පරාරෝපිත නාගරික තාරුණ්‍යය පිළිබිඹු කරන චිත්‍රපටයක් | සත්මඬල

පරාරෝපිත නාගරික තාරුණ්‍යය පිළිබිඹු කරන චිත්‍රපටයක්

සෑම වර්ෂයක් ම ගෙවී යන්නේ එළැඹෙන වර්ෂය පිළිබඳ මහත් වූ අපේක්ෂා උද්දීපනය කරමිනි. එසේම ගෙවී යන වර්ෂය පිළිබඳ කෙරෙන අර්ථ දැක්වීම ද බොහෝ ය. එළැඹෙන වර්ෂය වඩා සාර්ථක කරගනු වස් මෙබඳු ආවර්ජන මහෝපකාරී කොට ගැනීම තර්කානුකූල වේ. එහෙත් මේ එයට අදාළ එකම විධික්‍රමය නොවන බව සිහිකටයුතු ය.

ගෙවී යන වර්ෂයක හැඩරුව, පෙරට ඊම් හා පසුබෑම් ආදිය පිළිබඳ ආවර්ජනයකට නො එළැඹෙන ක්ෂේත්‍රයක් නිශ්චය කරගැනීම පහසු නොවේ. මෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන්නේ ජනමාධ්‍යයයි. සත්‍ය වශයෙන්ම නොයෙක් ක්ෂේත්‍ර සම්බන්ධීකරණයට දායක වෙමින් ඒ ඒ විවරණයට ද, ප්‍රති විවරණයට ද මුද්‍රිත මාධ්‍ය සේම විද්‍යුත් මාධ්‍ය ද අවතීර්ණ වන්නේ වාර්ෂිකව තමන්ට පැවරෙන වගකීමක් සේ සලකමිනි.

මේ විවරණයට නිමිත්ත වන්නේ ද ගෙවී ගිය වර්ෂයක් පිළිබඳ ආවර්ජනයකි. බොහෝ විට මෙබඳු ආවර්ජනයකට පාත්‍ර වන්නේ ගෙවීගිය ආසන්නම වර්ෂයයි. එහෙත් එයට ප්‍රථම ගෙවී ගිය වර්ෂයක් කරා යෑම ද බැහැර නොකළ යුත්තකි. ඉන් අතීතයට අදාළ කියැවීමක් පමණක් ම ප්‍රදර්ශනය වන්නේ යැයි පැවසීම අසීරු ය. නිරනුමානවම ඒ අතීතය වර්තමානය ද හසු කරගන්නා අන්දමින් වූ විවරණයක් වීම වඩා වැදගත් වේ.

මෙහි දී විෂය වන්නේ දශක සතරකට ප්‍රථම ගෙවීගිය 1980 වර්ෂයයි. 1980 වර්ෂයේදී ලාංකේය සිනමාව හැසිරුණු පිළිවෙළයි. දශක සතරකට ප්‍රථම ගෙවීගිය ශිර්ෂයක් පිළිබඳ කෙරෙන මේ ආවර්ජනය නියත වශයෙන්ම එදවස ලාංකේය සිනමාවේ ප්‍රමිතිය විෂය වූ කියැවීමකට අවශ්‍ය සානුබල නිර්ලෝභීව සපයනු ඇත. එහෙයින් ම මේ හුදු අතීතානුස්මරණයක් නොවන වග නිසැක ය.

ලාංකේය සිනමාව 1980 වර්ෂය කරා පැමිණෙන්නේ සිය ස්වර්ණමය අවධියේ උච්චතම අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමිනි. බොහෝ විට ලාංකේය සිනමාවේ ස්වර්ණමය අවධිය සේ හඳුනා ගැනෙන්නේ 1970 දශකයයි. ලාංකේය සිනමාපට බහුලව නිෂ්පාදනය වීම, ප්‍රදර්ශන කාර්යය සාපේක්ෂව හෝ සාර්ථක වීම, සිනමාව විධිමත් ව්‍යාපාරයක් සේ තවදුරටත් ස්ථාපිත වීම එසේ 1970 දශකය ස්වර්ණමය බව අවධාරණය කරන සාධක ය. මෙතැනට වාර්ෂික ප්‍රේක්ෂක සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යෑම ද කැඳවිය යුතු වේ. කෙසේ වෙතත් මේ සියලු සිනමාපට සඳහා වූ වාර්ෂික ප්‍රේක්ෂක සංඛ්‍යාවය යන්න අමතක නොකළ යුත්තකි. මේ අනුව වර්ෂ 1971 වසරේදී මිලියන 30ක් වූ වාර්ෂික ප්‍රේක්ෂක සංඛ්‍යාව වර්ෂ 1979 වන විට මිලියන 74.4 ක් දක්වා ඉහළ ගිය බව පැහැදිලි ය. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ මෙකරුණ අලළා කළ විග්‍රහය අදාළ ප්‍රති අධ්‍යයන කාර්යයක් වඩා පහසු කරයි. ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල සංඛ්‍යා ලේඛන මත පදනම් වෙමින් ඔහු උත්සාහ ක‍ළේ නිරවද්‍ය වූ අදහස් ම සනිටහන් කරන්න ය.

(ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගය බිඳ වැටීම, පි. 82)

වර්ෂ 1979 වසරේදී වාර්තා වූ මේ වාර්ෂික සිනමා ප්‍රේක්ෂක සහභාගීත්වය තුළ ලාංකේය සිනමාව සතු බලපෑම තීරණාත්මක ය යන්න සත්‍යයකි. 1980 දශකය පිළිබඳ අතිමහත් බලාපොරොත්තු ජනිත කරනු පිණිස ද මෙය ඉවහල් කර ගත් වග රහසක් නොවේ.

කෙසේ නමුත් 1979 වර්ෂය ගෙවී යෑමෙන් ඉක්බිති 1980 වර්ෂය උදා වන්නේ ලාංකේය සිනමාව මෙන් ම ලාංකේය සිනමා කලාපය ද පැවත්ම පිළිබඳ තීරණාත්මක අර්බුදයකට ඇද දමමිනි. 1980 දශකයේ මැද භාගය වන විට මේ අර්බුදය තීව්‍ර වන ආකාරය පැහැදිලි ය. ආසන්නතම හේතුවක් වනුයේ රූපවාහිනියේ ප්‍රවිෂ්ටය හා ව්‍යාප්තියයි.

 

රූපවාහිනී නාළිකා ඔස්සේ ශ්‍රී ලාංකේය සිනමාපට විකාශය කිරීමට ගත් තීරණද මෙතැනදී සලකා බැලිය යුත්තකි. 1980 දශකයේ මැදභාගය වන විට වීඩියෝ කැසට්පට හරහා සිනමාපට නැරැඹීමේ අවස්ථා ද පුළුල් වන්න විය. කෙසේ නමුත් වැඩිපුර අවධානයකට ලක් නොවූ කාරණයක් වූයේ විශේෂයෙන් විනෝදාත්මක සිනමාව යාවත්කාලීන නොවීමයි.

සිනමාව හා නිරතුරුවම බැඳෙන්නේ තරුණ පරපුර ය. සිනමාව විලාසිතාවක් කරගන්න නොපැකිළෙන්නේ ඔවුන් ය. කලාත්මක සම්භාව්‍ය සිනමාපට සමඟ තරුණ පරපුරේ සම්බන්ධතාව දෘඪතර නොවන්න පුළුවන. එසේ වුව ද නා නා මාදිලියේ විනෝදාත්මක සිනමා හා තරුණ පරපුර අතර පවත්නා ඇයි හොඳයිකම් දෘඪතර ය. මේ අන්තර්ජාතික වශයෙන් ද දැක ගත හැකි තත්ත්වයකි.

1970 දශකයෙන් අනතුරුව දත හැකි වූ විනෝදාත්මක සිනමාපට ගණනාවක් ම මෙසේ තරුණ පරපුර අබියසදී සාර්ථක නොවූ බව පෙනේ. 1970 දශකයේ අග භාගය හා 1980 දශකයේ මුල් භාගය යනු ලාංකේය සමාජය ශීඝ්‍රයෙන් වෙනස් වූ කාල පරිච්ඡේදයකි. මෙයට අදාළව තරුණ පරපුරේ සිතුම් පැතුම් සේම චර්යා ද වරෙක උඩු යටිකුරු වූ අන්දම පෙනේ. ලාංකේය විනෝදාත්මක සිනමාවේ සමස්තය එයට අනුකූලව යාවත්කාලීන නොවීමේ හානිකර ප්‍රතිඵලය භුක්ති විඳින්න සිදු වූ‍යේ සමස්ත ලාංකේය සිනමාවට ම ය.

මේ අනුව 1980 දශකයේ ආරම්භයත් සමඟම තරුණ පරපුර ලාංකේය සිනමාව වෙතින් දුරස් වන්න වූ අන්දම දැකගත හැකි වේ. විනෝදාස්වාදය සාක්ෂාත් කරගත හැකි විකල්ප මං ක්‍රමයෙන් විවෘත වීම ද මෙතැනට ගළපා ගත යුත්තකි.

1980 වර්ෂයේ ද ලාංකේය සිනමාපට ප්‍රදර්ශනය සිදු වූයේ ප්‍රදර්ශන මණ්ඩල 05ක් යටතට ගැනුණු සිනමාශාලා ඔස්සේ ය. එක් ප්‍රදර්ශන මණ්ඩලයක් වෙන්කොට තිබුණේ කලාත්මක හා සම්භාව්‍ය සිනමාපට ප්‍රදර්ශනයම වෙනුවෙනි. සිනමාපට බෙදා හැරුණේ පිටපත් 13 – 15 අතර සංඛ්‍යාවකිනි. රූපවාහිනී නාළිකා ව්‍යාප්තියක් නොවුණු හෙයින් ප්‍රචාරක කාර්යයන් සඳහා තවදුරටත් එක් වූයේ ගුවන්විදුලිය හා පුවත්පත් ය. ඇතැම් සිනමාපට ප්‍රචාරය සඳහා ගුවන්විදුලියේ මිනිත්තු 15ක කාල සීමා වෙන් කරගත් අවස්ථා ගණනාවකි. එසේ ම තත්ත්පර කිහිපයකට සීමා වූ ප්‍රචාරක දැන්වීම් ද ගුවන්විදුලියෙන් ප්‍රචාරය කෙරිණි. මෙවැනි ප්‍රචාරක කාර්යයන් හා ප්‍රේක්ෂක සහභාගීත්වය අතර වූයේ ධනාත්මක අවබෝධයකි.

1970 දශකයේදී ලාංකේය කලාත්මක හා සම්භාවනීය සිනමාව විවාදාත්මකව ද පෙරට ආවේ දේශපාලනික කියැවීම් හා අර්ථදැක්වීම් සහිත ය. එයට පිටුබලය සැපයූ 1960 දශකයේ සිනමා ප්‍රබෝධය ද අමතක කළ යුතු නො වේ. ඉන් අවධාරණය කෙරෙන්නේ හේතු විරහිත පිවිසුම් පවතින්න ඉඩක් නැති වග ය.

කෙසේ වතුදු 1970 දශකයේ යථොක්ත ප්‍රවණතාව 1980 දශකය අරභයා ඇති කළ අපේක්ෂා සුළු පටු නොවේ. 1980 දශකය යනු ලාංකේය කලාත්මක - සම්භාවනීය සිනමාව දේපාලනිකව ද අර්ථ සම්පන්න වූ කාලවකවානුවක් විය හැකි බව විශ්වාස කිරීම සහේතුක ය. සිනමා විචාරය ද සිය සැලකිල්ල බොහෝ කොටම යොමු කරන්නේ මෙබඳු සිනමාපට හා සිනමාපට මාදිලි කෙරෙහි ය.

1980 වර්ෂයේදී ලාංකේය සිනමාපට ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පැන නඟින පැටලිලි සහගත බව කෙරෙහි ද අවධානය යොමු කිරීම සුදුසු ය.

සිනමාපට නිෂ්පාදනය හා ප්‍රදර්ශනය අතර දිගින් දිගට ම පැවැතියේ ඒකාකාර හැසිරීමක් නො වේ. කෙසේ වුව ද ලෝකයේ මුල් පෙළේ සිනමා සමාගම් ස්වකීය සිනමාපට ප්‍රදර්ශනය සඳහා මුදාහරින දින වකවානු විටෙක තීරණය කරන්නේ ඒවා නිෂ්පාදන කාර්යයන් ආරම්භ කරන සමයේදීම ය. ලාංකේය සිනමාව සිය ඉතිහාසය පුරාවට ම මෙබඳු ක්‍රමවේදයක් සකස් කරගන්නට අපොහොසත් වීම සම්බන්ධයෙන් මතු වන්නේ කනගාටුව මුසු කනස්සල්ලකි. මෙහෙයින් වරෙක දතහැකි වන්නේ විධිමත් ස්වරූපයක් නොවේ. කිසියම් විසුළු සහගත බවකි. එනම් වසර ගණනාවකට ප්‍රථම නිෂ්පාදිත සිනමාපට ද, අලුතෙන් මා නිෂ්පාදිත සිනමාපට ද එකම සමයක සිනමාශාලා කරා පැමිණීමයි. මෙය විසුළු සහගත බව ඉක්මවූ විකෘතියක් දක්වා ම ගමන් කරන්නේ සිනමාපට ප්‍රදර්ශනය වාර්ෂිකව විනිශ්චය කරන අවස්ථා ද පසු කරමිනි.

සාමාන්‍යයෙන් යම් සිනමාපටයක් හඳුන්වා දෙන්නේ එය මුල්වරට ප්‍රදර්ශිත වර්ෂය සමඟ ය. නොඑසේ නම් එහි නිෂ්පාදිත වර්ෂය සටහන් කෙරෙන්නේ ඉඳහිට ය. යථොක්ත විකෘතියට මෙකරුණ ආයාසයකින් තොරවම අවකාශ සලසා දෙන වග පෙනේ.

වර්ෂ 1980 වසරේදී මුල් වරට ප්‍රදර්ශිත ලාංකේය සිනමාපට මේ තත්ත්වයෙන් තරමක් දුරට හෝ මිදුණේ යැයි පැවැසිය හැකි ය. මන්ද එ දවස යම් සිනමා පටයක් නිෂ්පාදනය වීමෙන් අනතුරුව ප්‍රදර්ශන අවසරය ලැබ ප්‍රදර්ශන අවකාශය උදා වන තෙක් වසර ගණනාවක් බලා නොසිටිය හෙයිනි. නිෂ්පාදිත අවසරය ලද හැම සිනමාපටයක් ම ප්‍රදර්ශනය කරවීම ජාතික චිත්‍රපට සංස්ථාවේ ද වගකීමක් විය.

ලාංකේය සිනමාවට අදාළව නව සිනමාපට 34ක් 1980 වර්ෂයේදී සිනමා ශාලා කරා යොමු කොට තිබිණි. ඉන් සිනමාපට 13ක් විද්වත් ප්‍රේක්ෂකයන්ගේත්, විචාරක පාර්ශ්වයේත් නොමඳ අවධානයට ලක් විය හැකි ලක්ෂණ ආදියෙන් සමන්විත වූ බව පැහැදිලි ය. මෙතැනදී ප්‍රමුඛ වන්නේම සිනමාව කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක ප්‍රකාශනයක් විය යුතු ය යන ආධිපත්‍යකාරී විචාරක මතයයි. එදවස කෙසේ වතුදු මෙ දවස නම් සිනමා විචාරය විෂයෙහි මෙබඳු ආධිපත්‍යකාරී හැසිරීමක් එහෙමටම දක්නට නොලැබේ. මෙ දවස සිනමා විචාරය සාපේක්ෂව පුළුල් වූ දැක්මකින් ද, භාවිතයකින් ද සමන්විතව පවත්නා බව රහසක් නොවේ.

1980 වර්ෂයේදී විද්‍යමාන වූ මේ ප්‍රබෝධය අරභයා සමකාලීනව සක්‍රීය විචාර පාර්ශ්ව ස්වකීය මත පළ කරන්න වූයේ නිසැක වශයෙන්ම ප්‍රබුද්ධ ප්‍රේක්ෂක කණ්ඩායම් ද අවදි කරමිනි. ඇත්ත වශයෙන් ම සිනමා විචාරය සිය මතවාදි යාන්ත්‍රණය වඩා ප්‍රබලාකාරයෙන් සටහන් කළ හොඳම අවස්ථාවක් සේ එය නිර්වචනය කිරීම සුදුසු වේ.

ගාමිණී වේරගම කියා සිටින්නේ 1980 වර්ෂයේදී මුල් වරට ප්‍රදර්ශිත ලාංකේය සිනමාපට 32ක අතුරින් 11ක් (34%) ම අගය කළ හැකි තලයක පැවැති බවයි.

(1980 - දශකයේ සිනමාව, දශකයක සිනමාව - 1980, පි. 06)

වර්ෂ 1980 සිනමා ප්‍රබෝධය අලළා ලියූ ලිපි සමුච්චයක් එක්කොට ගුණසිරි සිල්වා විසින් කුඩා සිනමා විචාර ග්‍රන්ථයක් පළ කරනු ලබන්නේ වර්ෂ 1981 වසරේදී ය. එහි දෙවැනි මුද්‍රණයේ පෙරවදන වි‍ෂයෙහි ඔහු සඳහන් කරන්නේ 1980 වර්ෂයේ තිරගත ‘පාර දිගේ’, ‘හංස විලක්’, ‘පරිත්‍යාග’, ‘කරුමක්කාරයෝ’ සහ ‘ගඟ අද්දර’ ඇතුළු සිනමාපට කිහිපයක් මඟින් එතෙක් ලාංකේය සිනමාවෙහි පැවැති ගමන් මඟ, විෂය ක්ෂේත්‍රය හා ආකෘතිමය වශයෙන් පැහැදිලි වෙනසක් සටහන් කළ බවයි.

(80 සිනමාව, 11 මුද්‍රණය - 1993)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ‘දෙසතිය’ පුවත් සඟරාව ද 1980 වර්ෂයේ සිනමා ප්‍රබෝධය මුල්කරගත් දීර්ඝ ලිපියක් පළ කරන්නේ සිනමා විචාරකයන් කිහිපදෙනකුගේ අදහස් ද සමඟිනි.

(80 සිනමාව - අහසේ තරු ගනිමින් ගිය ගමනක් ද?, ‘දෙසතිය’ 1981.01.15, පි. 22 – 25, සකස් කළේ: ඩබ්. එම්. කේ. විජය බණ්ඩාර)

ආචාර්ය ඒ. ජේ. ගුණවර්ධන, පියල් සෝමරත්න, රෙජී සිරිවර්ධන මෙහි දී දැක්වූ අදහස් තුළ ධනාත්මක ලක්ෂණ ද නි‍ෂේධනාත්මක ලක්ෂණ ද දක්නට ලැබිණි.

ආපසු හැරී බැලීමේදී ඒ විචාර ප්‍රතිචාර සේම වර්තමාන කියැවීම ද අදාළ කරගැනීම වැදගත් ය.

මේ අනුව වර්ෂ 1980දී මුල්වරට ප්‍රදර්ශිත ලාංකේය සිනමාපට 34 අතරින් විචාරාත්මක අර්ථ දැක්වීම් උදෙසා විෂය කරගත හැකි සිනමාපට 13 මෙසේ සඳහන් කළ හැකි වේ.

1. උතුමාණෙනි

ගාමිණී ෆොන්සේකා

2. එක්ටැම් ගේ

හර්බට් රංජිත් පීරිස්

3. සිරිබො අයියා

සුනිල් ආරියරත්න

4. සසරක පැතුම්

එච්. ඩී. ප්‍රේමරත්න

5. පරිත්‍යාගය

එච්. ඩී. ප්‍රේමරත්න

6. දඬු මොනර

විජය ධර්ම ශ්‍රී

7. ගඟඅද්දර

සුමිත්‍රා පීරිස්

8. කරුමක්කාරයෝ

තිස්ස අ‍බේසේකර

9. හෙවණැලි ඇද මිනිස්සු

පරාක්‍රම ද සිල්වා

10. පාර දිගේ

ධර්මසේන පතිරාජ

11. හංස විලක්

ධර්මසිරි බණ්ඩාරනායක

12. සිංහබාහු

පතිරාජ එල්. එස්. දයානන්ද

13. මයුරිගේ කතාව

ගාමිණී ෆොන්සේකා

මෑත කාලීනව ද මෙබඳු ප්‍රබෝධවත් වර්ෂ කිහිපයක් ම දත හැකි ය. විශේෂයෙන්ම 2017, 2018 හා 2019 වර්ෂයේදී මුල් වරට ප්‍රදර්ශිත ලාංකේය සිනමාපට විෂයෙහි පෙනී යන‍්නේ 1980 වර්ෂය අභිභවා ගිය ප්‍රබෝධයකි.

 

එහෙත් මෑතදී ලාංකේය සිනමාවට එල්ල වන පැවැත්ම පිළිබඳ අභියෝග හමුවේ ඒ ප්‍රබෝධය හුදෙක් සුළුතරයක් වූ විද්වත් ප්‍රේක්ෂකයන් අතරටම සීමා වී තිබේ.

උක්ත තත්ත්වය සමතික්‍රමණයට අවශ්‍ය ඉඩකඩ, ක්‍රමවේද හා වුවමනා සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නකාරී තත්ත්ව කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු වන්නේ දැයි යන්න සැක සහිත ය. මෙතැනදී බලාත්මක වූ ආයතනික ප්‍රවිෂ්ටයකින් හසුරු වන නියාමනයක් පමණක් ම ප්‍රමාණවත් නො වේ. එබන්දක ඒකාධිකාරී පිළිවෙතක් ද අවශ්‍ය නො වේ. සබුද්ධික විචාරක - ප්‍රේක්ෂක මැදිහත් වීම ද අවශ්‍යයෙන්ම සාක්ෂාත් කරගත යුතු ය.

1980 සිනමා ප්‍රබෝධය, 1970 දශකයේදී උද්දීපනය වූ කලාත්මක - සම්භාවනීය සේම විවාදාත්මක වූ, අනතුරුව දේශපාලනික ද වූ සිනමා නැඹුරුවේ මීළඟ අවස්ථා පිළිබඳ ඉඟි පළ කළ අවස්ථාවක් ද වේ. 1970 දශකයේදී මේ කාර්යයෙහි නිරත ප්‍රමුඛතම සිනමාකරුවන් දෙදෙනා වූයේ ධර්මසේන පතිරාජ හා වසන්ත ඔබේසේකර ය. පතිරාජගේ ‘බඹරු ඇවිත්’ (1978) හා වසන්තගේ ‘පළගැටියෝ’ (1979) 1970 දශකයේ උක්ත නැඹුරුවේ වර්ධනීයම අවස්ථා සලකුණු කළ වග පැහැදිලි ය. 1970 දශකය වර්ෂ 1979න් අනතුරුව ගෙවී යන වග පිළිගැනීමෙන් පසු මෙහි සත්‍යතාව නිරවුල්ව පසක් කරගන්න පුළුවන. එසේ ම සිනමාපට නිෂ්පාදනය හා ප්‍රදර්ශනය අතර නොඑකඟතා වටහා ගැනීම ද මෙතැනදී නියත වශයෙන්ම සලකා බැලිය යුත්තකි.

මෙයින් පෙනී යන්නේ 1980 වර්ෂයේදී මුල්වරට ප්‍රදර්ශිත යටකී සිනමාපට දේශපාලනික ලක්ෂණ වරෙක අවම වශයෙන් ප්‍රකට කළ ද විවාදාත්මක අරමුණු සමඟ ඍජුවම ගැටගැසී ඇති බව ය.

යට කී සිනමාපට අතුරින් විශිෂ්ටතම සිනමාපටය කුමක් දැයි යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුරු ඒකාකාර නො වේ.

ගුණසිරි සිල්වාගේ අදහස වන්නේ වර්ෂ 1980දී ප්‍රදර්ශිත විශිෂ්ටම ලාං‍කේය සිනමාපටය ‘පාර දිගේ’ ය යන්න ය. හෙවණැලි ඇද මිනිස්සු’, ‘හංස විලක්’, ‘පරිත්‍යාග’ හා ‘කරුමක්කාරයෝ’ යන සිනමාපට සමඟ ‘පාරදිගේ’ සසඳන ගුණසිරි අනතුරුව කියා සිටින්නේ ඉන් මතු වූ තරම් යථාර්ථවාදි බවක් උක්ත සෙසු සිනමාපටවල දක්නට නොලැබුණු බවයි.

(ජනාධිපති සම්මාන උළෙල 80 සිනමා රැල්ල මඬී, ‘ඇත්ත’, 1981.10.10)

රෙජී සිරිවර්ධන කියා සිටි‍න්නේ වර්ෂ 1980දී මුල්වරට ප්‍රදර්ශිත ලාංකේය සිනමාපට අතුරින් කලාත්මක හා කාර්මික යන දෙඅංශයෙන්ම පොහොසත් සිනමාපටය ‘හංස විලක්’ බව ය.

මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන සඳහන් කරන්නේ විෂය වූ තේමාවට අදාළව 1980 වර්ෂයේදී මුල්වරට ප්‍රදර්ශිත සාර්ථකම ලාංකේය සිනමාපටය ‘කරුමක්කාරයෝ’ ය යන්නයි. එසේම ශිල්පීය නිමාව අතින් වැදගත්ම සිනමා පටය සේ ඔහු දකින්නේ ‘ගඟ අද්දර’ යි.

(’80 සිනමාව - අහසේතරු ගනිමින් ගිය ගමනක් ද? දෙසතිය’ 1981.10.15)

ගාමිණී වේරගම වර්ෂ 1980 දී මුල් වරට ප්‍රදර්ශිත ලාංකේය සිනමාපට කිහිපයක්ම අගයන්නේ අදාළ හේතු සැකෙවින් එහෙත් නිශ්චිතව ඉදිරිපත් කරමිනි. මේ සිනමාපට වන්නේ ‘උතුමාණෙනි’, ‘දඬු මොනර’, ‘පාර දිගේ’, ‘කරුමක්කාරයෝ’, ‘සිරිබො අයියා’, ‘හංසවිලක්’ හා ‘පරිත්‍යාග’යි.

(දේශීය චිත්‍රපටයේ උපත, ‘චිත්‍රපටය’ - සිංහල විශ්වකෝෂ උද්ධෘති 11, පි. 385/386)

මේ විචාරකයන් ද, 1980 සිනමා ප්‍රබෝධය බැහැර නොකළ සෙසු විචාර ද පෙර දැක්වූ සිනමාපට 13 අඩු වැඩි වශයෙන් අගැයූ වග පැහැදිලි ය. ඉන් කියැවෙන්නේ සමකාලීනව, පසු කාලීනව මෙන් ම වර්තමානයේදී ද 1980 සිනමා ප්‍රබෝධය අතිශයින්ම සඵලදායී වන බවයි.

1980 සිනමා ප්‍රබෝධය, වර්ෂ 1981දී පැවැත්වූ සිනමා සම්මාන ප්‍රදානෝත්සව විෂයෙහි ප්‍රකාශයට පත් වූ ආකාරය විවාදාත්මක ය.

සිනමා සම්මාන ප්‍රදානෝත්සව ත්‍රිත්වයක් වර්ෂ 1981දී පැවැත්වූයේ වර්ෂ 1980 දී මුල් වරට ප්‍රදර්ශිත සිනමාපට විෂය කරගනිමිනි. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කළ ජනාධිපති සම්මාන උලෙළ, ‘සරසවිය’ පුවත්පත සංවිධානය කළ ‘සරසවිය සම්මාන උලෙළ’ හා ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය සංවිධානය කළ “උත්තමාචාර සිනමා සම්මාන උලෙළ’ මේ සිනමා සම්මාන ප්‍රදානෝත්සව ත්‍රිත්වයයි.

සිනමා සම්මාන ප්‍රදානෝත්සවය අරභයා සිනමා ප්‍රෙක්ෂක ප්‍රජාව දක්වන අවධානය ඉමහත් ය. සැබැවින්ම මේ අවධානය ඉන් ඔබ්බට ද ගමන් කරන වග රහසක් නොවේ. සිනමා සම්මාන ප්‍රදානෝත්සවයක් යනු සිනමාව පිළිබඳ අවධානය තීව්‍ර කරන අවස්ථාවක් ය යන්නයි ඉන් උද්ධරණය කෙරෙන්නේ.

වර්ෂ 1981 ඔක්තෝබර් මස 02දා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූයේ තෙවැනි ජනාධිපති සම්මාන උලෙළයි. පළමු ජනාධිපති සම්මාන උලෙළ ද්විත්වය නිසැක වශයෙන්ම 1970 දශකයේ නව සිනමා ප්‍රවණතාව සතු ප්‍රබලතාව හා විශිෂ්ට බව පිළිබිඹු කළ වග පෙනේ. ඒ සිනමා සම්මාන ප්‍රදානෝත්සව ද්විත්වයේදී හොඳම සිනමා පටය සඳහා වූ සම්මාන පිරිනැමුණේ පිළිවෙළින් වසන්ත ඔබේසේකරගේ ‘පළඟැටියෝ’ හා ධර්මසේන පතිරාජගේ ‘බඹර ඇවිත්’ වෙනුවෙනි. මේ තත්ත්වය තෙවැනි සම්මාන උලෙළේදී පිළිබිඹු වූයේ දැයි යන්න සැක සහිත ය.

‘සරසවිය’ සිනමා සම්මාන උලෙළ යම් නිහඬතාවකින් අනතුරුව යළි පැවැත්වූයේ වර්ෂ 1979දී මුල්වරට ප්‍රදර්ශන සිනමාපට විෂය කොටගෙන වර්ෂ 1980දී ය. මෙසමයේ සම්මාන පිරිනැමීම සඳහා සලකා බැලුවේ ‘සරසවිය’ පාඨක ඡන්දයෙන් තෝරාගත් සිනමාපට සතකි. මෙදවස මේ ක්‍රමවේදය භාවිතයට නොගැනීම අතිශයින්ම වැදගත් ය. ජනාදර ප්‍රාප්ත නොවූ එහෙත් නිර්මාණශීලි සිනමා පට මේ අනුව මෙදවස සරසවිය සිනමා සම්මාන හිමි කරගන්න අවස්ථා ගණනාවකි. වර්ෂ 1981 අප්‍රියෙල් මස 04 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ 09 වැනි සරසවිය සම්මාන උලෙළට පාඨක ඡන්දයෙන් තෝරා ගැනුණු හැම සිනමා පටයක්ම පූර්වයෙහි සඳහන් කළ සිනමාපට සමුච්චය නියෝජනය නොකිරීම කනගාටුදායක ය.

 

‘උතුමාණෙනි’, ‘ගඟ අද්දර’, ‘මයුරිගේ කතාව’, ‘හංස විලක්’, ‘සිරිබො අයියා’, පරිත්‍යාග’ යන එසේ සඳහන් කළ සිනමාපට සමුච්චයට අමතරව නිශ්චිත විනේදාත්මක සිනමාපටයක් වූ ‘රක්තා’ ද උක්ත සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ‘සරසවිය’ පාඨක ඡන්දයෙන් තෝරා ගෙන තිබිණි. අවාසනාවකට ‘කරුමක්කාරයෝ’, ‘හෙවණැලි ඇද මිනිස්සු, ‘පාරදිගේ’ යන සිනමාපට ‘ජනප්‍රිය’ නොවීම නිසාම බැහැර කොට තිබිණි.

වර්ෂ 1981 මාර්තු මස 14 දා කොළඹ කාන්තා විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වූ ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ අටවැනි උත්තමාචාර සිනමා සම්මාන උලෙළ ප්‍රබුද්ධ සිනමා ප්‍රේක්ෂක ප්‍රජාව අන්දමන්ද කළ වග පෙනේ. 1980 සිනමා ප්‍රබෝධය මෙහිලා පිළිබිඹු නොවූ තරම් ය. නිර්මාණශීලි අධ්‍යක්ෂණයට අදාළ සම්මානය මෙහි දී කිසිවකුටත් පිරී නොනැමිණි. ඉන් අවධාරණය කෙරෙන්නේ ධර්මසේන පතිරාජ, සුමිත්‍රා පීරිස්, ධර්මසිරි බණ්ඩාරනායක, තිස්ස අබේසේකර හා පරාක්‍රම ද සිල්වා සිනමා අධ්‍යක්ෂණය කාර්යයෙහි සමත් නොවූ බවයි. ගාමිණී ෆොන්සේකාට පමණක් ‘උතුමාණෙනි’ වෙනුවෙන් අභියෝගාත්මක සිනමා සංකල්පය මැයෙන් සම්මානයක් පිරිනැමිණි. ඒ එහි තිරනාටක රචක හර්බට් රංජිත් පීරිස් ද සමඟිනි.

තෙවැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ හා අටවැනි උත්තමාචාර සිනමා සම්මාන උලෙළ අලළා ගුණසිරි සිල්වා ලියූ ලිපි ද්විත්වයකට එක්කළ සිරස්තල උක්ත තත්ත්වය පවසන්න සූදානම් ය.

තෙවැනි ජනාධිපති සම්මාන උලෙළ විමසමින් ඔහු ලියූ ලිපිය නම් කොට තිබුණේ ‘ජනාධිපති සම්මාන උලෙළ 80 සිනමා රැල්ල මඩී’ යනුවෙනි.

(ඇත්ත, 1981.10.10)

අටවැනි උත්තමාචාර සිනමා සම්මාන උලෙළ විවරණයට ඔහු අවතීර්ණ වූයේ ‘උත්තමාචාර ද? විෂමාචාර ද?” යන සිරස්තලය ඔස්සේ ය.

(ඇත්ත, 1981.03.21)

තෙවැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී උසස්ම නිෂ්පාදනයට හිමි සම්මානය පිරිනැමුණේ ‘ගඟ අද්දර’ හා ‘සිරිබො අයියා’ යන සිනමාපට සඳහායි. දක්ෂතම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඒ සිනමාපට ද්විත්වය අධ්‍යක්ෂණය කළ සුමිත්‍රා පීරිස්ට හා සුනිල් ආරියරත්නට පිරි නැමිණි. ඇතැම් ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයන් මෙතැනදී විපිළිසර වූයේ ධර්මසේන පතිරාජ වැනි සිනමාකරුවකු මගහැරී ඇති බව පවසමිනි.

නව වැනි ‘සරසවිය’ සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයට හිමිකම් කීවේ ‘ගඟ අද්දර’ යි. සුමිත්‍රා පීරිස් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි කරගත්තා ය. මෙතැනදී ‘පාරදිගේ’, ‘කරුමක්කාරයෝ’ හා ‘හෙවණැලි ඇද මිනිස්සු’ නියෝජනය වූයේ නම් ඉහත තීන්දුව වෙනස් වන්න වුව ඉඩ තිබිණි. ධර්මසිරි බණ්ඩාරනායක, ‘හංසවිලක්’ වෙනුවෙන් හොඳම තිරනාටක රචනයට හිමි සම්මානය දිනා ගැනීමෙන් ම මේ කරුණ සනාථ වේ.

ලාංකේය වෘත්තාන්ත සිනමාවේ විකාශය එහි ස්වරූපය හා ස්වභාවය සමඟ හදාරන නොඑසේ නම් විමසන බොහෝ පාර්ශ්ව 1980 වර්ෂයේ සිනමා ප්‍රබෝධය සටහන් කරන සිනමාපට ප්‍රතිවිවරණයට ලක් කරන අවස්ථා සුලබ ය. මේ ඇතැම් සිනමා පටයක් සංයුක්ත තැටි ඔස්සේ හෝ නරඹන්න ලැබෙන අවස්ථා සීමිත ය යන්න සත්‍යයකි. විශේෂ ප්‍රදර්ශන කාර්යයන් හා ‍රූපවාහිනී ප්‍රදර්ශනය ඔස්සේ නම් ඉඳහිට මේ සිනමාපට නරඹන්න පුළුවන. මෙවැනි විටෙක ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉමහත් ය. එහෙත් මේ පොදු ප්‍රේක්ෂක ප්‍රතිචාරය සංකේතවත් කරන්නක් නොවේ. මෙතැන ඇත්තේ සුළුතර ප්‍රේක්ෂක ප්‍රතිචාරයකි.

1980 සිනමා ප්‍රබෝධය සිනමාපට නිෂ්පාදනය හා ප්‍රදර්ශනය අතර ඇතැම් නොඑකඟතා මධ්‍යයේ වුව තහවුරු වන්නේ හුදෙක් ඒ ඒ සිනමාකරුවන්ගේ හා නිෂ්පාදකයන්ගේ සමත්කම් ද, වුවමනාකම් ද හේතු කොටගෙනම නොවේ. මේ හා එක් වූ බොහෝ දෙනකු ප්‍රකට කළේ තම තමන්ගේ විශිෂ්ටතම මැදිහත් වීම් ය. ඉන් ඇතැමකුට ජනාධිපති, සරසවි හා උත්තමාචාර සම්මාන ප්‍රදානෝත්සව හිදී සම්මාන ද පිරිනැමුණු වග අමතක නොකළ යුතු ය.

‘උතුමාණෙනි’ හි ගාමිණී ෆොන්සේකා, ‘සිරිබෝ අයියා’ හි ජෝ අබේවික්‍රම, ‘ගඟඅද්දර’ හි වසන්ති චතුරාණි, ‘පාර දිගේ’ හි විජය කුමාරතුංග, ‘හංස විලක්’ හි ධර්මසිරි බණ්ඩාරනායක හා ස්වර්ණා මල්ලවආරච්චි ප්‍රකට කළ රංගන කුසලතා 1980 සිනමා ප්‍රබෝධය වර්තමානය දක්වා ගෙන ඒමට සමත් වන බව සත්‍යයකි. ‘පාරදිගේ’ හි විජය කුමාරතුංගගේ චරිත නිරූපණය සම්බන්ධයෙන් සුනිල් මිහිඳුකුල කළ ප්‍රකාශය නිශ්චිත සම්මානයක් තරමටම වටී. ඔහු කියා සිටින්නේ මේ විජයගේ සිනමා රංග කලා ජීවිතයේ කූට ප්‍රාප්තිය යැයි තම සිතන බව ය. මෙහි විජයගේ චරිතාංග නිරූපණය මොනතරම් උත්කෘෂ්ට ද කිව හොත් මේ චරිතය රඟපෑ හැකි වෙතත් නළුවකු ගැන සිතා ගැනීම පවා උගහට බව ද අනතුරුව ඔහු සඳහන් කරයි.

(ධර්මසේන පතිරාජ, සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පි. 184)

උත්ප්‍රාසයට තුඩුදෙන කාරණය වන්නේ 1980 වර්ෂයට අදාළව 1981 වර්ෂයේදී සංවිධානය කළ සිනමා සම්මාන ප්‍රදානෝත්සවය ත්‍රිත්වයේදීම විජයගේ මේ සහභාගීත්වය එහෙම පිටින්ම නොතකා හැර තිබීම ය.

ඩොනල්ඩ් කරුණාරත්න සිය සිනමා දිවියේ ඉහළම සමත්කම් අවස්ථා ද්විත්වයකදී ප්‍රකට කරන්නේ වර්ෂ 1980දී ය. මේ ‘ගඟ අද්දර’ හා ‘පාර දිගේ’ යන සිනමාපට ද්විත්වයේ කැමරා අධ්‍යක්ෂවරයා වශයෙනි. සිනමා කැමරා ශිල්පියකුගේ කාර්යභාරය සම්බන්ධයෙන් වූ ඔහුගේ වැටහීම මෙහිලා මනාව ප්‍රකට වේ. මන්ද ‘ගඟ අද්දර’ හා ‘පාර දිගේ’ එකිනෙකට වෙනස් සිනමාපට නිසාවෙනි. ‘හංසවිලක්’ හි ඇන්ඩෲ ජයමාන්නගේ කැමරාකරණය ද මෙතැනදී නොසලකා හැරිය යුතු නොවේ.

‘පාර දිගේ’ හා ‘හංස විලක්’ වෙනුවෙන් නිර්මිත පසුබිම් සංගීතය ඔස්සේ ප්‍රේමසිරි කේමදාස පවසන්නේ තමා ලාංකේය සිනමාව හා බැඳුණු විශිෂ්ටම සංගීතඥයා විය හැකි බව ය. ටී. එම්. ජයරත්න, සුනිලා අබේසේකර, අයිවෝ ඩෙනිස් හා විජය කුමාරතුංග ගැයු හොඳම සිනමා ගීත මේ සිනමාපට විෂයෙහි හමුවේ. කෙසේවතුදු මේවාට ප්‍රශ්න පිළිගැනීමක් ලැබෙන්නේ සමකාලීනව නොව පසුකාලීනව ය. කේමදාස සේම ‘ගඟ අද්දර’ සංගීතවත් කළ නිමල් මෙන්ඩිස් ද, ‘හෙවණැලි ඇද මිනිස්සු’ සංගීතවත් කළ ජස්ටස් වොරින්ටන් අබේවර්ධන් ද 1980 සිනමා ප්‍රබෝධය උද්දීපනය කළ වග සඳහන් කළ යුතුව ය.

1980 සිනමා ප්‍රබෝධයේ එන සිනමාපට ත්‍රිත්වයෙන් නියත වශයෙන්ම අනාගතය උදෙසා නිර්මාණය කළේ යැයි සිතේ. මේ ‘උතුමාණෙනි’, ‘පාර දිගේ’ හා ‘හංස විලක්’ ය.

හුදෙක් තේමාව විසින්ම මේවා අනාගතයට අදාළ නොවේ. ප්‍රකාශන විලාසය ද, එයට බැඳෙන අනුසාංගික අංග ද මෙතැනට කැඳවීම සුදුසු ය.

උතුමාණෙනි අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ කර්කෂ විවරණයකට සූදානම් වූ සිනමා පටයකි. ‘පාර දිගේ’ පරාරෝපිත නාගරික තාරුණ්‍යයේ නැඹුරු වීම් පිළිබිඹු කළ සිනමාපටයකි. ‘හංස විලක්’ මැද පන්තික විවාහයේ අර්බුදය හා ඉණෙම ගෙන හැර පෑ සිනමා පටයකි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.