
ගමන ආරම්භයේදී වගේමයි මඟ දිගටම බස් එකට නඟින සෙනඟ බොහොමයි. මේ දවස උදෑසනින් ආරම්භ කරන්නෝ ය. දරුවකු වඩාගෙන බසයට ගොඩ වූ පියා අසුනක් සොයමින් වටපිට බලයි. නිදි නැති මම ඔබ දෙස බැලුවෙමි. ඔබ ද නිදි නැත. මා ඔබ දෙස බලනු දුටු ඔබ, වහා ඉවත බලාගත්තේ ය. ඒ ඉවත බැල්මේ ඔබ රැඳ වූ කතාන්දරය මිහිරි නැත. මම දැනගතිමි. ඔබ මගේ සිත කියවූ බව. මගේ සිත කීවේ ඔබ අසුනෙන් නැඟිට පියාටත්, දරුවාටත් ඔබේ ඉඩ දේ යැයි කියා ය. ඔබ එසේ නොකළේ ය. මම දෑස වසා ගතිමි. ගමන කෙළවර විණි. ගමන කෙළවරදී මම ඒ පිය පුතු කොහේ දැයි විපරම් කළෙමි.
පියා, පුතු උකුලේ තබාගෙන පුතුගේ හිස තමාගේ ළයට තුරුලු කරගෙන වාඩි වී සිටියේ ය. සමාවෙන්න ඔබට වැඩි ළතෙත් අයෙකු පිය පුතු ස්නේහයට ගරු කර තිබිණි. මා ඔවුන් දෙස බලන අයුරු ඔබ දුටුවේ ය.
“ඔය තරම් ඕනෑකමක් තිබුණා නම් තමන් නැඟිටල තමන්ගෙ තැන දෙන්ට තිබුණා නේ...”
බසයෙන් බැස පටු ගුරු පාර දිගේ යද්දී ඔබ මට කීවේ ය. මම කිසිවක් නොකීවෙමි.
මා ඒ පිය පුතු දුටු විට ද කිසිවක් නොකීවෙමි. මා කළේ ඔබ දිහා බැලීම පමණකි. මගේ ඒ බැලීම, ඔබ ළඟට කෝපය ළං කර ඇත.
“හැදිච්චකමයි, කරුණාවන්තකමයි, මනුස්සකමයි අරකයි, මේකයි ඔක්කොම ඔඩොක්කුවේ තියාගෙන හොඳහැටි හරිබරි ගැහිලා සීට් එකේ වාඩිවෙලා යනවා. මං ඒවා අත් දෙකේ කරේ එල්ලගෙන බස් එකේ පොල්ලෙ එල්ලිලා යන්ට ඕනෙ...”
ඔබ මුළු කතාව සාරාංශ කර මට බණියි.
මම ඔබට නොකියමි... කිසිවක්ම.
සිනහව මගේ ළඟ. මා බිම බලාගෙන ගමන් කරන්නේ. අප යන මේ ගමන පාර නොවැරදී යා යුතු නිසා ය. මේ අප යන්නේ අපේ ඉතා හිතවත් මිතුරකු ලෙඩ වී ඇති නිසා ඔහු බලන්නයි. දැඩි ලෙස රෝගාතුරව සිටින අයකු බලන්න යන ගමනේදී මුවේ සිනා පුරවාගෙන යෑම නොහොබිනාකමකි. දැන් මේ අතරමඟදී සිදු වූ කෝපයට කාරණා, සිනාවට කාරණා අමතක කර අපි දුක් මුහුණුවලට මාරු වී ලෙඩාගේ ගෙදරට ගොඩවෙමු... මට එහෙම කියන්න ඕනෑකම තිබේ. ඒත් ඔබේ කෝපය ළඟ මට ඒ වචන ගලවා ගත හැකි නොවේ. දනිමි මම ඔබේ වග...!
අර තාත්තෙක් දරුවකු වඩාගෙන සෙනඟ පිරිල ඉතිරිලා යන බසයට ගොඩ වී මට කළ හදියක්...! ඒ පුතා රෝගී වන්න ඇත. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ නොම්මර තුණ්ඩු කෑල්ල ගන්න උදේ රැයින් යන්න බස්වල සෙනඟ පිරිච්ච, නොපිරිච්ච නැකැත් බල බලා ඉන්නේ කොහොම ද?