යොවුන් වියට යොවුන් සාහිත්‍යයක් | සත්මඬල

යොවුන් වියට යොවුන් සාහිත්‍යයක්

‘යෞවන සාහිත්‍යය’ යන්න ශ්‍රී ලංකාවේ දී අසන්න ලැබී වසර තිහකට වැඩිය නැත - සාහිත්‍ය මණ්ඩලය යෞවන සාහිත්‍යය සඳහා සම්මාන දීම ඇරැඹූයේ ද 1980 ගණන්වල ය.

එහෙත් යෞවන සාහිත්‍යය ලෙස සැලකිය හැකි කෘති එයට පෙර ද අපේ රටේ බිහි විය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව, ටී. බී. ඉලංගරත්නයන්ගේ ‘අඹ යාළුවෝ’එයට උදාහරණ ය. 1930 ගණන්වල පළවූ කුමාරතුංග මුනිදාසයන්ගේ ‘හීන් සැරය’, ‘මඟුල් කෑම’ සහ ‘හත්පණ’ ද යෞවන සාහිත්‍ය කෘති සේ සැලකිය හැකි ය.

ජාතක පොතේ එන ඇතැම් කතාවල ද නූතන යෞවන සාහිත්‍ය ලක්ෂණ පෙන්වයි. ‘සාම කුමාරයාගේ කතාව, උමංදාවේ මහෞෂධගේ ළමා විය එයට උදාහරණයි.

යෞවන සාහිත්‍යයක්, ළමා සාහිත්‍යයක්, ලොවට අවශ්‍ය වූයේ ඇයි?

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන විට අපට බටහිර සාහිත්‍යය දෙසට හැරෙන්න සිදු වේ.

1697 චාල්ස් පැරෝලිට් නමැති ප්‍රංස ලේඛකයා ඔහුගේ පුතා සමඟ එකතුව ‍ඒ රටේ පැරැණි උපමා කතා, පැරැණි ගැදි, පැදි රැස්කොට පොතක් පළ කළේ ය. ‘ඛ්ධදබඥඵ ඤඥ ථච ථඥපඥ තධරඥ’ නමින් එය හැඳින්විය.

මේ කෘතිය ප්‍රංස දරුවෝ, ගැටවරයෝ මහත් සතුටින් පිළිගත්හ.

ළමයින්ට, ගැටවරයන්ට වෙන ම සාහිත්‍යයක් අවශ්‍යය යන මතය මේ පොත පළ වීමෙන් පසුව පැතිරිණි.

ප්‍රංස හා දාර්ශනික රූසෝ පඬිවරයා ඔහුගේ ‘එමිල්’ නමැති ග්‍රන්ථයේ ‘ළමයාට විශේෂ වූ ස්වභාවයක් සහ ජීවිතයක් ඇත’ යනුවෙන් දැක්වූ අදහස සාහිත්‍යකරුවන් අතර සාකච්ඡාවට ලක් විය.

පසු කලෙක යෞවනයන් සඳහා අතිවිශේෂ වැදගත් කමක් පළ කෙරෙන සාහිත්‍යාංශයක් වශයෙන් යෞවන සාහිත්‍යය ඉදිරියට පැමිණියේ ය.

යෞවන සාහිත්‍යය ආරම්භක යුගයේ එහි අරමුණ වූයේ ආචාර ධර්ම පිළිබඳ අවබෝධයක් ඇති කිරීමයි. ඒ අරමුණ සහිත සුරංගනා කතා රැසක් ඒ යුගයේ ලියැවිණි.

ඉතඥඥනඪදඨ ඡඥචභබර, ර්‍ථභඵඵ ඪද ඡධධබඵ, තඪබබතඥ පඥඤ පඪඤඪදඨ ඩධධඤ, ඛ්ඪදඤඥපඥතතච, ඊධථ ඊඩභථඡ ධප ඡතභඥ ඡඥචපඤ මේ එයින් කතා කීපයකි.

‘එක් දහස් එක් රැය’ කෘතිය ළමයින්ට ඉතා වැදගත් කොට සැලකූ ප්‍රංස ලේඛකයෝ පිරිසක් 1704 වසරේදී එය ප්‍රංස බසට නැඟූහ.

 

වසර 13ක් ඒ සඳහා ගත විය. ඉන් පසු ඒ පොත් පෙළ යුරෝපීය රටවල් රැසක ළමයින් - ගැටවරයන් අතර පැතිරිණි.

යෞවන සාහිත්‍ය වංශයේ ඉතා වැදගත් කෘති දෙකක් දහඅටවැනි සියවස මුලදී පළ විය. 1719 වසරේදී ඩැනියෙල් ඩිෆෝගේ ‘රොබින්සන් කෲසෝ’ සහ 1726 වසරේදී ජොනාතන් ස්විජට් ලියූ ‘ගලිවර්ගේ චාරිකා’ ඒ කෘති දෙක ය. මේ කෘති භාෂා රැසකට නැඟී ලොව පුරා ගැටවරයන් හා මුසු විය.

ළමා සහ යෞවන සාහිත්‍යයේ ස්වරූපය 18 වැනි සියවසට වඩා 19 වැනි සියවසේ දී වෙනස් විය. ළමයින්ට අවශ්‍ය මායාමය, අද්භූත විචිත්‍ර දේවලින් යහ මතය එහිදී මතු විය. මේ නිසා සුරංගනා කතාවලට ඉහළ තැනක් ලැබිණි.

ග්‍රීම් සහෝදරයන්ගේ ග්‍රීම්කතාව ඒ යුගයේ ජනප්‍රිය විය.

1812 – 1822 කාලයේ පළ වූ මේ කතා කාව්‍යමය ගුණයෙන් පිරුණු අලංකාර නිර්මාණ විය. ඒවා පිහිටවූයේ ජර්මන් මිත්‍යා කතා ඇසුරෙනි.

මේ කතාවල සිටි හැන්සලි, ශ්‍රීමලි සහ ස්නෝවයිට් චරිත ළමා සිත්වලට කිඳා බැස්සේ ය.

සුරාංගනා කතා ලියූ ලේඛකයන්ගෙන් මුල් තැන ලැබුණේ ඩෙන්මාර්කයේ උපන් හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ට ය. (1805 – 1875) ඔහු සපත්තු මහන්නකුගේ පුතෙකි. සුරාංගනා කතා කීමට උපන් හපනකු ලෙස ඔහු හැඳින්විය. නවකතා කීපයක්ම ඔහුගෙන් ලියැවුණ ද ඔහු ජනප්‍රිය වූයේ සුරාංගනා කතාවලට ය. ඔහුගේ ඇතැම් කෘති විචාරකයන්ගේ ඉහළ ඇගයීමට ලක් විය.

ඒ කතාවල උසස් පරමාර්ථ තිබිණි. විනෝදය මෙන් ම ඒ කතාවලින් වැදගත් ආදර්ශයක් පාඨකයන්ට ලබාදීමට ඒ කෘති සමත් විය.

අහංකාරයෙන් පිම්බුණු වලව්කාරයන්ගේ සිතිවිලි ඔහු ගොළුබෙල්ලන්ට ආරෝපණය කොට ‘වාසනාවන්ත පවුල’ නමින් කතාවක් ලීවේ ය. ඔහුගේ ‘කැත තාරාවා’ ද එබඳු කතාවකි.

19 වන සියවසේ ජනප්‍රිය වූ තවත් කතාකරුවෙකි, ලුවිස් කැරෝල්. ඔහු ඉංග්‍රීසි ජාතික කථිකාචාර්යවරයෙකි. 1862දී ඔහු ලියූ ‘ඇලිස්ගේ විස්මලන්තය’ මුළු යුරෝපයේම පැතිරිණ.

මේ කතාවේ වීරවරිය වන ඇලිස් හාවුන්ගේ ගුහාවකට රිංගා විකාර අවස්ථා රාශියකට මුහුණ දෙයි. ඒවා භාෂාමය ක්‍රීඩා, තේරවිලි වැනි වචනවලින් කරන සෙල්ලම් ය.

ජීවිතයට උරාගත හැකි කිසිවක් ඒවායේ නැත. විසිවැනි සියවසේ දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික පෙරළි රාශියක් ඇති විය. ඒ අනුව යෞවන සාහිත්‍යයේ ද අරමුණුවල ස්වරූපය වෙනස් විය.

මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් සහිතව යෞවන සාහිත්‍ය නිර්මාණවලට ලේඛකයන් පිවිසෙනු මේ සියවසේදී දක්නට ලැබිණි.

ළමයි, ගැටවරයෝ කතාවල ප්‍රධාන චරිතවලට පැමිණියහ. සෑම රටකම යෞවන සාහිත්‍ය කෘති නිර්මාණය කරන කතුවරුන් දක්නට ලැබිණි.

1952 වසරේදී ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයට එක් වූ රටවල් 52ක ලේඛකයෝ අන්තර්ජාතික ළමා හා යෞවන ග්‍රන්ථ මණ්ඩලය නමින් සංවිධානයක් පිහිටුවා ගත්හ.

යෞවන සාහිත්‍යයට අන්තර්ජාතික වශයෙන් ඇති පිළිගැනීම මේ එකතුවෙන් පිළිබිඹු විය. ජීවිතය හා සමාජය පිළිබඳ, ලෝකය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම, උසස් පෞරුෂත්වයක් පාඨකයා තුළ ගොඩනැඟීම මේ සංවිධානයේ අරමුණ විය.

වසර තුනක් ඇතුළත ලොව පළවූ හොඳම යොවුන් නවකතාවට, චිත්‍රයට සහ පරිවර්තනයට සම්මාන පිදීමේ උලෙළක් අන්තර්ජාතික ළමා හා යෞවන ග්‍රන්ථ මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

1994 ස්පාඤ්ඤයේ සෙවිල්ලා නුවර පැවැති උලෙළේදී යොවුන් නවකතාවට සම්මානය දෙමින් ඒ සංවිධානයේ සභාපති, බ්‍රිටිස් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ළමා සහ යොවුන් සාහිත්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය රොනල්ඩ් ජෝබ් මහතා මෙසේ කීය:

“වාර්ෂික ගැටුම් නිසා දෙපසට විසි වුණු ජාති දෙකක් අතර සුහදතාව පරිවර්තනය කිරීමට ජාති දෙකක ළමයින් ගන්නා වෑයමකි. කලාත්මක ය. මේ යොවුන් කතාවෙන් දැක්වෙන්නේ ජනවාර්ගික ගැටුම්වල නිස්සාර බව හොඳින් පැහැදිලි කරන, සිද්ධි සමඟ ඉදිරියට යන චරිත මෙහි හමුවෙයි අපට අවශ්‍ය ලොවට ඇත්ත කියාදෙන මෙබඳු කතා ය.”

එතුමා මෙසේ ද කීය:

“වගකීමක් ඇති යොවුන් නවකතාකරුවකුට යෞවන වයස පිළිබඳ සිතන්න සිදුවෙනවා.”

සභාපතිවරයා සඳහන් කළ මේ වයස ගැටවර වයස ලෙස ගැනේ. එහි සුවිශේෂ ලක්ෂණ පවතී. ගැටවර වයස විධිමත් චින්තනය අවධිය ලෙස ස්විස් ජාතික මනෝවිද්‍යාඥ ජින් පියාජේ හඳුන්වයි.

 

බොහෝ මනෝ විද්‍යාඥයන් ගැටවර විය හඳුන්වනුයේ අර්බුදකාරී වයසකි; යන එන මං නොදන්නා කුණාටු සමයක්, චිත්තවේගවල යුද්ධ භූමියක් ලෙස ය.

මේ වයසට ගැනෙනුයේ අවු. 11 – 20 අතර කාල සීමාව ය. මේ කාලයේ ඉක්මන් වර්ධනයක් කායික සහ මානසික වශයෙන් සිදු වේ.

මේ යුගයේදී ගැටවරයා එල්ලෙන්න අතු සොයයි; අනුගමනය කිරීමට චරිත සොයයි; සමහරු නළු නිළියන් අනුව යති; සමහරු ප්‍රකට ක්‍රීඩකයන් අනුව යති; ඔවුන් පුදති.

ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ ජීවිත කතාවේදී අදිකාරම් ගැටවරයා එක් පුද්ගලයකු අනුව ගිය හැටි කියයි. (අහිංසාබ් උල්පත චරිත කතාව)

ඔහු වෙස්ලි විදුහලේ ඉගෙනුම ලැබුවේ ය. එහි ගණිත ගුරුතුමා වූයේ පසුකලෙක පෙඩරල් පක්ෂ නායකයා වූ එස්. ජේ. වී. සෙල්වනායගම් මහතා ය. ඒ ගුරුතුමා ඉතා කරුණාවෙන් දරුවන්ට ගණිතය ඉගැන්වූයේ ය. දුර්වල ශිෂ්‍යයන්ට සවස් කාලයේ උදව් කළේ ය. ගණිතයේ හපනකු වූ අදිකාරම් ගැටවරයාට මේ උතුම් ගුණ නැණ පිළිබඳ පැවැතියේ මහත් ගෞරවයකි. එතුමා අදිකාරම් අගය කළේ ය. ගුරුතුමා අනුගමනය කිරීමට සිතු අදිකාරම් වඩාත් උනන්දුවෙන් ගණිතය හැදෑරුවේ ය. ගුරුතුමා හිස පීරන්නේ මැදින් බෙදමිනි. අදිකාරම් ද හිස මැදින් බෙදා කෙ‍ස්ස පීරන්න විය.

ගැටවරයා වීර අත්දැකීම් ලැබීමට පෙලඹේ. ඒ සඳහා ඔහු අවස්ථා සොයයි.

1971 වසරේදී සහ 1989 වසරේදී අපේ ගැටවරයෝ බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණට එක්වී අරගල කළහ; දිවි පිදූහ.

චිත්තවේග ඔස්සේ දිවයනු මිස මේ යුගයේ තාර්කික චින්තනයට ඉඩක් නැත. ස්ටැන්ලි හෝල්ස් නමැති මනෝ විද්‍යාඥයා ගැටවර විය කුණාටු සමයක් ලෙස හැඳින්වූයේ මේ නිසා ය.

මෙබඳු මානසික තත්ත්වයක සිටින ගැටවරයාගේ සිත මැටි පිඩක් මෙන් ඕනෑම අතකට හරවන්න දක්ෂ යෞවන සාහිත්‍යකරුවකුට හැකි ය.

ගැටවරයා නොකිළිටිය; අවංකය; පිරිසුදු ය. ඔවුන්ගේ සිත් දිනාගන්නා අයකුට අවශ්‍ය නම් ඔහු මිනීමරුවකු කළ හැකි ය. නැති නම් බෝසත්වරයකු කළ හැකි ය.

බටහිර ඇතැම් යොවුන් කතාකරුවන් මේ මානසික තත්ත්වය දැන හෝ නොදැන ඔවුන්ට අදාළ වන සේ සිය නිර්මාණ ඉදිරිපත් කළහ.

ඩැනියෙල් ‍ඩිෆෝ සිය රොබින්සන් කෲසෝ නවකතාවෙන් දේශ සංචාරයේ යෙදී දූපතක තනිවී පරිසරය ජය ගන්නා, වීර අත්දැකීම් ලබන චරිතයක් ඉදිරිපත් කරයි.

වීර අත්දැකීම්වලට කැමැති, යොවුන් වියට අදාළ නිර්මාණයක් කරන ඔහු පුළුල් වූ ජීවිත හා සමාජ අවබෝධයක් ලැබෙන පරිදි කතාව අවසන් කරයි.

ආර්. එල්. ස්ටීවන්සන්ගේ ට්‍රෙෂරි අයිලන්ඩ් (සම්පත් දූපත) කැප්ටන් ජැරියට්ගේ වාස්ටර්මන් රෙඩ් (යහපත් යාත්‍රකයා) කතා මුහුදු ගමන් පිළිබඳ ත්‍රාසජනක අත්දැකීම් ඉදිරිපත් කරයි.

ඈත රටවල් සොයා යෑමට කැමැති එඩිතර වීර තරුණයන් බිහි වීම එදා එංගලන්තයේ ජාතික වුවමනාවක් වී තිබිණි. ආසියා - අප්‍රිකා රටවල් කොල්ලකා‍ෙගන ධනය සිය මවුබිමට ගෙන ඒමට බියෙන් තොරව මුහුදට බැසීමට හැකි තරුණ‍යෝ රටට සම්පතක් වූහ. මේ නිසා මේ ලේඛකයෝ ඒ යුගයේ වුවමනාව ඉටු කළහ.

චාල්ස් ඩික්සන් ද විවිධ දුෂ්කරතා මැදින් ගමන් කොට ජීවිතය ජයගත් ගැටවරයන් පිළිබඳ ඔලිවර් ට්විස්ට්, ඩේවිඩ් කොපර්පීල්ඩ් වැනි කතාවලින් හෙළි කෙළේ ය.

‍යොවුන් මනස වටහා ගනිමින්, සිය යොවුන් පාඨකයන්ගේ අනාගතය පිළිබඳ වගකීමෙන් යුතුව ඔවුන්ට ආස්වාදය මෙන් ම ප්‍රඥාව ද ලබා දෙමින් සිය මෙහෙවරෙහි යෙදුණු සාහිත්‍යකරුවන් බටහිරින් වුව හමුවන්නේ ඉතා කලාතුරකිනි.

මෑත යුගයේ බටහිර යොවුන් සාහිත්‍යකරුවන්ගෙන් වැඩිදෙනා කළේ යොවුන් මනසේ කැලඹිලි සහිත ස්වභාවයෙන් ප්‍රයෝජන ගැනීම ය. ඔවුහු කැලඹුණු දියේ පහසුවෙන් මාළු ඇල්ලූහ. පුහු වීරකම්, බොළඳ ත්‍රාසය පිරිකතා යොවුන් වෙළෙඳපොළේ සිත් සේ අලෙවි කළහ.

ඔවුන්ගෙන් සිදු වූයේ යොවුන් පාඨකයා සිටි තැන රැඳවීම හෝ සිටි තැනින් පහළට ඇද දැමීම ය. සාහිත්‍ය කෘතියක් පාඨකයාට එළියක් නොවේ නම් එයින් සිදු වන්නේ ඔහුගේ කාලයත්, ධනයත් විනාශ වීම පමණ ය.

නිකම්ම සීනිබෝල දීමෙන් පලක් නැත. ඒ සමඟ ඔහුගේ වැඩීමට හේතු වන යමක් ද එයට මුසු විය යුතු ය.

ලංකාවේ යෞවන සාහිත්‍යයට අදත් ඇත්තේ අඩු සැලැකිල්ලකි. නවකතාව, කෙටිකතාව, කවියට දෙන තැන අදත් ලංකාවේ විශ්වවිද්‍යාල ළමා හා යොවුන් සාහිත්‍යයට ලබා නොදෙයි.

 

එහෙත් ලෝකයේ තත්ත්වය වෙනස් ය. බ්‍රිටිස් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ළමා සහ යෞවන සාහිත්‍යය පිළිබඳ අධ්‍යයන අංශයක් වෙයි. එහි මහාචාර්යවරයා රොනල් ජෝබ් මහතා ය.

ඩෙන්මාර්කයේ රාජකීය ඩැනිස් විදුහලේ යෞවන සාහිත්‍ය මහාචාර්යවරියක් වෙයි. ඇය ඊවා ගිලිස්මුජ මහත්මියයි.

කලෙකට පෙර මම ලංකාවේ විශ්වවිද්‍යාලයක සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකුට, ළමා සහ යෞවුන් සාහිත්‍යය ද එහි විෂය මාලාවට එක්කර ගන්න යෝජනා කරන්නැයි කීවෙමි.

“අපට වැඩ වැඩියි. ඕවා කරන්න වේලාවක් නැහැ.”

ඔහු ගත් කටටම කීවේ ය.

යහපත් ළමා සහ ‍යෞවන සාහිත්‍යය මඟින් ජනතාවට මහ මෙහෙයක් කළ හැකි බවත්, සිය විශ්වවිද්‍යාලවල ළමා සහ යෞවන සාහිත්‍ය අධ්‍යයන අංශ ඒ සඳහා කැපවී සිටින බවත්, ස්පාඤ්ඤ‍යේ සෙවිල්ල නුවර 1994 වසරේදී පැවැති මහා සම්මේලනයේදී හෙළි විය.

“යෞවනයාට ඔහු ජීවත්වන ලෝකය පිළිබඳ නිවැරැදිව වටහා ගැනීමට, ඔහුට ආලෝක ධාරාවක් වීමට යෞවන සාහිත්‍යයට හැකි විය යුතුයි.”

මහාචාර්ය ඊවා එහිදී කීවා ය.

ඇය දැක්වූ අරමුණට සමීපව ළමා සහ යෞවන සාහිත්‍යය ගොඩනැඟීමට සෝවියට්දේශය බිඳ වැටීමට පෙර ඒ රටවල සාහිත්‍යකරුවෝ සමත් වූහ. මහජන චීනයේ සාහිත්‍යකරුවෝ ද ඒ මඟම ගියහ.

සමාජවාදි සමාජ ක්‍රමයේ යොවුන් පරපුර තහවුරු කිරීම, ශ්‍රමය හා මිනිසාගේ ශ්‍රේෂ්ඨ බව පිළිබඳ දැනුම ගැඹුරු කිරීම, ඒ දෙරටේ යොවුන් සාහිත්‍යකරුවන්ගෙන් සිදු විය. යොවුන් සිත දූෂ්‍ය කරන, කුරෝලු කරන අලස කරන, පරාජිත හැඟීම් ඇති කරන සාහිත්‍ය යොවුන් පරපුරෙන් ඈත් කිරීමට ඒ දෙරටේ පාලකයන්ට අවශ්‍ය විය.

සිත් නිෂ්ක්‍රීය කරන දොස්තයෙව්ස්කිගේ ඇතැම් කෘති බැහැර කිරීමට පවා රුසියාවේ නායක ජෝසප් ස්ටාලින් ඉදිරිපත් වූයේ ඒ නිසා ය. ගැටවරයන් කල්පනා ලෝකයේ සිර කිරීමට, සුරංගනා කතා තුළ තනි කිරීමට ඔවුහු විරුද්ධ වූහ.

සෝවියට් ලේඛක සංගමයේ සභාපති මැක්සිම් ගෝර්කි මෙසේ කීය.

“වැඩකරන ජනතාවට මුල් තැන ලැබෙන සමාජයක් ගොඩනැඟීමට අවශ්‍ය ශක්තිය, කැපවීම ගැටවරයාට ලබාදෙන, ඔහු පවිත්‍ර කරන සාහිත්‍යයක් ඔහු සඳහා ගොඩනඟමු.”

යෞවන සාහිත්‍යයේ අන්තර්ජාතික පිළිගැනීම් අනුව ඉහළම තැනකට වැඩෙන සිංහල යෞවන සාහිත්‍ය කෘතිය කුමාරතුංග මුනිදාසයන්ගේ ‘හීන් සැරය’ යි. එය සිංහල යෞවන සාහිත්‍යයේ මුල් කෘතිය ද වේ.

ස්පාඤ්ඤයේ පැවැති ළමා සහ යෞවන සාහිත්‍ය සම්මේලනයේ සාකච්ඡා වටයකට ‘හීන් සැරය’ ඉංග්‍රීසි පරිවර්තනයක් ඉදිරිපත් කැරිණි. එයට සවන්දී සිටි චීනයේ ෂැංහයි නුවර යෞවන සාහිත්‍ය ප්‍රකාශන මන්දිරයේ අධ්‍යක්ෂ හා යෞවන සාහිත්‍යය හා කලාව සඟරාවේ සංස්කාරක චින් චෙන් ජූනි මහතා එය අගය කරමින් මෙසේ කීය.

“බිඳ හෙළිය නොහැකි යැයි කියන මහා බලයක් කුඩා අයකුට උපායශීලිව බිඳිය හැකි යැයි කියන කදිම කතාවක්. යොවුන් පිරිස ඉදිරියට ගමන් කරවීමට සතුන් ඇසුරෙන් කළ හොඳ නිර්මාණයක්.”

ලංකාවේ නියෝජිතයා ‘හීන් සැරය’ පළවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිතයක් වශයෙන් ලංකාව පැවැති සාමයේ බව කීය.

එවිට චීන ලේඛකයා “එසේනම් එහි අගය තවත් වැඩි වන බව” කීය.

“අලියා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සංකේතයක්. කටුස්සා පොදු ජනයාගේ සංකේතයක්. බුද්ධිමත්ව සංවිධානය වුව හොත් පොඩි මිනිසාගේ බලයෙන් අලියා බිම දැමිය හැකි බවයි. මේ කතාව කියන්නේ ඔහු එය පැහැදිලි කෙළේ ය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘මඩොල්දූව’ සහ ටී. බී. ඉලංගරත්නයන්ගේ ‘අඹයාළුවෝ’ ඉතා ජනප්‍රිය යොවුන් නවකතා දෙකක් විය. ඒවා ආස්වාදජනක විය. එහෙත් යොවුන් පාඨකයා සිටි හැටියේ ඔසවා තැබීමට ඒ කතා සමත් වූ බවක් නොපෙනිණි.

නව යුගයේ යොවුන් නවකතා සිය ගණනක් බිහි විය. එයින් බහුතරය හුදු ත්‍රාසය සහ අද්භූත සිදුවීම්වලින් පිරී පැවැතිණි.

කැලඹුණු දි‍යේ මාළු ඇල්ලීම මිස අන් කිසිවක් මේ කතාවලින් සිදු නොවිණි.

මේ කතාවල සාරාංශය මෙසේ දැක්විය හැකි ය. ළමයි කීපදෙනෙක් කැළයට යති. එහිදී ඔවුන්ට හොරුන් දක්නට ලැබේ. ළමයි ඔවුන් සමඟ සටන් කරති. සොරුන් පොලිසියට අල්ලා දෙති.

 

ළමයි කීපදෙනෙක් කැළයට යති. කසිප්පු නිපදවන පිරිසක් ඔවුන්ට දක්නට ලැබේ. ළමයි ඔවුන් පොලිසියට අල්ලා දෙති.

වීර අත්දැකීම් පාඨකයාට ලබාදීම යෞවන සාහිත්‍යයෙන් බලාපොරොත්තු වන දෙයකි. ඒ සඳහා ළමයින් කැළෑවට ගෙන යා යුතුව ද, ළමයා ජීවත් වන පරිසරයෙහිම තබාගෙන විශ්වසනීය වීර අත්දැකීම් ලබාදිය ‍නොහැකි ද, ජීවිතය හා ලෝකය පිළිබඳ සැබෑ අවබෝධයක් ලැබෙනුයේ අභව්‍ය නොවන සිද්ධි සහිතව ළමයාගේ පරිසරයේම වීර අත්දැකීම් ලබාදෙන විට ය. ත්‍රාසය, අද්භූත සිදු වීම්වලින් පිරුණු යොවුන් සාහිත්‍යය පාඨකයා වල්මත් කරයි.

පසුගිය සියවසේ යොවුන් පාඨකයන් අතර, ප්‍රියතම වූ සාහිත්‍යකරුවා කුලසේන ෆොන්සේකා ය. ඔහු ලියූ යොවුන් කතා රැසකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද ලැබිණි.

එහෙත් ඔහු මුලින් ලියූ ‘කල්ලන්දුවේ මුතු කොල්ලය’ වැනි කතාවලින් සිදු වූයේ යොවුන් පාඨකයාගේ මනස සිටි තැනින් ඉහළට ගැනීම නො වේ. පසු කලෙක ඔහු ලියූ ‘රන්සිරිගේ සංග්‍රාමය’ පෙරවදනේ මෙසේ සඳහන් වේ.

“මා මේ නවකතාවේ ප්‍රධාන චරිතය ව‍ශයෙන් යොදා ගන්නේ ගැමි ගැටවරයෙකි. මා මෙහි දී තැත් කළේ ගැමි සමාජයේ පීඩිත ජන කොටස්වල ජීවන අරගලය අංශුමාත්‍රයකින් හෝ පාඨකයා ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීම ය.”

“යොවුන් පාඨකයා සිටින තැනින් මඳක් හෝ ඉහළට ඔසවා තැබීමේ වුවමනාව කුලසේන ෆොන්සේකාට සිය ලේඛන ජීවිතයේ අවසාන හරියේදී තිබිණි.

මෑතදී ලියවුණු යෞවන සාහිත්‍ය කෘති අතර, සම්මාන දිනූ මහින්ද කුමාර දළුපොතගේ ‘අලිඩෝලේ’ අන්තර්ජාතික යෞවන සාහිත්‍ය ප්‍රමිතිවලට ද ගැළපේ. අලි - මිනිස් ගැටුමට විසඳුම් සාම්ප්‍රදායික ගැමි ඥානය මඟින් සෙවීමේ යෙදෙන ගැටවර පිරිසකගේ කතාවකි එය. එය සැබෑම වීර ක්‍රියාවකි. ළමයින්ගේ පරිසරයේම තබාගෙන කතුවරයා ඔවුන් සත්‍ය ගවේෂණයේ යෙද විය. පාඨකයාට විශ්වාසයෙන් යුතුව ස්පර්ශ කළ හැකි අත්දැකීම් රැසක් එයින් ලැබේ.

දෙතුන් වසරකට පෙර බන්දුල පී. දයාරත්න මහතා ලියූ ‘පොසියන්’ යොවුන් නවකතාව ද සැබෑ ජීවිතය ස්පර්ශ කිරීමට, අද්භූත නොවූ වීර අත්දැකීම් හා මුසු වීමට පාඨකයාට අවස්ථාව ලබා දුනි.

යොවුන් නවකතාකරු අමතන්නේ කුණාටු පිරුණු මනසක් ඇති ගැටවරයන්ට ය. ඔහු මේ ගැටවරයන් යම් තැනකට ගෙන යයි.

නිසැකව ම එතැන යහපත් තැනක් විය යුතු ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.