නොපෙනෙන ලෝකයෙන් පෙනෙන ලෝකය සෙවීම | සත්මඬල

නොපෙනෙන ලෝකයෙන් පෙනෙන ලෝකය සෙවීම

සන්නිවේදනය මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. මුල් යුගයේ චාවිකව සිදු කළ සන්නි‍වේදනය ප්‍රමාණවත් නොවූයෙන් ලිඛිත සන්නි‍වේදනය මිනිසා විසින් දියුණු කරගන්නා ලදි. පර්වත මත, ගස් මත, විවිධ රූප, හැඩ, සිතුවම් අඳිමින් ඇරැඹි ලිඛිත සන්නිවේදනය විධිමත් අක්ෂර මාලාවක්, ව්‍යාකරණයක් සහිත භාෂාවක් දක්වා දියුණු කර ගැනීමට මිනිසාට හැකි විය. සිංහල, ඉංග්‍රීසි, චීන, ජපන්, අරාබි වැනි විවිධ භාෂාවලට අදාළව ඒ ඒ භාෂාවල අනන්‍යතාව රැකෙන අයුරින් අක්ෂර බිහි වූ අතර, ඒ මඟින් ඉතා පහසුවෙන් සන්නිවේදනය කළ හැකි විය. මෙලෙස ලිඛිත සන්නිවේදනය නිසා මිනිසා බිහි කළ දැනුම ගබඩා කර තැබීමට සහ අනාගත පරපුර වෙත දායාද කිරීම පහසු වූ බැවින් මිනිස් සමාජය වේගයෙන් දියුණු විය. පාෂාණ, මැටිපුවරු, ගස් පොතු මත ලිවීමේ සිට පුස්කොළ පොත්, කඩදාසි හරහා පරිගණක මඟින් ලිවීම දක්වා ලිඛිත සන්නිවේදනය මේ වන විට දියුණු වී තිබේ. කටුව සහ මිටිය, පන්හිඳ, පෑන, පැන්සලෙහි සිට යතුරුලියනය, ස්පර්ෂ පුවරු, මුද්‍රණ යන්ත්‍ර දක්වාම ලිවීමේ උපකරණ දියුණුවට පත්ව තිබේ.

ලිඛිත සන්නිවේදනය කෙතරම් දියුණුවට පැමිණිය ද ලිඛිත සන්නි‍වේදනය නිසි පරිදි සිදු කිරීමට නම් පෙනීම අත්‍යවශ්‍ය සාධකයකි. චාවික සන්නිවේදනයට ශ්‍රවණය අත්‍යවශ්‍ය මෙන්ම ලිඛිත සන්නිවේදනය ආලෝකය සහ පෙනීම අවශ්‍ය වේ. එනමුත් අප අතර ආලෝකය නොදකින පිරිසක් ද සිටී. විවිධ හේතු නිසා දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්ව සිටින මේ පුද්ගලයන් හට සාමාන්‍ය පුද්ගලයන් මෙන් සියලු කටයුතු කළ හැකි වුව ද ලිඛිත සන්නි‍වේදනය අපහසු වීමෙන් බොහෝ අසීරුතාවලට මුහුණ දීමට සිදුවී තිබේ. නොපෙනීම නිසා සාමාන්‍ය පුද්ගලයන් අක්ෂර භාවිතයෙන් කරන කටයුතු දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට කිරීමට අපහසු නිසා දැනුම ලබා ගැනීම, අධ්‍යාපනය, සාහිත්‍ය කලා රස විඳීමට බොහෝ බාධා ඇති‍ වේ. එහෙත් දෘෂ්‍යාබාධිත පුද්ගලයන් මුහුණ පෑ ගැටලුවලට සාර්ථක ලෙස විසඳුම් ලබා දෙමින් සාමාන්‍ය පුද්ගලයන් මෙන් සන්නිවේදනය කිරීමේ අවස්ථාවක් පසුකාලීනව උදා විය. ඒ ප්‍රංස ජාතික ලුවී බ්‍රේල් විසින් “බ්‍රේල් ක්‍රමය” ලොවට හඳුන්වා දීම සමඟ ය.

බ්‍රේල් ක්‍රමයේ ආරම්භය

අතීතයේ පටන්ම දෘෂ්‍යාබාධිත පුද්ගලයන් හට අකුරු කියැවීම සහ ලිවීම සඳහා අවස්ථා උදා කරගැනීමට ලොව පුරා විවිධ පුද්ගලයන් විවිධ අත්හදාබැලීම් සිදුකරන ලද අතර සාමාන්‍ය පුද්ගලයන් මෙන් අන්ධ පුද්ගලයන්ට ද අක්ෂර ලිවීමට හා කියැවීමට සුදුසු ක්‍රම නිර්මාණය මෙහි අරමුණ විය. මේ නිසාම ස්පර්ශ ගෝචර හෝඩියක් නිර්මාණය කිරීම සඳහා ගන්නා ලද උත්සාහ රාශියක්ම විවිධ පුද්ගලයන් විසින් සිදුකර තිබේ. ඉන් බොහොමයක් මුද්‍රිත රෝම අක්ෂරවල විකෘති කිරීම් ය. මේ නිසා 19 වැනි සියවස වන විට මතු කරන ලද වටකුරු හෝ කෝනාකාර අක්ෂර වර්ග ගණනාවක් බිහි වී තිබිණි. මේ සඳහා යම් ආකාරයක අකුරු ඇමිණීමක් සිදු කළ යුතු වූ බැවින් එය සන්නිවේදනය සඳහා එතරම් සුදුසු නොවීය.

එබැවින් මේවා හුදෙක් කියැවීම් ක්‍රමයක් පමණක් බවට පත් වීම සිදුවී තිබිණි.

අමෙරිකානු ජාතිකයන් දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ ඇඟිලිවලින් හඳුනා ගත හැකි පරිදි මුද්‍රිත අක්ෂර නිරූපණය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් අතර 1830 වසරේදී අන්ධ පුද්ගලයන්ගේ අධ්‍යාපනය සඳහා වන ආයතනය මඟින් සම්පූර්ණ ග්‍රන්ථයක් ස්පර්ශ ගෝචර අක්ෂරවලින් නිපදවන ලදි. “මාක්තුමාගේ සුබ ආරංචිය” නම් ක්‍රිස්තියානි ග්‍රන්ථය එලෙස නිර්මාණය වූ ග්‍රන්ථය වූ අතර එය දෑස් පෙනෙන පුද්ගලයන් විසින් මහත් වෙහෙසක් දරා අකුරු ඉලිප්පීමෙන් නිර්මාණය කරන ලද්දකි. මේ ක්‍රමය “ඇසේ භාෂාවෙන් ඇඟිලිවලට ඇමතීම” යනුවෙන් ඇතැම් පුද්ගලයන් එකල හැඳින්වූ අතර මෙය අන්ධ පුද්ගලයන් දැඩි අපහසුතාවට පත් කරන්නක් ද විය. මුද්‍රිත අක්ෂර මතු කර ලිවීමෙන් සකස් කරගත් කියැවීමේ ක්‍රම ඇඟිලි තුඩින් ඉක්මනින් හා පහසුවෙන් නිවැරැදිව කියැවීම අපහසු විය.

මේ හා සමගාමීව බිහි වූ තරමක් ජනප්‍රිය ක්‍රමයක් වූයේ “රේස්ඩ් ටයිප්” නම් තඹ කම්බිවලින් සෑදූ අකුරු ක්‍රමයක් භාවිත කිරීමයි. මෙය ද භාවිතයට අපහසු නීරස ක්‍රමයක් වූ අතර, එමඟින් ලේඛන සකස් කිරීමට හා ඒවා කියැවීමට විශාල කාලයක් අවශ්‍ය විය. එමෙන්ම සාමාන්‍ය භාවිතයේ යොදාගත් අක්ෂරයන්ම ඇඟිලි තුඩුවලට ස්පර්ශ කළ හැකි වන පරිදි උඩට ඉස්මතු කර දැක්වීමේ (Embossed Letter) ක්‍රමයක් ද භාවිතා කරන ලදි. ලී, ලෝහ, මැටි පුවරු මත අක්ෂර හැඩ ඉස්මතු වනසේ නිර්මාණය ඉතා අපහසු වූ අතර ඒවා භාවිතය ද වෙහෙස කර ක්‍රියාවකි. මෙසේ උත්තල අකුරු සැකසුම් භාවිතය ඉංග්‍රීසි වැනි සරල අක්ෂර සඳහා යම් හෝ පහසුවක් ගෙන ආව ද සංකීර්ණ වටකුරු අක්ෂර හෝ රූපාක්ෂර සඳහා භාවිතයට සුදුසු නොවිණි. මේ නිසා විවිධ වෙනස්කම් කරමින් විවිධ පුද්ගලයන්, විවිධ හඳුන්වාදීම් සිදුකරන ලදි. 18 වැනි සියවස ආරම්භ වන විට මේ ආකාරයේ විවිධ ක්‍රම බොහෝ දුෂ්කරතා මධ්‍යයේ භාවිත වෙමින් තිබිණි.

මෙලෙස ඉතා අසීරු ලෙස භාවිත වූ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ ලිවීමේ හා කියැවීමේ ක්‍රම සඳහා සාර්ථක විසඳුමක් ගෙන එමින් දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ ලෝකය වෙනස් කිරීමට 1809 ජනවාරි 04 දින මෙලොව එළිය දුටු ලුවී බ්‍රේල් (Louis Braille) හට හැකි විය. ප්‍රංස ජාති ලුවී බ්‍රේල් කුඩා කාලයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් සදාකාලික අන්ධ භාවයට පත් වී තිබූ අතර ඔහුගේ පියා විසින් අන්ධ දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙන පැරිස් නුවර “අන්ධ තරුණයන් සඳහා වූ රාජකීය ආයතනය” වෙත ලුවී බ්‍රේල් ඇතුළත් කරන ලද්දේ ය. මේ කාලය වන විට ප්‍රංසයේ නැ‍පෝලියන් බොනපාට් අධිරාජ්‍යයාට සේවය කරමින් සිටි නැපෝලියන් බොනපාට් හමුදාවේ කපිතාන්වරයකු වූ චාල්ස් බාබියර් ‘රාත්‍රී ලිවීමේ ක්‍රමය’ නම් ක්‍රමයක් රාත්‍රී කාලයේදී, හමුදා සෙබළුන්ට සතුරාට හසුනොවන පරිදි ප්‍රංස භාෂාව භාවිතයෙන් සන්නිවේදනය සඳහා හඳුන්වාදී තිබිණි. හමුදා භටයන් විසින් සතුරන් හට නොදැනෙන පරිදි රහසින් පණිවිඩ යැවීම සඳහා භාවිත කරන ලද නිශා ලිවීමේ ක්‍රමය ප්‍රංස හෝඩිය දැක්වීම සඳහා නිර්මාණය කළ ඉහළට එසවුණු තිත් සහ ඉරි කෑලි 12කින් සැකසුණු පද්ධතියකි. මෙය මෙතෙක් පැවැති ක්‍රමවලට වඩා පහසු වූ නමුත් සාමාන්‍ය පුහුණුවක් නැති අයට භාවිතය අපහසු විය. චාල්ස් බාබියර් විසින් මේ ක්‍රමය අන්ධ සිසුන් සඳහා වන පාසල්වලට ද හඳුන්වා දීම සිදු කළ අතර ලුවී බ්‍රේල් අධ්‍යාපනය ලැබූ පාසලට හඳුන්වා දීමේදී ලුවී බ්‍රේල් හට ද අධ්‍යයනයට අවස්ථාව හිමි විය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.