චිත්‍ර කලාව හා වර්ණ ප්‍රතිකාර විද්‍යාව | සත්මඬල

චිත්‍ර කලාව හා වර්ණ ප්‍රතිකාර විද්‍යාව

සියලු වර්ණවලට විශේෂ වූ ශක්තියක් ඇත. ඒ හිරු එළියේ ශක්තියයි. හැම ජීව ශක්තියක්ම, ජීවියෙක්ම උපත ලබන්නේ හා පවතින්නේ හිරු එළියේ ශක්තිය නිසා ය. හිරු එළිය සතුව පවතින සමස්ත ශක්තිය විභේදනය කළ විට වර්ණ ලෙස වෙන් වෙන්ව දැකිය හැකි ය.

ඇසට නොපෙනෙන තවත් වර්ණ දෙකක් හිරු එළියේ ඇත.

එනම් පාරජම්බුල හා අධෝරක්ත යන වර්ණයි.

චිත්‍ර කලාව යනු තනිකරම වර්ණ මත ගොඩනැඟුණු කලාවකි. චිත්‍ර කලාවේ මූලිකාංග ලෙස සලකනු ලබන රේකා - හැඩතල යනු වර්ණ පදනම් කර ගෙන ගොඩනැඟුණු සංකල්පයකි. රේඛාව යනු ද වර්ණම ය. හැඩතල යනු රේඛාව විවිධ වර්ණවලට භාවිත කිරීමයි. අවසාන විග්‍රහයේදී මුළු මහත් චිත්‍ර කලාවම රඳා පවතින්නේ වර්ණ මත ය.

වර්ණ යනු හිරු එළියේ වර්ණමාලාවයි. අපගේ ඇසට විවිධ වර්ණ පෙනෙන්නේ හිරු එළිය නිසා ය. වර්ණ නිපදවන්නේ හිරුඑළිය විසිනි. අඳුරු පසුබිමක රාත්‍රී කාලයේ වර්ණ නොපෙනේ. වර්ණ පෙනීම යනු විවිධ ද්‍රව්‍ය විසින් හිරු එළියේ වර්ණ උරා ගැනීම හා පරාවර්තනය මඟින් සිදු කෙරෙන ක්‍රියාවලියකි. කොළපාට යනු හිරු එළියේ ඇති වර්ණ වර්ණාවලියේ සියලු වර්ණ උරාගෙන කොළපාට පරාවර්තනය කිරීමයි. මේ අයුරු ලොව ඇති සියලු වර්ණ නිපදවන බලවේගය හිරු එළිය බව විද්‍යාත්මකව තහවුරු කර ඇති සත්‍යයකි. හිරු එළියේ ඇති වර්ණ දේදුන්න ඇසුරෙන් දැකිය හැකි ය. එනම් රතු, කහ, තැඹිලි, නිල්, කොළ, දම්, ගැඹුරු නිල් යන වර්ණයි. මේ සියලු වර්ණවල එකතුව සුදු පාටයි. මේ සියලු වර්ණ නැති බව යනු කළු පාටයි. හිරු එළිය සුදු වර්ණයෙන් යුක්ත වී ඇත්තේ සියලු වර්ණවල සංයුතිය එතැන ඇති නිසා ය.

මේ සියලු වර්ණවලට විශේෂ වූ ශක්තියක් ඇත. ඒ හිරු එළියේ ශක්තියයි. හැම ජීව ශක්තියක්ම, ජීවියෙක්ම උපත ලබන්නේ හා පවතින්නේ හිරු එළියේ ශක්තිය නිසා ය. හිරු එළිය සතුව පවතින සමස්ත ශක්තිය විභේදනය කළ විට වර්ණ ලෙස වෙන් වෙන්ව දැකිය හැකි ය. ඇසට නොපෙනෙන තවත් වර්ණ දෙකක් හිරු එළියේ ඇත. එනම් පාරජම්බුල හා අධෝරක්ත යන වර්ණයි.

මේ වර්ණ මාලාව සතු සුවිශේෂ ගුණ හා ශක්ති මිනිස් හා සියලු ජීව ශක්ති වෙතට ඍජුවම බලපානු ලබයි. මේ වර්ණ ශක්තිය රශ්මි තරංග ලෙස නිරන්තරව විහිදෙමින් ඇත. නූතන විද්‍යාව විසින් මේ වර්ණ රශ්මි තරංගවල ශක්තිය ගණනය කර ඇත. ඒ අනුව පහත සඳහන් ලෙස ඒ ඒ වර්ණවල ශක්තිය ගණනය සඳහන් වේ. මේ ශක්ති මාපක ඒකක Amstrom units ලෙස හැඳින්වේ.

 විද්‍යාඥයන් විසින් මේ ප්‍රධාන වර්ණ මාලාව කොටස් දෙකකට බොදා ඇත. එනම් ඒ වර්ණවල චරිත ස්වභාවය අනුවයි. සාමකාමී වර්ණ ලෙස දම්, නිල්, කොළ වර්ණත් උත්තේජක වර්ණ ලෙස කහ, තැඹිලි, රතු වර්ණත් ය.

මේ වර්ණවලට සුවිශේෂ වූ චරිත ශක්ති ඇත. ඒ චරිත ස්වභාවය හඳුනා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ පෙරදිග අපරදිග විවිධ පරීක්‍ෂණ පවත්වා ඇති අතර වර්තමානයේ එය තහවුරු විද්‍යාවක් බවට පත්ව ඇත. වර්ණ මඟින් රෝග සුවපත් කිරීම සඳහා වර්ණ වෛද්‍ය විද්‍යාවක් ද (Colour therapy) එමඟින් බිහි කරගෙන ඇත.

වර්ණ ප්‍රතිකාර විද්‍යාවේ ඉතිහාසය

මේ විෂයට දීර්ඝකාලීන ඉතිහාසයක් ඇත. මෙහි මූලාශ්‍රය තොරතුරු අතර මිසර ග්‍රීක යුගවලදී ගුප්ත විද්‍යාවක් ලෙස වර්ධනය වූ අයුරු සඳහන් වේ. එයට සමගාමීව පෙරදිග ආදි දර්ශනවල ද මේ පිළිබඳ තොරතුරු හමුවේ. ඉන්දියාවේ වේද දර්ශනය ඇසුරින් උපන් සූර්ය වන්දනාව එක් අතකින් හිරු එළිය මඟින් ජීවිතය හා සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමේ පිළිවෙතක් ලෙස හඳුනාගෙන ඇත. හිරු එළියේ සිට සූර්ය වන්දනාවේ යෙදීම හා භාවනාව මඟින් සිත සමාධිගත වීම මෙන් ම හිරු රශ්මිය ශරීරයට ඇද ගැනීම සිදු වේ. එයින් විවිධ රෝග සුවපත් වන බව පුරාණ ඉන්දියානුවන් විශ්වාස කළේ ගුප්ත විද්‍යාවක් ලෙස ය. එනමුත් වර්තමානයේ එය භෞතික විද්‍යාවක් ලෙස වර්ධනය වී ඇත. එය සිදු වූයේ 8 -9 සියවස්වල ය. යුරෝපයේ විද්‍යාව බිහි වී වර්ධනය වන විට වෛද්‍ය විද්‍යාව දියුණු විය. මේ වෛද්‍ය විද්‍යාවට වර්ණ ප්‍රතිකාර විද්‍යාව ද විවිධ පර්යේෂණ මඟින් පෝෂණය කරන්න විවිධ රටවල විද්‍යාඥයන්ට හැකි විය. 19 - 20 සියවස්වලදී මේ විෂයේ විශාල දියුණුවක් දැකිය හැකි විය.

1876 වසරේදී ඔගස්ට්ස් ප්ලෙසන්ටන් ලියූ

‘නිල් හා හිරු එළිය’ නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් වීම සමඟ බොහෝ තොරතුරු ලොව හෙළි වන්න විය. එමඟින් වර්ණ, ගස්වලට හා සතුන්ට මෙන්ම මිනිසුන්ට බලපාන අයුරු විද්‍යාත්මකව ගවේෂණය කර ඇත. වර්ධනය වන පැළෑටියකට නිල් වර්ණය ලබා දීමෙන් හොඳින් වැඩෙන බව ඔහු සොයා ගෙන ඇත. එමෙන්ම සමහර කෘමි රෝග පස නිසා ඇති වන කෘෂි රෝග මර්දනයට ද මේ ආලෝක තරංග භාවිත කිරීම ඵලදායී වන බව සොයා ගෙන ඇත. මිනිස් සිරුරේ වේදනා අඩු කිරීමේ ප්‍රතිකාරයක් ලෙස නිල් ආලෝක තරංග භාවිත කිරීම ඔහු සොයා ගත් තවත් දෙයකි. ඇතැම් රෝග සුවපත් කිරීමට ද නිල් වර්ණයට හැකි බව ඔහු මෙමඟින් පෙන්වාදී ඇත.

1877 වසරේදී කීර්තිමත් වෛද්‍යවරයකු වූ සෙත් පැස්කෝස්ට් ‘නිල් හා රතු වර්ණය’ නමින් පොතක් ප්‍රකාශයට පත් කරන ලදි. 1878 වසරේදී එඩ්වන් බැබිට්ස් විසින් ද ‘ආලෝකය හා වර්ණ මූලධර්ම’ නමින් පොතක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙහි දී දෙවැනි මුද්‍රණය 1896 වසරේදී ප්‍රකාශයට පත් වූ අතර එය ලෝක අවධානයට යොමු විය. මේ පොත මඟින් ආලෝකය හා වර්ණ ගැනත් වර්ණවලින් රෝග සුවපත් කිරීම ගැනත් ජීවීන් කෙරෙහි වර්ණවල බලපෑම ගැනත් න්‍යායන් රැසක් එළිදරවු කරනු ලැබී ය.

මිනිස් සිරුරේ ලේ ගමන් කිරීම ස්නායු ක්‍රියාකාරීත්වය ආදියට වර්ණවල බලපෑම පිළිබඳ පර්යේෂණ රැසක්ම සිදු කෙරුණු අතර ශරීරයේ විවිධ අවයවවලට විවිධ ස්ථානවලට විවිධ වර්ණ ආලෝක ධාරා යෙදීමේ ඇති වන ප්‍රථීපල හා සංවේදීතා පිළිබඳ ඉතා සියුම් පරීක්‍ෂණ රැසක්ම සිදු කරන ලදි. හිරු එළිය ඍජුවම මිනිස් සිරුර මත යෙදීම මෙන්ම හිරු එළියේ වර්ණ වෙන වෙනම කාච මඟින් යෙදීම මඟින් ඇති වන බලපෑම මෙමඟින් පුළුල්ව සොයා බැලිණි. වර්ණ පිරවූ වීදුරු හරහා හිරු එළිය හා විද්යුත් එළිය සිරුරේ රෝගී අවයව හා ඉන්ද්‍රියයන් වෙත යෙදීමෙන් සිදු වන ප්‍රතික්‍රියා පිළිබඳ සියුම් පරික්‍ෂණ රැසක්ම මෙමඟින් සිදු කරන ලදි.

දම් - 4300 - 4600

නිල් - 4700 - 5000

කොළ - 5000 - 5500

කහ - 5800 - 5900

තැඹිලි - 5900 - 6000

රතු - 6000 - 6700

 ඒ සියල්ලේ ප්‍රතිඵලය ලෙස වර්ණ මාලාවේ ප්‍රධාන කොටස් දෙකකට බෙදුණු අතර උච්චප්‍රබෝධක වර්ණ හා සමබර වර්ණ ලෙස වර්ණ මාලාව හඳුන්වන ලදි. රතු, තැඹිලි, කහ උච්චප්‍රබෝධක වර්ණ ලෙසත් නිල්, දම්, කොළ සමබර වර්ණ ලෙසත් හඳුනා ගන්නා ලදි.

මේ අනුව කරන ලද පරීක්‍ෂණවලින් නවතම කරුණු රැසක් ලොවට හඳුනා ගැනීමට හැකි විය. ලේ හා ස්නායු ප්‍රබෝධක ලෙසත් දුර්වල ලේ ගමනාගමනය හා දුර්වල ස්නායු ක්‍රියාකාරීත්වයට වේගවත් ප්‍රබෝධකයක් රතු වර්ණයට මඟින් ලබා දිය හැකි බව සොයා ගන්නා ලදි. තැඹිලි මෙන් ම කහ වර්ණ ද එයට සමාන මෙහෙයක් ඉටු කරයි.

බ්‍රිතාන්‍ය අමෙරිකාව වැනි රටවල විද්‍යාඥයන්ද මේ පරීක්‍ෂණ අනුව යමින් තව තවත් බොහෝ දේ සොයා ගන්නා ලද අතර ඒ සියල්ල මඟින් වර්ණ ප්‍රතිකාර විද්‍යාව පෝෂණය වන්න විය.

20 වැනි සියවසේදී මේ විෂය පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වූ අතර ජර්මනියේ රුඩොල්ෆ් ස්ටෙනර් විශේෂ පරීක්‍ෂණ ගණනාවක් කරන ලදි. ඔහු විසින් විශේෂිත හැඩ සමඟ හඬ භාවිත කිරීම පිළිබඳ අත් හදා බැලීම් රැසක් කරන ලදි. වර්ණ ධාරාවක කම්පන තරංග සිරුරේ ඒ ඒ ස්ථාන වෙත යැවීමෙන් ඉන්ද්‍රියයන්වල සිදු වන ප්‍රතික්‍රියාව හා රෝගීන්ට සිදු වන බලපෑම එමඟින් සොයා ගන්නා ලදි.

ඔහු කුඩා දරුවන් සම්බන්ධයෙන් ද විශේෂ අධ්‍යයනයක් සිදු කර ඇත. දරුවන්ගේ මානසික ශක්ති වර්ධනයට චරිත ශක්ති ගොඩනැඟීමට හා නිරෝගී භාවයට වර්ණ බලපාන අයුරු පිළිබඳ කරන ලද පරීක්‍ෂණ ඉතා සාර්ථක විය. ළදරු පන්ති කාමරවල බහුලව භාවිත කළ යුතු වර්ණ දරුවන්ට අතපත ගෑමට මෙන් ම දැකීමට වඩාත් යොමු කළ යුතු වර්ණ පිළිබඳ ඔහු කරුණු ගණනාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ළදරු පන්ති කාමරවල බිත්ති භාණ්ඩ වර්ණ කිරීම පිළිබඳ අදහස් ඉදිරිපත් කර ඇත. ළදරු ඇසුරට හා දැකීමට වඩාත් සුදුසු වර්ණ ලෙස ඔහු හඳුන්වා ඇත්තේ කහ, රෝස, ලා නිල්, ලා දම්, ලා කොළ වැනි වර්ණ ය. මේවා විවිධ හැඩවලට ගැළපීම් කරමින් බිත්ති වර්ණ කිරීම සුදුසු බව ඔහු ප්‍රකාශ කර ඇත .

මේ වකවානුවේම බ්‍රිතාන්‍යයේ වර්ණ විද්‍යාගාර පාසලේ තියෝ ගිම්බල් මේ න්‍යාය තවදුරටත් පෝෂණය කරමින් වැඩි දියුණු කළේ ය. බේසල් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මැක්ස් ලූෂර් මේ වර්ණ න්‍යාය මූලික මනෝවිද්‍යා සිද්ධාන්ත සමඟ ගැළපීමට උත්සාහ කළ අතර එයින් ද සාර්ථක ප්‍රතිඵල නෙළා ගන්නා ලදි.

ශාරීරික හා මානසික රෝග විනිශ්චය හා ප්‍රතිකාර සඳහා වර්ණ භාවිතය ගැන ඔහු විශේෂ විමර්ශනයක් කර ඇත. රෝග විනිශ්චයේදී රෝගියාගේ වෘත්තීය වැඩ කරන කාලය ඔහු වැඩියෙන්ම ඇසුරු කරන වර්ණ හිරු එළියේ හා අඳුරේ බලපෑම වැඩියෙන් ලැබෙන අවස්ථා ආශා කරන වර්ණ ආදිය සොයා බැලීමෙන් රෝග විනිශ්චයට යම් එළියක් ලැබෙන බව ඔහු ප්‍රකාශ කරන ලදි. ලූෂර්ගේ න්‍යායට අනුව 1940 වසරේදී රුසියන් විද්‍යාඥ එස්. වී. ක්‍රැකෝව් එය තවදුරටත් වර්ධනය කරමින් තවත් පරීක්‍ෂණ ගණනාවක් කරන ලදි. ඒ අනුව රතු වර්ණය සිරුරේ ස්නායු පද්ධතියේ ස්වභාවය උද්දීපනය කරන බවත් නිල් වර්ණය එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන බවත් සොයා ගන්නා ලදි. 1958 වසරේදී අමෙරිකාවේ රොබට් ජෙරාඩ් තම පරීක්‍ෂණවලින් මේ මතය තහවුරු කර ඇත. රතු වර්ණය හැඟීම් උද්දීපනය කරන බවත්, නිල් වර්ණය හැඟීම් සාමකාමී කරන බවත් ඔහු තහවුරු කර ඇත. මේ අනුව රතු වර්ණයෙන් රුධිර පීඩනය ඉහළ නඟින බවත් නිල් වර්ණයේදී පහත බහින බවත් සොයා ගන්නා ලදි. මේ මඟින් සිදු වන වර්ණ තරංග වෙනස් වීම ඉතා සියුම්ව සිදු වන අයුරු සොයා ගන්නා ලදි. මේ අනුව රතු හා නිල් වර්ණය විවිධ කාලවලදී විවිධ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා භාවිත කළ හැකි බව ජෙරාඩ් නිගමනය කරන ලදි. රුධිර ගමන් පාලනයට වර්ණ යොදා ගත හැකි බව තවදුරටත් නිගමනය කරන ලදි. ඒ අනුව අධිරුධිර පීඩනය පාලනයට නිල් වර්ණයත් අවරුධිර පාලනයට රතු වර්ණයත් භාවිත කළ හැකි බව පරීක්‍ෂණ මඟින් තහවුරු කරන ලදි.

වර්ණ මඟින් ස්නායු පද්ධතියට සෘජු බලපෑම් කළ හැකි බව වෛද්‍ය හැරී වෝල්ෆෝත් විසින් ද සොයා ගන්නා ලදි. වෛද්‍ය ජෝන් ඔට් කරන ලද පරීක්‍ෂණ ද මේ අතර වැදගත් වේ. ඔහු සතුන් පැළෑටි සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයන ද ඉතා ඵලදායී ඒවා විය. ඔහු පැළෑටි හා කුඩා සතුන් වෙත රතු ආලෝක ධාරා යොදා කරන ලද පරීක්ෂණවලදී ඒවායේ වර්ධන වේගය අධික වන බව සොයා ගන්නා ලදි. රතු වර්ණයේදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා හතර ගුණයක වර්ධනයක් ඇති බව දක්නට ලැබිණි. එමෙන්ම කොළ වර්ණයේදී වර්ධන වේගය අඩු වන බව ද දක්නා ලදි. රතු වර්ණයේදී සිදු වන වර්ධනය අස්වාභාවික බව ද මෙයින් පිළිබිඹු විය. ඒ අනුව රතු වර්ණ භාවිතය සිදු විය යුත්තේ අනවශ්‍ය බව හා උචිත බව අනුව පමණක් යනුවෙන් නිගමනය විය. නිල් වර්ණය සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරයි. නිල් වර්ණයේදී උස් හා ඝන පැළෑටි අඩු වර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම මීයන් වැනි සතුන් ද නිල් හා රතු වර්ණයේදී දෙවිදියක වර්ධනයක් පෙන්නුම් කරන බව ද සොයා ගෙන ඇත.

නිල් වර්ණයේදී සාමාන්‍ය හා රතු වර්ණයේදී අධි වර්ධනයක් ඇති බව සතුන් අරභයා ද පොදු බව සොයා ගෙන ඇත. රතු, තැඹිලි වර්ණවලදී මේ සතුන් ඝනව මහත්ව වර්ධනය වන බවත් නිල් කොළ වර්ණයේදී සාමාන්‍ය හා අඩු වර්ණයක් පෙන්නුම් කරන බව ද නිගමනය වී ඇත.

1950 වසරේදී කරන ලද පරීක්‍ෂණවලදී නොමේරූ ළදරුවන් හිරු එළියට නිරාවරණය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන ඇති බව සොයා ගෙන ඇත. මෙහි දී සිදු වන්නේ හිරු එළියේ වර්ණ ශක්තී ළදරු සිරුරට ඇද ගැනීමයි. රාත්‍රී කාලයේ සුදු එළිය දිගටම යෙදීමෙන් රුධිර වර්ධනය සමබරව තබා ගත හැකි බව තහවුරු වී ඇත. නිල් එළිය යෙදීමෙන් තවත් ඵලදායක බව තවදුරටත් සොයා ගෙන ඇත. පාන්ඩුව වැනි ඌන පෝෂණ තත්ත්වවලදී ළදරු සිරුරට නිල් එළිය භාවිත කිරීම අද වෛද්‍ය විද්‍යාව පිළිගත් මතයකි. සිරුර කහ පාට වීමෙන් ළදරුවන් තුළ මේ ඌන පෝෂණ තත්ත්වය පෙන්නුම් කරයි. මෙවන් අවස්ථාවල නිල්, දම් ආලෝක ධාරා සිරුර මත යෙදීම අද භාවිත කරන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකි.

එමෙන් ම දීප්තිමත් සුදු ආලෝක ධාරාව විවිධ රෝග ගණනකට හිතකර බව ද සොයා ගෙන ඇත. පිළිකා සෛල වර්ධනය නවතා ලීමට පවා එමඟින් කළ හැකි බව සොයා ගෙන ඇත. වෛද්‍ය මැක් ඩොනල්ඩ් කළ පරීක්‍ෂණවලින් පාණ්ඩුව පමණක් නොව ආතරයිටීස් වැනි රෝගවලට පවා නිල් ආලෝක ධාරා යෙදීම සුදුසු බව සොයා ගෙන ඇත. නිල් එළිය විනාඩි 15ක් පමණ යෙදීමෙන් වේදනාව අඩු වන බව ද සොයා ගෙන ඇත. නිල් වර්ණ ආලෝක ධාරා මඟින් පිළිකා, තුවාල, මස් පිඬු වේදනා,පටල ඉරීම්, සමේ රෝග, පෙනහලු ආබාධ සුව කළ හැකි බව 1990 අමෙරිකා වාර්ෂික විද්‍යා සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලදි. ශාරීරික මානසික ව්‍යාධි බොහොමයකට නිල් වර්ණය මඟින් සුවය ලබා දිය හැකි බව ද එහි නිගමනය වී ඇත.

රතු ආලෝක ධාරා මඟින් මිග්රේන් - හිසරදය පිළිකා සුවය ගෙන දිය හැකි බව ද මෙමඟින් තවදුරටත් ප්‍රාකාශයට පත් කර ඇත. මේ අනුව විවිධ ආලෝක ධාරා ශරීරයට යැවිය හැකි උපකරණ මෙන් ම හිරු එළියේ විවිධ ප්‍රමිතිවලට අනුව වර්ණ අනුව බෙදීමට හැකි උපකරණ ද නිපදවා ඇත.

අමෙරිකාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් ආලෝක සංවේදී වර්ණ රසායන නිපදවා ඒවා ශරීරයේ අවශ්‍ය තැන්වලට යවා ඒ මතට ආලෝකය යොමු කර එමඟින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ද සොයා ගෙන ඇත. එය හඳුන්වන්නේ P.D.T. (Phot Dynamic Therapy) ආලෝක සංවේදී වර්ණ ප්‍රතිකාර ක්‍රමය වශයෙනි. මේ ක්‍රමයට රතු වර්ණය භාවිතා කර ඒ මතට ආලෝකය නිකුත් කර පිළිකා ශෛල විනාශ කිරීමේ ක්‍රමයක් ද සොයා ගෙන ඇත. මේ P.D.T. ක්‍රමය රෝග විනිශ්චය සඳහා ද භාවිත කිරීමට අත් හදා බැලීම් කර ඇති අතර එයට සම්බන්ධ ලෝක පරිමාණ පරීක්‍ෂණයක් රෝගීන් 3000ක් අරභයා වෛද්‍ය තෝමස් ඩෝටි විසින් පවත්වා ප්‍රතිඵල අත් කර ගෙන ඇත.

මෙයට සමගාමීව මිනිස් චර්යා සම්බන්ධ වර්ණවල බලපෑම ගැන ද පර්යේෂණ සිදු කර ඇත. අලුතින් ඉදි කළ බන්ධනාගාරයක ඇතුළත බිත්ති හා ආලෝකය ලැබෙන ජනෙල් විවිධ වර්ණ යොදා කරන ලද පරීක්‍ෂණයකින් ද සාධනීය ප්‍රතිඵල ලබා ගෙන ඇත. රතු, කහ, දම්, නිල්, කො, ආදි විවිධ වර්ණ විවිධ අයුරින් මෙසේ පරීක්‍ෂණයට භාජනය කර ඇත. ඒ ඒ වර්ණවල ජීවත් වූ හිරකරුවන්ගේ චර්යා වෙනස් වන අයුරු එමඟින් නිරීක්‍ෂණය කර ඇත. රතු, කහ වර්ණ ඇතුළේ ජීවත් වූ හිරකරුවන් නොසන්සුන්, දඩබ්බර හැසිරීම් ප්‍රකාශ කළ අතර නිල්, කොළ වර්ණ ඇතුළේ ජීවත් වූවන් සන්සුන් චර්යා ප්‍රකාශ කර ඇත. මෙමඟින් කරන ලද විද්‍යාත්මක සොයා බැලීම්වලදී ශරීරවල ස්නායු උත්තේජනය මස් පිඬු ක්‍රියාකාරීත්වය ආදිය වෙනස් වන අයුරු දැක ගත හැකි විය. රතු වර්ණයේදී 13.5%ක අධික සංවේදීතාවක් ප්‍රකට කර ඇත. සියයට 5.8 සිට 13.5 දක්වා ක්‍රියාකාරීත්වය වර්ධනය වන බව ද සොයා ගෙන ඇත. මේ නිර්ණායක අනුව වර්ණ ප්‍රතිකාර ක්‍රමය ක්‍රීඩකයන් සඳහා භාවිත කිරීමට සුදුසු බව ද නිගමනය කර ඇත. කෙටි දුර ධාවනය වැනි ශක්තිය විදහාලන ක්‍රීඩකයන්ගේ මස් පිඬු ක්‍රියාකාරීත්වයට මේ ක්‍රමය භාවිත කළ හැකි බව නිගමනය කර ඇත. ක්‍රීඩකයන්ගේ ඇඳුම්වල වර්ණය ඔවුන්ගේ විවේක හා ව්‍යායාම් පරිසරවල වර්ණ යෙදීම ගැන ද විශේෂ අවධානය යොමු කිරීම ගැන ද සොයා බලා ඇත. තැන්පත් එහෙත් ශක්තිමත් හා ඒ ශක්තිය දිගු වේලාවක් දරා ගැනීම ආදි ක්‍රීඩාවලට නිල්, කොළ, දම් වැනි වර්ණ සුදුසු බව ද මේ නිගමන අතර විය.

මේ සියලු දේ මඟින් පුද්ගලයන්ගේ මානසිකත්වය, චරිත ලක්‍ෂණ, පෞරුෂ ලක්‍ෂණ ආදියට ද වර්ණ බලපාන අයුරු නිගමනය කෙරුණි. මේ මතවාදයට අනුව යහපත් සමාජශීලි ප්‍රිය චරිත ලක්‍ෂණ ගොඩනැඟීමටත් වර්ණ භාවිත කර ඇති බවට නිගමනය කෙරී ඇත. විශේෂයෙන් කුඩා දරුවන්ගේ සමබර මානසිකත්වය යහපත්, සමාජශීලි චරිත ගොඩනැඟීමෙහිලා වර්ණ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන බව මේ අධ්‍යයනවල නිගමනය වී ඇත. ඇඳුම්, භාවිත කරන භාණ්ඩ, ජීවත් වන පරිසරයෙන් මේ තත්ත්වය ගොඩනැඟිය හැකි ය.

මෙවන් යහපත් චරිත ශක්තියක් ඇති හා සමබර මානසිකත්වයක් සඳහා ලානිල්, ලාකොළ, රෝස, ලාදම් වැනි වර්ණ බෙහෙවින් බලපාන බව සොයා ගෙන ඇත. එමෙන්ම ඒ වර්ණවලට කෙනෙක් ප්‍රිය කරයි නම් එයින් ඔහුගේ චරිතයේ ඇති ප්‍රසන්න ගුණය ද හඳුනා ගත හැකි ය. චිත්‍ර ඇඳීමේදී කුඩා දරුවෙක් වැඩි ආශාවක් දක්වන වර්ණවලින් ඔවුන්ගේ සිතුම් පැතුම් පෞරුෂ ස්වභාවය හඳුනා ගත හැකි ය. එමෙන්ම ඔවුන් තුළ යහපත් චරිත ගොඩනැඟීම ද ඉහත කී වර්ණ භාවිතයෙන් කළ හැකි ය. මේ අනුව රෝග ප්‍රතිකාර සඳහා පමණක් නොව ළමා අධ්‍යාපනයට ද මේ වර්ණ විද්‍යාව භාවිත කළ හැකි බව පෙනේ.

මොළයේ ස්නායු හා හෝමෝන ක්‍රියාකාරීත්වයට වර්ණ හා ආලෝක ඍජුවම බලපාන බව ද මේ සියල්ල මඟින් අනාවරණය කර ගෙන ඇත. අමෙරිකානු මනෝ වෛද්‍ය හෙලන් අයලන් වර්ණ කණ්ණාඩි පැලඳීමෙන් විවිධ මානසික ශක්ති හා ක්‍රියාකාරීත්ව සිදු වන බව 1995 හෙළි කළ අතර එය බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ද පිළිගෙන ඇත. දීප්තිමත් කහ, රෝස, කොළ, නිල් ආදි වර්ණ විවිධ අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි ය. විවිධ රෝග විවිධ මානසික තත්ත්ව සමනය කිරීම සඳහා මේ වර්ණාලේපිත කණ්ණාඩි යෝග්‍ය බව ඒ වෛද්‍ය මධ්‍යස්ථානය නිගමනය කර ඇති අතර මනෝ හා කායික වෛද්‍ය උපදෙස් මත එවන් කාච පැලඳීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි ය.

වර්ණ හා සම්බන්ධ මිනිස් චරිත ලක්‍ෂණ සිතුම් පැතුම් පිළිබඳ විවරණයක් ද යුරෝපයේ මෙන් ම පෙර අපර දෙදිගම වෛද්‍ය හා මනෝ වෛද්‍ය දර්ශක පර්ෂද විසින් සනාථ කර ඇත. මේ අනුව බැස ගත හැකි අනෙක් නිගමනය වන්නේ චිත්‍ර කලාව ද වර්ණ ප්‍රතිකාරකයක් ලෙස භාවිත කළ හැකිය යන්නයි. වර්ණවල බලපෑම ඇස හරහා මෙන් ම ඇඟිලි හරහා ද චිත්‍ර ඇඳීමේදී සිදු වේ. චිත්‍ර ඇඳීමේ නිරත වන්නා භාවනාවකට යොමු වේ. වර්ණ ඇතුළේ ජීවත් වේ. ඒ වර්ණ මොළය හරහා සංවේදී වීමෙන් විවිධ මානසික ආතති ඇතුළු මානසික හේතු නිසා හට ගන්නා රෝග සුවපත් කිරීම සිදුවේ. චිත්‍ර ඇඳීම රෝග සුවපත් කිරීමේ මාධ්‍යක් ලෙස භාවිත කරන්නේ මේ විද්‍යාත්මක පදනම මත පිහිටා ය.

වර්ණ ප්‍රතිකාර විද්‍යාව ඍජුවම චිත්‍ර කලාව හා සම්බන්ධ වන අතර චිත්‍ර නිර්මාණය ද රෝග ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි ය. එය හඳුන්වන්නේ මනෝසායනික චිත්‍ර කලාව Art therapy නමිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.