ලෝකය තනියායක් කළ සාහිත්‍ය නිර්මාණ | සත්මඬල

ලෝකය තනියායක් කළ සාහිත්‍ය නිර්මාණ

නූතනය හා පුරාතනය යා කළ පාලමක් සෑදූ ඉන්දීය මහා ලේඛකයා ලෙස නම් කළ හැකි වන්නේ ගුරුදෙවි රබීන්ද්‍රනාත් තාගෝර් ය. උපතින් හින්දු භක්තියකු වුව ද ඔහු කිසිදින කෝවිලකට නොගිය බවක් අප අසා තිබේ. සම්මත ආගම් දෘෂ්ටියෙන් බැහැර වීම ද සමඟ තාගෝර්තුමන් මඟින් ඉස්මතු වූ ආගමික, මුනිවර ස්වභාවය පිළිබඳ ඔහුගේ කියැවීම් හා ලිවීම් බොහෝ සාක්ෂි සපයයි.

විශ්වීය මිනිසා නිර්මාණය කිරීමේ වැඩිම ශක්‍යතාවක්, සම්භාවිතාවක් මෙකල පවතින්නේ සාහිත්‍යයට යැයි අප කියන්නේ ආගම, ආගමික ග්‍රන්ථ හා ශුද්ධ ග්‍රන්ථ අවතක්සේරු කිරීමට නො වේ. ආගම ඍජු ලෙස, උපදේශාත්මකව කියන කතාව වඩා සුනිග්ධ ලෙස හා චමත්කාර ජනක ලෙස මිනිස් සිතට කාවැද්දීමේ ආනුභාව පවතින්නේ සාහිත්‍යයේම බව බැහැර කළ නොහැකි සත්‍යයක් වන නිසා ය. එක් නිදසුනක් ගනිමු. ධම්මපදය පිය වග්ගයේ එන ‘තණ්හාය ජායතී සෝකෝ’ වැනි ගාථාවක හකුළුවා ඇති ගැඹුරු අරුත මනා ලෙස හා ඇති සැටියෙන් හඳුනාගැනීමට නම් (රුසියානු මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි ලියූ) ‘මිනිහකුට ඉඩම් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය ද?’ වැනි කෙටිකතාවක් කියවන ලෙස නිර්දේශ කළ යුතුව ඇතැයි අපට සිතෙයි. මෙහි දී අප සාහිත්‍යය යනුවෙන් අවධාරණය කරන්න උත්සාහ කරන්නේ සකල විධ වූ කලා ය. සිනමාව, නාට්‍යය මෙන් ම සිතුවමින් ද මෙය කළ හැකි වෙතත් එය අර්ථවත් වන්නේ චිත්‍රයක අරුත අවශෝෂණය කරගත හැකි සියුම් ප්‍රබුද්ධ ජනසමාජයක් වේ නම් පමණි.

ලෝකයේ එදා මෙදා තුර ජීවත් වූ බොහෝ විශිෂ්ට ලේඛකයන් සිය පන්හිඳෙන් හරඹ කර ඇත්තේ විශ්වීය මිනිසකු නිර්මාණය කිරීමට බව පෙන්වා දීම සඳහා බොහෝ නිදසුන් පෙන්වා දිය හැකි ය. එහෙත් අප මේ ලිපියෙන් උත්සාහ කරන්නේ වේද යුගයෙන් පසුව අපූරු පරිණාමයකට පත් වූ එමෙන් ම දාර්ශනික චින්තාවන්ට තෝතැන්නක් වූ ඉන්දියාවේ මෑතකාලීන ලේඛකයන් දෙදෙනෙක් මේ අසිරිමත් මෙහෙවරෙහි නියුතු වූ අවස්ථා දෙකක් පෙන්වාදීමට ය.

වනචාරි යුගයේ පටන් මහාකාව්‍ය යුගය දක්වා පහනින් පහන දල්වමින් ආ භාරතීය සාහිත්‍ය චාරිකාවේ ආරම්භක හා නොමැකෙන සලකුණ තබා ඇත්තේ ‘මහාභාරතය’ හා ‘රාමායණය’යි. මේ මහා ග්‍රන්ථ ද්වය පිළිබඳ ඉතා කෙටියෙන්, එක වැකියකින් සඳහන් කළ හැකි වන්නේ මෙසේ ය.

‘රාමායණය ගැහැනියක දිනාගැනීමේ සටනක් වන අතර ‘මහාභාරතය දේශයක් දිනාගැනීම පිළිබඳ සටහනකි.’

නූතනය හා පුරාතනය යා කළ පාලමක් සෑදූ ඉන්දීය මහා ලේඛකයා ලෙස නම් කළ හැකි වන්නේ ගුරුදෙවි රබීන්ද්‍රනාත් තාගෝර් ය. උපතින් හින්දු භක්තියකු වුව ද ඔහු කිසිදින කෝවිලකට නොගිය බවක් අප අසා තිබේ. සම්මත ආගම් දෘෂ්ටියෙන් බැහැර වීම ද සමඟ තාගෝර්තුමන් මඟින් ඉස්මතු වූ ආගමික, මුනිවර ස්වභාවය පිළිබඳ ඔහුගේ කියැවීම් හා ලිවීම් බොහෝ සාක්ෂි සපයයි. රබීන්ද්‍රනාත් තාගෝර් ඉන්දියානුවකු ලෙස නම් කෙරුණ ද ඔහු දේශසීමාවකට කොටු කළ හැකි කිසිවකු වූයේ නැත. තාගෝර් යනු ලෝක පුරවැසියෙකි.

තාගෝර් කවියාගේ කෘති කිහිපයක් සංස්කරණය කරමින් එතුමාගේ ‘විශ්වභාරතී‘ අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි භාෂාව උගැන්වූ ශාස්ත්‍රවන්තයකු වන බිකාෂ් චක්‍රවර්ති, එතුමන් සම්බන්ධයෙන් තබන සටහන මෙවැනි ය.

‘ඉන්දියාවේ ජාතික ගීයේ කර්තෘ ‘ජාතිකවාදය’ පිළිබඳ ඔහුගේ මතවාද නොවළහා හෙළිකළේ ය. ‘ජාතික වාදය’ සහ ජාතික රාජ්‍ය’ ඔහුට හැඟුණේ මහා වසංගතයක් නැත හොත් භූගෝලීය බහුබූතයක් ලෙස ය.

(උපුටාගැනීම: ඉන්දියා දර්ශන - වෙළුම

24-අංක 2/2010))

මින් අදහස් වන්නේ ජාතිකත්වය, දේශානුරාගය යැයි කියන්නේ අහිතකර හා බැහැර කළ යුතු හැඟීමකට බව නොවේ. කිසිවකුට තමාගේ මවට සමානව සෙසු මවුවරුන්ට ළෙන්ගතු වීමට බැරි ය. එය සාමාන්‍යයකි. ගැටලුව වන්නේ මේ මනෝභාවය හරහා දැඩි මමායනයක් වගාදිගා කරගනිමින් ස්වකීය පැවැත්ම තහවුරු කරගැනීමට ආත්මාර්ථකාමී ලෙස යොමු වීම හා ඒ සඳහා ක්රෑරත්වය පතුරුවා හැරීම ය. තාගෝර්තුමා ද 1905 වසරේදී බෙංගාලය දෙකඩ කිරීම සඳහා කේන්ද්‍රගත වුණ ස්වදේශීය ව්‍යාපාරයකට එක්ව සිටිය මුත් අනුක්‍රමයෙන් ඒ ජාතිකවාදි දේශපාලනයේ ප්‍රධාන ප්‍රවාහයෙන් ඉවත් වන්න ඇත්තේ මේ තත්ත්වය හඳුනාගැනීම හේතුවෙන් වීමට පුළුවන.

මේ අපූරු චින්තකයා, විශ්වීය මිනිසා නිර්මාණය කළ ආකාරය පෙන්වාදෙන අති ප්‍රබල නිදසුන වන්නේ ඔහුගේ ‘ගෝරා’ නවකතාවයි. ‘ගෝරා’ නවකතාවට පාදක වන්නේ තමාගේ උපත කෙසේ සිදු වී දැයි නොදැන, ලොකුමහත් වී පූන නූල ද පැලඳ, ජාතිය හා ආගම පිළිබඳ උද්දාමයෙන් ඇලළී ගිය දරුවකු පිළිබඳ කතාවකි. අපට මෙන් ම මේ දරුවාට ද තමාගේ උපන් අවස්ථාව, ඒ නිමේෂය සිහියට නඟා ගැනීමට නොහැකි ය. ඔහුගේ පරත්වාරෝපණය සිදු වන්නේ අප ලෙස ම වැඩිහිටියන්ගේ කතාබහ හා ක්‍රියාකාරකම් ඔස්සේ ය. තමාගේ සිරුරේ දිවෙන්නේ මවුපියන්ගේම (මවුපියන් අයත් වන ජාතියේ, කුලයේ) රුධිරය යැයි ඔහු අභිමානයෙන් සිතා සිටියි. ඔහු හදාගත් මවුපියන් බ්‍රාහ්මණ වංශිකයන් ය. ආනන්ද මෝයි යනු ඒ මවයි. පියා ක්‍රිෂ්ණ දයාල් ය.

බ්‍රාහ්මණ සිහිනයක ගැලී උස්මහත් වන ගෝරා හෙවත් ගෞර් මෝහන් කුඩා කල සිටම අනුදැන සිටින්නේ බ්‍රාහ්මණ ධර්ම ය. නියම බ්‍රාහ්මණයකුගේ කල්ක්‍රියා අනුගමනය කරන ඔහු හීනකුලයේ පුද්ගලයකු දෙන දිය වීදුරුවකින් පවස නිවා ගැනීමට හෝ පැකිළෙයි. නිවෙසේ මෙහෙකාරිය වන ලෙච්චමී රැඳී සිටින ඉසවුව පවා ඔහු පිළිකුල් කරන්නේ එහෙයිනි. කුලහීන ලෙච්චමී ක්‍රිස්තියානි ආගම අදහන්නියකි. එහෙත් ගෝරාගේ මව, ඉතා යහපත් ය. භේද නොතකන ඇය සියල්ලන් සමඟ සහජීවනයෙන් යුතුව ජීවත් වීම ප්‍රිය කරයි.

ගෝරා උපත ලබා සිටින්නේ අයිරිෂ් ජාතික පියකුට දාව ඉංග්‍රීසි ජාතික මවකගේ කුසිනි. මේ තොරතුරු හෙළි වී ජීවිතාවබෝධය ලැබුණ කිසියම් දිනෙක ගෝරා සිය මවගේ - ආනන්ද මෝයිගේ දෙපා මත හිස තබමින් කියන්නේ මෙවැන්නකි:

“අම්මේ, ඔබයි මගේ ආදරණීය අම්මා. මම ඉතා දීර්ඝ කාලයක් සිට සොයමින් සිටි අම්මා. ඒ මුළු කාලය පුරාම මේ නිවෙසේ, මගේ කාමරේ තුළම ඔබ හිඳ තියෙනවා. ඔබට කුලමානයක් නැහැ. ඔබට උස්-මහත් භේදයක් නැහැ. ඒ වගේම වෛරයක් නැහැ. ඉන්දියාව කියන්නේ ඔබම තමයි.”

අනතුරුව ඔහු මෙසේ ද කියයි:

“අම්මේ, ලෙච්චමීට කතා කරන්න. වතුර වීදුරුවක් ගේන්න කියන්න.”

මිනිසාගේ සකලවිධ බෙදුම්රේඛා මකා දමන්න සමත් වන මේ අපූරු නවකතාව අපගේ මතකයට ගෙන එන්නේ සුත්ත පිටකයේ එන වාසෙට්ඪ සූත්‍රයයි. ‘ගෝරා’ වංග බසින් සිංහලට පෙරළා ඇත්තේ චින්තා ලක්ෂ්මි සිංහාරච්චි ය. රූ.පෙ. විජේසිංහ ද වරක් ‘ගෝරා’ සිංහලට නඟා තිබේ.

කෙසේ වුව ද දරුවෝ නම් දරුවෝම ය. අප කුඹුරක් හාන්නේ, හේනක් කොටන්නේ අස්වැන්නක් බලාපොරොත්තුවෙනි. අපගේ ම කුඹුරේ අස්වැන්න කියා හෝ අනුන්ගේ කුඹුරක අස්වනු යැයි කියා හෝ වෙනසක් බත් කන විටදී අපගේ දිවට දැනෙන්නේ නැත. කාගේ කුඹුර නිපදවන සහලින් වුව අපට ලැබෙන්නේ එක සමාන පෝෂණයකි.

මේ යථාර්ථය ඉතා මැනවින් අපට පෙන්වා දෙන බුද්ධි කලම්බන කෙටිකතාවක් ලෙස අප දකින්නේ නූතන හින්දි කතාකලාවේ පුරෝගාමියා ලෙස සැලකෙන ප්‍රේම්චාන්ද්ගේ (1880-1936) එක් අපූරු කෙටිකතාවකි. සමාජ විෂමතා හේතුවෙන් ජනිත කෙරුණු මිනිස් ජීවිතවල ඛේදය විෂය කරගනිමින් ඔහු කළ නිර්මාණවල විශේෂත්වය වන්නේ ඒවා කිසිසේත් ප්‍රචාරකවාදී නොවීම මෙන් ම අපූරු සාහිත්යික කාව්‍යමය ගුණයෙන් ද යුක්ත වීම ය.

ප්‍රේම්චාන්ද් ලියූ ‘දරුවා’ නම්වූ කෙටිකතාවේ සිංහල පරිවර්තනයක් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහා මහාචාර්ය සරත් විජේසූරිය සංස්කරණය කළ ‘විදේශීය කෙටිකතා සංග්‍රහය’ නම් කෘතියෙහි අඩංගුව තිබේ. එහි පරිවර්තකයා වන්නේ ආර්.එච්.එම්. පියසේන ය. කෙටිකතාව ඇරැඹෙන්නේ මෙසේ ය:

“මිනිස්සු ගන්ගු බ්‍රාහ්මණයෙක් යැයි කියති. ඔහු ද තමා බ්‍රාහ්මණයෙකැයි සිතයි. මගේ අන් සියලු සේවකයෝ මට හිස නමා ආචාර කරති. එහෙත් ගන්ගු කිසිවිටෙකත් එසේ ආචාර නොකරයි.”

(විදේශීය කෙටිකතා සංග්‍රහය - 172 පිටුව)

ගන්ගුගේ චරිතය නිර්මාණය වන්නේ උත්තමපුරුෂ දෘෂ්ටිකෝණයෙන් මේ කතාව කියන මධ්‍යම පාන්තික පුද්ගලයාගේ නිවෙසේ වැඩ කරන මෙහෙකරුවකු ලෙස ය. තමන්ගේ පාඩුවේ නිවෙසේ වැඩකටයුතු නිම කරන මෙහෙකරුවෝ ඉනික්බිතිව හාම්පුතා සමඟ පයුරු පාසානයක යෙදෙන්න නොපැමිණෙති. ඉඳහිට එසේ එන්නේ නම් ඒ අත්තිකාරම් මුදලක් ඉල්ලා ගැනීමට ය. නැත හොත් අනෙකකු සම්බන්ධයෙන් ගතු කීමට ය. එක් උදෑසනක තමාගේ කැඳවීමකින් තොරවම පැමිණ සිටින ගන්ගු දෙස හාම්පුතා ප්‍රසාදජනක නොවන බැල්මක් හෙළන්නේ එහෙයිනි.

“ඇයි මොකට ද ආවෙ? මොකද කතා නැත්තේ? මට පරක්කු වෙනව”

උදේ ඇවිදින්නට යෑම සඳහා ඇඳුම් අඳිමින් සිටින හාම්පුතාගේ නොපහන් බැල්මට, ඒ ප්‍රශ්නාවලියට පිළිතුරු සපයමින් ගන්ගු කතාකරන්නේ ගොත ගහමිනි.

“සර් මේකයි... අර... අර... වැන්දඹු ගෙදරින් පන්නපු ගෑනු එක්කෙනා... අර ගෝමතී දේවි... මට ඒ ගෑනිව කසාද බඳින්න ඕන සර්.”

හාම්පුතා තුළ ගන්ගු කෙරෙහි උපදින්නේ මිශ්‍ර හැඟීමකි. එහි කෝපය මෙන් ම අනුකම්පාවක් ද ගැබ්ව තිබේ. ගෝමතී දේවි කියන්නේ ගේකට වද්දාගන්නේ නැති ආකාරයේ එපා කරපු ගැහැනියකට ය. ඇය පිළිබඳ සමාජ පිළිගැනීම ඒ ය. ඇය ඉන්දියාවේ ඇති වැන්දඹු නිවෙසකට ඇතුළුව ඇත්තේ වර්ෂ කිහිපයකට ඉහතිනි. වැන්දඹු නිවෙසේ අධිකාරිවරයා ගෝමතී නෙරපීමට පියවර ගන්නේ ඇය විවාහ කර දීම සඳහා ඔහු දෙවරක්ම පියවර ගෙන ඇතත් ඒ සෑම වාරයකදීම ඇය සතියකින් දෙකකින් ආපසු පැමිණි නිසා ය. හාම්පුතා මෙවැනි ප්‍රශ්නයක් ගන්ගු වෙත යොමු කරන්නේ ගෝමතීගේ ඒ ඉතිහාස කතාව ඔහුට ද රහසක් නොවන හෙයිනි.

“තමුසේ මේ ගෑනිගේ අතීතෙ දන්නව ද?”

“ඒව ඔක්කොම බොරු සර්”

හාම්පුතා ගන්ගු නිදහස් කර හරින්නේ ගන්ගුගේ ඕලාරික කාව්‍යක්කාර කතා අසා විඩාපත් වීමෙන් පසු ය. ගෝමතී සමඟ විවාහ වී තොරොම්බල් කාරයකු ලෙස දිනකට රුපියලක් පමණ උපයා ගන්නා ගන්ගුගේ මුහුණේ ඇඳී ඇතී තෘප්තිමත් භාවය හාම්පුතාට එතරම් රුචි වන්නේ ද නැත. හදිසියේ ගෝමතී පලා ගිය බව ඇසීමෙන් ඔහු තුළ අමුතුම සතුටක් හටගන්නේ එහෙයිනි.

“මං මුලිදිම කිව්වනේ අයින් වෙන්ඩ කියලා. ඒත් තමුසේ අහපු එකක් යැයි? තමුසෙගේ බඩුමූට්ටුත් ගෙනිහිල්ල ද?”

හාම්පුතා අධෛර්යයට පත් කරමින් ගන්ගු කියන්නේ ඇය තමාගේ කිසිවක් රැගෙන නොගිය බව හා ඇය, ඇයගේ ම බඩුමූට්ටු ද දමාගොස් ඇති බව ය.

“තමුසෙ අහල නැද්ද පරණ කියමනක් තියෙනවා. චපලත්වය! නුඹේ නම ගැහැනියයි කියල.”

එවන් සමච්චලයකින් ඇඟබේරා ගත්ත ද හාම්පුතා වඩ-වඩාත් මවිතයට පත්කරමින් ටික දිනකට පසු ගන්ගු යළිත් වරක් පැමිණෙන්නේ අද ඊයේ උපන් කිරිකැටි දරුවකු ද රැගෙන ය. ගන්ගුගේ දෑස් ප්‍රීතියෙන් ඉපිළයමින් තිබේ. ඔහු විවාහ වී හය මසක් හෝ ගත වී නැත. ඉතින් එයට ද පෙර දරු උපතක්...?

“මේ තමන්ගේම දරුවෙක් කියල තමුසෙට විශ්වාස ද?”

“මගේ වෙන්නෙ කොහොම ද බාබුජි? දෙවියන් වහන්සෙගෙ නෙ?”

“ළමය ඉපදුණේ ලක්නව්වල. එහෙම නේද?”

“එහෙමයි බාබුජි, මාසෙ පිරුණෙ ඊයෙට.”

(විදේශීය කෙටිකතා සංග්‍රහය - 179 පිටුව)

හාම්පුතා තුළ හටගන්නේ බලවත් වූ විපිළිසරයකි. “සාද බැඳල මාස හයෙන් ළමයෙක් හම්බ වුණා අහපු පළමු වතාව මේක”යි ඔහු සමච්චලයෙන් කියයි. ගන්ගු පුදුමයට පත් කරන්නේ ද මේ ප්‍රශ්නයයි. ඉනික්බිතිව ගන්ගු දිග හෑල්ලක් කියාගෙන යන්නේ හාම්පුතාගේ ලෝකය උඩුයටිකුරු කරමිනි.

“කවදාවත් ඕක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔය හින්දම තමයි ගෝමතී ගෙදරින් ගිහින් තියෙන්නෙ. එයාට මං කිව්ව එයා මට ආදරේ නැත්නම් මාව දාල යන්න, මං කවදාවත් එයාට කරදරයක් කරන්නෙ නැහැ කියල.

ඒ එක්ක ම එයා මට ආදරයක් ඇත්නම් දරුවා අපෙන් වෙන් කරන්න එපා කියලත් මං කියල තිබුණෙ. මම මේ දරු පැටියට මගේ එකෙකුට වගේ ම ආදරෙයි. වපුරපු කුඹුරක් හිමි වෙච්ච කෙනෙක් ඒක වෙන කෙනෙක් වැපුරුව කියල ඒකෙන් ලැබෙන අස්වැන්න එපා කියන්නේ නැහැ.”

(විදේශීය කෙටිකතා සංග්‍රහය - 180 පිටුව)

හාම්පුතා තුළ ප්‍රථමවරට තමාගේ අමන සදාචාරය පිළිබඳ වැටහීමක් හා ලජ්ජාවක් හට ගන්වන්නේ ගන්ගුගේ සිත කලඹවන සුලු පිළිතුරයි. මේ දයාව, කරුණාව, මේ මෛත්‍රිය හමුවේ ගන්ගුගේ ධෛර්යය හා අවංකභාවය ඉදිරියේ තමාගේ මධ්‍යම පාන්තික සදාචාරය අළුදුහුවිලි වී ගිය බවක් හාම්පුතාට හැඟී යයි.

ලෝකය වෙනස් කරන, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සැබෑ විශ්වගම්මානය ස්ථාපිත කරදෙන පසුබිමක් නිර්මාණය කරදීම උදෙසා විවිධ ආගමික ශාස්තෘෘවරුන් විවිධාකාරයෙන් දායක වී ඇති බව සැබෑ ය. බුදුන් වහන්සේ එහිදී විශේෂයෙන් කැපී පෙනෙන්නේ මනුෂ්‍යයාගෙන් නොනැවතී තිරිසන් සතුන් හා ගහකොළ කෙරෙහි ද එක සමාන මෛත්‍රී-කරුණාවක් බෙදා දීමේ පසුබිමක් නිර්මාණය කිරීම නිසා ය. ඒ විශ්වීය දහම අනුයමින් ඉතා අඩුතරමින් මනුෂ්‍ය වර්ගයා අතරේ හෝ සීමාඉරි මැකී යා යුතු ආකාරය පෙන්වා දෙන භික්ෂූන් වහන්සේලා කිහිපනමක් හෝ නූතන සමාජයෙහි ද වැඩවෙසෙති. එවැනි එක් යතිවරයෙක් දිනක් දහම් දෙසුමක් අතරතුර හදාවඩා ගැනීම සඳහා දරුවන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉතා කාලීන හා දාර්ශනික අදහසක් එළිදැක්වූ අයුරු අපට සිහි වෙයි. උන් වහන්සේ එහිදී අවධාරණයෙන් පැවැසූයේ මවුපියන් නැති අනාථ, අසරණ දරුවකු ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු එක් සුවිශේෂ කාරණයක් පිළිබඳ ය. මව හෝ පියා හෝ එසේත් නැති නම් ඒ දෙදෙනාම හෝ නැති දරුවකුට බොහෝ විට මිත්තණියක්, නැන්දණියක්. සොහොයුරෙක්, සොහොයුරියක් හෝ සිටිය හැකි බව පෙන්වා දුන් යතිවරයාණෝ ඒ කිසිවකුගේ පිහිටාධාරයකින් තොරව සීසීකඩව සිටින්නේ උතුරු-නැගෙනහිර යුද්ධයෙන් අනාථ වූ දරුවන් නොවේ දැයි ප්‍රශ්න කර සිටියහ. මේ ගැන දිගින් දිගට සිතා බැලීමේදී අපට ද සිතුණේ මනුෂ්‍යයකුට, මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ හැකි ඉහළම මෙහෙවර (නැත හොත් පුණ්‍ය කර්මය) එය නොවන්නේ දැයි කියා ය.

ලෝකය තනියායක් කරන එවැනි දහම් දෙසුම්, දම්සභා මණ්ඩප අපට සුලබව අසන්න හෝ දැකගන්න ලැබෙන්නේ නැත. විශ්වයේ දරුවා, විශ්වීය මිනිසා නැත හොත් විශ්වගම්මානය ස්ථාපිත කිරීම උදෙසා කිසියම් දායකත්වයක් ලබාදීමට අපගේ ජනමාධ්‍ය විශේෂයෙන් විද්යුත් මාධ්‍ය යොමු වන්නේ නම් යෙහෙකැයි අපට සිතෙන්නේ ඒ නිසා ය. එය අපට මෙන් ම අනෙකාට ද වැඩදායක ය.

වරක් ඕෂෝ නම් වූ ඉන්දීය චින්තකයා හමුවට පැමිණි එක් පුද්ගලයෙක් මෙවැනි ප්‍රශ්නයක් අසා තිබේ.

“මට ලෝකය වෙනස් කිරීමත්, මා වෙනස් කරගැනීමත් යන කර්තව්‍යයන් දෙකම එකවර කළ හැකි ද?”

ඕෂෝ එයට දුන් පිළිතුර මෙවැනි ය.

“ඇත්තෙන්ම ඔබයි ලෝකය. ඔබ වෙනස් වෙන්න පටන් ගත් දා පටන් ඔබ ලෝකය වෙනස් කිරීමේ ක්‍රියාදාමයට මුල පුරනවා”

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.