යන එන මං නැති සිංහල කවිය | සත්මඬල

යන එන මං නැති සිංහල කවිය

කාල අවධි අනුව සමාජයේ ඕනෑ ම දෙයක් වෙනස් ස්වරූපයක් ගන්නා බැවින් කවිය ද අනවරතයෙන් ම, නිරන්තරයෙන් ම වෙනස් විය යුතු ය. කවියට එසේ වෙනස් නොවී සිටීමට ද නුපුළුවන. හැටේ දශකයේදී සිංහල කවිය වෙනස් මඟක් ගත්තේ ද එහි ඵල වශයෙනි.

වෙනස් වීම

එසේ වෙනස් වීම අරඹා දැනට දසක හයක් පමණ ගෙවී යන තැන නූතන සිංහල කවිය පෝෂණය වූයේ ද?

එසේ නැති නම් පරිහානියට පාත්‍ර වූයේ ද යන්න සම්බන්ධයෙන් විමසා බැලීමට මේ හොඳ ම කඩඉමකි.

කව් මඟ වෙනස් කිරීම, නව ආරක් ගැනීම වරදක් නො වේ. එහෙත් එසේ නව මඟක්, ආරක් ගැනීමේදී එය ඉතා පරිස්සමින් කළ යුතු කාරියකි. නව ආරක් ගැනීමේ නිදහස ඇත. එහෙත් ඒ ආර කාව්‍ය ව්‍යූහයට, සහෘදයන්ට කොතරම් දුරට සමීප වන්නේ ද යන්න ගැනත් විමසා බැලිය යුතු ය. තම තමන්ට සිතූ සිතූ පරිදි කව් ආරවුල් සම්පාදනය කිරීමෙන් සිදු වන්නේ කවි ක්ෂේත්‍රය අවරට යෑමකි.

කවිය නව මඟක් ගත් තැන් පටන් මේ තාක් ආ ගමන් මඟ අනුව නූතන කවිය දිනෙන් දිනම අවරෝහණයට පත් වීමට හේතුව ආරම්භයේදී එයට ස්ථිරසාර පදනමක් නොදැමීම ද, එසේ නැත් නම් එහි ස්ථාරූපී ස්වරූපය පසක් කොට නොගැනීම ද යන දෙපැනය අද අප හමුවේ පවතී.

කවියේ පෙරැළියක් ජනිත කරලීම අප සිතන තරම් පහසු කාරියක් නො වේ. එය ඉතා අසීරු කාරියකි.

අපේ සම්භාව්‍ය කාව්‍ය ක්ෂේත්‍රයක් අපරදිග සහ පෙරදිග කව් මං ද කෙරෙහි පෘථුල ලෙස දෘෂ්ටියක පිහිටා අපේ සමාජයත්, ජනතාවත් මනාව අවබෝධ කොට ගෙන අතර මඟදී නොතැකෙන, නොසිඳෙන තත්ත්වයක් කවියා ස්වකීය කව් චින්තාවෙන් ආරෝපිත කළ යුතු ය.

කොළඹ යුගය

1930 – 1940 දසකයේ කොළඹ යුගයේ එළිසම කවීන් බිහි කළ, ‘අඹමල්’, ‘මීවද’, ‘දේදුනු’, ‘අනංගයා’, ‘සමනල’, ‘පැණි බිඳු’ ආදි කව් සඟරාවල අන්තර්ගත හරය, සන්දර්භය නොරිස්සූ නිදහස්, එයට ප්‍රතිවිරුද්ධ මඟක යමින් ගිය ගමනින් අද්‍යතන අවධියේදී මල්පල ගැන්වෙන බවක් නම් අපට නොපෙනේ.

එළිසම කවීත්ව අභියෝග කරමින් මහත් අභිමානයෙන් යුතුවත් උජාරුවෙන් බිහි කළ නිදහස් හෙවත් නිසඳැස් කව් ආර ඔස්සේ ගිය ශ්‍රාවකයන්ට ද අද ඒ කව් ආර එපාවීම නිසා නූතන සිංහල කවිය යන එන මං නැති තත්ත්වයට පත් වීම අතිශෝක්තිය ය.

 

19 වැනි සියවසේ අග භාගයේ විසූ ප්‍රංසයේ සංකේතවාදි කමින් වූ ‘මැලාමේ’ ‘වර්ලේන්’ සහ ‘රිම් බෝර්’ ආදීන්ගේ කව් කල්පනා ඔස්සේ නව කව් ආරක් තැනීමට සිරි ගුනසිංහ දැරූ වෑයම පසු කාලීනයන් යථාර්ථයෙන් ම පසක් කොටගත් බවත් නොපෙනේ.

තාත්විකවාදය

අධි තාත්විකවාදය ඔස්සේ පොදු ජනතාවගේ බුද්ධියට කවි නිර්මාණය කළ මේ ප්‍රංස සංකේතවාදි කවීන්ගේ කාව්‍යයේ ප්‍රබලැති ගුණය උකහාගත් සිරි ගුනසිංහට අවශ්‍ය වූයේ සිංහල කවියේත් නවකතාවත් ඇති කරලීමට ය. මෙහි දී අපගේ වඩාත් සැලකිල්ල යොමු විය යුත්තේ සිරි ගුනසිංහ ගත් වෑයම, තැන කෙරෙහි ය.

මෙහි දී සිදු වී ඇත්තේ සිරි ගුනසිංහ අපට පෑ කව් මඟ පසුකාලීනයන් ඉතා ලඝු කොට සලකා කෙසේ හෝ නිදහස් හෙවත් නිසඳැස් කව් ආරෙන් කව් නිර්මාණය කොට කෙසේ හෝ කවියෙක් වීමට ය. නූතන සිංහල කවිය යන එනමං නැතිව වල්මත් වී මංමුළා වී අතරමං වී ඇත්තේ ද මේ ප්‍රගල්භාකල්පය නිසා ය.

‘කාව්‍යයං රසාත්මකං වාක්‍යයං’ යනුවෙන් සාහිත්‍යාදර්පණයෝ පවසති. රසවත් වූ වැකිය කවියයි. එහි අරුත, එහෙත් සාහිත්‍යාදර්පනයේ දෘෂ්ටිගත විඥානයෙන් ප්‍රණීත වන්නේ රසය පමණක් නො වේ. එයට වඩා ගැඹුරු ජීවන දෘෂ්ටියක් ද හෙළි වෙයි.

කවියේ රසය එක් කොටසකි. කවිය මුළුමනින් ම පිරිපුන් කවියක් වන්නේ රසයත් ගැඹුරු ජීවන දෘෂ්ටියත් සංකලනය වුව හොත් පමණි.

ග්‍රීක පඬිවරයකු වූ ඇරිස්ටෝටල් කියා සිටියේ කලා කෘතිය ඵලයකි යන්න ය. ඇරිස්ටෝටල්ගේ මතය අනුමත නොකළ ‘ලොංජයිනස්’ පැවැසුවේ කවිය ක්‍රියාවලියක් යන්නයි.

ඇරිස්ටෝටල්ගේ සමාප්ති න්‍යායත් ලොංජයිනස්ගේ අසමාප්ති න්‍යායත් අප කව් තැනීමේදී කරපින්නා ගත යුතු ද?

අප සියල්ලන්ට ම කවියන් විය හැකි ය. එහෙත් හොඳ හෙවත් සැබෑ කවියන් විය හැක්කේ අතළොස්සකට පමණි. හොඳ කවියා දුක්දොම්නස් සියල්ල සමුච්චගත කොට එහි ස්ථාරූපි ස්වරූපය සංස්සිථික ලෙස සමාජය හමුවෙහි තැබීම ආරම්මණ කොට ගනී. සමාජ අනුභූතිය කව් කල්පිතයක්, බවට කාව්‍යමය ස්වරූපයෙන් විසෝදනීය කරන කවියා සියුම් රසභාව දැනවීමට දැඩි පරිශ්‍රමයක් ගනී.

නිසඳැස් කවිය මේ උදාර ආරම්භ ණය මුදුන්පත් කරලීම අරබයා නිපන් කව් ආරක් බව හෙයක් නො වේ. 1930වර්ෂයේදී කොළඹ කවීන්ගෙන් ප්‍රනීත වූ ‘ආදරය’ යන සීමාන්තික කව් ප්ලාවිතය ඉඳුරා ම බැහැර කරලීමට, එහි හැට ගලවා දැමීමට දැරූ ප්‍රයත්නයක් ලෙස ද මේ නිදහස් හෙවත් නිසඳැස් කව් මඟ හැඳන්විය හැකි ය.

කවිය වූකලි හදවත නොව බුද්ධිය පුබුදුවන්නකි. කවියා දෙවියෙක් නොව, කවියාව දේවත්වයක් ආරෝපණය කළේ සකු කවි සමයයි. හොඳ කවියා නියම මනුෂ්‍යයෙකි. මනුෂ්‍යයන් අතර උදාරතර මනුෂ්‍යයෙකි; නිදහස් කවිය ද මෙහි ගෙනහැර පෑවේ දේවාරූඪයෙන් නොව මනුෂ්‍ය වේශයෙන් යැයි සිතමි. එහෙත් මේ නිදහස් කව් ආර ආශ්‍රයෙන් සාකල්‍යාර්ථයක්, පෘථුලාර්ථයක් දැනවූයේ කීයෙන් කී දෙනා ද?

සිරි ගුනසිංහ නිදහස් කව් මඟ යමින් ගුණදාස අමරසේකර, විමල් දිසානායක ඉදිරියට ගෙන ආ නිදහස් කව් ආර මොනිකා රුවන්පතිරණ, බුද්ධදාස ගලප්පත්ති, පරාක්‍රම කොඩිතුවක්කු පරිපාකයට පත් කළත් අද මේ සියල්ල ඒ කව් මඟ අමතක කොට මුනිවත රැකීම මවිතයට කරුණකි.

ගුණදාස අමසේකර නිදහස් කව් ආරෙන් පිට පැන ඉඳහිට සඳැස් කවි ආරෙන් කවියක් දෙකක් ගොතයි. විමල් දිසානායක අද විදේශගත වී ඇත.‍

විශේෂයෙන් මා මෙහිලා බුද්ධදාස - මොනිකා - පරාක්‍රම කොඩිතුවක්කු සඳහන් කෙළේ සිරි ගුනසිංහ, විමල් දිසානායක, මහගමසේකර හා ගුණදාස අමරසේකරගෙන් පසු එක යුගයකදී නිදහස් කව් ආර කරපින්නා ගෙන එයින් මහා ප්‍රාතිහාර්යයක් කළ බැවිනි.

සඳැස් කව් ආරට වඩා නිසඳැස් කව් ආර ඉතා පහසු වූ හෙයින් අර යට කී නිදහස් කවියන් වෙනුවට අද්‍යතන අවධියේදී සුවිශාල වශයෙන් නිදහස් කවීන් රාශියක් බිහි වූයේ අපේ කවියේ පෝෂණය උදෙසා ද? එසේ නැති නම් එහි අවරෝහණය සඳහා ද?

අ‍පේ කවීන් යැයි කියාගන්න තරම් හපන්කම් පෙන්වීමට මේ නිදහස් කව් ආර අර ප්‍රගල්බවාදි කවීන් විෂම මතයක් බවට පත් කොටගෙන ඇත. නිදහස් කවිය කරපින්නාගෙන කවි තැනීමට යෑමෙන් අද සිංහල කවීන් යන එනමං නැති තත්ත්වයට පත් වී තිබීම ඛේදනීය ය.

 

නූතන සිංහල කවියට සෙනසුරාගේ හා රාහුගේ අපලය ලැබුවේ මේ නිදහස් කව් ආර මතුපිටින් පසක් කොටගෙන හැමෝම නිදහස් කවි තනන්න වෑයම් කළ නිසා ය.

සඳස් කව් ආරට වඩා නිසඳැස් කව් ආර ඉතා පහසු යැයි සිතීම මේ කවීන්ට නපුරට සිටියේ ය. මේ ආකල්පයේ පිහිටා කව් නිර්මාණය කළ කවීන්ගෙන් නිදහස් කාව්‍ය කෘති රාශියක් බිහි වූවත් නූතන සිංහල කවියේ ආරෝපණයට එයින් පිටුබලයක් වූයේ ද?

රසවත් වූ වැකිය කවිය නම් ඒ කාව්‍යයෙන් රසභාව දැන වූයේ ද? ඒ නිදහස් කාව්‍ය ප්‍රබන්ධයන්ගෙන් බහුතරය අර්ථශූන්‍ය, බොල් ප්‍රබන්ධ ලෙස හැඳින්වුව හොත් එය නිරවද්‍ය නිගමනයකි.

මේ කව් ගොන්න අතුරින් ජයවඩු විතානගේ ‘කිණිහිරියේ පිපුණ මලක්’, දයාසේන ගුණසිංහගේ ‘රන් තැටියක කඳුළු’ හා රත්න ශ්‍රී විජේසිංහගේ ‘සුබ උදෑසන’ ඉදිරියෙන් සිටී. මේ කවීන් තිදෙනා නිදහස් කව් ආර පාදක කොට ගත්තත් ජන කව් ආර ඔස්සේ ස්වකීය කව් කල්පනා මෙහෙයවීම නිසා වඩාත් ජනකායට සමීප වී ඇති බවක් පෙනේ.

අනුභූතිය

සමාජ හා පුද්ගල අනුභූති කවියට නැඟීම හොඳ කවියාගේ කාරිය නම් ජයබඩුවිතාන, දයාසේන ගුණසිංහ, රත්න ශ්‍රී විජේසිංහ යන තිදෙනා භාවමය හැඟීම් ජන කව් ආරේ පිහිටා ගමන් කළ ආකාරය කවියන් යැයි කියා ගන්නා කවීන්ට කදිම පාඩමක් ගෙනහැරපා ඇත.

හොඳ කවියා නිබඳවම කරන්නේ ජනකායට වඩාත් යෝග්‍ය කාව්‍යමය ප්‍රබන්ධයක් ගෙනහැරපෑමකි. ඒ භාවමය හැඟීම් හදවතට නොව බුද්ධියට යොමු කරන ස්වායත්ත කවියා ජනතාව සමඟ ජීවත් වෙයි. මේ නව කවීන් ගොන්නෙන් ජනතාව සමඟ ජීවත් වන්නේ කීයෙන් කී දෙනා ද?

කව් පබඳින්නේ ජනතාවට බැවින් කවියාත් - ජනතාවත් එකට අත්වැල් බැඳගත් සමාන්තර ගමන් මඟක යා යුතු ය. එහෙත් මේ උත්තුංග ගුණය නූතන පද්‍යවලින් ප්‍රතීන නොවේ. අද සිංහල කවිය දෝරේ ගිය යන එන මං නැති තත්ත්වයකට පිවිස සිටීමෙන් ගොඩගත යුතු ය.

මේ නිදහස් එක කවියක්වත් සඳැස් කව් තරම් අපේ මතකයේ රැඳී නැත. තවමත් සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ සඳැස් කවිය ඉදිරියෙන් සිටී.

විප්ලවය

කවියේ විප්ලවයක් කළ යුතු ය. එය කළ යුත්තේ කවියට අනුගත අයුරිනි. ඒ විප්ලවය කවියේ පෝෂණයට විනා පරිහානිය සඳහා නොවිය යුතු ය. අපේ නූතන කවීන් දැනට වඩා පුළුල් දෘෂ්ටියක පිහිටා කවි නිර්මාණයට කාලයයි මේ. එසේ නැතිව ලඝු තලයක පිහිටා කවි තනන්න ගියොත් සිංහල කවිය පෝෂණය වේද යන්න සැකයට තුඩුදුන්නකි.

විචාරය

නූතන සිංහල කවිය අවරෝහණයට පත් වීමට ද තුලනාත්මක විචාරය බොහෝ දුරට වගකිව යුතු ය. කවීන්ට පෙළගැසෙන්න තරම් ප්‍රමාණවත් විචාරයක් අද නොවීම ඔවුන් නන්නත්තාරේ යන්න බලපෑවේ ය. කව් කල්පනා ක්ෂණභංගුර කරන විචාරයෙන් කවියාට අනුබලය, දිරිය කවරේ ද? කවි කල්පනා ගම්‍ය කරන කවියා අනවරතයෙන් ම අපේක්ෂා කරන‍්නේ සුවිසාධනීය වූ කවි මඟකට ස්වකවි චින්තාව මෙහෙයවීමට ය. කලාත්මක කව් සමාධියකට, භාවනාවකට යොමු කරන්නේ ද විචාරකයා ය. එබඳු විචාරාශ්‍රිත කාව්‍ය පූර්වක ගමන් මඟක යෙදෙන්න කවියාට විචාරකයා සංසද වෙයි. කවියාගේ භාවමය හැඟීම් වඩාත් තීව්‍ර වන්නේ ද එවිට ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.