ගෝලීයකාරක අභියෝග හමුවේ භාෂාවේ ප්‍රගමනය | සත්මඬල

ගෝලීයකාරක අභියෝග හමුවේ භාෂාවේ ප්‍රගමනය

කෝට්ටේ රාජධානි සමයෙහි ලියැවුණු ගුත්තිල කාව්‍යයෙන් ස්වාධීන සිංහල කාව්‍යයේ කූටප්‍රාප්තිය සලකුණු වන්නා සේ ම සම්ප්‍රදායෙහි පිහිටා සම්ප්‍රදාය ප්‍රශ්න කිරීමට බෞද්ධ චින්තන සම්ප්‍රදායේ ඉඩ පැවැති බව ද අනාවරණය වෙයි.

සිංහල භාෂා හා සාහිත්‍ය අධ්‍යයනය ලංකාවේ බුදු සමයේ ව්‍යාප්තිය සමඟ ඇරැඹුණු ශාස්ත්‍ර සම්ප්‍රදායේ ආරම්භය තෙක් දිවෙන්නකි. එනයින් බලන කල එය ලංකාවේ පැරැණි ම ශික්ෂණ මාර්ගය ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ය. වර්තමානයේ හමු වන අභිලේඛන සහ අනෙකුත් පුරාවිද්‍යා සාධක අනුව සිංහල ලේඛනයේ ඉතිහාසය ක්‍රි. පූ. සවැනි සියවස දක්වා දිවෙන බවට අදහස් ප්‍රකාශ වෙයි. සිංහල ලේඛනය ශාස්ත්‍රීය ශික්ෂණ මාර්ගයක් ලෙස වර්ධනය වීම ඇරැඹෙන්නේ එයට අදාළ තාර්කික හා දාර්ශනික පසුබිමක් සකස්වීමෙන් පසු ය. සිංහල භාෂාව හා බැඳුණු තාර්කික හා දාර්ශනික පසුබිම සකස් වූයේ බුදුසමය ආශ්‍රයෙනි. එසේ භාෂා සාහිත්‍ය සම්ප්‍රදායේ වර්ධනය උදෙසා බුදු සමය උපකාරි වුව ද සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය සපුරා ම ලෝකෝත්තර මාර්ගයක ගමන් නොකළ බව සීගිරී ගී නිර්මාණවලින් සහ එළු සඳස් ලකුණෙහි නිදසුන් පැදිවලින් පැහැදිලි වෙයි. එමෙන් ම කෝට්ටේ රාජධානි සමයෙහි ලියැවුණු ගුත්තිල කාව්‍යයෙන් ස්වාධීන සිංහල කාව්‍යයේ කූටප්‍රාප්තිය සලකුණු වන්නා සේ ම සම්ප්‍රදායෙහි පිහිටා සම්ප්‍රදාය ප්‍රශ්න කිරීමට බෞද්ධ චින්තන සම්ප්‍රදායේ ඉඩ පැවැති බව ද අනාවරණය වෙයි. පුරුතුගීසින්ගේ ආක්‍රමණය සිදු වුණු කෝට්ටේ රාජධානි සමය වන තෙක් මූලායතන හා පිරිවෙන් ලෙස පැරැණි අධ්‍යාපන ක්‍රමය ප්‍රශස්ත ලෙස පැවැති බව පෙනෙයි. පුරුතුගීසීන් විසින් විහාර ආරාම හා තදනුබද්ධ පිරිවෙන් විනාශ කිරීම සහ ඒවාහි තිබුණු පොතපත ගිනිබත් කිරීමත්, අභ්‍යන්තර අර්බුද හා කැරැලි කෝලාහලත් නිසා පැරැණි අධ්‍යාපන ක්‍රමය කෙමෙන් අඩපණ වී ගිය බව පෙනෙයි. සෙංකඩගල රාජධානි සමයේ සරණංකර හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ධර්ම ශාස්ත්‍ර පුනරුද ව්‍යාපාරය ඇරැඹෙන තෙක් සිංහල භාෂා ශාස්ත්‍ර සම්ප්‍රදාය පැවැතියේ ඉතා දුර්වල තත්ත්වයක ය.

1698 වර්ෂයේදී ජුනි 19 දින උපත ලැබ 1724 වර්ෂයේදී පැවිදි වූ වැලිවිට සරණංකර හිමියෝ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ පල්කුඹුරේ අත්ථදස්සි හිමියන් සහ ලෙව්කේ රාල වෙතින් මූලික අධ්‍යපනය ලැබ පසු ස්වෝත්සාහයෙන් ම භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කොට ධර්ම ශාස්ත්‍ර පුනරුද ව්‍යාපාරයක් ඇරැඹීමට පුරෝගාමි වූහ.

එසේ ඇරැඹුණු ශාස්ත්‍ර ප්‍රබෝධය මොරතොට සිරි ධම්මක්ඛන්ධ, අත්තරගම රාජගුරු බණ්ඩාර, කරතොට ශ්‍රී ධර්මාරාම, සිටිනාමළුවේ ධම්මජෝති, වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න යන ගිහි පැවිදි පඬිවරුන්ගේ පුරෝගාමිත්වයෙන් උඩ - පහත දෙරටෙහි ම ව්‍යාප්ත විය. කරතොට ධර්මාරාම හිමියන්ගේ ශිෂ්‍ය ගාල්ලේ මේධංකර හිමියෝ ද, උන් වහන්සේගේ ශිෂ්‍ය ඉඳුරුවේ සුමංගල මේධංකර හිමියෝ ද, පැල්මඩුල්ලේ පුරාණ විහාරයේ වැඩ වෙසෙමින් ධර්ම ශාස්ත්‍ර ඥානය ප්‍රචලිත කළහ. මේ භික්ෂූන් වහන්සේ දෙනමගේ ශිෂ්‍ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ, වස්කඩුවේ ශ්‍රී සුභූති, දොඩම්පහළ ශ්‍රී මේධංකර යන භික්ෂූන් වහන්සේ තෙනම ශාස්ත්‍ර ඥානයෙන් අගතැන්පත් වූහ. පැල්මඩුල්ල ශාස්ත්‍ර ප්‍රබෝධය පතළ කරන විද්‍යාස්ථානයක් වූවා සේ ම කරතොට ධර්මාරාම හිමියන්ගේ තවත් ශිෂ්‍යයකු වූ බෙන්තර අත්ථදස්සි හිමියෝ හා ඒ හිමියන්ගේ ශිෂ්‍ය යාත්‍රාමුල්ලේ ශ්‍රී ධර්මාරාම හිමියෝ බෙන්තර වනවාසී විහාරය කේන්ද්‍රස්ථානය කරගෙන ධර්ම ශාස්ත්‍ර ඥානය පතළ කළහ. වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් විසින් 1842 වර්ෂයේදී රත්මලානේ පරම ධම්මචේතිය විද්‍යායතනය අරඹන ලද අතර උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසෙහි හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක, බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත යන කීර්තිමත් පඬිවරු වූහ. මෙසමයෙහි ලංකාවේ සිටි කතෝලික ධර්මදූත මෙහෙයෙහි යෙදී සිටි පූජකවරුන් බෞද්ධ භික්ෂූන් සමඟ සුහද ව කටයුතු කරමින් සිංහල, පාලි, සංස්කෘත සහ ඉංග්‍රීසි භාෂා ඥානය හුවමාරු කරගනිමින් වර්ධනය කරගැනීම ද විශේෂ සිදුවීමකි. මේ අවස්ථාවේ ධර්ම ශාස්ත්‍ර පුනස්ථාපන සිදු වූයේ විධිමත් ආයතනික ව්‍යූහයක් නැතිව ආරාමික පරිසරයක ය. මේ පඬිවරුන් අතුරින් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් 1873 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී විද්‍යෝදය පිරිවෙන ආරම්භ කරන ලදි. මීට වසර දෙකකට පසු රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියන් විසින් 1875 වර්ෂයේදී පෑලියගොඩ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව ආරම්භ කෙරිණි. පසුව එය විද්‍යාලංකාර පිරිවෙන ලෙස හැඳින්විණි. මේ ශාස්ත්‍රායතන දෙක ම පැරැණි පිරිවෙන් සම්ප්‍රදායෙහි අඛණ්ඩ පරිණාමයෙන් බිහි වූ ආයතන නොව නූතන ශාස්ත්‍ර ගවේෂණයේ සහ අපරදිග ශිෂ්ටාචාර සමඟ සිදු වූ සංස්කෘතික අභිමුඛ වීමක ප්‍රතිඵලයක් ලෙස සැලකීම වඩා යෝග්‍ය ය. මේ තත්ත්වය යටතේ පාලි, සංස්කෘත, ප්‍රාකෘත යන පෙරදිග භාෂාවලට අමතර ඉංගිරිසි භාෂාව පිළිබඳ ප්‍රශස්ත ඥානයකින් සමෘද්ධ ගිහි පැවිදි පඬි පරපුරක බිහි වීම ද ඒ පඬිවරුන් බටහිර විද්වතුන් සමඟ ශාස්ත්‍ර සම්පර්කයේ යෙදීම ද සුවිශේෂ කරුණකි. මේ ශාස්ත්‍රායන කොතරම් විශිෂ්ට භාවයට පත් ව තිබුණේ ද යන්න සනාථ කෙරෙන වැදගත් සාධකයක් වන්නේ ජපානය, ඉන්දියාව, කාම්බෝජය ආදි ආසියානු රටවලින් මෙන් ම යුරෝපයෙන් ද විශාල පිරිසක් ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා මේ විද්‍යස්ථාන කරා පැමිණීමයි. තව ද මේ ආයතනවල ශාස්ත්‍රීය වගකීම් දැරූ පැවිදි පඬිවරුන් වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක් හෝ නොලබා හුදු ශාස්ත්‍ර ගෞරවය ම අරමුණු කොට ස්වකීය මෙහෙය ඉටු කිරීම විශේෂ කාරණයකි.

රත්මලානේ ධර්මාරාම, ජේම්ස් ද අල්විස්, වේරගම පුංචිබණ්ඩාර, හෙන්ද්‍රික් ජයතිලක, මාතර ධර්මරත්න පඬිතුමා, ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන, පොල්වත්තේ බුද්ධත්ත, ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර, ගුණපාල මලලසේකර, කුමාරතුංග මුනිදාස, සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ, වැලිවිටියේ සෝරත, ඩී. ඊ. හෙට්ටිආරච්චි, යක්කඩුවේ ප්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති, වල්පොළ රාහුල, හේන්පිටගෙදර ඥානසීහ, විමල් ජී. බලගල්ලේ ඇතුළු විසිවැනි සියවස ශාස්ත්‍රාලෝකයෙන් උද්දීප්ත කළ පඬි පරපුරක් බිහි වූයේ මේ පසුබිමෙහි ය.

සම්භාව්‍ය සිංහල ගද්‍ය - පද්‍ය ග්‍රන්ථ සහ ව්‍යාඛ්‍යාන, ව්‍යාකරණ හා කාව්‍යානුශාසන ග්‍රන්ථ ශාස්ත්‍රීය ශෝධනයට ලක් ව මුද්‍රණයෙන් ප්‍රකාශිත ව වත්මන් පරපුරේ පරිශීලනයට අවස්ථාව සැලසෙනුයේ මේ පඬි පරපුරේ අප්‍රතිහත පරිශ්‍රමය හේතු කරගෙන ය. 1852 වර්ෂයේදී ජේම්ස් ද අල්විස් ඉංගිරිසි භාෂාවට පරිවර්තනය කරන ලද ප්‍රකාශිත සිදත් සඟරාව, බටුවන්තුඩාවේ පඬිතුමන් 1857 වර්ෂයේදී පළ කරන ලද ‘සිදත් සඟරාව’, 1862 වර්ෂයේදී හෙන්ද්‍රික් ජයතිලක පළ කරන ලද ‘සියබස්ලකර’, 1884 වර්ෂයේදී හික්කඩුවේ සුමංගල හිමියන් පළ කරන ලද ‘සිදත් සඟරා විස්තර වර්ණනාව’, 1886 වර්ෂයේදී රත්මලානේ ධර්මාලෝක සහ රත්මලානේ ධර්මාරාම හිමිවරුන් පළ කරන ලද ‘ධර්මප්‍රදීපිකාව’ හෙවත් ‘මහාබෝධිවංස පරිකථාව සංස්කරණය’, 1884 - 86 වර්ෂවලදී හෙන්ද්‍රික් ජයතිලක කොටස් වශයෙන් පළ කරන ලද ‘අමාවතුර සංස්කරණය’, 1880 වර්ෂයේදී වේරගම පුංචිබණ්ඩාර පළ කරන ලද ‘මුවදෙව්දාවත’ සංස්කරණය, 1894 වර්ෂයේදී මුල්ලේරියාවේ විපුලසාර හිමියන් පළ කරන ලද ‘බුත්සරණ සංස්කරණය’,

1899 වර්ෂයේදී මඩුගල්ලේ සිද්ධාර්ථ හිමියන් පළ කරන ලද ‘කව්සිළුමිණ මහා කාව්‍යයේ සංස්කරණය’, ඒ වර්ෂයේ ම මාතර ධර්මරත්න පඬිතුමන් පළ කරන ලද ‘ශුද්ධිමාර්ග සන්නයේ සංස්කරණය’, 1901 වර්ෂයේදී අතුරුවැල්ලේ ධම්මපාල හිමියන් පළ කරන ලද ‘සසදාවත සංස්කරණය’ ද, 1902 වර්ෂයේදී රත්මලානේ ධර්මාරාම හිමියන් පළ කරන ලද ‘සිදත් සඟරා විස්තර සන්නය’, 1907 වර්ෂයේදී ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන පළ කරන ලද ‘ගුත්තිල කාව්‍ය වර්ණනාව’, 1944 වර්ෂයේදී ඩී. බී. ජයතිලක සංස්කරණය කරන ලද ‘ජාතක අටුවා ගැටපදය’ ඇතුළු කෘති සම්භාරයක් චිරන්තන භාෂා සාහිත්‍ය ඥානය නව පරපුරට පිළිගන්වමින් සමාජගත විය. චිරන්තන සිංහල සාහිත්‍යය හා නූතන සිංහල සාහිත්‍යය අතර අභේද්‍ය සම්බන්ධය ගොඩනැඟුණේ ද මේ කෘති පළ වීම හේතුවෙනි.

විසිවැනි සියවසේ ආරම්භය වන විටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ උද්‍යෝගය ලාංකිකයන් අතර පැතිරෙමින් පැවැතිණි. 1906 වර්ෂයේදී ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ගේ පුරෝගාමීත්වයෙන් ඇරැඹුණු ‘ලංකා විශ්වවිද්‍යාල සංගමය’ දේශීය අවශ්‍යතාවලට අනුරූප වූ ද ඒ අනන්‍යතා සුරකින්නා වූ ද ජාතික පුනර්ජීවනයට උපස්තම්භක වන විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කරගැනීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටියේ ය.

මේ සඳහා වන උද්‍යෝගය වර්ධනය වන විට සංගමය ‘විශ්වවිද්‍යාල ව්‍යාපාරය’ ලෙස හැඳින්විණි. ආනන්ද කුමාරස්වාමි හා පොන්නම්බලම් අරුණාචලම් යන විද්වත් දෙපොළ ම ලංකාවේ අභිනවයෙන් ස්ථාපනය කෙරෙන විශ්වවිද්‍යාලය වෘත්තීය පාඨමාලා සඳහා විද්‍යාර්ථීන් පුහුණුකර හුදෙක් ඔවුන්ගේ දැනුම මනින ආයතනයක් නොවිය යුතු බව ප්‍රකාශ කළහ. 1906 වර්ෂයේදී විශ්වවිද්‍යාල සංගමය මඟින් පළ කෙරුණු සඟරාවට ලිපියක් සම්පාදනය කරමින් ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් රටේ අනාගත අධ්‍යාපනය පිළිබඳ විශිෂ්ට අදහසක් ප්‍රකාශ කෙළේ ය:

“ඉංග්‍රීසි භාෂාව උගෙන බටහිර සංස්කෘතිය මනා ලෙස අවබෝධ කරගැනීමට මඟ පාදන අතර මේ රටේ තරුණ පරපුර ස්වකීය මාතෘ භාෂාව, ඉතිහාසය සහ සංස්කෘතිය නොතකා හරින තත්ත්වයට පත් නොකිරීමට වග බලාගැනීම ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වගකීමක් විය යුතු ය. ඒ වගකීම සපුරා ගත හොත් පෙර අපර දෙදිග සංස්කෘතික සම්පර්කයෙන් දේශීය භාෂා සාහිත්‍යය හොඳින් වර්ධනය වී සංස්කෘති දෙකෙහි ම උසස් ගුණාංග පැතිරී වර්ධනය වනු ඇත. එසේ වූ කල අපරදිග ශිෂ්ටාචාරයේ උසස් අංග මෙරට වැසියන්ගේ යහපත උදෙසා බලපානු ඇත. එසේ නොවුව හොත් ඔවුන්ගේ බස සහ සිරිත්විරිත් අන්ධ ලෙස අනුකරණය කරන්නන් බවට පත් වනු ඇත.”

1921 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් ලෙස ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ කෙරිණි. 1952 වර්ෂය වන විට අංග සම්පූර්ණ නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු අරඹා තිබිණි. ලංකා විශ්වවිද්‍යාලය කොළඹ ආරම්භ කළ වකාවානුවෙහි නාට්‍ය කලාව පිළිබඳ ප්‍රබෝධයක් සිසුන්ගේ සිත්වල ජනිත විය. ප්‍රථම සිංහල මහාචාර්ය වූ ධර්මසිරි රත්නසූරියගේ අභාවයෙන් පසු සිංහල මහචාර්ය ධුරයට පත් වූයේ ඩී. ඊ. හෙට්ටිආරච්චි ය. එතුමා සිංහල අධ්‍යයනාංශයේ විෂය විවිධත්වය සඳහා යෝග්‍ය අයුරින් ආචාර්යවරුන් බඳවා ගත් අතර එක් එක් විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණත්වය ලැබීම සඳහා ඒ ආචාර්යවරුන් ලෝකයේ කීර්තිමත් විශ්වවිද්‍යාලය වෙත යොමුකර පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සඳහා අවකාශ උදා කළේ ය. මෙසේ විදෙස් පුහුණුව ලද අචාර්යවරු සිංහල විෂයානුබද්ධ නව ඥාන ශාඛා හඳුන්වා දෙමින් සිංහල අධ්‍යයනය අන්තර්ජාතික ප්‍රමිතියක් සහිත විෂයක් බවට පත් කළහ.

මේ පසුබිම යටතේ ශාස්ත්‍රීය විෂය ඥානයේ වර්ධනයට සමගාමී ව නාට්‍යය, කාව්‍යය, නවකතාව යන කලා ප්‍රවර්ගවල තීව්‍ර ප්‍රබෝධයක් විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන සිදු විය. මේ ප්‍රබෝධයට දායක වූ සියලු දෙනා සිංහල අධ්‍යයන අංශයට සම්බන්ධ නොවීම ද විශේෂත්වයකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මුල දී පාලි අධ්‍යයන අංශයේ ආචාර්යවරයකු ව සිට පසු ව සිංහල අධ්‍යයනාංශයට සම්බන්ධ වූයේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චිගේ මැදිහත් වීම නිසා ය. මහාචාර්ය සිරි ගුනසිංහ සංස්කෘත අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙකි. ගුණදාස අමරසේකර දන්ත වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකි. මහාචාර්ය ඈෂ්ලි හල්පෙ සහ මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ආචාර්යවරු වූහ. ඇම්. බී. ආරියපාල ඩී. ජේ. විජේරත්න, ආනන්ද එස්. කුලසූරිය, පී. ඊ. ඊ. ප්‍රනාන්දු, එම්. ශ්‍රී රම්මණ්ඩල, එම්. එච්. පීටර් සිල්වා, එම්. ඩබ්ලිව්. සුගතපාල ද සිල්වා, හේමපාල විජයවර්ධන, ආරිය රාජකරුණා, පී. බී. මීගස්කුඹුර, කේ. එන්. ඕ. ධර්මදාස, ඩබ්ලිව්. ඇම්. ගුණතිලක, පියසීලි විජේමාන්න, මයිකල් ප්‍රනාන්දු යන ආචාර්යවරු සිංහල අධ්‍යයනයට සම්බන්ධ විවිධ ඥන ශාඛා ප්‍රවර්ධනය කොට සිංහල අධ්‍යයනයේ විෂය ක්ෂේත්‍රය පෘථුල භාවයට ද, සාරගර්භ තත්වයට ද පත් කිරීමට දායක වූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි ශාස්ත්‍ර පීඨය කොළඹ ආරම්භ කළ අවස්ථාවේ ජේ. බී. දිසානායක, පුඤ්චිබණ්ඩාර සන්නස්ගල, ඩී.වී. හපුආරච්චි, පී.බී.ජී. හේවාවසම්, විමල් දිසානායක, කුසුමා කරුණාරත්න,

සුචරිත ගම්ලත්, අනුර වික්‍රමසිංහ, රෝහිණී පරණවිතාන, පියසීලි විජේගුණසිංහ යන ආචාර්යවරු සිංහල අධ්‍යයනයට අදාළ නව ඥාන ශාඛා හඳුන්වා දෙමින් විෂය පෝෂණයට දායක වූහ.

පේරාදෙණිය කේන්ද්‍ර කරගෙන සිදු වූ සාහිත්‍ය කලා ප්‍රබෝධය නවසිය පනහ සිට නවසිය හැත්තෑව දශකය වන තෙක් සාහිත්‍ය කලා සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල නොනැසී පැවැතිණි. මාර්ටින් වික්‍රමසිංහගේ ‘විරාගය’, සිරි ගුනසිංහගේ ‘හෙවනැල්ල’, එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’ සහ ‘මළවුන්ගේ අවුරුදු දා’ යන නවකතා, සිරි ගුනසිංහගේ ‘මස් ලේ නැති ඇට’, ‘අබිනික්මන’, ‘රතු කැකුල’ සහ ගුණදාස අමරසේකරගේ ‘භාව ගීත’, ‘උයනක හිඳ ලියූ කවි’, ‘අමල් බිසෝ’ යන කාව්‍ය ග්‍රන්ථ, එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මනමේ’, ‘සිංහබාහු’ යන නාට්‍ය මේ සාහිත්‍ය කලා ප්‍රබෝධයට නිදසුන් ය. පේරාදෙණියෙන් පැතිරුණු සාහිත්‍ය කලා ප්‍රබෝධය විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ව නිර්මාණකරණයෙහි නිමග්න ව සිටි පිරිසකට මැනවින් බලපෑ අයුරු මඩවල එස්. රත්නායක, මහගමසේකර, කේ. ජයතිලක, පී.වැලිකල, ඒ.පී. ගුණරත්න ඇතුළු තවත් සාහිත්‍යකරුවන් ගේ නිර්මාණ විමසන විට පැහැදිලි වෙයි.

මුලින් පැවැති කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ද ශාස්ත්‍ර හැදෑරූ විද්‍යාර්ථීන් අතුරින් පිරිසක් විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කෙරුණු පසු පිරිවෙන්වල සිටි උගත් පැවිදි පඬිවරුන් සමඟ එක් ව ඒ විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන ශාස්ත්‍ර ඥානය ප්‍රචලිත කිරීමේ ප්‍රයත්නයක නිමග්න වූහ. වැලිවිටියේ සෝරත, කොටහේනේ පඤ්ඤාකිත්ති, යක්කඩුවේ පඤ්ඤාරාම, කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර, කලුකොදයාවේ පඤ්ඤාසේඛර, විමල් ජී. බලගල්ලේ, විමල විජයසූරිය, ඒ.වී. සුරවීර, තිස්ස කාරියවසම්, ඩබ්ලිව්. එස්. කරුණාතිලක, නන්දසේන මුදියන්සේ, මිණිවන් පී. තිලකරත්න යන ගිහි පැවිදි පඬිවරු මේ ධාරාවට අයත් වෙති.

1970 දශකයේ ආරම්භයත් සමඟින් සමාජ, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රවල සිදු වූ පරිවර්තන හා අර්බුද හේතු කරගෙන සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඇති වුව ද සිංහල අධ්‍යයනය සම්බන්ධයෙන් දක්නට ලැබුණේ අවනතියකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විහිදුණු සාහිත්‍ය කලා ශාස්ත්‍රාලෝකය ද නිවී ගියා සේ ය.

ලංකාවේ පැවැති කීර්තිමත් පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පරිවර්තනය කෙරුණ ද මුල් පිරිවෙන් ආචාර්යවරුන් ඒ ආයතනවල රැඳී සිටි මුල් දශකයෙන් පසු ඒ ආශ්‍රයෙන් සැලකිය යුතු මට්ටමක සාහිත්‍ය කලා ප්‍රබෝධයක් සිදු වූ බවක් නොපෙනිණි. යාපනය, රුහුණ, රජරට, සබරගමුව යනුවෙන් අලුතෙන් විශ්වවිද්‍යාල දහයකට අධික සංඛ්‍යාවක් ආරම්භ කෙරුණ ද ඒ විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගනිමින් ද කිසිදු සාහිත්‍ය කලා හෝ විෂයානුබද්ධ ශාස්ත්‍රීය ප්‍රබෝධයක් සිදු වූ බවක් නොපෙනෙයි.

ලංකේය සාහිත්‍ය කලා ප්‍රවර්ධනයෙහි ලා හෙළ හවුලෙන් ලැබුණේ ප්‍රබල දායකත්වයකි. කුමාරතුංග මුනිදාසගේ පුරෝගාමිත්වයෙන් ඇරැඹුණු හෙළ හවුල වටා ගොනු වූ පිරිස අතර ගුරුවරු විශාල පිරිසක් සිටියහ. කුමාරතුංග මුනිදාස ලංකාවේ ගුරු විදුහල් කිහිපයක ම සේවය කළ අතර එතුමන් අනුදත් මඟ අනුව යන විශාල ගුරු පිරිසක් ද වූහ. රැයිපියෙල් තෙන්නකෝන්, අලව්ඉසි සැබිහෙළ, කිත්සිරි කුමරසිහ, දො. දේ. මොහොට්ටි, පින්තු ජයවර්ධන, වෙ. ම. පෙරේරා, සවිමන් ද සිල්වා, විනී විතාරණ, අරීසෙන් අහුබුදු, ශ්‍රී චාල්ස් සිල්වා, දා. දු. න. වීරකෝන්, අබිරම් ගම්හේවා, සඳදස් කෝපරහේවා, සවිමන් ද සිල්වා, කු. ජෝ. පෙරේරා, දි. වි. රිචඩ් ද සිල්වා, ජයසේකර අබේරුවන් ඇතුළු බොහෝ පිරිසක් ගුරු වෘත්තියෙහි නියැළෙමින් සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනයෙහි ලා මහඟු මෙහෙයක් ඉටු කළහ. විශේෂයෙන් ම කුමාරතුංග මුනිදාස පාසල් අතිරේක කියැවීම් පොත් පෙළක් මෙන් ම කාව්‍යකරණය හා ප්‍රබන්ධකරණය පිළිබඳ මාර්ගෝපදේශ දක්වන කෘති කිහිපයක් ද රචනාකර තිබුණු බැවින් හෙළ හවුලේ භාෂා සාහිත්‍ය උරුමය සමාජයෙහි පුළුල් ලෙස ව්‍යාප්ත විය.

භාෂා සාහිත්‍ය ප්‍රවර්ධනයෙහි ලා ග්‍රන්ථ ප්‍රකාශනය දියුණු කර්මාන්තයක් බවට පත් වීම මෙන් ම කෘති අලෙවි කිරීම සඳහා දිවයින පුරා ව්‍යාප්ත වූ අලෙවිසල් ජාලයක් තිබීම ද අත්‍යවශ්‍ය ය. පාසල් පෙළපොත් නොමිලේ ලබාදීමත් සමඟ එතෙක් පැවැති පොත් අලෙවිසල් ජාලය අක්‍රීය ව බිඳ වැටිණි. ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන සියල්ල පාහේ එවක පොත් අලෙවිසල් තිබුණු අතර ඒවා ද ක්‍රමයෙන් අඩපණ විය. මේ සමඟ ම ගෘහස්ථ කියැවීමේ සංස්කෘතිය ක්‍රමයෙන් තුරන් වීම ඇරැඹිණි. මේ පසුබිමෙහි භාෂා සාහිත්‍ය අධ්‍යයනය විභාග ජය කණුවට ළඟා වන විභාග තරගකාරී මානසිකත්වයෙන් උත්තේජිත, සටහන් කටපාඩම් කිරීමක් බවට අවරෝහණය විය. පාසල්වල මෙන් ම විශ්වවිද්‍යාලවල සිංහල භාෂාව සහ සාහිත්‍යය උගන්වන ගුරුවරුන් බිහි වන්නේ මෙවන් පරිසරයක ය. සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගැන්වීමට යෝග්‍ය පෙළපොත් සම්පාදනයේ සිට ගුරු පුහුණුව විධිමත් ක්‍රමවේදයකට අනුකූල ව සිදු නොවේ. මෙවන් පරිහානිගත තත්ත්වයක් යටතේ කලා විෂය ධාරාවට පිවිසෙන සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් සිංහල විෂය අත්හැර වෙනත් විෂයයන් හැදෑරීමට පෙලඹී සිටී. මෙයින් අතැම් විෂයයන් තෘතීයික වෘත්තීය අධ්‍යාපනයට යෝග්‍ය ඒවා මිස පාසල් විෂය නිර්දේශ සඳහා යෝග්‍ය බවක් නොපෙනෙයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් මිස පෞද්ගලික මැදිහත්වීම්වලින් පලක් නොලැබේ.

ගෝලීයකරණ අභියෝග හමුවේ භාෂා සාහිත්‍ය අධ්‍යයන පුළුල් දැක්මක් සහිත ව ප්‍රතිසංවිධානය කිරීමට පියවර නොගත හොත් තවත් දශක දෙකක ඇවෑමෙන් පොන්නම්බලම් රාමනාදන් සියවසකට පෙර කළ අනතුරු හැඟවීම සනාථ වීමට කිසිදු බාධාවක් නොවනු ඇත.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.