වම් ඉවුර, අලි ඔළුව හන්දිය සහ යැංකි විසංස්කෘතිය | සත්මඬල

වම් ඉවුර, අලි ඔළුව හන්දිය සහ යැංකි විසංස්කෘතිය

‘ප්‍රංස නවරැල්ල’ වූකලි, අඩු වියදම් සහිත, වෘත්තීය නොවන නළු නිළියන් යොදා ගැනෙන, තේමාත්මක වශයෙන් නව වස්තු බීජ පාදක කර ගන්නා ලද, නව සිනමා රීතියකින් සමන්විත වූ සමාජ දේශපාලනික ව්‍යාපාරයකි. ඔවුන්ගේ සිනමා ආඛ්‍යානයට මුල, මැද, අග ආදි වශයෙන් වූ රේඛීය කතා ශරීරයක් නොතිබිණි.

 

මෙරට සිනමා කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ පාරිභාෂික වාග් මාලාවට ‘වම් ඉවුර’ යනුවෙන් අලුත් වාග් ව්‍යවහාරයක් එක් වූයේ 70 දශකයේ සිනමා ධාරාවේ එක් ප්‍රවණතාවක් ලෙස ය. එයට අඩු වැඩි වශයෙන් බලපෑවේ වාමවාදි උන්නතිකාමයක් ලෙස ප්‍රකට වූ ‘ප්‍රංස සිනමා නවරැල්ල’ ය.

අර්ධ ධනවාදි රාජ්‍යයක් ලෙස පැවැතුණු මෙරට ජනරජ ව්‍යවස්ථාව (1972) පවා, ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය’ යනුවෙන් හඳුන්වා දීමෙන්, එවක ජාතික දේශපාලනයේ අධිපති මතවාදවලට පවා බලපෑම් කරන ලද මෙරට වාමාංශික චින්තනය සමස්ත කලා සාහිත්‍ය කලාප දක්වා ව්‍යාප්ත වුණු ආකාරය දක්නා ලැබේ.

සැබැවින් ම වාමාංශික ප්‍රවණතාවක් ලෙස මේ දේශපාලනික විපරිවර්තනය අර්ථ ගැන්වීමට උත්සාහ ගත්ත ද, 70 සිනමා කලාවේ සිදු වූ සමාජ ප්‍රගතිකාරක මුහුණුවරින් යුක්ත ධාරාව, ‘මොන්ඩ්වාදි’ කාර්මික සාමයක ගති ලක්ෂණ පමණක් පිළිබිඹු කරන බව, අද වන විට ප්‍රකාශමාන වී තිබේ.

ප්‍රංස සිනමාවේ ‘වම් ඉවුර’

අලෙක්සොන්ද්‍රෙ අස්තෘ විසින් 1948 වර්ෂයේදී ප්‍රකාශිත ‘කැමරා පෑන’ (Camera Stylo - Camera Pen)සිනමා ව්‍යාකරණයෙන් කියැවුණේ ‘සිනමාකරුවා යනු ආලෝකයෙන් ලියන්නකු’ බව ය. එයින් පසු 1951 වර්ෂයේදි ආරම්භ කරන ලද ‘Cahiers Du’ සිනමා සඟරාව ඔස්සේ ජනප්‍රිය වූ තරුණ සිනමා පරපුර, ‘වම් ඉවුරේ සිනමාකරුවෝ’යනුවෙන් ලෝකය පුරා ප්‍රචලිත වූ හ. මෙකී ‘ප්‍රංස නවරැල්ල’ වූකලි, අඩු වියදම් සහිත, වෘත්තීය නො වන නළු නිළියන් යොදා ගැනෙන, තේමාත්මක වශයෙන් නව වස්තු බීජ පාදක කර ගන්නා ලද, නව සිනමා රීතියකින් සමන්විත වූ සමාජ දේශපාලනික ව්‍යාපාරයකි. ඔවුන්ගේ සිනමා ආඛ්‍යානයට මුල, මැද, අග ආදි වශයෙන් වූ රේඛීය කතා ශරීරයක් නො තිබිණි. ලිංගික තේමා, ගැහැනිය සහ පිරිමියා පිළිබඳ නව අදහස්, විරැකියාව පිළිබඳ ගැටලු, තරුණ දේශපාලනය වැනි නන්විධ වස්තු විෂයන් ‘ප්‍රංස නවරැල්ල’ විසින් ස්වකීය කේන්ද්‍රීය අවධානයට ලක් කරන ලදි.

1957-59 කාලාවකාශයට අයත් මි.මී. 16 චිත්‍රපට ලෙස ප්‍රකාශනයට පත් කෙරුණු ‘The 400 Blows’ (1959) ‘Hiroshima Mon Amour’ (1959) ‘Breathless’ (1960) නමැති සිනමා කෘති ත්‍රිත්වය ‘ප්‍රංස සිනමාවේ වම් ඉවුර’ සංකේතවත් කළ පුරෝගාමී නිර්මාණයෝ වෙති. මාක්ස්වාදි දේශපාලනික ආස්ථානයකින් පෝෂණය වූ මේ සිනමා රැල්ලේ ප්‍රමුඛයා වන්නේ ජින් ලුක් ගොදා ය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘My Life to Live’ (1962), ‘The Little Soldier’ (1963), ‘A Married Woman’ (1964) වැනි සිනමා කෘති, මෙහිලා වඩාලාත් අන්තර්ජාතික වශයෙන් අවධානයට පාත්‍ර වී තිබේ.

සැබැවින් ම ප්‍රංස සිනමා නව රැල්ල විසින් සාකච්ඡාවට භාජනය කරන ලද්දේ ප්‍රංසයේ සාම්ප්‍රදායික ජීවන අන්දරය, අමෙරිකානු නව දේශපාලනික මතවාදවලින් ආලෝලනයට ලක් කෙරෙන ආකාරය ය. සමාජීය වශයෙන් පිටස්තර චරිත ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද මේ සිනමාරූපී තරුණ ජන ජීවිත, වඩාලාත් අමෙරිකානු පන්නයට හැඩ ගැසෙන්නේ රොජේ වදිම් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘An God Created Woman’ (1956), ‘Barbarella’ (1968) වැනි සිනමා කෘතිවලිනි. ඒවා ලිංගික ජීවිතය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක් වූ සිනමා නිර්මාණ වේ. මෙලෙස ප්‍රංස සිනමාවෙන් නිරූපිත ‘නව රැල්ල’ 60 දශකය වන විට වියැකී යමින් තිබිණි. ඉන්පසු එහි ප්‍රවණතාත්මක ලක්ෂණ ජර්මනිය, බ්‍රිතාන්‍ය, පෝලන්තය, ජපානය, චෙකොස්ලෝවැකියාව වැනි රටවල් ඔස්සේ දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව වැනි රටවල් දක්වා ව්‍යාප්ත වී ගියේ ය.

දේශීය සිනමාවේ ‘වම් ඉවුර’

ප්‍රංස සිනමා නව රැල්ල පූර්වාදර්ශ කරගත් දේශීය සිනමාවේ ‘වම් ඉවුර’ ආරම්භ වූයේ 70 දශකයේ සිනමාවට සමගාමී ව ය. සුගතපාල ද සෙනරත් යාපාගේ ’හන්තානේ කතාව‘ (1969), රංජිත් ලාල්ගේ ‘නිම්වළල්ල’ (1970) වැනි නව සිනමා ප්‍රවේශයන් විසින් ඇති කරන ලද පසුබිමෙහි ලා ස්ථානගත වූ ධර්මසේන පතිරාජ ‘අහස් ගව්ව’ (1974) නිර්මාණය කරමින් ස්වකීය සිනමාත්මක අනන්‍යතාව සටහන් කළේ ය. එය දේශීය සිනමාවේ ‘වම් ඉවුර’ නම් වූ ප්‍රවණතාත්මක ධාරාව සංකේතවත් කළ පුරෝගාමී සිනමා කෘතිය බවට පත් විණි. අර්බුදකාරී දේශපාලනික පරිසරයක පරාරෝපිත තරුණයා පිළිබඳ දැක්ම ‘අහස් ගව්ව’ සිනමා කෘතියේ තේමාව ය. තත්කාලීන සමාජ සංස්කෘතිය ප්‍රශ්න කළ මේසා නිර්මාණශීලි රැඩිකල් පන්නයේ සිනමා කෘතියක්, එතෙක් සිංහල සිනමාවට උරුම වී තිබුණේ ද නැත.

එතැන් සිට ‘පොන්මනී’ (1977) ‘බඹරු ඇවිත්’ (1978), ‘පාරදිගේ’ (1980) ‘සොල්දාදු උන්නැහේ’ (1981) වැනි නූතනවාදි තේමා පාදක කරගන්නා ලද කෘති නිර්මාණ කරමින්, විචාරකයන් විසින් උත්කර්ෂණයට ලක් කෙරුණු ශ්‍රී ලාංකික ‘වම් ඉවුරේ’ සිනමාව, ධර්මසේන පතිරාජ විසින් තවදුරටත් පෝෂණය කරන ලදි. ‘පොන්මනී’ දෙමළ භාෂිත සිනමා කෘතිය ඔහු නිර්මාණය කළේ යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටින අතරේ ය. දේශීය ‘වම් ඉවුර’ සිනමාවේ පුරෝගාමින් ලෙස සැලකෙන්නේ ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර සහ ධර්මසිරි බණ්ඩාරනායක නම් වූ පුද්ගල ත්‍රිත්වය ය. ‘වෙස්ගත්තෝ’ (1970) ‘වල්මත්වූවෝ’ (1976) ‘දියමන්ති’ (1977) ‘පළගැටියෝ’ (1979 ) ‘දඩයම’ (1983) ආදි වශයෙන් වසන්ත ඔබේසේකර ද, ‘හංසවිලක්’ (1980) ‘තුන්වැනියාමය’ (1983) ‘සුද්දිලා ගේ කතාව’ (1984) ආදි වශයෙන් ධර්මසිරි බණ්ඩාරනායක ද, පූර්වෝක්ත වම් ඉවුරේ සිනමාවට දායක වෙමින් ස්වකීය අනන්‍යතා සටහන් කළහ.

වස්තු විෂය විසින් විවිධාංගිකරණයට ලක් කෙරුණ ද තේමාත්මක වශයෙන් මූලික රීතියට අනුගත ව මේ සිනමා ධාරාව දශක දෙකක් පමණ තිස්සේ වර්ධනය වී තිබෙන බව පෙනී යයි.

අනෙක් අතට, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, ගාමිණී ෆොන්සේකා, මහාචාර්ය සිරි ගුනසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, එච්.ඩී. ප්‍රේමරත්න, වයි. එන් හේවාවසම්, පරාක්‍රම නිරිඇල්ල වැන්නන් ද, වම් ඉවුරේ සිනමාවට අනන්‍ය ව අඩුවැඩි වශයෙන් සිනමා කෘති නිර්මාණය කර ඇතත්, කිසිවිටකත් ඔවුන් වම් ඉවුරේ සිනමාකරුවන් ලෙස සැලකෙන විචාරවේදයක් අප රටේ තිබී නැත. එය සුවිශේෂ ය.

එසේ ද වුවත්, සිංහල සිනමාවේ ‘නව රැල්ල’ නමින් නව ප්‍රවණතාවක් අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර ආදින්ගේ සිනමාගමනයත් සමඟ හඳුනා ගැනෙන අතර, එය ඇතැමුන් විසින් හැඳින්වෙන්නේ ‘දෙවැනි කැරැල්ල’ වශයෙනි. ඒ අනුව ‘ප්‍රථම කැරැල්ල’ වන්නේ ධර්මසේන පතිරාජ විසින් ආරම්භ කරන ලද ‘වම් ඉවුරේ’ පුරෝගාමි ප්‍රවේශය ය.

අශෝක හඳගම විසින් ආරම්භ කරන ලද දෙවැනි පරපුරේ සිනමා නිර්මාණාවලියට, සෘජු ව අන්තර්ගත වූයේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර තේමා ලෙස ප්‍රකට කාන්තා විමුක්තිය, පුරුෂෝත්තමවාදය, සමලිංගිකත්වය, යුද ප්‍රචණ්ඩත්වය, ගබ්සාව වැනි සමාජ ප්‍රවණතාත්මක වස්තු විෂයන් ඔස්සේ නිරූපිත, ‘කැමරා පෑනෙන් ලියන ලද’ බහුවිධ නව ලිබරල්වාදි සිනමා සාහිත්යික ප්‍රති රචනා ය. එසේ ම ඒවා විදේශීය විශේෂ සිනමා උලෙළ සඳහා ම නිෂ්පාදිත වට්ටෝරුගත නිර්මාණයෝ වෙති.

වර්තමානය වන විට එය, විසාකේස චන්ද්‍රසේකරම් වැන්නන්ගේ සංක්‍රාන්තික ලිංගික්තවය වැනි තේමා දක්වා මේ වම් ඉවුරේ සිනමාව, විස්තීර්ණ වශයෙන් ව්‍යාප්ත වී තිබේ. මේ අනුව දේශීය සිනමාවේ වම් ඉවුර සංකේතවත් කළ, ධර්මසේන පතිරාජ දියත් කරන ලද ‘ප්‍රථම සිනමා කැරැල්ල’ වාමාංශික සමාජ පසුබිමකින් ද, අශෝක හඳගම විසින් දියත් කරන ලද ‘දෙවැනි සිනමා කැරැල්ල’ නව ලිබරල්වාදී සමාජ පසුබිමකින් ද, උත්පාද වී ඇති බව පෙනේ.

කලින් කලට ඇති වන කලාත්මක ප්‍රවණතාවලට සමාජ උපරි ව්‍යූහයේ බලපෑම්, එක්තරා ආකාරයක කාලීන යථාර්ථයකි. මෙලෙස 70 දශකයෙන් ආරම්භ වන ලාංකික සිනමාවේ ‘වම් ඉවුර’, දෙදහසින් පසු යැංකි පන්නයේ අමෙරිකානු නව ලිබරල්වාදි මුහුණුවරකට විපරිණාමය වී තිබෙන්නේ ඇයි?

අලි ඔළුව හන්දිය

නව සහස්‍රකයේ එළැඹීමත් සමඟ මෙරට සිදු වෙමින් තිබෙන ඇතැම් සමාජ අවගමන පිටුපස, වම් ඉවුරේ ඊනියා සිනමාකරුවෝ ද සිටිති. නිදර්ශනයක් වශයෙන් වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ මෙරට පැතිරී ගිය, කොටි සංවිධානයේ ම්ලේච්ඡත්වයට උඩගෙඩි දුන් සිංහල බෙදුම්වාදි දේශපාලනය, න්‍යායාත්මක ව වර්ධනය කිරීමට, ඔවුහු අප්‍රමාණ වෙහෙසක් ගත්හ. කියවන්න:

“යුද්ධය දිනීමෙන් මෙපිට කිසිදු මානුෂික සාධකයක් ඔහුගේ න්‍යාය පත්‍රයට ඇතුළත් නැහැ. ප්‍රභාකරන් කියන සාධකය මුළු ලෝකයේ ම සුවිශේෂ දේශපාලන චරිතයක් වන්නේ එහෙමයි. මේ අරගලය තුළ මේ රටේ සමස්ත දෙමළ ජනයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙන්න පටන් ගන්නවා.

මේ සියලු දේට ඔහු සදාචාර සීමාවල්, මානුෂික සීමාවල් පදනම් කරගත්තේ නැහැ. මේ සියලු සාධකවලට අනුව ප්‍රභාකරන් කියන්නේ ලංකාවේ දේශපාලනයේ සුවිශේෂ චරිතයක්.”

- අශෝක හඳගම / බලය - 2005 මාර්තු/අප්‍රේල්

අශෝක හඳගම විසින් දක්වනු ලැබ තිබෙන ඉහත සඳහන් අදහස් කිසිවිටක ‘වම් ඉවුරේ’ යයි සම්මත සිනමාකරුවකු ගෙන් කිසි දා අපේක්ෂා කළ හැකි නො වේ. අශෝක හඳගම විසින් ප්‍රකාශිත මේ දුෂ්ට අදහස, අඩු වැඩි වශයෙන් ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වැනි දේශීය ‘වම් ඉවුර’ සිනමාවේ පුරෝගාමියෝ ද, ඊනියා දෙවැනි කැරැල්ලේ තරුණ සිනමාකරුවෝ ද, විවිධාකාරයෙන් අනුමත කළහ.

ඒ අනුව පැහැදිලි වන්නේ, US Aid, බටහිර රාජ්‍ය නොවන සංවිධාන, බටහිර තානාපති කාර්යාලවල අගුපිල් අස්සේ ලගිමින්, මිනිස් ඝාතන සහිත ම්ලේච්ඡ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් සිටි මෙරට ඊනියා ‘වම් ඉවුරේ සිනමාකරුවන්ට’ බලපා තිබෙන්නේ ප්‍රංස සිනමාවේ නව රැල්ලේ ‘වම් ඉවුර’ නො ව, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ, අලි ඔළුව හන්දියේ ‘වම් ඉවුර’ බව ය.

ගල්ඔය වම් ඉවුර

1949 වර්ෂයේදී ඩී.එස්. සේනානායකගේ අනුශාසකත්වයෙන්, බ්‍රිතාන්‍ය - අමෙරිකානු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ, යෝජිත සේනානායක සමුද්‍රයෙන්, අලුතින් ඇති කරන ලද ගම් ඒකක 43කට අයත් අක්කර 120,000ක් වගා කිරීම සඳහා ජලය නිකුත් කිරීම, ප්‍රමුඛ අරමුණ සේ ප්‍රචාරය කර තිබිණි.

ඒ සඳහා මිශ්‍ර ජන පදනමක් ලෙස උඩරටින් සිංහල ජනතාව ද, නැගෙනහිරින් දෙමළ සහ මුස්ලිම් ජනතාව ද, වෙනත් ප්‍රදේශවලින් සෙසු ජනතාව ද, ආදි වශයෙන් ගල්ඔය ප්‍රදේශයේ 5000කට අධික ජනතාවක් පදිංචි කරනු ලැබිණි.

1848 වෙල්ලස්සේ කැරැල්ලෙන් පසු ඉතුරු වුණු ජන කොටස් පදිංචි ජනාවාස සහිත ප්‍රදේශය

නවීකරණයෙන්, සාම්ප්‍රදායික සිංහල ගම් වැනසීමත්, ජාතිවාදය වැපිරීමත්, ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ යටි අරමුණ ය. අලි ඔලුව හන්දියෙන් ඇරැඹෙන ගල්ඔය යෝජනා ක්‍රමයේ වම් ඉවුරේ ඉහළ කොටස, සිංහල ජනතාව සඳහා ද, පහළ කොටස දෙමළ සහ මුස්ලිම් ජනතාව සඳහා ද, වෙන් කරන ලද්දේ, පහසුකම් අඩු වැඩි වන පදනම සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව වැඩි පහසුකම් සහිත ඉවුරු ප්‍රදේශය සිංහලයන් සඳහා වෙන් කරන ලදි.

‘අලි ඔළුව හන්දිය’ යනු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය සංකේතවත් කෙරෙන කදිම රූපකයකි. වර්තමානය දක්වා ව්‍යාප්ත වී තිබෙන උතුරේ අර්බුදය සහ කොටි ත්‍රස්තවාදය නිර්මාණය කිරීමේ මහමොළකරුවන් අයත් වන්නේ ද එක්සත් ජාතික පක්ෂයට ය.

අමෙරිකාවේ Tennessee Valley Project ව්‍යාපෘතියට අනුව, අමෙරිකානු ආධාර සහිත ව ආරම්භ කර, අමෙරිකානු සමාගම් විසින් ම බඳින ලද වේල්ල සහිත ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය, පසුව උතුරේ ත්‍රස්තවාදය ඇති කිරීම සඳහා සෘජුව දායකත්වය සපයා තිබෙන බව පෙනී යයි.

ගල්ඔය කෝලාහල

උතුරේ කොටි ත්‍රස්තවාදයට බලපෑ බෙදුම්වාදි දේශපාලනික ඉතිහාසයේ විවිධ කලු පැල්ලම් අතර ගල්ඔය කෝලාහල සුවිශේෂ ස්ථානයක් ගනී. බණ්ඩාරනායක ආණ්ඩුව විසින් 1956 වර්ෂයේදී සිංහල භාෂා පනත සම්මත කරගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් රට පුරා ඇවිළී ගිය ජාතිවාදී කෝලාහලවල මූලික සිදු වීම් මාලාව, ගල්ඔය ගොවි ජනපදයෙන් ආරම්භ වී තිබේ.

මේ සඳහා මුල් වූ ප්‍රධාන පුද්ගලයකු වූයේ කේ. එම්. පී. රාජරත්න ය. මහජන එක්සත් පෙරමුණෙන් වැලිමඩ ආසනයට තරග කර 1956 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ සිංහල ජාතිවාදියකු වූ කේ. එම්. පී. රාජරත්න, භාෂා පනතේ තිබුණු දෙමළ භාෂා විධි විධාන පිළිබඳ වගන්තිය ඉවර කරගැනීම සඳහා උපවාස කරමින් ද, ඉන්පසු ෆෙඩරල්වාදි එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ මූලිකත්වයෙන් යුක්ත ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂය කොළඹ ගාලුමුවදොර පිට්ටනියේ පවත්වන ලද සත්‍යග්‍රහයට පහර දෙමින් ද, දෙමළ බෙදුම්වාදය පෝෂණය කළ අයෙකි. ඉන්පසු බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඉවත් වූ රාජරත්න, 1957 වර්ෂයේදී ජාතික විමුක්ති පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, 1965 වර්ෂයේදි එක්සත් ජාතික පක්ෂයට එක් වූයේ ය. මෙයින් පෙනී යන්නේ රාජරත්න යනු ආරම්භයේ සිට ම එක්සත් ජාතික පක්ෂයේ බෙදුම්වාදි දේශපාලනයට බැල මෙහෙවරකම් කළ දේශද්‍රෝහියකු බව ය. ඔහු ගේ දේශපාලන ජීවිතයේ අවසන් සමය ගෙවී ගියේ සිහළ උරුමය පක්ෂයට (2001) සම්බන්ධ වීමෙනි.

ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ වාහන යොදා ගනිමින් සිදු කරන ලද ‘ගල්ඔය කෝලාහල’ නිසා මියගිය දෙමළ ජන සංඛ්‍යාව 200ක් පමණ වන බව ‘Howard Higgins and Manor’ අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. “ගල්ඔය සංවර්ධන මණ්ඩලයෙන්, සිංහල භාෂා පනතටත් වඩා දෙමළ ජනතාවට අසාධාරණයක් වුණා” යනුවෙන් පසුව චෙල්වනායගම් මහතා ප්‍රකාශ කර තිබිණි. කෙටි කාලයකින් අසාර්ථක වූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය, පසුව US Aid ආධාර ක්‍රමය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලදි.

 

සිනමාවේ දෙවැනි කැරැල්ල

අශෝක හඳගමගේ මූලිකත්වයෙන් නිර්මාණය කෙරුණු නව ශ්‍රී ලාංකික තරුණ සිනමාව, 70 දශකයෙන් ආරම්භ කරන ලද ‘වම් ඉවුර’ අමෙරිකානු යැංකි දේශපාලනය හා සම්බන්ධ කළ ව්‍යාපෘතියක් බව පෙනී යයි. ප්‍රංස ‘වම් ඉවුර’ සිනමාව අමෙරිකානුකරණයට ලක් කරන ලද ආකාරයත්, ගල්ඔය ‘වම් ඉවුර’ US Aid ආධාර ක්‍රමය යටතේ අමෙරිකානුකරණයට ලක් කරන ලද ආකාරයත්, සලකා බලන කල්හි, දේශීය ‘වම් ඉවුර’ සිනමාව, අමෙරිකානුකරණයට ලක් කිරීම තාර්කික ය.

‘මේ මගේ සඳයි’ (2000), ‘තනි තටුවෙන් පියාඹන්න’ (2002), ‘අක්ෂරය’ (2005), ‘ඔබ නැතුව ඔබ එක්ක’ (2012), ‘ඇගේ ඇස අග’ (2015) මූලික වශයෙන් ද, ‘ඉනි අවන්’ (2012) නම් වූ ‘පොන්මනී’ වර්ගයේ දෙමළ භාෂිත සිනමා නිර්මාණය ද්විතියික වශයෙන් ද, අධ්‍යක්ෂණ කළ අශෝක හඳගම, US Aid ආධාර ක්‍රමය යටතේ වාර්ගිය ගැටුම් සඳහා වීඩියෝ නිෂ්පාදන සිදු කර තිබේ.

මෙලෙස අව වර්ධනයට ලක් වී තිබෙන දේශීය ‘වම් ඉවුර’ අද වන විට විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘සයපෙති කුසුම‘ (Frangipani - 2014), මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’ (2018) ආදි වශයෙන් යැංකි

විසංස්කෘතිකකරණයට ලක් වෙමින් තිබෙනු දක්නා ලැබේ. මෙකී අව වර්ධනයෙහි අතුරු නිෂ්පාදනයක් ලෙස, දේශීය ‘වම් ඉවුර’ සුනිල් ටී. ප්‍රනාන්දු වැනි වාණිජ ගෝත්‍රවාදි නිෂ්පාදකයන් සමඟ ද සම්බන්ධතා පවත්වන තරමට, ගරා වැටී තිබේ.

අවසාන වශයෙන් කිය හැකි වන්නේ, දේශීය ‘වම් ඉවුර’ නමින් සිනමා කෘති කිහිපයක් පවතිනු විනා, ‘වම් ඉවුර’ නමින් සිනමාකරුවන් පිරිසක් නො සිටින බව ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.