ජීවිතය හිස් කිරීම | සත්මඬල

ජීවිතය හිස් කිරීම

ලේනා මේ ලොව ගැන හාංකවිසියක අවධානයෙන් තොරව වේගයෙන් බත් ගුලියක් කමින් සිටියේ ය. ඌ දෙමලිච්චා මෙන් කලබල නැත. කෑම ලෑල්ලේ අයිනක වාඩි වී ඌ ඌගේ පාඩුවේ බත් ඇටයෙන් ඇටය කයි. එක්වර ම කෑම ලෑල්ලට පියඹා ආවේ ගිරවෙකි. සාමකාමී බව මොහොතින් පලා ගියේ ය. කලබල වූ ලේනා බත් ගුලිය ද බිම දමා අඹ ගස දිගේ වේගයෙන් දිව ගියේ ගිරවා ඇතුළු සමස්ත ලෝකයට ම බැණ වදිමිනි. පෙර පියාඹා ආ ගිරවා සොයා ආ තවත් ගිරවෙක් කෑම ලෑල්ල මත වැසුවේ ය.

ගිරවු කෑම ලෑල්ල තම අයිතියට පවරා ගති. එහෙන් මෙහෙන් එබෙන දෙමලිච්චන්, කොණ්ඩ කුරුල්ලන්, පොල්කිච්චන්, මයිනන් ගැන උන්ට ගානක් නැත. අනෙක් කුරුල‍්ලෝ ද දිගින් දිගට ම ඉවැසීම ප්‍රතික්ෂේප කරමින් ගිරවුන් හා සටනට වන්හ. කුරුලු‍ බැණ වැදීම්, හැඬීම් හේතුවෙන් පරිසරය ගිනි ගති.

ජීවිතය නම් බොහෝ අවශ්‍යතා ඇති ක්‍රෑර වූ දෙයකි. එය කිසිවිට ඔබට හෝ මට අවැසි පරිදි ජීවත් වන්නට ඉඩ දෙන්නේ නැත. ලෝකයේ කොහේ ජීවත් වුවත් මෙය පොදු කාරණයකි. ලෝකයේ අවශේෂ මිනිසුන් බඳු වන්නට, කුහකයකු වන්නට එසේත් නැති නම් ඔබ සැබවින් ම අදහස් නොකරන දේ කිරීමට එය ඔබට බලපෑම් කරනු ඇත. ඔබ මා කෙතරම් ප්‍රියකරන දෑ තිබුණත් ජීවිතය නම් ඉතා සංකීර්ණ දැයක් බව අප වටහා ගත යුතුව ඇත.

ඔබ අවට සිටිනවුන් දෙස මඳක් බලන්න! ඒ හැම දෙනා ම ඔබ මෙන් ම මා මෙන් ම එක ම අපහසුවක ඇලී ගැලී ජීවත් වෙති. ඇතැම්හු ඒ තත්ත්වයෙන් පිට පැන ඉබාගාතේ ගොස් මිය යති. සමහරු පවතින තත්ත්වයට අනුගතව ජීවත්වන්නන් වාලේ ජීවත් ව මිය යති.

තවත් අය මේ මිහිකතේ ම සාමකාමී තැන් සොයති. ත‍වෙකෙක් මේ ජීවිතය ගැන කලකිරී ශ්‍රමණ‍ වෙස් ගෙන නානා විධ පුද පූජා පවත්වමින් ජීවත් වෙයි. ‍එහෙත් අති බහුතරය නම් සමාජයේ අවශ්‍යතා තම තමන්ට උචිත පරිද්දෙන් වටහාගෙන බාහිර සාමකාමී බවෙකින් යුතුව ජීවත් වෙති. තමන්ගේ දුක් වේදනා හෝ ජීවත්වීමේ රඟපෑම ඔවුන් කවරදාවත් තේරුම් ගන්නා බවක් නම් නොපෙනෙයි.

 එබැවින් ජීවිතය යනු කුමක් ද ම සිත හඬ නඟයි. පොදු ලක්ෂණ ඇති සාමාන්‍ය මිනිසකු නොවීමට නම් මා කළ යුත්තේ කුමක් ද?

ඔබට හැකි ද පූර්ණ ලෙස ම ඔබ ම වන්නට! අනුන්ගෙන් පාර අසාගෙන, අනුන්ගේ දැනුමෙන් මනස පුරවාගෙන, අනුන් පවසන දෙයක් අදහාගෙන නොසිට ඔබට ඔබ ම විය හැකි නම්...

ඔබ ඔබ නොවී අනුන්ගේ දැනුමෙන් පිරි ප්‍රත්‍යක්ෂ ඥානය නැති පුද්ගලයකු වුවහොත් ඔබට, මට මේ ලොව ඉපැදෙන විට ම ලැබෙන සහජ අවංක බවවත් ඉතිරි නොවනු ඇත. එබැවින් ඔබ ඔබ ගැන ම; මා, මා ගැන ම පූර්ණ අවදියෙන් යුතු විය යුතුය. පොත්පත්වලින් හෝ ආගමික නායකයන්ගෙන් හෝ දේශකයන්ගෙන් හෝ ඉගෙන ගන්නවාට වඩා වැඩි දෙයක් ඔබට ඔබ කෙරෙහි ම වන නිරීක්ෂණයෙන්, අවදි බවෙන් උගත හැකි යැයි මට විශ්වාස ය. එහෙත් එය වඩාත් සාර්ථක කර ගැන් ම අප සතු ය.

ස්වාධීන චින්තනයට, නිවහල් දැක්මට මේ ලොව ඇති ඉඩකඩ ඉතා සීමිත බැවින් ඔබ හෝ මා ස්වාධීන, ස්වායත්ත කෙනකු වීමට කරන උත්සාහයේදී එය ප්‍රතික්ෂේප කරවන, ඊට අනුබල නොදෙන බොහෝ පෙලඹවීම් සමාජයෙන් ම නැඟ ඒමත් පුදුම සහගත වීමට කරුණක් නොවේ. එහෙත් සමාජයේ වන අනේකවිධ මිථ්‍යාව, අනුකාරක බව ආදිය ගැන ඔබට හෝ මට නියමාකාර දැනීමක්, අවදි බවක් පවතින්නේ නම් ඒ පෙලඹවීම්, ඊනියා පෙලඹවීම් ලෙස දකින්නට අපට හැකි වනු ඇත. අවදිබව බුද්ධියේ ආරම්භය වන අතර ම එය අප ජීවිතයට එක්කරන ආලෝකය පූර්ණ වූවක් ම ය.

පවතින තත්ත්වයට අනුගත වීම ඉතා පහසු ය. එහෙත් සත්‍යය එය නොවන බැවින් ඊට එරෙහි ව ඔබේ මනසින් ඔබ ශක්තිමත් ව පූර්ණ ව එයට මුහුණ දෙන්නේ නම් සත්‍යය ලෙස ජීවත් වීම ඔබට, මට මහා සැහැල්ලු‍වක් ගෙන එනු ඇත. ජීවිතය නම් විවිධ ය, වෛචිත්‍ර ය, සංකීර්ණය ය. ජීවිතය කෙසේවත් සරල දෙයක් නොවේ. ඔබට, මට චාම් දිවියක් ගත කළ හැකි වුවත් චාම් බව යනු ඔබ හෝ මම අදහස් කරන සරල දෙය නම් නොවේ. ඇඳුම් කිහිපයක් පමණක් ඇති ව, දවසකට එක් වේලක් පමණක් ආහාර ගනිමින් ජීවත් විය හැකි වුවත් චාම් බව යනු එය නම් නොවේ. චාම් වීම යනු නිරවුල් වීම ය; පරස්පර විරෝධී නොවීම ය. චාම් බව බාහිරින් මැනිය හැකි නොවේ.

ඔබේ ජීවිතය අයිති වන්නේ ඔබට ය. ඔබ ඒ ජීවිතය අනෙකාට උකස් කරනවා ද; ලද ජීවිතයෙන් පූර්ණ ඵල ලබා ගන්නවා ද යන්න තීරණය කළ යුත්තේ ඔබ ම ය. තමාගේ ආලෝකය තමා විසින් ම සොයා ගැනීම ජීවිතයේ අනන්ත අපරිමාණ සැහැල්ලු‍වට හේතු කාරක වනු ඇත.

සමස්ත ලෝකයට ම බැණ වදිමින් වෙන කිසි කුරුල්ලකුට කෑම ලෑල්ල වෙත එන්නට ඉඩ නොදුන් ගිරවා නික්ම ගියේ කොයි වේලේදැයි මට නිච්චියක් නැත. යළිත් ලේනා බත් ඇටයෙන් ඇටය කනු පෙනේ. ඌ මේ ලොව කෙරෙහි කිසිදු බලපෑමක් නොකර ජීවත් වන්නන් වාලේ ජීවත් ව සිට මිය යයි. එහෙත් මිනිසුන් වන අප ද එසේ විය යුතු ද?

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.