මහගමසේකර සූරීන් මැවූ ‘තුංමංහංදිය’ රදාවාන ද? | සත්මඬල

මහගමසේකර සූරීන් මැවූ ‘තුංමංහංදිය’ රදාවාන ද?

“මඟුල් ගෙදරට වැඩියෙන්ම සෙනඟ ආවේ රෑ කෑමට ය. සමහරු රා හෝ අරක්කු බී තරමක් පදම් වී සිටිති. ආ... ආ... පිළිවෙළට ලොකුමාමා ඔවුන්ට වතුර දෙයි. මස්, මාළු, අච්චාරු, මේවා දෙස ඔවුන් බලන්නේ ගොදුරක් දුටු වන මෘගයන් මෙනි. ඔවුහු නැහැයෙන් සෙම පෙරමින් හායි හූයි ගා මසුත් බතුත් කති. බිමට නැමී සොටු සූරා දමති. කෑම කා අත සෝදා මේස රෙද්දෙන්ම පිසදාගනිති.”

සේකර යනු පද්‍යය, ගීතය, නවකතාව, කෙටිකතාව, නාට්‍යය, සිනමාව හා සිතුවම යනාදs සියලු කලා ප්‍රගුණ කළ හා පෝෂණය කළ රසඥයෙකි. ‘උප්පැන්න සහතිකය’ අනුව හඳුන්වතොත්, ‘මහගමගේ සමරසේකර’ නම් වෙයි. (ජයතිලක, කේ. (1990 59 පිට) 1929ක් වූ අප්‍රේල් 07 දින ජන්ම ලාභය ලද ඔවුහු 1976 ජනවාරි 14 දින දැයම හඬවා අපෙන් සමුගත්හ.
‘තුංමංහංදිය’ අප කතුවරයාගේ පළමු නවකතා රචනයයි. එය 1967 අගෝස්තු මස මුද්‍රණයෙන් එළිදැක්විණි. ඔවුන් මැවූ සාහිත්‍ය කෘති ඇතුළු කලා නිර්මාණ සංඛ්‍යාව 20 ඉක්මවයි.
 

‘තුංමංහංදිය’ ප්‍රබන්ධ පසුබිම

මේ ප්‍රබන්ධයට පසුබිම වන්නේ ‘රදාවාන’ ගත්කරුවාණන් උපන් ගම ය. ඒ වනාහි බස්නාහිර පළාතේ, එවකට කොළඹ දිස්ත්‍රික්කයට (වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කයට) ඇතුළත් පිටිසරබද සොඳුරු ගමකි.
ඉංග්‍රීසි යටත්විජිත පාලන සමයෙහි අවසාන භාගය වන විට එහි පැවැති සංස්කෘතික හා සමාජ රටාවට ගැළපෙන පරිදි, කතුවරයා කතා වස්තුව නිර්මාණය කරයි. සමකාලීන ග්‍රාමීය සමාජීය ඛේදවාචකයට බලපෑ, අපරදිගින් මෙරටට සංක්‍රමණය වූ විෂමාචාර වෙත, ගැමියා ක්‍රමක්‍රමයෙන් පෙලඹීම, සංයමයෙන් හා උපේක්ෂාවෙන් යුතුව මෙහි චිත්‍රණය කෙරේ.
සුරාපානය හා සූදුව එදා සාමාන්‍ය ගැමියාගේ සුපුරුදු දින චර්යාවක් ලෙස, ‘තුංමංහංදිය’ මඟින් තාත්විකව නිරූපණය වෙයි. පහත දැක්වෙන්නේ එයට නිදසුනකි:
“ගේ පිටුපස සූදු කෙළවනවාට පොඩිමාමා වැඩි කැමැත්තක් නැත. මේ නිසා සූදුව තියනවාට පොඩි මාමා යටි හිතින් කැමැති ය. සූදුකාරයන්ට විකිණීම සඳහා රෙදිපිළි හා අරක්කු වැනි දේද ඔහු විශේෂයෙන් ගෙනැවිත් තබාගෙන ඇත.”
(සේකර: 93 පිට)

යුරෝපීය බලපෑමෙන් එදා අප ග්‍රාමීය සංස්කෘතියට සිදු වූ සදාචාර පරිහානිය, ‘තුංමංහංදිය’ නවකතාවෙන් නිර්මිත මඟුල් ගෙයක දර්ශනයෙන් වඩාත් පැහැදිලි වෙයි:
“මඟුල් ගෙදරට වැඩියෙන්ම සෙනඟ ආවේ රෑ කෑමට ය. සමහරු රා හෝ අරක්කු බී තරමක් පදම් වී සිටිති. ආ... ආ... පිළිවෙළට ලොකුමාමා ඔවුන්ට වතුර දෙයි. මස්, මාළු, අච්චාරු, මේවා දෙස ඔවුන් බලන්නේ ගොදුරක් දුටු වන මෘගයන් මෙනි. ඔවුහු නැහැයෙන් සෙම පෙරමින් හායි හූයි ගා මසුත් බතුත් කති. බිමට නැමී සොටු සූරා දමති.

කෑම කා අත සෝදා මේස රෙද්දෙන්ම පිසදා ගනිති.” (සේකර: 30 පිට)
ගැමියා පන්සලට ආවේ ගියේ ද හුදු ආගමික භක්තිය නිසා ම නො වේ. බොහෝ විට එදිනෙදා ජීවිතයේදී පැන නැඟි දුක්කම්කටොලු මඳකට අමතක කර විනෝදාස්වාදයක් ලැබූ අයුරු කතුවරයා ව්‍යංගයෙන් පවසන්නේ මෙසේ ය:
“බ්‍රහ්මදත්ත රජ පැරදි පසුබා යන විට නරඹන්නෝ ඔහුට සමච්චල් කරමින් සිනාසෙති. ඔය යනව ද? ‘අයිසේ’ අසයි. වෙන එකක් තියා බල්ලා පවා කකුලක් ඔසවා ඔහු දෙසට හරවා මූත්‍රා කරන විලාසයක් දක්වයි. නරඹන්නෝ හූ කිය කියා සිනාසෙති. ඈත පඩිපෙළ උඩට වී නැටුම් බලන පොඩි හාමුදුරුවන්ට පවා එවිට සිනාව නවත්තා ගන්ට බැරිවෙයි.”
(සේකර : 45 පිට)

පූර්වෝක්ත තාත්වික ග්‍රාමීය සංස්කෘතික පරිසරයට ගැළපෙන කතා වස්තුවක් කතුවරයා‍ණන් ගොඩනඟා ඇත.
කතා වස්තුව:
කතාව කියන සිරිසේන පාසල් වියේ පසු වන ගැමි කොලුවෙකි. ඔහුගේ පියා දෑතේ වීරියෙන් ගොඩමඩ ගොවිතැන් කර, පවුලේ එදිනෙදා බඩවියත රකී.
සිරිසේනට මාමලා දෙදෙනෙක් සිටිති. ඔවුන් දෙදෙන චරිත වශයෙන් සලකතොත්, අහසට පොළොව මෙන් එකිනෙකාට වෙනස් ය.
ලොකුමාමා අබිලින් ය. ඔහු තමා දැනඋගත් කලාත්මක සැරසිලිවලින්, අසල්වැසියන්ගේ විවාහමඟුල්, පින්කම් හා අවමඟුල් යනාදි අවස්ථාවල නොමඳව ඇප උපකාර කොට මුළු සිතින් සතුටු වෙයි. එහෙත් පොඩිමාමා - සේතං එයට ඉඳුරා වෙනස් චරිතයකි. ඔහු ආත්මාර්ථකාමී මසුරු වෙළෙන්දෙකි. පොඩි මාමා විවාහයෙන් පසු මහගෙදර පමණක් නොව, වත්තේ පිටියේ අයිතිය ද සියතට ගනී. එබැවින් ලොකුමාමාට මහගෙදරින් ද බැහැර වන්න සිදු වෙයි.

සිරිසේන කුඩා කල පටන් ලොකුමාමා කරන සැරසිලි වැඩට කැමැත්තේ ය. ඒ අනුව ඔහු ලොකුමාමාගේ අඩිපාරේ යයි. අබිලින් ද එයට කැමැති ය. ඔහු ද කොලුවාගේ පොතපතේ ඉගෙනුමට පවා, තමාට පමණින් ඇප උපකාර කරයි.
එහෙත් ක්‍රමයෙන් ගම වෙත ‍ඇදෙන අපරදිග ගතිසිරිත්, අරුමෝසම් කලා සැරසිලි හා විෂමාචාර පැවැතුම් හේතුකොට අබිලින්ගේ අතමිට හිඟ වෙයි. ඔහු කෙරේ අසල්වැසියන් තුළ පැවැති හොඳහිත හා ප්‍රසාදය හීන වෙයි. එසේ නිකමකු බවට පත් වීමෙන් ඔහුගේ සිත පැවැති විවාහ අපේක්ෂාවට ද වැටකඩුලු බැ‍ඳේ. ඉන් සිත් වේදනාවට පත් හෙතෙම සුරාවට පෙ‍ලඹෙයි. අගහිඟ මකා ගනු පිණිස සූදු පිටියටත් බසී.

එනමුදු තමාට හැකි පමණින් සිරිසේනගේ ඉගෙනීමට අතහිත දීමට අබිලින් පසුබට නො වේ. එසේ වුව ද, සුරාව, සූදුව හා ණයතුරුස් හේතුකොට, අසල්වැසියෝ ඔහු නොසලකා මග හරිති.
මේ අතර ගමේ පාසලේ අකුරු කර, දෙවනුව නගරයේ පාසලට ඇතුළුව වැඩිදුර ඉගෙනුම ලැබු සිරිසේන දෙටුපෙළ සමත් වෙයි. පොඩිමාමාගේ අදහස වූයේ, ගම්පහ ගොස් ඉංගිරිසි ඉගෙනීමෙන්, සිරිසේනට සමාජයේ මතුමහලට නැ‍ඟෙනු හැකි බව ය. එහෙත් සිරිසේන ඔහු හා එකඟ නො වේ. එබැවින් සේතන්ගෙන් බෑනණුවන්ට කිසි ඇපඋපකාරයක් නොලැබේ.

සිරිසේන ලොකුමාමාගේ හා ගුරුදෙගුරුන්ගේ මඟ පෙන්වීම අනුව, තමා කැමැති කලාශිල්ප හදාරනු පිණිස කොළඹ කාර්මික විදුහලට ඇතුළු වෙයි.
එහෙත් ඒ සඳහා නියමිත එදිනෙදා සියලු වියහියදම් දැරීම, දිළිඳු මවුපියන්ට අපහසු ය. ඒ වග වටහා ගන්නා ලොකුමාමා ගමෙන් දුරබැහැර වත්තක මුර රස්සාවට යන්නේ යටකී ගැටලුවට විසඳුමක් ‍සලසා ගනු සඳහා ය.
එනමුදු මුරකාර වෘත්තිය ඔහුට පහසු ජීවනෝපායක් නොවේ. ඉන් උපයා ගන්නා සොච්චමින් වුව ද, සෑහෙන මුදලක් ඉතිරි කොට සිරිසේනට නිතිපතා තැපෑලෙන් එවන්න, අබිලින් අමතක නොකරයි. නුපුරුදු දිවිපෙවෙතේ දුෂ්කරතා, අගහිඟ හා සිත් වේදනා හේතු කොට, ඔහු නැවත සුරාවට හා සූදුවට නැඹුරු වෙයි. කාලයාගේ ඇවෑමෙන් තව තවත් අසරණව රෝගාතුර වන අබිලින්, කලට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා දු:සාධ්‍ය වීමෙන් අකාලයේ මිය යයි.

කාර්මික විදුහලෙන් තමා කැමැති කලාශිල්ප හදාරන සිරිසේන, අනෙකුත් සහෝදර සිසුන් අබිබවා පෙරමුණ ගනී. එහෙත් ඔහුගේ කුසලතා වර්ධනය හා ජයග්‍රහණ දැක සතුටුවන්න, ලොකුමාමා ඒ වන විට ජීවතුන් අතර නැත.
එහෙත් ලොකුමාමා ගමන් කළ ජීවන මඟ හා ඔහුගේ චරිතයේ දක්නා ලද දුබලතා මෙන්ම ඌනතා ද නිවැරැදිව හැඳින, එමඟින් සිය ජීවිතයේ ආධ්‍යාත්මික සැනසීම මුදුන්පත් කරගැනීමට, සිරිසේන වෙත ඇත්තේ උපේක්ෂා සහගත අධිෂ්ඨානයකි.
ගත්කතුවරයා පූර්වෝක්ත කතා වස්තුව මඟින්, මනා හේතුඵල සම්බන්ධයකින් යුතු සිද්ධි මාලාවක් ලෙස පෙළ ගැසෙන ‘කතා රටාවක්’ නිර්මාණය කරයි. එමඟින් සහෘදය පාඨකයා තුළ නව ප්‍රබන්ධය පිළිබඳ විශ්වාසනීයත්වය මනාව තහවුරු කෙරේ. චරිත නිර්මාණය පිළිබඳ විමසා බැලීමෙන්, ඒ බව තවදුරටත් සනාථ වෙයි.

චරිත නිර්මාණය

‘තුංමංහංදිය’ ප්‍රධාන චරිතය ලොකුමාමා ‘අබිලින්’ ය. ඔහු තම දෑතට හුරුපුරුදු ගැමි කලා කුසලතා හා සැරසිලි මඟින් අසල්වැසියන්ට ඇප උපකාර කරයි. කරත්ත පින්තාරුව, මඟුල් මඩු, පිරිත් මණ්ඩප හා මළගෙවල් (මෘත දේහ ගෙන යන) ‘තූම්බ’ සැකසීම යනාදි කලා කටයුතුවලින්, හෙතෙම ජනප්‍රසාදය නොඅඩුව දිනා ගත්තේ ය. එහෙත් එමඟින් මුදල් හරිහම්බ කරගැනීමට අබිලිං කිසි දා නොසිතී ය.
(සේකර: 18, 19, 20 හා 21 පිටු)

තම එකම බෑනණුවන් වන සිරිසේන කුඩා කල පටන් ම සිය අඩිපාරේ යෑමට දක්වන කැමැත්ත, අබිලින් හද පත්ලෙන්ම අගය කරයි. ඔහු සිරිසේනට බාල වියේ පටන්ම එයට මඟ පෙන්වන්නේ ද අපේක්ෂා සහගතව ය: “බලාගෙන සිටින මට ද මල් කපන්නට ආසා ‍සිතේ. මල් කපා ඉවර වූ පසු මෝස්තරය ඉතිරි වෙන්ට හැර කැපුණු කොටස් ගලවා දැමිය යුතු ය. හතර වටේටම කැපුණු පසු සමහර කොටස් ඉබේම ගැලවී යයි. නොගැලවෙන ඒවා නියං සීරුවෙන් ගලවා දැමිය යුතු ය. මෝස්තරයට හානියක් නොවෙන්නට ප්‍රවේසමෙන් ඒවා ගලවන හැටි මාමා කියා දෙයි. ඔහොම නෙමෙයි. ඔහොම නෙමෙයි, මේන් මෙහෙමයි ගලවන්නෙ. නැත්තං කඩදාසි තුවාල වෙනව.”
(සේකර: 20 පිට)

එමතු නොවේ. ලොකුමාමා සිරිසේනගේ ඉගෙනීමේ කටයුතු ද ඕනෑකමින් සොයා බලයි. ගමේ පාසලේ මුල් ගුරුවරයාගෙන් සිරිසේනට සිදු වන අනිසි හිරිහැර අසා ‍ලොකු මාමා‍ කෝප වෙයි. ගුරුවරයා ගැන කලකිරෙයි:
“ගුරුවරු, ඕකුන් ගුරුවරු ද,” මාමා පුපුරා හැලෙයි. ‘ඉස්කෝලෙ දියුණු වෙනවට තරහයි. ආණ්ඩුවෙන් පින් පඩි කකා තමන්ගෙ වැඩ කර ගන්නව... හම්බ වෙද්දෙන්කො උන්දැ මට කොයි වෙලාවක හරි.” (සේකර : 81 පිට)
සිරිසේන පසු දාම ගමේ පාසලින් අස් කර ගැනේ. ඉක්බිති කිරිඳිවැල නගරයේ විදුහලට ඇතුළත් කරනු ලබන සිරිසේනට පාසල් ගමන පහසු කරනු සඳහා පාපැදියක් මිලට ගෙනවුත් දෙන්නේ ද ලොකු මාමා ය.
“අයිය සල්ලි වගයක් තියන්ඩ දීල තිබුණා. ඒකත් ඉල්ලගෙන උදෙන්ම ගියා. කොහේ හරි සූදුවකටවත් ගියා ද දන්නැහැ.” එක දවසක් අම්මා තාත්තාට කීවා ය. එදා හවස මාමා ගෙදර ආවේ බයිසිකලයක් ද පැදගෙන ය. එය පොඩි මාමාගේ බයිසිකලය මෙන් අලුත් එකක් නොවේ. පරණ හර්කියුලිස් බයිසිකලයකි:

“මේක ගෙනාවෙ පුතාට ඉස්කෝලෙ යන්ඩ.” මාමා කීය. “මංඩාවල මිනිහෙක්ගෙන් ගත්තා.”
මාමා බදා වැලඳ ගන්න තරම් සන්තෝෂයක් මට ඇති විය. (සේකර: 83 පිට)
අබිලින්ගේ අනෙක් අනාගත බලාපොරොත්තුවක් ද විය. ඒ විවාහයක් පිළිබඳ ය.
ඔහු සිත් ගත් ගැමි යුවතිය එයට කැමැත්තෙන් සිටියා ය. එහෙත් නුදුරු ගමේ සැලකිය යුතු ධනවතකු වූ ඇගේ පියා එයට තදින් විරෝධය දැක්වීය. එහෙයින් අබිලින්ගේ විවාහ අපේක්ෂාව බිඳ වැටිණි:
“ඒ මිනිස්සු අකැමැති වෙන එක පුදුමයක්යැ.”

මේ ගැන මහ ගෙදරදි කතාවුණු දවසක පොඩි මාමා කීය. මිනිහෙක් වුණහම අඩු ගණනෙ රස්සාවක් තියෙන්ඩ එපායැ. මෙයා හරිහමං රස්සාවක් කරන්නෙත් නැහැ. කරන මොන කෙහෙල්මල වුණත් එක දිගට කරගෙන යන්නෙත් නැහැ.”
(සේකර: 48 පිට)
ක්‍රමක්‍රමයෙන් ගමට සංක්‍රමණය වූ අපරදිග පන්නයේ අරුමෝසම් සැරසිලි වැඩ හේතුකොට අබිලින්ගේ ගැමි ඌරු‍වේ කලා කටයුතුවලට ගැමියන් අතර පැවැති ඉල්ලුම හීනවීමෙන් ඔහු අවලංගු කාසියක් බවට පත් වීම යටකී විවාහ අපේක්ෂාව සුන්වීමට අනෙක් ප්‍රධාන හේතුව ය.
(සේකර: 101 පිට)
පොඩිමාමා කරකාර බැඳි ‘යසවතී නැන්දා’ මහගෙදර බලකාරිය වීම ද, ලොකුමාමා කබලෙන් ළිපට වැටීමක් බඳු ය. මහගෙදර වත්තපිටිය ඇතුළු සබ්බ සකලමනාව පොඩි මාමා හට තනි බූදලය කරගන්න ඕ එළිපිටම අත්උදවු දුන්නා ය:
“ලොකුමාමා සිය පරවේණි අයිතිවාසිකම් උදෙසා, පොඩිමාමා හා කලහයට ගිය නමුත් කිසිවකු හෝ ඔහුගේ පැත්ත ගත්තේ නැත. එබැවින් ඔහු තවත් පාරටම වැටිණි. ලොකුමාමා බීමටත්, සූදුවටත් වැටෙන්න යට කී හේතු හොඳටම සෑහෙන බවක් හැ‍ඟේ.”
(සේකර : 106 පිට)

මෙකී සියලු දුක්ගැහැට අතර වුව, අබිලින් සිරිසේන වෙත දක්වන ඇල්ම හා ඇප උපකාර බිඳකුදු වෙනසක් නොකරයි. සිත්පීඩා අමතක කොට, බෑනණුවන් හට තවදුරටත් පිළිසරණක් වන අටියෙන්, හෙතෙම ගමින් දුරබැහැර අල්ගම වත්තේ මුරරස්සාවට යයි. ඔහු එයට මැළි නොවන්නේ, සිරිසේනට සේතන්ගෙන් කිසි පිහිටක් නොලැබෙන වග ඉඳුරා දත් බැවිනි.
මුර රස්සාවට ගමින් පිටව යෑමට මඟට බසිද්දී, හෙතෙම සිරි‍සේනට හෘදයංගම පොරොන්දුවක් දෙයි:
“පුතා එහෙනං විජේරත්න මහත්තයත් එක්ක ගිහිං කොලීජියට බැ‍ඳෙන්ඩ. ඔහු මා දෙස බලා කීය. මාත් පුළු පුළුවන් හැටියට සල්ලි ටිකක් එවන්නන්කො.”
(සේකර : 111 පිට)

සිරිසේන තමා ගිය මඟ යනු දකින්න අබිලින් තුළ පැවැති බලාපොරොත්තුව ඉන් මනාව පැහැදිලි වෙයි.
වත්තේ මුර රස්සාව අබිලින්ගේ පෙර පුරුදු නිස්කලංක ජීවිතයට කිසිසේත් නොගැළපෙයි. එහිදී පැන නැඟෙන දුක්පීඩාවන්ගෙන් අත් මිදෙනු පිණිස, ඔහු සුරාව හා සූදුව මඳින් මඳ වැලඳ ගනී. නැවත ගමට එන්නට නොහැකි වුවත්, දුක සේ එකතු කරගත් මුදලක් සිරිසේන නමට තැපෑලෙන් හෝ එවීමට, අබිලිං අමතක නොකරයි. ඒ වනාහි තමා දුන් හෘදයංගම පොරොන්දුව නොවළහා ඉටු කිරීමකි.
(සේකර: 121 – 122 පිටු)
කෙසේ වුව ද ජීවිතයට නිසි මඟ පෙන්වන්නකු නොවීමත්, පොතපතේ නිසි අධ්‍යාපනය නොලැබීමත් නිසා, ජීවන ගැටලුවලට නැණ නුවණින් මුහුණ දෙනු නොහැකි වීම, ලොකුමාමාගේ අකල් මරණයට ද හේතු විය. ඔහු මිය යන්නේ, රෝගීව කලට වේලාවට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා දුස්සාධ්‍ය වීමෙනි.

මේ අනුව අබිලින් තාත්වික පුළුල් චරිත නිරූපණයක් ලෙස ඇගයිය හැකි ය. සිරිසේන ‘තුංමංහංදිය’ තුළ අනෙක් ප්‍රධාන චරිතය වශයෙන් ගැනේ. ඔහු කෙළිලොල් ගැමි කොලුවකු ලෙස පළමුව පාඨකයාට හමුවෙයි:
“අම්මා මට පොප්ලින් ජංගිය අන්දවා කර තදින් පියවා හ‍ර්නෙල් කටුවක් ගසයි... මම අත සෝදන ගමන් පිඟානත් සෝදා ඒකටම වතුර නමාන බී, ස‍රමෙන් අත පිස දමදමා ඉස්තෝප්පුව දිහාට එමි.”
(සේකර: තුං.මං.හං. 6, 7, 8 හා 9 පිටු)
පිටු කිහිපයක් පුරා පැතිරුණු ඉහත විස්තරය, තත්කාලීන ගැමි පාසල් දරුවකුගේ දින චර්යාව පිළිබඳ චමත්කාර සිතුවමක් සහෘදය පාඨක මනැසෙහි මැවීමේ සමත් ය. ‘තුංමංහංදිය’ කථිකයා ලෙස ඔහු කරන වාර්තා අනුව නිගමනය කළ හැකි කරුණු කිහිපයක් පැහැදිලිව පෙනේ.
සිරිසේනට කුඩා කල පටන්ම තියුණු කලා ඇසක් හිමිව තිබිණි. හේ බාල ළමා වියේ සිටම ලොකුමාමාගේ කලා නිර්මාණ ආභාසයට පෙලඹෙයි:
“මල් කපා ඉවර වූ පසු මෝස්තරය ඉතිරි වෙන්නට හැර කැපුණු කොටස් ගලවා දැමිය යුතු ය. මෝස්තරයට හානියක් නොවෙන්ට ඒවා ගලවන හැටි මාමා කියා දෙයි... කපා ඉවත දමන කඩදාසි කැබලිද ලස්සන ය. එක එක හැඩේට. මම මේවා ගෙන එක එක මොස්තරයට සිටින සේ බිම අතු‍රමි.”

(සේකර: 20 පිට)
ඉහත ඡේදයෙහි පසුභාගය, ලොකුමාමාගේ කලා හැකියාව කෙරෙන් සිරිසේන ලබන පන්නරය ව්‍යංගයෙන් පවසයි.
තව ද සිරිසේනට තියුණු විමර්ශන දෑසක් ද හිමි ය. ඔහු දකින හැම දේකින්ම, යම් ජීවිතාවබෝධයක් නොහොත් ජීවිතාදර්ශයක් ලබා ගැනීමට උත්සුක වෙයි. මුණගැසෙන හැමෙකකුගෙන් ම ජීවිත පොතේ හැම පිටුවකින්ම පාහේ යම් සුළු හෝ පාඩමක් ඉගෙන ගැනීමට ඔහු තුළ ඇත්තේ නොපසුබට උත්සාහයකි.
පහත ගැනෙන උද්ධෘතය ඒ වග මැනවින් සනාථ කරන්නකි:
“මා යැවිය යුත්තේ ටෙක්නිකල් කොලීජියට ද, ලෝරන්ස් කොලීජියට ද යන්න ගැන ස්ථීර තීරණයකට තවම බැස නැත... ලොකු මාමාටත් හොඳ අධ්‍යාපනයක් එහෙම ලැබුණ නං බලන්ඩ තිබුණ”
(සේකර: 98, 99 පිටු)

ජීවිත යථාර්ථය පිළිබඳ සිරිසේන වර්ධනය කොටගත් දැනුම හා අවබෝධය ඉහත ඡේදයෙන් මනාව පැහැදිලි වෙයි.
බටහිරින් සංක්‍රමණය වූ අරුමෝසම් නොවටිනා සැරසිලි හා විෂමාචාර ගම වැලඳ ගැනීම නිසා, අබිලින්ගේ අතමිට අහේනිය හා පෞරුෂය ගරා වැටීම හේතුකොට ඔහු ගැමියන්ගේ සමච්චලයට ලක් වෙයි. එවන් විටෙක සිරිසේන ඔහුට කරුණු පහදා දෙන අවස්ථාව, සිරිසේන වර්ධනය කොටගත් ජීවිත පරිඥානය මනාව පැහැදිලි කරන්නකැයි හැ‍ඟේ:
“මාමා බීමටත් සූදුවටත් වැටුණේ නොදැනුවත්ව හෙමින් හෙමින්ය... මාමා මොකට ද සිහි නැති වෙන කල් බොන්නෙ. පසුවදා වෙරි සිඳුණු කල කරුණාවන්ත ලෙස මම ඔහුට කීවෙමි. රටේ මිනිසුන්ට නිකං චොරි වෙන්ඩ.”
(සේකර: 88, 89 පිටු)

ආත්මාර්ථයම ජීවිත අරමුණ කරගත් පොඩිමාමා-සේතන්තරමක් දුරට විග්‍රහ කෙරෙන, එහෙත් ‘පැතලි’ චරිතයකි. එහි නරුම ගති ලක්ෂණ බොහෝ විට විකාශනය වනු දැකිය හැකි ය.
සිරිසේන දෙටු පෙළ සමත් වූ පසු, සේතන් ඔහුට ඉදිරි අධ්‍යාපනය සඳහා උපදෙස් දෙන්නේ, පහසුවෙන් ධනය උපයාගෙන සමාජයේ මතුමහලට නැ‍ඟෙනු පිණිස ඉංගිරිසි ඉගෙන ගන්නා ලෙස ය.
සිරිසේන කාර්මික විදුහලට යවා කලා ශිල්ප උගැන්වීම ගැන සේතන්ගෙන් අදහස් විමසූ විට, ඔහු ඒ යෝජනාව හෙළා දුටුවේ ය:

“අයියගෙ රස්සාවනේ මහ ලොකුවට ඔය උගන්වන්ඩ හදන්නෙ, කොළඹත් බෝඩිං කරලා. හොඳයි ඉගෙනගෙන ආවයි කියමු. ඊට පස්සෙ මොකද කරන්නෙ. එක එකාගෙ මඟුල් මඩු හරහන්ඩයි තූම්බ හදන්ඩයි අරිනව. එහෙමද? මම කියන්නෙ කොලුවගෙ හොඳට. ඉතින් ඇයි ඔය ගම්පහ ලෝරන්ස් කොලීජියටවත් ඇරල ඉංගිරිස් ටිකක් උගන්නන් නැත්තෙ.” (සේකර: 98 පිට)යනු විසින් සමච්චල් කරමිනි.
සේතන් එසේ සමච්චලයට නගනුයේ අබිලින්ගේ හද පුරා පැවැති මානව භක්තිය ය. ඒ අනුව ඔහු සිරිසේනගේ අධ්‍යාපන කටයුතු උදෙසා කිසිවිටෙක උදවු උපකාරයක් නොකිරීම හා දිළිඳු සොහොයුරියගේ පවුලට, එදිනෙදා දිවිපෙවෙත රැකගැනීම සඳහා අබැටක පමණ අත්උදව්වක් හෝ නොදීම, සේතන්ගේ කුහක පැවැත්ම හා කදිමට ගැළපෙතැයි හැ‍ඟේ‍.

සේතන්ගේ ප්‍රධාන දායකත්වයෙන් ගමේ පන්සලේ පැවැත්වුණු ‘වස් පවාරණ පින්කම’ තවත් සාර්ථක චරිත නිරූපණ අවස්ථාවකි. අනෙකකු අබිබවා නැඟී සිටීමට ඔහු තුළ පැවැති කුහක අභිප්‍රාය ඔහුගේ චරිතය හා මනාව පෑහේ:
“පින්කමට පොඩිමහත්තයා ආවේ නැත. ඔහුගේ හාමිනේත් සුදු මැණිකේත් දෙන්නා නම් පැමිණියහ. පොඩි මහත්තයත් ආව නං තමා හොඳ.
ඈත යන ඔවුන් දෙස බලා සිටි පොඩිමාමා කීය. කර පියවාපු‍ කෝට් එකකුත් සුදු සරමකුත් ඇඳ සිටින පොඩිමාමාගේ මූණේ උදාරං ගතියක් ඇත.
‘ආව නං මට කන කපා ගන්ඩ තිබුණා”
(සේකර: 43 පිට)

සේතන් ඒ අවසන් වැකියෙන් කළේ පරණ කෝන්තරයක් පිරිමසා ගැනීමකි:
“සේතන්ගේ පින්කම නොයෙකුත් ‍අංගෝපාංගවලින් වඩාත් උත්කර්ෂවත් කරනු පිණිස අබිලින් තම හිතවත් ගැමියන් ද කැඳවාගෙන වෙහෙසුණේ ය. දිවා රෑ නොබලා වෙහෙස වෙමින් නාටක රඟ දැක්වීම් සංවිධානය කළේ ය.”
(සේකර: 39 – 41 පිටු)

එහෙත් ඒ පිළිබඳ අල්ප වූ කෙළෙහි ගුණයක් හෝ සේතන්ගේ සිත නොරැඳිණි. පහත දැක්වෙන සිද්ධිය එයට දෙස් දෙයි. නිදසුන් සපයයි
අබිලින් ස්වකීය කළමනාකාරිත්වයෙන් ගමේ නාඩගම් රඟදැක්වීම සඳහා ස්ථිර මඩුවක් තනා ගැනීමට සිතී ය. සිරිසේනගේ මවුපියන් දැක්වූ අදහස පරිදි, හෙතෙම එයට මලණුවන්ගෙන් උපකාර බලාපොරොත්තු විය:
“නමුත් පොඩිමාමා ළඟට ගොස් මුදල් ඉල්ලීමට ලොකුමාමා කැමැති වුණේ නැත. ඔහු වෙනුවෙන් ඒ වැඩේ කිරීමට අම්මා භාර ගත්තා ය. මොකද නිකං ඉල්ලනව නෙමෙයිනෙ. පස්සෙ ආපහු දෙන්ඩනෙ.
නාඩගං නටන්ඩ මා ළඟ සල්ලි නැතැයි පොඩිමාමා ගත් කටටම කියා ඇත. කරතොත් කරන්ඩ හදන්නෙ ඕවගෙ වැඩක් තමයි. තඹ සතේක පලක් නැති.”
(සේකර : 68, 69 පිටු)

සේතන් එසේ ගැරහුවේ, තම ප්‍රධාන දායකත්වයෙන් පන්සලේ සිදු කෙරුණු පින්කම වඩාත් හැඩවැඩ ගන්වනු පිණිස, දිවා රෑ නොබලා වෙහෙසුණු සිය එකම සොහොයුරා හට ය.
‘තුංමංහංදිය’ට ඇතුළත් අනෙකුත් චරිත, කතුවරයා විසින් යොදා ගනු ලැබ ඇත්තේ, පෙර සඳහන් මූලික චරිත තුනෙහි ස්වාභාවික බව වඩනු පිණිස පමණකි. ඔවුන් සියල්ල ඒකාකාරී ‘පැතලි චරිත’ ලෙස හැඳින්වීම සාධාරණ ය.
කාල වකවානුව
අප රට ඉංග්‍රීසි යටත්විජිත පාලන සමය අවසාන භාගයෙහි දස වසරක පමණ කාලපරිච්ඡේදයක් ‘තුංමංහංදිය’ ට ඇතුළත් වෙයි. ඒ වනාහි සිරිසේනගේ ළමා විය පටන් යොවුන් අවධිය දක්වා වූ කාල පරාසයකි.
පූර්වෝක්ත කාලවකවානුවේ, පාරිසරික, සංස්කෘතික හා සමාජීය විපර්යාසවලට ගොදුරුව කෙමෙන් ජරාජීර්ණව අකාලයේ කෙළවර වන ලොකුමාමාගේ චරිතයෙන් ද, ඔහු හා ගැටෙන පොඩිමාමාගේ විෂම චරිතයෙන් හා අනෙකුත් සමාජීය පසුතලයන්ගෙන් උකහා ගන්නා ලද අත්දැකීම් අතුරින්, සිරිසේන ජීවිත යථාර්ථය මඳින් මඳ පසක් කර ගනී. එහි කාලානුරූපී සාර්ථක අව්‍යාජ ආරෝහන ක්‍රියාවලියක් දෘශ්‍යමාන වීම බෙහෙවින් අගය කළ යුත්තකි.

භාෂා විලාසය

‘තුංමංහංදිය’ ආරම්භයෙහි, සිරිසේන ලාබාල වියෙහි පසු වන ගැමි දරුවෙකි. එහි අවසානය එළැඹෙන කල හෙතෙම ගැටවර වි‍යට පත්ව සිටී. ප්‍රබන්ධයේ රචනා ශෛලිය ඔහුගේ වයසට සමාන්තරව කෙමෙන් වැඩෙයි. කෙටි කට වහරින් ඇරැඹෙන කතාව, කෙමෙන් ‍නොගැඹුරු එහෙත් පිරිපුන් වාක්‍ය රටාවකට පෙරළෙයි.
රචනා ශෛලිය සරල ය. උක්ත භාෂා විලාසය සිරිසේනගේ සරල ජීවන පැවැත්ම හා කදිමට ගැළපෙතැයි හැ‍ඟේ.
කුඹුරේ අස්වැන්න නොගන්නා ‘කොළදිං’ සමය පසුබිම් කරගත් පහත දැක්වෙන උද්ධෘතය එයට නිදසුනකි:
“අම්මා ඇඹුල අරං නියර දිගේ එනවා ඈතින් පෙනේ. ඈ සමඟ තව කවුදෝ දෙ‍න්නෙකුත් එති. ඔවුන්ගේ හුළු අතු එළිය දියට වැටී දෙගුණව පෙනෙයි. ඇඹුල ගේනවා දකින මට සන්තෝසයක් ඇති වේ. ඇඹුල කෑමට කොළපොං ගැහීම නවතා ටික වේලාවක් නිවාඩු ගැනීමට පුළුවන.

හා හා දැං සප්පායම් වෙලා හිටිමු. තාත්තා යෝජනා කරයි. අම්මා ද කතා කරන්නේ මා ගැන දුක හිතිලා වගේ ය. වරෙං පුතේ, වරෙං උක්කුං. අම්මා එසේ කියා කට ගැලවෙන්ටත් පෙර අපි දුවගෙන එමු. පත්කොළ ගෙන ලොකු මිනිසුන් සමඟ හරි හරියට වාඩි වෙමු. වෙනදාට වඩා ආදරයෙන් අම්මා මට බත් බෙදයි. මාළුපිනි බෙදයි. පෙරැත්ත කර කර තව තව කවන්ට හදයි.” (සේකර : 37 පිට)
තව ද කතුවරයා තුළ චිත්‍ර ශීල්පයෙහි හා පද්‍ය රචනයෙහි පැවැති පරිණතභාවය මේ ප්‍රබන්ධ රචනයෙහි ද අවස්ථාවෝචිතව යොදාගෙන ඇත. සිත්තරකු එක පින්සල් පහරකින් සිතුවමක භාවාර්ථය මතු කරන්නා සේ, කතුවරයා ‘තුංමංහංදිය’ රචනයේදී ඉතා සීමිත වචන සංඛ්‍යාවකින් අනුවේදනීය ලෙස කරන අවස්ථා නිරූපණය, සහෘද පාඨකයා හට අපූර්ව භාවමය රස වින්දනයකට මඟපාදයි.
සිරිසේනට නගරයේ විදුහලට යෑම සඳහා, ලොකුමාමා පාපැදියක් මිලට ගෙන ආ දවස පිළිබඳ පූර්වෝක්ත උද්ධෘතය
(සේකර : 83 පිට)එයට නිදසුන් සපයයි.

එකී ඡේදයෙහි ඇතුළත්, ‘එය පොඩිමාමාගේ බයිසිකලය මෙන් අලුත් එකක් නොවේ.’ යන සරල වැකිය, ව්‍යංගයෙන් ඉතා පුළුල් අර්ථයක් පවසයි.
“තිබහට වතුර බොන්න සුළු ළිඳ විතර - කිසි විට පිහිට නැත ගැඹුරැති මහ සයුර” යන ප්‍රකට කවි දෙපදය මෙහි දී ප්‍රබුද්ධ පාඨකයාගේ සිත නැ‍ඟෙනු නිසැක ය. ඒ අනුව අබිලින්ගේ චරිතය කෙරේ පාඨකයා තුළ වැඩෙනුයේ සානුකම්පිත සිතකි; හෘදයාංගම වැටහීමකි.
විවාහය පිළිබඳ අනුවේදනීය ජීවන අපේක්ෂාව බිඳ වැටීමෙන් ලොකුමාමා පත් අසරණභාවය, සිත් කාවදින ලෙස ව්‍යංගයෙන් පවසන පහත උද්ධෘතය ද තවත් නිදසුනකි: “ඇඹුල කා ඉවර වූ වහාම උක්කුනුත් මමත් මැඩුවන් කන්දේ අනිත් පැත්තට යමු. මැඩුවන් කන්දේම ඇල වී අහස දිහා බලා සිටිමු. මල් වට්ටියක් විසුරුවාක් මෙන් අහස පුරා තාරකා පායා ඇත. ලොකුමාමාගේ සීපද හඬ මැඩුවන් කන්දේ එහා කොනෙන් ඇසේ.
‘පුන් ස‍ඳේ ඔහොම නොකරන් හැමදාම
යන් ළඳේ රටක කාටත් නොකියාම’ මාමාගේ සීපද හඬ ඈතට ගලා යයි. එහි කිසියම් ශෝකජනක ස්වරයක් ගැබ් වී ඇත්තා සේ මට හැ‍ඟෙයි. (සේකර : 38 පිට)
තම සිත ගත් ගැමි යුවතිය කැමැති වේ නම්, මවුපිය අවසරය නැතිව හෝ ඇය සරණපාවා ගැනීමට අබිලින්ගේ සිත පැවැති අවංක බලාපොරොත්තුව සීපද ගායනයෙන් කදිමට පිළිබිඹු වෙයි.

ප්‍රබන්ධයේ අරමුණ

‘තුංමංහංදිය’ රචනයේදී කතුවරයාගේ අරමුණ වූයේ, ජීවන මං තලයෙහි ඔහු විසින් දක්නා ලද, තුංමංහංදිය විවරණය කිරීම ය. ඒ පිළිබඳ මෙහි දී යම් විග්‍රහයක් කිරීම වැදගත් ය.
කතා පුවත අපට කථිකයාම ඒ පිළිබඳ හරවත් විග්‍රහයක යෙදෙනු දැකිය හැකි ය:

“ටිකින් ටික එළිය වැටීගෙන එයි. දැන් දැන් ගෙවල් දොරවල් පාරවල් ‍ගහකොළ පැහැදිලිව පෙනේ. මෙහි දී පාරවල් තුන තුන් අතකට විහිදී යයි. එක් පාරක් ආපහු ගෙදරට යන පාර ය. අනිත් පාර දිගේ ගියොත් ගම්පහට යාමට මට පුළුවන. පොඩිමාමා යෝජනා කළේ මා ගම්පහ ලෝරන්ස් විද්‍යාලයට යවා ඉංග්‍රීසි ඉගැන්වීමට ය. තුන් වැනි පාර දිගේ කාර්මික විද්‍යාලයට යෑමට බස්රිය එනතුරු මම මෙතනට වී බලා සිටිමි. පත්වීමක් නොලැබුණොත් මාමාට මෙන් වත්තක මුර වැඩට හෝ යෑමට මට ද බැරිකමක් නැත.” (සේකර : 134, 135 පිටු)
ඡේද ත්‍රිත්වයකින් එසේ පුළුල්ව විස්තර කෙරෙන උක්ත විග්‍රහය ‘තුංමංහංදිය’ පිළිබඳ නිසි අර්ථය පැහැදිලි කරයි.

කථිකයා සඳහන් කරන ආකාරයට, පළමු පාරෙන් ගෙදර ගිය හොත්, ඔහුට ‘ගොඩ මඩ’ දෙකෙහිම පළපුරුදු ගොවියකු වූ තම පියා මෙන් වැර වෑයමෙන් ගොවිතැන් කොට එදිනෙදා ජීවිතයේ ආමිස සතුට, කම්කටුලු මැදින් අත්කර ගත හැකි ය.
දෙවන පාරෙන් ගම්පහට ගිය හොත්, පොඩිමාමා මඟ පෙන්වූ පරිදි ඉංග්‍රීසි උගෙන සෙස්සන් අබිබවා හුදු ආර්ථික සමෘද්ධිය මඟින් සමාජයේ මතු මහලට නැ‍ඟෙනු හැකි ය.
තෙවැනි පාරෙන් ඉදිරියට යතොත්, කාර්මික විදුහලින් තම සිත් ගත් කලාශිල්ප මැනවින් හදාරා, උපේක්ෂා සිතින් ජීවිත යථාර්ථයට මුහුණ දීමේ හැකියාව අත්වෙයි.
ඒ වනාහි අප කවරකුට වුව, මානව දිවි ම‍ඟෙහි හමුවන ‘තෙ මං සන්ධිය’ ය යන්න ග්‍රන්ථය කියවා අවසානයෙහි ප්‍රබුද්ධ රසික පාඨකයා හට ප්‍රත්‍යක්ෂ වෙයි:

“තුන් වන පාර දිගේ කාර්මික විද්‍යාලයට යෑමට බස් රිය එනතුරු මම මෙතනට වී බලා සිටිමි. ඒ පාර දිගේ යෑමට මගේ සිත මට අණ කරයි. අම්මා මා නඩුකාරයකු වන තුරු බලා සිටී. චිත්‍ර ඉගෙනගෙන නඩුකාරයකු කියා තෝල්කයෙක් වත් වෙන්න බැරි ය. ලොකු මාමාට වුවමනා කළේ මා හොඳ සිත්තරකු කිරීමට ය. ඔහුට කළගුණ සැලකිය හැකි එකම ක්‍රමයක් ඔහුට දැක්විය හැකි ලොකුම උපහාරයත් මා හොඳ සිත්තරකු වීම පමණ ය. පත් වීමක් නොලැබුණොත් මාමාට මෙන් වත්තක මුර වැඩට හෝ යෑමට මට ද බැරිකමක් නැත.”
(සේකර : 135 පිට)
යථෝක්ත උද්ධෘතය ඒ බව වැඩි දුරටත් සනාථ කරන්නකි:
“දාහකින් හොයන්ඩ බැරි මිනිහ. එකම වැරැද්ද බීමයි, සූදුවයි” එකල මිනිස්සු කීහ. එහෙත් ඔහු නරක මිනිසකු හැටියට කිසිවෙක් නොසැලකූහ. මාමා උතුම් මිනිසෙකි. ඔහුගේ මළගමදා වෙන කවදාවත් නැති අන්දමට මිනී පිටිය ඉහවහ යන තරමට සෙනඟ රැස් වූහ. මිනිසුන් මාමාට ගෞරව කළේ ඔහු හොඳ මිනිසකු බව ඉවෙන් වටහා ගත් බැවිනි.

(සේකර : 132 පිට)
පොතේ අවසාන ඡේදය වෙත අප අවධානය යොමු කිරීම මැනවි. මෙහි වරහන් තුළ දැක්වෙන කෙටි හැඳින්වීම් ලියුම්කරුගේ ය:
“බස්රිය මීදුම (අවිදු අඳුර) කපාගෙන කොළඹ දෙසට යයි. හන්දියෙන් බසයට නැංගේ මා පමණ ය. මම පසුපසට වී තනියම (මවුපියන්ගෙන් හා පොඩි මාමාගෙන් වෙන්ව) වාඩි වී සිටිමි. හරියන්න හෝ වරදින්න මා යන්නේ මාමා ගිය අඩි පාරේ ය. ඔහු මියගිය බව මට අමතක වේ. මා ඉස්තෝප්පුවේ ලණු ඇඳ උඩ වාඩි වී වත්ත පහළ බලාගෙන සිටින විට මාමා කන්ද නැඟ ගෙන දැන් දැන් එනු ඇතැයි නොයෙක් විට මට කල්පනා වෙයි.”
(සේකර : 136 පිට)

ලොකුමාමා තමා සමඟ තවමත් හදවතින් බැඳී ජීවත් වන වගක් සිරිසේනට හැ‍ඟේ‍‍. තමා ගමන් ගන්නා මඟ දෙස දුරක හෝ හිඳ බලා සිටින බවක් ඔහුට දැනේ. කතුවරයා ඒ බව පාඨකයා හට ඍජුව නොපවසයි. එසේ වුව ද, මීට පෙර දින රැයෙහි සිරිසේන දුටු සිහිනය තුළ ගැබ් වුණු ව්‍යංගාර්ථය ඒ වග මැනවින් සනාථ කරයි.
‍‍“ලොකුමාමා සුදු මේස් බැනියමකුත් තාත්තා දුන් සරමත් ඇඳගෙන අපේ ගෙදරට ආවේ ය. ඇඳ යටට එබී බැලු ඔහු ආයුධ පෙට්ටියේ ආයුධ ඒ මේ අත විසිරී තිබෙනවා දැක එකලස් කොට තැන්පත් කළේ ය. (ජීවත්ව සිටියදී ඔහ ඒආවුධ භාවිත කළේ, මිනී මරන්න නොව මානුෂීය හදවත් සුවපත් කරන්න ය.) පුතේ මේ ආයුධ මං නැති අතරේ පරිස්සන් කරල තියන්ඩ ඕනැ. ඔහු මට කීය.”
(සේකර : 135, 136 පිට)

ලොකු මාමා තමා කෙරේ තැබූ බලාපොරොත්තුව ඉටු කිරීමට, සිරිසේන ධෛර්යයෙන් හා උපේක්ෂා සිතින් ඉදිරියට ද නිවැරැදි මඟ යන්නේ එහෙයිනි.
මේ නවකතාවෙහි පූර්වෝක්ත සමාප්තිය, ප්‍රබන්ධයට අරමුණු කොටගත්, පරිකාල්පනික ජීවිත යථාර්ථය සාර්ථකව කුළුගැන්වීමකි.

ආශ්‍රිත ග්‍රන්ථ
1. මහගමසේකර (1992) තුංමංහංදිය (සිව්වන මුද්‍රණය) කොළඹ 10. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
2. ජයතිලක, කේ. (1990) පුංචි පැලේ ගස වෙනා (දෙවන මුද්‍රණය) කොළඹ 12. ප්‍රදීප ප්‍රකාශකයෝ.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.