හෙවණැලි ඇද මිනිස්සු එකම තැනක රැඳවීම ගැටලුවක් | සත්මඬල

හෙවණැලි ඇද මිනිස්සු එකම තැනක රැඳවීම ගැටලුවක්

මෑත කාලීන ලාං‍කේය නවකතාවේ ස්වර්ණමය අවධිය කුමක් දැයි යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර පැහැදිලි ය. එක්කෝ ඒ 1960 දශකයයි. නොඑසේ නම් 1970 දශකයයි. කෙසේ නමුදු මේ පිළිතුර නිසැක වශයෙන්ම ගැට ගැසෙන්නේ අතීනානුස්මරණ වුවමනා සමඟිනි. විටෙක මෙය අනිතකාමී වර්තමාන කියැවීම් කරා ද ගමන් කරයි. වඩා විවෘත හා පුළුල් දැක්මකින් යථොක්ත ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී වර්තමානය ද ලාංකේය නවකතාවේ ස්වර්ණමය අවධියක් සේ හඳුනා ගත නොහැකි නොවේ.

මෙයින් කියැවෙන්නේ ‍මෑත කාලීන නවකතාව හැම විටම වර්ධනීය ලක්ෂණ නොයෙක් අන්දමින් ප්‍රකාශයට පත් කළ බව යැයි වරදවා වටහා නොගත යුතු ය. ඇත්ත වශයෙන්ම කාලානුරූපව හා විෂයානුබද්ධව මෑත කාලීන ලාංකේය නවකතාවේ පසුබෑම් ද විද්‍යමාන වන වග නොරහසකි. සාහිත්‍ය විචාර කතිකා මෙතැනදී ඉටු කරන කාර්යභාරය සුවිශාල ය. එනමුත් මේවා හා වර්තමාන ලාංකේය නවකතාව අතර ගොඩනැ‍ඟෙන භාවාත්මක සබඳතා විටෙක විසල් කියැවීම් සඳහා උචිත අනුග්‍රහයක් ලබා නොදෙයි.

1960 දශකයේ ලාංකේය නවකතාව නිර්මාණාත්මකව හා විවාදාත්මකව පෙරට ආ ආකාර කිහිපයකි. ‘පේරාදෙණි සාහිත්‍යය’ ඉන් ප්‍රමුඛත්වයක් ගනී. වර්තමානයේදීත් ‘පේරාදෙණි සාහිත්‍යයේ ප්‍රතිවිවරණයට එළැඹෙන පර්යේෂකයන් ද, විචාරකයන් ද, විද්‍යාර්ථීන් ද වරින් වර වුව හමුවේ. ඔවුන් විසින් ‘පේරාදෙණි සාහිත්‍යය’ අරභයා ගෙන එනු ලබන නව ආකල්ප ඒ පිළිබඳ විකල්ප කියැවීම් සඳහා සානුබල සපයන වග නොඅනුමාන ය. කොහොමත් මෑත කාලීන ලාංකේය නවකතාවේ හැඩරුව හා ගුණඅගුණ විනිශ්චයට පැමිණෙන කිසිවකුටත් 1960 දශකයේ තතු සලකා බලන්න නිරනුමානව ම සිදුවේ.

1960 දශකයේදී ප්‍රකාශිත විචාරක හා විද්වත් පාඨක අවධානයට ලක් වූ හැම නවකතාවක්ම උක්ත ‘පේරාදෙණි සාහිත්‍යය’ට අයත් නොවන බව සැබෑ ය.

එහෙත් 1960 දශකයේ ලාංකේය නවකතාව මෙදවස කරා රැගෙන එන ප්‍රමුඛත ම පාර්ශ්වය නියෝජනය කරන්නේ ‘පේරාදෙණි සාහිත්‍යය’ය යන්න රහසක් නොවේ. එක අතකට 1960 දශකයේ ලාංකේය නවකතාව, ‘පේරාදෙණි සාහිත්‍යය’ විෂයෙහි පිළිබිඹු වන වගද පෙනේ.

සිය මුල් ම නවකතා 1950 හා 1960 යන දශක ද්විත්වයේදී ප්‍රකාශයට පත් කළ නවක හා තරුණ නවකතාකරුවන් කිහිප දෙනකුම පසුකාලීනව විශිෂ්ටයන් බවට පත් වූ අන්දම විචාරක අවධානයට නිරතුරුවම පාත්‍ර වන කාරණයකි. මෙයින් ඇතැම් නවකතාකරුවකු පසු කාලීනව නවකතාවෙන් හා පොදුවේ සාහිත්‍යයෙන් පරිබාහිරව ද කැපී පෙණුනු බව නිසැක ය. ගුණදාස අමරසේකර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හේමරත්න ලියනාරච්චි ඉන් කිහිප දෙනෙකි. සුනන්ද්‍ර මහේන්ද්‍ර ද මැල් අද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මෙතැනට කැඳවිය යුත්තේ තරමක වෙනස් ආකාරයකිනි. 1960 දශකයේදී නවකතාකරණයට බට ඔහු වර්තමානයේදී ද නවකතාකරුවකු සේ විචාරක - පාඨක අබියසට පැමිණෙයි. අද ඔහුව වැඩිදුරටත් අගයන්නේ මුල් පෙළේ ජනමාධ්‍ය ගුරුවරයකු ලෙස ය. ජනමාධ්‍ය අධ්‍යයනයට ඉහළ ප්‍රමිතියක් ලබා දෙනුවස් ඔහු කළ කී දෑ අප්‍රමාණ ය. එක අතකට මේ යම් හුදෙකලා වෑයමක ප්‍රතිඵල ද වේ.

නවකතාකරණයෙහිලා පසුකාලීනව නා නා සමත්කම් දැක්වූ ඇතැම් නවකතාකරුවන් සිය මුල් සමයේදී පෙන්වූ නව්‍යතාව විචාරක පාර්ශ්වයේ සේම විද්වත් පාඨකයන්ගේ ද අවධානයට ලක් වන වාර ඉඳහිට වුව දක්නට ලැබේ. මෙතැන නව්‍යතාව පමණක්ම රජයන බව පැවැසීම නිරවද්‍ය නො වේ. ඇත්ත වශයෙන්ම නව්‍යතාව ද සහිත විවාදාත්මක බවක් මෙහිලා හඳුනා ගත හැක්කකි. අඩ සියවසකට පමණ පසු එබඳු නවකතා ප්‍රතිවිවරණයේදී පැවසෙන්නේ ඒවා ඒ සමයටම පමණක් සීමා කළ නොහැකි බව ය.

සුනන්ද්‍ර මහේන්ද්‍ර ද මැල්ගේ නවකතා ද්විත්වයක් මෙතැනට ගළපා ගත හැක්කේ, කිසිදු ආයාසයකින් තොරවයි. මේ ‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ හා ‘එය මෙසේ සිදු විය’ යන නවකතා ය. ‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ වර්ෂ 1968 පෙබරවාරියේදී ප්‍රකාශයට පත් කෙරිණි. ‘එය මෙසේ සිදු විය’ ප්‍රකාශයට පත් වූයේ වර්ෂ 1967 ජනවාරියේ ය. මේ පශ්චාත් සංකථනයේ පළමු පියවරේදීම සනාථ කරගත හැක්කේ ‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ හා ‘එය මෙසේ සිදු විය යන නවකතා ද්විත්වයම සමකාලීන ‘පේරාදෙණි සාහිත්‍යය’ යටතට ගැනෙන බවයි. කෙසේ වතුදු ‘කරුමක්කාරයෝ’ . ‘දෙපා නොලද්දෝ’ , ‘යළි උපන්නෙමි’, ‘පාදඩයකුගෙන්’, ‘හෙට එච්චර කළුවර නෑ’ යන ‘පේරාදෙණි සාහිත්‍යය’ට අයත් නවකතා තරමටම ‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ හා ‘එය මෙසේ සිදු විය’ යන නවකතා විවරණයට විචාරක පාර්ශ්ව ද, ප්‍රතිචාර දැක්වීමට විද්වත් පාඨක පාර්ශ්ව ද නොපැමිණියේ යැයි ද සිතේ. මෙහිලා සිදු කෙරෙන්නේ එබඳු ඌනතාවක් සිදු වූයේ නම් එය අඩසියවසකට පසුව මඟ හරවා ගැනීමේ කාර්යයක් නො වේ. මේ නවකතා ද්විත්වයෙන් නිරූපිත විවාදාත්මක කාරණා කිහිපයක් වර්තමානය මත තබා ප්‍රතිවිවරණයට ය.

‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ , හා ‘එය මෙසේ සිදු විය’ යන නවකතා ද්විත්වයට සමකාලීනව ප්‍රකාශිත පෙර දැක්වූ නවකතා විචාර ප්‍රතිචාර සඳහා ලක් වූයේ වරෙක නිර්දය ආකාරයෙනි. තවත් වරෙක පූර්ණ හෝ අර්ධ එකඟතා සහිතව ය. සපුරා බැහැර කළ අවස්ථා ද නොතිබුණාම නො වේ. එසේම මේ නවකතා බොහොමයක් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචිතව තිබූ බව අමතක නොකළ යුතු ය. ඒ ඔස්සේ නිශ්චිත පුද්ගලයකුගේ සිතිවිලි ඔහුගේ කල්පනා ලෝකය හරහා ප්‍රකාශයට පත් කෙරිණි. සම්මත හා විදග්ධ ලේඛන රීති මෙතැනදී ප්‍රමාණවත් නොවීම තර්කානුකූල ය. සම්මත වියරණය ද මෙහිලා බාධාකාරී වන්න ඇත. කටවහරට වඩා සමීප වීම විෂය වූ පුවතේ හෝ සිදු වීම් ආදියේ ඉල්ලීමක් විය. අප කතුවරයා නම් න-ණ-ල-ළ භේදය සපුරා බැහැර කළ බව පෙනේ. සිය ප්‍රථම නවකතාව වන වර්ෂ 1964දී ප්‍රකාශිත ‘හෙවනැලි ඇද මිනිස්සු’ හිදී ද ඔහු අනුගමනය කළේ එබඳුම පිළිවෙතකි. මේ අතින් ඔහුගේ නවකතාකරණය මහාචාර්ය සිරි ගුනසිංහගේ හා ජී. බී. සේනානායකගේ කාව්‍යකරණය හා ගොඩනඟා ගෙන ඇත්තේ සමීප සම්බන්ධයකි.

නවකතා සඳහා මෙන් ම වෙනත් නිර්මාණ කාර්යයන් සඳහා ද බොහෝ දුරට ම මූලික වන්නේ තරුණ චරිතය යන්න මුසාවක් නොවේ. එනමුත් සිනමාව බඳු නූතන ප්‍රකාශන මාධ්‍යයකට සාපේක්ෂව නවකතාවේ තරුණ චරිත ම මූලික නොවන අවස්ථා පවතී. 1960 දශකයේ මුල් පෙළේ නවකතා ද මේ ලක්ෂණයෙන් මුළුමනනින්ම විනිර්මුක්ත නැත. මෙතැනදී අප කතුවරයා තරමක් දුරට හෝ කැපී පෙනෙන්නේ ගැටවර වියේ චරිත මුල් කරගන්නා නිසාවෙනි. මෙතැනදී වැඩිදුර කරුණු නොවිමසන ‘හෙවනැලි ඇද මිනිස්සු’ හි වික්ටර් මුලදී උසස් පෙළ පාසල් ශිෂ්‍යයෙකි. ‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ හි වීරසිංහ ද, ‘එය මෙසේ සිදු විය’ හි කරුණාපාල ද උසස් පෙළ ශිෂ්‍යයන් ය.

වික්ටර් සේම වීරසිංහ හා කරුණාපාල ද ඇතුළු හදට ගුලි වූ චරිත සේ ඉදිරිපත් කෙරේ. මෙහිදී ඔවුන්ගේ සිතිවිලි නිර්බාධිතව සටහන් කරන්න කතුවර සුනන්ද මහේන්ද්‍ර ද මැල් දක්වන මනාපය ඉමහත් ය. පූර්වයෙහි සඳහන් කළ පරිදි ඔහු සම්මත වියරණයට ම අනුගත නොවෙයි. කටවහරට බොහෝ සෙයින් ළං වෙයි. එකම ජේදයක පවා මේ දෝලනය දත හැකි ය. එසේම එකම ඡේදයක එකම කරුණ දෙතැනක - විටෙක එකම ආකාරයකින් ද සටහන් වූ අවස්ථා පවතී. මේ කිසියම් අත්වැරදීමක් ද යන්න සැක සහිත ය. විචාර කාර්යයන්ට හසුවන්නේ මෙතැන කතුවරයාගේ අභිමතය අවධාරණය වන සැටියකි. ලේඛන විලාසයට අනුව මෙය නොපෑහීමක් සේ නොපෙනේ. එ දවස මුද්‍රණ කටයුතු සිදු කළ අන්දම ද මේ දවසේදී සැලකිල්ලට ලක් කිරීම ප්‍රඥාගෝචර ය.

‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ හා ‘එය මෙසේ සිදු විය’ හි එන විවාදාත්මක පිවිසුම එක ම ආකාරයක් ගනී. එනම් වීරසිංහ හා කරුණාපාල යන ගැටවරයන්ගේ ලිංගිකත්ව නිරූපණයට අදාළව ය. පැහැදිලිවම මේ වික්ටර්ගේ චරිතයේ එන ලිංගිකත්ව නිරූපණය අභිභවා යෑමකි. වික්ටර් හමුවන ‘හෙවනැලි ඇද මිනිස්සු’ කතුවරයා අතින් ලියැවුණේ ‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ හා ‘එය මෙසේ සිදු විය’ ලියැවීමට පෙරාතුවය යන්න ද මෙතැනදී සලකා බැලිය යුතු කාරණාවකි.

වීරසිංහ උසස් පෙළ විභාගයට පාඩම් කරන්නේ මිතුරු සෙනරත්ගේ නිවෙසේ සිට ය. ඔවුන්ට අවැසි පහසුකම් සලසා දෙන්නී සෙනරත්ගේ වැඩිමහලු සොයුරිය චිත්‍රා ය. ඈ ඔවුන්ට වඩා වසර පහකින්වත් වැඩිමහලු බව කතුවරයා පවසයි.

චිත්‍රා නිතර රෝගී වන, වීරසිංහ මෙන් ම ඇතුළු හදට ගුලි වන යුවතියකි. ජීවිතය දෙස ඈ බලන්නේ අසාර දැක්මකිනි. ප්‍රේමය, විවාහය හා දරුවන් වැදීම සම්බන්ධයෙන් ඈ තුළ බලාපොරොත්තු නැති හැඩ ය. කෙසේ නමුදු වීරසිංහ හා චිත්‍රා අතර ගොඩනැ‍ඟෙන සුහද සමාගමකි. හරියට පොරොන්දම් සියල්ල ගැළපුණා වැනි ය. කෙමෙන් මේ සමාගමය පෙම් සබඳතාවක් දක්වාම ගමන් කරයි. මෙහි කෙළවර ශෝචනීය වූවකි. එක්කෝ මොවුනතර ‘වයස් පරතරය නිසා ය. නැත හොත් දෙදෙනාම තවමනට මනාප විරුද්ධ ලිංගිකයන් කෙරෙහි උනන්දු නොවන නිසා ය. අවසානදී සිදු වන්නේ අන්පුරුෂයකු හා විවාපත් වන චිත්‍රා අකාලයේ මරු වැලඳ ගැනීමයි.

‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ පිළිබඳ මේ ආවර්ජනාත්මක විමසුමට මෙ පුවත වැදගත් වන්නේ පවත්නා පිළිගැනීම් හමුවේ වීරසිංහ තුළ චිත්‍රා අරභයාත්, චිත්‍රා තුළ වීරසිංහ අරභයාත් උපන් ප්‍රේමණීය හා රාගික හැඟීම් නිසා ය. කතුවරයා මෙතැනදී අතිශය ප්‍රවේශම් සහගතව හැසිරෙයි. සිය පාඨකයා දැනුම්වත් සහෘදයකු සේ සැලකීම ඔහුගේ එක් අරමුණකි. එසේම මෙසමයේ ප්‍රකාශිත ‘පේරාදෙණි සාහිත්‍යය’ යන්න එක් කළ හැකි මුල් පෙළේ නවකතාවල ද පවත්නා පිළිගැනීම් බැහැර කළ ස්ත්‍රී පුරුෂ ප්‍රේමණීය හා රාගික සබඳතා නිරූපණය කොට තිබිණි.

ගැටවරයන් හා තරුණයන් වැඩිමහලු ස්ත්‍රීන් කෙරෙහි ආසක්ත වීම සම්බන්ධයෙන් වූ නිර්මාණ කාර්යයන් හැම ක්ෂේත්‍රයකදීම හමුවේ. කීර්තිධර සිනමාකරු ක්‍රිස්ටොත් කියලොව්සිකිගේ ‘අ ෂෝර්ට් ෆිල්ම් අබවුට් ලව්’ එයට මාහැඟි උදාහරණයකි. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ද මේ තේමාවට ගළපා ගත හැකි සිනමාපටයක් වේ.

මෙහිලා කතුවරයා 1960 දශකයේ නාගරික සබඳතා සහිත තරුණ හා ගැටවර පරපුර පිළිබඳ කෙරෙන කියැවීම මේ සමයේදී චමත්කාරයක් ද දනවයි. මේ දවස තරුණයන්ට වඩා එදවස තරුණයන් සිය ජීවිත ඉහළින්ම වින්දනයට සමත් වූ බවයි ඉන් අදහස් කෙරෙන්නේ. ඔවුහු රිසි සේ පෙම් කරති. න්‍යායික සබඳතා ද පවත්වති. වයස් භේද ඔවුන්ට ගෝචර නොවන සැටියකි.

කතුවරයා මෙතැනදී සිය පාඨකයන්ට ‘හෙවනැලි ඇද මිනිස්සු’ද සිහිපත් කරවයි. ‘හෙවණැලි ඇද මිනිස්සු’ හි එන තරුණ වික්ටර් සිය වැඩිමහලු සොහොයුරා වන ජස්ටින්ගේ බිරිය පියවතී කෙරෙහි දක්වන දයාව තුළ ප්‍රේමයේ ලක්ෂණ ද පවතී.

කතුවරයා අනුදත් මේ සුපුරුදු නොවන ප්‍රේමණීය හා ලිංගික සබඳතා උත්කර්ෂයට නැංවෙන්නේ ‘එය මෙසේ සිදු විය’ හිදී යි. උන්ප්‍රාසාත්මක කාරණය වන්නේ ‘එය මෙසේ සිදු විය’ ප්‍රකාශයට පත් වන්නේ ‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ට ප්‍රථම වීම ය. එනම් වර්ෂ 1967දී ය. එසේ වුව ද ‘එය මෙසේ සිදු විය’ හා ‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ යන නවකතා යුළන්, ‘හෙවණැලි ඇද මිනිස්සු’ න් එකම තලයක රඳවා තැබීම නුසුදුසු නොවේ.

‘එය මෙසේ සිදු විය’ හි එන කරුණාපාල ද, වීරසිංහ හා වික්ටර් මෙන් ම ඇතුළු හදට ගුළි වූවෙකි. ඔහු තරමක් රෝගී ය. කාය ශක්තියක් එපමණ නැති හැඩ ය. තරුණ වියේදී කිසියම් වියපත් පෙනුමක් ඔහුට තිබූ බව කතුවරයා නොසඟවා පවසයි. මෙයින් කියැවෙන්නේ කරුණාපාල සමකාලීන නාගරික තාරුණ්‍යයේ ජව සම්පන්න බව එලෙසින් ම ප්‍රකට නොකළ බව ය.

පාසල් වියේදී සේම ඉනික්බිතිව ද කරුණාපාලගේ ප්‍රේමයට බඳුන් වන කමලා පවා තරමක ගුප්ත චරිතයක් සේ හඳුන්වා දීමට කතුවරයා උත්සුක වී ඇත. කමලා ද නොයෙක් අතෝරවලට මුහුණ දුන් එකියකි.

පවත්නා පිළිගැනීම් විෂයෙහි අශිෂ්ට යැයි සලකන කාරණා කතුවරයා විසින් කමලා හරහා ගෙන එනු ලබන්නේ එදවස කෙසේ වතුදු මෙදවස පාඨකයා තිගස්සවමිනි. ස්ත්‍රී සමකාමී සබඳතා පිළිබඳ සඳහන එබන්දකි. කතුවරයා පුරුෂ ස්වයං වින්දනයට අදාළ කරුණාපාලගේ අත්දැකීම් ගෙන හැර පාන්නේ ද කමලා බැහැර නොකරමිනි. දුම්රිය මැදිරිවලදී පාසල් වියේ පෙම්වතුන්ගේ ඇයි හොඳයිකම් දුරදිග යන වග සඳහන් අවස්ථා නවකතාවේ ඇතැම් තැනෙක සඳහන් කරුණාපාල පමණක්ම මුල් කරගැනීමේ පිළිවෙතින් බැහැරව ය.

පසුකාලීනව කරුණාපාල හා කමලා එකිනෙකාගෙන් දුරස් වෙති. අනතුරුව කරුණාපාලට මුණ ගැසෙන්නේ වසර කිහිපයකින් වැඩිමහලු සුන්දර විවාහක කාන්තාවකි. දැන් කරුණාපාල ගුරු වෘත්තියට එළැඹ සිටී. කතුවරයා ඔහුට නවාතැන් පහසුකම් සපයන්නේ මුල් ගුරු නිවෙසේ ය. අර කාන්තාව මුල් ගුරු බිරියයි. කතුවරයා මොවුන්ගේ සබඳතාව දුර දිග යවන්නේ අතිශයෝක්තියකින් තොරව ය. සිය සැමියා වෙතින් තෘප්ත නොවන මේ ස්ත්‍රීය ප්‍රේමා, හුදෙකලාව හා ගණුදෙනු කරමින් සිටින කරුණාපාල සමඟ බැ‍ඳෙන්නේ නිරායාසයෙනි.

මේ අභිනව සබඳතාව විෂයෙහි කතුවරයා ඉඟි කරන්නේ වැඩිමහලු ස්ත්‍රීන් හා බැඳීමේ ගැටවර හෝ තරුණ පුරුෂ කැමැත්ත, මානව සභ්‍යත්වය අර්බුදයකට නොයවන වග ය. ප්‍රේමා සමඟ යෑමට කරුණාපාල යෝජනා කරන්නේ මෙතැනදීයි. එයට ප්‍රේමා දක්වන නිෂ්ක්‍රීය ප්‍රතිචාරය ආතාර්කික නො වේ. නවකතාව නිමා වන්නේ ප්‍රේමා සිය සැමියා කෙරෙහි උපන් දයාව හා ප්‍රේමය කරුණාපාල ඉදිරියේ පැවැසීමෙන් අනතුරුව ය. කතුවරයා කරුණාපාලට හා ප්‍රේමාට පළා‍ යෑමේ අවකාශයක් ලබා නොදීම උපක්‍රමයක් යැයි අද ද සිතේ. සම්මත කුලගෙය අන්තිමේදී සුරකින්න ඔහු සමත් වෙයි.

‘වාල්මිකී ඔබට කිව්වේ සීතා’ හි දී වීරසිංහට චිත්‍රා අහිමි වන්නේ පාලනය කළ නොහැකි හේතු ද නිසා ය. චිත්‍රා අනෙකකු හා විවාහ වනවා පමණක් නොව අනපේක්ෂිත මොහොතක ජීවිතය ද හැර යන්නීය.

අඩසියවසකට පෙරාතුව ලියැවුණු හා ප්‍රකාශිත නවකතා පිළිබඳ පසුකාලීන විමර්ශනයක ඇති ඵලය කුමක් දැයි යන්න ප්‍රශ්න කිරීම අසාධාරණ නො වේ. නොඅනුමානව ම ඒ ප්‍රශ්නය නගන්නවුන් අතරට ගතානුගතික කල්පනා ආදියෙහි විපිළිසරව සිටින පාර්ශ්ව ද එක් වනු ඇත. පාඨකයා හෝ විචාරකයා අතීත නවකතා මත ඕනෑවට වඩා රැඳී සිටිය යුතු යැයි යන අදහස මෙතැනදී කෙසේවත් අවධාරණය නොකෙරේ. එනමුත් නවකතාව යනු අහම්බයක් නොවන වග නිශ්චය කර ගැනීම වැදගත් ය. එයට අදාළ අතීතය, වර්තමානය හා ගළපා ගත යුත්තේ සහේතුකවයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.