මාර්ටින් වික්‍රමසිංහ හා ජෝසෆ් නීඩ්හැම් | සත්මඬල

මාර්ටින් වික්‍රමසිංහ හා ජෝසෆ් නීඩ්හැම්

(2020 ජුලි මස 23 වැනි දිනට යෙදෙන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 44 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.)

චීනය ගැන විශේෂ උනන්දුවක් සහිත ව පෙරදිග චින්තනය පිළිබඳ අවධානය යොමු කළ විද්වතකු වූ නීඩ්හැම්, ජාතක කතා හා රුසියානු නවකතාව, සිංහල සංස්කෘතිය අරබයා වික්‍රමසිංහ ඉංග්‍රීසි බසින් ලියූ ග්‍රන්ථ ගණනාවක් කියවා තිබිණි.

විසිවැනි සියවසේ වුසූ විශිෂ්ටම සිංහල චින්තකයා හා ග්‍රන්ථ කර්තෘවරයා වූ මාර්ටින් වික්‍රමසිංහ (1890-1976) සැම විට ම ලෝකයේ නව දැනුම සමඟ සබඳතා පැවැත්වූ විද්වතෙකි. 19 වැනි සියවස අගදී කොග්ගල මලලගම උපත ලැබූ වික්‍රමසිංහ, නිසි විධිමත් අධ්‍යාපනයක් පවා නොලබා, එසේ වුවත් නොතිත් ආසාවෙන් යුතු ව පතපොත කියවා මහා ප්‍රාඥයකු ලෙස බුහුමනට ලක් විය. දේශීය වශයෙන් ලබා ගත හැකි දැනුම පමණක් නොව මහත් උත්සාහයෙන් ඉංග්‍රීසි භාෂාව උගෙන විදේශීය ඥානය ගවේෂණයේ ද යෙදුණු ඔහු විනෝදයත්, උගැන්මත් සඳහා නොයෙක් පොත් කියැවී ය.

කොළඹ ලේක්හවුස් ආයතනයේ පත්‍ර කර්තෘවරයකු ලෙස සේවය කරමින් ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස සිංහල භාෂා සාහිත්‍යය හා සංස්කෘතිය පෝෂණය කළ මාර්ටින් වික්‍රමසිංහ, ලක්දිව මෙන් ම විදෙස් රටවල බොහෝ උගතුන්ගෙන් ද ගරු බුහුමන් ලැබී ය. වික්‍රමසිංහ ලේඛකයකු හා ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස කටයුතු කළ 1920 – 1970 අඩසියවසේදී යුරෝපයේ විද්‍යාව, තාක්ෂණය, දර්ශනය හා සාහිත්‍යය ද බෙහෙවින් දියුණු විය. අද මෙන් අන්තර්ජාල පහසුකම් හා අන්තර්ජාතික සම්බන්ධතා නොතිබුණු යුගයක ලොව විසූ විශිෂ්ට ගණයේ බුද්ධිමතුන්ගේ නව දැනුම පතපොත කියවා රැස් කරගත් ඔහු ඒ දැනුම සිංහල පාඨකයන් වෙත ලබාදීම ද සිදු කළේ ය. ඒ නව දැනුම සිංහල භාෂාවෙන් ප්‍රකාශ කිරීමට සුදුසු පරිදි සිංහල භාෂාව ද සකස් කර ගත්තේ ය.

දේශීය පමණක් නොව විදේශීය විද්වතුන් සමඟ ද සබඳතා පවත්වා ගනිමින් දැනුම බෙදා හදාගත් වික්‍රමසිංහ තම පතපොත ඉංග්‍රීසි ඇතුළු විදේශ භාෂා ගණනාවකට පරිවර්තනය වනු දැකීමට කැමැති වූ විද්වතෙකි.

විදේශ රටවල සංචාරය කරමින් ලැබූ අත්දැකීම් ද ඒ රටවල සමාජය, ජන ජීවිතය, දේශපාලනය හා සංස්කෘතිය අලළා ලියැවුණු පතපොත කියැවීමෙන් ලැබූ පරිචය ද ඇතිව ‘සෝවියට් දේශයේ නැඟීම’(1962) ‘නව චීනයේ පිබිදීම’( අභාවයෙන් පසු, 2006) වැනි පොත් ද ලියා පළ කළේ ය. ඔහු එතෙර සංචාරවල නිරත වූයේ ද ඥාන ගවේෂණයේ පියවරක් ලෙස ය. එමෙන් ම මෙතෙර සංචාරය කළ විදේශිකයන් ගැන ද වික්‍රමසිංහ අවධානය යොමු කළේ ය. 1890 වර්ෂයේදී ලංකාවට පැමිණි ඇන්ටන් චෙකොෆ් සංචාරය හා ඔහුගේ ජීවන දැක්ම විස්තර කරමින් ‘චෙකොෆ් හා ලංකාව’ (1970) නමින් පොතක් ලියා පළ කළේ ය. තව ද 1934 වර්ෂයේදී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ලංකාගමන මුල් කරගෙන දිනමිණ පුවත්පතට ද වික්‍රමසිංහ ලිපියක් සම්පාදනය කර ඇත.

ඔහු කිසිදු දේශපාලන මතවාදයකට හෝ ගුරුකුලයකට යට නොවී ස්වාධීන චින්තකයකු ලෙස ලෝකය දෙස බැලූවේ ය. එසේ ම එතෙර වියතුන්ගේ සමාජ ශාස්ත්‍රීය මෙහෙවර හා චින්තනය විමසමින් ‘මානව හිතවාදය හා එතෙර වියත්තු’ ( අභාවයෙන් පසුව, 2001) නමින් පොතක් ද රචනා කළේ ය. අදින් සියවසකට පමණ පෙර දී සිංහල පුවත්පත්වලට නීට්ෂෙ, තොල්ස්තෝයි, ඩාවින් වැනි විද්වතුන් පිළිබඳ ලිපි සැපයුවේ ය. මේ කාලය වන විට ඔවුන් පිළිබඳ මෙරට ඉංග්‍රීසි උගත් පාඨකයන් වැඩිදෙනකු දැන සිටියේ නැත. දේශීය සංස්කෘතියේ හරය පමණක් නොව විදේශීය විද්වතුන්ගේ නව දැනුම ඔවුන්ගේ පතපොතින් හා ඇසුරෙන් හා විදේශ සංචාර මාර්ගයෙන් හෝ ලබාගැනීමට වික්‍රමසිංහ උත්සාහ ගත්තේ ය.

මේ අනුව මාර්ටින් වික්‍රමසිංහගේ විදේශීය සම්බන්ධතා හා ඔහු අගය කළ විදෙස් උගතුන් පිළිබඳ විමසා බැලීම, ඔහුගේ ශාස්ත්‍රීය මෙහෙවර නැවත සලකා බැලීමේදී අවධානය යොමු කළ යුතු අංශයකි. වික්‍රමසිංහ - නීඩ්හැම් ශාස්ත්‍රීය සම්බන්ධය විමසා බැලීම මඟින් ලෝක ප්‍රකට චින්තකයකු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැක්වූ අවධානය පිළිබඳ කරුණු රැසක් ද හෙළිපෙහෙළි කරගත හැකි ය.

මාර්ටින් වික්‍රමසිංහගේ විදේශ මිත්‍රයන් අතුරින් මහාචාර්ය ජෝසෆ් නීඩ්හැම්ට (Joseph Needham 1900 – 1995) ලැබෙනුයේ වැදගත් තැනකි. ජෝසෆ් නීඩ්හැම් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී වෛද්‍ය විද්‍යාව හදාරා, ඉන් පසු ජෛව රසායනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා, ඒ සරසවියේ ආචාර්යවරයකු ලෙස විද්‍යාවේ ඉතිහාසය පිළිබඳ පතපොත සම්පාදනය කළ බ්‍රිතාන්‍ය මහාචාර්යවරයෙකි.

ජෛව රසායනඥයකු ලෙස පර්යේෂණ කටයුතුවල නිමග්න වුව ද නීඩ්හැම් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ චීනයේ විද්‍යා හා තාක්ෂණ ඉතිහාසය පිළිබඳ කළ පර්යේෂණ නිසා ය. සම්භාව්‍ය චීන භාෂාව ඉගෙන චීනයේ පුරාතන තාක්ෂණය හා විද්‍යාත්මක අතීතය පිළිබඳ සොයා බැලූ නීඩ්හැම් පසු කාලයේදී ප්‍රකට වූයේ චීනවේදියකු ( Sinologist) ලෙස ය. අතීතයේ පෙරදිග චීනය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල පැවැති විද්‍යා හා තාක්ෂණික ඥානය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ නීඩ්හැම් විශේෂයෙන් ම චීනයේ තාක්ෂණික විශිෂ්ටත්වය ලොවට හෙළිකර සිටියේ ය.

එහිදී මානව සංස්කෘතියට චීන ජනතාව ලබාදී ඇති විද්‍යාත්මක හා තාක්‍ෂණික දායකත්වය පිළිබඳ සොයා බැලීමට ආචාර්ය නීඩ්හැම් දිගුකාලීන ව්‍යාපෘතියක් ආරම්භ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස කාණ්ඩ හතකින් යුක්ත ‘චීනයේ විද්‍යාව හා ශිෂ්ටාචාරය’ ’(Science and Civilization in China) නමින් පළ වූ ග්‍රන්ථාවලිය නිසා මහාචාර්ය ජෝසෆ් නීඩ්හැම්ගේ කීර්තිය ලොවපුරා පැතිරුණේ ය.

1958 වර්ෂයේදී ශ්‍රී ලංකා රජයේ ආරාධනාවක් මත මහාචාර්ය නීඩ්හැම් ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල පිළිබඳ වාර්තා කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම සඳහා ය. ඒ ලංකා විශ්වවිද්‍යාල කොමිසමේ වාර්තාව ප්‍රකට වූයේ නීඩ්හැම් කොමිසම ( Needham Commission) නමිනි (Report of the Ceylon University Commission Sessional Paper XXIII 1959). ලංකාවේ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය නැංවීම සඳහා වැදගත් යෝජනා ගණනාවක් ඒ වාර්තාව මඟින් ඉදිරිපත් විය.

රටේ සංස්කෘතික සම්ප්‍රදායන් අධ්‍යයනය කිරීම සඳහා කැප වූ අධ්‍යයනාංශ ලංකා විශ්වවිද්‍යාලයේ නැති බව ඒ කොමිසම පෙන්වා දුන්නේ ය.

නීඩ්හැම් ලංකාවට පැමිණිමට පෙර සිට ම වික්‍රමසිංහ ඔහුගේ පතපොත කියවා සිටියෙකි. එපමණක් නොව වික්‍රමසිංහ පොත්ගුලේ නීඩ්හැම් ලියූ පොත් පවා තිබූ බව වරක් මා සමඟ පැවැසූයේ වෛද්‍ය රංග වික්‍රමසිංහ ය. 1958 වර්ෂයේදී ලංකාවට පැමිණි අවස්ථාවේ මාර්ටින් වික්‍රමසිංහ හමු වී කතාබහ කිරීමේ අවස්ථාව මහාචාර්ය නීඩ්හැම්ට ලැබිණි. පසු කලෙක මාර්ටින් වික්‍රමසිංගේ 85 වැනි ජන්ම දිනය වෙනුවෙන් පළ කරන ලද ‘කොග්ගල මහා ප්‍රාඥයා’ නම් ලිපි සංග්‍රහයට Psychology and Scientific thought in East and West (පෙරදිග හා බටහිර මනෝ විද්‍යාව හා විද්‍යාත්මක චින්තනය) නමින් ආරාධිත ලිපියක් සම්පාදනය කරමින් ඒ අවස්ථාව නීඩ්හැම් විස්තර කර ඇත්තේ මෙසේ ය:

During my stay in Ceylon in the spring and summer of 1958 one of the things that I most enjoyed and appreciated was the opportunity of getting to know Martin Wickramasinghe, one of the most 

outstanding of Lanka’s intellectuals, a truly original thinker and writer in literature and social studies.

ඉහත උද්ධෘතයේ දක්වා ඇති ආකාරයට මහාචාර්ය නීඩ්හැම්ට අනුව මාර්ටින් වික්‍රමසිංහ වූකලි, සාහිත්‍යය හා සමාජ අධ්‍යයනය පිළිබද සැබෑ වශයෙන් ම ස්වතන්ත්‍ර චින්තකයකු හා ලේඛකයකු ලෙස ය. ඒ ලිපියේ මාර්ටින් වික්‍රමසිංහ ‘කොග්ගල මහා ප්‍රාඥයා’ (Sage of Koggala) ලෙස හඳුන්වනු ලැබුවේ ද මහාචාර්ය නීඩ්හැම් විසිනි. චීනය ගැන විශේෂ උනන්දුවක් සහිත ව පෙරදිග චින්තනය පිළිබඳ අවධානය යොමු කළ විද්වතකු වූ නීඩ්හැම්, ජාතක කතා හා රුසියානු නවකතාව, සිංහල සංස්කෘතිය අරබයා වික්‍රමසිංහ ඉංග්‍රීසි බසින් ලියූ ග්‍රන්ථ ගණනාවක් කියවා තිබිණි. මහාචාර්ය නීඩ්හැම් ඉහත ලිපිය අවසන් කර ඇත්තේ මෙසේ ය:

With this thought I offer my salutataions to the Sage of Koggala - just such a thought as one might discuss sitting in the evening before the door of the philosopher’s home, and looking across the Ceylonese countryside as the sun sets in the west.

1978 මැයි මාසයේදී මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ දේශනය පැවැත්වීමට අාරාධනා ලැබූ මහාචාර්ය නීඩ්හැම්, History and Human Values: A Chinese Perspective for World Science and Techonology (ඉතිහාසය සහ මානව වටිනාකම්: ලෝකයේ විද්‍යාව සහ තාක්‍ෂණය සඳහා වූ චීන ඉදිරි දර්ශනය) නමින් සාරගර්භ දේශනයක් ද පැවැත්වී ය. ඒ දේශනය පසුව මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මඟින් පළ කරනු ලැබී ය. ඒ සංචාරයේදීත් නීඩ්හැම් කොග්ගල දින කීපයක් ගත කර ඇත.

විශිෂ්ට ගණයේ විද්‍යාඥයකු හා ශාස්ත්‍රඥයකු ලෙස අන්තර්ජාතික කීර්තියක් ලැබූ මහාචාර්ය ජෝසෆ් නීඩ්හැම් වසර 94ක් ආයු විඳ 1995 වසරේදී අභාවප්‍රාප්ත විය. නීඩ්හැම්ගේ අභාවයෙන් පසු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින් නීඩ්හැම් පර්යේෂණ ආයතනය (Needham Research Institute) පිහිටුවන ලදි. ඒ ආයතනය පිහිටා ඇත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයට නුදුරින් පිහිටි සුන්දර පරිසරයක ය. නැගෙනහිර ආසියානු රටවල විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාර්ථීන්ගේ මධ්‍යස්ථානයක් ලෙස කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඒ ආයතනය පවත්වා ගෙන යනු ලැබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හදාරන විද්‍යාර්ථින්ට පමණක් නොව වෙනත් රටවලින් පැමිණ ඒ විෂයන් පිළිබඳ පර්යේෂණ කරන පුද්ගලයන්ට ද ඒ ආයතනයේ ඇති අගනා පුස්තකාලය පරිහරණය කළ හැකි ය.

පසුගිය වසරේ (2019) ඔක්තෝබර් මසදී අප නීඩ්හැම් පර්යේෂණ ආයතනයේ සිදු කළ සංචාරයකදී දකින්න ලැබුණේ ඒ ආයතන පුස්තකාලයේ සුරක්ෂිතව ඇති මාර්ටින් වික්‍රමසිංහගේ ඉංග්‍රීසි ග්‍රන්ථ සම්භාරයයි. සිංහල සාහිත්‍යය, සිංහල භාෂාව හා සංස්කෘතිය, ජාතක කතා බුදු දහම හා කලාව වැනි විෂයයන් අරබයා ඒ පොත් ලියැවී ඇත. ඒවා සියල්ල වික්‍රමසිංහ තුටු පඬුරු වශයෙන් නීඩ්හැම්ට ලබාදුන් පොත් ය. ඒ පොත් සුරැකිව ඒ පුස්තකාලයේ තැන්පත් වී තිබෙනු දැකීමෙන් මම මහත් සතුටට පත් වීමි. එමෙන්ම නීඩ්හැම්ගේ ශ්‍රී ලංකාවේ සංචාර සම්බන්ධ විස්තර ද ඒ පුස්තකාලයේදී අපට සොයාගත හැකි වූයේ නීඩ්හැම් පර්යේෂණ ආයතනයේ පුස්තකාලයාධිපති ජෝන් මොෆෙට්ගේ කාරුණික අවසරය මත ය. නීඩ්හැම්ගේ ලංකා සම්බන්ධය තවදුරටත් ගවේෂණය කරන පර්යේෂකයන්ගේ ප්‍රයෝජනය සඳහා නීඩ්හැම් - වික්‍රමසිංහ සබඳතා සම්බන්ධයෙන් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය සතු ව පවත්නා ලේඛන එකතුවක් ඒ ආයතනයට පරිත්‍යාග කිරීමේ අවස්ථාව ද අපට හිමි විය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.