ජපානයේ ක්යොගෙන් නාට්‍ය | සත්මඬල

ජපානයේ ක්යොගෙන් නාට්‍ය

සමහර ක්යොගෙන් නාටක උදෙසා සාහිත්‍ය මූලාශ්‍රය ද යොදාගත් අවස්ථා දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් සුමුනුරි යන ක්යොගෙන් නාට්‍යයේ තේමාව මුරසකි ආර්යාවගේ ‘ගෙන්ජි මොනගතරි’ (යෙංජිනි කතා) නම් ග්‍රන්ථයේ සිදුවීමකින් උපුටාගත්තකි. එසේ ම ජනශ්‍රැතියෙන් ආභාසය ලබා ඇති කියො‍ගෙන් නාට්‍ය සංඛ්‍යාව ද ඉමහත් ය.

ජපානයේ සාම්ප්‍රදායික නාට්‍ය අතර ඉපැරැණි සංවාද නාටක සේ හඳුන්වන්නේ ක්යොගෙන් නාට්‍යයි. ‘නෝ’ නාට්‍ය රැඟුමක ජවනිකා දෙකක් අතර රඟ දැක්වෙන හාස්‍යොත්පාදක කෙටි නාට්‍ය විශේෂයක් වන එය ‘අතුරු රැඟුමක්’සේ සලකනු ලැබේ.

‘නෝ’ නාට්‍ය උදෙසා අතිශයෙන්ම ගාම්භීර තේමා පාදක වී ඇති නමුත් ක්යොගෙන් උදෙසා බහුලව පාදක වී ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතයෙන් උපුටා ගත් සිද්ධි ය. ‘කලහකාරී ස්ත්‍රිය’ , ‘බේබද්දා’, ‘මෝඩ රදළ ස්වාමියා’, ‘කාපට සේවකයා’ මෙන්ම ‘මාමා - බෑණා’,’සැමියා - බිරිඳ’, ‘ස්වාමියා - සේවකයා’, ‘නැන්දා - බෑණා’ වැනි චරිත අතර ඇති වන ගැටුම් ඉතා සූක්ෂමාකාරයෙන් හාස්‍ය උත්පාදනය උදෙසා උපයුක්ත කරගෙන තිබේ. එසේ වුව ද සමහර ක්යොගෙන් නාටක උදෙසා සාහිත්‍ය මූලාශ්‍රය ද යොදා ගත් අවස්ථා දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් සුමුනුරි යන ක්යොගෙන් නාට්‍යයේ තේමාව මුරසක් ආර්යාවගේ ‘ගෙන්ජි මොනගාරි’ (යෙංජිනි කතා) නම් ග්‍රන්ථයේ සිදු වීමකින් උපුටා ගත්තකි. එසේ ම ජන ශ්‍රැතියෙන් අභ්‍යාස ලබා ඇති කියො‍ගෙන් නාට්‍ය සංඛ්‍යාව ද ඉමහත් ය.

දෙව් රජ

චරිත : සිතේ/චකි / ගැමියෝ

සිතේ : මං මේ පැත්තේ ජීවත් වෙන කෙනෙක්. ළඟදී ඉඳන් මගේ දෛවය ආපස්සට කැරකිලා. දැන්නම් මේ පළාතේ ජීවත් වීම හරිම අමාරුයි. වාසනාවක් පැදෙයි ද කියලා ඈත රටකට ගිහිල්ලවත් බලන්ට ඕන. කොහොම වුණත්.. යන්ට ඉස්සර වෙලා මගේ හොඳම යාළුවා හමුවුණොත් හොඳයි. මිනිහ සමහර වෙලාවට මට නොගිහින් ඉන්ට උපායක් කියන්ටත් බැරි නැහැ. මම ඉක්මනින්ම යන්ට ඕන. මිනිහා ගෙදර ඉන්නවා කියලයි මම හිතන්නෙ. වැඩ රාජකාරි බහුල කෙනෙක් හන්ද මිනිහ හමුනොවෙන්නත් බැරි නැහැ. ආ... මේ තියෙන්නෙ එයාගේ ගේ.

සමාවන්න අහනවට ... ගෙදර කවුරුවත් ඉන්නව ද?

වකී : කව්දෝ ගේට්ටුව ළඟ ඉන්නව වගේ... කවුද ඔය?

සිතේ : මේ.... මම

වකී : ඖ....මේ ඔබ නේද... ඔබව දකින්නටත් සන්තෝෂයි

සිතේ : හුඟ කාලෙකට හම්බවුණෙත් නැහැනේ.. කොහොමද වාසදේස. සැප සනීප එහෙම?

වකී :ඇහැව්වට බොහෝම ස්තුතියි. අපි ඔක්කොම හොඳින් ඉන්නවා. ඒත්... ඔබ ඈත ගමනක් යන ගමන් වගේ. කොහේ යන ගමන් ද මේ?

සිතේ : ඒ ගැන කියන්ට තමයි මං මේ තකහනියේම ආවේ. ළඟකදී ඉඳන් මගේ දෛවය හරි නෑ යාළුවා. මට මේ නගරය තිත්ත වෙලා දැන්. ඈත රටකට යන්ට තීරණය කළා. ඔබට කියන්නෙ නැතුව යන එක හරි නෑනෙ කියල හිතලා කියලා යන්ටයි මං ආවේ.

වකී : එහෙම අහන එකක් හිතට දුකක් යාළුවා. ඈත රටකට යනවට වඩා මෙහේ ඉඳන් වාසනාව පෑදෙන මොනව හරි මාර්ගයක් ගැන හිතන්ට බැරි ද?

සිතේ : මං හිතන්නෙ නෑ හැකි හැම මාර්ගයක්ම මට දොරවල් වැහිලා. කොහොමත් මට තවත් මෙහේ නම් ඉන්ට බෑ..

වකී : ඈත පළාතක ඔබට අතදෙන්ට කවුරුවත් ඉන්නව ද?

සිතේ : අවාසනාවක මහත! එහෙම කවුරුවත් නැහැ බලාපොරොත්තු බිඳුණම වෙන මොනව කරන්ට ද?

වකී : තමුසෙ හරිම නොසැලකිලිමත් මිනිහෙක් නෙ. නුපුරුදු රටකට ගිහිල්ල යාළු මිත්‍රයො නැතිව මොනව කරන්ට ද හිතන්නෙ.

සිතේ : ඒක නම් ඇත්තයි.

වකී : තමුසෙට එහෙම කරන්ට දෙන්ට බෑ. ඇත්තෙන්ම මට උඹට පිහිට වෙන්ට හිතෙනව.

සිතේ : කරුණාකරල මට පිහිට වෙන්ට

වකී : මට කදිම අදහසක් ආවා. ඔබට හොඳට නිරූපණය කරන්ට, වෙස් මවන්ට පුළුවන් ද?

සිතේ: කවුරු හැටියට ද?

වකී : ‘නිවෝ’ දෙව් රජු ගැනයි මම හිතුවෙ.

සිතේ: පන්සලේ ගේට්ටුව ළඟ තියෙන ‘නිවෝ’ දේව රූප ගැන ද ඔය කියන්ට යන්නේ

වකී: සත්තකින්ම ඒක තමයි

සිතේ: වාසනාවකට මම පන්සලට අල්ලපු ඉඩමෙ ජීවත්වන හන්ද ඔය පිළිමෙ හොඳට මතකයි. ඒක හරිම ලේසි වැඩක්.

වකී : කදිමයි. කදිමයි. කදිම උපාය මේක. මම ඔබව ‘නිවෝ’ රූපෙ වගේ අන්දවල ගම හැමතැනම කිය කියා ඇවිදින්නන් පුදුමාකාර ‘නිවෝ’ ප්‍රතිමාවක් ‘උයිනෝ’ උදානෙ පහළවෙලා කියල. මට විශ්වාසයි. මිනිස්සු ඒවි පුද සත්කාර කරන්ට.

සිතේ : මටත් හිතෙනව එහෙම . ඒක නම් හරියාවි.

වකී : ඔබට හම්බ වෙන පුද පඬුවරුවලින් බැරියැ ආයෙත් අලුත් යමක් පටන් ගන්ට. මොක ද කියන්නෙ මේ ගැන.

සිතේ : පංකාදු අදහස යාළුවා. පංකාදුයි.. මගේ ගැති බව ඔබට කොහොම කියන්ට ද. කරුණාකරල ඒ උපාය කරමු.

වකී : මෙහාට එන්න. මෙහෙන්... මෙහෙන්.. මම උඹව ‘නිවෝ’ රූපෙ වගේ අන්දවන්නම්.

සිතේ : හරි අගෙයි.

වකී : ඉස් ඉස්සරලාම මේ හිස්වැස්ම දා ගන්ට

සිතේ: හොඳමයි

වකී : උරිස්වලට මේ පොරෝනාව

සිතේ : හොඳයි.. හරියටම ඒ වගේ පේනවා ද?

වකී : ඔක්කෝම නූලට හරි. දැන් අපි යමු ‘උයිනෝ’ උද්‍යානයට. මෙහෙන් එනට. මෙහෙන් එන්ට.

සිතේ : ඔබේ කරුණාවන්තකම - මම දහස්වාරයක් ණය ගැතියි යාළුවා.

වකී: හරියට වැඩේ කරන්ට ඕන හරි ද, හෙලවෙන්නෙ නැතුව. අහුවුණොත් එහෙම කපෝතියි. ආයෙ කියන්ට ඕනෑ නෑනේ.

සිත් : කිරිගහට ඇන්න වගේ කරන්නම්. කිසිදේකට බය වෙන්ට එපා.

වකී : ආ... මේ ‘උයිනෝ’ උදානෙ නේද? දන්නෙම නැතිව අපි ආව. කොතැන හොද කියල ද ඔබ හිතන්නෙ.

සිතේ: මම හිතන හොඳම තැන කොතැන ද?

වකී : මෙතන නම් පංකාදුයි. එන්ට. එන්ට.

සිතේ : හරිම මරු.හොඳ නැත.

වකී : කදිමයි කදිමයි, අනර්ඝයි. පංකාදු පහයි. නියම ‘නිවෝ’ රූපෙ වාගෙමයි. ඇරපු අතක් නැහැ. මම ගොහින් ගම පුරා කියන්නම් ආරංචිය. මිනිස්සු ඒවි පුද සත්කාර කරන්ට.

සිතේ : හරි.. හරි ඉක්මන් කරල යන්ට. මං ලෑස්තියි.

වකී : ගැමියනේ මේ අහපල්ලා. මේ අහපල්ලා. ‘උයිනෝ උද්‍යානයේ උපුමාකාර ‘නිවෝ’ රූපයක් මැවිල. වරෙල්ලා - වරෙල්ලා. වැඳ පුදා ගනිල්ලා. පුද සත්කාර කරපල්ලා.

:උඹලා ඔක්කොම ඉන්නවද?

ගැමියෙක් : ඔව් ඔව් අපි ඔක්කෝම ඉන්නවා.

සිතේ : උඹලට ඇහුනද? මේ උයනේ පුදුමාකාර නිවෝ ප්‍රතිමාවක් පහළ වෙලා තියෙන වග.

ගැමියෝ : ඔව් ඔව් අපිට ඇහුනෝ

ගැමියෙක් : එහෙනම් අපි යමු එහේ වැඳ පුදා ගන්ට

අනික් ගැමියෝ: ඔව් ඔව් අපි යමු - අපි යමු

I . ගැමියා : මෙහෙන් වරෙල්ලා. මේ මේ පැත්තෙන්

ගැමියෝ : මේ අපි එනවෝ

ii ගැමියා : මේ දවස්වල නිවෝ ප්‍රතිමාවක් පහළ වෙන එක හරි පුදුමයක්. මහා ප්‍රාතිහාරයක්.

ගැමියෝ : ඒක නම් ඇත්තමයි. ඇත්තමයි. පුදුමාකාර දෙයක්

සිතේ : මෙලහකටත් මිනිස්සු එනවා ඇති. ඔව්. ඔව්. මං හිතුවා හරියට හරි. අර එන්නේ සෙනඟ. මං ඉක්මනට සූදානම් වෙන්ට ඕන.

ගැමියෝ : ඕං අපි උයනෙ ඉන්නෙ. කෝ කොහොද පිළිමෙ?

:ඇත්තටම කෝ කො‍හොම ද ‘නිවෝ’ කොතන ද?

සිතේ : ආ... අතන අතර.. අර වැඩ ඉන්නෙ.....අර තියෙන්නෙ.

ගැමියෝ: සත්තයි. ඒක වෙන්ට ඇති. ඔව්. ඒක තමා. ඉතිං අපි පුද සත්කාර කරමු. ඉස් ඉස්සරලා මල් පූජා කරමු. එහෙම හොඳා නේ.

ගැමියෝ : කදිමයි. ඔව් ඔව් අපි මල් පුදමු.

:අපි පඬුරු ටිකකුත් පුදමුද?

ගැමියෝ : නැතුව. හැමෝම පඬුරු දාන්ට. කදිමයි . කදිමයි.

I ගැමියා : අනේ දෙවියනේ සියලු ලෙඩ රෝග අතුරු අන්තරාවලින් මාව රැක දෙත්වා

II ගැමියා : කරුණා වදාරා මට වස්තුව හා නීරෝගි බව ලැබෙත්වා

III ගැමියා : මගේ පවුලට සාමය සතුට දීර්ඝායුෂ ලබා දෙත්වා

IV ගැමියා : මම මේ අගනා කඩුව ඔබ වහන්සේට පුදනවා. මට කාය බලය දෙවා වදාරන සේක්වා.

I ගැමියා : මම මේ රන් රිදී සියල්ලම ඔබ වහන්සේට පුද කර සිටිනවා.

ගැමි‍යෝ : මේ නම් පුදුමාකාර ‘නිවෝ’ පිළිමයක්

:පුදුමාකාර තේජවන්ත පිළිමයක්. ඔව් පුදුමයි. පුදුමයි

ගැමියෝ: දැන් අපි යමු ද? ගෙවල්වල උදවිය බලාගෙනත් ඇති.

ගැමියෙක් : මම මේ ආරංචිය රට පුරා කියනවා. එතකොට තවත් අයට බලාගත හැකි.

පුද පඬුරු දෙත හැකි. පිහිට ලබාගත හැකි.

ගැමියෝ : අපිත් එහෙම කරනවා.

ගැමියෙක් : ගැමියො නේ ඉතිං අපි යමු

ගැමියෝ : යමු යමු අපිත් එනවෝ

සිතේ : හග් හග් හග් හා.. හරිම පුදුමයිනෙ. සන්තෝසෙන් මුළු සරීරෙම නළියනව වගේ. කොච්චර වස්තු සම්භාරයක් ද ගෙදර ගිහිල්ලම මේව බලන්නට ඕනෑ.

කෝ මගේ යාළුවා ඔබ ඔහේ ඉන්නවද?

වකී : මං මේ.... මෙහේ ඉන්වා. හෙමාකද වුණේ. තවත් මිනිස්සු ඉන්නව ද?

සිතේ : පුදුම සෙනඟක්නෙ ආවෙ. සල්ලි විතරක් නෙවේ. වස්තු බෝග රිදී රත්තරන් පොදි පිටින් දුන්නා. මේ.. මේ බලන්න.

වකී : හරිම වාසි පාටයි. ඕකනෙ මම කීවෙ. දැන් පුළුවන් ‍නේද? අලුතින් වෙළෙඳමක් පටන් ගන්ට.

සිතේ : සත්තකින්ම. ඔව් පුළුවන් යාළුවා. ඒත් මට හිතෙනව ආයිත් මේ සෙල්ලම කරල බලන්ට. මොකද කියන්නෙ. වැඩේ හරියයි ද?

 

වකී : එපා. එපා. මේ ඇති උඹට මේව මදෑ.

සිතේ: කරුණාකර මට ඉඩ දෙන්ට. ආයෙත් පාරක් . මම අහු නොවෙන්ට වග බලා ගන්නම්.

වකී : බෑ බෑ මේ සෙල්ලම හරිම භයානකයි. අහුවුණොත් කපෝතියි.

සිතේ : ඒක පාරයිනෙ. ආයෙත් කරල බලමු. කරුණාකරල මට ඉඩ දෙන්ට.

වකී : හා.......... හොඳයි. උඹ කැමැති නම් මට මොකේ.

සිතේ : ඔබට අනේක වාරයක් ස්තුතියි

වකී : මේ පාර මම උඹට රාජ සෙංකෝලයකුත් දෙන්නම්.

සිතේ : මම ඔබට සදා ණය ගැතියි.

වකී : අහුවෙන්ට විතරක් එපා. හොඳ ද

සිතේ : මම පොරොන්දු වෙනව. ඔක්කොම මම බලාගන්නම්.

වකී : එහෙනම් අපි ඉක්මන් කරමු.

සිතේ : හරියට හරි. අපි යං මේ උදවුවට මම ඔබට මුළු හෘදයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මගේ වාසනාව ඔබේ කරුණාබර හදවත හන්දයි. අපි ආයිමත් ‘උයිනෝ’ උද්‍යානයේ. මේ පාර මම වෙන විදියකට ඉන්ට ඕන. කවුරුවත් එන්නෙ නැතුව ද? නෑ නෑ. මට පේනවා ඈත මිනිස්සු කට්ටියක් එන්නෙ මේ පැත්තට ... තමා

එක් ගැමියෙක් : හැමෝම ආව ද?

ගැමියෝ : අපි ඔක්කෝම මෙහේ

ගැමියෙක් : ‘උයිනෝ’ උද්‍යාන නිවෝ පිළිමයක් පහළවෙලා. මම යනවා පුද සත්කාර කරන්ට. මොකද කියන්නෙ උඹලත් එනව ද?

ගැමියෝ : කදිම අදහසක්. මමත් එනවා.

ගැමියෝ : එහෙනම් අපි යමු. සියල්ලෝම එත්වා.

: අපිත් එනවෝ. අපිත් එනවෝ.

I ගැමියා : ‘නිවෝ’ පිළිමය පුදුමාකාරයි. අද්භූතජනකයි. විස්මයානුකූලයි.

ගැමියෝ : ඒක නම් ඇත්තයි. හරිම අද්භූතජනකයි

අපි ඔක්කොම උද්‍යානේ දැන්.

ගැමියෝ: අපිත් එහෙමයි.

ගැමියෙක් : මේං මෙතන බලාපල්ලා. මේ ප්‍රතිමාව

ගැමියෝ : අපි කාසි පුදමු ද?

ගැමියෝ : හොඳමයි කාසි පුදමු.

ගැමියෙක් : දැන් අපි වන්දනා කරමු

ගැමියෝ : ඔව් ඔව් ඔව් වන්දනා කරමු. වන්දනා කරමු.

ගැමියෙක් : මට වාසනාව හා ශක්තිය ලබා දෙත්වා

ගැමියෙක් : මගේ දූ දරුවන් හා දරු මුනුපුරන් සෞභාග්‍යමත් වෙත්වා

ගැමියෙක් : මේක නම් උදාර පිළිමයක්

ගැමියෝ : ඇත්තෙන්ම උදාරයි. ජීවමාන බෝසත් කෙනෙක් වගේ

ගැමියෝ : සත්තකින්ම ඔව්

එක් ගැමියෙක්වටයක් ගොස් බලා

ඉක්මන් කරපල්ලා යකුනේ.. මෙහාට වරෙල්ලා. මෙහාට (අනිත් අය කැඳවමින්)

ගැමියෝ :

ඇයි ඇයි මොක ද මොක ද

ගැමියා : බලපල්ලා බලපල්ලා ළඟට ඇවිල්ලා. මේක ඇස් ගුලි ‍හෙලවෙන හැටි උඹල දැක්කද?

ගැමියෝ : ඇත්ත තමයි. ඇස් ගුලි විතරක් නෙමෙයි ඔලුවත් හෙලවෙනව.

ගැමියා : හරිම පුදුමයක් නෙ මේක. මට නං තේරෙන්නෙ නැහැ. මිනිසුන්ගේ භක්තියෙන් අයුතු ලාභ ලබාගන්නා වංචාකාර නපුරු පූජකයෝ ගැන මම අහලා තියෙනවා. මේක ඇත්ත නීවෝ පිළිමයක් ද බලන්න මම කිති කවන්ට ද? මොකද කියන්නේ?

ගැමියෝ : පංකාදු අදහස

ගැමියා : එහෙනම් ළඟට එනවා

ගැමියෝ : මේ ආවා

මේක මහ පුදුම පිළිමයක්නෙ

ගැමියෝ : ඇත්තෙන්ම ඔව්

ගැමියෝ : ඔලුව හෙලවෙනවා වාගේ නේද

ගැමිාය : එච්චරක් විතරක් නං මදැයි. ඇස් නලියනව

ගැමියෝ : පණ ඇති මිනිහෙක් වගෙයි

ගැමියෝ : ඔව් ඔව් පණ තියෙන මිනිහෙක් තමා

ගැමියෝ : කිති කවමු ! කිති කවමු! (කිති කවති)

සිතේ : ඌ _- ඌ අනේ! මේ මේ.. මට සමාවෙයල්ලා. මට සමාව....

ගැමියෝ : හොරා දඩබ්බර පූජකයා - බොරු කාරයා - නපුරු කට්ටඩියා

සිතේ : සමාවෙන්න මට අනේ සමාව... අනේ. මගේ ජීවිතේ පණ නල. අනේ දෙවියනේ! මිනිස්සු රවටන එක කොච්චර නරක වැඩක්ද? මිනිස්සු රවටන එකේ වැරැද්ද මට දැනුයි තේරුනේ. අනේ මාව බේරා ගන්න. බේරා ගන්න

ගැමියෝ : බොරු කාරයා - පාහරයා - යන්ට දෙන්ට එපා. ඕකව අල්ලපියෝ ඕකව අල්ලපියෝ // (ගැමියෝ ඔහු පසුපස දිව යති)

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.