විසින් ධර්මය ශ්‍රාවක භාෂණ වශයෙන් දේශනා කිරීමේ කැමැත්ත, වනපොත්කරණය මඟින් ධර්මය ශ්‍රැති පරම්පරාවෙන් රැකගෙන ඒම, මුඛපාලි වශයෙන් රැකගෙන ආ ධර්මය ලේඛනාරූඪ කිරීම, ලේඛනගත ධර්මයේ සදොස් තැන් වෙත් දැයි විමසීම, හෙළබසින් පැවැති ත්‍රිපිටකය සහ අටුවා පෙළ බසට නැඟීම, ධර්මය සජ්ඣායනා කරමින් ශිලා ලේඛනගත කිරීම, භික්ෂු සංස්ථාව සංශෝධනය කිරීම යනාදිය මඟින් සංගායනා අරමුණු විසින් විවිධ වෙයි. සෑම අවස්ථාවක ම පරමාර්ථය වී ඇත්තේ ත්‍රිපිටක ධර්මය බුද්ධ දේශිත ධර්මය ලෙස ම සුසංරක්‍ෂණය සහ භික්‍ෂු සංස්ථාව සංශෝධනයයි.

සංගායනා යන්නෙහි අරුත මැනවින් පැහැදිලි කරගැනීමට බුදු වදන් ම පිළිසරණ වෙයි. අංගුත්තර නිකායේ දුතිය සද්ධම්ම සම්මෝස සූත්‍රයෙහි

“පරියාපුණ්නති දෙසෙනති, වාචෙනති සජඣායනති විතක්කේ විචාරෙනති මනසානුපෙකඛන්ති” යනුවෙන් දහමෙහි චිර පැවැත්ම පිණිස සංගායනා කිරීමේ අවශ්‍යතාව දක්වා තිබේ. පුහුණු කරති; දෙසති; උගන්වති; සංගායනා කරති; සිතින් විතර්කනය කරති; විචාරයට ලක් කරති; මනසින් ප්‍රත්‍යක්‍ෂ කරති යනු ඒ පෙළ වදන් මල්හි හෙළ අරුත් සුවඳයි. අප ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේගේ බස මියුරු ය; කලණ තෙපුල් සහිත ය; නිදොස් ය; මට සිලිටි ය; ධ්වන්‍යාලෝකනය වන්නේ දෙසූ අරුත ම ය. එ බස සියල් සසර දුක් නැසුම පිණිස ද නිවන් සැනැසුම පිණිස ද වෙයි. එහෙත් බොහෝ බුදුනුවන්ගේ සිරිත කුමක් ද ? මුළු තෙවලා දහම පමණක් නොව අටුවා ටීකාදිය ද බුදවදන් සේ පිළිගැනීමයි. මේ අප බුදු බැතියේ මහිමයකි.

“ත්‍රිපිටකය එක ම වකවානුවක ඇති වූවක් රචනා වූවක් නො වේ. ත්‍රිපිටකයේ වැඩි ම කොටසක් බුදු රජාණන් වහන්සේ විසින් දේශිත ය.

 

සැරියුත් මුගලන් ආදි මහ රහතන් වහන්සේ තවත් කොටසක් දෙසූහ. සංගීතිකාරක භික්ෂූහු ඉතිරි කොටස් සම්පාදනය කළහ. මේ කරුණු ගැන විමසා බලන විට ත්‍රිපිටකය එක ම පුද්ගලයකුගේ කෘතියක් හෝ කෘති නො වේ. එසේ වුවත් මුළු මහත් ත්‍රිපිටකය බුදු රජාණන් වහන්සේගේ ම යැ යි වියත් නොවියත් සියල්ලෝ එකහෙළා පිළිගනිති. ඒ අනෙකක් නිසා නොව බුද්ධ රීතිය නො ඉක්මවා ඇති බැවිනි”

යනුවෙන් මහාචාර්ය උතුරාවෙල ධම්මරතන හිමියෝ ප්‍රකාශ කරති.

එසේ ද වුවත් ඛුද්දක නිකායට අයත් විමානවත්‍ථු, ථෙරගාථා, ථෙරිගාථා, අපදාන, බුද්ධවංශය සහ චරියා පිටකය ද ත්‍රිපිටකයට අයත් සේ සියම් බෞද්ධයෝ නොපිළිගනිති. ඔවුහු ඛුද්දක නිකාය නමින් පස්වැනි නිකායක් ද නොපිළිගනිති. එසේ නමුදු ඛුද්දක නිකායට අයත් පොත් රැසක් මහායානිකයන්ගේ ත්‍රිපිටකයේ ඇත. තවද පටිසම්භිදා මග්ග, නිද්දේ සහ ජාතකවල කොටස් ද මහාසංගීතික භික්ෂූන් විසින් ප්‍රතික්‍ෂෙප කොට ඇති බව දීපවංශයේ පස්වැනි පරිච්ඡේදයේ 37 වැනි ගාථාවෙන් පෙනී යයි.

ඛුද්දක නිකායට අයත් කෘති චීන ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල ඇතත්, චීන ත්‍රිපිටකයේ ඛුද්දක නිකායක් නැති බව පණ්ඩිත රංජිත් වනිගරත්න සඳහන් කරයි.

අපේ අටුවා සාහිත්‍යයත් ඒ ඇසුරෙන් බිහි වූ පාලි අටුවා සාහිත්‍යයත් ඉහත සඳහන් පරිදි බුදුවදන්හි ගෞරවයට ම නෑකම් කියයි. හෙළටුවා නමින් සිංහල භාෂාවෙන් ද සිහළටඨකථා යනුවෙන් පාලි භාෂාවෙන් ද හැඳින්වෙන ග්‍රන්ථ විශේෂය සිංහල සම්භාව්‍ය සාහිත්‍යයෙහි ආරම්භය සටහන් කරයි. සියලු හෙළටුවා බුද්ධ ධර්මයෙහි අරුත් පැහැදිලි කිරීම සඳහා ම කැප වී නැත. එහෙත් ත්‍රිපිටක ධර්මය පැහැදිලි කිරීම සඳහා පහළ කරන ලද හෙළටුවා සියලු අටුවා අතර මුල්තැන ගනී. ත්‍රිපිටක ධර්මය සඳහා වූ හෙළටුවා පාලි භාෂාවට නැඟීමේ ඵලයක් ලෙස ය පාලි අටුවා සාහිත්‍යය ඇති වූයේ”

යනුවෙන් මහාචාර්ය සිරි තිලකසිරි පවසයි.

ප්‍රථම ධර්ම සංගායනාවේදී අභිධර්මය පිටකයක් වශයෙන් සංගායනා නොවී ය. එය ත්‍රිපිටකයට ඇතුළු වූ ආකාරය පිළිබඳ විද්වතුන් විසින් දරනු ලබන මත විවිධ ය.

පෙළ බසත් බුද සමයත් පිළිබඳ හසළ දැනුමින් යුත් රීස් ඩේවිඩ්ස් ද පිළිගන්නා පරිදි සද්ධර්ම සාරය සංග්‍රහ කෙරෙමින් බුදුන් වහන්සේ පස්වග මහණුන්ට දම්සක් සුත්‍රය දෙසීම ප්‍රථම ධර්ම සංගායනාව සේ සැලකිය හැකි ය. අනතුරුව පන්සාළිස් වසක් මුළුල්ලේ බුදුන් වහන්සේ මෙන් ම ශ්‍රාවකයන් වහන්සේලා විසින් ද විස්තාරිතව විවරණය වූයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාර්ථය මැ යි.

දම්සක් සුතුර දෙසීමෙන් ඇරැඹෙන සාසන ඉතිහාසය ධර්ම සංගායනා රැසකින් සමලංකෘත ය. ධර්මයේ ද අධර්මයේ ද සදාකාලික සටන තුලනය පිණිස මහෝපකාරී වී ඇත්තේ ධර්ම සංගායනායි. බුදුන් වහන්සේ ද ශ්‍රාවකයන් වහන්සේලා ද විසින් පවත්වන ලද සූත්‍ර ධර්ම දේශනාදිය සංගායනා ලෙස සැලකීමේ සිරිතක් නො පෙනෙයි. එනමුදු ධර්ම විනය සහ සම්බන්ධ සන්ධිස්ථාන සේ සැලකිය හැකි දේශනා සංගායනා ඉතිහාසයට ඇතුළු වීම යෝග්‍ය බව පෙනෙයි. එබඳු විශේෂ අවස්ථාවක් බුදුන් වහන්සේ ධර්මාන කාලයෙහි ම හමුවෙයි.

බුදුන් වහන්සේ අනුදැන වදාළ පරිදි සැරියුත් මහ රහතන් වහන්සේ විසින් පවත්වන ලද සංගායනාවෙන් ධර්ම කොටස් ඒකක ද්වික, තික, චතුක්ක ආදි වශයෙන් එකේ සිට දහය දක්වා සංඛ්‍යාත අනුව සංගායනා විය. සංගීති සූත්‍රයෙහි බුදුන් වහන්සේ “සාධු සාධු සාරිපුතත, සාධු ඛො ත්‍වං සාරිපුතත, භික්‍ඛුනං සංගීති පරියායං අභාසි” (ශාරිපුත්‍රය මැනැවි, තෙපි මනාකොට භික්‍ෂුන්ට සංගීති පරියය වදාළහ) යනුවෙන් සැරියුත් දම්සෙනෙවි මහතෙරුන් ප්‍රශංසාවට ලක් කරයි. මෙය සැලකිය හැක්කේ දහම් අරුත් ශ්‍රාවක භාෂිත වශයෙන් විවරණය කිරීමේ සංගායනා අවස්ථාවක් වශයෙනි. මීට ප්‍රාරම්භ හේතුව වී ඇත්තේ ශ්‍රාවක භාෂිත වශයෙන් දහම යළි යළි දෙසීමේ අභිලාෂය බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරනු ලැබීමයි. කෙමෙන් වැඩුණු මේ අභිලාෂය අද වන විට බුදුන් වහන්සේ ද දහම ද නිශ්ප්‍රභා කෙරෙමින් ධර්ම දේශක භික්‍ෂුවගේ ප්‍රතිරූපය විදහා දැක්වෙන මඟක් වී ඇති සැටි ද දැක්ක හැකි ය.

වර්ධමාන මහාවීර හෙවත් නිඝණ්ඨනාතපුත්තයන් පාවා නුවරදී අභාවයට පත්වීමෙන් පසු ඔහුගේ ශ්‍රාවකයන් අතර බලවත් සේ කලහ ඇති වූ සැටි මජ්ම නිකායෙහි විස්තර කෙරෙයි. නිවැරැදි දහම තමන් සතු යැයි පිල් බෙදී එකිනෙකා මරාගන්නා සේ පැවැති වාද විවාද දකින දම්සෙනෙවි සැරියුත් හිමි, සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව භික්‍ෂූන් අතර ද මෙබඳු තත්වයක් හටගනිතියි සිතන්නේ භික්‍ෂූන් අතර ද, වාද භේද පැවැති නිසා බව පැහැදිලි ය. සසුනෙහි චිර පැවැත්ම පිණිස, වාද භේද රහිතව භික්‍ෂූන් වහන්සේලා එක්ව ධර්මය සංගායනා කළ යුතු බව දම්සෙනෙවි සැරියුත් හිමි ප්‍රකාශ කරන්නේ ඒ අනුව ය. සැරියුත් හිමියන්ගේ මූලිකත්වයෙන් දහම් කොටස් සංග්‍රහ කරන ලද බව දසුත්තර සූත්‍රයෙන් අනාවරණය වෙයි.

බුදුන් වහන්සේගේ ඇසුර ලැබුමට ද වාසනාව පැවැති නමුත්, බුද්ධ කාලීන භික්‍ෂු සමාජය පවා මුළුමනින් ම සමන්විත වූයේ සියල් සසර දුක් දුරු කොට නිවන් පසක් කිරීමේ පරමාභිලාෂවත් භික්‍ෂූන්ගෙන් ම නො වේ. ලාභ ප්‍රයෝජන සහ සුඛවිහරණය පතා චීවරයෙන් සමාරෝපිතව මහ සඟගණ අතරට පිවිසි නිවටුන් භික්‍ෂුවේශධාරී වීම බුද්ධ කාලයේ පටන් පැවැත එන මිථ්‍යා ආජීවයකි. එබඳු පිරිසකට බලයක් නොවී නම් සම්බුද්ධ පරිනිර්වාණ අවස්ථාවේ ම ඇදහිය නොහැකි තරම් නිර්ලජ්ජිතව නිර්භයව බුදුන් වහන්සේ අවමානයෙන් හෙළා දැකීමට සුභද්‍රට හැකි නොවනු ඇත. ඔවුන් කෙතරම් බලවත් වී ද යන්න වටහා ගැනීමට ඒ සිදු වීම පමණක් වුව ප්‍රමාණවත් වෙයි.

 

කෙලෙස් තවන වීර්යයෙන් යුත් භික්‍ෂූන් වහන්සේ අතර විසූ එබඳු ශ්‍රමණයන්ට සුභද්‍රගෙන් නායකත්වය සැපයී ඇති බව සිතිය හැකි ය. බුදුන් වහන්සේ විසින් පනවන ලද විනය නීති තමනට රිසි සේ විසීමට බාධාවක් ලෙස ඔවුහු සැලකූහ. සුභද්‍රගේ මුවින් ගිලිහුණේ එබඳු භික්‍ෂුන් තුළ පැවැති ආකල්පයයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සම්බුද්ධ පරිනිවාණයෙන් තෙමසක් ඇවෑමෙන් මහකසුප් මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මගධාධිපති අජාසත් මහරජුගේ අනුග්‍රහයෙන් රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයේ පංචසතිකා ධර්ම සංගීතිය පැවැත්වෙයි. පන්සියයක් මහ රහතන් වහන්සේලා සහභාගි වීමෙන් පැවැති බැවින් ‘පංචසතිකා’ නම් වූ මේ සංගීතිය ව්‍යවහාරයේ පවතින්නේ ප්‍රථම ධර්ම සංගායනාව නමිනි.

සංගායනාව සඳහා මණ්ඩපයක් ද කරවා සියලු පහසුකම් නොඅඩුව සලසා ආරක්‍ෂාව ද සපයන ලද නමුත්, අජාසත් රජුගේ අනුග්‍රහය පිළිබඳ කරුණු ගැබ් කොට ගැනීමට චුල්ලවග්ගයට අවකාශ සැලසී නැත. පිතෘඝාතක අජාසත් රජුට ‘පෙරවැරදි’ නිසා චූලවග්ගයට පිවිසීමට ඉඩකඩ ඇසුරුණා විය නොහැකි ද? රජුගේ අනුග්‍රහය අනාවරණය කෙරෙනුයේ මහාවංශයේ දෙවැනි පරිච්ඡේදයේ 18 - 22 ගාථා මඟිනි. සමන්තපාසාදිකාව ද මහාවංශයේ කරුණු තහවුරු කිරීමට එක් වෙයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවසක් ගිය තැන ආනන්ද හිමියන්ගේ ශිෂ්‍ය වූ රේවත හිමියන් ප්‍රමුඛව මගධාධිපති කාලාශෝක රජුගේ අනුග්‍රහයෙන් පැළලුප් නුවර වාලුකාරාමයේ සත්තසතිකා නම් ධර්ම සංගායනාව පැවැත්විණි. මේ සංගායනාව පැළලුප් නුවර පැවැති බව පූජ්‍ය දියගම නාරද හිමි සඳහන් කරන අතර පී. වී. බාපන් සඳහන් කරන්නේ විශාලා මහනුවර පවත්වන ලද බවයි.

කාලාශෝක රජු මුලදී වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට අනුගතව විසූ රජෙකි. එහෙත් පසුව රේවත තෙරුන් ප්‍රමුඛ සත්තසතිකා ධර්ම සංගායනාවට අනුග්‍රහය සැපයීමට රජුට සිදු විය. මහාවංශයේ පස්වැනි පරිච්ඡේදයේ තෙවැනි ගාථාව දක්වන අන්දමට වජ්ජිපුත්‍රක භික්‍ෂුන් දස දහසකින් සමන්විතව ‘මහාසංගීතී’ නම් ආචාර්යවාදයක් පිහිටුවන ලදි. දීපවංශය ද මේ බව තහවුරු කොට ඇත. මින් පෙනී යන්නේ වජ්ජිපුත්‍රක භික්‍ෂුන් ඉදිරිපත් කළ අකැප දස වස්තු මුල් කොටගෙන හටගත් නිකාය භේදය දැවැන්ත ප්‍රතිවිරෝධයක් ලෙස ඉස්මතු වූ බවයි. තවද චීන සහ ටිබෙට් ග්‍රන්ථවල සඳහන් වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 110ට පසු දෙවැනි සංගායනාව පවත්වන ලද බවයි. මෙසේ සංගායනාව පැවැති ස්ථානය, සහභාගි වූ භික්‍ෂු සංඛ්‍යාව සහ කාලය පිළිබඳ ප්‍රතිවිරෝධ මත දක්නට ලැබෙන්නේ හටගත් නිකාය භේද සහ ඒ නිකාය දෙකට අනුගතව ඵෙතිහාසික තොරතුරු සම්පාදනය කිරීම බව පිළිගැනීමට සිදු වෙයි. කෙසේ වුව ද මෙබඳු විෂය කරුණුවලට හේතු වී ඇත්තේ ධර්මානුගත විවරණ ම නොව, භික්‍ෂු සංස්ථාවේ නිකාය වශයේ හටගත් බෙදීම බව පෙනෙයි. ව්‍යවහාරානුගතව මෙය දෙවැනි ධර්ම සංගීතියයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ඉක්ම වී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැළලුප් නුවර අශෝකරාමයේදී සහස්සිකා නම් ධර්ම සංගීතිය පවත්වන ලදි. මෙය ව්‍යවහාරානුකූල තෙවැනි ධර්ම සංගායනාවයි.

නව මසක් පුරා පැවැති මේ ධර්ම සංගායනාවේ දක්නට ලැබෙන්නේ විප්ලවීය ක්‍රියා මාර්ගයකි. සැට දහසක් දුසිල් මහණුන් නෙරපනු ලබයි. භාරතදේශයේ භූගෝලීය සීමාවලින් මිදී ලොව පුරා බුදු දහම ව්‍යාප්ත කෙරෙයි. සිරිලක බුදු සසුන ස්ථාපනය වෙයි. අරිට්ඨ කුමරා සහ අනුලා දේවිය ද සසුන්ගත වෙති. බුද්ධත්වයට සෙවණ දුන් බෝධියෙහි දකුණු ශාඛාව සිරිලක් බිමෙහි රෝපණය වී බුදු දහම ද සමඟ ම මුල්බැස ගනියි.

අශෝක රජු බුදුදහම රාජ්‍ය ආගම බවට පත් කොට ථේරවාදය රාජ්‍ය ආගම බවට පත් කළ බවත්, කණිෂ්ක රජු සිව්වැනි සංගායනාව මඟින් බුදු දහම ලෝක ආගමක් බවට පත් කොට මහායාන බුදුදහම ව්‍යාප්ත කළ බවත්, පූජ්‍ය දියගම නාරද හිමියෝ පවසති. අශ්වඝෝෂ, නාගාර්ජුන, පාර්ශ්ව සහ වසුමිත්‍ර ආදි ශ්‍රේෂ්ඨ මහායාන පඬිවරුන් ප්‍රමුඛ 500ක් පඬිවරුන් විසින් අඩවසක් පුරා පැවැති මේ සංගීතියේ ප්‍රතිඵලයක් වශයෙන් අර්ථ කථා හෙවත් අටුවා සම්පාදනය විය. මේ සංගායනාවෙන් මහායාන බුදු දහම නියෝජනය වූ බව බී. ජිනානන්ද ප්‍රකාශ කරන නමුත් ඒ බව තහවුරු කෙරෙන කිසිදු සාක්‍ෂියක් හමු නො වේ. ථේරවාදීන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලබන මහායාන ධර්මය ප්‍රචලිත වූයේ කණිෂ්ක රජු විසින් පවත්වන ලද ධර්ම සංගායනාවෙන් අනතුරුව ය. අපරදිග දර්ශනය නිෂ්ප්‍රභා කිරීමට සමත් මහා පඬිවරුන් බිහි වූයේ මේ ධර්ම සංගායනාවෙන් පසු, නාලන්දා, වික්‍රමශීලා, ජගද්දලා සහ ඕදන්තපූරී ආදි විශ්වවිද්‍යාල මඟිනි. මහායාන ධර්මය සංගායනාවෙන් පසුකාලීනව නාගාර්ජුන පාදයන් විසින් ප්‍රචලිත කරන ලදි.

පස්වැනි ධර්ම සංගායනාව ලෙස පිළිගනු ලැබ ඇත්තේ මෙතෙක් දඹදිව පැවැති ධර්ම සංගායනාවලට වෙනස් අයුරින් මෙ සිරිලක මුල් බැසගන්නා පරිදි පවත්වන ලද ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාවයි. විනය සංගායනාවක් වූ මෙය අරිට්ඨ හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් මන්තාභය තෙරුන් ඇතුළු සැටදහසක් භික්‍ෂූන් වහන්සේලා විසින් ථූපාරාමයෙහි පවත්වන ලද බව සඳහන් වෙයි. මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම පරිදි මහා අරිට්ඨ තෙරණුවෝ විනයාචාර්ය ලෙසින් පන්සියයක් භික්‍ෂූන්ට විනය ඉගැන් වූ බව පූජ්‍ය දියගම නාරද හිමියෝ පවසති.

වලගම්බා රාජ්‍ය සමයෙහි ලංකාවේ පවත්වන ලද ධර්ම සංගායනාව මාතුල ජනපදයේ මණ්ඩලාරාමක විහාරයේ අළු ලෙනෙහිදී මහාසේන, ඉසිදත්ත, වත්තබ්බ, නිග්‍රෝධාදී හිමිවරුන් විසින් සිදු කිරීම ලෝක සාසන ඉතිහාසයේ ම සුවිශිෂ්ට සන්ධිස්ථානයක් බවට පත් වෙයි.

 

බුද්ධ කාලයේ පටන් මුඛපාලියෙන් සංරක්‍ෂිත බුද්ධ ධර්මය ප්‍රථම වරට ලේඛනාරූඪ වන්නේ ඒ දහම බිහි වූ භාරත දේශයේ නොව, ශ්‍රී ලංකාවේ ය. ශ්‍රී ලාංකේය අභිමානයට හේතු වන්නේ මේ උත්තරීතර සංසිද්ධියයි.

ක්‍රි. පූ. 88දී සිදු වූ මේ සංගායනාව පිළිබඳ අස්ගිරි තල්පතෙහි මෙසේ සඳහන් වෙයි:

“...... සාසනාරක්‍ෂාව කර තබඬ ඇති කරවාගත් කතිකාව ලෙස මහා විහාරබද ථූපාරාම නිවාසී කුත්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේලා මාතුල දනව්වේ අළුලෙනට රැස්ව එම ජනපදාධීශ්වර මන්ත්‍රීවරයාගේ මහත් උපකාර මූලිකව උපාලි මහරහතන් වහන්සේගේ පටන් සතිස් මහා ස්ථවිර පරම්පරාවෙන් සිත්හි ලා ධරා පවත්වාගෙන ආවා වූ ත්‍රිපිටක පාලි ධර්මය අප බුදුන් පිරිනිවි සාරාසිය සූ පනස් වසක් ඉක්ම ගිය තැනේදී සංගායනා කොට ග්‍රන්ථාරූඪ කළ සේක.”

විවිධ මූලාශ්‍රය ගැඹුරින් අධ්‍යයනය කර ඒවා මත පිහිටා මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහූ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම සම්බන්ධව පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ ඉතිහාස ග්‍රන්ථයෙහි ලා මෙසේ සඳහන් කරති.

Another event of importance in the history of Buddhism in Ceylon took place in the

reign of Wattagamini Abhaya. Up to them the buddhist scriptures were handed down

orally. The buddhist scriptures were handed down orally. The uncertainly of life

during periods of famine, such as that from which the country suffered before

wattagamini's victory, brought home to the heads of the churchs the risks attendent

on oral transmission and they devided to have the sacred texts commited to writing.

Latter tradition asserts that this was done at Aluweihare in the Matale district but the

earlier historical writings do not connect Aluwihare with this event [U.H.C. vol. 1,

part 1 page 172]

“ත්‍රිපිටකය ලේඛනාරූඪ වීම මාතලේ දිස්ත්‍රික්කයේ අලුවිහාරයේ සිදු වූ බව තහවුරු කිරීමට පසුකාලීනව උත්සාහ දරා ඇතත්, ඒ ස්ථානයෙහි ත්‍රිපිටකය ලේඛනාරූඪ වූ බවට ඓතිහාසික සාධක හමු නොවේ”

යනුවෙන් මෙසේ සෙනරත් පරණවිතාන සූරීන් දක්වන මතය අපගේ අවධානයට යොමු විය යුත්තකි.

අලුලෙන සමඟ සංගායනාවෙහි පැවැති සබඳතාව අලුවිහාරය සමඟ සබඳතාව බවට පත් කරන ලද්දේ 1848 වසරින් අනතුරුව බව සිතීමට කරුණු ඇත. නිකාය සංග්‍රහයෙහි එන මාතුල යන්න මාතලේ ලෙස හඳුනාගැනීම ආරම්භ වූයේ 1852 වසරේදී සිදත් සඟරාව පළ කරමින් එයට දීර්ඝ පූර්විකාවක් කළ ජේම්ස් ද අල්විස් පඬිවරයාගේ ග්‍රන්ථයෙනි.

1848 වසරේදී ජාතික විමුක්ති සටන නිසා පැන නැඟී තත්ත්ව සලකා සිංහල භාෂාව පිළිබඳ අවබෝධයකින් තොර ඉංග්‍රීසින් උදෙසා ජේම්ස් ද අල්විස් විසින් මේ ග්‍රන්ථය සකස් කරන ලදි. මිෂනාරී අධ්‍යාපනයක් ලබා කිතුනු පරිසරයක වැඩුණු ක්‍රිස්තියානි ලබ්ධිකයකු වූ එතුමන්ගේ විස්තරය සලකා බැලීමේදී එය නිකාය සංග්‍රහ පාඨය අනායාසයෙන් තේරුම් ගැනීමට කළ උත්සාහයක ප්‍රතිඵලයක් බව පැහැදිලි වෙයි. ඔහු නිකාය සංග්‍රහයෙහි ‘මාතුල’ යන්න ‘මාතල’ ලෙස සලකා තිබේ.

ජේම්ස් ද අල්විස්ගේ සැරයටිය අල්ලා ගන්නා සර් රොබට් චාමර්ස් ආණ්ඩුකාරවරයා ද 1915 පෙබරවාරි 17 කොළඹ මහජන ශාලාවේදි ප්‍රකාශ කර ඇත්තේ අලුවිහාරේ පවත්වන ලද සංගායනාවක් පිළිබඳ ය. අනතුරුව මේ මතය ප්‍රචලිත වීමට මහාචාර්ය ගුණපාල මලලසේකර පමණක් නොව ඊ. ඩබ්. අදිකාරම් ශ්‍රීමතාණන් විසින් ද ඉදිරිපත් කළ අදහස් හේතු වූ බව සැලකිය හැකි ය.

මහාචාර්ය ගුණපාල මලලසේකර සිය දර්ශනසූරී උපාධියට ‘Pali Literature of Ceylon’ නම් කෘතිය 1928 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරයි. මේ කෘතිය ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍ය නමින් ඩබ්. දයාරත්න තිසේරා විසින් 1965 වසරේදී ප්‍රථම වරට සිංහලට පරිවර්තනය කොට ඇති අතර ඒ කෘතිය විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා ද නිර්දේශ කෘතියක් විය.

මේ කෘතියේ දෙවැනි පරිච්ඡේදයේ මහාචාර්ය ගුණපාල මලලසේකර රොබට් චාමර්ස් ආණ්ඩුකාරවරයාගේ මතය ද උපුටා දක්වමින් සංගායනාව අලුවිහාරයේ පැවැත්වූ බව සඳහන් කරයි.

‘Early History of Buddhism’ නමින් දර්ශනසූරී උපාධියට 1945 දි සිය පර්යේෂණ කෘතිය සෝර්බෝන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ඊ. ඩබ්. අදිකාරම් ශ්‍රීමතාණෝ ද ගුණපාල මලලසේකරයන්ගේ මතය ම දක්වති.

මේ වියතුන් විසින් ඉදිරිපත් කරනු ලැබීම නිසා ඉංග්‍රීසි මෙන් ම සිංහල උගතුන් අතර ද අලුවිහාරයේ ධර්ම සංගායනාව වූ බව පිළිගැනීමට අනුබලයක් සැපයිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ අංක 153190 යටතේ වූ අලුවිහාරේ විත්ති නම් පුස්තිකාව 1978 අලුවිහාරවාසී භික්‍ෂු නමක විසින් මුද්‍රණයෙන් පළ කර ඇත. එමෙන් ම මාතලේ මහ දිසාපති කාර්යාලයේ සංස්කෘතික අංශය 1984 වසරේදී ඵෙතිහාසික මාතලේ නම් කෘතියක් පළ කොට ඇත. මේ කෘති දෙකින් ම උත්සාහ දරා ඇත්තේ සංගායනාව පැවැතියේ මාතලේ අලුවිහාරයේ බව දැක්වීමට ය.

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරමින් 2019 ජනවාරි 05 දින මාතලේ අලුවිහාරයේ පැවැති උත්සවයේදී ජාතික උරුමයක් වූ ත්‍රිපිටකය නමින් පුස්තිකාවක් පළ කරන ලදි. මෙහි ඇතුළත් ලිපි දහයෙන් එකක පමණි මාතුල අලුලෙනෙහි ධර්ම සංගායනාව පැවැත්වූ බව සඳහන් වී ඇත්තේ. සෙසු ලිපි සඳහන් කරන්නේ මාතලේ අලුවිහාරයේ ත්‍රිපිටකය ලේඛනාරූඪ වූ බවයි. ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීමට වලගම්බා රජුගෙන් කිසිදු සහනයක් ලැබී නැත. අනුග්‍රහය මෙන් ම ආරක්‍ෂාව ද සපයන ලද්දේ ප්‍රාදේශීය නායකයකු විසිනි. මේ බව පුරාවිද්‍යා චක්‍රවර්තී, එල්ලාවල මේධානන්ද හිමියෝ ද සිය ‘ගලේ කෙටු අකුරු’ නම් කෘතියෙහි සඳහන් කරයි. එහෙත් වලගම්බා රජු මැදිහත් වීමෙන් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ වූ බව පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ පවසති.

 

ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය නම් කෘතිය 1959 වසරේදී මහාචාර්ය හේමචන්ද්‍ර රායි විසින් සංස්කරණය කරන ලද්දකි. 1964 වසරේදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය මඟින් මෙහි පරිවර්තනයක් ද සිදු කොට ඇත. මේ කෘති දෙකෙහි ම සඳහන් වන්නේ මාතලේ අලුවිහාරය සම්බන්ධව නමුත්, මුල්කාලීන ඵෙතිහාසික ලේඛනවල අලු විහාරයට සම්බන්ධ කිසිදු ලේඛනයක් හමු නො වේ.

නිකාය සංග්‍රහය මෙන් ම අස්ගිරි තල්පත ද මාතුල අලුලෙන පිළිබඳ සඳහන් කරන අතර, අස්ගිරි තල්පතේ කිහිප තැනක ම මාතලේ සහ මාතුල දක්වා ඇත්තේ වෙන් වෙන් වශයෙනි.

මනෝරථපූරණිය ආලෝක ලෙන පිහිටි දක්ඛිණ මළය ප්‍රදේශය පිළිබඳ සඳහන් කරන අතර, ඒ කෘතිය ආශ්‍රිත සාර සංග්‍රහයෙහි ද ලංකාදීප මලයදේශ ආලෝක ලෙන යනුවෙන් සඳහන් වේ.

ඒ.සී. ලෝරි විසින් රචිත ‘Gossetter of Central Province’ නම් කෘතියෙහි ලා ටර්නර් සහ ඕල්ඩන්බර්ග් යන විද්වතුන් දරන මතය ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ගේ මතය වන්නේ මාතලේ අලුවිහාරේ ධර්ම සංගායනාව පැවැත්වූ බවට දැක්වෙන මතය ඇදහිය නොහැකි මිථ්‍යාවක් බවයි.

කෑගල්ල අලු ලෙනෙහි ‘පරුමක ඉඣු පුත පරුමක අගිය ලෙණෙ. ශගශ’ (ප්‍රමුඛ ඉජුගේ පුත් ප්‍රමුඛ අග්නිගේ ලෙනයි. සංඝයාට පුදන ලදි). යන සෙල්ලිපිය රාජ්‍ය වර්ෂ පූර්ව දෙවැනි සියවසට අයත් වන අතර ඒ ලෙන වාසයට සුදුසු තත්ත්වයට සකස් කර ඇත්තේ ඒ අවධියේ බව මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

පැරැණිතම වංශ කථා දෙක වන දීපවංශය සහ මහාවංශය ද වංසතථප්පකාසිනිය ද ධර්මයෙහි චිරස්ථිතිය සඳහා ලේඛනාරූඪ කරන ලද බව සඳහන් කර ඇතත්, අතිශයින් ම වැදගත් මේ සංගායනාව පැවැති මණ්ඩලාරාමක විහාරය කවර තැනක වී දැයි යන්න හෝ ඒ සංගායනාවට අනුග්‍රහය සැපයූ ජනපදාධිපතිවරයා ගැන හෝ සඳහන් නො කරයි. ඒ ඵෙතිහාසික ස්ථාන පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් වංශකථා කරුවන්ට නොවී යැයි සිතන්න කරුණු සැලසී ඇත. ඇතැම් විට වළගම්බා රජු මේ සංගායනාවට අනුග්‍රහය සැපයී නම් ස්ථානය පිළිබඳ තොරතුරු ඇතුළත් වන්නෙ ඉඩ තිබිණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ලට ආසන්නව පිහිටි සංගමු විහාරය මණ්ඩලාරාමක විහාරය ලෙස දැක්වීමට එම්. ඩබ්. විමල් විජේරත්න උත්සාහ දරයි. එය තහවුරු කිරීමට සාක්‍ෂි 11ක් ද ඉදිරිපත් කරයි. මලය රටේ පිහිටීම, මාතලේ අලුවිහාරයට ආසන්නව පිහිටීම, ක්‍රි. පූ. අවධියේ මහින්දාගමනයෙන් වැඩි කල් නොගොස් ආරම්භ වූ විහාරයක් වීම, කාල නමින් හැඳින්වූ ලෙන් විහාරයක් බව, බොහෝ ඉඩකඩ සහිත බව, කලුගමේ පිහිටි විහාරයක් බව, කාලවේල නමින් ද හැඳින්වූ බව, අනුරපුර දකුණට භොක්කත්ත ගමට සමීප විහාරයක් බව, ගෝඨයිම්බර සබඳතා සහිත වීම, රවුම් හැඩය සහිත වැදගත් ගොඩනැඟිල්ලක් වූ බව සහ වෙත හිමියන් වැඩ සිටි විහාරය වීම මෙකී සාක්‍ෂි වෙයි.

ඉහත සාධක සියල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ හැටහයේ කෝරලයේ ගොකරැල්ල ගමට කි. මී. 3.2 (සැත. 2) පමණ ඊසාන දෙසින් වූ මැද්දෙකැටිය වැව අයිනෙහි සංගම නම් ගමේ පිහිටි ක්‍රි. පූ. අවධියට අයත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි සහිත විශාල ප්‍රදේශයක පැතිර ඇති බවත්, නෂ්ටාවශේෂ ගහන බවත් මහාචාර්ය මහින්ද සෝමතිලක ද සඳහන් කරයි.

මණ්ඩලාරාම යන සංඥා නාමය මණ්ඩල ආරාම ලෙසට වට්ටාරාම යන පදය සමඟ වට්ට ආරාම ලෙස සමානාර්ථවත්ව යෙදී ඇතැයි සලකා එය කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි වර්තමාන වට්ටාරාම රජමහා විහාරය ලෙස පුජ්‍ය,පොල්වත්තේ බුද්ධදත්ත සහ පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකිත්ති යන හිමිවරු පිළිගනිති. මහින්ද සෝමතිලක සඳහන් කරන්නේ මෙය බාහිර ස්වරූපය පමණක් සැලකිල්ලට ගෙන කළ නිගමනයක් බව යි.

සංගීතිවංශයෙහි සඳහන් වන්නේ යැයි බී. ජීනාන්ද දක්වන හැටියට සවන සංගායනාව වන්නේ මහාතිත්ථ රජ සමයෙහි (බු. ව. 516 වසරේදී) බුද්ධඝෝෂ හිමියන් විසින් අටුවා ටීකා සිංහලෙන් පාලියට නැඟීමයි.

සිලාකාල අඹහෙරණ, සලමෙවන් නමින් රජව චෛතුල්‍යවාදය නැවත වරක් ප්‍රචාරය කිරීමට දැරූ ප්‍රයත්නය පිළිබඳ ම. ව. 40 පරිච්ඡේදයේ 37 - 40 ගාථා මඟින් විස්තර කෙරෙයි. කසීරට සිට පැමිණි වෙළෙන්දකු විසින් රැගෙන ආ ‘දහම්ධාතු’ නම් වෛතුල්‍ය පිටකය ජේතවනාරාමයේ තබවා ඒ වෙනුවෙන් රටපුරා සැණකෙළි පැවැත්වූ බව දැක්වෙන ඒපුවත මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ ද විස්තර කරති.

ක්‍රි. ව. 625 - 658 කාලයේ වෛතුල්‍ය පිටකය ප්‍රචාරය වූ නිසා ධර්මය කිලිටි වීම වළකනු වස් මහා විහාරී භික්‍ෂුන් වහන්සේලා දඹදිවින් ජෝතිපාල නම් ත්‍රිපිටකධර හිමිනමක් වැඩම කරවා ජේතවනික භික්‍ෂූන් හා වාද කරවූ බව සඳහන් වෙයි අභයගිරි සහ ජේතවන දෙනිකාය ම මහා විහාරයට අවනත වූයේ ඉන් අනතුරුව ය. මේ සාසන ශෝධනය ද ධර්ම සංගායනාවක් සේ සැලකිය යුත්තකි. වෛතුල්‍යවාදයට මුහුණදීමට සමත් භික්‍ෂුවක් ලංකාවේ නොවූයේ මන්ද?

ක්‍රි. ව. පස්වැනි සියවසේ දික්සඳසෙනෙවියා පිරිවෙනෙහි වැඩ විසූ මහානාම නම් යතිවරයාණ විසින් පාලි පද්‍යයෙන් - ගාථාවෙන් - රචිත මහාවංශය අපේ වංශකථා සාහිත්‍යයේ අග්‍රේසර කෘතියයි. මහාචාර්ය වල්පොළ රාහුල හිමියෝ මහාවංසකාර මහානාම හිමියන් පිළිබඳ මෙසේ සඳහන් කරති.

“මහා වංසයේ පළමුවැනි කොටස කළ කර්තෘගේ අගති විරහිත ගුණය විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි. විදේශිය දෙමළ පාලකයෝ සැබැවින් ම දැහැමින් සෙමෙන් රාජ්‍ය කළෝ නම් විදේශකයන් හැටියට ඔවුන් තමන් නොරිස්සුවත් ඔවුන් යහපත් දැහැමි පාලකයන් හැටියට එතුමා දක්වයි’

එතෙකුදු වුවත් සමස්ත ලෝක ප්‍රජාව සම්බන්ධයෙන් මේ උත්තරීතර මානව උරුමය සේ සැලකිය හැකි ත්‍රිපිටකය ලේඛනාරූඪ කිරීම සම්බන්ධයෙන් මහාවංශ කතුවරයා නොතකා හැරියේ මන්දැයි යන ප්‍රශ්නය මතු වෙයි.

 

වෙනත් බොහෝ කරුණු වර්ණනාත්මකව දැක්වීමට ගාථා රැසක් ප්‍රබන්ධ කරන කතුවරයාණන් ත්‍රිපිටකය ලේඛනාරූඪ කිරීම සම්බන්ධ ගාථා දෙකකින් පමණක් සඳහන් කරයි. තත්කාලීන භික්‍ෂුන් සත්ත්වයන්ගේ පිරිහීම දැක ධර්මයේ චිර පැවැත්ම පිණිස පොත්වල ලියූ බව පමණක් 33 පරිච්ඡේදයේ 103, 104 ගාථා මඟින් දක්වයි. මහාවංශ ටීකාව මේ සිද්ධිය ගැන එතරම්වත් සැලකිල්ලක් නොදක්වමින්, ‘හානිං දිස්වාන සත්තානං’ යන පාඨය පමණක් ටීකා කර ඇති බවත්, පූජාවලිය වළගම්බා රජු දවස පන්සියයක් රහතන් වහන්සේලා අලුලෙන වැඩ හිඳ පොත් සංගායනා කළ බව පමණක් කියා නිහඬ වන බවත් මහාචාර්ය මැන්දිස් රෝහණධීර සඳහන් කරයි. මහාවංශයේ 73 පරිච්ඡේදයට අයත් ගාථා 164ක්ම පැරැකුම් රජු වෙනුවෙන් ප්‍රබන්ධ වන්නේ රජු රෝගී කවුඩකුට පිළියම් කොට ඒ කවුඩා ඇතකු පිට නංවා නගරය පැදකුණු කරවා මුදාහරිනු ලැබූ පුවතක් ද වර්ණනා කරමිනි.

බු. ව. 1587 වසරේදී මහා පරාක්‍රමබාහු රජ සමයේ පැරකුම් රජුගේ රාජ සභා මණ්ඩපයේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධානත්වයෙන් වසරක් පුරා පැවැති ධර්ම සංගායනාව සංශෝධිත අටුවා ටීකා කියැවීම සම්බන්ධයෙන් වැදගත් වෙයි. බී. ජිනාන්ද දක්වන්නේ එය ලංකාවේ පැවැති සත්වැනි සංගායනාව බවයි.

බුදු දහම ස්ථාවර පදනමක පිහිටු වනු වස් උතුරු තායිලන්තයේ ශ්‍රී ධර්ම චක්‍රවර්තී තිලක රාජාධිරාජ මහරජතුමා සිය අගනුවර වූ මියන්මාහි සංගායනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. වසරක් පුරා මහාබෝධි ආරාමයේ මේ සංගායනාව පවත්වා ඇත්තේ තායිලන්තයේ සියලු උගත් භික්‍ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි.

තායිලන්තයේ මීළඟ ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ බු.ව. 2331 වසරේදී ය. මේ සංගායනාව පැවැත්වීමට හේතු දෙකක් පාදක වී ඇති බව පෙනෙයි. අයෝධ්‍යාවෙහි හටගත් ගින්නකින් ත්‍රිපිටක ග්‍රන්ථ සහ අත්පිටපත් රැසක් අළු බවට පත් විය. සංඝ සමාජයේ භේදභින්න වීමක් ද සිදු විය. දීර්ඝකාලීන එදිරිවාදිකම් නිසා සඟ සසුන පිරිහිණි. මින් අසහනයට පත් රාමරජු සහ ඔහුගේ සොහොයුරා විසින් බුදු දහම යථා තත්ත්වයට පත් කරනු වස් රාජානුග්‍රහය සපයන ලදි. බුදු දහම තායිලන්තයේ පූර්ණ ලෙස ස්ථාපනය වූයේ වැඩිහිටි භික්‍ෂුන් වහන්සේලා 218නමක් සහ ගිහි පඬිවරුන් 30 දෙනකු ද සහභාගි වීමෙන් වසරක් පමණ කාලයක පැවැති මේ ධර්ම සංගායනාවෙනි.

ත්‍රිපිටක නැවත ලේඛනගත කිරීමක් 1867 වසරේදී සිදු විය. පැල්මඬුල්ලේ ධර්ම සංගීතිය නමින් හැඳින්වෙන මෙය පුජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි, පුජ්‍ය හික්කඩුවේ සුමංගල හිමි, පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර හිමි, පූජ්‍ය ලංකාගොඩ ධීරානන්ද හිමි ප්‍රමුඛ යතිවරයන් වහන්සේලා විසින් සිදු කරන ලදි. පැල්මඬුල්ලේ එක්නැලිගොඩ නිලමේ විසින් ඉදිකරන ලද ධර්ම ශාලාවක පැවැති මේ සංගීතියෙන් අනතුරුව ඒ ත්‍රිපිටකය කොළඹ කෞතුකාගාරය විද්‍යෝදය පිරිවෙන සහ පැල්මඩුල්ල ධර්ම ශාලාවෙහි ද ආරක්‍ෂිත බව සඳහන් වෙයි. මීට වෙනස් තොරතුරක් බී. ජිනානන්ද දක්වයි. ඔහුට අනුව හික්කඩුවේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේදී මේ සංගායනාව පවත්වා ඇත්තේ 1865 වසරේදී ය. අනුග්‍රහය සපයා ඇත්තේ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ තුමා ය. පැල්මඬුල්ලේ එක්නැළිගොඩ නිලමේ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ තුමා බවත්, රත්නපුර ලෙස සලකා ඇත්තේ පැල්මඬුල්ල බවත් සිතීමට කරුණු ඇති නමුත් කාලවකවානු වෙනස් ය.

සොම්දෙයි ප්‍රා වනරත් (වනරතන හිමි) නම් රාජවංශික හිමිනමක විසින් ‘සංගීති වංස’ නම් කෘතියක් සම්පාදිත ය. ක්‍රි. ව. 1923 වසරේදී සවන රාම රජුගේ විධානයෙන් ප්‍රකාශයට පත් මේ කෘතියෙහි පිටපත් දෙකක් තායිලන්තයේ බැංකොක් ජාතික පුස්තකාලයේ සංරක්‍ෂිත ය. මෙහි දැක්වෙන අන්දමට සිව්වැනි, පස්වැනි, සවැනි සහ සත්වැනි ධර්ම සංගායනා ලංකාවේ ද අටවැනි සහ නවවැනි සංගායනා තායිලන්තයේ ද පවත්වා තිබේ.

පෙළබසින් රචිත ධර්මය කිරිගරුඬ පුවරු මත ලේඛනගත කරනු වස් බුරුමයෙහි පැවැති සංගායනාව බී. ජිනානන්ද හඳුන්වන්නේ පස්වැනි සංගායනාව නමිනි. ඔහු දක්වන අන්දමට සංගායනා තුනක් භාරතයේ ද සිව්වැනි සංගායනාව ලංකාවේ ද පවත්වන ලද අතර පස්වැනි සංගායනාව බුරුමයේ පැවැති සංගායනාවයි.

මේ බුරුම සංගායනාව ක්‍රි. ව. 1871 වසරේදී මින් ඩොන්මින් රජුගේ අනුග්‍රහයෙන් මණ්ඩලේ නගරයේ පවත්වන ලද්දේ ජාගරාභිවංස නරින්දජා සහ සුමංගල යන භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙනි. මාස පහක් පමණ කාලයක පැවති මේ සංගායනාවට උගත් භික්‍ෂුන් වහන්සේලා සහ ගුරුවරුන් ද 2400ක් සහභාගි වී ඇත.

අභිජා රටඨගුරු රේවත මහතෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 1954 වසරේ රැන්ගුන් නුවර සිදු කළ මහා සංගායනාව භාරතය, ශ්‍රී ලංකාව, නේපාලය, කාම්බෝජය, තායිලන්තය, ලාඕසය සහ පකිස්ථානය යන රටවල් ප්‍රමුඛ වෙනත් රටවලින් ද වැඩම කරවන ලද භික්‍ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පවත්වන ලද්දකි. ත්‍රිපිටක ධර්මය නැවත පිරික්සා බැලීම පිණිස, බුදු දහම මනාව උගත් මෙන් ම ධර්මයෙහි පිහිටා සිටි භික්‍ෂුන් වහන්සේලා 500 නමකට ඇරයුම් කොට ඇත. ඒ ඒ රටවල භික්‍ෂූන් වහන්සේලා විසින් සංවිධානය කෙරුණු මේ සංගායනාව 1954 ආරම්භ කොට 1956 වෙසක් පුන් පෝ දින නිම විය. මේ සම්බුද්ධත්ව ජයන්තිය බුදු දහමේ විශාල පුනර්ජීවනයක් මෙන් ම ලෝක සාමයේ උදාව පිණිස ද මඟ පෑදී ය. ලොව විශාලතම බෞද්ධ ග්‍රන්ථාලය ලංකාවේ බිහි වන්නේ මේ සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කෙරෙමිනි.

“මේ සංගායනාවේදී බුද්ධ ධර්මය මෙන් ම ශික්‍ෂාපද ද සමාලෝචනයෙන් බෞද්ධයන්ගේ ප්‍රයෝජනය පිණිස ඒවා පිළිපැදිය යුතු නීති සංග්‍රහ කෙරෙනු ඇත. එසේ නමුදු මේ සියලු ධර්මයන්ට හා විශ්වාසවලට ඉහළින් බුදුරදුන් සිටින අතර උන් වහන්සේ විසින් දේශිත සනාතනික දහම, කාලාන්තරයක් තිස්සේ මනුෂ්‍යත්වය ප්‍රමුදිත කොට ඇත්තේය” යි මේ සංගායනාවට සුබ පණිවිඩයක් සපයන ජවහර්ලාල් ශ්‍රී නේරුතුමන් පවසා ඇත.

මුල් ග්‍රන්ථ සංශෝධනය සහ සංස්කරණයෙන් අනතුරුව බුරුම බසට පරිවර්තනය කොට බුරුම අකුරින් ලේඛනගත කිරීම පමණක් නොව, මුල් ග්‍රන්ථ මෙන් ම අටුවා ටීකා ද හින්දි සහ ඉංගිරිසි භාෂාවට පරිවර්තනය වීම ද සුවිශේෂ සංසිද්ධියකි.

බුරුම සංගායනාවේ විශේෂත්වයක් වන්නේ එය තනි රටකට සීමා නොවීමයි. පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්ඛිත සහ පූජ්‍ය කාක්කපල්ලියේ අනුරුද්ධ හිමියන් විසින් සම්පාදිත විද්‍යාලංකාර පිරිවෙන ශත සංවත්සර කෘතියෙහි දැක්වෙන අන්දමට බුරුම සංගායනාවට ආදර්ශ සපයා ඇත්තේ 1950 වසරෙහි විද්‍යාලංකාර පිරිවනේ පවත්වන ලද ධර්ම සංගායනාවයි.

 

වසර තුනකුත් මාස පහක් සහ දින 15 ක් තිස්සේ පැවැති මේ සංගායනාවෙන් ආදර්ශ සපයා ගැනීමට පැමිණි බුරුම රජයේ ශාසන ඇමැති යූ වින් ඇතුළු නියෝජිත පිරිස විදුලකර පිරිවෙනේ වැසි භික්‍ෂූන් වහන්සේලාගේ දාන පහසුව සලකා වාර්ෂිකව සහල් ටොන් දහය බැගින් පරිත්‍යාග කිරීමට කටයුතු කිරීමෙන් මේ සංගායනාවේ සාර්ථකත්වය පිළිබඳ වටහා ගත හැකි වෙයි.

වල්පොළ රාහුල හිමියන්ගේ යෝජනාවත් ටී. බී. ඉංගරත්න මැතිතුමාගේ පෙලඹ වීමත් මත පූජ්‍ය හික්කඩුවේ ප්‍රඥාරාම හිමියන් විසින් මේ සංගායනාවේ සියලු බර කරට ගෙන තුන් නිකායට ම අයත් මහ නාහිමිවරුන් 1950 අගෝස්තු 15 දින විදුලකරට වැඩම කරවා සංගායනාව පැවැත්වීමට කටයුතු කර ඇත. බඹරගල රජමහා විහාරාධිපති ඔත්නාපිටියේ ශ්‍රී සුමංගල තෙරුන් විසින් මේ සංගායනාවේ මහතෙර තනතුර හොබවන ලද අතර උඩුබද්දාවේ පුරාණ විහාරාධිපති දඹවින්නේ ධර්මානන්ද නාහිමි, බටපතේ විහාරාධිපති මාතලේ ශ්‍රී සරණංකර මහතෙරුන් වහන්සේ මැටිකොටුවේ සුරේන්ද්‍රාරාමාධිපති කෑරගල ශ්‍රී සෝමානන්ද මහ ස්ථවිරයන් වහන්සේ ඇතුළු සියයක් පමණ භික්‍ෂුන් වහන්සේලා මේ සංගායනාවට සහභාගි වී ඇත.

ත්‍රිපිටකයේ සැලැස්ම වශයෙන් සකස් කළ ‘සඟිබණ’ පොත ඉඹුලාගේ කේ. ඒ. පීටර් මැතිතුමන් නමින් එච්. සී. සෝමාවති මැතිණිය විසින් කෑරගල ඩබ්. ඒ. ජේම්ස් අප්පුහාමි මුදලාලි මහතා සහ මාවතහේනේ ඩී. වී. ජයසිංහ මහතාගේ විශේෂ මුදල් ආධාර ද සහිතව මුද්‍රණය කොට ඇත.

සංගායනාවේ පළමු අදියර වූයේ බුරුම සියම් ඉංගිරිසි අකුරින් මුද්‍රිත පෙළ පැරැණි සිංහල පුස්කොළ පොත් සමඟ සසදා බැලීම යි.

පූජ්‍ය යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් 1957 දෙසැම්බර් 12 දින පල කළ ‘නිවේදනය’ සඳහන් කරන්නේ, සමහර මහණුන් මහණකමේ පදනම වන ලජ්ජා බය දෙක පවා වඳ කරගෙන කරන නානා වනචර කම් අහන දකින විට සැදැහැබර වුවත් නුවණින් තොර මහජනයා ද ඒ අමනයන්ගේ කියමන් ලියමන් අදහන තත්ත්වයට පත් වීම මේ සංගායනාවට හේතු වූ බවයි.

මේ වනාහී භික්‍ෂු දේශපාලනයේ රැඩිකලීය ස්වරූපය විදුලකරින් ඉස්මතු වූ අවධියයි. යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ වදන්වලින් ධ්වනිත වන්නේ ඒ භික්‍ෂු දේශපාලනයේ ස්වරූපයයි. කැලණිය විශ්වවිද්‍යාලය 1959 වසරේ බිහි වන්නේ ද අතිපුජ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ 1875 වසරෙහි ආරම්භ කරන ලද විද්‍යාලංකාර පිරිවෙන අප රට මනා සංඝපීතෘෘන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වාගෙන එමින් ඉටු කරන ලද ධර්ම ශාස්ත්‍රීය සේවයේ ප්‍රතිඵලයක් වශයෙනි. විශ්වවිද්‍යාලය බවට පත් වන්නේ, ශ්‍රී ලාංකේය ජාතික සංස්කෘතිය මෙන් ම භාෂා ද වර්ධනය කරමින්, දේශයක් වශයෙන් අප මුහුණපාන ගැටලු විසඳමින්, ජාතික චින්තනය ප්‍රඥාවෙන් පරිශෝධනය කිරීමේ අභිලාෂය ම ය.

විදුලකර ධර්ම සංගායනාව පිළිබඳ වාර්තා ද පෙර පරිදි ම ගිනිබත් කිරීමට කිසිවකුට ඉඩ ප්‍රස්තාවක් ලැබී නැත. එහෙත් අදමිටුවන් බලවත් වූ විට ප්‍රගතිශීලි භික්‍ෂු ව්‍යාපාරයකට වුව ද විරෝධතා මතු වීම ස්වභාවය යි. රාජ්‍යානුග්‍රහය නො ලබන කෙබඳු සම්භාවනීය සිදු වීමක් වුවත් ඉතිහාසය තුළ ම වළලා දැමීමේ අපේක්‍ෂාව විදුලකර ධර්ම සංගායනාව පිළිබඳ තොරතුරු අප්‍රකට වීමට හේතු වූ බව සැලකීමට සිදු වී තිබේ.

සංගායනා නමින් හඳුන්වනු නොලැබුව ද සාසන සංශෝධන අවස්ථා ලංකා සාසන ඉතිහාසයෙන් හමු වෙයි. පොලොන්නරු කතිකාවත දඹදෙණි කතිකාවත, නිකාය සංග්‍රහය ආදිය ඇසුරෙන් මේ පිළිබඳ තොරතුරු දත හැකි ය.

කතිකා කොට සම්මත කරනු ලබන නියම කතිකා නම් වෙයි. කතිකාවක යනු එබඳු නියමයන් පිළිබඳ විස්තරයකි. සංගායනාවෙන් මෙන් ම කතිකාවතින් ද ඉටු වී ඇත්තේ බුද්ධ වචනය විකෘති වීම වැලැක්වීම සහ සංඝ සංස්ථාව සංශෝධනයයි. එහෙයින් සංගායනාවෙහි මෙන් ම කතිකාවතෙහි ද අරමුණු සහ කාර්යයන් එකක් සේ සැලකිය හැකි ය. පොළොන්නරු කතිකාවතින් භික්‍ෂුන් වහන්සේලාට පැවරුණු කාර්යය වුයේ එකල විසු පාපකාරී භික්‍ෂුන් රැසක් සසුනින් නෙරපමින් නිකායාන්තර සමගිය ආරක්‍ෂා කිරීම සහ ධර්ම විනය සංසන්දනය කොට විමසීමයි. කෙටිවුත් ව්‍යක්තවූත් පණ්ඩිත සම්මත වූත් පොළොන්නරු කතිකාවත අපේ සාහිත්‍ය වංශයේ හරබර සාහිත්‍යාංගයක් කොට පුංචිබණ්ඩාර සන්නස්ගල සලකයි. දඹදෙණි කතිකාවත සකසන ලද්දේ පොළොන්නරු කතිකාවතම වැඩි දියුණු කර ගැන්මෙනි. භික්ෂු චර්යාව බැහැර කළ භික්ෂූන් ගිහි මගටම පිවිසීම එසේ දඹදෙණි කතිකාවත පැවැත්වීමට හේතු විය. එය සාහිත්‍ය ලේඛනයකට වඩා සාසනික ලේඛනයක් බව පුංචි බණ්ඩාර සන්නස්ගල දක්වයි.

නිකාය සංග්‍රහයෙන් දැක්වෙන අන්දමට ලංකාවේ අන් කවර යුගයකදීවත් නොවූ තරම් සාසන සංශෝධන ගම්පොළ යුගයේ ඇති වී තිබේ. සාසන සංශෝධන පිළිබඳ තොරතුරු වැඩි වශයෙන් ඇතුළත් වන්නේ ද නිකාය සංග්‍රහයෙහි ය.

ලෝක සාසන ඉතිහාසයේ අතිශය ප්‍රහර්ෂකර සංසිද්ධිය මෙන්ම අතිශය ඛේදජනක සංසිද්ධිය ද ශ්‍රි ලංකාව හා බැඳී පවතී. බුදුන් වදාළ දහම මුඛපාලි වශයෙන් සියවස් ගණනාවක් රැගෙන එමින් දහම උපන් භාරත දේශයේ නොව ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ලේඛනාරූඪ වීම අතිශය ප්‍රහර්ෂකර සංසිද්ධියයි. ශ්‍රී ලාංකේය අභිමානයට හේතු වන්නේ එය ම ය. අතිශය සංවේගජනක සංසිද්ධිය වන්නේ තිස්සමහාරාම සහ සිතුල්පව්ව වැඩි මහ රහතන් වහන්සේලා 24000 ක් කුසගින්නේ පිරිනිවන් පෑමයි. මියුරු දන්වැටින් පිදුම් ලබන භික්‍ෂුන් වහන්සේ අල ජනපදයේ දී කුසගිනි නිවාගත්තේ මිනිසුන් කා දමා ගිය අඹ පොතු වළඳමිනි. සාගතය කෙතරම් උග්‍ර වී ද යත්, නීග්‍රෝධ හිමි මිනී මස් කන පිරිසකගේ ගොදුරක් නොවි දිවි ගලවා ගන්නේ ආයාසයෙනි. කුසගින්න නිසා දුබල කය හසුරුවාගත නොහැකි භික්‍ෂූහු නාගදීපය සහ දඹකොළ පටුනින් ඉන්දියාවට පලාගියේ කුසගින්නෙන් මිදෙනු පිණිස ම ය. භික්‍ෂූන් වහන්සේලා ත්‍රිපිටකය වන පොත් කරමින් දිවි රැකගන්නේ ගස්වල කොළ පොතු මුල් ආදිය අහරට ගනිමිනි. පදුම හිමියන් අපවත් වුයේ මජක්‍ධිම නිකාය වනපොත් කරමින් සිටියදී ම ය. සකල ලෝක සත්ත්වයාගේ අප්‍රමාණ සංවේගයට හේතුවන මේ ව්‍යසනය ඇසුරින් උද්දීපනය වන්නේ ශ්‍රී ලාංකේය භික්‍ෂුව දහම රැකීමට දරන ලද උත්තරීතර ප්‍රයත්නයයි, ලාංකික භික්‍ෂුවගේ අභිමානය යි.

 

මහාවංශයේ 78 පරි. 1- 10 ගාථා මගින් ද, පොලොන්නරු කතිකාවතෙහි 7 - 9 පේලි මගින් ද අනාවරණය වන්නේ මෙසේ සසුන රැකුමට දිවි පරදුවට තැබු භික්ෂූන් වහන්සේලා අතරට ලාභ ප්‍රයෝජන අපේක්‍ෂිත අඥාන දුර්ඥාන දුෂ්ප්‍රතිපත්ති සහිත නිවටයන් වැද්දගත් සැටිය යි. වජ්ජිපුත්‍රක භික්‍ෂුන් පෙර දවස විහාර භූමියෙහි රන් බඳුනක් තබා විශාලා පුරවැසියන්ගෙන් කහවණු ඉල්ලු පුවත ද එ මගින් සිහි ගැන්වෙයි.

සසුන යන්නෙහි අනුසාසනා අර්ථය යටපත් වී, සසුන යනු සංඝ සංස්ථාව සහ සංඝ සංස්ථාව සතු භෞතික වස්තු සම්පත් ය යන සංකල්ප බෞද්ධයන් තුළ තහවුරුව පවතී. සංඝ යනු සිව්වනක් පිරිස නොව භික්‍ෂූන් වහන්සේලා බව ද මෙසේ තහවුරුව ඇත. බොහෝ බෞද්ධයින්ගේ ආගමික මෙහෙවර හැඩ ගැසෙමින් පවතින්නේ මේ අනුව ය.

බුදුන් වහන්සේ ධර්මාන සමයෙහි පටන් අද දක්වා ම දහම සුරකින සඟ පිරිස් මෙන්ම සසුන වහල්කොටගත් දුසිල්වතුන් ද එක්වීම කෙරේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධයන් සැලකිය යුත්තේ උපේක්‍ෂාවෙනි. කෙසේ වුවද, සාසන ඉතිහාසය ධර්ම සංගායනා පිළිබඳ විමසීමට තවත් කරුණු ඉතිරි කොට තිබේ.

සියල්ල අතුරින් අනාවරණය කෙරෙන එක් වැදගත් කරුණක් ඇත. එනම් බුදුන් වහන්සේ වදාළ කාලාම, සුත්‍රයෙහි ව්‍යවහාරික වටිනාකම භාවිතයට අප විසින් ගත යුතු බවයි.

 

ආශ්‍රිත ලේඛන

 

මජ්ම නිකාය

අංගුත්තර නිකාය

මහාවංසය

දීපවංසය

අස්ගිරි තල්පත

නිකාය සංග්‍රහය

ලක්දිව බුදු සමයෙහි ඉතිහාසය - මහාචාර්ය වල්පොල රාහුල හිමි

දෙදහස් පන්සිය වසරක බුදු සමය - පී. වී. බාපත් - පද්මා ගුණසේකර පරිවර්තනය

ශ්‍රි ලංකාවේ පාලි සාහිත්‍යය - මහාචාර්ය ගුණපාල මලලසේකර

ධම්මපදට්ඨ කථා - වනරතන ව්‍යාධ්‍යා - පණ්ඩිත රංජිත් වනිගරත්න

සිංහල සාහිත්‍යවංශය - පුංචි බණ්ඩාර සන්නස්ගල

විද්‍යාලංකාර පිරිවෙන - ශත සංවත්සරය

බෞද්ධ ධර්ම සංගායනා - පූජ්‍ය දියගම නාරද හිමි

ශ්‍රි ලංකාවේ බෞද්ධ සාසනයෙහි සමාරම්භය - මහාචාර්ය මහින්ද සෝමතිලක

ගලේ කෙටූ අකුරු - පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය - ඵෙතිහාසික මණ්ඩලාරාමය සහ අලුලෙන - ජී. ආර්. ගුණවර්ධන බණ්ඩා

මග්ග වීමංසක අපදානය - ප්‍රේමරත්න සමරනායක

පොලොන්නරුව - නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා

ජාතික උරුමයක් වූ ත්‍රිපිටකය - ජනාධිපති මාධ්‍ය ඒකකය 2019. 01. 05

සත්මඬල - 2019 ජූලි දෙවන කාණ්ඩය 4 කලාපය

පුන්කලස - සිළුමිණ 2019 ජනවාරි 06

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.