අවුෂ්විට්ස් වධ වේදනා අමතක කළ නොහැකියි | සත්මඬල

අවුෂ්විට්ස් වධ වේදනා අමතක කළ නොහැකියි

හංගේරියානු සාහිත්‍යධරයකු වන ඉම්රේ කර්ටෙස් (1929 නොවැම්බර් 9 - 2016 මාර්තු 31) 2002 සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ලේඛකයා ය. ඒ ත්‍යාගය දිනාගත් පළමු හංගේරියානු ජාතිකයා ද ඔහු වෙයි. වධකාගාරවලින් සමන්විත වූ අවුෂ්විට්ස් සහ බුකන්වාල්ඩ් යන නාසි ගාල් කඳවුරු දෙකේ ම ක්රූර වධයට ලක් වූ ඔහු ජීවිතාවසානය දක්වා ම ඒ කටුක අත්දැකීම අමතක කරනු නොහැකි වූවෙකි. එසේම කමියුනිස්ට් හංගේරියාවේ ආඥාදායකත්වයෙන් ද පීඩා වින්දෙකි. මේ කාරණා දෙකම ඔහුගේ විවේචනයට ලක් වෙයි.

ඔහුට ත්‍යාගය පිරිනැමීමට ඉදිරිපත් කැරුණු හේතුපාඨයේ මෙසේ සඳහන් ය:

“‍ඉතිහාසයේ ම්ලේච්ඡ අත්තනෝමතිකත්වයට එරෙහිව පුද්ගලයාගේ බිඳෙන සුලු‍ අත්දැකීම් තහවුරු කරන ලිවීම සඳහා.”‍ මේ ඔහු 2002 ඔක්තෝබර් 10දා ඒ ත්‍යාගය ලබා ගන්මින් ස්වීඩ්න් රජු ඇතුළු සම්භාවනීය පිරිස ඉදිරියේ ඔහු පැවැත්වූ දේශනයයි මේ:

පළමුව මා ඔබට මගේ සිතේ ඇති අවංක හැඟීම කිව යුතු ය; අමුතු ය. ඒත් අවංක පාපොච්චාරණයකි. මේ වසරේ සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය ස්ටොක්හෝම් නුවරදී ලබා ගැනීම සඳහා ගුවන්යානයට ගොඩ වූ මොහොතේ සිටම, මේ දක්වා ම මගේ ගෙල පිටුපස දෙස සති සම්පන්න නිරීක්ෂකයකුගේ විනිවිඳින බැල්ම නිරන්තරයෙන් මට හැඟෙමින් තිබේ. මට වඩා හුරු පුරුදු මේ නිහඬ තනි නිරීක්‍ෂකයා මෙන් නොව මා ලොව පුරා පාඨක සංඛ්‍යාවක් විසින් කියවනු ලබන ලේඛකයකු ය යන හැඟීම ඒ මොහොතේ ඒ සමඟම මගේ මනසේ නාභිගත වූයේ ය. ගෞරවනීය අවස්ථාවට මා ඉදිරිපත් කරන කතාවෙන් විසංවාදය විසඳීමට සහ අවසානයේදී මා තුළ ජීවත් වන ෙම් පුද්ගලයන් දෙදෙනා එක්සත් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමි.

කාලයත් සමඟ මේ වෙසෙසි වෙනස සහ මගේ වැඩ හෝ මගේ ජීවිතය හෝ අතර මා හඟින්නේ කවරාකාර සන්දේශයක් ද යන්න දැනට මට මුළුමණින් ම පැහැදිලි නැත. සමහර විට ම දිගු කලක් තිස්සේ සතුරු ඒකාධිපතිත්වය යටතේ කිසිදු අපේක්‍ෂාවක් නැතිව පරසක්වල මානසික පරිසරයක ජීවත් වූ නිසා විය හැකි ය. ලේඛකයකු වීම නිසා මට යම් ආත්ම විශ්වාසයක් ලබා ගැනීමට හැකි විය. ඒ ගැන සිතමින් කම්පා වීම කාලය අපතේ හැරීමකි. එපමණක් නොව, ලියන්නේ මා කම්පාවට පත් කළ ඊනියා ‍‘තේමාව’‍ ගැන බවත් එය යල්පැන ඇති බවත් අනාකර්ෂණිය බවත් සැම අයුරකින්ම මට වැටහී ඇත. ඒ නිසා, එය මගේම විශ්වාසයට සමපාත බැවින් ලිවීම මගේ දැඩි පෞද්ගලික කාරණයක් ලෙස මම සැමවිටම සලකමි.

පෞද්ගලික කරුණක්: බොරුව පමණක් බැරෑරුම් ලෙස සලකන පරිසරයක එවැනි අවංකකම තරමක් හාස්‍යජනක යැයි පෙනුණත්, එය බැරෑරුම්කම බැහැර නොකරයි. ‘ලෝකය යනු අපෙන් ස්වාධීනව පවතින වෛෂයික යථාර්ථයකි’ යනුවෙන් දාර්ශනික ප්‍රවාදයක් ඇත. අනෙක් අතට, 1955 සුන්දර වසන්ත දිනයක එක් යථාර්ථයක් පමණක් පවතින බව මම අනපේක්‍ෂිත ලෙස සිතිමි. එහෙත් මේ යථාර්ථය - මට අනියතව ආරෝපිත ෙම් බිඳෙන සුලූ තෑග්ග, රාජසන්තක කරනු ලැබූ, ජනසතුකරණය වූ, අඥාත පිටස්තර බල විසින් තීරණය කරනු ලැබූ මා, මගේ ජීවිතය, ඒ භයානක දැවැන්ත වස්තුව - ඊනියා ඉතිහාසයෙන් ආපසු ගෙන ඒමට සිදු විය:

මන්ද එය මගේ පමණක් වන අතර ඒ අනුව මට කටයුතු කිරීමට සිදුව තිබූ හෙයිනි.

කෙසේ වෙතත්, එය මා අවට ඇති සෑම දෙයකට ම වඩා පරිපූර්ණ වශයෙන් ප්‍රතිවිරෝධී ය. එය වෛෂයික නොවිය හැකි ය; එහෙත් එය බිඳ හෙළිය නොහැකි යථාවයි. ඒ මා කීවේ කමියුනිස්ට් හංගේරියාව ගැන ය. “සශ්‍රීක හා සමෘද්ධිමත්” සමාජවාදය ගැන ය. ලෝකය අපෙන් ස්වාධීනව පවතින වෛෂයික යථාවක් නම්, මිනිසා යනු තමාට පවා වස්තුවකට වඩා වැඩි දෙයක් නොවේ. ඔහුගේ ජීවිත අන්දරය යනු ඔහු කල්පනා කළ හැකි ඓතිහාසික අහඹු සිදු වීම් මාලාවකි. කළ හැකි දෙයක් නැත. සංසක්ත සමස්තය සමඟ ඒවා සම්බන්ධ කිරීම නිෂ්ඵල ය. මක් නිසාද යත්, වින්දිතයාගේ ආත්මීය මමත්වයේ සඳහා වගකීම භාර ගැනීමට නොහැකි තරමට වාස්තවික දෑ එහි ඇති බැවිනි.

වසරකට පසුව, 1956 වසරේදී හංගේරියානු විප්ලවය ඇති විය. මොහොතකට රට ආත්මගත විය. නමුත් සෝවියට් ටැංකි ඉක්මනින් වාස්තවිකතාව යථා තත්වයට පත් කළේ ය.

මෙය ඔබට උත්ප්‍රාසාත්මක යැයි පෙනේ නම්, විසි වැනි සියවසේ වචනවලට, භාෂාවට කුමක් වී ඇත්දැයි සලකා බලන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. වර්තමාන ලේඛකයාගේ ආදිතම සහ හා සිත් කම්පිත කරවන සොයාගැනීම්වලින් එකක් විය හැක්කේ භාෂාවේ අපොහොසත් බවයි. කෆ්කා ගැන සිතන්න; ඔවෙල් ගැන සිතන්න; ඔවුන්ගේ පරිහරණයේදී පැරැණි භාෂාව සරලව කඩා වැටෙන අතර ඔවුන් එය ගිනි තබා භෂ්මාවශේෂයෙන් ඒතාක් නොදන්නා නව ස්වරූප හෙළිදරව් කරගෙන තිබේ.

මට මගේ නියමිත පෞද්ගලික ව්‍යාපාරයට ලිවීමට පෙරළා ඒම අවශ්‍ය ය. මගේ තත්ත්වය තුළ ඔබ පවා අසන්නේ නැති ප්‍රශ්න කිහිපයක් තිබේ. සාත්‍රෙ උදාහරණයක් ලෙස. ඔවුන්ගෙන් එක් අයෙක් සම්පූර්ණ පොත් පිංචක් ලිවීය : “අප ලියන්නේ කා වෙනුවෙන් ද?” ප්‍රශ්නය සිත්ගන්නා සුලු ය; එහෙත් එය භයානක ද විය හැකි ය. ඒ ගැන මට කිසි විටෙකත් සිතන්න වුවමනා නොවී ය. ඒ ඉරණමට මම කෘතවේදී වෙමි. අන්තරාය කුමක්දැයි බලමු. නිදසුනක් වශයෙන් අප තෝරා ගැනීමට පමණක් නොව බලපෑම් කිරීමට ද අවශ්‍ය සමාජ ස්ථරයක් තෝරා ගන්නේ නම්, පළමුව අපේම ශෛලිය පරීක්ෂා කර බලා අපේක්ෂිත ප්‍රතිඵල ලබා දීමට එයට සැබවින් ම හැකියාවක් තිබේ ද යන්න තීරණය කළ යුතු ය. ලේඛකයාට ඉතා ඉක්මනින් සැක සංකා පහළ වේ. නරක දෙය නම් ඔහු ඕනෑම අවස්ථාවක තමා නිරීක්ෂණය කරන බව කියා සිටීමයි. තමාගේ පාඨකයන් සැබවින් ම අපේක්‍ෂා කරන දේ, ඔවුන් කැමැති දේ ඔහු දැන ගන්නේ කෙසේ ද? එසේ නොවුව හොත් ඔහුගේ ලිවීම නිශ්ඵල වනු ඇත. ඔහුට ඔවුන් සෑම කෙනකුගෙන් ම ප්‍රශ්න කළ නොහැකි ය. තමා යටතේ සිටින්නේ යැයි කියනු ලබන මේ සුවිශේෂ පාඨක පිරිස ගැන තමාගේ පරිකල්පනය කෙසේ ද යන්නත් ඒ ප්‍රතිඵලය ලබා ගැනීමට කුමක් කළ යුතු ද යන්නත් උපකල්පනය කිරීම පමණක් ලේඛකයාට කළ හැකි ය. ඉතින් ලේඛකයා ලියන්නේ කා වෙනුවෙන් ද? පිළිතුර ඔබට ම පැහැදිලි වනු ඇත.

මේ පිළිතුරට එළැඹියේ ඍජුව ම බව මට කිව හැකි ය. නිසැක ය; කාරණය වඩාත් සරල ය; මට පාඨක පිරිසක් නොවූ අතර කිසිවකුට බලපෑම් කිරීමට ද මට අවශ්‍ය නොවීය. මා ලිවීම ආරම්භ කළේ කිසියම් නිමිත්තක් සඳහා අධිෂ්ඨානයකින් නොවන අතර මා ලියා ඇති දෙයින් කිසිවකුට ආමන්ත්‍රණය කර නැත. මගේ ලිවීමට කිසියම් සුපැහැදිලි අරමුණක් වේ නම්, එය විෂය පිළිබඳ විධිමත් හා භාෂාමය විශ්වාසවන්ත භාවයට වඩා වැඩි දෙයක් නො වේ. හාස්‍යජනක නමුත් කනගාටුදායක රාජ්‍ය පාලිත ඊනියා කැපවූ සාහිත්‍යයේ යුගයේදී මෙය පැහැදිලි කිරීම වැදගත් විය.

සාධාරණ කුකුසක් නැතිව නොඅසන ‘අප ලියන්නේ මන්ද?’ යන ප්‍රශ්නයට පිළිතුරු දීමට මට එයටත් වඩා අපහසු ය; මා වාසනාවන්ත ය; මන්දයත් මේ කාරණයේදී මා තෝරා ගනු ඇති බවක් පෙනෙන්න නොතිබිණි. මගේ ‘ෆියාස්කෝ’ නවකතාවේ එය සිදු වූයේ කෙලෙසදැයි විස්තර කර ඇත. මම කාර්යාල ගොඩනැඟිල්ලක පාළු කොරිඩෝවක සිටගෙන සිටියෙමි. තුනී පා හඬක් ඇසෙනවාට වඩා දෙයක් සිදු නොවී ය. විශේෂයෙන් පා හඬ ළං ළං වත්ම මා තුළ අමුතු උද්දීපනයක් ඇති විය. ඒ අදෘශ්‍යමාන තනි පුද්ගලයකුගෙන් පැමිණීමක් වුව ද හදිසියේම මට සිය ගණනකගේ අඩිපාරවල් ඇසෙන බව දැනිණි. එය හරියට ගිගුම් නඟමින් වේගයෙන් ඉදිරියට යන පා හඬ සහිත පෙළපාලියක් ළඟා වෙමින් පැවැතියාක් මෙනි. මේ හේවා බල ඇණියෙන් නැඟෙන ගිගුම් දෙන පියවර හඬින් මට ඇති වූ ආකර්ෂණය කුමක් දැයි එක්වරම මට වැටැහිණි. ඒ ශාලාවේදී එක මිනිත්තුවක් ඇතුළත, නීට්ෂේ වෙනත් සන්දර්භයක සඳහන් කළේ වුව මේ අවස්ථාවෝචිත ඩයොනේෂියන් අත්දැකීම ලෙස හඳුන්වන, සමූහයක මමත්වය නැති කරගැනීමේ බේබදු ආශාවෙන් ස්වයං අතහැර දැමීමේ මත් වීම ගැන සවිඥානක වීමි.

ශාරීරික බලවේගයක් මා මේ පේළිවලට තල්ලු කර දමමින් ආපසු අදිමින් තිබෙන බව මට හැඟී ගිය අතර මම බිත්තියට වාරුදී එයට එරෙහිව ක්‍රියා කරමින් සිටියෙමි.

මේ තීව්‍ර මොහොත මා අත්විඳි අයුරු වාර්තා කරමි. එලෙස දෘශ්‍යමය වශයෙන් විදාරණය වූ ප්‍රභවය මා තුළ නොව මා පිටත කොතැනක හෝ සිටියාක් මෙනි. සෑම කලාකරුවෙක්ම එවැනි අවස්ථා දනිති. එය එසැණ අනුප්‍රාණය ලෙස හැඳින්වේ. එනමුත් මා අත්විඳි දේ කලාත්මක ස්වභාවයේ අත්දැකීම් ලෙස මම නොසලකමි. ඒ වෙනුවට, මා එය හඳුන්වන්නේ අනුභූතිය සවිඥානක වීමක් ලෙසයි. මේ මොහොත එහි අරුත දීර්ඝ කාලයක් පුරා මා සොයමින් සිටි එහෙත් මගේ දිවිය කැප කළ මගේ කලාව මට ලබා දුන්නේ නැත. ඔහු තනිකම ගැන, වඩාත් දුෂ්කර ජීවිතයක් ගැන, මා මුලදී කතා කළ දේ ගැන කතා කළේ ය. මත් කරවන සුලු පෙළපාලියෙන් ඉවත් වීම, අපගේ පෞරුෂය හා ඉරණම සොරා ගන්නා කතාව. වික්‍ෂිප්ත වූ මට නාසි ගාල් කඳවුරුවලින් ආපසු පැමිණ දශක කිහිපයකට පසුවත්, ස්ටැලින්වාදි භීෂණයට තවමත් අඩක් යටත් ව සිටිය ද, සමස්තය ම අපැහැදිලි අරූපී හැඟීමක් හා ඔහු අන්දර කිහිපයකට වඩා දෙයක් නොවන බව වැටහිණි. “අනේ මට නම් මොකුත් වුණේ නැහැ” ලෙස අයෙක් කියන්න කැමැති පරිදි, එවැනි පරිකල්පනීය අවස්ථාවලට ස්වීයමය වූ දිගු ඉතිහාසයක් ඇති බව පැහැදිලි ය. ෆ්‍රොයිඩ් බොහෝ විට එය ක්‍ෂිතිමය අත්දැකීමක අවරෝධන මූලය සෙවීමෙන් ලබා ගනී. ඔහු නිවැරැදි නොවේ නම් කවුද දන්නේ? මා තාර්කික වීමට නැඹුරු වන අතර, ඕනෑ ම ආකාරයක ගුප්ත විද්‍යාවකින් හෝ උද්යෝගයකින් දුරස්ව සිටින හෙයින්, මා දර්ශනය ගැන කතා කරන විට, අධි ස්වාභාවික ස්වරූපයක් ආරූඪ කොට ඇති තාත්ත්වික දෙයක් වටහා ගත යුතු ය. සිතිවිල්ලක් හදිසියේම කෙසේ හෝ විප්ලවීය ලෙස හෙළිදරව් කිරීම මා තුළ මෝරන අතර එය මම එය විස්මයාවහ ව හඬ නඟා කියමි. heureka1“මා එය සොයා ගත්තා!”

එහෙත් මා සොයා ගෙන ඇත්තේ කුමක් ද?

වරක් මා වෙනත් තැනක කියා සිටියේ ඊනියා සමාජවාදය යනු මාසෙල් ප්‍රෞස්ට්ගේ මැඩලීන් රස විඳීමට සමාන බවයි. 2 එය හදිසියේම ඔහු තුළ අතීතයේ රසය නැවත ඇති කළේ ය. මූලික වශයෙන් භාෂාව ගැන සලකා මම 1956 දුර්මුඛ විප්ලවයෙන් පසු හංගේරියාවේ රැඳී සිටීමට තීරණය කළෙමි. ඉතින් මේ වතාවේ, වැඩුණු ඇස්වලින් කුඩා කාලයේ මෙන් නොව - ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක වන්නේ කෙලෙස දැයි මට දැක ගත හැකි විය. ජනතාවක් ඔවුන්ගේ අදහස් ප්‍රතික්ෂේප කිරීමට පෙලඹැවූ අයුරු මම දුටුවෙමි; අනුහුරුවේ පළමු සුපරීක්ෂාකාරී අභින දුටුවෙමි; බලාපොරොත්තුව නපුරේ මෙවලමක් බව වටහා ගතිමි. කාන්ට්ගේ ඒකාන්ත සවිධාන ආචාර ධර්ම3, ආත්මාරක්ෂාව සඳහා යටත් සේවකයෙක් පමණි.

ලේඛකයා සාපේක්ෂව මධ්‍යස්ථව භුක්ති විඳිනවාට වඩා නිදහසක් පිරිහුණු ආඥාදායකත්වයක් යටතේ ලැබේ යැයි සිතා ගත හැකි ද? හැට ගණන්වලදී හංගේරියානු ආඥාදායකත්වය සමාජ සම්මුතියක් ලෙස හැඳින්විය හැකි ඒකාග්‍රතාවකට පැමිණියේ ය. පසුව සතුටු සිතින් යුතුව බටහිර ලෝකයට ‘ගුලාෂ් කොමියුනිස්ට්වාදය’4 යන ආරූඪ නාමය ලබා දුන්නේ ය. ආරම්භක විරසකයෙන් පසු, හදිසියේම, හංගේරියානු කොමියුනිස්ට් ක්‍රමය බටහිරයන්ගේ ප්‍රියතම බවට පත් විය. මේ එකඟතාවේ ගැඹුරු ගොහොදුවේදී, අරගලය අවසානයේ අතහැර දමන්න හෝ අභ්‍යන්තර නිදහසට මඟ පෙන්වන වංක මාර්ග සොයා ගන්න හෝ සිදු විය. ලේඛකයාගේ මූලික පිරිවැය අඩු ය; ඔහුගේ අභ්‍යාසයට පෑන් සහ කඩදාසි තිබීම ප්‍රමාණවත් ය. සෑම උදෑසනකම පිළිකුල සහ මානසික අවපීඩනය සමඟ අවදි වන මම, මට නිරූපණය කිරීමට අවශ්‍ය දෑ ලෝකයට වහාම මුදා හළෙමි. මා නියෝජනය කළේ වෙනස් සර්වාධිකාරයක සර්වාධිකාරයේ තර්කනයේ ප්‍රතිඵල ලෙස දුක් විඳින මනුෂ්‍යයන් බවත්, මගේ නවකතාව නිර්මාණය කෙරෙන භාෂාව විය යුත්තේ අවුසස්න සුළු එකක් බවත් මම වටහා ගතිමි. එසමයේ මා මගේ තත්ත්වය ගැන අවංකව තක්සේරු කළ හොත් බටහිර රටවල, නිදහස් සමාජයක, ඒ ගැන කියන්න මා දන්නේ නැත; එහෙත්, අද දින ලෝකය Fateless 5 නමින් දන්නා නවකතාව එළි දක්වන්න මට හැකි වූ අතර ස්වීඩ්න් ඇඩමිය ඉහළින් ම පිළිගෙන ඇත; නැත; නිසැකවම මගේ පරිශ්‍රමය වෙනත් දෙයකට යොමු වනු ඇත. එය සත්‍යය නොවේ යැයි මම නොකියමි. එහෙත් වෙනත් ආකාරයක සත්‍යයකි. පොත්වල සහ සිතිවිලිවල නිදහස් වෙළෙඳ පොළෝදී, සමහර විට වඩාත් දර්ශනීය නවකතාවකට මගේ හිස යොමු වීමට ඉඩ තිබිණි. නිදසුනක් වශයෙන්, ඵලදායී දර්ශන පමණක් නිරූපණය කිරීම සඳහා මට කාලය යොදවා ගත හැකිව තිබිණි. මගේ නවකතා වීරයා පමණක් ගාල් කඳවුරුවල තම කාලය ගත නොකරන්නේ ඔහුට ඔහුගේ කාලය හෝ භාෂාව හෝ පෞරුෂය නැති බැවිනි. ඔහු ස්මෘති මවාපාන්නේ නැත; ඔහු පවතියි. ඒ නිසා අසරණ මිනිසාට අවිශද රේඛියතා පුඩුවේ (obscure loop of linearity 7) රැඳී සිටින්න සිදු වූ අතර වේදනාකාරී සවිස්තරයෙන් තමා නිදහස් කැර ගන්න නොහැකි විය. සමස්තයක් වශයෙන් විඳ දරා ගන්න එය පීඩාකාරී වන අතර සුළු විවිධත්වයක් මෙන්ම ජීවිතය ද ලබා දෙයි.

කෙසේ වෙතත්, මෙය අනපේක්ෂිත පාඩම්වලට තුඩු දුන්නේ ය. දී ඇති තත්ත්වයන් මුළුමනින්ම පිරවීම සඳහා අවශ්‍ය රේඛීයතාව අවශ්‍ය ය. මා කාලවේලාවක්, මිනිත්තු විස්සක් කියමු. අලංකාර ලෙස මග හැරීමට ඉඩ නොදුන්නේ, ඒ මිනිත්තු විස්ස සමූහ මිනීවලක් මෙන් නොදන්නා හා බිය උපදවන කළු කුහරයක් මෙන් පරතරයක් තිබූ බැවිනි. මා මේ කතා කරන්නේ බර්කෙනෝ සමූලඝාතන කඳවුරේ පැටවීමේ තටාගයේ ගත වූ මිනිත්තු විස්ස ගැන ය. තේරීම කරන නිලධාරියා තමන් වෙත පැමිණෙන තෙක් මිනිසුන් දුම්රිය තට්ටුවේ නැඟී සිටි මිනිත්තු විස්ස ගැන ය. ඒ මිනිත්තු විස්ස මගේ මතකයේ සදා රැඳී තිබේ. එහෙත් නවකතාවට අවශ්‍ය වන්නේ මගේ මතකය විශ්වාස නොකිරීමට ය. කෙසේ වෙතත්, මා කියවූ බොහෝ වාර්තා, ප්‍රකාශ සහ දිවි ගලවා ගත් මතක, ඒවා සියල්ලම පාහේ එයට එකඟ ය.

මට ඒ මිනිත්තු විස්ස වෙනස් ලෙස මතක ය. අව්‍යාජ ප්‍රභව සොයමින්, පළමු වතාවට මම “නෝනාවරුනි මහත්වරුනි, මේ තමා ගෑස් කාමරේට පාර” ඇතුළත් ටඩියුස් බොරොව්ස්කිගේ (Tadeusz Borowsky7) පැහැදිලි ස්වයං කුරිරු අනුකම්පා විරහිත කතා කියවමි. පසුව මම එස් එස් සොල්දාදුවකු විසින් ඡායාරූපයට නඟන ලද බර්කෙනෝ සිට පල්ලම් බහින මිනිස් ප්‍රවාහයක ඡායාරූප පෙළක් බැලීමි. ඒවා ඩචාඋ කඳවුරේ (Dachau camp8) අතීත එස් එස් බැරැක්කවල තිබී අමෙරිකානු සොල්දාදුවන් විසින් පසු කලෙක සොයා ගන්නා ලදි.

කලකිරුණු සිතින් යුතු වූ මම පින්තූර දෙස බැලූවෙමි. සිනහවක් ඇති කාන්තාවන්ගේ මුහුණු, තේරුම් ගනිමින් සිටින, සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැති හොඳම චේතනාවෙන් පිරිපුන්, පියකරු තරුණ කැලකි. අක්‍රියතාවේ සහ අනාරක්ෂිත බවේ අධම මිනිත්තු විස්ස ඔවුන්ගේ මුහුණුවල නොපැහැදිලි වූයේ මන්ද සහ කෙසේ ද යන්න දැන් මට වැටහී ඇත.

ඉතින්, පියවරෙන් පියවර මම දැනුමේ රේඛීය මාවතේ ගමන් කළෙමි. ඔබ කැමැති නම් එය මගේ ස්වයං ගවේෂණ ක්‍රමයයි. මා ලිවූයේ කාටද, මා ලිවූයේ ඇයි යන කරුණු ගැන මා තැකීමක් නොකරන බව මට ඉක්මනින් වැටහිණි. මා උනන්දු වූයේ එක් ප්‍රශ්නයක් ගැන පමණි. සාහිත්‍යය සමඟ මට තවත් කළ යුතුව තිබුණේ මොනවා ද යන්නයි ඒ. මක්නිසාද යත් සාහිත්‍යයයෙන්, ආත්මයයෙන්, මේ සංකල්පය සමඟ මා බැඳී සිටි අදහස්වලින්, පැහැදිලි කළ නොහැකි මායිම් රේඛාවක් මා වෙන් කළ අතර, එය අවුශ්විට්ස් යන නම දරයි. අවුෂ්විට්ස් ගැන යමකු ලියන්නේ නම්: අවුෂ්විට්ස්, සාහිත්‍යය විනාශ කරමින් සිටින බව ඔහුට පැහැදිලි විය යුතු ය; අවුෂ්විට්ස් ගැන ඔබට ලිවිය හැක්කේ කළු නවකතාවක් පමණියි කෙනෙක් ගෞරව පුරස්සර ව එහෙත් අමනාපය පළ කරන සරින් කීය: එකක් පසුපස එකක් එන සහ වින්‍යාස (collocation 9) නවකතා එය අවුශ්විට්ස් හි ආරම්භ වී අද දක්වාම පවතී. එයින් කියැවෙන්නේ අවුෂ්විට්ස්වලින් පසු කිසිවක් සිදුව නැති බවයි; අවුෂ්විට්ස් අහෝසි කළේ කුමක් ද, සහ අවුෂ්විට්ස් ප්‍රතික්ෂේප කළේ මොනවා ද ඒ ගැන කිසිදු සඳහනක් නැත. යුදෙව් විධ්වංසනය (The Holocaust10) කිසි විටෙකත් මගේ කෘතියේ අතීත කාලයෙන් දක්නා නොලැබේ.

මා ගැන යමක් පැවැසීම සාමාන්‍ය දෙයකි. එය සමහර විට ප්‍රශංසාව හා සමහර විට දොස් පැවරීම විය හැකි ය. මට ඇත්තේ එක මාතෘකාවක් පමණි. ඒ මා යුදෙව් විධ්වංසනය ගැන ලියන ලේඛකයකු බව. ඒ ගැන මගේ විරුද්ධත්වයක් නැත. ඇතැම් සීමා කිරීම් බැහැර කළත්, පුස්තකාලවල නියම කරන ලද රාක්කවල මේ ස්ථානය වෙන් කර නොගත යුත්තේ ඇයි? අද යුදෙව් විධ්වංසන ලේඛකයකු නොවන ලේඛකයා කවු ද? දශක ගණනාවක් තිස්සේ යුරෝපයේ නූතන කලාව කෙරෙහි ආධිපත්‍යය දරණ බිඳුණු ස්වරය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා යුදෙව් විධ්වංසනයට ඍජු සබඳතාවක් නැති බව බව මම වටහා ගෙන ඇත්තෙමි. මම තවදුරටත් ඉදිරියට යමි. දුස්වප්නවලින් පිරුණු රාත්‍රියකට පසු මුළුමණින්ම වැනසුණු අසරණ ලෝකය පුරා නෙත් යොමා බලන විට එතුළ එවැනි විරාමයක් මට නොදැනෙන යහපත් අව්‍යාජ කලාවක් මම නොදකිමි. යුදෙව් විධ්වංසනය ලෙස හැඳින්වෙන ගැටලු සහගත ප්‍රදේශය ජර්මානුවන් සහ යුදෙව්වන් අතර විසඳිය නොහැකි ගැටුමක් ලෙස සැලකීමට මා කිසි දා උත්සාහ කර නැත. ඒ වනාහි යුදෙව් දුක් විඳීමේ ඉතිහාසයේ නවතම පරිච්ඡේදය යැයි මම කිසිදා නොසිතුවෙමි. තර්කානුකූලව පූර්ව අත්හදාබැලීම් ඇසුරින් යුදෙව් රාජ්‍යයේ මතු වීම සඳහා වූ පූර්ව කොන්දේසියක් ලෙස, එය පෙර පැවැති සියලු සංහාරවල මාන අභිභවන ඉතිහාසයේ ඊනියා ලිස්සා යෑමක් ලෙස මා දැක නැත. යුදෙව් විධ්වංසන සමයේදී මිනිසාගේ තත්ත්වය, අවුරුදු දෙදහසක සදාචාර හා සාරධර්ම සංස්කෘතියේ පසු යුරෝපීය මිනිසා එළැඹි මහා වික්‍රමාන්විතයේ අවසානය ලෙස මම හඳුනා ගතිමි.

අපට මෙතැන් සිට ඉදිරියට යා හැක්කේ කෙසේද යන්න දැන් සලකා බැලිය යුතු ය. අප මතක තබා ගත යුතු ද නැත හොත් ඉතිහාසයේ සුදුසු ලාච්චුවක බහා තැබිය යුතු ද, ඝාතනයට ලක්වූ මිලියන සංඛ්‍යාත ජනයා වෙනුවෙන් ස්මාරක ඉදි කළ යුතු ද යන ඒවා අප අවසන් කළත්, නැතත් අවුෂ්විට්ස් ගැටලුවට ඇතුළත් නොවේ. අවුෂ්විට්ස්හි ඇති සැබෑ ගැටලුව නම් ඒ දේ සිදු වූ අතර අපට මේ කාරණය හොඳම හෝ නරකම හෝ අපේක්‍ෂාවලින් වෙනස් කළ නොහැකි වීමයි. කතෝලික හංගේරියානු කවියකු වන ජෙනොස් පිලින්ස්කි මේ දුෂ්කර තත්ත්වය ‘අපකීර්තියක්’ ලෙස හඳුන්වමින් වඩාත් නිවැරැදිව විස්තර කළේ ය. ඔහු පැහැදිලිවම අදහස් කළේ අවුෂ්විට්ස් ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ ඇති වූවක් බවත් එය පාරභෞතික මනසට දරාගත නොහැකි බවත් ය.

දෙවියන් වහන්සේ මියගිය බව පැරැණි අනාවැකි පවසයි. අප අවුෂ්විට්ස්වලට හැර දමන ලද බවට සැකයක් නැත. දිනෙන් දින අපගේ සාරධර්ම අප විසින්ම නිර්මාණය කර ගත යුතු වෙයි. පවතින නමුත් අදෘශ්‍යමාන සදාචාරාත්මක ක්‍රියාකාරකම් මඟින් යම් දිනෙක මේ අගයන් ආලෝකයට ගෙන එනු ඇති අතර සමහර විට ඒවා නව යුරෝපීය සංස්කෘතියකට ඔසවා තබනු ඇත. ස්වීඩන් ඇකඩමිය මගේ කෘතියට ප්‍රදානය කළ මිල, අවුෂ්විට්ස් හි යුදෙව් විධ්වංසනයේ සාක්ෂිකරුවන්ගේ අත්දැකීම් යුරෝපයට යළිත් අවශ්‍ය බවට ලකුණක් ලෙස මම දකිමි. මට පෙනෙන ආකාරයට යම් ආකාරයකින් අධිෂ්ඨානයෙන් සහ ධෛර්යයෙන් යුතුව එය පැවැසීමට මට ඉඩ දෙන්න: මා මෙහි පෙනී සිටිනවාට ඔබ කැමැති වුවත් මගෙන් ඔබට අසන්න ලැබෙන්නේ කුමක් දැයි ඔබ දැන සිටියේ නැත. කෙසේ වෙතත් අවසාන විසඳුම (Final Solution11) සහ ‘ගාල් කඳවුරුවල විශ්ව ප්‍රකාශනය’ (Universe of the Concentration Camps 12.13) සොයාගෙන ඇති අතර වරදවා වටහා ගත නොහැකිය. දිවි ගලවා ගෙන සිටින්න ඇති එක ම මඟ සහ අපගේ නිර්මාණාත්මක බලය පවත්වා ගෙන යන්න ඇති එකම ක්‍රමය මේ ශුන්‍ය ලක්ෂ්‍යය හඳුනා ගැනීමයි. මේ නිරාකූලත්වය ඵලදායී නොවිය යුත්තේ ඇයි?

මහා දැනුමේ ගැඹුරේ, ඒවා ජයගත නොහැකි ව්‍යසන මත පදනම් වූවක් වුවත් සෑම විටම යුරෝපීය වටිනාකම් අතුරින් ශ්‍රේෂ්ඨතම දෙයක් තිබේ. අපගේ ජීවිතයට අතිරික්තයක් ලෙස ඇතුළු වන නිදහසේ මොහොතක්, සාරවත් බවට පත් කරන්නාක් මෙන් අපගේ පැවැත්මේ සත්‍ය සාධකය ඔවුන් කෙරෙහි අපගේ සැබෑ වගකීම විඥානයට ගෙන එයි.

මේ අදහස් මගේ මවුබස වන හංගේරියානු භාෂාවෙන් ඉදිරිපත් කිරීමට හැකි වීම ගැන මට විශේෂයෙන් සතුටු ය. ම ඉපදුණේ බුඩාපෙස්ට්හි, යුදෙව් පවුලක, මවු පස ට්‍රාන්සිල්වේනියාවේ ක්ලුජ්-නැපෝකා හි වන අතර එහි පිය පස බැලටන් විලෙහි නිරිතදිග කෙළවරේ ය. මගේ සීයා සහ අත්තම්මා සබත් දවසේ සිකුරාදා රාත්‍රියේ ඉටිපන්දම් පත්තු කළ අයයි. ජුදාගම ඔවුන්ගේ ඇදහිල්ල වූ නමුත් ඔවුන්ගේ නම් ඒ වන විටත් හංගේරියානු වූ අතර ඒ අනුව හංගේරියාව ඔවුන්ගේ නිජබිම ලෙස සැලකේ. මගේ මවගේ මවුපියන් යුදෙව් විධ්වංසනයේදී මිය ගිය අතර යුදෙව් විශ්‍රාමික නිවස බලහත්කාරයෙන් බුඩාපෙස්ට් සිට රටේ උතුරු දේශ සීමාවට ගෙන යන විට පිය පස සීයාගේ සහ අත්තම්මාගේ ජීවිත කොමියුනිස්ට් රෙකෝසි පාලනය විසින් විනාශ කරන ලදි. මට නම් මේ කෙටි පවුල් ඉතිහාසය රටේ දුක් විඳීමේ මෑත අතීතය සාරාංශ ගත කරන අතරම සංකේතවත් ද කරයි. මේ සියල්ලෙන්ම මා උගත්තේ දැඩි ශෝකය, අමිහිර පමණක් නොව අතිවිශේෂ ගැඹුර සහ ශක්තිය ද ගෙන දෙන බව ය. යුදෙව්වකු විම පළමු වත් ප්‍රමුඛ වත් සදාචාරාත්මක අභියෝගයකි. යුදෙව් විධ්වංසනය දැන් සංස්කෘතියක් නිර්මාණය කර තිබේ. ගැන සැකයක් නැත. එය අත්‍යවශ්‍යයෙන්ම විය යුත්තකි. මේ ආශාව මගේ සියලු‍ නිර්මාණාත්මක ප්‍රයත්න උදෙසා මා තුළ පෙලඹීමක් ඇති කර තිබේ.

මම මගේ කතාවේ අවසානයට ආසන්නව සිටින නමුත් මගේ ජීවිතය, මගේ කෘති සහ නොබෙල් ත්‍යාගය අතර සමබරතාව මෙතෙක් මට දැනී නැති බව අවංකවම කිව යුතු ය. දැන් මට ගැඹුරු කෘතවේදී බවක් දැනේ. මා ගලවාගෙන තවමත් මා පවත්වා ගෙන යන ප්‍රේමයට කෘතවේදිතාව. එනමුත් මගේ ‘ජීවිකාව’ තුළ මට අනුගමනය කළ හැකි දුෂ්කර ජීවන ගමන ගැන සලකා බලමු. ඒ ගැන කියනවා නම් එහි ප්‍රබෝධාත්මක දෑ, අසම්මත දෑ, දේව බලය තුළ, අතින්ද්‍රිය යුක්තිය තුළ, පාරලෞකික පර්යාය තුළ වන විශ්වාසයක් විසින් පහසනු නොලබා සිතා ගත නොහැකි දෑවෙනත් ආකාරයකින් කිව හොත් ස්වයං රැවටීමේ උගුලට හසු නොවී සහ රවුමේ දුවමින් සහ යට යමින්, කරුණාවක් ගැන අසාවත් නැතිව විනාශයට පත් වූ මිලියන ගණනක් ස්ත්‍රීන් පුරුෂයන් හා ළමුන් සමග ගැඹුරු සබඳතා ඇතිකැර ගනිමින්, ඒවායේ දුරස්ත බව අවසන් කරමින් තිබේ. ව්‍යතිරේකයක් වීම එතරම් පහසු නැත. එහෙත් ව්‍යතිරේකයකින් තොරව ජීවත් වන්න ඉරණම විසින් අපට නියම කරනු ලැබ ඇත් නම්, අප අපගේ සාමය සාක්ෂාත් කර ගත යුත්තේ අහම්බයක අසම්මත පර්යායක මරණීය බලඝනයක් නඩත්තු කරන පාලනයක් යටතේ රුදුරු කුරිරුකම්වලට නිරාවරණය වීමෙනි.

මා මේ දේශනය සූදානම් කරමින් සිටියදී ඉතා සුවිශේෂ දෙයක් සිදු වූ අතර එය එක්තරා ආකාරයක නැවත තහවුරු කිරීමක් විය. දිනක් මට තැපෑලෙන් විශාල දුඹුරු ලියුම් කවරයක් ලැබිණි. එය මා වෙත එවනු ලැබුවේ බුකන්වාල්ඩ් අනුස්මරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය වොල්කාර්ඩ් නිගේ විසිනි. ඔහු සිය සුබ පැතුම් සටහන සමඟ කුඩා ලියුම් කවරයක් එතුළ බහා තිබිණි. කවරයේ තිබූ දෑ ගැන ඔහුගේ සටහනේ විස්තරයක් විය. එය බලන්න මට දිරියක් නොවී ය. ලියුම් කවරයේ අඩංගු වූයේ 1945 පෙබරවාරි 18 වැනි දින කඳවුරේ සිරකරුවන් පිළිබඳ මුල් දෛනික වාර්තාවේ පිටපතකි. එහි බැහැර වීම නොඑසේ නම් අඩු වීම යන හිසින් යුත් තීරුවේ “සිරකරු-64,921 කර්මාන්තශාලා සේවක ඉම්රේ කර්ටෙස්ගේ මරණය ගැන මා දැනගත්තා. 1927 වසරේදී උපත ලැබීය.”

එහෙත් එහි සාවද්‍ය ලෙස මා විසින් සපයන ලද දත්ත දෙකක් තිබිණි: මා බුකන්වාල්ඩ් වෙත ගෙන එන විට මගේ උපන් වර්ෂය සහ මගේ රැකියාව නිල ලේඛනයේ ඇතුළත් කර ඇති ආකාරයයි. බාලයකු ලෙස වර්ගිකරණය කරනු ලැබීමෙන් වැළකෙන්න මගේ වයස අවුරුදු දෙකකින් වැඩි කිරීම පළමු වැන්න වූ අතර ශිෂ්‍යයකු වූ මා ඔවුන්ට දැන්වූයේ කම්කරුවකු බවයි.

කෙටියෙන් කියන්නේ නම් මම එක් වරක් මිය ගිය අයෙක්මි. ඒ නිසා මට ජීවතුන් අතර සිටින්න හැකි වෙයි. සමහර විට එය මගේ ඇත්ත කතාව විය හැකි ය. එය එසේ නම්, ළමයකුගේ මරණයෙන් උපත ලද මේ කාර්යය, මියගිය මිලියන සංඛ්‍යාත ජනතාවට සහ තවමත් ඔවුන් සිහිපත් කරන අයට කැප කරමි. එහෙත් අප සාහිත්‍යය ගැන කතා කරන හෙයින් ඔබේ ඇකඩමිය දෙස බලන විට, සාහිත්‍යය ම වන මගේ මේ ප්‍රකාශය අනාගතයේදී ප්‍රයෝජනවත් අරමුණක් ඉටු කරනවා විය හැකි අතර, මෙය මගේ හදවතේ ආශාවයි. අනාගතය අමතනු ඇත. අවුශ්විට්ස් හි ක්‍ෂිතිමය බලපෑම ගැන සිතන සෑම විටම, අද ජීවත් වන අයගේ ජීව ශක්තිය හා නිර්මාණශීලි බව ගැන සිතා මම දිගින් දිගටම ඒ ගැන කතා කිරීම අවසන් කරමි. මේ අනුව අවුශ්විට්ස් ගැන සිතන විට පරස්පර ලෙස, මා පිළිබිඹු කරන්නේ අතීතය නොව අනාගතයයි.

අයිවන් සෑන්ඩර්ස්ගේ ඉංගිරිසි පර්වර්තනය ඇසුරෙනි.

අපර සටහන්

1. නව සොයා ගැනීමකින් බලවත් සතුටට පත් විද්‍යාඥ ආකිමිඩීස් මේ වදන කියමින් කෑ ගසමින් නිරුවතින් ම රජ මාලිගය වෙත දිව ගිය බව පැවසේ.

2.මාර්සෙල් ප්‍රෞස්ට් (1871 - 1922) නම් සුප්‍රකට ප්‍රංස ලේඛකයාගේ කාණ්ඩ සප්තකයකින් සමන්විත ( la recherche du temps perdu (In Search of Lost Time) නමැ ති කෘතියේ එන ඡේදයකි. මැඩලින් කේක් කමින් තේ බොන විට නිතැතින්ම සිත අතීතයට ගිය අයුරු මෙහි දී ඔහු විස්තර කරයි. “ (මැඩලින්)ඇබිත්තක් සමඟ මිශ්‍ර වූ උණුසුම් ද්‍රව්‍ය මගේ තල්ලේ ස්පර්ශ වූ විගස වෙව්ලීමක් මා හරහා දිව ගිය අතර, මට සිදුවෙමින් තිබූ අසාමාන්‍ය දේ ගැන මම සිතුවෙමි. උත්කෘෂ්ට සතුටක් මගේ සිහිකල්පනාව ආක්‍රමණය කර ඇත. හුදෙකලා වූ, වියුක්ත වූ, මූලය පිළිබඳ කිසිදු ඉඟියක් නැති. ” මෙය බටහිර සාහිත්‍යයේ madeleine moment/ madeleine moment/ Proustian effect ලෙස විස්තර කෙරේ

3. Immanuel Kant (1724–1804) නැති දාර්ශනිකයාගේ The Categorical Imperative න්‍යාය

4. goulash යනු මධ්‍යතන හංගේරියාවේ ආහරයට එක් වූ මිශ්‍ර සූපයකි. goulash communism යනු සියලු ආකාර ආර්ථික ක්‍රම සහ දේශපාලන ක්‍රම සංකලනය වූ එහෙත් කමියුනිස්ට් පාලන ක්‍රමයකි.

5. පසුව මෙය Fatelessness ලෙස නම් කරනු ලැබිණි.

6. linear loop යනු ගණිත න්‍යායකි. මෙහි යොදාගෙන ඇත්තේ කවර අරුතකින් ද යන්න පැහැදිලි නැත.

7. Tadeusz Borowsky (1922 - 1951) අවුශ්විට්ස් කඳවුරේ වධයට පාත්‍ර වු පෝලන්ත යුදෙව්වෙකි. පසුව කවියකු හා මාධ්‍යවේදියකු ලෙස නිර්මාණකරණයේ යෙදුණේ ය. නාසි වධකාගාර පසුබිම් කැරගත් ඔහුගේ කෘති සම්භාව්‍ය ලෙස පිළි ගැනේ. කර්ටෙස් මෙහි සඳහන් කරන්නේ ඔහුගේ ‘This Way for the Gas, Ladies and Gentlemen’ නම් කෘතිය ගැන ය.

8. Dachau concentration camp නාසින්ගේ ප්‍රථමරැඳවුම් කඳවුර - දකුණු ජර්මනියේ බාවේරියා ප්‍රන්තයේ ම්‍යුනිච්වලින් කිමි 10 පමණ දුරින් පිහිටා ඩචාඋ ගම්මානයේ 1933 වසරේ ඉදි කොට ඇත.

9. collocation-කිසියම් වචනයක් වචන හෝ වෙනත් වචනයක් හෝ වචන සමග අහඹු සිදු වීමට වඩා වැඩි වාරගණනක් සමීපස්ත වීම/ සන්නිකර්ෂණය

10. holocaust යන වචනයේ සාමාන්‍ය අරුත ජන සංහාරය, සමූලඝාතනය වෙ. එහෙත් The Holocaust යනු නාසීන්ගේ යුදෙව් සංහාරයයි.

11. Final Solution යනු දෙවන ලෝක යුද සමයේ යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සඳහා වූ නාසි සැලැස්මයි. ”‍යුදෙව් ප්‍රශ්නයට අවසාන විසඳුම”‍ යනු යුරෝපීය මහාද්වීපයට පමණක් සීමා නොවූ සියලු‍ම යුදෙව්වන්ව ඝාතනය කිරීමේ නිල කේත නාමයයි.

12. The American Heritage Dictionary of the English Language ගාල් කඳවුර යන පදය අර්ථ දක්වන්නේ: “ භයානක හෝ නුසුදුසු යැයි රජය විසින් හඳුනාගෙන ඇති කණ්ඩායමක සාමාජිකයකු වීම නිසා නඩු විභාගයකින් තොරව හා දැඩි කොන්දේසි යටතේ පුද්ගලයන් කොටු කැරගෙන සිටින කඳවුරක්,

13. Universe of the Concentration Camps එනමින් යුත් ලියවිල්ලකි.

14. Mátyás Rákosi 1948 1948 - 1956 දක්වා හංගේරියාව පාලනය කළ කමියුනිස්ට් නායකයා ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.