විද්‍යා ප්‍රබන්ධකයෝ අනාගත සිහින දකින ඔල්මාදකාරයෝ ද? | සත්මඬල

විද්‍යා ප්‍රබන්ධකයෝ අනාගත සිහින දකින ඔල්මාදකාරයෝ ද?

මේ වන විට බොහොමයක් විද්‍යා ප්‍රබන්ධවලට තේමා වී ඇතැයි පෙනෙන පිටසක්වළට යන චාරිකා පිළිබඳ කතාන්තරයක් සිරියානු - ග්‍රීක රචකයකු වන ලූෂන් විසින් 2 වැනි ශත වර්ෂ‍යේදි Satire True History, නමින් රචනා කර තිබේ.

ඒ සමඟම පිටසක්වළ ජීවීන් සමඟ කතාබහක් ද මේ කෘතියෙන් කියැවෙයි.

විද්‍යා ප්‍රබන්ධ සෙසු සාහිත්‍යාංගවලට වඩා වෙනස් මුහුණුවරක් ගනී. එයට එක් කාරණාවක් වන්නේ එය හුදු ප්‍රබන්ධයකට වඩා අනාගතයේ සැබෑ විය හැකි සත්‍යයක් වන බැවිනි. විද්‍යා ප්‍රබන්ධකයන් අනාගත සිහින දකින්නන් මෙන් ම විකාරකාරයන් ඔල්මාදකාරයන් සේ ඇතැමකුට පෙනුණත් එය එසේ නොවන්නේ ඔවුන් මීට බොහෝ කලකට පෙර දුටු ඇතැම් දේ අද වන විට යථාර්ථයක් බවට පත්ව ඇති හෙයිනි.

ඔර්සන් වෙල්ස් නම් විද්‍යා ප්‍රබන්ධකයාගේ ගේ The Mercury Theatre on the Air කතාව එක්තරා කාලයකදී The War of the Worlds නමින් ගුවන්විදුලි නාට්‍යයක් ලෙස විකාශය වූ සමයේදී එය ශ්‍රාවක ග්‍රහණයට කෙතරම් ලක්වී ද යත් එය සංත්‍රාසජනක සැබෑ කතාවක් ලෙස ඇතැම්හු සැලකූහ.

දෙවැනි ලෝක යුද්ධය අතරතුරදී අමෙරිකා යුද හමුදා සැලැසුම්කරුවන් ඔවුන්ගේ නවතම උපක්‍රම සඳහා යොදා ගැනීමට විද්‍යා ප්‍රබන්ධ පවා අධ්‍යයනය කළ බැව් හෙළි වී ඇත. බ්‍රිතාන්‍යය හමුදාවෝ ද මෙසේ විද්‍යා ප්‍රබන්ධ අධ්‍යයනය කළ බවට තොරතුරු අනාවරණය වී තිබිණි. එසේ ම ඔවුන් ඇතැම් ලේඛකයන්ගෙන් තොරතුරු පවා ලබා ගත් බවට තොරතුරු හෙළි විය. ඒ මොනවා වුණත් ජර්මනිය V1 සහ V2 නමැති බෝම්බ දෙක නිර්මාණය කළේ ද විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරෙන් බව කියැවෙයි. රොබෝවන් පිළිබඳ සංකල්පය ද මුලින්ම විද්‍යා ප්‍රබන්ධකයකුගේ අදහසක් බව කියැවෙයි. ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධයකයකු වන ශ්‍රී ලාංකිකයන්ට ද හුරු පුරුදු ආතර්.සී ක්ලාක්ගේ චන්ද්‍රිකා තාක්ෂණ සන්නිවේදන ක්‍රමය අද වන විට හුදෙක් ප්‍රබන්ධයකට පමණක් සීමාවී නැති අතර විශ්ව සාහිත්‍යයේ නම් දැරූ අයිසෙක් ඇසිමෙඩ් පෙන්වා දෙන අන්දමට 1945 වසරේ ජපානයේ හිරෝෂිමාවට පරමාණුක බෝම්බය හෙළීමට ද විද්‍යා ප්‍රබන්ධකයෝ වග කිව යුත්තෝ වෙති.

 

මේ අනුව බලන විට විද්‍යා ප්‍රබන්ධයක් සුළුවෙන් සැලකිය හැකි සාහිත්‍යාංගයක් නොවන බව පැහැදිලි ය.

විද්‍යා ප්‍රබන්ධයක් කියන්නේ කුමක්දැයි යන්න හරි හමන් අර්ථකථනයක් දීමට අද වන විට ද සාහිත්‍ය වශයෙන් අසීරු වී තිබේ. අද වන විටත් එය සංකීර්ණ කාරණාවක් වී ඇත්තේ මේ සම්බන්ධයෙන් මති මතාන්තර රැසක් ද පවතින හෙයිනි. අනෙක් අතට මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවකට ද ඒමට නොහැකි වී ඇත්තේ මෙහි ආරම්භය පිළිබඳ ඇති විවාදාත්මක තත්ත්වය ද හේතු කරගනිමිනි. විද්‍යා ප්‍රබන්ධයෙය් ඉතිහාසය සම්බන්ධයෙන් විශාල මත දෙකක් ඇති බව පෙනී යයි.

ඉන් එකක් නම් සුමේරියානු යුගය දක්වා දික් වන බවයි. එය ක්‍රිස්තු පූර්ව 2159 – 2000 දක්වා වන බවයි. දෙවැන්න 17 වැනි හෝ 19 වැනි හෝ සියවස් අතර කාලයේදී සිදු වූ බවයි. ඒ විද්‍යාවේ විප්ලවීය යුගයේදී ය. එනම් තාරකා විද්‍යාව භෞතික විද්‍යා සහ ගීතයේ විශාල පෙරළිකාර සමයේ ය.

මේ කාරණා මොනවා වුණත් විද්‍යා ප්‍රබන්ධය නම් සාහිත්‍යාංගය වඩාත් දියුණු වූයෙත් නැඟ ගෙන ආවේත් 20 වැනි සියවසේදී ය. ඒ තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසාගේ එදිනෙදා ජීවිතයේ වෙනස්කම් රැසක් සිදු වීම නිසා ය. මේ සමඟම තාක්ෂණයත්, සමාජ‍යත් බැඳීම් වැඩි‍වෙත්ම සාහිත්‍යය සමඟ ද කිසියම් බැදියාවක් ද ඇති වන බවක් පෙනෙන්න විය.

විද්‍යා ප්‍රබන්ධයේ ඉතිහාසය සම්බන්ධයෙන් රොබට් ස්කෝලෙෂ් Robert Scholes සඳහන් කරන්නේ මිනිසාගේ කාලය සහ අවකාශය යන කාරණාවල ආකල්පය වෙනස් වූ විට ඔවුන් දැන් කල්පනා කරන්නේ විශ්වය සහ විශ්වයේ මිනිසාට හිමි වන තැන ගැන ය. එහෙත් 21 වැනි දශකය වන විට මේ තත්ත්වය ද වෙනස් වී ඇත. ඒ වගේම විශ්ව සංස්කෘතිය ද වෙනස් වී තිබෙයි.

පුරාතන වීර කතාන්තර සහ කවි බොහොමයක වත්මන් මේ විද්‍යා ප්‍රබන්ධවල ලක්ෂණ දැකිය හැකි බව මේ පර්යේෂකයෝ සොයා ඇත. විශේෂයෙන් ම සඳ ගමන් සහ සංකල්පිත තාක්ෂණික සමඟ තාක්ෂණ මෙවලම් භාවිතය පුරාතන වීර කතාවල බහුල වශයෙන් දැකිය හැකි ය. එසේ වුවත් ඕවිඩ්ස් නම් ලේඛකයා විසින් ක්‍රිස්තු වර්ෂ 8දී රචිත Metamorphoses කතාවේත් පුරාතන ඉංග්‍රීසි වීර කාව්‍යයක් වන 8 වැනි සහ 11 වැනි ශත වර්ෂ අතරදී ලියැවුණ බියෝවුල් Beowulf හි සහ මධ්‍ය කාලීන ජර්මන් වීර කාව්‍යයක් වන Nibelungenlied හිත් විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධවලට වඩා කල්පිත දක්නට ලැබෙයි. මෙය රචනා කරනු ලැබ ඇත්තේ 1230 වසරේදී බව හෙළිදරව් වී තිබේ.

පුරාතන මෙසපොටේනියානු යුගයේදී රචිත Epic of Gilgamesh නම් ප්‍රබන්ධය විද්‍යා ප්‍රබන්ධයේ පුරෝගාමි කතාව ලසින් සැලකෙයි. අමෙරිකානු ලේඛක ලෙස්ටර් ඩෙල් රේ Lester del Rey ද සඳහන් කරන්නේ මේ කතාව විද්‍යා ප්‍රබන්ධයේ මූලාරම්භය බවයි. ප්‍රංස ලේඛක පියරේ වර්සින්ස් Pierre Versins කියා සිටින්නේ ද මිනිසා අමරණීයත්වය සොයා යෑම සම්බන්ධයෙන් වැදගත් කාරණා රැසක් හෙළි කරන මේ ග්‍රන්ථය විදයා ප්‍රබන්ධ කලාවේ සමාරම්භය බව ය. තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ අනාගතයේ සිදු වන ජල ගැලීම් ගැන අනාවැකි කියන විද්‍යා ප්‍රබන්ධයක් ලෙසිනි. එක් අතකින් මෙය විද්‍යාවේත් තාක්ෂණයේත් එතරම් දියුණුවක් නොවූ ඒ යුගයේදී මෙය ලොකු කර්තව්‍යයකි. මේ කතාව ඒ යුගයේ දී කල්පිතයක් වන්නකි.

පුරාණ ඉන්දියානු කාව්‍ය සංග්‍රහවල ද මෙවැනි විද්‍යාත්මක කල්පිත දක්නට ලැබේ. විශේෂයෙන් 4 වැනි සහ 5 වැනි සියවසේදී ලියැවුණු රාමායණයේ ද මෙවැනි කතා ඇත. විමන නම් ගුවනින් යා හැකි යන්ත්‍රය ද මෙවැනි විස්මකර්ම දෙයකි. මේ යන්ත්‍රය ගුවනින් මෙන් ම වතුර යටින් ද ගමන් කළ හැකි අතර එහි වූ දියුණු අවිවලින් නගරයක් වුව මුළුමනින්ම වනසා දැමිය හැකි ය. සංස්කෘතික ස්ත්‍රෝත්‍ර ඇතුළත් රිග්වේද Rigveda යේ ද යාන්ත්‍රික කුරුල්ලකු ගැන විස්තර කෙරෙයි. ඒ අනුව මේ කුරුල්ලා ගින්දරත් වතුරත් උපයෝගි කරගෙන ඉතා වේගයෙන් ආකාශයට ගොඩවදී. කුලුනු දොළහක් එක් රෝදයක් සහ යන්ත්‍ර තුනක් සහිත මෙය ඇණ තුන් සියයකින් සහ තවත් මෙවලම් හැටකින් සමන්විත වෙයි. ඒ වගේම තවත් ඉන්දියානු හින්දු ජන ප්‍රවාදයක් වන 8 වැනි සහ 9 වැනි සියවස අතර කාලයේ රචිත මහා භාරතයේ Mahabharata ඇතුළත් වන කකුද්මි රජ පිළිබඳ කතාවේ ද ඔහු මැවුම්කාර බ්‍රහ්මයා හමුවීමට දෙව්ලොවට ගොස් ආපසු එද්දී බොහෝ වයස් පසු කරගෙන ආපසු ආ බවක් කියැවෙන්නේ වත්මන් කාලාවතරය පිළිබඳ කිසියම් ඉගියක් සපයමිනි.

‘රාමායණය’, ‘මහා භාරතය’ මෙන් ම ශ්‍රී ලාංකිකයනට බොහෝ සමීප උම්මග්ග ජාතකයේ පවා යමක් එබූ සැණින් සියලු දොරවල් වැසී යන උමං ගැන ද සඳහන් ය. මේවා ද විද්‍යා ප්‍රබන්ධ ගොන්නට අයත් නොවේ යැයි කිසිවකුට හෝ තර්ක කළ හැකි ද?

පුරාණ ග්‍රීක නාට්‍ය රචකයකු වූ ඇරිස්ටොපානීස් ඔහුගේ නිර්මාණ කීපයකට වාගේ කල්පිත යාත්‍රා රැසක්ම ඇතුළත් කර තිබුණු අතර ඉන් එකක වෙනත් ලෝකයකට ගුවනින් ගමන් කිරීම ද ඇතුළත් කර තිබිණි. මේවා අතර ක්‍රිස්තු පූර්ව 423දී රචිත ද ක්ලවුඩ්ස් ‘The Clouds’ ක්‍රිස්තු පූර්ව 414දී රචිත ‘ද බර්ඩ්ස්’ සහ ‘ද පීස්’ නම් නාට්‍යය වෙයි. බ්‍රිතාන්‍ය ලේඛකයකු මෙන් ම විචාරකයකු ද වන ඇඩම් රොබට්ස් පෙන්වා දෙන අන්දමට බයිබලය ද විද්‍යා ප්‍රබන්ධයක ලක්ෂණ පෙන්නුම් කරයි. මෙය වඩාත් මත භේදයට තුඩු දෙන කාරණාවක් වුව ද ඔහු පෙන්වා දෙන්නේ එහි සඳහන් ඇතැම් දේ මිත්‍යාව ද සමඟ ගොස් අපට හුරුපුරුදු සමාජයෙන් දුරස් වන බවයි.

මේ වන විට බොහොමයක් විද්‍යා ප්‍රබන්ධවලට තේමා වී ඇතැයි පෙනෙන පිටසක්වළට යන චාරිකා පිළිබඳ කතාන්තරයක් සිරියානු - ග්‍රීක රචකයකු වන ලූෂන් විසින් 2 වැනි ශත වර්ෂ‍යේදි Satire True History, නමින් රචනා කර තිබේ. ඒ සමඟම පිටසක්වළ ජීවීන් සමඟ කතාබහක් ද මේ කෘතියෙන් කියැවෙයි.

ග්‍රහ ලෝක අතර යුද්ධ අධිරාජ්‍යයන් විශාලත්වය මෙන් ම මිනිස් තාක්ෂණය බොහොමයක් කතාවලට පාදක වී ඇති අයුරක් පෙනී යයි.

එය කෙසේ වෙතත් උර්ෂිමා තාරෝ නම් ධීවරයාගේ චරිතය ඇතුළත් Nihongi(720) කතාවෙන් කියැවෙන්නේ බොහෝ දුරට ගිය අනාගතයක් ගැන ය. උර්ෂිමා තාරෝ තරුණ ධීවරයකු වන අතර ඔහු එක්තරා දිනයක මුහුද යට එක්තරා ස්ථානයකට ගොස් දින තුනක් ගත කරයි. ඉන් පසු ඔහු ආපසු ගෙදර එද්දී අවුරුදු තුන් සියයක කාලයක් ගෙවී ගොස් තිබිණි. ඒ අතරතුර ඔහුට බොහෝ දේවල් අමතකව ගොස් තිබුණ අතර ඔහුගේ නිවෙස එහෙම පිටින්ම විනාශ වී තිබිණි. පවුලේ කිසිම සාමාජිකයෙක් ද ජීවතුන් අතර නොවූහ. දස වැනි සියවසේ ජපන් වෘත්තාන්තයක් වූ The Tale of the Bamboo Cutter කතාව ද ප්‍රමුඛ විද්‍යා ප්‍රබන්ධයක් ලෙසින් සැලකෙයි. මෙහි ප්‍රධාන චරිතය වන කගුයා හිම් Kaguya - hime සඳෙහි සිටිනා කුමාරිකාවකි. ඇය පෘථිවියට එවන්නේ ස්වර්ගයෙහි යුද්ධයකින් ආරක්ෂාවීම සඳහාය. එසේ පෘථිවියට එවන ඇයට ජපානයේ උණ ගස් කපන්නකු මුණ ගැසෙන අතර පසුව ඇය පියාඹන පීරිසියක් වැනි යන්ත්‍රයකින් ආපසු හඳට යයි.

අරාබියන් නයිට්ස් නැතිනම් 8 වැනි සහ 10 වැනි සියවස් අතර රචිත එක් දහස් එක් රැයක් One Thousand and One Nights කෘතියේ ද කතා කීපයකම විද්‍යා ප්‍රබන්ධවල මූලිකාංග දක්නට ලැබෙයි. උදාහරණයයක් ලෙසින් “The Adventures of Bulukiya” කතාව සැලකූ විට එහි කතානායකයා වන බුලුකියා අමරණීයත්වයේ පැළෑටිය සොයා මුහුදේ ගවේෂණය කරන අවස්ථාවක් සඳහන් වේ. එසේ ම ආදම්ගේ උයන සහජෙහන්නාමම් උයන සොයා යන චාරිකාවක් ගැන ද සඳහන් වෙයි. ඒ තමන්ගේ ලෝකයටත් වඩා විශාල වෙනස් සක්වළක් හරහා ය. මේ වූකලි තාරකා විද්‍යාව සම්බන්ධ විද්‍යා ප්‍රබන්ධයක් වැන්න. මෙහි භූතයන් දිය කිඳුරියන් සර්පයන් මෙන්ම අපූරු ගස්වැල් ද ඇත. ධීවර අබ්දුල්ලා සහ දියකිඳුරු අබ්දුල්ලා කතාවේ කතානායකයාට වතුර යට හුස්ම ගැනීමේ හැකියාව පවතින අතර එය වතුර යට සබ්මැරීන් ජීවිතය හෙළි කරන්නක් බඳුයි. පුරාතන මේ මිනිස් සමූහය ද මුදල සහ ඇඳුම වැනි සංකල්ප බැහැර කර නැති බවක් පෙන්වයි.

එසේ ම එහි එන තවත් කතාවක අහිමි වුණ පුරාතන තාක්ෂණය පෙන්නුම් කරන අතර එහි ශිෂ්ටාචාරය විනාශ වී ගොස් ඇත්තේ ඔවුන් අතින්ම ය. මෙහි එන “The City of Brass” කතාවෙන් කියැවෙන්නේ පුරා විද්‍යාත්මක ග‍වේෂණ කරන සංචාරකයන් කණ්ඩායමක් පිළිබඳ ය. ඒ සහරාවෙන් ඉතා පෞරාණික නගරයක් හමුවීමත් මුස්ලිම් හා අරාබි ප්‍රවාදවලට අනුව එහි සිටින බුද්ධිමත් භූතයකු අල්ලා පිත්තල බඳුනකට දැමීමේ උත්සාහයක් පිළිබඳත් ය. මෙහි දී මමියක් වූ රැජනක සමඟ මිනිස් ස්වරූපය සහිත රොබෝවකු මෙන් ම නූලක් නැතිව චිත්තාකර්ෂණීයව නටන රූකඩයක් පිළිබඳ චරිත හමුවෙයි. එසේ ම පිත්තල රොබෝ අශ්වාරෝහකයකු පුරාණ නගරයේ සාදයකට යන විත්තියක් ද මෙහි ඇතුළත් වෙයි.

“The Ebony Horse” හි කළුවර අශ්වයා හරියටම රොබෝවකගේ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙය පියාඹන අශ්වයකු වන අතර එය යතුරකින් පාලනය කළ හැකිවෙයි. මෙයින් අභ්‍යවකාශයේ සිට හිරු දෙසට යන කතාවක් කියැවෙයි. එහෙත් “Third Qalandar’s Tale” කතාවේ අද්භූත නාවිකයා පෙන්වන්නේ ද රොබෝවකුගේ ලක්ෂණයි. මොනවා වුණත් “The City of Brass” සහ “The Ebony Horse” යන කතාන්තර දෙක පූර්ව විද්‍යා ප්‍රබන්ධ ලෙසින් සැලකෙයි. එසේ වුව ද අරාබි ප්‍රාරම්භක විද්‍යා ප්‍රබන්ධය ලෙස සැලකිය හැක්කේ චිත්තාකර්ශනීය තේජාන්විත නගරයක කතාවකි. මෙහි කතාව පියාඹන කලාලයක් පිළිබඳ ය.

අරාබියේ මහා ප්‍රාඥයකු ලෙස සැලකෙන (Ibn al – Nafis (1213 – 1288) විසින් රචිත දේව ධර්මය පිළිබඳ වූ කෘතියක් වූ Fadil ibn Natiq (1270) ද මුල් යුගයේ විද්‍යා ප්‍රබන්ධ අතරට ගැනෙයි. ස්වයංජාත පරම්පරා, අනාගත අවබෝධ විද්‍යාව, අනාගතය හෙළි කරන තේමා, මරණය සහ උපත පිළිබඳ කල්පිත, පුනරුත්ථාපනය, ඊළඟ උපත යන කාරණා මෙහි දී සාකච්ඡාවට ලක් කෙරුණ අතර මෙය ස්වාභාවය ඉක්මවා මිත්‍යාව පැත්තට යන ලකුණු පෙනෙන්න ඇත. මෙය ව්‍යවච්ඡේද විද්‍යාව, ජීව විද්‍යාව, කායික විද්‍යාව, තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව, භූ විද්‍යාව යන කාරණා සම්බන්ධයෙන් ලේඛකයා සතු දැනුම උපයෝගි කරගෙන රචිත එකකි. ඒ වගේම ජෛව රසායනික විද්‍යාව පිළිබඳ ඇති දැනුම මෙන් ම පෙණහැල්ල පිළිබඳ ඔහු විසින්ම නිර්මාණය කරගත් කරුණු කාරණා ද මෙහි මනා ලෙසින් හෙළි වෙයි. අරාබි‍යේදී රචිත මේ නවකතාව විසි වැනි සියවසේදී Theologus Autodidactus නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය විය.

යුරෝපීය මධ්‍යකාලීන යුගයේදී බොහෝමයක් පුරවෘත්තවල මෙන් ම ප්‍රේම වෘතාන්ත රැසකම විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ දක්නට තිබිණි. රොබෝවන් සහ ස්වයංක්‍රීය රූකඩ ගැන නිර්මාණ වැඩි හරියක් එළිදක්වන්න පටන් ගැනුණේ විසි වැනි සියවස පටන් ගැනීමත් සමඟ ය. මේ අතුරින් Le Pelerinage de Charlemagne සහ Eneas මුල්තැන් ගන්නා අතර 12 වැනි සියවස් රචිත තවත් කතාවක රූකඩයක් හතර දෙනකු ගැන කියැවෙන අතර එයින් කෙනකු අත මැජික් කණ්ණාඩියක් ඇති අතර අනෙකා දක්ෂ කරණම්කාරයෙකි. තවත් අයකු සංගීත භාණ්ඩ වාදනයට සමතෙකි. මේ රූකඩ බොහෝ විට ප්‍රේත විද්‍යාව හා සම්බන්ධව කටයුතු කරන බව පෙනී යයි. ජෙප්රි වවුසර්ගේ “The Squire’s Tale” කතාවේ යකඩ අශ්වයා විදුලි වේගයෙන් යන්නේ කොක්කක ආධාරයෙනි. එහෙත් මේ කතාවේ වීදුරුවක් ආධාරයෙන් ඈත දුර යම් යම් ස්ථාන හඳුනගන්න බවක් ද කියයි. එය හුදෙක් වර්තමානයේ දුරදක්නයක් යැයි අනුමාන කළ හැකි ය. මහා ඇලෙක්සැන්ඩර් සම්බන්ධ කෙරෙමින් ගෙතුණ කතා බොහෝමයක් රාජාලි හිසක් සහ සිංහ කඳක් ඇති මිථ්‍යා සත්ත්වයකු ගැන සඳහනක් දක්නට තිබෙයි.

මධ්‍යකාලීන ප්‍රබන්ධ සඳහා විද්‍යාවේ නව සොයාගැනීම් හොඳාකාරයෙන්ම යොදා ගෙන ඇති බවක් පෙනී යයි. ජෙප්රි වවුසර්ගේ“The House of Fame”, නම් කතාව මෙයට හොඳ උදාහරණයකි. මෙයින් නැගෙන ස්වාභාවික ශබ්ද ඉතා මිහිරි අයුරින් පිටවෙයි.

කෙසේ වෙතත් මූලික වශයෙන් අලුත් ආරක ප්‍රබන්ධ කලාවකට මුල පිරිමක් විශේෂයෙන්ම 16 වැනි සියවසේදී යුරෝපයේදී සිදු විය.

ඒ කොහොම මොනවා වුණත් 1587 වසරේදී The Faust legend රචිත කතාව පිස්සු විද්‍යාඥයකුගේ කතාවක් බඳු විය. එය 1957 වසරේදී Forbidden Planet නමින් චිත්‍රපටයකට ද නැඟිණි.

17 සහ 18 වැනි සියවස විද්‍යා ප්‍රබන්ධ කලාවේ නව නැම්මක් ඇති කළ කාල පරිච්ඡේදයක් විය. මෙය බුද්ධි යුගය හෙවත් විචාර සමය Age of Reason ලෙස නම් කර තිබිණි. මේ කාලයේදී අභ්‍යවකාශ චාරිකා පිළිබඳ ලේඛකයන්ගේ වැඩි අවධානයක් යොමුව තිබුණ අයුරු මැනවින්ම දැක ගත හැකි ය. විශේෂයෙන් ම සඳ ගමන් මේ අතර විය. මෙයින් ජොහැන්නස් කෙප්ලර්ගේ Somnium(The Dream,1634) කෘතිය පෙරමුණ ගනී. ඒ වගේම කාල් සාගන් සහ අයිසෙක් ඇසිමොව්ගේ කලඑළි බැසීම ද වැදගත් වෙයි. ප්‍රැන්සිස් ගොඩ්වින්ගේ The Man in the Moone(1638) මේ කතා ගොන්නේ පළමු ඉංග්‍රීසි කෘතියයි. සයි‍රනෝ ඩී බෙර්ගෙරාක්ගේ Comical History of the States and Empires of the Moon(1656) සහ Voltaire’s Micromegas(1752) වැදගත් වෙයි.

කෙසේ වෙතත් මේ කාලසීමාවේදී පිස්සු විද්‍යාඥයකුගේ තොරතුරු ඇතුළත් ශේක්ෂ්පියර්ගේ The Tempest(1610 -11) කතාව සහ කුලීන කාන්තාවක විකල්ප ලෝකයක් සොයා ගැනීම පිළිබඳ මාග්‍රට් කවෙන්ඩ්ෂ්ගේ The Description of a New World, Called the Blazing – World (1666) වගේම අහිමි වූ ලෝකයක් ගැන කියැවුණ සයිමන් ටයිසෝට්ගේ Voyages et Aventures de Jacques Masse(1710) පොලෝ කුහරයට ගිය ගමනක් කියැවෙන La Vie, Les Aventures et Le Voyage de Groenland du Reverend Pere Cordelier Pierre de Mesange(1720) හි පිට දේසක්කාරයන්ගේ අද්භූත විද්‍යාවක් ගැන ජොනතන් ස්විෆ්ට්ගේ Gulliver’s Tranels(1726) කාලාවතරණය ගැන සැමුවල් මැඩන්ගේ Memoirs of the Twentieth Century (1733) ද එළි දැක්විණි. පොලෝ කුහරය සම්බන්ධයෙන් Giacomo Casanova’s Icosameron(1788), Ludvig Holberg’s Niels Undergrond Traves (1741) අනාගත හෙළි දක්වන Louis - Sebastien Mercier’s L’An 2440 (1771), Nicolas - Edme Restif de la Bretonne’s La Decouverte Australe you par un Homme Volant (1781) යන කතා ද මේ කාල සීමාවේ බිහිවුණු විශිෂ්ට නිර්මාණයෝ ය.

මේ කරුණු කාරණා මොනවා වුණත් විද්‍යා ප්‍රබන්ධ බිහි වීම සඳහා අනන්‍යතාවක් සහිත මූලික අඩිතාලමක් දමා ඇත්තේ ජුලියස් වර්න් සහ එච්.ජී.වල්ස් යන ලේඛකයෝ ය. වර්න්ගේ Journey to the Center of the Earth (1864)” From the Earth to the Moon(1865) සමඟ Twenty Thousand Leagues Under th Sea (1869) යන කතා එක්තරා ආකාරයක විචිත්‍ර වීර චාරිකා වුවත් එහි විශේෂත්වයක් වූයේ තාක්ෂණය සහිත තර්කානුකූල අනාගතය විනිවිද දැකීම ය. ලෝකයේ පළමු පූර්ණ කාලීන විද්‍යා ලේඛකයා ලෙස සැලකෙන්නේ ද ජුලියස් වර්න් ය.

වෙල්ස්ගේ ප්‍රබන්ධ බොහෝමයකම සමාජමය උපදේශාත්මක අයුරක් පෙන්නුම් කරයි. 1895 වසරේදී ඔහු විසින් රචිත The Time Machine(1895) කතාව එයට එක් උදාහරණයකි. කාලය අබිබවා ගමන් කිරීම පිළිබඳ මේ කතාව ඉංග්‍රීසි සමාජයේ බොහෝ විවාදාත්මක එකක් විය. ඩාවින්ගේ පරිණාමය ආශ්‍රයෙන් ඔහු විසින් රචිත එක් කතාවකින් ඔහු තම මාක්ස්වාදි මතය ඉදිරිපත් කළේ ය.

ජුලියස් වර්න් සහ එච්.ජී.වෙල්ස්ගේ ප්‍රබන්ධ මින් පෙර පළ වූ සෑම කතාවකටම වඩා අභියෝගාත්මක විය. කෙටි කතා සහ කෙටි නවකතා වැඩි හරියක්ම 19 වැනි සියවස අග්ගිස්ස වන විට මුද්‍රිත මාධ්‍යයෙන් එළි දැක්වුණ අතර ඒවා බොහෝ විට කල්පිතයේ සිට ඇත්ත බව හැඟී යන සිද්ධි දක්වා පරාසයක විය. සැමුවෙල් බට්ලර් 1872 වසරේදී සිතන්න හැකි සහ කවදා හරි දවසක මානව වර්ගයා යටත් කරගැනීමේ අභියෝගයකට ලක් විය හැකි යන්ත්‍ර සූත්‍ර පිළිබඳ Erewhon නමින් කතාවක් ලියුවේ ය.

වර්න්ලා මෙන් ම ආතර් කොනන්ඩොයිල් ද පූර්ණ කාලීන විද්‍යා ප්‍රබන්ධකයෙකි. විශේෂයෙන්ම ඔහු ඒ සඳහා ප්‍රොෆෙසර් දැලෙන්ජර්ගේ චරිතය කදිමට ගළපා ගත්තේය. රුඩියාඩ් ක්ප්ලින් ද විද්‍යා ප්‍රබන්ධයට උපන් හපනෙකි. අනෙකුත් ලේඛකයන්ග් මතයට අනුව ඔහු නූතන විද්‍යා ප්‍රබන්ධ කලාවේ පුරෝගාමියා ය. බෙංගාලයේ සහ Sukumar Ray සහ Begum Roquia Sakhawat Hussain දෙදෙනා ස්ත්‍රී සමානාත්මවාදි ලේඛකයෝ ය. Sultana’s Dream ඒ අතර කැපී පෙනෙයි. ඒ වගේම මේ වර්ගයේ තවත් කතාවක් වන්නේ චාලට් පර්කින්ස් ගිල්මන්ගේ Herland ය. වෙල්ස් සහ වර්න් යන දෙදෙනාම අන්තර්ජාතික වශයෙන් ද හොඳ පාඨක පිරිසක් දිනා ගත් අතර අමෙරිකාවේ සෙසු රචකයන්ට ද ඔවුහු විශාල බලපෑමක් ඇති කිරීමට සමත් වූහ. මේ නිසා විද්‍යා ප්‍රබන්ධ කලාවේ නව නැම්මක් ඇති කිරීමට මෙන් ම විශාල පිබිඳීමකට ද ඔවුහු මුල පිරූහ. එහෙත් මෙයින් වැඩි වාසියක් ලැබුවෝ යුරෝපීය ලේඛකයෝ ය. ඔවුහු අමෙරිකන් ආරයේ කතා ලිවීමෙන් විශාල පාඨක පිරිසක් එක් රොක් කර ගත්හ.

ඒ කෙසේ වෙතත් 19 වැනි සියවසේ අග වෙද්දී අමෙරිකන් සමාජයේ විද්‍යා ප්‍රබන්ධය නව මගකට ආ බවක් හොඳින්ම පෙනෙන්න තිබෙන්නේ නතානායල් හෝතෝන්, ෆිස්ට්ස් ජේම්ස් ඕබ්‍රියන්, එඩ්ගාර් ඇලන් පෝ වැනි ලේඛකයන් වර්න් සහ වෙල්ස් සේම පුරෝගාමී මෙහෙවරක යෙදුණ හෙයිනි. මේ අය අතින් ලියැවුණු කෙටිකතා මෙන් ම නවකතා ද ගොන්නකි. 1827 වසරේදී ජෝන් ටකර් විසින් රචිත උපහාසාත්මක කතාවක් වූ A Voyage to the Moon පළමු අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ නවකතාව ලෙස සැලකෙයි.

1835 වසරේදී එඩ්ගාර් ඇලන් පෝගේ කෙටිකතාවක් පළ කළේ ය. ඒ The Unparalleled Adventure of One Hans Pfaall යනුවෙනි. මෙහි සඳහන් වන්නේ බැලූනයක නැඟී හඳට යන ගමනක් ගැන විස්තරයකි. කුටීරයක සිට මෙය මෙහෙයවයි.

1813 වසරේදී පෘතුගීසි ලේඛක විලියම් බිල්ඩර්ඩ්ජ්ක් විසින් රචිත නවකතා ද අපූරු ය. එහි විශේෂත්යක් වන්නේ ඔහු අරාබි රටක ලේඛකයකු ද වීම ය. මේ කතාවේ ද මිනිසුන් රැගත් බැලූනයක් මුහුද උඩින් ගමන් කරන ආකාරයක් කියැවෙන අතර එය අවසානයේදී පෘථිවියත්, හඳත් අතර ස්ථානයක නතර වෙයි. මෙය වායූන් යොදාගෙන ගමන් කරන්නකි. ලේඛකයා මෙහි දී හඳ ගමන ගැන පුළුල් තර්ක විතර්ක සහිත සිතිවිලි ධාරාවක නියැළී ඇති බවක් පෙනේ. පෝ මේ සම්බන්ධ කතාවක් ගොඩනඟා ඇත්තේ මීට අවුරුදු විසි ගණනකට පසු ය.

නිව් ඕර්ලෙන්ස්හි රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් ලෙනාඩ් රිඩ්ල් විසින් රචිත Orrin Lindsay’s plan of aerial navigation, with a narrative of his explorations in the higher regions of the atmosphere, and his wonderful voyage round the moon! In 1847 කෙටිකතාවේ ඔරින් ලින්ඩ්සේ නම් සිසුවා ගුරුත්වාකර්ෂණ බලය වළක්වන ලෝහ මිශ්‍රණයක් සොයා ගන්නා අතර එය යොදාගෙන ගෝලාකාර යාත්‍රාවක් නිපදවා එයින් හඳට යෑමට උත්සාහ කරයි. මේ කතාවේ වීජ ගණිතය සහ තවත් විද්‍යයාත්මක කාරණා රැසක් කතා බහට ලක් වෙයි. මෙය ඉතා වැදගත්ම කාරණාවක් වන්නේ හද ගමනක් පිළිබඳ ලෝකයේ කිසිම තැනක කවුරුවත් හීනයකින්වත් නොසිතූ යුගයක් වීම නිසා ය.

විලියම් හෙන්රි රෝඩ්ස් 1871 වසරේදී විශාල විනාශයක් කරන ආයුධයක් පිළිබඳ කතාවක් පුවත්පතක පළ කළේ ය. පිස්සු විද්‍යාඥයකු සහ බ්ලැක් බාට් නමැති දාමරිකයකු පොටෑසියම් නම් මූල ද්‍රව්‍යය යොදාගෙන ලෝකය යටත් කරගන්නා බවට තර්ජනය කර අත්පත් කිරීමේ වෑයමක් ගැන මෙයින් කියැවෙයි. ඒ වතුර ගින්දර බවට පත් කරමිනි.

පුවත්පත් කලාවේදියකු වූ එඩ්වඩ් පේජ් මිචෙල් දශකයකට ආසන්න කාලයක් තිස්සේ අලුත් පන්නයේ කෙටිකතා රැසක් ‘ද සන්’ පුවත්පත මඟින් පාඨකයන්ට දායාද කළේ ය. ඒ ඔහුගේ මුල් ම කෙටිකතාව 1874 වසරේදී Scribner’s Monthly පළ වීමෙන් පසු ය. ඔහුගේ කතාවලට නොපෙනී යෑම, ආලෝකය අබිබවා ගමන් කිරීම, කාලාවතරණය, මනස මාරු කිරීම, විකෘතිය, ශීත ජනක වේදය සමඟ යාන්ත්‍රික මොළය ආදිය ඇතුළත් ය.

19 වැනි සියවසේදී පූර්ව අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ වඩාත්ම සාර්ථක කෘතිය ලෙස සැලකෙන්නේ නමින් 1888 වසරේදී එඩ්වඩ් බෙල්ලාමිගේ Looking Backward කෘතියයි. එය සාමාන්‍යය සාහිත්‍ය ක්ෂේත්‍රය අබිබවා යන ලක්ෂණ දක්නට ලැබෙන අතර අන්තර්ගතය වනුයේ එවක සමාජයත් අනාගත ලෝකයත් අතර පසුබිමයි.

1894 වසරේදී විල් හාබන් විසින් රචිත “Land of the Changing Sun”. කෘතියෙන් කියැවෙන්නේ තාරුකා රජ කරන පොළොව මැද්දෙහි වූ අපූරු ප්‍රබන්ධයකි. හර්බන්ගේ කෘතියට අනුව පොළොව මධ්‍යයේ විද්‍යාත්මකව දියුණු වූ ශිෂ්ටාචාරයක් පිළිබඳව කියැවෙන අතර මෙහි තාක්ෂණික සූර්යයෙක් ද වෙයි.

මාක් ට්වේන්ගේ A Connecticut Yankee in King Arthuur’s Court කෘතිය ද විද්‍යාත්මක පදනමක් සහිත වෙයි. මෙහි කාලය පසු පසට යෑමක් දක්නට ලැබේ. මෙහි කිසියම් අවස්ථාවක පළමු වැනි ලෝක යුද්ධය පිළිබඳ ඉඟියක් ද සැපයෙයි. යුරෝපයේ යුද උපක්‍රම සහ උපකරණ පිළිබඳ කිසියම් ඉවක් ද වෙයි.

අමෙරිකානු ලේඛක ෆ්‍රෑන්ක් බමුවා 1900 සිට 1920 අතර කාලයේදී එළිදැක් වූ ග්‍රන්ථ 14කින් සමන්විත කතා මාලාවේදී අමුතු අවි ආයුධ යාන්ත්‍රික මිනිසා අදටත් තවමත් නිෂ්පාදන නොවුණු තාක්ෂණික මෙවලම් වගේම රැහැන්වලින් තොර අතේ ගෙන යා හැකි සන්නිවේදන උපකරණ ද හඳුන්වාදී තිබිණි.

ජැක් ලන්ඩන්ගේ විද්‍යා කතාන්තර බොහෝමයක පාර භෞම හෙවත් පොළොව අභ්‍යන්තරය පිළිබඳ ලක්ෂණ ඇතුළත් වන අතර අනාගත ලන්ඩනය පිළිබඳ ද තවත් කතාවක ජීවානු යුද උපක්‍රම ද වාර්ගික පවිත්‍රීකරණය ද ඇතුළත් වෙයි. ඔහුගේ තවත් කතාවක අදෘශ්‍යමාන නොවැළැක්විය හැකි බලශක්ති ආයුධ ගැන ඇතුළත් වෙයි. මේ කතා බොහොමයක් විද්‍යා ප්‍රබන්ධ ඉතිහාසයේ වෙනස්කම් රැසකටම මග පාදා ඇත.

එඩ්වඩ් එවර්ට් හේල්ගේ The Brick Moon කතාවෙන් මුල් ම වතාවට කෘත්‍රිම අභ්‍යවකාශ යානාවක් ගැන හෙළි කරයි. එඩ්ගා රයිස් බරෝස් Edgar Rice Buurroughs(1875 - 1950) පළමු වැනි ලෝක යුද්ධය ඔන්න මෙන්න කියා සෑහෙන විද්‍යා කතා රැසක් පල්ප් සඟරාවේ ලියා පළ කළේ ය. ඔහුගේ මුල් ම කතාව වූයේ Under the Moons of Mars ය. එය ඔහු විසින් ඉදිරිපත් කළේ 1912 වසරේදී ය. ඔහු සිය ජීවිත කාලයේ නිර්මාණය කළ කතාවල බොහොමයකම වාගේ විද්‍යා ප්‍රබන්ධවල ලක්ෂණ දැක ගන්නට ලැබිණි.

අද්භූත මිනීමැරුම් සංත්‍රාස ජනක කතා මෙන් ම කල්පිත රැසක් ලොවට ඉදිරිපත් කළ ඔහු ලෝකයාම හොඳින් දන්නේ ටාසන් කතාවේ නිර්මාතෘවරයා ලෙසිනි.

එච්.ජී.වෙල්ස්ගෙන් පසුව සාර්ථකම විද්‍යා ප්‍රබන්ධකයා ලෙස සැලකෙන්නේ ඔලාෆ් ස්ටෙප්ලෙඩන් ය. ඔහුගේ සාර්ථකම දායාද වන්නේ Last and First Men (1930),Odd John(1935),Star Maker(1937),iy Siriuus(1944) ය. බෙල්ජියමේ උපන් J.H.Rosny aine ප්‍රංස විද්‍යා ප්‍රබන්ධ කතා කලාවේ මුල්ම පුරුක ලෙස සැලකේ. Les Xipehuz(1887) සහ La Mort de la Terre(1910) ඔහුගේ උත්තම ඵලයෝ ය. රොබට් හියු බෙන්සන් ද ලේඛන කලාවට නව මානයක් එක් කළේ ය.

රුඩ්යාඩ් කිප්ලින් වැනි සියවසේ ලේඛකයන් බොහෝ දෙනකුටම අලුතෙන් හිතන්න පාර කියා දුන් නිර්මාණකරුවෙකි. ඔහුගේ The Aerial Board of Control, The Army of a Dream වැනි කතා ඇත්තෙන්ම අලුත් තාලයේ ඒවා නොවූව ද ඒවා John W.Campbell සහ Robert Anson Heinlein වැනි ලේඛකයන්ට කෙළින්ම බලපා තිබිණි. විශේෂයෙන්ම කිප්ලින්ගේ කෙළින්ම දෙයක් නොකියන කතා ශෛලය Robert Anson Heinlein විසින් ඒ අයුරෙන්ම Starship Troopers සහ Stranger in a Strange Land යන කතාවලින් ඉදිරියට ගෙන ගොස් තිබිණි. සමස්තයක් ලෙස 1930 වසර වෙද්දී සියලු විද්‍යා ප්‍රබන්ධ කතාවල කැපී පෙනෙන වෙනසක් දැක ගතහැකි වීම විශේෂ ලක්ෂණයක් විය. 1926 වසරේදී හියුගෝ ජර්න්ස්බැක් විස්මිත කතා සඟරා පළ කිරීමත් සමඟ විද්‍යා ප්‍රබන්ධ නව මඟකට යොමු වුණ අයුරක් පෙනිණි. ස්වීඩනයේත් ජර්මනියේත් මෙවැනි විස්මිත කතා සඟරා පළ වූවත් හුදෙක්ම විද්‍යා ප්‍රබන්ධ සඳහාම ඉංග්‍රීසි බසින් සඟරාවක් පළ වී නොතිබිණි. ජර්න්ස්බැක් සිය සඟරාවේ කතාවලින් විද්‍යාත්මක යථාර්ථය සහ විද්‍යාත්මක මූල ධර්මවලින් පාඨකයා දැනුවත් කිරීමට උත්සාහ කළේ ය. ඒ වගේම ඔහු අලුත් සොයාගැනීම් සඳහා ද පෙලැඹ වීම් ඇති කරන ආකාරයේ කතා පළ කළේ ය. මීට සමගාමීව තවත් බොහොමයක් සඟරා පළ කෙරුණ අතර 1930 වසර විද්‍යා ප්‍රබන්ධ කතා කලාවේ ද විශාල පෙරළියක් කළ කාල පරිච්ඡේදයක් විය.

පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු කාලයේදි එනම් 1920 - 1930 අතර කාලයේදී බොහොමයක් ලේඛකයන් විද්‍යා ප්‍රබන්ධ සඳහා අලුත් අලුත් කතා නිර්මාණයට මෙන් ම අලුත් ආකෘතිවලට කතා ඉදිරිපත් කිරීමට පෙලඹුණු බවක් පෙනන්න විය. 1924 දී මියගිය ප්‍රෑන්සා කෆ්කා මෙන් ම නූතනයේ ප්‍රබන්ධකරුවන් වන ජේම්ස් ජොයිස්, ටී.එස්.එලියට් වර්ජිනියා වුල්ෆ් වැන්නවුන්ගේ පවා මේ ලක්ෂණ දැක ගත හැකි විය. නවීන සාහිත්‍ය ලෝකයේ භාවිතයට ගැනෙන ආකෘතිමය තාක්ෂණික රටා ද මේ අතරතුර විද්‍ය ප්‍රබන්ධවලට ද එකතු වන්න විය. චෙකෝස්ලෝවැකියාවේ නාට්‍ය රචකයකු වූ Karel Capek ගේ කෘමියකුගේ ජීවිත කතාව ඇතුළත් The Makropulos Affair, R.U.R. නාට්‍යය මෙන් ම War with the Newts නව කතාව ද ලෝකයට වැදගත් වන්නේ රොබෝව යන වචනය හා හා පුරාවට හඳුන්වා දුන් හෙයිනි. පිට සක්වළ ජීවි සංකල්පය එළියට ආවේ ද මේ කාලසීමාවේ ය. විද්‍යා ප්‍රබන්ධ නවකතා වැඩි වැඩියෙන් බිහි වීමේ ප්‍රවණතාවක් ද මේ කාලසීමාවේදී දැක ගන්න හැකි වූ අතර 1930 වසරේදී අමෙරිකාවේ පළ කෙරුණ Astounding Science Fiction සඟරාවේ සංස්කාරක පදවියට John W.Campbell පත් වීමත් සමඟම බොහොමයක් විද්‍යා ප්‍රබන්ධ බිහි වුණ අතර ඔවුන් අනාගතය දකින්නන් ලෙස ද සලකන්න වූහ. මෙහි දී Isaac Asimov.Damon Knight.Donald A.Wollheim,Frederik Pohl.James Blish,Judith Merril, වැනි රචකයෝ රැසක් කරළියට ආ අතර Robert A.Heinlein, Arthur C.Clarke,A.E.Van Vogt.වැන්නන්ගේ නිර්මාණ කලඑළි බැස්සේ ද මේ වකවානුවේ ය. කැම්බල්ගේ තාලයට බිහි වුණු Galaxy වැනි නවතම විද්‍යා සඟරා ද මේ පිරිසට හොඳ අත්වැලක් විය. මේවා කතා කලා‍වේ ද අලුත් ප්‍රගමනයකට හේතු කාරක විය. පශ්චාත් යුද සමයත් සමඟ බිහිවුණු කතා බොහොමයක් තාක්ෂණික වශයෙන් නැවුම් අත්දැකීම් සහිත ඒවා විය.

ජෝර්ජ් ඕවල්ගේ කෘතිවල නව ආකෘති දක්නට ලැබුණු අතර එය 1948 වසරේදී ඔහු විසින් රචිත Nineteen Eighty-Four කතාවේ හොඳින්ම දක්නට ලැබිණි. ඔහු තාක්ෂණයේ ආධිපත්‍යයයෙන් සමාජය යටපත් වන ආකාරය පෙන්නුම් කළේ ය. රේ බ්‍රැඩ්බරිගේ Fahrenheit 451 උර්සුලා කේ ලී ගයින්ගේ The Dispossessed:An Ambiguuus Utopia මෙන් ම Kurt Vonnegutගේ ලේඛන ද විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට නවමු අත්දැකීම් රාශියක් එක් කළා සේම අලුත් පරපුරට නව මානයක් සොයා යෑමේ මාර්ග ද පෙන්වා දුන්නේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.