මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’නාටකය | සත්මඬල

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’නාටකය

‘එලොව ගිහින් මෙලොව ආවා’ යන කියමන එහි වාච්‍යාර්ථය වටහා ගැනීම හේතු කොටගෙන සිදු වූ අවුල් ජාලයයි. කතා පුවත ආරම්භයේ සිට අවසානය දක්වා ම නාටකයට නඟා ඇත්තේ හාස්‍යෝත්පාදක සිදු වීමක් ලෙස ය.

හාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’ යන නාටකය වර්ෂ 1959 සැප්තැම්බර් මස 04 වැනි දින පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ එළිමහන් රඟ මඬලෙහිදී ප්‍රථම වරට රඟදැක්විණි. එයට මූලාශ්‍රය වූයේ මෙරට ජනප්‍රිය ජනකතාවකි. ඒ ජනකතාව වෙනස්කම්වලට ද භාජනය කොට මේ නාටකය මඟින් නාට්‍යෝචිත ලෙස ඉදිරිපත් කෙරේ. එය ප්‍රධාන වශයෙන් ම රඟ දක්වා ඇත්තේ ගායනය හා නැටුම මඟිනි. ‘එලොව ගිහින් මෙලොව ආවා’ යන කියමනෙහි වාච්‍යාර්ථය නම් ‘මරණයෙන් පසු වෙනත් ලෝකයකට ගොස් නැවතත් ආපසු මේ ලෝකයට පැමිණීම’ යනුයි. එහි ධ්වනිතාර්ථය නම් ‘මිය යන්නම ගොස් යම්තම් ජීවිතය රැකගත්තා’ යනුයි. නාටකය මඟින් නිරූපණය වනුයේ ‘එලොව ගිහින් මෙලොව ආවා’ යන කියමන එහි වාච්‍යාර්ථය වටහා ගැනීම හේතු කොටගෙන සිදු වූ අවුල් ජාලයයි. කතා පුවත ආරම්භයේ සිට අවසානය දක්වා ම නාටකයට නඟා ඇත්තේ හාස්‍යෝත්පාදක සිදු වීමක් ලෙස ය.

නාටකයට වස්තු වූ කතා පුවතට චරිත හතරක් ඇතුළත් වෙයි. කළුඅප්පු නමැති ගමේ රාලහාමි, ඔහුගේ බිරිය වන කළුහාමි එනම් ගමහාමිනේ, හිඟන්නා හා කම්මල්කරුවා යනු ඒ චරිත හතරයි. එයට අමතරව අශ්වයකුගේ වෙස් මුහුණක් දමාගත් නළුවකු මඟින් අශ්වයකු නිරූපණය කෙරේ. මේ නාටකය ජවනිකා තුනකින් සමන්විතයි. පළමුවැනි ජවනිකාවට පසුබිම් වනුයේ ගමේ රාලහාමිගේ හා ගමහාමිනේගේ නිවෙසයි. පළමු කොටම කළුහාමි එනම් ගමහාමිනේ දකුණු පසින් රඟබිමට පිවිස රඟබිම වටා එක්වරක් නටමින් යයි.

කළුහාමිගේ නැටුම් පදය දක්වා ඇත්තේ මෙසේ ය:

“ගුඳ ගුඳ ගඳ - ගඳි ගඳි ගඳ

ගුඳ ගුඳ ගඳ - ගඳඃ දෝං”

අනතුරුව කළුහාමි රඟබිම මැදට පැමිණ ගීයක් ගායනා කරන්න පටන් ගනියි. ඒ ගීය මඟින් ඈ තමා පිළිබඳ විස්තරයක් කරයි. තමාගේ නම කළුහාමි බවත්, තමා ඉපදුණේ මේ ගමේ ම බවත්, ඉපදුණු ගම දාලා කොහේවත් ගොහින් නැති බවත්, තමාගේ සැමියා කළුඅප්පු බවත්, ඔහු ගමේ රාලහාමි බවත්, ඔහු කාටත් හිතහොඳ කෙනකු බවත්, ඒ ගැන කවුරුත් දන්නා බවත් පවසයි. ඉඳහිට ඔහු තමාට මෝඩ ගෑනියි කියා බැණ වැදුණත් තමාගේ දුක සැප කෝකත් බලන්නේ උන්නැහේම බවත්, ගමේ කවුරුත් ඔවුන්ට සලකන බවත්, අතමිට හිඟයක් නැතුව ජීවත් වෙන්නේ ඒකෙන් බවත්, කොතරම් සැප වින්දත් ජීවිතය කාලකණ්ණි බවත් ඈ පවසන්නේ ශෝකයෙනි. එපමණක් නොව තම සිතට කොයි වෙලාවෙත් සැනසිල්ලක් නැති බවත්, තමා ආදරයෙන් ඇති දැඩි කළ දියණිය මරණයට පත් වෙලා අවුරුද්දක් පමණ ගත වන බවත්, ඇය එලොව ගියදාට පසු කිසිම ආරංචියක් නැති බවත්, එලොව ගිය කෙනකු ආපහු නාපු නිසා ඇය ගැන දැනගන්න ක්‍රමයක් නැති බවත් ඈ ඒ ගීය මඟින් පවසයි. ආරම්භයේ සිට අවසානය දක්වාම කළුහාමිගේ චරිතය නිරූපණය කොට ඇත්තේ එලොව යනු හැම කෙනකුම මරණයට පසු ගොස් ජීවත් වන වෙනම ලෝකයකි යන්න පිළිගත් අනුවණ ගැහැනියක ලෙස ය.

කළුහාමිට පසු හිඟන්නෙක් දකුණු පසින් රඟබිමට පිවිසෙයි. ඔහු රඟබිම වටා එක්වරක් නටමින් යයි. හිඟන්නාගේ නැටුම් පදය දක්වා ඇත්තේ මෙසේ ය:

“දොංත ග තඟු ගුඳ”

ඉන්පසු හිඟන්නා ගීයක් ගායනා කරන්න පටන් ගනියි. හිඟන්නා ගායනා කරන ගීය මඟින්, මෙලොවදී නොයෙක් සැප සම්පත් ලබාගන්න, එලොවදී දුකක් නැතුව ජීවත් වෙන්න, සංසාරෙන් එගොඩවී නිවන් සැප අත්පත් කරගන්න තමාට කිසිවක් දෙන මෙන් හිඟන්නා ගමහාමිනේ ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියි. එයට පිළිතුරු දෙන කළුහාමි ඔහුට දෙන්න දැනට තමා ළඟ තඹයක්වත් නැති බවත්, මාරුකරපු සල්ලි තියෙන වෙන දවසක එන ලෙසත් ඔහුට දන්වයි. එවිට හිඟන්නා තමා මුළු දවසම නිරාහාරව සිටි හෙයින් ඉතුරු වෙච්ච කෑම ටිකක් හරි තමාට දෙන මෙන් ඉල්ලා සිටියි. මේ වෙලාවේ එබඳු දෙයක්වත් නැති බව කියන කළුහාමි රස්සාවක් හොයාගන්න ලෙස ඔහුට අවවාද කරයි. එයට පිළිතුරු දෙන හිඟන්නා මෙසේ පවසයි:

“හිඟන්නා: දෙවි පිහිටෙන් මගෙ අතපය

නොකැඩී තියෙනව යන්තං

ඒ වුණාට වැඩ කරන්න

තවම අමාරුයි හාමිනේ

 

අවුරුද්දක් ඇඳේ හිටිය

අතපය හොලවන්න බැරුව

යන්තං පෙර පිනක් තිබිල

එලොව ගිහිං මෙලොව ආව”

 

‘එලොව ගිහින් මෙලොව ආව’ යන වචන පෙළ ඇසුණු විගසම කළුහාමිගේ ආකල්පය සම්පූර්ණයෙන් වෙනස් වෙයි. ඔහු කියන්නේ ඇත්තක්ම දැයි එවැනි දෙයක් වියහැකි දැයි ඈ ඔහුගෙන් අසයි. එය ඇත්තක්ම බව හිඟන්නා කියා සිටියි. එවිට කළුහාමි තවදුරටත් හිඟන්නාගෙන් මෙසේ ප්‍රශ්න කරයි:

“කළුහාමි: හැබෑවටම එලොව ගිහින්

ආව කියන ඔය කතාව

ඇත්තක් නං ඇයි මගෙ දුව

එන්නෙ නැත්තෙ උඹ වාගේ?”

 

එයට පිළිතුරු දෙන හිඟන්නා එලොව ගිහින් මෙලොව ඒම එතරම් ලේසි පහසු වැඩක් නොවන බවත්, එලොව ගිහින් මෙලොව එන්නේ කලාතුරකින් කෙනකු බවත් පවසයි. මේ වන විට කළුහාමිගේ සිතේ හිඟන්නා කෙරෙහි ඉමහත් විශ්වාසයක් ඇති වී තිබූ හෙයින් ඈ තවදුරටත් ඔහුගෙන් මෙසේ විමසයි:

“කළුහාමි: මමත් හිටිය හම්බ වෙන්න

එලොව ගිහින් ආපු කෙනෙක්

එහේ ඉන්න මගේ දුවගෙ

සුවදුක් දැන ගන්න අහල

 

කළු හාමිගෙ දුව කිව්වම

කොයි කවුරුත් දන්නව ඇති

කොහොම ද දුව සනීපෙන් ද

අපිව මතක නැති වෙලා ද?”

 

එයට සවන් දුන් හිඟන්නා තමා කෙරෙහි ගමහාමිනේ තුළ ඇති වූ විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි එලොවදී තමාට මුණගැසුණු ඇගේ දියණිය පිළිබඳ මෙසේ විස්තර කරයි:

“හිඟන්නා: හරි හරි මට දැන් මතකයි

හම්බ වෙලත් තියෙනව වගෙ

අර හැදිච්ච ගතිගුණ ඇති

ළමය නේද ඔය කියන්නෙ?

වැඩිය කතා බහක් නැතුව

තමාගෙ පාඩුවේ ඉන්න?

 

උසකුත් නෑ ඒ තරම්ම

මිටි බවකුත් නෑ පෙනෙන්නෙ

හරියට හාමිනේ වගේ

ඇරපු අතක් නෑ බැලුවම”

 

තම දියණිය පිළිබඳ හිඟන්නා විසින් කරන ලද විස්තරයට සවන්දුන් කළුහාමි තුළ ඔහු කෙරෙහි තිබූ විශ්වාසය තවදුරටත් තහවුරු වෙයි. ඈ මෙසේ පවසයි:

 

“කළුහාමි: ඔව් ඔව් ඒ එයා තමයි

කියපු විදිය හරියට හරි

දැක්කොත් නං කෙනෙක් ඈව

අම්ම වගේමයි කියනව”

එලොව ගොස් සිටින තම දියණියට යමක් යවාගන්න ක්‍රමයක් තමා සොය සොයා සිටින බව පවසන කළුහාමි නැවත වරක් එලොව යන අදහසක් නැද්දැයි හිඟන්නාගෙන් විමසයි.

එයට පිළිතුරු දෙන හිඟන්නා තමා මේ ගමන්ම නැවතත් එලොව යන්න සූදානම් වන බවත්, ඕනෑම දෙයක් ගෙනිහින් දිය හැකි බවත් දන්වයි. තවදුරටත් කරුණු දක්වන හිඟන්නා ගමහාමිනේගේ දියණිය එලොවදී තමාට මුණගැසුණු අවස්ථාවේ ඈ ඇගේ කනකර ආයිත්තම් ටික එලොවට රැගෙන ඒමට නොහැකි වීම ගැන දුක්වෙවී සිටි බව ද පවසයි. එයට සවන් දුන් කළුහාමි එලොව ගිය තම දුවගේ රන් ආභරණ හිඟන්නා මාර්ගයෙන් යැවීමට තීරණය කරයි. ඈ වහාම පසෙකට ගොස් දුවගේ රන් ආභරණ අඩංගු පෙට්ටිය රැගෙන අවුත් හිඟන්නා අතට දෙයි. තමා එය ඉතා පරිස්සමින් එලොවට රැගෙන ගොස් ඇගේ දුවට දෙන බවට ඔහු පෙරොන්දු වෙයි. එවිට කළුහාමි නැවතත් නිවෙස ඇතුළට ගොස් වැලිතලප හා කෙසෙල් ගෙඩි ද රැගෙන අවුත් එයත් ගෙන ගොස් දුවට දෙන ලෙසට හිඟන්නා අතට දෙයි. හිඟන්නා රඟ බිම වටා දෙවරක් නටමින් ගොස්, වම් පසින් පිටවී යයි. හිඟන්නාගේ නැටුම් පදය (ඔහු දෙවරක් රඟබිම වටා නටමින් යන්නේ පද දෙකකට ය) දක්වා ඇත්තේ මෙසේ ය:

“දොංතග තඟු ගුඳ

තඟුඳ දොංත ගුඳඟ තාත් තඟුඳ”

අනතුරුව කළුඅප්පු එනම් කළුහාමිගේ සැමියා වන ගමේ රාලහාමි දකුණු පසින් රඟබිමට පිවිස රඟබිම වටා එක් වරක් නටමින් එයි. කළු අප්පුගේ නැටුම් පදය දක්වා ඇත්තේ මෙසේ ය:

“ත ගු ගුඳ ගුඳ ගුං ගුඳ ගුං”

ඉන් පසු ඔහු රඟබිම මැදට අවුත් ගීයක් ගායනා කරයි. ඔහු ඒ ගීය මඟින් තමාගේ නම කළුඅප්පු බවත්, ගමේ හැමදෙනාම තමාට කියන්නේ රාලහාමි බවත්, තමාට වැඩපළ බහුල බවත්, වැඩි වෙලාවක් ගතකරන්නේ ගෙයින් පිටත බවත්, වරුවක්වත් ගෙදරට වෙලා නිස්කලන්කව ඉන්ඩ නොලැබෙන බවත්, ගෙයක් හදාගැනීමේ අදහසින් ඉඩමක කොටසක් මිලට ගත් බවත්, එය කළෙත් ණයට මුදල් ලබාගැනීමෙන් බවත්, ගෙදර අයට මේවායේ බරපතළකම නොතේරෙන බවත්, කිසිම දේක අරපිරිමැස්මක් නැති බවත් පවසයි.

එවිට කළුහාමි රඟබිමට අවුත් සුබ ආරංචියක් ගෙන ආ හිඟන්නා පිළිබඳ පුවත තම සැමියාට දන්වා සිටින්නේ මෙසේ ය:

“කළුහාමි: අද මට සන්තෝසයි - හිතටත් සැනසීමයි

දුව ගැන ලැබුණා නේ - එලොවින් ආරංචි

සැපසේ ඉන්න හැඩයි - අපි ගැන හෙව්වාලු

ඇවිදින් කියල ගියා - අඳුනන මිනිහෙක් දැන්”

 

ඒ අදහසට සවන්දුන් කළුඅප්පු පුදුමයට පත් වෙයි. කිසියම් භයානක දෙයක් සිදු වන්න ඇතැයි සිතී ඔහු තම බිරියගෙන් මෙසේ ප්‍රශ්න කරයි:

“කළුඅප්පු: එලොවින් ආරංචී? මොනව ද දොඩවන්නේ?

හැදිල ද ඔල්මාදේ? දුටුව ද හොල්මන්වත්?”

 

එවිට කළුහාමි දැන් ටික වේලාවකට කලින් මිනිහෙක් තමා හමුවීමට පැමිණි බවත්, ඔහු එලොව සිට මෙලොවට පැමිණි කෙනකු බවත්, ඔහු නැවතත් එලොවට යන බවත්, අවුරුද්දකට කලින් මියගිය ඇගේ දියණිය එලොවදී ඔහුට මුණගැසී තිබෙන බවත්, දුව ඇගේ රන් ආභරණ ටික එවන ලෙස ඔහු අතේ පණිවිඩයක් එවා තිබූ බවත්, ඔහු දුව ගැන කියූ විස්තර හරියටම හරි බවත්, ඒ අනුව දුවගේ රන් ආභරණ අඩංගු පෙට්ටිය ඔහු අතේ යැවූ බවත්, ඔහු එය පරිස්සමින් ගෙන ගොස් දෙන බවට පොරොන්දු වූ බවත් ඇගේ සැමියාට දන්වා සිටියි. එය අසා අධික ලෙස කෝපයට පත් වන කළුඅප්පු එවැනි මෝඩ වැඩක් කිරීම ගැන ඇයට තදින්ම දොස් නඟයි. තව ද කළුඅප්පු, තමා රන් ආභරණ රැගෙන ගිය තැනැත්තා සොයා යන බවත් ඔහු අල්ලාගෙන අවුත්

“මං හන්දියෙ තියාලා - මඩු වලිගෙන් තළාලා - ඇට කටු ටික පොඩි වෙනකල් - මෝල් ගහෙං බෙදාලා”

දඬුවම් කරන බවත් එකහෙළාම කියා සිටියි.

තමා හමුවීමට අවුත් රන් ආභරණ රැගෙන ගිය තැනැත්තා කොටු කොටු රෙද්දක් ඇඳගෙන ඔළුවේ කළු රෙදි පටියක් ඔතාගෙන සිටි බව කියන කළුහාමි ඔහු පසු පස එළවා යෑම ගැන තම විරෝධය පළ කරයි. ඇගේ විරෝධය නොතකා ඔහු ග්‍රහණය කරගැනීමට කළුඅප්පු රඟබිමේ වම් පසින් පිටවී යයි. ඒ සමඟම පළමුවැනි ජවනිකාව නිමාවට පත් වේ.

දෙවැනි ජවනිකාවට පසුබිම වනුයේ කම්මලකි. ආරම්භයේදීම කම්මල්කරුවා තමා පිළිබඳ හැඳින්වීමක් කරමින් ගීයක් ගායනා කරයි. ඒ ගීය මඟින් කම්මල්කරුවා තමා උදේ සිට රෑවෙන තුරු වැඩපළ කරන කෙනකු බවත්, ගමේ රාලහාමිගේ වැඩ කටයුතු තමා නොමිලයේ කරදෙන බවත්, එසේ නොකළොත් තමාට ගමේ වාසය කිරීම පවා අපහසු වන බවත් පවසයි.

එවිට එලොව ගිහින් මෙලොව ආපු හිඟන්නා, දකුණු පසින් රඟබිමට ඇතුළු වී වේගයෙන් එය හරහා ගමන් කොට රඟබිම වටා පිමි පැන ගොස්, කම්මල්කරුවාගේ අතින් අල්ලයි. කම්මල්කරුවාට බොරු හිතවත්කමක් දක්වන හිඟන්නා, කම්මල්කරුවා සිදු කළ කිසියම් වරදකට දඬුවම් කිරීම සඳහා, ගමේ රාලහාමි එහි එන බව දන්වයි. තව ද හිඟන්නා කම්මල්කරුවාගේ ආරක්‍ෂාව සඳහා යැයි අඟවා, තමා ඇඳ සිටි කොටු කොටු රෙද්ද හා ඔළුවේ ඔතා තිබූ කළු රෙදි පටිය ගලවා ඔහුට අන්දවා, වහාම එතනින් පිටවී ගොස් සැඟවී සිටින ලෙස කියයි. එයට එකඟ වන කම්මල්කරුවා වහාව එතනින් පිටවී යයි.

එවිටම පාහේ කළුඅප්පු රාලහාමි අශ්වයා පිටින් ඇවිත්, අශ්වයා පසෙක නවත්වා බිමට බසියි. අශ්වයාගේ නැටුම් පදය දක්වා ඇත්තේ මෙසේය:

“ගුද ගති ගත දොං”

කළුඅප්පු රාලහාමි අශ්වයා ගහක් යට නවතා, කම්මල ඇතුළට අවුත්, මීට ටික වේලාවකට කලින් එහි පැමිණි කළු රෙදි පටියක් ඔළුවේ ඔතාගෙන සිටි තැනැත්තා ගැන විමසා බලයි. එයට පිළිතුරු දෙන හිඟන්නා, ඒ තැනැත්තා කම්මලේ පිළිකන්න පැත්තට ගිය බව පවසයි. එවිට කළුඅප්පු රාලහාමි ඔහු සොයා රඟබිමේ දකුණු පසින් පිටවී යයි.

තමා යෙදූ උපක්‍රමය සාර්ථක වීම ගැන බෙහෙවින් සතුටට පත් වන හිඟන්නා තමා ගෙනආ පොට්ටනිය ඔසවා ගෙන රාලහාමිගේ අශ්වයා නවතා තිබූ තැනට ගොස් පහත සඳහන් ගීය ගායනා කරයි:

“හිඟන්නා: මෙදා පොටේ කලදසාව

හොඳ වෙන පාටයි පෙනෙන්නෙ

හිඟා නොකා අඩු ගණනේ

අවුරුද්දක් ඉන්න ඇහැකි

කවද සිද්ද වෙන දෙයක් ද

අස්පයෙකුත් හම්බ වුණා

ලේසියෙන් ම එලොව යන්න

කළුහාමිගෙ දුවට ගිහින්

දෙන්න ඇහැකි ගමන් යන්න

රිදී රත්තරං ඇඳගෙන

යන්න විදියකුත් එපායැ?

මාත් එක්ක එලොව යන්න

කැමැති ද උඹ අස්පයෝ?

හනික යමං

ගාට ගාට ඉන්නෙ නැතුව

එක පිම්මට”

හිඟන්නා අශ්වයා පිට නැඟ, රඟ බිම වටා දෙවරක් ගොස්, වම් පසින් පිටවී යයි.

අශ්වයා පිට යන නැටුම් පදය දක්වා ඇත්තේ මෙසේය:

“ගුද ගති ගත දොං”

හිඟන්නා සොයා කම්මලේ පිළිකන්න පැත්තට ගිය කළුඅප්පු රාලහාමි, ඔළුවේ රෙදි පටියක් ඔතාගෙන සිටි කම්මල්කරුවා සමඟ රඟබිමට පිවිසෙයි. රාලහාමිගේ බිරිය රවටා රන් ආභරණ රැගත් තැනැත්තා හිඟන්නා මිස කම්මල්කරුවා නොවන බව එහිදී අනාවරණය වේ. තව ද රාලහාමි ගහක් යට නවතා ආ අශ්වයාත් මේ වන විට හිඟන්නා පැහැරගෙන ගොස් තිබෙන බව එළිදරව් වේ. එවිට කළුඅප්පු ඉවසිය නොහැකි තරම් කෝපයට පත් වී ගීයක් ගායනා කරයි:

“කළුඅප්පු: ඕකව මට හම්බ වුණොත්

දන්නව මං කරන වැඬේ

මං හන්දියෙ තියාලා

මඩු වලිගෙන් තළාලා

පුවක් කඳන් දෙකක් මැද්දෙ

බැඳල කකුල් දෙක තද කර

ඕකව මං ඉරාලා

දෙකට තුනට පළාලා

දන්නව මං කරන වැෙඩ්.”

 

ඉන් පසු කළුඅප්පු රඟබිම වටා දෙවරක් නටමින් ගොස් දකුණු පසින් පිටවී යයි.

කළුඅප්පුගේ නැටුම් පදය දක්වා ඇත්තේ මෙසේ ය:

“රුඳගත රුඳගත ජිං”

ඒ සමඟම දෙවැනි ජවනිකාව නිමාවට පත් වෙයි.

තුන්වැනි ජවනිකාවට පසුබිම් වනුයේ කළුඅප්පුගේ හා කළුහාමිගේ නිෙවසයි. ආරම්භයේදීම කළුහාමි රඟබිම මැදට අවුත් ගීයක් ගායනා කරයි. ඒ ගීය මඟින් කළුහාමි තම සැමියා වන කළුඅප්පු රාලහාමි පිළිබඳ වර්ණනාවක් කරයි. තව ද මීට ටික වේලාවකට පෙර හිඟන්නා මුණගැසීම සඳහා ගිය තම සැමියා ආපසු පැමිණීමට ප්‍රමාද වීම ගැන සොයා බැලීමට ඈ එළියට බසියි. එවිටම මෙන් කළුඅප්පු නොන්ඩි ගසමින් දකුණු පසින් රඟබිමට පිවිසෙයි. පුදුමයට පත් වන කළුහාමි අශ්වයා පිටින් ගොහින් පයින් එන්නේ ඇයි දැයි, සොයා ගිය මිනිහා මුණගැසුණේ නැද්දැයි සැමියාගෙන් අසයි. එයට පිළිතුරු දෙන කළුඅප්පු සිය බිරියගේ හිත සතුටු කිරීම පිණිස අමූලික බොරුවක් ගොතා කියයි. එනම් තමාට ඒ තැනැත්තා මුණගැසුණු බවත්, එලොව ඉඳන් ආපු ඔහු නැවතත් එලොවට ගිය බවත්, කනකර බඩු සියල්ල ගෙන ගොස් නොවරදවාම දුවට දෙන බව තමාට ඔහු කියූ බවත් කළුඅප්පු බිරියට පවසයි. තව ද ‘කනකර බඩු උඹෙන් හින්ද - මමත් දෙන්න එපැයි මොකුත්’ යනුවෙන් කියන කළුඅප්පු, ‘අස්පය මං දුන්න ගොහින් - දෙන්න කියල මගෙන් තෑගි’ යනුවෙන් ද පවසයි. එය අසා කළුහාමි අතිශයින්ම ප්‍රීතියට පත් වෙයි. අනතුරුව, එලොව වසන දියණියට තෑගි බෝග යැවීමට හැකි වීම ගැන අඹුසැමි යුවළ සිය බලවත් සතුට පළකොට ඇත්තේ මෙසේ ය:

“දෙදෙනාම : රිදී රත්තරන් ඇඳගෙන

හැට්ට රෙද්ද උජාරුවට

අස්පය පිට නැග යන කොට

දකින දකින අය කියාවි

ආං යනව

කළුඅප්පු : කළුඅප්පුගෙ දූයි කියල

කළුහාමි : කළුහාමිගෙ දූයි කියල

දෙදෙනාම : කනකර බඩු දුන්නෙ කවුද?

කළුහාමි : කළුහාමියි දුන්නෙ ඒව

දෙදෙනාම : සුදු අස්පය දුන්නෙ කවුද?

කළුඅප්පු : කළුඅප්පුයි දුන්නෙ ඌව

කළුහාමි : අම්ම දුන්න කන කර බඩු

කළුඅප්පු : අප්ප දුන්න සුදු අස්පය

 

දෙදෙනාම : රිදී රත්තරන් ඇඳගෙන

හැට්ට රෙද්ද උජාරුවට

අස්පය පිට නැඟ යන කොට

දකින දකින අය කියාවි

ආං යනව

කළුඅප්පු : කළුඅප්පුගෙ දූයි කියල

කළුහාමි : කළුහාමිගෙ දූයි කියල”

 

දෙදෙනාම රඟ බිම මත ටික වේලාවක් නැටීමෙන් අනතුරුව නාටකය නිමාවට පත් වෙයි. අවසාන නැටුම් පදය දක්වා ඇත්තේ මෙසේ ය:

“දොංත ගදං ගද් දිග්ගද ගද්ද

ගද්ද ගදං ගුං දිංගද ගුංද

දොංත ග තගුනිග තගුනිග තගුනිග

තගුනිග තගුනිග තගුනිග තා//

ගුංද ගදං ගුං දිං ගද ගද්ද

ගද්ද ගං ගුද දහිං”

 

සිංහල ජනකතාවක් ආශ්‍රයෙන් නිර්මාණය කෙරුණු ‘එලොව ගිහින් මෙලොව ආවා’ නමැති නාටකය සරච්චන්ද්‍ර රචිත වඩාත්ම හාස්‍යෝත්පාදක නාටකය ලෙස සැලකිය හැකි ය. එයට මූලාශ්‍රය වූ කතා පුවත ද මුල සිට අග දක්වාම හාස්‍ය රසයෙන් යුක්ත වූවකි. මේ නාටකයේ මුල හා අග සිංහල ජනකතාවට සමාන වුව ද එහි මැද කොටස එනම් කම්මල්කරුවා පිළිබඳ දෙවැනි ජවනිකාව සිංහල ජනකතාවට සමාන වූ විදේශීය ජනකතාවක් ආශ්‍රයෙන් සාදාගත්තකි. කෙසේ වුව ද සිංහල ජනකතාවට එක් කළ ඒ කොටසින් නාටකයට අමුතු ආලෝකයක් ලැබී ඇතැයි කිව නොහැකි ය. සිංහල ජනකතාව මුල් ස්වරූපයෙන්ම නාටකයට නැඟීමෙන් පමණක් වුව ද එයට සමාන රසයක් හෝ එයට වැඩි රසයක් හෝ ඇති කළ හැකි හෙයිනි.

සරච්චන්ද්‍ර වූකලි භාෂාව අතින් පමණක් නොව අත්දැකීම් අතින් ද විවිධ ස්වරූපයේ නාට්‍ය රචනා කොට නිෂ්පාදනය කළ නාට්‍යකරුවෙකි. ‘එලොව ගිහින් මෙලොව ආවා’ යනු උගත් නූගත් ප්‍රේක්‍ෂකයන්ට එක සේ රසවිඳිය හැකි සරල අත්දැකීමක් පදනම් කොටගෙන, කතාබහ කරන ලිහිල් බසින් ද ගීත මාධ්‍යයෙන් ද රචනා කොට, එයට නැටුම් ද ඇතුළත් කොට නිෂ්පාදනය කෙරුණු හාස්‍යෝත්පාදක නාටකයකි. එය ‘මනමේ’ , ‘සිංහබාහු’ , ‘පෙමතො ජායතී සොකො’ (ප්‍රේමය නිසා ශෝකය හටගනී) ආදි නාට්‍ය මෙන් ගැඹුරු නාට්‍ය රසයක් ජනිත කරවන කෘතියක් නොවේ. කෙසේ වුව ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වර්තමාන යුගයට යෝග්‍ය විවිධත්වයෙන් යුක්ත වූ ශෛලීගත සිංහල නාට්‍ය සම්ප්‍රදායක නිර්මාතෘවරයා ලෙස සැලකුව මනා ය.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.