වමේ මතවාදය අමුතු න්‍යායක් නොවේ... | සත්මඬල

වමේ මතවාදය අමුතු න්‍යායක් නොවේ...

සාහිත්‍යකලා හා වමේ මතවාදය සමඟ යම් යම් වියවුල් සහගත එළැඹීම් ද දැකිය හැකි ය. තේමාව හා තර්කණය අතින් පැරැණි බවක් ගම්‍ය කරන මේ සාකච්ඡාව අද්‍යතන පරම්පරාව කෙරේ අලුත් වටයකින් අවබෝධයක් ජනිත කරවන්නක් ද විය හැකි ය.

 

තේමාව විසින් ම අඟවනු ලබන අර්ථ අනුව නම් මෙමඟින් උක්ත වන අඩවිය එතරම් විරල නොවන මෙන් ම ප්‍රාමාණික ලෙස සාකච්ඡාවට බඳුන් වූ ප්‍රවාදයක් බව පෙනී යයි. සාහිත්‍යකලා ලෙස මෙතැනදී උද්ධරණය වන්නේ එක් අතකින් සාකල්‍ය වූ කලාත්මක ප්‍රකාශන ය. එනම් සාමාන්‍ය ලෙස නවකතාව, කෙටිකතාව, කවිය, නාට්‍ය, මුද්‍රා නාට්‍යය, චිත්‍රපටය, චිත්‍රය, ගීතය, සංගීතය, මූර්තිකරණය, පරිවර්තිත සාහිත්‍ය ශානර, නර්තනය ආදි සමස්ත ලිඛිත, වාචික මනුෂ්‍ය කලා මැදිහත්වීම් ය. වමේ මතවාදය ලෙස සරල ලෙස අර්ථ දැක්වෙන්නේ වාමාංශික, වාමවාදි නොහොත් මනුෂ්‍ය සමාජයට කොන්දේසි විරහිත ලෙස හිතකර වන්නා වූ ජීවන දෘෂ්ටියකින් අනුබල ලබා සිදු කරන සියලු ජීවන ක්‍රියා සහ එය දරා සිටින දෘෂ්ටිවාදයයි. එබඳු මතවාදයක් ලෙස සාහිත්‍යකලා පිළිබඳ මාක්ස්වාදි දෘෂ්ටිය කෙනකුට ක්‍ෂණිකව සිහිපත් වීම ද විය හැකි ය.

කලින් කියූ පරිදි ම දේශීය සහ විදේශීය වශයෙන් දීර්ඝ ලෙස කත්සේරු කර ඇති මේ විෂය ප්‍රදේශයේ මනුෂ්‍ය නිර්මිතයක් වන කලාව සිය ලෝක දෘෂ්ටිය මෙහෙයවිය යුත්තේ කෙසේ ද යන්න උපන්‍යාස කර ගනියි. ශ්‍රී ලංකාවේ අප දැන් දිවි ගෙවන අවධිය සමාජ, දේශපාලනික ලෙස ඉතා සංකීර්ණතා පළ කරන බැවින් කලා ප්‍රකාශන ලෙස අප හමුවේ දිගහැරෙන ප්‍රපංච ද ආකෘතිය, අන්තර්ගතය හා දෘෂ්ටිය මඟින් ද සංකීර්ණතා ප්‍රක්ෂේපණය කරයි. එබැවින් සාහිත්‍යකලා හා වමේ මතවාදය සමඟ යම් යම් වියවුල් සහගත එළැඹීම් ද දැකිය හැකි ය. තේමාව හා තර්කණය අතින් පැරැණි බවක් ගම්‍ය කරන මේ සාකච්ඡාව අද්‍යතන පරම්පරාව කෙරේ අලුත් වටයකින් අවබෝධයක් ජනිත කරවන්නක් ද විය හැකි ය.

 

ප්‍රතිඵල සහ සාකච්ඡාව:

“සාහිත්‍යකලා” ප්‍රපංචය සමාජයක ජනිත වීම, එහි වැදගත්කම සහ ඉන් වියෝ වූ සමාජයක ඛේදවාචකය දැන් අප ‘අ’ යන්නේ සිට සිහිපත් කිරීම ඇරැඹීම කැළ ම අවශ්‍ය නැත. එක අතකින් කළ යුත්තේ අප ජීවත් වන අද්‍යතන ලංකා සමාජය දෙස බැලුමසක් හෙළීම පමණි. මෙකී කරුණු විග්‍රහ කිරීමේදී මගේ ප්‍රධාන අවධානය මාක්ස්වාදි චින්තන ගුරුකුලයේ අනුබලය ලබන අතර සම්භාව්‍ය මාක්ස්වාදයේ මර්යාදා දකිමින්, ඒ මත පිහිටමින් ම තවත් පශ්චාත්කාලීන නව විවේචන මානවල ද සෙවණ සහිත ව ගමන් කරන්නකි.

 

සාහිත්‍යය පිළිබඳ වමේ මතවාදය පෘථුල ලෙස හා සියුම් ලෙස අවධානයට ගැනීමේදී යට උපයුක්ත වන මාක්ස්වාදි සමාජ විග්‍රහයට අදාළ මුල්කෘති, ඒවායින් ප්‍රතීත ඥාන පාඨවය, ඒවා පදනම් කරගත් සංවාද, ප්‍රතිවාද කෙතරම් සමීප ලෙස පෙනී ගිය ද ප්‍රතිකථනයෙන් අවැඩක් නොවේ. එහෙත් අවකාශය අනුව මූලධර්ම පිළිබඳ දිගු ලිවීමක් කළ නොහැකි ය.

කාල් මාක්ස් (1818-1883) සහ ෆෙඩ්‍රික් එංගල්ස් (1820-1895) යන චින්තකයන් දෙදෙනා විසින් ජනිත කරන ලද ලේඛන, මූලග්‍රන්ථ හා තදනුබද්ධ දේශන හා සංවාද මඟින් මාක්ස්වාදි න්‍යාය මූලික ව සැකසී ඇත. එය එක් අතකට 19 වැනි සියවස ලොවට කළ ශ්‍රේෂ්ඨම ප්‍රදානයයි. ග්‍රීක රෝම සම්ප්‍රදාය සහ බටහිර දර්ශනයේ ගමනේ ජනිත අන්‍ය දැනුම් කලාප තිබියදී ම යථෝක්ත චින්තකයන් දෙදෙනාගේ ඥාන නිෂ්පාදනය විසින් නූතන වමේ මතවාදයට ද ඇවැසි පදනම දමනු ලැබ ඇත. ඒ දර්ශනය මත දේශපාලනික රාජ්‍ය ව්‍යූහයක් ගොඩනැඟූ වී. අයි. ලෙනින්, ලියෝන් ට්‍රොට්ස්කි වැනි බොල්ශෙවික් පක්‍ෂයේ නායකයෝ ද ජී.වි. ප්ලෙහෙනව්, වී.ජී. අපනාසියෙව් බඳු චින්තකයෝ ද ලුනචාර්ස්කි වැනි අධ්‍යාපනය හා සංස්කෘතිය හැසිර වූ කොමිසාර්වරු ද මාක්ස්වාදය ම ආරක්ෂිත පලිහ කොටගෙන රුදුරු මර්දනයක් න්‍යායිකව ද, ශාරීරික ව ද, දියත් කළ ජෝසප් ස්ටාර්ලින් බඳු අභ්‍යන්තරික නායකයෝ ද මේ සාහිත්‍ය හා වමේ කතිකාවේ මූලික චරිත වෙති. එසේ ම විටෙක මර්දනයට, ඝාතනයට හෝ සියදිවිනසා ගැනීමට ලක් වූ ට්‍රොට්ස්කි ප්‍රධාන මේයහෝල්ඩ්, මායාකොව්ස්කි, වෝල්ටර් බෙන්ජමින්, මැක්සිම් ගෝර්කි ආදි සිය ගණන් කවියන්, නාට්‍යකරුවන්, චින්තකයන් ද මේ අතර ඇත.

තවදුරටත් සලකන විට මාක්ස්වාදය කේන්ද්‍රීය මෙවලම ලෙස ගෙන විශ්ව සාහිත්‍යයට සුවිශාල විචාර සම්ප්‍රදායක් බිහි කරමින් වමේ මතවාදයක් අනුව කලාව දෙස බලන කවුළුව සැකසූ ජෝර්ජ් ලුකාස්, ලූෂන් ගෝල්ඩ්මාන්, රේමන්ඩ් විලියම්ස්, අන්ද්‍රෙ බ්‍රෙතෝන්, දියෝගු රිවේරා වැන්නන්ගේ සම්ප්‍රදානය අධ්‍යයනය අත්‍යවශ්‍ය කරුණකි. ඉතිහාසය, පන්ති අරගලය, නිෂ්පාදන සම්බන්ධතා, දෘෂ්ටිය, ආකෘතිය, පරිභෝජන සංස්කෘතිය ආදි විවිධ ක්‍ෂේත්‍රවලට යොමු වූ අවධානය සහිත ව ඔවුහු කලාව දෙස බැලූහ. තවත් පසු කාලයකදී මාක්ස්වාදි මූලධර්ම මත පදනම් වී පශ්චාත් මාක්ස්වාදි හෝ ව්‍යූහවාදි මාක්ස්වාදි ලෙස හැඳින්විය යුතු සංකථනයක් මේ වාම කතිකාව පෝෂණයකර ඇත. අන්තෝනියෝ ග්‍රාම්ස්චි, ලුවී අල්තූසර්, ජර්ගන් හබර්මාස්, ටෙරී ඊගල්ටන් හා ෆෙඩ්‍රික් ජෙම්සන් බඳු ඉතා විවාදාපන්න වියත්හු මේ ද්විතීයීක අඩවියේ සංවාදය ගොඩනැඟූහ. එසේ ම හර්බට් මාකුසෙ, මැක්ස් හෝකයිමර් සහ තියොඩෝර් ඩබ්. ඇඩොර්නෝගේ දීප්තිමත් ෆ්‍රැන්ක්ෆර්ට් චින්තන ගුරුකුලය සම්පාදනය කළ දිගු පියවර සාහිත්‍යකලා ආදියේ ඉරණම සංස්කෘතික කර්මාන්ත සමයක් වටහා ගැනීමට ඉලක්ක වී ඇත.

වෙනස සහ ප්‍රගතිය ප්‍රාර්ථනා කළ නූතන දේශපාලන දර්ශන අතර මාක්ස්වාදය උසස් තැනක ඇත. ඔවුන්ගේ මූල ප්‍රවාද අතර පදනම හා මතුමල පිළිබඳ සමීකරණය ප්‍රබල එකකි. සමාජ ව්‍යූහයේ හා සමාජ ජීවියාගේ ද ආර්ථිකය මුල් වූ පදනමක් සහ ඒ මත ගොඩනැඟෙන උපරිම ව්‍යූහයක් හෙවත් මතුමහලක් පිළිබඳ සාකච්ඡාව මත මේ න්‍යාය ඉදි වී ඇත. සංස්කෘතිය හා එයට අනුෂාංගික කලාව, ආචාර ධර්ම, දේශපාලනය, නීතිය ආදිය මතුමහලේදී සම්මුඛ වෙයි. එහෙත් පදනම මත ඉදිවන මතුමහල මෙන් ම මතුමහලේ සිට පසු ආවර්තීය ලෙස පදනම ද සකස්වීම දක්වා මේ සංවාදය සාහිත්‍ය කලා සම්බන්ධ ව පශ්චාත් මාක්ස්වාදි චින්තාව සමඟ සංකීර්ණත්වයකට යොමු විණි.

මේ සම්භාව්‍ය භෞතිකවාදි මූලධර්ම විවේචනාත්මක විශ්ලේෂණයට බඳුන්කර නව ඉසව් සමීකරණය කළ ව්‍යූහවාදි සාහිත්‍ය විචාරකයෝ සුලබ ය.

ඒ අතර ස්ටීවන් බෙස්ට් සහ ඩග්ලස් කෙල්නර් වැනි අයගේ Beyond Marxism ? The Limits of Discourse Theory සහ Jameson’s Postmodern Marxism බඳු පරිච්ඡේද සිහිපත් කිරීමට සිත් වේ (Best and kellner 1991). මෙයට අමතරව අලුතූසාරියානු මාදිලියේ පශ්චාත් මාක්වාදීන් (උයන්ගොඩ 2006), ජෙම්සන්, ඊගල්ටන්, හබර්මාස් වැනි විදේශිය චින්තකයෝ ද නිව්ටන් ගුණසිංහ (ගුණසිංහ 2006, Gugnasinghe 2007) බඳු දේශීය පර්යේෂකයෝ ද මීට අදාළ ව මතකයට එළැඹෙති.

1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට පූර්වගාමී ව රුසියානු සාහිත්‍යය ද, විප්ලවයට පශ්චාත් වශයෙන් සෝවියට් සාහිත්‍යය ද ප්‍රංස, ජර්මන්, හංගේරියානු, පෝලන්ත, චෙකොස්ලෝවැකියානු ආදි වශයෙන් ජනිත වූ කොමියුනිට්ස් කඳවුරේ සාහිත්‍යකලා සංගෘහිතය “වමේ මතවාදය” සමඟ සිහි කළ යුතු ය. “අපගේ සියලු ආරම්භයන්ගෙත් ආරම්භය පුෂ්කින්” බව ගොගොල් ඇතුළු කලාකරුවෝ කීහ. “අප සියලු දෙනා ගොගොල්ගේ හිම කබායෙන් එළියට වැටුණු අය වෙති” යි ගොර්කි ඇතුළු බොහෝ පිරිස නොසඟවා කීහ. මින් පෙනෙන්නේ ප්‍රාග් විප්ලවීය, විප්ලවීය යන සමයවල සාහිත්‍යකලාවේ බලගතු ආරම්භයයි. පුෂ්කින්, ගොගොල්, තොල්ස්තෝයි, දොස්තව්ස්කි, තුර්ගෙනෙව්, ගෝර්කි, ෂෝලහෝව්, චෙකෝව් බඳු පුරෝගාමි සාහිත්‍යකරුවන්ගේ සිට අයිත්මාතව් දක්වා පසුකාලීන කලාකරුවන්ගේ කලාත්මක, ප්‍රචාරාත්මක, විවේචනාත්මක හා මර්දිත මැදිහත් වීම් අප අතර ප්‍රාමාණික ව ප්‍රකට ය. රුසියාවෙන් පිටත බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ඇතුළු විශිෂ්ටයෝ රැසක් වමේ මතවාදය පෘථුල ලෙස කලාවට රැගෙන ආවහ. එසේ ම ස්ටාලින්වාදය හමුවේ නිලධාරීකරණය වූ කලාව ජෝර්ජ් ඕවල් වැනි අය බිහි කළ ‘ගොවිපලේ පෙරළිය’, 1984 බඳු කෘති මඟින් ද ඔබ ප්‍රමාණවත් ව දන්නෙහි ය.

විශ්ව සාහිත්‍යයේදී “සාහිත්‍යය” ලෙස අර්ථ ගැන්වෙන කලාපයේදී නවකතාව ප්‍රමුඛත්වයට පැමිණෙයි. ශ්‍රේෂ්ඨ රුසියානු මහා ගත්කතුවරු බොහෝ විට නවකතාකරුවෝ වූහ. එහෙත් පුෂ්කින් මහා කවියෙකි. මේයර්හෝල්ඩ් නාට්‍යකරුවෙකි. ඇනා අකමතෝවා කිවිඳියකි. සර්ජි රම්. අයිසෙන්ස්ටයින් (Battleship Potemkin- 1925, October- 1928) සහ වී. අයි. පුඩෝව්කින් (The Mother - 1968 - 1968) සිනමාකරුවෝ වූහ. චෙකොව් මහා කෙටිකතාකරුවා ය. ඇනා පාවලෝවා මහා ඔපෙරා රංගධාරිනියකි. මේ සියලු කලා ශානරවල වමේ මතවාදය දැකිය හැකි ය. මේ මතය තව දුරටත් විවාදාපන්න ලෙස ම විමසීමට අපේක්‍ෂිත ය.

ශ්‍රී ලාංකික පාඨකයන් වන අපි 1980 දශකයේදී සෝවියට් දේශයෙන් ලද මහා සාහිත්‍යය තිළිණය ලෙස ඉතා පුළුල් පරිවර්තිත සාහිත්‍ය ධාරණාවක සෙවණ ලදුයෙමු. එය 1970 වර්ෂය වන විටත් ආරම්භ වී තිබිණි. මොස්කව් රාජ්‍ය සරසවිය, ලුමුම්බා සරසවිය ඇතුළු මිත්‍රත්ව සරසවි ශිෂ්‍යත්ව හරහා ගොඩනැඟුණු ශාස්ත්‍රීය පාලම ද සිහි කරනු වටී. ඒ මඟ හරහා බුද්ධිමතුන් පරිසකට අමතර ව සාහිත්‍ය කලාවේ වාමවාදි ප්‍රවණතාවකට ලොබ බැඳි පිරිසක් විසින් නිර්මිත සාහිත්‍ය ප්‍රවාහයක් සිංහල බසට නැඟිණි. දැදිගම වී. රුද්‍රිගු, කේ. ජී. කරුණාතිලක, සිරිල් සී. පෙරේරා, පද්ම හර්ෂ කුරණගේ, දයාරත්න ගරුසිංහ ඇතුළු විශිෂ්ට සමාරම්භක පරිවර්තකයෝ රැසක් ඒ රසය අප වෙත ගෙන ආහ. ‘සෝවියට් දේශය’ නම් සඟරාව තැපෑලෙන් සිරිලක ප්‍රත්‍යන්ත දනව් කරා ද ඉගිළුණු අතර ‘සමාජවාදය’ නම් ඊයම් පැහැති කුඩා පුස්තිකාවක් සඟරාවේ විණි.

මාක්ස්-එංගල්ස් විසින් ඒකාබද්ධ ව ද, කේවල ව ද, විරචිත මුල් කෘති අතර The German Ideology-1845, The Manifesto of the Communist Party - 1848, A Countribution to the Critique of Political Economy-1859 වැනි ග්‍රන්ථ යටත් පිරිසෙයින් ඉංග්‍රීසියට නැඟි පසු පරිහරණය කළ අය 1960 වර්ෂය පමණ වන තුරු ද සුලබ නොවූහ. එහෙත් රාදුගා, ප්‍රගති ආදි ප්‍රකාශන මැදුරු මඟින් පවුල සහ පෞද්ගලික දේපළ ඇති වුණු හැටි, අපෝහක භෞතිකවාදය බඳු තේමා පිළිබඳ දැනුම ලාංකේය පාඨක සමාජයට ගලා ආයේ ය. The History of Russian Revolution, The Revolution Betrayed වැනි අගනා ග්‍රන්ථ ක්‍රමික ව අප අතරට සපැමිණිනි.

සාහිත්‍යකලා සහ වාම මතවාදය පිළිබඳ දෘෂ්ටිමය ඥානය මේවා අතර තිබිණි.

මෙයට අමතර ව සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, විප්ලවවාදි කොමියුනිස්ට් සංගමය, සමාජවාදි සමානතා පක්‍ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමි පක්‍ෂය ආදි සම්මත දේශපාලන පක්‍ෂ මඟින් නිෂ්පාදනය කළ වාමාංශික දැනුම හා දැවටුණු කලා භාවිතවල ඉතිහාසය දිගු හා පුළුල් එකක් බව ද කිව යුතු ය.

සාහිත්‍ය සහ වමේ දෘෂ්ටිය පවත්වාගෙන යෑම පිළිබඳ යට කී ප්‍රධාන දේශපාලන පක්‍ෂවල මැදිහත් වීම නිසා සාහිතව ප්‍රාමාණික ලේඛන සම්භාරයක් ද බිහි විණි. 1953 වර්ෂය වැනි කාලයකදී ගණනාථ ඔබේසේකර, අමරදාස වීරසිංහ ආදින් ඇරැඹූ සංස්කෘති සඟරාව එක් මංසලකි. පියසීලී විජේගුණසිංහ, විජේ ඩයස්, සුචරිත ගම්ලත්, කීර්ති බාලසූරිය වැනි අය ජනිත කළ සංවාද හා ලියූ පොතපත යට කී දෘෂ්ටියේ මාත්‍රාව ගැඹුරින් විමසූ අවස්ථා ය. ලෙස්ලි ගුණවර්ධන, ඩොරික් ද සූසා, ඒ. වී. සුරවීර, ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි බඳු විද්වත්හු ශාස්ත්‍රාලයේ සිට මේ සංවාදයට අවශ්‍ය ලිපි, ග්‍රන්ථ ලියූහ. ඥානයෙන් පාඨකයා සන්නද්ධ කිරීමට මුල් කෘති පරිවර්තනය කළහ. එසේ ම ආනන්ද අමරසිරි, ගාමිණි වියන්ගොඩ, මාලනී ගෝවින්නගේ, මහින්ද සෙනරත් ගමගේ, සේනානි ධර්මරත්න, ඩබ්. ඒ. අබේසිංහ, ටී. අන්ද්‍රාදි ආදින් පරිවර්තනය කළ ග්‍රන්ථ සමුදාය මඟින් ප්‍රංස, ජර්මන්, චිලි, මෙක්සිකෝ, ඉතාලි ආදි රටවල් රැසක කලා භාවිත සමූහයක් අප ඉදිරියේ දිග හැරිණි. එය චූලානන්ද සමරනායක පසුගිය දා ලද චින්ගීස් ආයිත්මාතව් අන්තර්ජාතික සම්මානය දක්වා දිව යන්නකි.

සාහිත්‍ය කලා වූකලි මනුෂ්‍ය ඉතිහාසයේ රම්‍යතර සොයා ගැනීම් ය. කලාව නම් පුළුල් ක්‍ෂේත්‍රයේ කිනම් ශානරීය විවිධතා ගැබ් වුව ද සියලු කලාවිධි ඇතුළෙහි තැනුම් ඒකක ලෙස අන්තර්ගත වනුයේ සත්‍යය සහ රමණීය භාවයයි. මේ වූකලි මනුෂ්‍යා පිළිබඳ ක්‍රියාත්මක වූ ද, ප්‍රදේශික නොවුණු සමස්ත වූ ද සත්‍යයයි. කලාවේ විශ්වව්‍යාපී සෞන්දර්යේ වමේ හෝ දකුණේ යනුවෙන් මතවාද දෙකක් නැත. මිනිස් පරපුර මහලු වුව ද කලා නිර්මාණ මහලු නොවන සදාකාලික ගුණයෙන් උපේත බව ජෝන් කීට්ස් නම් ඉංග්‍රීසි කවියා උද්ධෘත කරන ආරියවංශ රණවීර දක්වයි.

(රණවීර 2007:7)

ඒ අදහස මෙබඳු ය:

“ජෙට් යානා සහ අභ්‍යවකාශ යානා තව අවුරුදු පන්සියයකින් කටු ගෙවල්වලට යැව්ව ද පිකාසෝගේ චිත්‍ර එදාත් කලාගාර සරසනු ඇත. බිතෝවන්ගේ සංගීතය එදා වෙහෙසෙන්නවුන් ද සිය සවන් දෝතින් බොනු ඇත. දොස්තයොව්ස්කිගේ ‘අපරාධය හා දඬුවම’ මෙන් ම ‘පන්සිය පනස් ජාතක පොත’ ද, එදාටත් ගෙවල පොත් කාමරවල දැල්වෙන රාත්‍රී ආලෝකය බොහෝ වේලාවක් නොනිවා දල්වා තබනු ඇත”

පොතක් කියැවීම වනාහි මින් පෙර තමා නොගිය විරූ රටකට වැදීම වැන්න යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ කීවේ සාහිත්‍යයේ යථෝක්ත ජීවනාශා දල්වා තබන මිනිසාට නිරවද්‍ය දිශාව පෙන්වන සුළු ගුණයක් එහි අඩංගු බැවිනි:

“යුගයක සමාජ මානසික භාවය හැඩ ගැස්වෙන්නේ ඒ යුගයේ සමාජ සම්බන්ධතා විසිනි. මෙය කලාවේ හා සාහිත්‍යයේ ඉතිහාසය තරම් පැහැදිලි ව අන් කිසිදු තැනක නොපෙනෙයි” රුසියානු මාක්ස්වාදි චින්තක විචාරක ජෝර්ජ් ප්ලෙකනව්ගේ අදහසක් අනුව මල්ලිකාරච්චි ගළපන යෙදුම සපුරා නිවැරදි ය.

(මල්ලිකාරච්චි 2008:57).

තද් යුගය, තද් කලා කෘතිවල ප්‍රතිබිම්බනය වීම හා එහි කොන්දේසි විරහිත අවංකභාවය නිසා ම තොල්ස්තෝයි වූකලි රුසියානු විප්ලවයේ කැඩපත බව ලෙනින් පුළුල් අරුතකින් සඳහන් කළේ ය:

“කලාව වනාහී සංස්කෘතියේ අතිසංවේදී අංශය බව ලෙනින් ප්‍රමුඛ බොල්ශෙවික් නායකයෝ මැනවින් දත්තාහු ය. මේ දැනීම නිසා ම කලාව කෙරෙහි ඔවුන් තුළ වූ ගෞරවය ඉමහති.”

(ගම්ලත් 1996:7)

අධ්‍යාපනය හා සංස්කෘතිය යන බලගතු විෂය ක්‍ෂේත්‍රය ඇනටෝලි වසිලියේව්ච් ලුනචාස්කි වැනි කෘතහස්ත වියතකු වෙත සමාජවාදි රුසියාව මඟින් පැවරුණේ ඒ නිසා ය. ලංකාවේ නිදර්ශන ඇති කරන්නේ බොහෝ විට පිළිකුල හා කලකිරීම පමණි. අධ්‍යාපනය සහ සංස්කෘතිය ඇතුළත සාහිත්‍ය කලා මන්දිරය ඉදි වෙයි. කම්කරුවන්ට වැඩබිමේ ද, ගෘහිණියන්ට කුස්සියේ ද, සිරකරුවන්ට බන්ධනාගාරයේ ද “හදාරන්න” යනුවෙන් බ්‍රෙෂ්ට් කීවේ මනුෂ්‍ය විමුක්තිය උදා කරගැනීමට මෙකී අධ්‍යාපනය ඇවැසි බැවිනි. “ජීවත්වීම සඳහා යුහුසුළු විය යුතු ය” යනුවෙන් වානේ පන්නරය ලැබූ හැටි (How Steal was Tempered) කෘතියේදී නිකොලොයි ඔස්ත්‍රොතව්ස්කි අවධාරණය කළේ ද මෙය ම ය. සාහිත්‍ය කලාව ඇතුළත මිනිස් විමුක්ති සටනේ මාවත ද වැටී ඇත.

සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රය ඇතුළත වමේ මතවාදය නිදන් කිරීම, බලය යොදා වැර වෑයමෙන් සිදු කරන ක්‍රියාවක් විය නොහැකි ය. එය එසේ වූ කල්හි මූලික ව එය කලා කෘතියක් හෝ ස්වාධීන නිර්මාණයක් නොවීම බරපතළ ගැටලු ඇති කරන්නකි. මේ මතය ලෝක මට්ටමෙන් ද දැඩි ව කරුණු දක්වා ඇති තත්ත්වයකි. සමාජවාදි යථාර්ථවාදය ස්ටාර්ලින් සමයෙහි කලාව තුළ එන්නත් කිරීම ව්‍යාපෘතියක් ලෙස සිදු වූවකි. මධ්‍යම ලේඛක බියුරෝව මේ ගැන රීති සැපයී ය.

මේ ක්‍රියාවේ අතරමැදට සිර වුණු නිර්ධන පන්තික මහා ගත්කරු මක්සීම් ගෝර්කි ඒ බලහත්කාරකම් පිළිබඳ දෘඪ වේදනා විඳි බව ප්‍රකට ය. ගොර්කිගේ මරණය තෙක් එකී විපාකය විහිදිණි. විවේචනාත්මක යථාර්ථවාදය මඟින් ‘කලාව වෙත මැදිහත්වීම’ ප්‍රතිඅර්ථකථනය කළ ජෝර්ජ් ලුකාස් වැන්නෝ ගෝර්කිලාගේ පිළිවෙත දෝෂ දර්ශනයට ලක් කළහ (ලුකාස් 2012). කලාව ස්වාධීන වීම සහ එය විප්ලවවාදි වීම කෙසේ පවත්වාගත යුතු යථාර්ථයක් ද යන්න ප්‍රවේසමට වටහා ගත යුත්තකි.

1922-23 වකවානුවේ සිය ග්‍රීෂ්ම නිවාඩුවේදී ලිවී යැයි සැලකෙන ලියෝන් ට්‍රොට්ස්කිගේ ‘සාහිත්‍ය සහ විප්ලවය’ නම් ග්‍රන්ථයේදී ‘සමාජීය මූලයන් සහ සාහිත්‍යයෙහි සමාජීය කාර්යභාරය’ නම් පරිච්ඡේදය අරඹන්නේ ම යථෝක්ත ගැටලුව විග්‍රහ කරමිනි. ශුද්ධ කලාව ප්‍රවණතාගත කලාව අතර දබරය විසඳා ගැනීමේ අවශ්‍යතාව ඔහු ඥානනය කරයි (Trotsky 1992). ලියෝ තොල්ස්තෝයි විසින් රචිත කලාව යනු කුමක් ද? නම් ග්‍රන්ථයේදී කලාව කලාව සඳහා හෝ කලාව ජනතාව සඳහා යන ගැඹුරු සංවාදය ජනිත වන්නේ ද තද් සන්දර්භය ම හොඳින් සාකච්ඡා කිරීමට ය.

කලාව පිළිබඳ පෘථුල මතයක් දැරූ, නිර්ධන පන්තික කලාව, අරගලයේ කලාව, කලාකරුවාගේ ස්ථාවරය ගැන දීර්ඝ ව ලියූ බොල්ශෙවික් රතු හමුදාවේ නායකත්වය ද දැරූ ට්‍රොට්ස්කි මෙසේ කියයි:

“කලාව තමාගේ ගමන තමාගේ පාරෙන් ම යා යුතු ය. මාක්ස්වාදි විධික්‍රමය කලාත්මක විධික්‍රමය ම නොවේ. පක්‍ෂය නිර්ධන පන්තිය මෙහෙයවන නමුදු ඉතිහාසයේ ඓතිහාසික අනුපිළිවෙළ නො මෙහෙයවයි. පක්‍ෂය ඉඳුරාමත් ආඥාදායක විලාසයෙනුත් මෙහෙයවීම කරන ඇතැම් ක්‍ෂේත්‍ර ඇත. එයට සහයෝගය පමණක් දක්වන්නා වූ ක්‍ෂේත්‍ර ද ඇත. අවසාන වශයෙන් එය හුදෙක් අනුගත වන්නා වූ ක්‍ෂේත්‍ර ද ඇත. කලා ක්‍ෂේත්‍රය වූකලි පක්‍ෂයේ අණදීමක් නැත්තා වූ ක්‍ෂේත්‍රයකි. පක්‍ෂය කලා ක්‍ෂේත්‍රය ආරක්ෂා කරන්නත්, එයට උපකාර කරන්නත් පුළුවන් අතර එය එසේ කළ යුතු ම ය”

(ගම්ලත්1996:8,9)

සාහිත්‍යකලා සහ වමේ මතවාදය වටහා ගැනීමේ සමාරම්භයට මෙයට වඩා යහපත් නිර්දේශයක් නැත.

වාමාංශික නොහොත් කොමියුනිස්ට් දෘෂ්ටියක් දේශපාලනයේ ද, ජීවිතයේ ද, සාහිත්‍ය කලා විචාරයේ ද, පවත්වාගෙන ගිය පියසීලි විජේගුණසිංහ නිෂ්පාදනය කර ඇති ඥාන මාර්ගයෙන් ද මේ පිළිබඳ ප්‍රතිපාදන ලැබිය හැකි ය:

“කලාව කලාව නොවන දේවලින් වෙන් කරගැනීමටත්, කලා ශානරයන් දෘෂ්ටිවාදි සහ විනෝද කර්මාන්ත මෙවලම්වලින් වෙන් කරගැනීමටත්, පියසීලි විජේගුණසිංහ මැතිනියගේ විචාරාත්මක සේවාව අද එදාටත් වඩා ප්‍රයෝජනවත් වේ.”

(ඉලයප්ආරච්චි 2013:84)

කලාව සහ වමේ මතවාදය ඇගේ මෘතදේහය සතපා තිබුණු ජයරත්න මල්ශාලා පරිශ්‍රයේ ද ගැවසී තිබිණි. දෘෂ්ටිවාදය යනු අදහස් සමූහයක් නොව ජීවන ක්‍රමයක් බව කීමට සුදුසු පරිණත ම නිදසුන විජේගුණසිංහ බව කිව යුතු ය. ජීවිත කාලයක අනුගමනය කිරීමට දුෂ්කර පරික්‍ෂිත දිවියක් ඇය ගෙවූ බව ලියනගේ අමරකීර්ති සඳහන් කළේ 2012-09-03 ඇගේ ලිපි සංගෘහිතයක් දොරට වැඩි දා ය. ඈ පහත පරිදි ලිවී ය:

“කලා කෘතියකින් මිනිසා භුක්ති විඳින ගැඹුරු සන්තෘෂ්ටියට මූලික වශයෙන් හේතු වන්නේ, කලාකරුවා, කලා නිෂ්පාදන භාවිතයේදී, තමන්ට විෂය වන යථාර්ථය ඥානනය කරමින්, කලාත්මක ව ප්‍රතිනිෂ්පාදනය කිරීමේ ඵලය වශයෙන්, යථාර්ථය පිළිබඳ ඒ කෘතියෙන් සම්පාදනය වන්නා වූ ඥානය යි”

(විජේගුණසිංහ 2005:20).

සාහිත්‍ය කලා ආදිය මඟින් යථා ලොව නැවත නිර්මාණාත්මක ව නිරූපණය කිරීමේ අවංක භාවයේ මුණ ගැසෙනුයේ වමේ මතයයි. අශෝක හඳගම ජනයා ඉදිරියේ සිය චිත්‍රපට මඟින් තැබුවේ කැඩපතකි. පිළිබිඹුව භයානක වීම හඳගමගේ වරදක් නොවේ. දෘෂ්ටිවාදි අවිගත් මැර විචාරකයෝ සහ පාලකයෝ කඩපතට වෙඩි තැබූහ. එහෙත් විසඳුම එය නොවේ. පිළිබිඹුව නොහොත් කලා කෘතිය සමාජවාදි වීම හෝ කොමියුනිට්ස්වාදි වීම හෝ ඉල්ලා සිටීමට අපට අයිතියක් ඇත්තේ නැත. එයට පක්‍ෂය අණ නොදෙයි. ඒ කලාකරුවාගේ පරම නිදහසයි. ස්වාධීනත්වයයි:

“කලාකරුවකු තම අත්දැකීම් ආශ්‍රිත විෂය කලාත්මක ව ප්‍රතිනිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා ඉතා උචිත පරිකල්පන රූප නිර්මාණය කරගැනීමේ හේතුවෙන් කලා කෘතියෙන් ජනනය වන කලාත්මක සෞන්දර්යය, කලාවෙන් මිනිසා අත්පත් කරගන්න එයට ම ආවේණික වන සුවිශේෂ වූ ද මාහැඟි වූ ද මධුර වූ ද ඵලය වෙයි”

(එම :21).

සාහිත්‍ය කලා නිර්මාණකරණයේදී වමේ මතවාදය භාවිත කළ යුතු මාත්‍රාව මත කලාකෘති ප්‍රවණතාවාදි වී කලාවේ විශ්වව්‍යාපී සෞන්දර්යේ කොන්දේසි පලුදු කරගැනීමේ ගැටලුවට යථෝක්ත උද්ධෘතය ප්‍රශස්ත විසඳුමකි. කලාකෘතියේ රසය, එය ජනිත කිරීමට සමාජ යථාර්ථය අවංක ලෙස ප්‍රතිනිර්මාණය කළේ ද යන තීව්‍ර ගැටලුව පමණි අප අභිමුඛයෙහි ඇත්තේ:

“මම හැම විට ම, ධනේෂ්වර ක්‍රමයේ මිනිසාගේ අවුල්, වියවුල්, ඔහුගේ ජීවන අරගලය, සමාජ විඥානය, උග්‍ර පරත්වාරෝපණය, දුර්වල ස්වසන්තකකරණය, ධනපති අසාධාරණය, කවියට විෂය කර ගතිමි.... මගේ අරමුණ වූයේ විවිධ තල ඔස්සේ ඒ පිළිබඳ සහෘදය සහනුභූතිය දැල්වීම ය. සහෘදයන් සමඟ පුංචි හෝ සංවාදයක් ඇරැඹීම ය”

(කුඩාහෙට්ටි 2014: viii)

මේ කවියා පවසන අදහස ඉතා නිරවුල් උතුම් එකකි. එය කොන්දේසි රහිත ය. අනෙක් අතට මාක්ස්වාදයේ න්‍යාය ඉතා ගැඹුරින් ග්‍රහණය කරගත්, සිය මතයේ ජීවිත කාලයක් පරස්පරයකින් තොර ව දිවි ගෙවන කලාකරුවෙකි. මේ විශ්වාසය සහිත ව කරන කලා නිර්මාණවල ප්‍රචාරකවාදි ගුණය වඩා විවෘතව පැමිණ රස හීන කරන කල්හි ඒ කෘතිය පරිසමාප්ත කලා කෘතියක කොන්දේසිවලින් දූරස්ථ වෙයි.

නිර්මාණකරුවා ප්‍රවේසම් විය යුත්තේ එතැනදී ය. දොස්තර ශිවාගෝගේ කවි (බොරිස් පැස්ටර්නැක්) සෝවියට් නිලධාරීකරණයේ රුදුරු ගොදුරක් වූයේ ඇයි දැයි මෙතැන ම සාකච්ඡා කළ යුතු ය.

සමාජවාදයේ සෞන්දර්ය විද්‍යා අංශය පිළිබඳ ලියැවුණු ලේඛන දුර්ලභ නැත (වොල්ෂ් 1998). වමේ මතවාදය බලයෙන් කලාකෘතිවලට කැඳවිය නොහැකි ය. කලාකරුවා කොන්දේසි රහිත නිදහසක් භුක්ති විඳින්නෙකි. එදා ස්ටාලින්වාදයේ නග්න ස්වාභාවය උදෙසා සිය අදීන ජීවිත පෞරුෂය අහිමි කරගත් ව්‍යාජ කලාව, ව්‍යාජ ප්‍රබුද්ධ බව වෙනුවෙන් කුලී මැරයන් වූ අය ධනේෂ්වරයේ සැබෑ ඒජන්තයන්ට වඩා කලා නාශකයෝ වූහ:

“දාස භාවය ජීවන වෘත්තිය බවටත් කුලියට බොරු කීම සච්චාරිත්‍රයක් බවටත්, අපරාධ වසා සැඟවීම චින්ත ප්‍රීතිය ලැබීම් මඟක් බවට පත් කරගත් මිනිස්සු බුද්ධිමතුන් හා කලාකරුවන් ලෙස වෙස් වළාගෙන ඕනෑකමින් ම නින්දිත බොරු ප්‍රචාර හා ලේ හැලීම් නමැති මේ ගනඳුරෙහි ගැලෙති.”

(විජේගුණසිංහ 2005: xiii)

පසුගිය වකවානුවේ සිරිලක මෙබඳු කලා ඝාතකයෝ සුලබ වූහ. ඔවුහු නිතර ම ‘ස්වාධීන විප්ලවවාදි කලාකරුවන්’ සේ වෙස් වළා සිටිති. අන්ද්‍රෙ බ්‍රෙතෝන් හා දියෝගෝ රිවේරා ‘Towards a Free Revolutionary Art’ යන හිසින් ලියූ ලේඛනයෙන් විජේගුණසිංහ යථෝක්ත උද්ධෘතය පරිවර්තනය කරයි. එය මනා ව ගැළපෙන්නේ අද්‍යයතන ශ්‍රී ලංකාවට නොවේ ද?

වෝල්ටර් බෙන්ජමින් නම් අපෝහක භෞතිකවාදි චින්තකයා යට කී මර්දනය යටතේ ඝාතනය වූවෙකි. Author As Producer (කතුවරයා නිෂ්පාදකවරයකු ලෙස), The work of Art in the Age of Mechanical Reproduction (යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන අවධියේ දී කලාවේ කාර්යභාරය) නම් අනර්ඝ සම්ප්‍රදාන කළ බෙන්ජමින් කලාවේ වාම කොන්දේසි, තාක්‍ෂණික දියුණුව ශීඝ්‍ර ලෙස පැතිර යන යුගයකදී කෙසේ වෙත් දැයි පෙන්වාදී ඇත. සාම්ප්‍රදායික තාක්‍ෂණය සමතික්‍රමණය නොකරන කලාකරුවා මෙතැනදී පරාජයට පත් වෙයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ධර්මසේන පතිරාජ, අශෝක හඳගම, ධර්මසිරි බණ්ඩාරනායක වැන්නෝ එය එසේ කළහ.

තමා නිරත කලා ශානරයේ දේශපාලනික තලය අවබෝධ කරගැනීම කලාකරුවාගේ පරම වූ කාර්යකි. අතීත අරගල, අතීත පොතපත, අතීත කලාකෘති විශ්ලේෂණාත්මක ව අධ්‍යයනය කිරීම මඟින් මේ ප්‍රඥා පාඨවය ලැබෙනු ඇත:

“දේශපාලනික යථාර්ථවල, නව වර්ධනවල හරය පෙරාගෙන එයින් පැරැණි ඥානය නිෂේධනාත්මක ව වර්ධනය කිරීමෙන් ම ඔහුට තම කලාවේ දේශපාලනික ප්‍රවණතාව සකස් කරගත හැකි වෙයි. එසේ සකස් කරගත් දේශපාලනික ප්‍රවණතාවට ම ආවේණික වූ සාහිත්‍ය ප්‍රවණතාවක් තිබෙන බව එකල්හි ඔහුට ප්‍රත්‍යක්‍ෂ වනු ඇත. ඒ සාහිත්‍ය ප්‍රවණතාව රැඳී ඇත්තේ සාම්ප්‍රදායික කලාත්මක තාක්‍ෂණය ප්‍රගතිශීලී ව සමතික්‍රමණය කිරීමෙහි ය.”

(එම : xv)

මේ නම් රුවන් වැකියකි:

සාහිත්‍ය කලාවෙහි මනුෂ්‍ය සංහතියට හිතකර බව, මෙන් ම එසේ නොවන ව්‍යාජ වෙස්මුහුණු හෙළි කිරීම සඳහා වමේ මතය අවශ්‍ය වෙයි. එහෙත් එය කිනම් මාත්‍රාවකින් භාවිත කළ යුතු ද? සාම්ප්‍රදායික කලාත්මකය බිඳ, පැරැණි බස බිඳ, නව රූපක තැනීමේ හුරුබුහුටි බව සාහිත්‍යකරුවා අත්කර ගත යුතු ය. භාෂාව බිඳිමින් නව මානව සබඳතා සෞන්දර්යේ ගඩොල් තබා බැඳිය යුතු ය. චන්ද්‍රකුමාර වික්‍රමරත්න නම් සිතින් සිතාගත නොහී පීඩිත දුක්ඛයක් ලද පුද්ගලයා අතට තුවක්කුවක් වෙනුවට රතු මල් පොකුරක් හා පෑනක් ලැබීම එබඳු තෝරා ගැනීමකි

(වික්‍රමරත්න 2009)

ආරියවංශ රණවීර ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවය කරමින් ලියූ ටවර් ගොඩනැඟිලි - පොලිස් මෙණෙවියගේ තුවක්කු පාඩම බඳු කාව්‍ය නිර්මාණ එබඳු සියුම් තෝරා ගැනීම් ය.

පරිශීලිත මූලාශ්‍රය නාමාවලිය.

 

මාක්ස් කාර්ල්, එංගල්ස් ෆෙඩ්‍රික් 1980, කොමියුනිට්ස් පක්‍ෂයේ ප්‍රකාශනය, (අනු) දැදිගම වී. රුද්‍රිගු, මොස්කව්, ප්‍රගති ප්‍රකාශක මන්දිරය.

ගම්ලත් සුචරිත 1995, ඓතිහාසික භෞතිකවාදය හා කලාව, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

උයන්ගොඩ ජයදේව 2006, “ආචාර්ය නිව්ටන් ගුණසිංහ: ශාස්ත්‍රවේදියෙකුට උපහාරයක්” නිව්ටන් ගුණසිංහ ලිපි එකතුව - 1 : සමාජ න්‍යාය හා භාවිතය, (සංස්) ජයදේව උයන්ගොඩ සහ රංජිත් පෙරේරා, කොළඹ, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය.

ගුණසිංහ නිව්ටන් 2006, නිව්ටන් ගුණසිංහ ලිපි එකතුව - 1: සමාජ න්‍යාය හා භාවිතය, (සංස්) ජයදේව උයන්ගොඩ සහ රංජිත් පෙරේරා, කොළඹ, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය.

ගම්ලත් සුචරිත 1996, බොල්ශෙවික්වාදය සහ සාහිත්‍යකලා, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

විජේගුණසිංහ පියසීලී 2005 අ. සාහිත්‍යය භෞතිකවාදී අධ්‍යයනයක්, කොළඹ, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, දෙවැනි මුද්‍රණය.

විජේගුණසිංහ පියසීලී 2005, නූතන සිංහල සාහිත්‍යය විචාරය : මාක්ස්වාදි අධ්‍යයනයක්, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, දෙවැනි මුද්‍රණය.

වොල්ෂ් ඬේවිඩ් 1998, සමාජවාදයේ සෞන්දර්ය විද්‍යා අංශය, සසප පර්වර්තන කමිටුව, කොළඹ, කම්කරු මාවත ප්‍රකාශකයෝ.

සංස්කෘතිය සහ සමාජවාදය 2014, ජනතා විමුක්ති පෙරමුණ, කොළඹ, නියමුවා ප්‍රකාශන.

විජේගුණසිංහ පියසීලී 2012, සාහිත්‍ය විචාර : තෝරාගත් ලිපි, (සංස්) අගලකඩ සිරිසුමන හිමි සහ තවත් අය, කොළඹ, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය.

රණවීර ආරියවංශ 2007, සංස්කෘතිය හා ගොඩ්සිල්ලාකරණය, නුගේගොඩ, සරසවි ප්‍රකාශකයෝ, දෙවැනි මුද්‍රණය.

රණවීර ආරියවංශ 2008, කවිය සහ කවියා, නුගේගොඩ, සරසවි ප්‍රකාශකයෝ.

ඉලයප්ආරච්චි එරික් 2013, නෝ ආර්ට් ප්ලීස්, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

ඉලයප්ආරච්චි එරික් 2005, කලාත්මක ඥානය සහ සැබෑ ලෝකය : දැවෙන ප්‍රශ්න, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

ලෙනින් වී. අයි. 2010, අදිරාජ්‍යවාදය ධනවාදයේ ඉහළ ම අවධිය, (පරි:) ටී. අන්ද්‍රාදි, කොළඹ, කර්තෘ ප්‍රකාශන, 2 මුද්‍රණය.

ලුකාස් ජෝර්ජ් 2012, විවේචනාත්මක යථාර්ථවාදය සහ සමාජවාදි යථාර්ථවාදය, (පරි:) ඒ. වී. සුරවීර, නුගේගොඩ, සී/ස විසිදුනු ප්‍රකාශකයෝ.

ඊගල්ටන් ටෙරී 2008, මාක්ස්වාදය සහ සාහිත්‍ය විචාරය, (පරි:) ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි, කොළඹ, සහශ්‍ර ප්‍රකාශකයෝ.

වික්‍රමරත්න චන්ද්‍රකුමාර 2009, භූගත කවිසිත, කොළඹ, සමාජවාදි කලා සංගමය, නියමුවා ප්‍රකාශන.

කුඩාහෙට්ටි බර්ටි බී. 2014, නිවටෝය මූ හැමදෙන, කොළඹ, සුභාවි ප්‍රකාශන.

Siriwardena Regi 2007, Selected writings of Regi Siriwardena, (ed) A.J. Canagaratna, Colombo, International Centre for Ethnic Studies, Volume One; Reprint.

Habermas Jurgen 1973, Legitimation Crisis, (trans) Thomas Macarthy, Boston, Beacon Press.

Gunasinghe Newton 2007, Changing Socio-Economic Relations in the Kandyan Countryside, Colombo, Social Scientists’ Association.

Trotsky Leon, 1992 Art and Revolution, (ed) Paul N. Siegel, U.S.A. Pathfinder, 4th printing (New Title)

Bell Daniel 1976, The Coming of Post Industrial Socety, New York, Basic Books Publishers.

Eagleton Terry 2008, Literary Theory: An Introduction, USA, Blackwell Publishers, Anniversary Edition.

Adorno T.W. 2003, The Culture lndustry (ed) JM Bernstein, London and New York, Routledge Reprint.

Althusser Louis 2001, Lenin and Philosophy and other Essays, (Trans) Ben Brewster, New York, Monthly Review Press.

Best Steven and kellner Douglas 1991, Postmodern Theory: Critical Interrogations, London, Macmillan press Ltd.

Williams Raymond 1994, The politics of Modernism, London-New York, Verso.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.