අද අප දකිනා රූපවාහිනිය | සත්මඬල

අද අප දකිනා රූපවාහිනිය

ජාතික රූපවාහිනී විකාශයේ මූලික අදියර ප්‍රවෘත්ති සහ අධ්‍යාපනය සඳහා යොදාගත යුතු බවට රූපවාහිනිය අපට පරිත්‍යාග කළ ජපන් රජය හා අප රජය අතර වූ කොන්දේසියක් විය. එහෙයින් රජයට බැහැරින් බඳවාගනු ලැබූවෝ ප්‍රවෘත්ති සඳහා මෙහිදීම පුහුණුව ලදහ. වෙනත් රූපවාහිනී කටයුතුවලට පුහුණුව ගුවන්විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ එච්. එම්. ගුණසේකර මහතාණන් යටතේ සිදු කෙරිණි. ඒ සඳහා ආධාර සැපැයුණේ ජපන් රජයෙනි.

සසිරි බර මෙ සිරිලක සිනමා කර්මාන්තයට කණ කොකා හඬන්න පටන් ගත්තේ, පළමු වැනි රූපවාහිනී නාළිකාව විසින් සිරිලක් ජනතාව වෙත ට රූප පතනය කරවනු ලැබූ අප්‍රේල් මාසයකදීම ය. ඒ 1979 වසරේ ය. ශාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන හා බොබ් ක්‍රිස්ටි යන ත්‍රිමූර්තියේ ගෙයුමෙන් එළි බට එය, ඔවුන් විසින් ‘ස්වාධීන රූපවාහිනි සේවය’ යනුවෙන් හඳුන්වා දෙන ලද්දේ වුව ද, එහි විකාශයේදී රූපවාහිනි තිර මත දැක්වූණේ, TV sri Lanka යන්න ය.
‘ඉතිහාස’ යන වදන තැනී ඇත්තේ ‘ඉති’, ‘ඉහ’ යන නිපාත දෙකත්, ‘ආස’ යන (දින්නියා) ධාතුවත් සන්ධි වීමෙනි. ‘ඉති’ යනු ‘කියන ලද හෙවත් එසේ ද’ ‘ඉහ’ යනු ‘ස්ථානය නොහොත් එහි’ ද, ‘ආස’ යනු (සිදු) ‘විය’ ද, වශයෙන් අරුත් එක් තැන්ව ගත් ඉතිහාසය නම් වන්නේ ‘එසේ එහි විය’ යනුවෙනි.

එකී පරිද්දෙන්, ඉතිහාසය දක්වන ආකාරයට සිනමා කැමරාවේ නිර්මාතෘ තෝමස් අල්වා එඩිසන්ට, ඒ නිසි ලෙස නිමවන්න ‘කොඩැක්’ සමාගමේ නිර්මාතෘ ජෝර්ජ් ඊස්ට්මන් පිහිට වුවත් එඩිසන් පිටු පසින් සිටි පිටුබලය වූයේ ඔහුගේ සහායක ඩික්සන් නමැත්තා ය. එලෙස ම ජෝන් ලොගී බෙයාර්ඩ්ගේ පිහිටට ආවේ BBC යන නමින් ලොවම දන්නා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි විකාශ සේවයයි. 1929-30 යන වසරවල ජෝන් ලොගී බෙයාර්ඩ් එමඟින් පර්යේෂණාත්මක වැඩසටහන් විකාශය කෙළේ ය. අද්‍යතනයේදී එංගලන්තයේ අස්ස රේස් මෙරටෙහිදී එසැණින් බලන්න අපගේ සිරිලකෙහි සැදුණු පැහැදුණු තැන් එමට ය. ඒ ද සුවිසල් රූපවාහිනී තිර මත ය. 1932 වසරේදී එංගලන්තයේ එප්සම්හි පවත්වන ලද වාර්ෂික තුරග තරග එසැණින් විකාශය කරමින් රූ විකාශ තාක්‍ෂණයෙහි පළමු වැන්නා බවට ජෝන් ලොගී බෙයාර්ඩ් ඉතිහාස ගත වූයේ ය.

එදා ජෝන් ලොගී බෙයාර්ඩ්ගේ රූපවාහිනී තාක්ෂණය වූයේ දැන් දැන් යල් පනිමින් තිබෙන පරිලෝකිත රේඛා 405ක් සහ 625ක් වශයෙන් වූ සුපැහැදිලි රූප නොගෙනා අඟල් 10 ක් පළැලති අඟල් 10ක් උසැති තිරයෙක දිස් වූ රූප පද්ධතිය කි. එය පරිලෝකන රේඛා 30කින් සමන්විත වූ ය. මෙය හුදෙක් ම යාන්ත්‍රික කටයුත්තක් ම විය. ඒ එදා ය; විද්‍යාවේද තාක්ෂණයේද දියුණුව ඈ විසින් අද ඒ පණ ගැන්වෙනුයේ විද්යුතය හා සංඛ්‍යාන තාක්ෂණය පාදක කොටගෙන ය. එහෙත් ලොගී බෙයාර්ඩ් තැනූ මුල්ම රූපවාහිනී යන්ත්‍රයේ තත්ත්වය මෙයට ඉඳුරා ම වෙනස් විය; එය ප්‍රාථමික තත්ත්වයේ වූයේ ය. එය වූකලි අඟල් පහ (5) ක විෂ්කම්භයෙන් යුක්ත වූ තිරයක් විය.

මේ ආකාරයට රූප පද්ධති දුර තැනක සිට දර්ශනය කළ හැකි විකාශය භාවිතයට පැමිණීමත් සමඟ ම පෙර්ස්කෛ නම් ප්‍රංස ජාතිකයා විසින් ‘දුර’ යනුවෙන් අර්ථ ගැන්වෙන ‘Tele’ නම් වන හෙලනික වදනත්, ‘දසුන’ යන අර්ථ ඇති ලතින් වදනක් වන ‘Video’ යන්නත් සන්ධි කොටගෙන ‘Tele’-‘Vision’ යනුවෙන් ඒ නම් කරන ලද්දේ ය. අසල්වැසි ඉන්දියාවේ රූපවාහිනී සේවාව හඳුන්වන ‘දූර දර්ශන්’ යන වදන ලතින් සහ හෙලනික හෙවත් ග්‍රීක බස්වලින් සකස් කරගත් ‘Tele’-‘Vision’ යන්නෙහි අර්ථයට අතිශයින් ම සමාන ය.
රූපවාහිනී ක්‍රමය මට මුලින්ම දැන හඳුනා ගත හැකි වූයේ 1961 වසරේ ය. බොරැල්ලේ වෙස්ලි විද්‍යාලයේ තුන්වැනි පන්තියේ ඉගෙන ගනිමින් සිටි මගේ වයස ඒ වන විට අවුරුදු 8කි. එදා බොරැල්ලේ කැම්බල් උද්‍යානයේ පැවැති අමෙරිකානු ප්‍රදර්ශනයේදී මට දැක ගන්න ලැබුණු රූපවාහිනී තිර විසින් මගේ සිත කුල්මත් කරවන ලද්දේ ය. ආලෝක හරඹයට හා චලන රූපයට කුඩා කල සිටම ඇලුම් කළ මට කවරදා හෝ රූපවාහිනී ශිල්පය හසුරුවන්නත් මහත් ඕනෑකමක් ඇති විණි. ඒ ඔස්සේ ම සිත දිව ගිය මා තැනු පළමු වැනි කාටුන් චිත්‍රපටය ‘අන්දරේ’ යන නමින් 1971 වසරේදී බිහි කෙරෙන විට මගේ වයස අවුරුදු දහ අටකි. අප රටේ පළමු වැනි කාටුන් චිත්‍රපටය මා අතින් බිහි වුව ද ‘දයා කරුණාරත්න නම් ශිල්පියා මා උපදින්නත් පෙර මෙ වැනි දෑ ගැන පර්යේෂණ කර තිබිණ යැයි යන්න නොසැඟැවීම ඔහුට කරන ගෞරවයක් වෙයි. කාටුන් සිනමාපටයක් නියමාකාරයෙන් තැනීමට වුවමනා කැමරාවක් අප රටේ නොතිබිණි. එකල කඩවලට බඩු ගෙනෙන පකිස් පෙට්ටි නම් වූ රට අඹ ලෑලි පෙට්ටියක් භාවිත කොටගෙන තනා ගත් සජීවකරණ කැමරාවට මා සවි කොට ගත්තේ පැරැණි මැජික් ලැන්ටර්නයක තිබුණු කාචයකි.

‘මැජික් ලැන්ටර්නය’ යනු වීදුරු කදාවල ඇති වර්ණ ගැන්වූ රූප තිරයක් මතට ප්‍රක්ෂේපණය කර පෙන්විය හැකි උපකරණයෙකි. මෙකී ‘මැජික් ලැන්ටර්න්’ බොහෝ කොට පාවිච්චි කළේ ක්‍රිස්තියානි ආගමික පින්තූර පෙන්වීමට ය. එදා ලංකාවේ ද කතෝලික, ක්‍රිස්තියානි පූජකවරු විදේශයෙන් ගෙන්වා ගත් මේ ‘මැජික් ලැන්ටර්න’ පාවිච්චි කළහ. එ පමණක් ද නොවේ. අනගාරික ධර්මපාල මැතිතුමෝ තමන්ගේ බෞද්ධා ආගමික දෙසුම් සඳහා රට වටා යෑමට රථයක් තනවා ගත්හ. මාලිගාවක් වැනි එය නිර්මාණය කරවා ගත් හෙයින් එතුමා විසින් එය හඳුන්වන ලද්දේ ‘සෝබන මාලිගාව’ යන නමිනි. අමතක නොකොට මෙහි රැගෙන ගිය ‘මැජික් ලැන්ටර්න්’ යන්ත්‍රය උපයෝගි කොටගෙන දඹදිව සිද්ධස්ථාන අප රටේ ජනතාවට දැක ගැනීමට එතුමාණෝ සැලැස්වූහ.
අප දේශයේ සිනමා කර්මාන්තයටත් පසු කලෙක රූපවාහිනී ක්ෂේත්‍රයටත් තබන ලද මුල් ගල් ඒවා ය. මා තනා ගත් සජීවකරණ කැමරාවට සවි කරගත් කාචය වූයේ මගේ මහප්පා වූ මෙතොදිස්ත දේවගැති ඩැනී විල්සන් පීරිස් තම අමතර ‘මැජික් ලැන්ටර්නයෙන්’ ගලවා දුන් එක ය.
මා අතින් තැනුණු සජීවකරණ කැමරාව අතිශය ප්‍රාථමික තත්ත්වයේ වූව ද ඉන් අප රටේ පළමු වැනි කාටුන් චිත්‍රපටය වූ ‘දුටුගැමුණු’ තනා නිම කර ගැනුමට මට හැකි වූයේ 1978 වසරේ ය. ඒ බැව් සිනමා පුවත්පත්වල පළ කරන ලද්දේ ය. මේ ප්‍රවෘත්තිය, කලාවට ළැදි කාන්තාවක වූ නාලීනි වික්‍රමසිංහ මහත්මිය විසින් සිය පුත් ශාන් වික්‍රමසිංහගේ සවනේ බහා ලන ලද්දේ ය. ඒ හේතුක ව තමාගේ Independent Tele – Vision Net work දරන නම් වූ රූපවාහිනී විකාශයට සම්බන්ධ වීමට ශාන් මට ඇරැයුම් කෙළේ ය.
එහෙත් දේශීය සිනමා කර්මාන්තයට හැඬූ කණ කොකා එකී රූපවාහිනී විකාශයට ද හැඬූයෙන්, අප්‍රේල් මස ඇරැඹි එය ජූනි මස වන විටම යළි ගොඩගත නුහුණු කාර්මික අඩාලවීමක් හේතුවෙන් ඇනහිටියේ තිඹිරිගෙහිදීම ය.“මහජනතාව වෙනුවෙන් පවත්වා ගන යනු ලබන මාධ්‍ය නාළිකාවක් තම විකාශය පැය විසි හතරක් ඉක්මවා ක්‍රියා විරහිත වුව හොත් මහජනතාව වෙනුවෙන් එය යළි විකාශය කිරීමේ කාර්යභාරය රජය අත්පත් කරගත යුතු ය” යනුවෙන් වූ රාජ්‍ය ප්‍රඥප්තිය අනුව ස්වාධීන රූපවාහිනී සේවා විකාශය රජයට පවරා ගන්නා ලද්දේ ය. එතැන් පටන් එය තව දුරටත් ITN නොවී ‘රජයට පවරා ගත්, සීමා සහිත ‘ස්වාධීන රූපවාහිනී සේවය’ යනුවෙන් හැඳින්විණි.

මුදල් අමාත්‍යාංශය යටතේ පවත්වා ගැනීමට කටයුතු යෙදුණු එහි ඉංගිරිසි නාමය Government Owned Business Undertaking of Independent Tele–Vision Network Limited විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එවක පැවැතියේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ය. ගුවන්විදුලිය යටතට ස්වාධීන රූපවාහිනී සේවය භාර කෙරුණේ එවක ඒ සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ව සිටි තේවිස් ගුරුගේ මහතා එහි නිසි බලධාරියා බවට පත් කරමිනි. එසේම ඒ ආයතනය ඉදිරියේ ඉදි කරන්න එවකට පිඹුරු පත් සකස් කෙරෙමින් තිබුණු ජාතික රූපවාහිනීය සඳහා ශිල්පීන් පුහුණු කරවන පාසලක් බවට පත් කරවන ලද්දේ රාජ්‍ය අමාත්‍ය, ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමන් (පසු ව ආචාර්‍ය්‍ය) විසිනි. එහි කටයුතු මෙහෙයවීම රාජ්‍ය අමාත්‍යාංශයේ ස්ථීර ලේකම් සරත් අමුණුගම මහතාණන් (පසු ව ආචාර්‍ය්‍ය) වෙත පැවැරිණි.
“අප රටේ රූපවාහිනී විකාශයක් ඇරැඹීමට පිඹුරු පත් සකස් කරන ලද්දේ කවුරුන් විසින් දැයි බොහෝ දෙනකුන්ට දැන් අමතක ය. ඒ වනාහි අප අතුරින් වියෝ වූ සුප්‍රකට රූපවාහිනී හා සිනමාවේදී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් හැම විටම භාවිත කළ වදනක් වූ ‘ආර්‍ය්‍ය සිංහල සිරිත’ ලෙස ය. බොහෝ කලකට පෙර ගුවන්විදුලි විකාශ කටයුතුවල වගකීම පැවැරී තිබුණේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට ය. එක් කලෙක එහි අමාත්‍යවරයා වූයේ පසු කලෙක අප රටේ ජනාධිපති බවට පත් වූ ඩී. බී. විජේතුංග මහතාණන් ය. මෙරට රූපවාහිනියට පිඹුරු පත් සකස් කළ තැනැත්තා නම් ඔහු ය.

කොළඹ හතේ කුරුඳුවත්තේ හොකී පිට්ටනිය පිහිටියේ නිදහස් චතුරශ්‍රය අසල වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි විකාශාගාරය ඉදිරිපස ය. හැම වැස්සකටම එය වතුරින් පිරෙයි. ඒ මත 1980 වසරේ ජූනි මාසය පමණ වන විට ජාතික රුපවාහිනී මණ්ඩපයේ අඩක් පමණ ඉදි වී තිබිණි. එය ඉදි වූයේ ශ්‍රී ලංකා රජය වෙත ජපන් රජයෙන් කෙරෙන පරිත්‍යාගයක් ලෙස ය. එහි සේවා සඳහා වූ පළමු වැනි විවෘත සම්මුඛ පරීක්ෂණය වූයේ සජීවකරණ ශිල්පය සඳහා ය.
එයට ඉල්ලා තිබුණු ආධ්‍යාපනික සුදුසුකම් කිසිවක් මට තිබුණේ නැත. එහෙත් මගේ පාසලේ සිංහල සාහිත්‍ය ගුරුවරයා වූ ෆීලික්ස් ප්‍රේමවර්ධන මහතාගේත් ‘නයින්හාර්ට්ස්’ සමාගමේ අධිපති චිත්‍රපට නිෂ්පාදක තිලක් ගොඩමාන්න මහතාගේ බලවත් පෙරැත්තය මත මම ද එයට අයැදුම් කෙළෙමි. එයට සහභාගි වූ සියල්ලන් අතුරින් මා තෝරා ගැනුණේ මා තනා තිබු කාටුන් චිත්‍රපටය වූ ‘දුටුගැමුණු’ නිසා ය. එතෙක් රාජ්‍ය සේවකයකු නො වූ මා කැබිනට් තීරණයක් මත බටහිර ජර්මනියේ බර්ලින් නුවර පිහිටි බර්ලින් ගුවන්විදුලි හා රූපවාහිනී ආයතනය අනුබද්ධිත ‘සෙන්ඩර් ෆ්‍රයිස් බර්ලින්’ ආයතනය වෙත යැවිණි. ඒ රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

සිනමාවේ හෝඩිය කියවා තිබුණු මට ‘රූපවාහිනිය යනු කුමක් දැයි දැන ගන්නත් අවබෝධ කර ගන්නත් ලැබුණේ ඒ ශිෂ්‍යත්වය නිසා ය. පුහුණුවෙන් අනතුරුව පෙරළා සිරිලකට පැමිණි මට රාජකාරි කරන්න සිදු වූයේ අපූරු ක්‍රමයකට ය. ඒ වන විටත් ජාතික රූපවාහිනීය සඳහා වූ ව්‍යූහයක් මෙරට සකස් වී නොතිබිණි. මා පත් වීම ලද්දේ ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂරවයකු ලෙසට ය. රාජකාරි ස්ථානය වූයේ පෝල්හේන්ගොඩ පිහිටි රජයේ චිත්‍රපට අංශයේ කාමරයකි. සේවය සපයන්න නියම වූයේ ස්වාධීන රූපවාහිනී සේවයට ය.
ශ්‍රී ලංකාවේ අනාගත රූපවාහිනී සේවය වෙනුවෙන් ශිල්පීන් පුහුණු කිරීමේ ආයතනයක් රජය විසින් අරඹන ලද්දේ ය. එය පිහිටුවන ලද්දේ ද මා රාජකාරි කළ ස්ථානයේම ය. එයට ආධාර සැපැයුණේ කැනඩා රජය වෙතිනි. පුහුණුකරු ද කැනඩාවෙන්ම විය. නමින් ඔහු වර්නර් ට්‍රෝයර් ය.

ජාතික රූපවාහිනී විකාශයේ මූලික අදියර ප්‍රවෘත්ති සහ අධ්‍යාපනය සඳහා යොදා ගත යුතු බවට රූපවාහිනීය අපට පරිත්‍යාග කළ ජපන් රජය හා අප රජය අතර වූ කොන්දේසියක් විය. එහෙයින් රජයට බැහැරින් බඳවා ගත්තවුන් ප්‍රවෘත්ති සඳහා මෙහිදීම පුහුණුව ලැබූහ. වෙනත් රූපවාහිනී කටයුතුවලට පුහුණුව ගුවන්විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ එච්. එම්. ගුණසේකර මහතාණන් යටතේ සිදු කෙරිණි. ඒ සඳහා ආධාර සැපැයුණේ ජපන් රජයෙනි. එහි අධ්‍යාපන කටයුතු පුහුණුව ගුවන්විදුලි සංස්ථා අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා ඉන්ද්‍රාණි ගුණරත්න මහත්මිය අතින් ඉටුවිණි.

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදියකු වූ දයානන්ද ගුණවර්ධන මහතාණන් පත් කැරැ තිබුණේ ළමයින් වෙනුවෙන් තැනිය යුතු රූපවාහිනී වැඩසටහන් පිළිබඳ පර්යේෂණ කිරීමට ය. ඔහුට සහායට ගුවන්විදුලියේ සිටි ශ්‍රීමා ලියනගේ ශිල්පිනිය අනුයුක්ත කෙරිණි. නාට්‍යවේදී සංගීතඥ සැම්සන් සිල්වා සහ ඔහුගේ බිරිය වූ පෙම්සිරි සිල්වා සමඟ ‘මපට්’ වැඩසටහනක් ඇරැඹූ දයානන්ද ගුණවර්ධන මහතාණෝ එයට රූපසිංහ කංකානම්ගේ ද සහභාගි කරවා ගත්හ. විදේශීය ‘සෙසිමි ස්ට්‍රීට්’ නම් වැඩසටහනේ ආකෘති පරිද්දෙන් මේ සඳහා ‘මපට්’ තැනුණේ පෙම්සිරි අතිනි. එයට සහායට සිටියේ ඇයගේ දියණිය වූ කුඩා අරුණි මුතුමලී ය. ‘සෙසිමි ස්ට්‍රීට්’ හා කරට කර දයානන්දගේ මේ ‘මපට්’ වැඩසටහන් විකාශය කෙරිණි. මේ සියලු පුහුණු ඒකක මඟින් එළිදක්වන ලද රූපවාහිනී වැඩසටහන් විකාශනය කෙරුණේ ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ය.

එහි විකාශාගාරය ඒ තාක් ම පළමුව ආරම්භ කළ තැනම විය. ඒ කොට්ටාවේ පන්නිපිටිය මහල්වරාව නම් ග්‍රාමයේ ය. දයානන්ද ගුණවර්ධන මහතණෝ අම්බලන්ගොඩ පාරම්පරික රූකඩ ශිල්පීන් ගෙන්වා රූපවාහිනි තිරය ඔස්සේ පෙන්වීමට සුදුසු රූකඩ කෙටි නාට්‍ය ද තැනූ හ. ළමා මනැසට ගෝචර වූ ඒ වැඩසටහන් මාලාව ඔහු ඉදිරිපත් කළේ ‘රන් ඔන්චිල්ලා’ යන නමිනි. එයට හේතුව වූයේ රූකඩ නූල්වලින් එල්ලී ක්‍රියා කරන නිසා ය. “ඒවා හරියට නූල් වලින් එල්ලිලා පැද්දෙන ඔන්චිල්ලා වාගේ ය” යනු දයානන්දයන්ගේ අදහස විය. “එයට සුදුසු සජීවකරණ සිරස්තලයක් හදා දෙන්නැ” යි ඔහු මා ගෙන් ඉල්ලා සිටියේ ය.

අඹ ගසක විශාල චිත්‍රයක් ඇඳි මම එහි අත්තක ලැගුම් ගෙන සිටින ගිරවකු තම හොටින් එල්ලා ගෙන පද්දන ‘රන් ඔන්චිල්ලා’ යන වචනය එහාට මෙහාට පැද්දෙන්න සැලැස්වූයේ ගෝනි නූල්වලිනි. එය අපගේ රූපවාහිනී ක්ෂේත්‍රයේ මුල්ම සජීවකරණය (1981) වූයේ ය. ‘රන් ඔන්චිල්ලා’ වැඩසටහනට නිෂ්පාදනයෙන් සහාය වූ ශ්‍රීමා ලියනගේ පසු කලෙක ජාතික රූපවාහිනීයේ ළමා අංශයට ‘හත්-පණ’ වැනි මහඟු වැඩසටහන් පෙළක්ම දායක කළා ය. ඇය ඒ සඳහා ගුරුහරුකම් ද, පෙරහුරුව ද, ලද්දේ දයානන්ද ගුණවර්ධන නම් වූ ඒ කෘතහස්ත නාට්‍යවේදියාණන්ගෙනි.

මේ වැඩසටහන් වැඩි හරියක්ම රූප ගත කරන ලද්දේ එවක රජයේ චිත්‍රපට අංශයේ සේවයේ නියුතු ව සිටි කැමරා ශිල්පී මොරටුවේ ජයනිමල පෙරේරා ය. ඔහු සේවයෙන් විශ්‍රාම ගත්තේ ජාතික රූපවාහිනීයේ කැමරා අංශය භාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ය. එදා ඒ රූකඩ දර්ශන පටිගත කිරීම සඳහා උපයෝගි කරගන්නා ලද්දේ රජයේ චිත්‍රපට අංශයේ සේවා වෙනුවෙන් ගෙනැවිත් තිබුණු විඩීයෝ කැමරාව ය. එවක තිබුණු තාක්ෂණය වූයේ එක් කිරණ නළයෙකින් යුත් කැමරා ය. ඒ ද ‘තරංග ආයාමක හීන පරාසය’ට සරිලන සේ ය. ජාතික රූපවාහිනීය අරඹන විට ඒ තාක්ෂණය කිරණ නළ තුනෙකින් යුත් කැමරා බව ට සකස් වී තිබිණි. ඒ අතරම ‘තරංග ආයාමක හීන පරාසය’ වෙනුවට ‘උච්ච පරාසයික’ තත්ත්වය බිහිව තිබිණි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.