බිහිසුණු සමයෙක මරා දැමිය නොහැකි වූ හෘදය සාක්ෂිය | සත්මඬල

බිහිසුණු සමයෙක මරා දැමිය නොහැකි වූ හෘදය සාක්ෂිය

කෝවිඩ් අර්බුදයෙන් පසු ඇහැරෙන ලෝකය; අවකාශ ඉතිරි කරනු ඇත්තේ නිර්මාණශීලි මිනිසුන්ට බව අප වටහා ගත යුතු ය. එය ලොව සියලු දේශපාලන පද්ධති, ආගමික විශ්වාස, ආර්ථික ක්‍රමවලට අභියෝගකර ඇති අතර මේ අර්බුද සමය පියමං කරන්න සමත්වන්නාට අසීරු එහෙත් නව හෙටක අරුණැල්ලට කවුළුවක් ද හරිනු ඇත්තේ ය.

මිනිස්සු තම ජීවිතයට ආදරය කරති; එය තම පරම අයිතිය සේ හඟිති; එසේ ම තම ජීවත්වීමේ අයිතිය පැහැර ගන්න ඉදිරිපත් වන කවරකුට වුව එරෙහිව නැගෙන්න වෙර දරති; ඒ අතර තම ජීවිතය අත්‍යාලංකාර කරගැනීමෙහිලා සෑම ප්‍රයත්නයක්ම දරති; මේ කිසිවක අසාමාන්‍ය බවක්, අයුක්තිසහගත බවක් නැත. පහර වදින විට පස්සට පනිනා සත්ත්වයකු පරිද්දෙන් මිනිසා තමන්ට පහර වදින විට ආරක්ෂාව තකා ක්‍රියා කරයි. නැති නම් ප්‍රහාරකයාට කඩා පනිනා සත්ත්වයකු පරිද්දෙන් පෙරළා පහර දෙන්න තැත් දරයි.

නමුදු තම ජීවිතයට අසීමිතව ආදරය කරන කවරකුට වුව ඒ ආදරයේ නාමයෙන් තවත් කෙනකුගේ ජීවත්වීමේ අයිතිය පැහැර ගැනීමට කිසිදු හිමිකමක් නැත. ලොව ජීවත්විය යුත්තේ තමන් සහ තම ජාතිය පමණකැයි ද, වඩා උත්තම වනුයේ තම ආගම පමණකැයි ද, අන් සියල්ල තමන්ට වඩා පහත් යැයි ද කල්පනා කරන්නා ඉතිහාසයෙහි පිටු අඳුරු කරනු මිස ඒවා රන් අකුරින් විභූෂිත නොකරයි. මේ එළැඹ ඇති වර්තමානය මෑත ඉතිහාසයෙහි මනුෂ්‍යයා මුහුණ දෙන බිහිසුණුම කාලපරිච්ඡේදය බව අනාගතයෙහිදී ලියැවෙනු ඇත්තේ ය. හුදෙක් ඒ කෝවිඩ් 19 අපගේ වදන් කෝෂයෙහි වැඩියෙන්ම භාවිත වන යෙදුම වීම නිසා ම නොවේ. මේ බියකරු වයිරසය මිනිසාට තමන් දැකගැනීමට කැඩපතක් අල්ලා සිටින බැවිනි. සමස්ත ලෝකය ම වයිරසයේ බියෙන් ඇලළී යද්දී ලොව දේශපාලන බලවතුන් වයිරසයේ දේශපාලනය ඉස්මත්තට ගනිමින් සිය බල ව්‍යාපෘති සවිමත් කරන බැවිනි. ව්‍යසනයක් හමුවේ සාමූහිකත්වය විසින් ලියන ලද ඉතිහාසය වෙනුවට අද අපට ලියන්න සිදුව ඇත්තේ මීටරයක පරතරය තබාගැනීම අනිවාර්යය කර ඇති මනුෂ්‍ය වර්ගයාගේ අපුල දනවන කතාව පිළිබඳ ය.

කෝවිඩ් අර්බුදයෙන් පසු ඇහැරෙන ලෝකය අවකාශ ඉතිරි කරනු ඇත්තේ නිර්මාණශීලි මිනිසුන්ට බව අප වටහා ගත යුතු ය. එය ලොව සියලු දේශපාලන පද්ධති, ආගමික විශ්වාස, ආර්ථික ක්‍රමවලට අභියෝගකර ඇති අතර මේ අර්බුද සමය පියමං කරන්න සමත්වන්නාට අසීරු එහෙත් නව හෙටක අරුණැල්ලට කවුළුවක් ද හරිනු ඇත්තේ ය. මීටරයේ සමාජ දූරස්ථභාවය ගැන දවස ගණනේ කතා කළ මිනිසුන්ට හෙට දවසේදී තමන්ගේ පැවැත්ම රඳා පවතින්නේ සාමූහික බව මත පමණක් බව වටහා ගැනීමට සිදුවෙයි. ජාති, ආගම්, කුල, ආර්ථික මට්ටම යන මේ කිසිවක් නොතකන වයිරසය ඖෂධ නිෂ්පාදනයට වෙන් කරන මුදලට වඩා මනුෂ්‍ය ඝාතනවලට ඇවැසි අවි වෙනුවෙන් අරමුදල් තර කරන සමස්ත දේශපාලන බලරටා දෙදරවා හරිනු නියත ය.

අතිශය බියකරු වයිරසයකින් බැට කන වර්තමානය කායිකව ‘ලොක්ඩවුන්’ වී සිටින ප්‍රජාවකට කළ හැකි බුද්ධිමත් කාර්යයක් වන්නේ තමන් මත පැටවී ඇති මානසික විලංගු පුපුරුවා හැරීම සඳහා කාලය වෙන් කිරීම ය. එනම් නිදහස්ව සිතන්න සමත්කම ඇති කරගැනීම ය.

මෙහි දී මට සිහිපත් වන්නේ පසුගිය දෙසැම්බරයේ අග අන්තර්ජාතික සාහිත්‍ය සම්මේලනයකට ගිය අවස්ථාවේ කත්මණ්ඩු නුවර තමෙල් නම් සංචාරක කලාපයෙහි හෝටලයක පියස්සෙහි හිමිදිරි සීතලේ රැඳී සිටි අවස්ථාවයි. තවත් ලේඛකයෝ කිහිප දෙනෙක් ද සමඟින් මා එදා එහි රැඳී සිටියේ හිමාලය කඳුවැටිය නැරැඹීමේ අරමුණිනි. ‘දූවිල්ල අඩු වුණොත් පෙනෙයි.’ හෝටලයෙහි පිළිගැනීමේ කවුන්ටරයේ සිට යුවතිය ආචාරශීලිව අපට කීවා පමණි; ඇය නිවැරැදි ය; එදා දුහුවිල්ලෙන් වැසුණු කත්මණ්ඩු නුවරදී අපට හිමාලය දැකගත හැකි වූයේ යාන්තමිනි. එහෙත් කෝවිඩ් අර්බුදය ලොවම අක්‍රීය කළ පසු, දැන් කත්මණ්ඩුවට ඉතා හොඳින් හිමාලය දර්ශනය වන බව අන්තර්ජාලයෙන් කියැවූ මම, එහිදී හඳුනාගත් ප්‍රෙරානි භට්ටාරී නම් යොවුන් කිවිඳියකගෙන් එය සත්‍යයක් දැයි විමසා සිටියෙමි. පරිසර විනාශය ගැන අතිශය සංවේදී කවියක් එදා සම්මේලනයේදී අප හමුවේ ඉදිරිපත් කළ, එසේ ම හුස්මක් ගැනීමට වත් නොහැකි තරමින් චීනය සහ ඉන්දියාවට මැදිව, දූෂිත දේශපාලන පද්ධතියක ගොදුරක්ව සිටිය ද, නිහඬ නොවී තමන්ට පොදු පැවැත්මක් උදෙසා වැඩ කළ හැකිය යන විශ්වාසයෙන් ක්‍රියාකාරීව සිටිනා ඇය මට එවූ පිළිතුර මෙපරිදි ය.

“මෙතරම් විනාශකාරී සිදු වීම්වලට පසු ද සොබාදහම නැවත ජීවය ලබන ආකාරය විස්මයජනක ය. මේ වයිරසය මිනිසුන්ට සොබා දහම වඩා යහපත් ලෙස අවබෝධ කරගැනීමට උපකාර කරනු ඇතැයි මම සිතමි.”

ඇගේ පිළිතුර පෙරළා මට සිහිපත් කළේ ප්‍රකට නේපාල නවකතාකරු නාරායන් වග්ලේ සමඟ තමෙල්හිදීම කළ කතාබහකි. මේ නාරායන් වග්ලේ යනු පල්පසා කැෆේ නමින් නේපාලයේ මාවෝවාදි ගරිල්ලා අරගලය පසුබිමෙහි අතිශය රමණීය පෙම් පුවතක් මඟින් සිය දේශයෙහි අඳුරු සිතුවම නිර්මාණ සාහිත්‍යය ඔස්සේ ලොවට ගෙන ගිය නවකතාකරුවෙකි. දැනට ටික කලකට පෙර ඒ මහඟු නවකතාව සුනන්ද දේශප්‍රිය විසින් සිංහලට පරිවර්තනය කෙරිණි. කත්මණ්ඩුවෙහි මා ගත කළ දින කිහිපයේ හමුවූ අප දෙදෙන අතර දෙරටටම පොදු වූ බොහෝ මාතෘකා කතාබහ කෙරිණි. දෙරටෙහිම දේශපාලන ක්ෂේත්‍රයෙහි පවත්නා ජරාජීර්ණ බවෙහි පොදු බව අප දෙදෙනාට දිගු කතාබස් සඳහා මඟ සැලසී ය. මා මෙහි සඳහන් කරන අවස්ථාවේ අප දෙදෙනා සිටියේ එවන් කතාබහක් මැද අවන්හලකින් සප්පායම්ව මඟට බසිමිනි. ඒ වන විට නේපාලයේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණින් සංවිධානය කළ විචිත්‍ර පෙරහරක් විදීයෙහි ඇදෙමින් තිබිණි. ජනවර්ග විසි ගණනක් සිටින එපමණටම භාෂා ද ඇති නේපාලයෙහි විචිත්‍ර බව එහි අපූරුවට කැටිව තිබිණි. ඉදින් මම ද ඔවුන් හා එක් වීමි. වහා සිය ජංගම දුරකතනයෙන් මගේ සේයාරුවක් ගත් වග්ලේ එය සිය මුහුණුපොතට මුදාහැර ඇති බව මා දුටුවේ පසුව ය. එදා වග්ලේ මගෙන් කොළඹ වත්මන් තතු ඇසී ය. මා ඔහුට කීවේ මෙයයි:

“කත්මණ්ඩු එක්ක බලද්දි කොළඹ තවමත් කොළ පාටින් බබළනව. හැබැයි අපිත් වේගයෙන් කත්මණ්ඩු වගේ දූවිලි නගරයකට පාර කපමින් ඉන්නෙ.”

අනෙකාට කුමක් වුව ද කම් නැතැයි හුදෙක් තම පැවැත්ම ගැන පමණක් සිතා සිටින බහුතරයක සාමාජිකයකු වීම වෙනුවට පොදු පැවැත්මකට අසීරු පියවරක් තබනා සුළුතරයකට සමීප වීම මේ අභියෝගාත්මක අවස්ථාවේ ඉතා වැදගත් ය. අපට එලෙස සිතන්න හැකි නම් හෙමින් වුව සුළුතරය බහුතරය බවට පත් වන ආකාරය දක්නට හැකි වනු ඇත. ඉතිහාසය වර්ණවත් කළේ මෙවන් සුළුතරයේ මිනිසුන් විසිනි. එවන් එක් මිනිසකු ඉතිහාසයේ භීෂණ ම සමයක තමන් දකින සත්‍යය සිය දින පොතේ සටහන්කර තැබුවේ මෙලෙසිනි:

“මතක සටහන් ඇති කරනුයේ දුක්මුසු බව, දුර්මුඛ බව දනවන්නා වූ සාහිත්‍යයකි. කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයන් සහ විශිෂ්ට නායකයන් යන මේ සියල්ලන් ම තම ගමන අරඹනුයේ උන්නතිකාමී සැලසුම්, අදිටන් පූර්වක ක්‍රියාමාර්ග, සහ කලහකාරී මෙන් ම නිර්භීත පියවර සමඟිනි.

ඔවුහු ඉහළට, ඉහළටම නගින්නෝ බාධා පරයමින්, සිය බලපෑම ඇති පරාසය පුළුල් කරමින් අත්දැකීමෙන් සන්නද්ධ වෙමින්, විශාල මිතුරු සමාගමයක් ඇති කරගනිමින් වඩ වඩා පහසුවෙන් සහ ජයග්‍රාහී බවින් යුතුව අදියරෙන් අදියර, සිය අරමුණ කරා තල්ලු‍ වී යති. ඔවුහු ඒ සඳහා දස වසරක්, ඇතැම් විට එමෙන් දෙගුණයක, තෙගුණයක කාලයක් ගනිති. ඉදින් ඉන් පසු... ඉන් පසු එළැඹෙනුයේ සරතැස ය. ටිකෙන් ටික, තවමත් වරෙක තෝරා ගනු ලැබූ මාවතෙහිම ගාටන අතර ඔවුන් වටහා ගන්න දෙය වන්නේ තමන් විසින් අත්කර ගනු ලැබූ ජයග්‍රහණය යනු වැඩියෙන් සුදුව යන කෙස්ස, වරෙක ඉතා කදිමට තිබූ නළලෙහි වැටෙන රැළි, පිරිහෙන දෑසේ පෙනීම, හෙමි හෙමිහිට චලනය වන විඩාබර දෙපය පමණක් බවයි. එක ම දෙය දැන් දැන් ඔවුන් යන්නේ වඩා විවේකී මඟක ය; පිරිහුණු අනුරාගී බවින් මෙන් ම තමන්ගේ ජීවිතය යනු තමන් ගත කළ යුතුව තිබූ ජීවිතය නොවන බවට වන අවබෝධයෙන් යුතුව ය; එසේ ම එයට අන් අයගේ උපකාරයෙන් තොරව මුහුණ දීම ප්‍රමාණවත් නොවන බව විශේෂයෙන් අසීරු බවට වන වේදනාකාරී අවබෝධයෙන් යුතුව ය. සැබැවින් සිදුව ඇත්තේ කුමක් ද? ඒ වනාහී මහලු වියෙහි ආගමනයයි. ඇතැමෙක් එයට එරෙහි වෙති; යටත් නොවී සිටීමට තැත් දරති; සාමාන්‍ය වේගයෙන් වෙනකක් තබා වඩා වේගී පියවරින් සහ කලහකාරී බවින් යුතුව ගමන් කරන්න තැත් දරති; ඒ ඉතිරිව ඇති කාලය කෙටි හෙයිනි. ඔවුහු තමන්වම රවටා ගනිති; ආපසු හැරී පහර දෙති; කැරලි ගසති; දඟලති; තවත් සමහරෙකු දුක්මුසු යටහත් බවකින් යුතුව යටත්වනවා පමණක් නොව ඔවුහු පරිහානිය ද ළඟා කරගනිති. තවත් මට මෙහෙම යන්න බැහැ. මං එහෙම කරන්න උත්සාහ කරන්නෙවත් නැහැ. මොන මඟුලකට ද? මට තවත් ලෝකය අවබෝධ කරගන්න බැහැ. අනේ ගෙවුණු, අළු දූවිලි වෙලා ගිය කාලය; පිස්සු කෙළින්න නාස්ති කළ ශක්තිය; නාස්තිකර දැමුණු උද්‍යෝගි බව ආයෙ අත්කර ගන්න පුළුවන් නං... ඒ අතර නව මිනිස්සු එති. නව පරපුරක් පහළ වෙයි; නව අවශ්‍යතා ඇති වෙයි; දැන් ඔවුහු ඔහුව නොරිස්සුමට ලක් කරන්න ගනිති. හරියට ඔහු ඔවුන්ව නොරිස්සුමට ලක් කළ අයුරින්ම ය. පළමුව යම් යම් වැරැදි අවබෝධ හට ගනියි; පසුව කල් පවත්නා අනවබෝධය ඔවුන්ගේ දෙතොල් නිහඬව පැවැතිය ද, ඔවුන්ගේ අංගචලන, ගමන බිමන, ඔවුන්ගේ දෑස්, ඔවුන්ගේ කිරිසුදු දත්, සුමුදු මුහුණු... ඔබ වටා ඇති සෑම දෙයම සහ සෑම කෙනකු ම සමස්ත ලෝකය ම, එසේ ම ඔබ ම ද, ඔබේ ග්‍රහයන් පවා මෙසේ කියන්න ගන්නේ ය. අන්න ඒක තමයි වැඩේ... උඹේ කාලෙ ඉවරයි.... දැන් ඔන්න උඹේ වාරෙ ඇවිල්ල... ඔබේ කාලය අහවරව ගොසින්... අපි ඒ තරම් දෙයක් නොදන්නා බවත්, අප ඔබ සමඟ වාද නොකළ යුතු බවත් ඔබ කියයි. ඔබ අප දන්නා තරමට වඩා දනියි. ඔබ අත්දැකීම් බහුල පුද්ගලයෙකි. එහෙත් ඔබ අපට අපේ ම මඟක උත්සාහ දරන්න ඉඩ දිය යුතුම ය... ජීවිතයේ පිළිවෙළ එයයි.”

හුදෙක් තම ජීවිතය ආරක්ෂා කරගත හැකිව තිබුණ ද මේ මිනිසා අති දුෂ්කර ම කාලපරිච්ඡේදයක අසරණව සිටිනා මිනිසුන්, විශේෂයෙන් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම, සිය ජීවිත අරමුණ බවට පත් කරගත්තේ ය. ඔහු උතුම් මිනිසකු, පරමාදර්ශි මිනිසකු වනුයේ තමන් තෝරාගත් මාවතෙහි අවසානය දක්වා නොසැලී සිටින්න තරම් දෘඩතර අදිටනක් සතු වූ හෙයිනි.

ඔහු සිය ජීවිතයෙහි අවසාන අරගලය කරනුයේ අනුකම්පා විරහිත දේශපාලන වයිරසයක ග්‍රහණයට ලොවම නතු වන අවධියක, ඒ වයිරසයේ බියකරු පැතිරීමේ කේන්ද්‍රීය කලාපයෙහි සිටිමිනි. ඒ අන් කිසිවක් නොව නාසිවාදයේ වයිරසයයි. ලොව සියල්ලන්ට වඩා උතුම් වනුයේ ආර්යවරුන් ය යන මිථ්‍යාවෙහි ගැලෙමින් ජර්මනියෙහි පාලකයා බවට පත් ඇඩොල්ෆ් හිට්ලර් සිය දේශපාලන සිතියම දිග හරිනුයේ ලොවම සිය අණට නතු කරගනිමිනි. එයට සරිලන පරිදි ඔහු ඉතිහාසය ලියනා අතර තමන් පිළිකුල් කටයුතු යැයි සැලකූ යුදෙව් ජාතිකයන් සමූලඝාතනය කිරීමේ උග්‍ර ආශාවෙන් දැවෙමිනි. යුදෙව්වන් සමූලඝාතනය කිරීම උදෙසා ඔහු විසින් නිෂ්පාදිත යාන්ත්‍රණය ලෝක ඉතිහාසයෙහි අතිශය කුරිරු ම කාලපරිච්ඡේදයකි. එය මනුෂ්‍යත්වය සහ තිරශ්චීන භාවය අතර අරගලයෙහිලා මිනිසා සතු සමත් අසමත්කම් පිළිබඳ සාක්ෂි දරයි. එහිදී ඇතැම් අප්‍රකට මිනිස්සු සිය ජීවිතය නොතකා, තම ක්‍රියාකාරකම්වල අවසාන ප්‍රතිඵලය අමානුෂික වධ බන්ධන සහ මරණය බව දැන දැනම වුව ද, මනුෂ්‍යත්වයේ නාමයෙන් සිය යුතුකම ඉටුකරන්න පෙරට ආවෝ ය. ඉතිහාසය හිට්ලර්ට හිමි නොවී මිනිසුන්ට හිමිවනුයේ මෙවන් මිනිසුන්ගේ ප්‍රයත්න නිසා ය. සුපිරිසුදු ආර්ය ජාතියක් වෙනුවෙන් මුළු ලෝකයක අනාගතය බිල්ලට දීමට උත්සාහ දරා, අවසන පරාජය හමුවේ හිට්ලර් බංකරයක දිවිතොර කරගත්තේ ය.

ඔහුගේ ශුද්ධවන්ත භාවය සම්බන්ධයෙන් පසු කලෙක විද්‍යාවේ දියුණුව විසින් අනාවරණය කරගත් දෑ, අමිශ්‍ර ජාන පිළිබඳ විශ්වාස කරන්නවුන්ගේ අවධානයට යොමුවිය යුතු ය. එමෙන් ම එය පසුකලෙක හිට්ලර් පිළිබඳ කරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂණ හෙළිදරව් කර තිබුණු කාරණයකි. ඒ අනුව දැකිය හැකි වූයේ ඒ ‘පාරිශුද්ධ ආර්ය වර්ගයක්’ වෙනුවෙන් ලොවක් ගිලටීනයට දැක්වීමට තැත්දැරූ මේ මිනිසාගේ මුල්, අප්‍රිකානු සහ යුදෙව් මූල කරා විහිද ඇති බවකි. විද්‍යාවෙහි දියුණුව අවසන සනාථකර සිටියේ යමකුට තම ජාතිය පිළිබඳ අභිමානයෙන් සිතන්න අයිතියක් ඇත ද සුපිරිසුදු ජාන යන්න හාස්‍යජනක මිථ්‍යාවක් බවයි.

ඉහත සඳහන් දින සටහන්වල හිමිකරුවා මානව වර්ගයා වෙනුවෙන් සිය යුතුකම ඉටු කරන්නේ තම අනිවාර්යය ඉරණම ඝාතනයට ලක්වීම බව හොඳහැටිම දැනගෙන ය. ඔහු නමින් හෙන්රික් ගොල්ඩ්ස්මිත් ය. ලෝකය ඔහු හඳුනනුයේ ජානුස් කොර්සැක් යනුවෙනි. 1878 වසරේ ඉපිද 1942 වසරේදී ට්‍රෙබ්ලින්කා ඝාතන කඳවුරේ ගෑස් කාමරයෙන් සිය ජීවිතයට සමුදුන් අවස්ථාව දක්වා ඔහු ඉටුකරන ලද විශිෂ්ට කාර්යභාරය සමස්ත මානව වර්ගයාටම ආදර්ශයකි. පෝලන්තයෙහි වොර්සෝ නුවර උපත ලබන ඔහු සිය වෘත්තීය දිවිය අරඹනුයේ වෛද්‍යවරයකු ලෙස ය. පසුව ළමා රෝග විශේෂඥයකු බවට පත් වන නමුදු ඔහු වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ අධ්‍යාපනඥයකු සහ ලේඛකයකු ලෙස ය; ඒ සියල්ලට වඩා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ය. සිය පියාගේ මානසික රෝගී තත්ත්වය මත කුඩා අවධියේ සිට ආර්ථික අපහසුකම් අත්විඳීමට සහ පවුලේ නඩත්තුව පිණිස වෙහෙස වීම නිසා ඔහුට සිදු වන්නේ වසරක විභාග අසමත් වීමට මුහුණදීමට ය‍. ඒ නිසා කොර්සැක්ට වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට සය වසරක් ගතවෙයි. ඔහු අධ්‍යාපන කටයුතු නිම කරනුයේ ආචාර්ය උපාධිය ද දිනාගනිමිනි. එසේ ම ඔහු ලේඛක දිවිය අරඹන්නේ යෞවන අවධියේ හාස්‍යය කැටි වූ ලිපි මඟිනි. ඔහු 1942 වසරේදී සිය අවසාන ලේඛනය වන ‘ගෙටෝ දිනපොත’ රචනා කරන්නේ නාසිවාදයේ වියගසින් මිදෙනා අනාගත ලොවකට නෙත් හැරීමට බල කරමින් ය. මේ අතරමැද කාලයේ ඔහු ළමුන් වෙනුවෙන් රචනා කළ කෘති ගණනාවකි. ඔහුගේ කෘති අතර ‘පවුල තුළ ළමයා’ සහ ‘ළමුන්ට ආදරය කරන්නේ කෙසේ ද’ යන කෘති බෙහෙවින් ප්‍රසිද්ධ, විචාර අවධානය ද දිනාගත් රචනා ය. වසර හැට හතරක දිවියේදී ඔහු හමුදා සේවය, වෛද්‍ය සේවය සහ සමාජ සේවය යන මේ සියල්ලේම නියැළෙයි. ඒ අතර පන්හිඳ ද දරයි. 1905-06 අතර රුසියානු, ජපන් යුද සමයෙහි හමුදා වෛදවරයකු ලෙස ද සේවය කළ ඔහු බොහෝ රටවල සංචාරය කරමින් අත්දැකීම් ද රැස්කර ගත්තේ ය. ඔහුගේ ජීවිත අරමුණ නියත වශයෙන් තීරණය වනුයේ මසක කාලයක් ලන්ඩනයේ නතරව සිටි 1910 හෝ 1911 වසරේදී ය. එහිදී ලන්ඩනය සහ ප්‍රත්‍යන්ත පෙදෙස්වල පාසල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන කරා යන ඔහු අවසානයේ යම් තීරණයකට පැමිණෙයි. ඒ තමන්ගේම පවුලක් වෙනුවෙන් කැප නොවී සිය ඉතිරි දිවියම ළමුන්ගේ යහපත උදෙසා කැප කිරීමට ය. 1912 වසරේදී ඔහු අනාථ යුදෙව් ළමුන් උදෙසා අරඹන ලද මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ධුරය බාර ගන්නේ රෝහල් සේවයට සදහටම සමුදෙමිනි. අසීරු සමයවල දරුවන්ගේ ආරක්ෂාව උදෙසා කැපවීමට කොර්සැක් තුළ වන අදිටන උරගා බලනුයේ පළමු ලෝක මහා සංග්‍රාම අවධියේ ය. එහිදී අනාථ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුට මහත් කැපවීමක් කිරීමට සිදුවෙයි. ඔහු අරමුදල් රැස්කිරීමේ සිට ළමුන්ගේ සුභසාධනය යන සෑම ක්ෂේත්‍රයකම කැපී පෙනෙනා මෙහෙවරක් ඉටු කළේ ය. නාසිවාදය හමුවේ හිස නොනැමීමට ඔහුට පාසල වන්න ඇත්තේ එයයි.

දෙවැනි ලෝක යුද්ධය 1939 වර්ෂයේදී ආරම්භවීමත් සමඟ ම කොර්සැක් පෝලන්ත හමුදා සේවයට එක්වීම ඉල්ලා සිටිය ද, වයස සලකා ඔහුට ඒ සඳහා අවසර නොලැබිණි. ඔහු ඉන් පසුව දිගු කාලයක් යුදෙව් අනාථ ළමුන් සඳහා වන නිවෙසේ කටයුතු පවත්වාගෙන ගියේ ය. එහෙත් දිනෙන් දින වර්ධනය වෙමින් පැවැති යුද උණුසුම හමුවේ විවිධ අසීරුතා පැන නැඟිණි. කෙසේ නමුදු ඔහු දිගටම අනාථ නිවාසය පවත්වාගෙන යෑමට ඇවැසි සියලු පහසුකම් සලසාලීමට සමත් විණි.

1940 වසරේදී නාසි හමුදාව ඔහුට සිය අනාථ නිවාසය වොර්සෝ ගෙටෝවට ගෙන යෑමට නියම කළ අවස්ථාවේ පටන් ඔහුගේ ගෙටෝ අත්දැකීම ඇරැඹිණි. මේ සියලු තත්ත්ව මධ්‍යයේ වුව ඔහු සැමවිටම සිය ළමයින්ට යුද භිෂණය නොදැනෙන්න කටයුතු කිරීමට වගබලා ගත්තේ ය. ඒ අවසන් මොහොත දක්වා දරුවන් සතුටින් තැබීමේ අදහස අැතිව ය. සිය ළමයින්ට විවිධ සාහිත්‍ය සමීප කළ ඔහු නාට්‍ය පුහුණු කිරීම් වැනි විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළේ ය. ඒ පිටත යුද්ධයේ ගිනි ඇවිළ යද්දී ඔහු සිය ළමයින් සමඟ එක්ව රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘තැපැල් කන්තෝරුව’ නාට්‍යයක් ලෙස නිෂ්පාදනය කිරීමට යුහුසුලු වෙමිනි.

ඔහුගේ ප්‍රයත්නවල අවසානය උදා වනුයේ 1942 අගෝස්තුවේ මුල දිනෙක ය. ඒ නාසි හමුදා පැමිණ අනාථ නිවාසය ට්‍රෙබ්ලින්කා සමූලඝාතන කඳවුරට මාරු කිරීමට නියෝග දීමත් සමඟ ය. ඒ සමඟ ම ජර්මානුවන්ට එරෙහිව රහසිගතව සටන්වදිමින් සිටි වොර්සෝ සංවිධානය ඔහුට ආර්යයන් විසූ පළාතට පලාගොස් දිවි රැකගැනීමට යෝජනා කළේ ය. ඒ සඳහා සියලු පහසුකම් සැලසුව ද ඔහු කළේ ඒ අදහස එකහෙළා ප්‍රතික්ෂේප කිරීමයි. මෙසේ විවිධ පාර්ශ්ව මඟින් දිවිගලවා ගැනීම පිණිස කරන ලද සියලු යෝජනා පිළිකෙව් කිරීමට ඔහුට හේතු වූ එක ම කාරණය තම ළමයින් අසරණ කිරීමට වූ දැඩි අකැමැත්තම පමණි.

අවසන දෙසීයයක් පමණ වූ ළමයින් සමඟ ම කාර්යමණ්ඩලය ද ට්‍රෙබ්ලින්කා කරා යවන ලදි. එදින ඔහු සියලු ළමයින් ඉස්තරම්ම ඇඳුමින් සරසා, ඔවුන්ට පවසා සිටියේ තමන් ගම්බද චාරිකාවක් සඳහා පිටත්ව යන බවයි. අන්තිමේදී දුම්රිය නැවතුම්පොළේදී කොර්සැක්ව හඳුනගන්න නාසි නිලධාරියෙක් ඔහුට දිවි ගලවා ගැනීමට ද අවස්ථාවක් ලබාදෙයි. ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළ මේ උදාර මිනිසා සමූලඝාතන කඳවුර කරා යෑමට නියමිත දුම්රියට ගොඩවූයේ අදිටන් සහගත මිනිසකු සතු උදාරත්වය සනාථ කරමිනි. ඔහු පිළිබඳ වාර්තා වී ඇති අවසාන මතක සටහන බෙහෙවින් අනුවේදනීය එකකි. ඒ මතක සටහනට අනුව හිස ඉදිරියට බරකර ගත් ජානුස් කොර්සැක් කුඩා දරුවකුගේ අතින් අල්ලාගෙන සිය කාර්යමණ්ඩලය ද සමඟ මරණය කරා පියමනියි. මේ මිනිසාගේ උදාර බව නව ලොවට ප්‍රකාශ කරමින් පෝලන්ත සිනමාකරු අන්ද්‍රෙස් වජ්ඩා 1990 වසරේදී නිර්මාණය කරන ලද කොර්සැක් නම් සිනමා පටය ලොවපුරා කොර්සැක්ගේ නාමය යළි රැව් නැංවීමට සමත් විණි.

ලෝක යුද්ධ දෙකකට, තවත් විවිධාකාරයේ ජන ඝාතනවලට, සිවිල් යුද්ධ සහ අනේකවිධ වසංගතවලට මුහුණ දුන්න ද ලොව තවමත් අවිදි විය යුතු තරමින් අවදිව නැත. ලොව පවත්නා දේශපාලන ක්‍රම භාවිතයේ යෙදවෙන්නේ ද එසේ මිනිසා අවදි කිරීමට නොව මිනිසා එකිනෙකාට එරෙහිව මෙහෙයවීමට පමණි. කෝවිඩ් හමුවෙහි මානව හැසිරීම ද පොදුවේ ප්‍රකට කරන්නේ ඒ සත්‍යය ය. චීනය සහ රුසියාවත්, අමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරත්, කෝවිඩ් ඔස්සේ සීතල යුද්ධයකට අවතීර්ණව සිටියි. එවැනි වර්තමානයක අප වැනි කුඩා රටවල අර්බුද නියමිතව ඇත්තේ විසඳී යෑමට නොව තව තවත් තීව්‍ර වීමට පමණි. ඒ නිසා ම මේ එළැඹ ඇත්තේ සොබාදහම සහ සතුරු වූ මිනිසා වෙනුවට නිවැරැදි චින්තනයකින් හෙබි, සාමූහික මිනිස් අහිනක් වශයෙන් සමස්ත ලෝකයම ප්‍රතිසංවිධානය විය යුතු අවස්ථාවකි. කෝවිඩ් අර්බුදයෙන් පසු අප නැවත දෙනෙත් හරින්නේ පැවැති අමානුෂික දේශපාලන, ආර්ථික පද්ධතිකර තබාගෙන යෑමට නම් අපට ඊළඟ ව්‍යසනයේදී දුක්වන්න තරම්වත් කාලයක් ඉතිරි නොවීම නම් නොවනුමාන ය.

ජානුස් කොර්සැක් වැනි ආත්ම පරිත්‍යාගශීලි මිනිසුන්ගේ අත්දැකීම් වර්තමාන ලෝකයට සමීප කරගත යුතු ය. එසේ විය යුත්තේ නවීන යැයි පවසන ලෝකය සැබෑ චරිතාදර්ශ වෙනුවට බොල්, නිසරු පුද්ගල වන්දනා වෙත වඩ වඩා යොමු වෙමින් පවත්නා හෙයිනි. කෝවිඩ් තර්ජනයෙන් පසු ලෝකය වෙනස් අරුණෝදාවක් දැකිය යුතු ය. එසේ ම ඒ අරුණෝදයෙහි නියමුවන් විය යුත්තේ ලෝකයට විනාශය කැඳවන පුහුවීරයන් නොවේ. ඒ අනුව එතැන ගත යුත්තේ කොර්සැක් වැනි උතුම් මිනිසුන්ගේ සාමූහිකයක් බව අප අමතක නොකළ යුතු ය.

 

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.